Feeds:
Posts
Comments

Archive for January 10th, 2009

එල්ටීටීඊයේ හදවත ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා විසින් සිදුරු කරනු ලැබ අවසානය. කිලිනොච්චි කොටි හදවත සිදුරු කළ ඔවුන් දැන් මුලතිව් දෙසට සිය මෙහෙයුම් අරඹා තිබේ. කිලිනොච්චි අල්ලා ගැනීම එල්ටීටීඊයේ අවසානය අත ළඟ බවට සහතිකයෙකි.

කිලිනොච්චිය යනු ශී‍්‍ර ලංකාවේ දිගම මහවීදිය ඇති නගරයයි. කි.මි. 8 ක් දුරට එක දිගට විහිද යන ඒ – 9 මාර්ගය දෙපස නගරයේ කඩමණ්ඩිය හා ගොඩනැගිලි පිහිටා තිබේ.

එල්ටීටීඊයේ උසාවි පොලිස් මූලස්ථානය බැංකු සාම මහා ලේකම් කාර්යාලය, දෙමළ පුනරුත්ථාපන කාර්යාලය මෙන්ම කොටින්ගේ සුඛෝපභෝගී නිවාස සියල්ල පිහිටා ඇත්තේ මෙහිය.

නගරයේ වැසියන් කුඩා පැල්පත්වල සිටිද්දි එල්ටීටීඊ නායකයන් තුන් මහල්, සිවු මහල් මන්දිරවල සුරසැප වින්ද අයුරු දැන් ලෝකයාට හෙළිවී හමාරය. කොටින්ගේ නිරුවත දෙස් විදෙස් මාධ්‍යයන්ට විදහා පෙන්වා අවසානය.

මේ ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා ලද විශිෂ්ටතම ජයග‍්‍රහණයකි. මේ ජය ලබාගන්නට කුණාටු, වැහි, ගංවතුර නොතකා කරවටක් දියේ බැස සටන එක මොහොතක් හෝ නොනවත්වා සියලුම සේනාංකවල වීරෝදාර සෙබළු ඉදිරියට ගිය අයුරු ප‍්‍රශංසනීයය.

මේ වන විට ප‍්‍රභාකරන් තමන් පරාජයට හෙළුෑ සිය සටන් සගයන්ට දෙස් දෙවොල් තබමින් මුලතිව් ගන වනාන්තරයට පැනගොස් සිටී.

හමුදාවේ මීළඟ මෙහෙයුම මුලතිව් නගරය හා වනාන්තරය වටලා ප‍්‍රභාකරන් ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමය. ආරක්ෂක හමුදා සේනාංක 9 ක වීරෝදාර සෙබළු 50000 ක් පමණ ඊට සැදී පැහැදී මුලතිව් වටකරගෙන සිටිති.

සියලුම සේනාංකවල සෙබළුන් සිය සටන කරගෙන යන්නේ බොහෝවිට මහා වනාන්තරයේ ගස් යට නිදි නොලැබ මදුරුවන් තල තලා රාති‍්‍රය ගතකරමින්ය. සේනාංකාධිපති වරුන්, බලසේනාධිපතිවරුන් ද ටකරන් මඩු යට හිඳිමින් බොහෝවිට අව්ව වැස්ස නොතකා සෙබළුන් සමඟ උරෙනුර ගැටි ඉදිරියට යන්නේ සිය ජීවිතයේ සියලු සුඛවිහරණයන් අත්හැර දමමිනි.

මෙසේ ඉදිරියට ගිය ද සෙබළුන්ගේ චිත්ත ධෛර්යය බිඳුවක් හෝ අඩුවී නැති බව හොඳින්ම පැහැදිලි වූයේ කිලිනොච්චි සටන ජයග‍්‍රහණය කළ සෙබළුන් මාධ්‍යයට කතා කළ ආකාරය දුටු විටය.

කිලිනොච්චිය උතුරු දෙසින් යටත් කරගත් 58 වන සේනාංකයේ සෙබළු පරන්තන් දෙසින් උතුරට යමින් අලිමංකඩ දෙසට පිය නැගූහ. 57 සේනාංකය කිලිනොච්චිය මැදින් නැඟෙනහිර දෙසින් මුලතිව් වනාන්තරය දෙසට මෙහෙයුම් සිදුකළේ කිලිනොච්චියේ සෝදිසි මෙහෙයුම් කෙරෙන අතරතුරදීය.

නාත්තිකන්ඩාල් කලපුව

මේ අතර කිලිනොච්චි මුලතිව් වනාන්තර පෙදෙසට දකුණු දෙසින් පසුගිය සතියක නැදුන්කර්නි අල්ලාගත් 4 වන කාර්ය සාධක බළකාය තවත් උතුරට යමින් ඔඩ්ඩුසුඩාන් නගරය අල්ලා ගත්හ. දින තුනක සටනකින් පසු ඔවුන් ඔඩ්ඩුසුඩාන් අල්ලාගත්තේ එල්ටීටීඊයට බරපතළ හානි සිදුකරමිනි.

මුලතිව් මාන්කුලම් ඒ – 34 මාර්ගයේ පිහිටි ඔඩ්ඩුසුඩාන් එල්ටීටීඊයේ තවත් පරිපාලන හා සැපයුම් මාර්ගයකි. ඔඩ්ඩුසුඩාන් මුලතිව් පුදුකුඩුඉරුප්පු මාන්කුලම් හා නැදුන්කර්නි ප‍්‍රදේශවලට පිවිසුම් මාර්ගයකි.

ඔඩ්ඩුසුඩාන් අත්පත් කරගැනීම සඳහා දකුණු දෙසින් මෙහෙයුම් දියත් කළේ කර්නල් නිශාන්ත වන්නි ආරච්චිගේ 4 වන කාර්ය සාධක හමුදාවයි.

