|
පසුගිය සතියේදී ජෙනරාල් සරත් ෆොන්සේකා හදිසියේ ම ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්ධුරයට පත්කරන්නට ආණ්ඩුවේ නායකත්වය විසින් තීරණය කිරීම පසුපස ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවී තිබෙන බව මුලින්ම රටට හෙළි කළේ අප පුවත්පතයි. ජෙනරාල් ෆොන්සේකා එම තනතුර පමණක් නොව, ඉදිරි ප්‍රධාන මැතිවරණවලදී සහයෝගය දෙන්නේ නම් ඇමැතිධුරයක් ලබාදෙන බවට ආණ්ඩුවේ බලධාරින් කළ යෝජනාවත් ප්‍රතික්ෂේප කළබව අපි හෙළි කළෙමු.
එහෙත් ජෙනරාල්වරයා ආණ්ඩුවේ බලවතුන්ගේ වුවමනාවන්ට අනුව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කළ පුවත මෙරට ජනතාවගෙන් වසන්කිරීමට අදාළ බලවතුන් විසින් හැකි සෑම උත්සාහයක්ම ගෙන තිබිණි. කෙසේ වෙතත් මෙතෙක් ක්‍රියාන්විතයේ ඉදිරියෙන්ම හිඳිමින් කැපවීම් කරමින් ත්‍රස්තවාදය පරාජය කිරීමේ ජයග්‍රහණය රටේ සැමට උරුම කරදුන් ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු නිලධාරීන් සහ සොල්දාදුවන් පසුපසට තල්ලූකර දමා “දේශපේ‍්‍රමී”පොරවල්වීමට රාජපක්ෂ පාලනය ගන්නා උත්සාහය ඇත්ත ඇති සැටියෙන් පාඨක ජනතාවට හෙළිදරව් කිරීමට අප පැකිළෙන්නේ නැත. මේ එහි පළමු පියවරයි.
![]() 2009 මැයි 17වැනි ඉරිදා ක්‍රියාන්විත මෙහෙයුම් ප්‍රදේශයේ සිටි එක්තරා හමුදා නිලධාරියකුගේ ජංගම දුරකථනයට රටේ ඉහළ බලවතකුගෙන් ඇමතුමක් ලැබිණි.
“කොහොමද, වැඩේ ඉවර කළාද?”
තත්පර කීපයක නිහඬතාවයක් ඇති විය. එහෙත් දිය යුතු පිළිතුර කල්තියාම දැන සිටි හමුදා නිලධාරියා වචන වියළුණු දෙතොල් දිවගින් තෙමාගෙන වචන ගොනුකරගන්නට සමත් විය.
“ඔව් සර්,අපි යුද්දෙ ඉවර කළා”
ඒ පිළිතුරත් සමඟම දුරකථනය විසන්ධි විය. නිලධාරියා තවත් යමක් කීමට සූදානම් වුවත් ප්‍රමාද වැඩිය. ලැබුණු පිළිතුර තමා අපේක්ෂා කළ දෙයම වූ බැවින් බලවතාට ඉන් එහා යමක් අවශ්‍ය නොවූවා වැනිය. වැරදුණු ඉලක්කය බලයෙන් මත් වූ දේශපාලකයන් නිතරම කල්පනා කරන්නෙ තමන්ගේ ඉලක්ක සපුරා ගැනීම නිසා එම ඉලක්ක සපුරාගැනීමේදී වැය කෙරෙන ධනය හෝ පුද කෙරෙන මිනිස් ශ්‍රමය හෝ ජීවිත ඔවුන්ගේ හැඟීම්වලට අයත් නොවේ.
එම සිදුවීමෙන් පැය කිහිපයකට පසුව කොළඹ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් සියරට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිමට පහත් වී නමස්කාර කළේය. බොහෝ ජනමාධ්‍ය එම සිදුවීම වාර්තා කළේ ආරක්ෂක හමුදා විසින් ත්‍රස්තවාදයෙන් මුදාගත් මවුබිමට ජනාධිපතිවරයා නමස්කාර කර සිය ගෞරවය පුද කළ අවස්ථාව ලෙසයි.
