Feeds:
Posts
Comments

Archive for January 17th, 2009

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ

අද වනවිට එල්.ටී.ටී.ඊ. ය මුලින් උපුටා දැමීමේ යුද්ධය මුළුමනින් ම සාර්ථක වෙලා, ජනාධිපතිවරු කීපදෙනෙක් ම, ජේ.ආර්. ජයවර්ධන, ආර්. පෙ‍්‍ර්මදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග මේ කාටවත් මෙබඳු සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි වුණා. මෙවර සාර්ථකත්වයේ පදනම කුමක් ද?

මේ සාර්ථකත්වයට හේතු කීපයක් ම තියනවා. ඒවා එක දෙක තුන ලෙසින් පෙළ ගැස්සීමට නොහැකි තරම් වැදගත්, නමුත් ඒවා අතරින් මම පළමු දෙය ලෙස වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන්නේ, අපගේ රණවිරුවන් ගේ ධෛර්යය, කැපවීම වගේ ම නොබියව ඉදිරියට යෑමේ වීරත්වය පිළිබඳවයි.

ආයුධ කොතරම් තිබුණත් වැඩක් නෑ. ඒ ආයුධය පිටිපස සිටින මිනිසා යි වැදගත් වෙන්නේ. මීළඟට වැදගත් වන්නේ දේශපාලන සහ හමුදාමය නායකත්වයයි. සටන කරගෙන යෑම සඳහා ජනාධිපතිතුමාට නොයෙකුත් බාධා ආවා. අන්තර්ජාතික වගේ ම මේ යුද්ධය නතර කිරීමට දේශීය වශයෙනුත් විශාල පීඩනයක් ඇතිකළා. ආර්ථික, දේශපාලන පීඩන එල්ලවුණා. නමුත් එතුමාගේ නොසැලෙන නායකත්වය මේ ත‍්‍රස්තවාදය තුරන් කිරීමේ ඒකායන අපේක්‍ෂාවේ ම එල්බ සිටියා.

සමහර කරුණු සඳහා විසඳුම් ලබා ගන්න ජනාධිපතිතුමා විදේශ ජනාධිපතිවරුන් සමඟ හත්අට වතාවක් දුරකතනයෙන් සංවාදයේ යෙදී තිබෙනවා. ඒ කතාවල අරමුණ වූයේ යුද්ධය සාර්ථක කරගැනීමයි. මෙබඳු යුද්ධ ජයග‍්‍රහණ කිරීමට දේශපාලන නායකත්වය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා.

මෙහිදී යුද, ගුවන් හා නාවික හමුදාවල හමුදාපතිවරුන් තිදෙනාගේ නායකත්වය, පළපුරුද්ද, දැනුම හා කැපවීම ඉතාමත් වැදගත් වුණා. ඒ වගේම සෑම මට්ටමකම කනිෂ්ඨ නිලධාරින් පහළ කොටස් පාලනය කරන නායකත්වයේ කි‍්‍රයාකාරී මැදිහත්වීම සුවිශේෂයි. යුද බිමේදී කනිෂ්ඨ නිලධාරීන් ලබා ඇති අත්දැකීම් ඉහළ නිලධාරීන් හා බෙදා ගැනීම හේතුවෙන් මෙය වඩාත් සාර්ථක කර ගැනීමට හැකි වුණා.

යුද බිමේදී සටනේ මූලිකත්වය ගන්නේ යුද හමුදාවයි. නාවික, ගුවන් හමුදා යුද හමුදාවේ අවශ්‍යතාවට අනුවයි මැදිහත් වන්නේ, මේ සටනේදී යුද හමුදාපතිතුමාගේ කැපවීම, වීරත්වය හා නායකත්වය කැපී පෙනෙන සාධකයක් බවට පත් වෙනවා. ඇත්තෙන් ම මෙවැනි නිලධාරීන් අපට සිටීම සම්බන්ධයෙන් මං ආඩම්බර වෙනවා. මෙවැනි නිලධාරින් සෑම ක්‍ෂේත‍්‍රයකම සිටී නම් අපට මේ රට මොනතරම් ඉදිරියට ගෙන යා හැකිදැයි මට හිතෙනවා.