දින කීපයක දරුණු සටන් මැද ඉදිරියට ගිය 4 වන කාර්ය සාධක හමුදාවේ 642 බළසේනාව මාන්කුලම් මුලතිව් ඒ – 34 මාර්ගයේ ඉතා වැදගත් උපක‍්‍රමික සංධිස්ථානයක් වන ඔඩ්ඩුසුඩාන් මංසන්ධිය අල්ලා ගැනීම එල්ටීටීඊයට මරු පහරකි.

ඔඩ්ඩුසුඩාන් අල්ලා ගැනීමෙන් පසු මාන්කුලම් සිට ඔඩ්ඩුසුඩාන් දක්වා ඒ – 34 මාර්ගයේ සම්පූර්ණ පාලනය ආරක්ෂක හමුදා සතුවිය.

එසේ ඔඩ්ඩුසුඩාන් අල්ලාගත් 4 කාර්ය සාධක හමුදාවේ එක් බළසේනාවක් එතැන් සිට ඊසානදිගට මුල්ලියාවේලි දෙසට මෙහෙයුම් කරගෙන ගියේ මුලතිව් මහ බලකොටුව වෙත ළංවෙමිනි. 4 කාර්ය සාධක හමුදාවේ තවත් බළ සේනාවක් ඔඩ්ඩුසුඩාන් සිට ඕලුමඩු නැගෙනහිර දක්වා මෙහෙයුම් කරයි.

කෙසේ වෙතත් මේ වන විට හමුදා සේනාංක හයක්ම මුලතිව් වටකොට ප‍්‍රහාර එල්ල කරමින් ඉදිරියට යති.

59 වන සේනාංකය මුලතිව් නගරයට පිවිසීමට පටන්ගත්තේ වැලිඔය සිට ඉහළට මෙහෙයුම් සිදු කරමිනි. ඔවුන් දැන් මුලතිව් බටහිර හා නිරිතදිග සිට මුලතිව් නගරයට සේන්දු වන්නේ ඉදිරියෙන් ඇති එල්ටීටීඊ බළකොටු හා බංකර් බිඳ දමමිනි. මේ වන විට 59 සේනාංකයේ බළසේනා මුලතිව් නත්තිතණ්ඩාල කළපුව බටහිර ඉවුරේ සිට ප‍්‍රහාර එල්ල කරති. මුලතිව් වට්ටපලෙයි බටහිර පස් බැමි තුනක් ද කඩා බිඳ දමමින් ඉදිරියට ගියේ 593 බළසේනාවේ 7 වන ගැමුණු හේවා බලකායයි. එහිදී කොටි සැපයුම් හා ආහාර ගබඩාවක් ද හමුදා යටතට පත්විය.

බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත මෙහෙයවන 59 වන සේනාංකය මුලතිව් බටහිර පිහිටි නාත්තිකන්ඩාල් කලපුවේ බටහිර ඉවුර අල්ලා ගෙන දරුණු සටනක යෙදී සිටී. ඔවුන් එහි සුප‍්‍රසිද්ධ වත‍්‍රපලෙයි අම්මාන් කෝවිල සියතට ගෙන ඉදිරියට මෙහෙයුම් කරගෙන යනු ලැබේ.

බි‍්‍රගේඩියර් සත්‍යපි‍්‍රය ලියනගේ මෙහෙයවන 3 වන කාර්ය සාධක හමුදාව ද ඕලුමඩු නැගෙනහිර සිට උතුරට මෙහෙයුම් සිදුකරමින් මුලතිව් වනාන්තරයට පිවිසීමට සූදානමින් සිටී.

ඉන් අනතුරුව පරන්තන් ඔස්සේ උතුරටත් නැගෙනහිර දෙසටත් බෙදී ගමන් කරන්නට පටන්ගත්තේය.

ඔවුන් ගෙන් එක් බළසේනාවක් පරන්තන් සිට ඒ – 9 මාර්ගය ඔස්සේ උතුරට මෙහෙයුම් දියත් කළේ අලිමංකඩ අල්ලා ගැනීමටය. මෙහෙයුම සාර්ථක විය. කොටින් මීට පෙර හමුදාවට එල්ල කළ කාලතුවක්කු ප‍්‍රහාර අඩුවී තිබිණි. ඊට හේතු වන්නේ ඔවුන්ට කාලතුවක්කු උණ්ඩ හිඟවීම බව හමුදා බුද්ධි අංශ පවසයි.

මේ අතර කිලිනොච්චි නැගෙනහිර දෙස මෙහෙයුම් සිදුකරන 58 සේනාංකය මුරුසමඩෙයි අල්ලා ගත්තේය. මුරුසමඩෙයි පිහිටා ඇත්තේ පරන්තන් සිට කි.මී. 5 ක් නැඟෙනහිර දෙසට වන්නටය. මේ ප‍්‍රදේශයේ දින කීපයක් පුරා දරුණු ගැටුම් පවතී. මුලතිව් ආරක්ෂා කරගැනීම සඳහා එල්ටීටීඊ සටන්කරුවෝ දැඩි වෙහෙසක් ගනිති. මරඋගුල් බිම්බෝම්බ පමණක් නොව විවිධ උපක‍්‍රමශීලී බාධක ඔවුන් අටවා ඇත. ඒවා පසු කරමින් අභියෝග ජයගනිමින් හමුදාව ඉදිරියට යයි.

මේ අතර බි‍්‍රගේඩියර් කමල් ගුණරත්නගේ 53 වන සේනාංකය බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ 55 සේනාංකය මුහමාලේ කොටින්ගේ 3 වන ආරක්ෂක වැට බිඳ දමමින් ඉදිරියට එන්නට පටන්ගත්තේ 6 වැනිදාය. එදින වන විට මීටර් 600 ක් ඉදිරියටවිත් එල්ටීටීඊයේ තුන්වන ආරක්ෂක වළල්ල අත්පත් කරගෙන සිටි සේනාංක දෙකටම නොනවත්වා සටන්වලට මුහුණ දෙන්නට සිදුවිය.