එසේ වුවත් ජනාධිපතිවරයාට වැරදි තොරතුරු ලබාදී එවැනි ප්‍රදර්ශන හැසිරීමකට යොමුකළ නිලධාරීන්ට පසුව හොඳ හැටි සුද්ධ සිංහලයෙන් අසාගන්නට සිදුවිය. මෙම වැරදි අවබෝධය ඇති කිරීම පසුපස කුමන්ත්රණකාරී ක්‍රියාවලියක් තිබිණි.
මැයි මාසයේ මුල් සතියේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා චීනයේ නිල සංචාරයක නිරත වෙමින් සිටියේය. ඔහුගේ සංචාරය මෙරටට ගෙන්වන යුද ආම්පන්න නිෂ්පාදනය කෙරෙන චීන කම්හල් වෙත යාම බොහෝ කලකට පෙර සැලසුම් කෙරුණු එකක් බව ආරක්ෂක වාර්තා හෙළිකර තිබිණි. මෙහිදී සිහිපත් කළ යුතු වැදගත් කරුණක් නම් යුද අවි ගනු දෙනු හේතුවෙන් මෙරට ධනකුවේරයන් බවට පත් වූ පිරිසක් ද සිටින බවයි. තතු මෙසේ හෙයින් යුද අවි ගනුදෙනු පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට හිටපු යුද හමුදාපතිවරයා ගත් තීරණය ඇතැම් බලවතුන්ගේ නොසතුටට හේතු වී තිබිණි. කල්යාමේදී එය වෛරයක් බවට පත් විය. හමුදාපතිවරයා රටෙන් පිටව ගිය පසු මෙහෙයුම් සියතට ගෙන යුද්ධය අවසන් කිරීමේ ගෞරවය හිමිකරගැනීමේ සිහිනයක පසුවූවන් ද මේ අතරවිය.
අවසානයේ දේශපාලන-හමුදා නිලධාරි කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස අවසන් මෙහෙයුම් අවස්ථාවේ ක්ෂණික කඩාවැදීම් කරමින් කොමාන්ඩෝ සහ විශේෂ බළකා සෙබළ ජීවිත අනතුරට ඇද දමන ලදී. මිලිටරි විශේෂඥ මතය අනුව විශේෂයෙන් දුෂ්කර මෙහෙයුම් සඳහා පුහුණුවක් ලද බළකායක සාමාජිකයකු සාමාන්‍ය පුහුණුව යුද සෙබළුන් 20කගේ සංග්‍රාමීය හැකියාව දරන බව කියනු ලැබේ. ඉහත අවස්ථාවේ විශේෂ බළකායේ 22ක් මියගොස් තවත් 84 දෙනකු තුවාල ලැබීය. අන්තර්ජාතික යුද අධිකරණයට යාම ගැන ජනතාවට බේගල් ඇද බෑම නවතා, එසේ වටිනා සෙබළ ජීවිත නිකරුණේ බිලිදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳ වහා පරීක්ෂණ කළ යුතුයැයි අපි ආණ්ඩුවට යෝජනා කරමු.