බ‍්‍රහස්පතින්දා වන විට පලෙයි නගරයට කි.මී. 1 ක් පමණ නුදුරින් සිටි ආරක්ෂක හමුදා අතින් එල්ටීටීඊයට දරුණු හානි සිදුවී තිබිණ. හමුදාවන්ට මුහුණ දිය නොහැකිව එල්ටීටීඊ ත‍්‍රස්තයෝ පලා ගියහ.

53 හා 55 සේනාංක දෙකම ශක්තිමත් එල්ටීටීඊ කඳවුරු 9 ක් අල්ලා ගත්හ. 55 වන සේනාංකය විසින් ‘පී 7 බේස්’, ‘එකෝ 9 බේස්’ කඳවුරු දෙක ඇතුළු ශක්තිමත් එල්ටීටීඊ කඳවුරු 6 ක් අල්ලාගන්නා ලදී. පැය 8 කට වඩා වැඩි කාලයක් එක දිගට සටන් කළ ඔවුන්ට කිලෝමීටර් 8 ක් දිගු ‘යුනිෆෝම් ලයින්’ නම්වූ යුද අගල අල්ලාගත හැකිවිය. 55 වන සේනාංකය කොටින්ගේ ‘සියාරා 2 හා ජී 2 කඳවුරු දෙක ද අල්ලා ගත්තේ දරුණු සටන් මැදය.

මෙසේ තවත් ඉදිරියට ගිය 53 සේනාංක බ‍්‍රහස්පතින්දා උදෑසන වන විට පලෙයි ප‍්‍රදේශයට සේන්දු වූහ. පලෙයි එල්ටීටීඊයේ තවත් වැදගත් මර්මස්ථානයකි. මුහමාලේ හා කිලාලි සිට දකුණු දෙසට එද්දී හමුවන විශාලම එල්ටීටීඊ බළකොටුවකි.

බ‍්‍රහස්පතින්දා උදෑසන දරුණු සටන් මැද ඉදිරියට ආ 53 හා 55 සේනාංකවලට මුළු පලෙයි ප‍්‍රදේශයම අල්ලාගත හැකිවිය. එතැන් සිට අලිමංකඩට ඇත්තේ තවත් කි.මී. 14 කි. පලෙයි අල්ලාගත් හමුදා අලිමංකඩ බලා ඉදිරියට ඇදෙන්නේ සතුරු බළකොටු එකින් එක බිඳ දමමිනි.

පලෙයි අල්ලාගන්නට කළ සටනේදී ඉදිරියෙන්ම ආයේ 53 සේනාංකයේ 1 වන විජයබා, 5 ගැමුණු හා 1 ගජබා රෙජිමේන්තුය. පලෙයි අත්පත් කරගත් ආරක්ෂක හමුදා ඊළඟට ඇති ප‍්‍රධාන කොටි මර්මස්ථානය වන සොරන්පත්තු ප‍්‍රදේශය බලා ගමන් අරඹා තිබේ. පලෙයි පිහිටා ඇත්තේ මහනුවර යාපනය මාර්ගයේ මහනුවර සිට කි.මී. 280 ක් උතුරිනි.

පලෙයි අල්ලා ගැනීමේ සටනේදී ශී‍්‍ර ලංකා හමුදාවන්ට දරුණු ප‍්‍රහාර එල්ල වූ අතර ඔවුන්ට මර උගුල් හා බිම්බෝම්බ මැදින් ඉදිරියට යාමට සිදුවිය. පලෙයි සටනේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් වූයේ ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාවට විශේෂිත වූ රණවිරුවකු සිය ජීවිතය රට වෙනුවෙන් පිදීමය.

ඒ 5 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නලින්ද කුමාරසිංහ රණවිරුවාය. ඔහු මියගියේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් අටවා තිබු මර උගුලකට හසුවීමෙනි. පලෙයි සිට දකුණට මෙහෙයුම් කරන හමුදා මෙය ලියන මොහොත වන විට ඒ – 9 මාර්ගයේ සම්පූර්ණ පාලනය සියතට ගෙන අලිමංකඩ මුළුමනින්ම අත්පත් කරගැනීමට සූදානම්ව සිටිති.

ඉදිරි පැය කීපය ඇතුළත අලිමංකඩ දකුණේ කඳවුරු බැඳ සිටින 58 සේනාංකය හා ඒ – 9 මාර්ගය ඔස්සේ දකුණට පලෙයි සිට එන 53 වන සේනාංකය එකට එකතු විය හැකි බව හමුදා ආරංචි මාර්ගවලින් පැවැසේ. පලෙයි නගරය මුහමාලේ නගරයට දකුණේ පිහිටි විශාලම නගරයයි.

55 හා 53 වන සේනාංක එකතුව ඒ – 9 මාර්ගය මුළුමනින්ම අත්පත් කරගැනීම ඓතිහාසික ජයග‍්‍රහණයක් වනු ඇත. එමෙන් ම එය ආරක්ෂක හමුදාවන්ට විශාල අස්වැසිල්ලක් ද වනු ඇත.

ඔවුන්ගේ ඊළඟ ඉලක්කය අලිමංකඩට පැමිණ 58 වන සේනාංකය හමුවීමයි. ඒ වන විට යාපනය අර්ධද්වීපය මුළුමනින්ම එල්ටීටීඊයෙන් මුදා ගැනේ.

මුහමාලේ දෙසින් පලෙයි පසුකරමින් දකුණු දෙසට ආ 53 වන සේනාංකය 1 විජයබා රෙජිමේන්තුවත් 2 ගජබා රෙජිමේන්තුවත් සිකුරාදා උදෑසන අලිමංකඩ ප‍්‍රදේශය මුළුමනින්ම මුදාගත්හ.

ඒ9 මාර්ගය මුළුමනින්ම මුදාගත්තේ වසර 19 කට පසුවයි. යුද හමුදාව මඟින් මෙතෙක් කොටි සංවිධානය අත්පත් කරගත්ඒ9 මාර්ගය මුළුමනින්ම සිය අණසකට පත්කරගෙන තිබේ. අලිමංකඩ කඳවුර උතුරු පළාතේ පිහිටා තිබු ඉතා වැදගත් හමුදා කඳවුරකි.