කෙසේ වෙතත් එම ව්‍යසනකාරී සිදුවීම් නිසා දේශපාලන න්යායපත්රවලට ආරක්ෂක මෙහෙයුම් පාවාදීම අවසන් විය. ජනාධිපතිවරයාගේ නමස්කාරයෙන් දින තුනකට පසුව ඇත්ත වශයෙන්ම යුද්ධය අවසන් කරන්නට ආරක්ෂක හමුදා සමත් විය. ඉන්පසුව ඇරඹුණේ ආරක්ෂක හමුදා සිය දේශපාලන හස්තයට නතු කර ගැනීමේ යුද්ධයයි. එය “සංග්රාම උපායයන්”දෙකක් යටතේ ක්‍රියාත්මක විය. හමුදාවේ ඉදිරිපෙළ නිලධාරීන් සොල්දාදුවන්ගෙන් වෙන්කර හුදෙකලා කිරීමත් සොල්දාදුවන් සිය නායකත්වයේ රැකවරණයෙන් දුරස්ථ කිරීමත් පළමුවෙනි සංග්‍රාමික උපාය විය. දෙවනුව, එම උපායික මෙහෙයුමට ජනමාධ්‍ය තුළින් සාධාරණීකරණය ලබාදීමේ ප්රචාරක මෙහෙයුමක් දියත් කෙරිණි. ඒ අනුව සිදු වූ දේ කෙටියෙන් සඳහන් කළ හැකිය. යුද හමුදාපතිවරයා ඉදිරි දෙසැම්බරයේ විශ්‍රාම යා යුතුව තිබියදීත් එසේම යුද හමුදාවේ 60වන සමරුවේ ක්‍රියාකාරකම් ඉටුකිරීම සඳහා හොඳම සුදුසුකම් සපුරා තිබියදීත් ඔහු හුදෙකලා කෙරිණි.
ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් වැඩි බලතල දෙන බවට කෙරුණු ව්‍යාජ ව්‍යවස්ථාමය රංගනයකින් පසු මාස කිහිපයක් ගතවී ඇතත් එවැනි බලයක් ඇත්තටම ලබා දී නැත. අවශ්‍ය වූයේ සොල්දාදුවන් සමග කරට කර හිඳ කටයුතු කරමින් ජනප්‍රිය වූ හමුදාපතිවරයා ලෙස තවදුරටත් ඔහු නොසිටිය යුතුය යන තීන්දුව ක්‍රියාත්මක කිරීම බව පැහැදිලිය.
සංග්රාම භූමියෙන් ඉවත්කිරීම නාවික හමුදාපතිවරයාට ද අත්වූයේ සිය වෘත්තීයමය අත්දැකීම් හෝ වසර ගණනාවක් සංග්රාම භූමියේ කළ කටයුතුවලට සපුරා වෙනස් හුදෙකලා අමාත්‍යංශයක අතරමංවීමේ ඉරණමය. එපමණක් නොව එල්ටීටීඊ සංවිධානයට එරෙහි ක්‍රියාන්විත මෙහෙයුම්වලදී විශාල කාර්යභාරයක් ඉටු කළ මේජර් ජෙනරාල් ජගත් ඩයස් ජර්මනියේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීම සහ යුද හමුදා ක්‍රියාන්විත අධ්යක්ෂ වශයෙන් මෙහෙයුම් භාරවවැඩ කොටසක් සිදු කළ මේජර් ජෙනරාල් උදය පෙරේරා මැලේසියානු තානාපති වශයෙන් පත්කර යැවීම මීට නිදසුන් වේ. කමල් ගුණරත්න, චාගි ගාල්ලගේ වැනි තවත් සෙන්පතියන් ක්‍රියාන්විත ප්‍රදේශයෙන් ඉවත් කරවීමට තීරණය කරන ලද්දේ ඔවුන්ගේ කාර්ය අවසන් බවට කිසිදු මිලිටරිමය තීන්දුවක් නොගෙනය. හමුදා බුද්ධි අංශය මෙහෙයුම් සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය වූ සේනාංකයක් ලෙස පවත්වාගෙන ගිය අමල් කරුණානායක එරිත්‍රියාවේ තානාපති ලෙස පත් කෙරුණේ එරිත්‍රියාව එල්ටීටීඊයට සහයෝගය දෙන රාජ්‍යයක් ලෙස නම් කිරීමෙන් ලැබුණු වාසිය නිසාය. එහෙත් මෙරට සංග්රාම භූමියේ අත්දැකීම් සහිත සේනාංක නායකයන් සංග්රාම භූමියන් ඉවත් කිරීම මිස වෙනත් අවශ්‍යතාවක් එයින් ඉටු කෙරුණේ නැත.