අලිමංකඩ යනු දිවයිනේ විශාලම ලුණු ලේවාය තිබු ප‍්‍රදේශයයි. එය යාපනය අර්ධද්වීපයට පිවිසෙන දොරටුවයි. දශක දෙකහමාරක් වූ සිවිල් යුද්ධයේදී නිතර නිතර යුද භූමියක් වූ මෙය වරින්වර එල්ටීටීඊය අතටත් ආරක්ෂක හමුදා අතටත් පත්විය.

අලිමංකඩ යුද කඳවුරෙන් මුළු යාපනය අර්ධද්වීපයම කලක් පාලනය විය. අලිමංකඩ යාපනයට යාවෙන්නේ හමුදාමය වශයෙන් තවත් වැදගත් නගරයක් වන චාවාකච්චේරියටය.

අලිමංකඩ උපායමාර්ගික ප‍්‍රසිද්ධ යුද කඳවුරක් වූයේ අද ඊයේ මේ සිවිල් යුද්ධය සමයේ නොවේ’ එය කි‍්‍ර.ව. 1760 තරම් ඈතට දිවයන කතාවකි. 1760 දී මුලින්ම පෘතුගීසින් මෙහි යුද කඳවුරක් පිහිටවූයේ ඉන්දියානු සාගරයේ මෙන්ම රට තුළ ද සිය බලය පැතිරවීමට මෙය අගනා ස්ථානයක් වන හෙයිනි. පෘතුගිසින්ගෙන් පසු ලන්දේසිහු හා ඉංගී‍්‍රසිහු ද ඒ යුද කඳවුර එසේ ම පාලනය කළහ.

ශී‍්‍ර ලංකා හමුදාව මඟින් අලිමංකඩ යුද කඳවුර පිහිටවූයේ 1952 දීය. එය 2000 දක්වාම ශී‍්‍ර ලංකා යුද හමුදාව පාලනය යටතේ පැවැතිණි.

1991 දී අලිමංකඩ කඳවුර අල්ලාගන්නට එල්ටීටීඊය දින 35 ක් තිස්සේ සටන් කළේය. ඔවුන් එදා බුල්ඩෝසරයක පුපුරණ ද්‍රව්‍ය පුරවා කඳවුරට එවද්දී ඉදිරියට ගොස් අත්බෝම්බයක් ගෙන ඊට පැන එය පුපුරුවා කඳවුර බේරාගත්තේ හසලක ගාමිණි කුලරත්න නම් වූ රණවිරුවාය. ඒ බුල්ඩෝසරය අදටත් සිහිවටනයක් ලෙස ඒ ස්ථානයේ තිබෙනු දැකිය හැකිය.

අලිමංකඩ අවසන් වරට ශී‍්‍ර ලංකා හමුදාවට නැතිවුණේ 2000 අපේ‍්‍රල් මස 22 දාය.

මේ වන විට අලිමංකඩ අල්ලාගත් රණවිරුවෝ එහි බලය තහවුරු කොට නැගෙනහිර දෙසට මෙහෙයුම් සිදුකරති.

ප‍්‍රදේශය හැරදා තමන් වෙතින් පලායන්නන් ද්‍රෝහීන් ලෙස හඳුන්වන එල්ටීටීඊය ඔවුන්ට මරණ දඬුවම දෙන බවට තර්ජනය කොට තිබෙන බව ආරක්ෂක වෙබ් අඩවිය වාර්තා කරයි.

‘ද්‍රෝහීන්ට දඬුවම’ මැයෙන් බැනර් එල්ලා පොන්නම්බලම් රෝහල අසල මරා දැමු සිවිල් වැසියන් තිදෙනකුගේ මළසිරුරු ප‍්‍රදර්ශනය කොට තිබේ. මේ වන විට බොහෝ පිරිස් එල්ටීටීඊ ප‍්‍රදේශවලින් පලාගොස් වවුනියා හා වැලිඔය අවතැන්වූවන්ගේ කඳවුරුවල පිහිට පතා සිටිති.

පසුගිය 6 වැනිදා එසේ පලා ආ පිරිස් අතුරින් වැඩිම පිරිස වන 140 දෙනෙක් වවුනියාවට ආ බව වවුනියා දිසා ලේකම් චාර්ල්ස් මහත්මිය පවසයි.

මෙසේ පැන යන පිරිස්වලට මරණ දඬුවම ලබාදීමට වෙනමම කණ්ඩායමක් එල්ටීටීඊ නායකයින් පත්කොට ඇතැයි වාර්තා වෙයි.

එල්ටීටීඊය විරෝධය පෑ සිවිල් වැසියන් හා එල්ටීටීඊ කි‍්‍රයාකාරීන් අතරේ ගැටුම් කීපයක් ද ඇතිවූ බව හෙළිවූයේ ද මුදාගත් ප‍්‍රදේශවලට පැමිණි පුද්ගලයින් ගෙනි.

කිලිනොච්චි හා මුලතිව් දිස්ති‍්‍රක්කවල මුදා නොගත් ප‍්‍රදේශවල මෙසේ එල්ටීටීඊ තර්ජනවලට මුහුණදී සිටින ජනතාව එල්ටීටීඊයට එරෙහිව මුදාගත් ප‍්‍රදේශවලට බලෙන් ඒමට පටන්ගෙන ඇත. කොතරම් විරෝධතා පැන නැගුණ ද මුලතිව් පුදුකුඩුඉරිප්පු හා විශ්වමඩු ප‍්‍රදේශවල ජනතාව ඒ විරෝධතා නොතකා වවුනියාවට හා වැලිඔයට ඒ මේ ප‍්‍රවණතාවය වැඩිවී තිබේ.

මෙසේ තමන්ට එරෙහිව යන පුද්ගලයින්ට එල්ටීටීඊය පහර දෙන්නේ පුද්ගලයින්ගේ වයස ගැන හෝ නොබලාය. වැඩිමහලු කාන්තාවන් හා පිරිමින්ට ද ඔවුන්ගේ පහරදීම පොදුය.

එල්ටීටීඊය මේ වන විට පහර දී හෝ ඝාතනය කොට හෝ සිවිල් වැසියන් තමන් වෙත රඳවා ගන්නට උත්සාහ කරන්නේ ආරක්ෂක හමුදා වෙතින් තමන් පරාජය ලැබීම ඒකාන්ත බව දන්නා නිසාය.

ප‍්‍රභාකරන් මුලතිව් වනාන්තරයේ අඩි 30 ක් යට සුඛෝපභෝගී බංකරයක සැඟවී සිටින බව එක්තරා ඉන්දියානු පුවත්පතක පළවී තිබිණ. ඒ පුවත්පතේ සඳහන් කරන පරිදි අසනීපයෙන් පසුවන ප‍්‍රභාකරන් සියලු අණ නිකුත් කරන්නේ ඒ බංකරයේ සිටය. එහෙත් ඔහුට ගැලවීමක් ඇතැයි සිතිය නොහැකිය.

රජය දෙවන වරටත් පසුගිය 7 වැනිදා සිට එල්ටීටීඊය තහනම් කළේය. 1998 දී දළදා මැදුරට කොටි ප‍්‍රහාරයක් එල්ල කළ විගස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය මගින් එල්ටීටීඊය තහනම් සංවිධානයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ ද 2002 දී සටන් විරාම ගිවිසුම අත්සන් කළ විගස රනිල් වික‍්‍රමසිංහ රජය එල්ටීටීඊ තහනම ඉවත් කළේය.

කොටි අන්තර්ජාතික වශයෙන් ශක්තිමත් ප‍්‍රතිරූපයක් ගොඩනගාගන්නට වූයේ එතැන් සිටයි.

කෙසේ වෙතත් 2002 සිට සටන් විරාම ගිවිසුම හරහා කොටි සංවිධානය ශක්තිමත් විය. ආයුධ ගෙන්වා ගත්හ. රාජ්‍ය නොවන අන්තර්ජාතික සංවිධාන හරහා සිය බංකර් තනවා ගත්හ. ඔවුන් ඒ සමයේ ශක්තිමත් වූ අයුරු කිලිනොච්චි යටත් කරගත් පසුව දකින්නට ලැබිණ. කොටි නායකයෝ එහි මහා මන්දිරවල සුරසැප වින්දාහ.

මේ වන විට පැති හතරකින්ම කොටුවී මුලතිව් බලකොටුවට වී සිටින ප‍්‍රභාකරන් හා සගයින්ගේ ඉරණම කෙසේ විසඳේදැයි කාට කිව හැකි ද?

කෙසේ හෝ මුලතිව් කොටි සිහින රාජ්‍යය බිඳ වැටීම ද ඉතා නුදුරේ සිදුවනු ඇත.

Read Full Post »

කිලිනොච්චි ජයග‍්‍රහණය සහ ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමේ සටන පිළිබඳ මේ ජයග‍්‍රාහී මොහොතේ ඔබතුමාගේ අදහස කුමක්ද?

අප මේ මෙහෙයුම ආරම්භ කළේ අතිගරු ජනාධිපතිතුමාගේත්, රජයේත් නියෝගය පරිදියි. මාවිල්ආරු සොරොව්ව වසා අහිංසක ජනතාවට දියපොදක් නොදී අසරණ කළ අවස්ථාවේ එය මුදාගෙන එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණයේ සිටි අහිංසක ජනතාවට නිදහස ලබාදීම අපගේ මූලික වගකීම බවට පත්වුණා.

මේ අනුව 2007 වසරේ මාර්තු මාසයේ නැඟෙනහිර මුදා ගැනීමේ මෙහෙයුම ඇරඹුවා. වසරක කාලයකදී නැඟෙනහිර මුළුමනින්ම මුදවා සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත්වීමේ අවස්ථාව උදාකරදීමට හැකිවුණා.

නැඟෙනහිර මුදා ගැනීමට සාපේක්ෂව උතුර මුදාගැනීමේ මෙහෙයුම් අප ඇරඹුවේ නැඟෙනහිර පමණක් මුදාගැනීම අර්ථාන්විත නොවන නිසයි.

2007 මාර්තු මාසයේ 57 වන සේනාංකය උතුර මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේ ඒ අදහසිනුයි. විශේෂ කාර්ය බළකා පළමු බළසේනාව සටනට එක්වන්නේත් 2007 වසරේදීමයි.

2008 වසරේ ජනවාරි වැලිඔය සිට 59 බළසේනාව මෙහෙයවමින් අප වන්නි මෙහෙයුම තව තවත් ශක්තිමත් කළා. වසරක කාලයකදී නැඟෙනහිර මුදාගත්ත ද වන්නි මෙහෙයුමට දැනට වසර 2 කුත් මාස 4 ක් ගතවී තිබෙනවා. නමුත් ගතවූ කාලයේ දී අප ලත් ජයග‍්‍රහණ ඉතාමත් ඉහළයි.

මේ වනවිට සිහින ඊළාම් රාජ්‍යයෙන් 95% ක භූමි ප‍්‍රදේශයක් රජයේ පාලන ප‍්‍රදේශයට එක්කිරීමට අප සමත්වී තිබෙනවා. අද එල්.ටී.ටී.ඊ.යට ඉතිරිවී තිබෙන්නේ වර්ග කිලෝමීටර් 35 ක පමණ භූමි ප‍්‍රදේශයක්. එයිනුත් තුනෙන් එකක (1/3) පමණ බිම් ප‍්‍රදේශයක පවතින්නේ මුහුදු තීරය. ඔවුන්ට ඉතිරිවී තිබෙන්නේ තොප්පිගලටත් වඩා කුඩා ප‍්‍රදේශයක්.