මේ අතර ඉන්දියාවේ බලපෑමට යටත් වූ ආණ්ඩුවේ දේශපාලන වුවමනාවට අනුව පළාත් සභා පූර්ණ බලතල යටතේ ක්‍රියාත්මක කිරීම හෝ බලය බෙදීමේ වෙනත් දේශපාලන විසඳුමක් සඳහා බෙදුම්වාදී බලවේග එකඟ කරගෙන නිදහස් කරගත් භූමියේ බලය සඳහා නිතරග ගිවිසුමකට යාමට ආණ්ඩුවට අවශ්‍ය විය. ඒ බව දුටු හමුදා ප්‍රධානීහු ආණ්ඩුවේ ද්‍රෝහී අරමුණට තරයේ ම විරුද්ධ වූහ. හිටපු යුද හමුදාපතිවරයාගේ මේ ප්‍රකාශය ඊට කදිම නිදසුනකි.
![]() “යුද හමුදාවේ දහස් ගණනක් වසර තිහක් තිස්සේ පැවැති සංග්‍රාමයේදී මියගියා. ඔබ අතර සිටි එවැනිම පිරිසක් තුවාල ලැබුවා සහ ආබාධිත තත්වයට පත්වුණා. සෙබළුන් ඇස්, අත්, හිස්, මස්, ලේ පරිත්‍යාගකර ලැබූ ජයග්‍රහණය විවිධ දේශපාලන කණ්ඩායම්වල වුවමනාව නිසා ගෙන එන දේශපාලන විසඳුම් කියන නාමයෙන් පාවාදීමට ඉඩ නොතැබිය යුතුයි. උතුරේ ජනතාවටත් දකුණේ ජනතාව භුක්ති විඳින අයිතිවාසිකම් ලබාදිය යුතුයි. ඔවුන්ගේ ආර්ථික කටයුතු ඉදිරියට ගෙනයාමට අවස්ථාව ලබා දිය යුතුයි. ඒක වෙනවා නම්, උතුරට වෙනම දේශපාලන විසඳුමක් අවශ්‍ය නෑ. යුද හමුදාපති වශයෙන් මගේ නම් අදහස ඒකයි.”
මුලතිව් සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී, 2009 ජූනි 19 කෙසේ වෙතත් යුද හමුදාපතිධුරයෙන් ඉවත් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කිරීම ජෙනරාල් සරත් ෆොන්සේකා සසල කළ අවස්ථාවක් වුවත් එහි දේශපාලන අරමුණ වටහාගෙන තනතුරින් ඉවත් වූ බව පසුගියදා ඔහු කළ ප්‍රකාශයකින් පැහැදිලි වේ.
“හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සිය ධුරයට සමුදුන් විට එම තනතුර පුරප්පාඩු වුණා. මේ නිසා අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා, ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා සුදුසු හා දක්ෂ නිලධාරීන් පිරිසකට තනතුරු දෙන්න. එය තමයි මෙතැන සිදු වුණේ. මා හැමදාම කී පරිදි මේ සටනේ පෙරමුණු දෙකක් තිබුණා. එක පෙරමුණක් තමයි දේශපාලන පෙරමුණ. අතිගරු ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම්තුමා ඉතා දක්ෂ ලෙස සියලූ අභියෝග ජයගනිමින් එම පෙරමුණ ජයගත්තා. ඔවුන් දුන් දේශපාලන නායකත්වය මත අප යුද පෙරමුණ ජයග්‍රහණය කළා. එක පැත්තකින් බලන විට අප කළේ ජනාධිපතිතුමාගේ චින්තනයේ තිබූ එක මෙහෙවරක් නිමා කිරීමයි. දැන් ඉතින් ඊළඟ කටයුතු සඳහා එතුමා තනතුරුවලට සුදුසු පිරිසක් පත්කරගෙන තියෙනවා.”(ජූලි 19 ඉරිදා ලක්බිම සමග කළ සංවාදයකින්)
ජානක පෙරේරාගේ ඉරණම
එසේම දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් කලක සිට පවතින විවිධ ප්‍රචාරයන් ගැන ලක්බිම මාධ්‍යවේදියා ඇසූ විට හිටපු යුද හමුදාපතිවරයා දුන් පිළිතුරෙන් පැහැදිලිවන්නේ දේශපාලන හෙට්ටුකිරීමකදී වත්මන් දේශපාලන නායකත්වය අනතුරුදායක තත්වයට පත්විය හැකි බව ජෙනරාල්වරයා හොඳින් තේරුම්ගෙන සිටින බවයි.