මේ කුඩා ප‍්‍රදේශයට අපි ප‍්‍රභාකරන්ගේ හමුදාව කොටුකර තිබෙනවා. එල්.ටී.ටී.ඊ.ය සතුව කිලිනොච්චියේ පැවැති, බැංකු, උසාවි, රෝහල්, පොලිසිය මේ සියල්ල ඔවුන්ට අහිමිවුණා. ටී.ආර්.ඕ. (ඊ.අ.ර්‍ණ) දෙමළ පුනරුත්ථාපන සංවිධානය නමින් ත‍්‍රස්තවාදයට ආධාර එකතු කළ සංවිධාන කාර්යාලය මේ සියල්ල ඔවුනට අහිමිවෙලා.

ත‍්‍රස්තවාදී සංවිධානයකට යුද හමුදාවක් තිබීම පිළිගත හැකිද?

මා එය ප‍්‍රභාකරන්ගේ හමුදාව ලෙස හැඳින්වූයේ ඒ නිසයි. ඔවුන් විවිධ නම්වලින් ලුතිනන්, කර්නල්, ජනරාල්, ආදී වශයෙන් නිලතල බෙදාගනිමින් නිල හමුදාවක තත්ත්වයක් ආරූඪ කරගෙනයි හිටියේ.

නමුත් අද අපි ඔවුන් කැලෑවට පලවා හැර තිබෙනවා. ප‍්‍රභාකරන් දැන් මුලතිව් ප‍්‍රදේශයේ කොතැනකහරි පොළොව ඇතුලේ බංකරයක සැඟවී සිටින්නේ. විශ්වමඩු, පුංකුඩුයිප්පු වගේ කුඩා ප‍්‍රදේශයක් ඔවුන්ට ඉතිරි වී තිබෙන්නේ. අලිමංකඩ ප‍්‍රදේශයේ කළපුවට දකුණින් ඇති ප‍්‍රදේශයක් පසුගියදා අපි අත්පත් කරගත්තා. එයින් එල්.ටී.ටී.ඊ. ප‍්‍රධාන සැපයුම් මාර්ගයත් වසා දැමීමට අපි සමත්වුණා.

දැන් මුහමලේ ප‍්‍රදේශයේ ඉන්න ත‍්‍රස්තවාදීන් මුලතිවු ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පවත්වන්නේ මුහුදු තීරය ආශ‍්‍රිතවයි. ඔවුනට ගොඩබිමින් සම්බන්ධවීමේ අවස්ථාව ඇහිරී තිබෙන්නේ.

නැඟෙනහිර මානුෂීය මෙහෙයුම ආරම්භ වූ විට ඇතැමුන් පැවසුවේ මෙය රජයේ වගේම සරත් ෆොන්සේකාගේ සිහිනයක් බවයි. නමුත් එය සාර්ථක කරගැනීමට හැකිවුණා. ඒ වගේම අපගේ යුද ඉතිහාසයේ විවිධ නම්වලින් යුත් මෙහෙයුම් දියත් වී තිබෙනවා.

නමුත් මෙවර නැඟෙනහිරින් ආරම්භ වූ මෙහෙයුම නැඟෙනහිර මානුෂීය මෙහෙයුම වූවා වගේම වන්නිය මුදා ගැනීමේ මෙහෙයුම හැඳින්වෙන්නේ වන්නි මානුෂීය මෙහෙයුම නමින්. මේ මෙහෙයුම්වල වෙනස කුමක්ද?

නැඟෙනහිර සියලු ජනකොටස් (සිංහල, දෙමළ, මුස්ලිම්) ජීවත් වන ප‍්‍රදේශයක්. ඒ වගේම එම ප‍්‍රදේශයේ රජයේ පාලන ප‍්‍රදේශ සැලකිය යුතු ප‍්‍රමාණයක් ඉතිරිවී තිබුණා. ඒ හේතුවෙන් ප‍්‍රහාර එල්ල කිරීමේදී යම්කිසි පහසුවක් තිබුණා. උදාහරණයක් විදිහට වාකරේ මුදාගැනීමේදී තුන් පැත්තකින් ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබුණා. තොප්පිගල අල්ලා ගැනීම සඳහා අප හතර පැත්තකින් ප‍්‍රහාර එල්ල කලා.

නැඟෙනහිර ගැටුම්වලින් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් 2000 ක් පමණ මියගියා. ඒ වගේම ඔවුන් සතුව පැවැති අවි ආයුධ විශාල ප‍්‍රමාණයක් අප සතුවුණා.

නැඟෙනහිර යුද්ධයේ දී අපට උපරිම වශයෙන් යුද බිමට යා යුතුව තිබුණේ කිලෝමීටර් 20ක පමණ ප‍්‍රදේශයක්. එහෙත් උතුරේ යුද්ධය ඊට වෙනස් කිලෝමීටර් 80 ක් තරම් බිම්බෝම්බ අතුරපු ගන කැලෑවලටයි අපි ඇතුළු වුණේ.

ඔබ කියූ ආකාරයට නැඟෙනහිර යුද්ධයෙන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 2000 ක් පමණ මිය ගිය බව. මෙම වන්නි මානුෂීය මෙහෙයුම්වලින් එල්.ටී.ටී.ඊ.යේ කොපමණ සංඛ්‍යාවක් මිය ගියාද තවත් කොපමණ පිරිසක් ඉතිරිවී සිටිනවාද?

2008 වසරේදී පමණක් ත‍්‍රස්තවාදීන් 8000 ක් පමණ මියගිය බවට වාර්තා පවතිනවා. ඉන් 4000 ක පමණ නම් පවා හෙළි වී තිබෙනවා. මේ සමස්ත මානුෂීය මෙහෙයුම් කි‍්‍රයාවලියේ දී මිය ගිය සම්පූර්ණ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ගණන 13000 පමණ වෙනවා. මෙසේ මරණයට පත්වන අතරේම බලෙන් බඳවා ගැනීම දිගින් දිගටම සිදුවෙනවා. අපගේ තක්සේරුවලට අනුව තවත් ඉතිරිවී ඇත්තේ 1700 ක පමණ පිරිසක් පමණයි.

මුහමලේ ප‍්‍රදේශයේ 700 ක පමණ පිරිසක් ඉන්නවා. වැලිඔය ප‍්‍රදේශයේ 100 ක පමණ පිරිසක් වගේම ප‍්‍රභාකරන් ජීවත්වන ප‍්‍රදේශය ආශ‍්‍රිතව 200 ක පමණ පිරිසක් ඉන්න බවට අප හඳුනාගෙන තිබෙනවා.

මේ වනවිට යුද උපක‍්‍රමයක් ලෙසින් එල්.ටී.ටී.ඊ. සැපයුම් මාර්ග විශාල වශයෙන් වසා දමා තිබෙනවා. 1505 දී පරංගි හමුදාව කොළඹ කොටුවට සිරකර තැබූ අන්දම අපට සිහිපත් වෙනවා. ඒ වගේම යුද උපක‍්‍රමයක් ලෙස එය වඩාත් සාර්ථක වී ඇති බවක් පෙනී යනවා.

යුද උපක‍්‍රම සාර්ථක නොවුනා නම් අපට මෙවැනි දුරක් එන්නට ලැබෙන්නේ නෑ. බොහෝ අය කතා කරන්නේ අපේ සාර්ථකත්වය පිළිබඳ නෙමෙයි වැරැදි ගැනයි. යුද හමුදා මූලස්ථානයට පහරදීම වගේ දේවල් උලුප්පා දක්වන්න වෙහෙසෙනවා.

අප ඇරැඹු යුද්ධයේ අරමුණ වූයේ 12000 ක් පමණ වූ ත‍්‍රස්තවාදීන් විනාශ කර දැමීමයි. ත‍්‍රස්තවාදීන් නැති කරමින් යන සටනේදී අපිට භූමිය මුදාගැනීමට හැකිවුණා. ආරම්භයේ 12000 තරම් වූ ඒ ත‍්‍රස්තවාදී පිරිස දැන් 1700 ක් බවට පත්වෙලා තියෙනවා.

ඒ මඟින්ම අපගේ ජයග‍්‍රහණය තහවුරු වෙනවා. ඒ වගේම හමුදාවක් විදිහට අපි විශාල වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. අමතර බළසේනා එකක් පමණක් තිබු හමුදාවට එවැනි බළසේනා 17 ක් පමණ අලුතින් එක්වුණා. සෙබළු දහස් ගණනක් අලුතින් එක්වී තිබෙනවා.

ගෙවීගිය තිස් වසරක ඊළාම් යුද්ධයේදී එල්ටීටීඊය ඉතා මැනැවින් ප‍්‍රතිරූපය ශක්තිමත් කරගැනීමක නිරත වුණා. එය දේශීය වගේම අන්තර්ජාතිකව දියත් කළ ව්‍යාපාරයක්.

ත‍්‍රස්තවාදයට බොහෝ දෙනෙක් බිය වුණා. ඒ නිසයි සටන් විරාමයේ සුදු කොඩිය ඔසවන්න එක්වුණේ. එය නිවට බියගුලු පිළිවෙතක් බව අප හෙළිකර දී අවසන්.

ත‍්‍රස්තවාදින් ඔවුන් දිනාගත් යුදමය ජයග‍්‍රහණ හේතුවෙන් විශාල ප‍්‍රතිරූපයක් ගොඩනඟාගෙන තිබුණා. මීට සහාය දුන් දෙමළ ජනතාව හුදු මෝඩ ජනතාවක් නොවෙයි. දිගුකාලීන සැලැසුමකට අනුවයි එය සිදුවුණේ. ඔවුන් ඊළාම් රාජ්‍ය ගොඩනගන්න ඉතා දිගු කලක සිට පිඹුරුපත් ඇන්දා. යුදමය ජයග‍්‍රහණත් සමඟ එල්ටීටීඊයට ඔවුන්ගේ ජනතාව තුළ දැවැන්ත ප‍්‍රතිරූපයන් ගොඩනගාගැනීමට හැකිවුණා.

මෙයට බියෙන් ලබා දුන් සටන් විරාම කාලයෙහිදී ඔවුන් පෙර නොවූ විරූ අන්දමින් ශක්තිමත් වුණා. ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙසින් යුදමය ශක්තිය වගේ ම මතවාද ශක්තිය පවතින තාක් ඔවුන් බලවත්.

සටන් විරාමය ඇති කිරීමෙන් ඔවුන් වඩාත් ශක්තිමත් වුණා. යුදමය ශක්තිය ඉතිරිව තිබියදී ත‍්‍රස්තවාදී සංවිධානයක් මතවාදීව පරාජය කිරීම කිසිසේත් කළ නොහැකියි.

සටන් විරාමය කාලයේදී පමණක් එල්ටීටීඊයට 3000 ක පිරිසක් එක්වී තිබෙනවා. ඔවුන්ට සටන් විරාමයට කලින් තිබුණේ හමුදාවෙන් ගත් මිලිමීටර් 152 කාලතුවක්කු දෙකක් විතරයි. එය එම අවුරුදු හතරක කාලයේදී 10 ක් බවට පත්වී තිබුණා. මිලිමීටර් 122 කාලතුවක්කු දෙකයි තිබුණේ. එම අවුරුදු හතරට පසුව එය 20 ක් බවට පත්වී තිබුණා. 120 බර අවි 2 මේ කාලයේදී 80 ක් බවට පත්කර ගැනීමට හැකිවී තිබුණා.

පසුගිය කාලයේ නැඟෙනහිර මුදා ගැනීමේදී එම ආයුධ අල්ලා ගැනීම නිසා අප එය සත්‍යයක් බව ඔප්පුකර පෙන්වා දී තිබෙනවා. යුදමය පරාජය හේතුවෙන් ත‍්‍රස්තවාදීන් මතවාදීවත් පරාජය කිරීමට අප දැන් සමත්වී තිබෙනවා.

‘යුද්ධය’ යන්න කුමක්දැයි එහි වචනාර්ථයෙන්ම ගම්‍ය වෙනවා. ඇතැමුන් කියන්නේ අපගේ හමුදාවන්ට කිසිදු අයුරකින් හානි සිදු නොවිය යුතුයි කියලයි.