“දේශපාලනය යන වචනය මගේ තුන් හිතකවත් නැහැ. මට දේශපාලනය කරන්න බැහැ. දන්නෙත් නෑ. මම දේශපාලනය කරන්න ගිය දවසට මේ තියෙන දෙයත් නැති වන බව මම දන්නවා. එහෙම වුණොත් මට ජෙනරාල් ලකී අල්ගමට හා ජෙනරාල් ජානක පෙරේරාට අත් වූ ඉරණමම අත්වේවි. මම වෘත්තීය සොල්දාදුවෙක්. මම දන්නේ හමුදාව ගැන විතරයි. අතිගරු ජනාධිපතිතුමාට රජයට අවශ්‍ය වනතුරු මම රට වෙනුවෙන් මගේ දායකත්වය දෙනවා. ඊට පස්සේ නිදහසේ ගෙදර යනවා.” (එම සංවාදය)
ජූලි 15 වැනිදින නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී භාරගත් හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මුලින් ම ඉටු කළ රාජකාරී අතරින් එකක් වූයේ චීනයෙන් ගෙන්වීමට නියමිතව තිබුණු ඩොලර් කෝටි 20 ක් වටිනා අවි ආයුධ ඇණවුම අවලංගු කිරීමය. දශක තුනක් පුරා දිග් ගැසුණු යුද මෙහෙයුම් අවසන් වෙතැයි අපේක්ෂිත කාලයට පෙරාතුව නිම කිරීමට හැකි වූ බැවින් මෙම අවි ආයුධ තවදුරටත් අවශ්‍ය නොවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා සඳහන් කළේය. ආයුධ ගෙන්වීමට වෙන් කළ මුදල යුද හමුදාවේ සුබ සාධනය සහ සංවර්ධනය වෙනුවෙන් යෙදවීම ඔහුගේ අරමුණ විය.
එසේම නව තනතුර ලබාදෙන විට ඔහු වෙත පැවැරුණ වගකීම අනුව කටයුතු කිරීමට ජෙනරාල්වරයා අදහස් කළේය. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ බඳවා ගැනීම්, පුහුණුවීම්, සම්බන්ධීකරණ කටයුතු මෙන්ම නිරීක්ෂණ හා ආයුධ සැපයීමේ කටයුතුද නව තනතුර අනුව ඔහු වෙත පැවැරී ඇතැයි ද ආරක්ෂක අමාත්‍යංශයේ අංශයක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් අධ්යක්ෂවරයා කටයුතු කරණු ඇති බවද ආණ්ඩුවේ ප්‍රකාශ අනුව කියැවිණි. එහෙත් ඒ අනුව කටයුතු කිරීමේදී ඔහු ඉදිරිපත් කළ බොහෝ යෝජනා ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා විශාල හමුදා භට පිරිසක් යොදවා අත්පත් කරගත් ප්‍රදේශවල රාජකාරී සඳහා භට කණ්ඩායම් ඉතා අධික ලෙස අවශ්‍ය වන බැවින් හමුදාවට බඳවා ගැනීම් තවදුරටත් සිදු කරන්නට ඔහු සැලසුම් සකස් කළේය.
එසේම නැගෙනහිර හා දකුණු ප්‍රදේශයේ තවදුරටත් විසිරුණු ත්‍රස්තවාදී කණ්ඩායම් මැඩලීමේ අරමුණින් ඔහු ආණ්ඩුවට ඉදිරිපත් කළ “ජාතික ආරක්ෂක සැලැස්ම”ප්‍රතික්ෂේප කරණ ලදී. යුද තත්වය නිසා හානි පැමිනුණු සන්නද්ධ හමුදාවලට ආධුනිකයන් පුහුණු කොට බඳවා ගනිමින් ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ඇතිකිරීමට ගත් එම උත්සාහය ව්‍යර්ථ කෙරුණේ ආණ්ඩුවට ඉන්දියානු රජයෙන් දොස් කියනු ඇති බව සඳහන් කරමිනි. ඇත්ත වශයෙන්ම තමන් බලරහිත කර ඇති බව මේ සිදුවීම්වලින් ජෙනරාල්වරයා වටහා ගන්නට ඇත. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා ශක්තිමත්ව පැවැතීම ඉන්දියාවට මෙන්ම බලයෙන් මත්ව සිටින දේශපාලකයන්ට ද හිසරදයක්ව ඇති බව පැහැදිලිය.
මේ අතර ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලනයට එන බවට විවිධ ආරංචි පැවැතියද ජනාධිපතිවරණයකට ඔහු එතැයි යන ආරංචිය නිසා ආණ්ඩුව කලබලයට පත්ව ඇතිබව පළමුවරට හෙළිදරව් කරන ලද්දේ ද පසුගිය මැයි 03වැනිදා පළ වූ අප පුවත්පතිනි. ආරක්ෂක මෙහෙයුම් අවසන්ව නොතිබුණු ඒ කාලය වනවිටත් ඉදිරි වසරේ ජනවාරි මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ඇතැමුන් විසින් යෝජනා කර තිබිණි. ලබන වසර මැතිවරණ වසරක් බව ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.
බලය බෙදීමේ සැලසුම ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයෙන් ලබන අලූත් ජනවරමකින් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබිණි. මේ දේශපාලන විසඳුම පිළිබඳ කාරණය ද ජෙනරාල් සරත් ෆොන්සේකා සමග ආණ්ඩුවේ නායකයන් විරසක කිරීමට හේතු විය.
2006 ජනවාරියේදී එවැනි බලය බෙදීමේ විසඳුමකට ඉන්දියාව සමග රහස් ගිවිසුමකට එළැඹී තිබිණි. මින් පෙර මෙම ලිපියෙන්ම හෙළිදරව් කළ ආකාරයට ජෙනරාල් ෆොන්සේකා, විදේශ බලපෑම්වලට නතුවී බෙදුම්වාදයට කප්පම් දීමට ගත් උත්සාහයන් විවේචනය කර ඇත.
2006 ජූලි 21වැනිදා මාවිල්ආරු සොරොව්ව වසා දමමින් මෙරට ජනතාවට විරුද්ධව එල්ටීටීඊය තැබූ පියවර සන්නද්ධ මෙහෙයුමකින් ආපස්සට හැරවීමෙන් පසු සහ සන්නද්ධ ගැටුම්වලට එල්ටීටීඊ සේනාංක සූදානම් කරමින් තිබියදී ආණ්ඩුව ජිනීවා සාකච්ඡා සඳහා යාම ගැන ඔහු බලවත් විරෝධයක් දක්වා තිබිණි.