රටක ස්වෛරී බලය නැති වෙනව නම් සෙබළු ජිවිත පරිත්‍යාගයෙන් එය රැකගත යුතුයි. ජීවිත බේරගෙන රට විනාශ වෙනවා බලාගෙන ඉන්න හමුදාවකට බෑ. අපේ සෙබළු තුවාල වුණා. මියගියා.

දේපළ හානි වුණා. කැප කිරීම් කරන්න වෙනවා මෙවැනි උවදුරකින් මිදෙන්න නම් කොහොම වුණත් ඒ කැපකිරීම් අද සාර්ථක වී තිබෙනවා. එල්ටීටීඊය පරාජය කරන්න බෑ කියල වැරැදි ආකල්ප තිබුණා. ඒ නිවට ආකල්ප අපි පරාජය කර තිබෙනවා. අපි මේ සටන මඟින් අපි කැමැති ස්වෛරී ඒකීය රටක් ලෙස ජීවත්වීමට යන පණිවිඩය ලෝකයටම ගෙන ගියා.

සටන් විරාම ගිවිසුම පැවැති කාලයේදී 2002 පෙබරවාරි 22 දා ඒ – 9 මාර්ගය විවෘත කරගැනීමට හැකිවුණා. ඒ වෙලාවේ බොහෝ දෙනෙක් ඒ ගැන කතා කළා. නමුත් එය එදා අපි විවෘත කර ගත්තේ නිවට ජාතියක් ලෙසින්, අද අපි ඒ – 32 මාර්ගයත් විවෘත කරගෙන තිබෙනවා.

ඔබ කියූ පරිදිම ඒ – 9 මාර්ගය අපි එදා විවෘත කරගත්තේ නිවට, නියාලු ජාතියක් හැටියටයි. එදා අපි ඒ මාර්ගය හරහා යන්න එල්ටීටීඊයට බදු ගෙව්වා. බිස්කට් පෙට්ටියක් වතුර බෝතලයක් ගෙනියන්නත් අපේ ජනතාවට මේ රට ඇතුළේම බදු ගෙවන්න වුණා. මේ හේතුවෙන් ඒ සටන් විරාමයේදී එල්ටීටීඊයට බදු එකතු කිරීමෙන් එම ප‍්‍රදේශයට හිමිකම් පෑමේ අවස්ථාව උදාවුණා.

මේ වන විට රජයේ හමුදාව අලිමංකඩ අල්ලා ගැනීමේ මෙහෙයුම අරඹා තිබෙනවා. අලිමංකඩ අපට අතීතයේ අහිමි වූයේ කනගාටු දායක යුද මතක ඉතිරි කරමින්. මේ නිසාම මේ මෙහෙයුම අපිට ඉතාමත් වැදගත් වෙනවා.

අපි මේ සටනින් අපේක්ෂා කරන්නේ පුද්ගලික උසස්වීම් ආදිය නොවේ. අපිට උවමනා සැමට සාමකාමීව ජීවත්වීමේ වාතාවරණයක් ගොඩනැගීමට. ඒ අර්ථයෙන් මේ යුද්ධයේ සෑම දෙයක්ම ඉතාමත් වැදගත්. අපට ඒ – 9 මාර්ගයේ මුදා ගැනීමට ඉතිරි වී තිබෙන්නේ කිලෝමීටර් 15 ක පමණ දුරක්. ඉතාමත් නුදුරු දිනකදී ඒ මාර්ගයේ පාලනය මුළුමනින්ම අපි සතු වේවි.

සටනක් සාර්ථකව ඉදිරියට ගෙන යාමට නිවැරැදි දේශපාලන නායකත්වයක් ලැබිය යුතුයි. මෙම සටනට රජයෙන් හා සේනාධිනායකතුමන් ගෙන් ලැබෙන සහයෝගය පිළිබඳ සඳහන් කරනවා නම්.

මේ සටන මෙතරම් ඉක්මනින් සාර්ථකව මෙහෙයවීමට හැකිවී තිබෙන්නේ සේනාධිනායකතුමන් ගේත් රජයේත් සහයෝගය උපරීම මට්ටමින් ලැබෙන නිසාමයි.

නිරතුරුව ඉතාමත් හොඳ අවබෝධයකින් යුතුව අප දිරිමත් කරමින් ලබා දෙන නායකත්වය නිසා ම අප සාර්ථක වී තිබෙනවා. අප ලබන සියලුම ජයග‍්‍රහණයන් ගේ ගෞරවය හිමිවිය යුත්තේ සේනාධිනායක තුමන්ටයි .

මේ මෙහෙයුම්වලදී මේ රටේ තරුණ පරපුරේ දායකත්වය කැපී පෙනෙනවා. විශේෂයෙන් ම හමුදා සෙබළුන්ගේ සුබසාධනය පිළිබඳ කතා කරනවනම්.

හමුදා සෙබළුන් සුබසාධනය ලෙසින් වැඩි දෙයක් අපේක්ෂා කරන්නේ නෑ. ඔවුන් පැමිණ සිටින්නේ රට වෙනුවෙන් සේවයක් කිරීමට.

ඔවුන් අපේක්ෂා කරන්නේ ඉතාමත් සරල කාරණා කීපයක්, නිවාස පහසුකම්, අවශ්‍ය වෙලාවේදී ප‍්‍රතිකාර, නිවාඩු වගේ දේවල්, කෙසේ වෙතත් ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් හමුදා සෙබළුන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියන් කි‍්‍රයාත්මක වෙමින් පවතිනවා.

මීට අමතරව මියගිය සෙබළෙක් වෙනුවෙන් දැනට ලබා දෙන ලක්ෂයක මුදල ලක්ෂ පහ දක්වා වැඩි කිරීමට ජනාධිපතිතුමා අප හා සාකච්ඡාකර තිබෙනවා. සෙබළුන්ට ලබා දෙන ණය පහසුකම් ආදිය විධිමත්ව ලබාදීමට කටයුතු කරනවා.

Read Full Post »