එහෙත් එම පියවර සඳහා ඉදිරියට ගොස් ආපසු සුපුරුදු පරිදි එල්ටීටීඊයේ මුරණ්ඩු මිලිටරිවාදයෙන් ජනතාව සහ සොල්දාදුවන් ජීවිතයෙන් වන්දි ගෙවන විට ආණ්ඩුවට සිය පිළිවෙත වෙනස්කරගන්නවා හැර අන්මඟක් නොවීය. යුද හමුදාවට 60 වසරක් පිරීම වෙනුවෙන් 2009 ඔක්තෝබර් 12 දින පැවැති උත්සවයේදී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මෙසේ සඳහන් කළේය.
“ශ්‍රී ලංකා හමුදාව ලෝකවාසීන් පවා මවිතයට පත් කරමින් 30 වසරක යුද්ධය අවසන් කළා. එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කළා. ඒක කළේ නිකම්ම නිකන් වාසනාව නිසා කියලා කියන්න බෑ. මෙම ජයග්‍රහණ ලබාගන්නට හමුදාව විශාල පරිත්‍යාගයන් කැපකිරීම් කළා.”
ඒ සමගම ඔහු කළ තවත් ප්‍රකාශයකින් කියැවුණේ මෙය තමන් විසින් සන්නද්ධ හමුදාව ආමන්ත්‍රණය කෙරෙන අවසන් අවස්ථාව වියහැකි බවයි. ආරක්ෂක සෙබළුන් සමග අදහස් හුවමාරු කරගැනීමට දේශපාලන නායකත්වය තමන් වෙත ලබා දෙන අවස්ථාව මෙම ප්‍රකාශය කිරීමෙන් පවා අහිමි විය හැකි බව ජෙනරාල්වරයා දැන සිටින්නට ඇත.
ආරක්ෂක සේවා සාමාජිකයන් ‘රණවිරු’ලේබලය යටතේ දේශපාලනයට ගෙන ඒම පටන් ගත්තේ වත්මන් ආණ්ඩුව විසිනි. එසේම යුද ජයග්රහණයෙන් පසුව ජෙනරාල් ෆොන්සේකා සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඔහු කොන්කරන ප්‍රතිපත්තියක් බව පැහැදිලිය. ඔහු ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් පදවියට පත් කිරීම තුළින් පෙන්නුම් කෙරෙන්නේ ‘ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී’තනතුර අමාත්‍යංශ ලේකම්ධුරයක් වැනි පූර්ණකාලීන සේවයක් ඉල්ලා සිටින තනතුරකටත් වඩා අඩු තනතුරක් බවයි.
නොඑසේ නම් එතරම් බලතල ඇතැයි කියූ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී තනතුර දරමින් සිටින අයකුට දිනපතා කාර්යාල කටයුතු සහිත නිලයක් දරන්නට ඇරැයුම් කරන අයගේ මොළය පරික්ෂා කර බැලිය යුතුය. ජෙනරාල්වරයා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්ධුරය එක්වරම ප්‍රතික්ෂේප කිරීමෙන් පිළිබිඹු වන්නේ දේශපාලන නායකත්වය හා සන්නද්ධ හමුදා ප්‍රධානින් අතර පවතින ගැටුම නොවේද?
ඇමැතිවරුන්ගේ ප්‍රකාශ
දැන් දැන් ආණ්ඩුවේ විවිධ ඇමැතිවරු කරන ප්‍රකාශ අනුව, ජෙනරාල්වරයා සම්බන්ධයෙන් පැතිර යන ආරංචිවලින් ආණ්ඩුව මහත් කලබලයකට පත්ව ඇති බව පැහැදිලි වේ. ත්‍රස්තවාදය පරදවා රට මුදාගත් යුද නායකයන් දේශපාලනයට ගෙනැවිත් ඔවුන් දේශපාලන අනාථයන් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා විසින් පසුගිය 13වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වා තිබිණි.
“දකුණු පළාත් සභාවට සන්ධානයෙන් ඉදිරිපත් කළ රණවිරුවෝ තිදෙනාම ජය ගත්තා. යුද්ධය දිනා ගැනීමට නායකත්වය දුන් රණවිරුවන් දේශපාලනයට ගෙනත් ඔවුන් දේශපාලන අනාථයන් බවට පත් කිරීමේ කුමන්ත්රනයක් තියෙනව. මේ රණවිරුවන් යුද නායක තනතුරුවලට ගෙනාවේත් ඔවුන්ට නිසි ගෞරවය ලබාදුන්නෙත් අපේ ආණ්ඩුවේ නායකත්වයයි.”
මේ ප්‍රකාශය අනුව හමුදා නායකයන් ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියට එකතුවන්නේ නම් ගැටලූවක් නොවන බව කියැවෙයි. වෙනත් පක්ෂවල අපේක්ෂකයන් වන්නට හමුදා නායකයන්ට අවසර නැත්තේ මේ රටේ ඒකාධිපති පාලනයක් පවතින නිසාදැයි කිසිවකුට ප්‍රශ්නයක් ඇති විය හැකිය.
ක්‍රියාන්විතයේ සිටියදී නම් කිසිවකුට දේශපාලනය කළ නොහැකිය. මිලිටරි බලය දෙපැත්ත කැපෙන ආයුධයක් බව දේශපාලනයේ යෙදෙන නොයෙදෙන කාටත් අමුතුවෙන් ඉගැන්විය යුතු නැත. කෙසේ වෙතත් ජෙනරල් ෆොන්සේකා විසින් ශ්‍රී ලංකාවේ සෙසු පළාත් ආවරණය කරමින් ‘ජාතික ආරක්ෂක සැලැස්ම’ඉදිරිපත් කරනවිට දේශපාලන නායකයන් එක වචනයෙන් ඇමැතිවරුන්ගේ ප්‍රතිචාර එය බැහැර කරන්නට ඇත්තේ එවැනි තේරුමකින් යැයි සිතිය නොහැකිය.
මේ ආණ්ඩුව හමුදා නායකයන්ගේ ක්‍රියාන්විත කැපවීම සහ ප්රතිරූප ඔසවා තබමින් එය නිර්ලජ්ජිත ලෙස සිය දේශපාලන වාසිය සඳහා යොදාගත් පසුබිමක මේ ඇමැති ප්‍රකාශවල ඇත්තේ ප්රජාතන්ත්රවාදී පැවැත්මකට ආණ්ඩුවට ම ඇති භීතියදැයි සැකයක් මතුවේ.
ලක්ෂමන් යාපා ඇමැතිවරයා මෙන්ම මර්වින් සිල්වා,ඩිලාන් පෙරේරා සහ සුසිල් පේ‍්‍රමජයන්ත යන ඇමැතිවරුන් සහභාගි වූ ප්රවෘත්ති සාච්ඡාවකදී ද කෙස් පැලෙන තර්ක ඇදබාමින් කරන ලද ප්‍රකාශ දැන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ. මේ නිසා ආණ්ඩුවේ බලධාරින් කලබලවී ඇති ප්‍රමාණය තේරුම්ගත හැකිය.
ජනාධිපතිවරයා වෙනුවෙන් ඕනෑම කුණුගොඩකට හොම්බ දමන වර්ගයේ පිනාචාර්යවරයා කියන ආකාරයට යෝධයන් සෙන්පතියන් කළේ ගැමුණුය. යුද්ධයට නායකත්වය දුන්නේ ගැමුණුය. ඒ නිසා ඔහු කියන්නේ මෙම ජයග්රහනවල සැබෑ ගෞරවය ගැමුණුට යායුතු බවයි. වහෙන් ඔරෝ නැතිව කෙළින් කතාකරන්නටත් මේ පිනාචාර්යවරුන්ට කොන්ද පණ නැත.
(ලංකා ඉරිදා සංග්‍රහය) |
සරත් ෆොන්සේකාට බය කවුද? – (2009.10.18 ලංකා ඉරිදා සංග්‍රහය විශේෂ හෙළිදරව්ව)
October 18, 2009 by lrrp