මාවිල්ආරු මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේ ඊට මුහුණ දීමේදී ජනාධිපතිතුමා ගැටලු රාශියකට මුහුණ පෑවා. විදේශයන්ගෙන් පැමිණි ඇතැම් නියෝජිතයන් කියා සිටියේ එල්.ටී.ටී.ඊ. කියන ලොව බලගතුම ත‍්‍රස්තවාදී සංවිධානය සමඟ යුද්ධයකට යෑම භයානක තීරණයක් බවයි. සාකච්ඡා කිරීම වඩාත් සුදුසු බවයි. නමුත් ඒ සියලු පීඩන හමුවේ ජනාධිපතිතුමා තීරණය කළා අප හමුදාමය වශයෙන් ජයග‍්‍රහණය කරනවා කියලා. ඒ තීරණය සඳහා ජනාධිපතිතුමා ට ප‍්‍රබල ආත්ම ශක්තියක් තිබුණා. අපි යුදමය වශයෙන් සුවිශේෂී උපක‍්‍රම භාවිතා කළා. හමුදාපතිතුමාගේ නායකත්වයෙන් භාවිතා කළ ඒ උපක‍්‍රම සාර්ථක වුණා. උදාහරණයක් විදියට කුඩා කණ්ඩායම් යොදවා පහරදීම, විශාල ප‍්‍රදේශ ආවරණය වන ආකාරයේ සැදුම් ලත් පිරිස් ස්ථාන කීපයකින් එක්ව එකවර සිදුකරන පහරදීම (පළල් පහරදීම) විශේෂ කාර්ය බලකාය වගේ විශේෂ හමුදා ඒකක යොදවා කරන පහරදීම් වැනි සටන් උපක‍්‍රම වඩාත් සාර්ථක වුණා.

ඇතැම් විට නාවික හමුදාව ඉතාමත් අසීරු ඉලක්ක සපුරා ගත්තා. නාවික සැතපුම් 13,000 ක් තරම් දුර මුහුදේ ගොස් පහරදී එල්.ටී.ටී.ඊ. ආයුධ නැව්, මරාගෙන මැරෙන බෝට්ටු ආදිය විනාශ කරමින් කොටින්ගේ හැකියාව දුර්වල කළා. ගුවන් හමුදාව ඉලක්ක සපුරා ගන්නා ආකාරය ඉතාමත් ම සුවිශේෂයි. එල්.ටී.ටී.ඊ. යට අයත් ස්ථාන නිරීක්‍ෂණය කිරීම වගේ ම නිවැරැදි ඉලක්කයට පහරදීමේ හැකියාව අපගේ ගුවන් හමුදා ඉතාමත් දියුණු තත්ත්වයකට පත්කරගෙන තිබෙනවා. 2006 වසරේ පමණක් අපි මුහුදේ පාවෙන ආයුධ ගබඩා 10 ක් පමණ විනාශ කර තිබෙනවා.

අපගේ සාර්ථකත්වයට හේතු වූ මිළඟ කරුණ හමුදා බඳවා ගැනීම් අඛණ්ඩව සිදුකිරීම. ඇත්තෙන් ම මට තවමත් හිතාගන්න බෑ මින් පෙර පැවැති රජයන් හමුදා බඳවා ගැනීම් පිළිබඳව සැලකිලිමත් නොවුණේ ඇයි කියලා. මේ වනවිට අපි එක් මාසයකදී ති‍්‍රවිධ හමුදාවන් සඳහා පන්දහසක පිරිසක් බඳවාගෙන තිබෙනවා. දෙසැම්බර් මාසයේදී පමණක් යුද හමුදාව සඳහා හාරදහසක පිරිසක් බඳවා ගත්තා. හමුදාවන්ට අයත් පිරිස් වැඩිවීම නිසා හමුදාපතිවරයා ඇතුළු නායකත්වයට යුද මෙහෙයුම් සඳහා හොඳ ශක්තියක් ලැබෙනවා.

ඔවුන්ට අවශ්‍ය පරිදි නොයෙකුත් මෙහෙයුම්වල යෙදීමේ පහසුව ලැබෙනවා. මුදාගන්නා ප‍්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරගැනීම මෙන්ම විශාල පිරිසක් සිටීමෙන් කි‍්‍රයාන්විතයටත් පහසු වෙනවා. මේ අනුව 2006 වසරේ 50,000 කින් හමුදාව වැඩි කිරීමට අපි තීරණය කළා. ඒ අනුව හමුදාව එකවර සියයට 40 කින් වැඩි කිරීමට අපට හැකියාව ලැබුණා. 19,000 ක්ව සිටි ග‍්‍රාම ආරක්ෂක හමුදාව 42,000 දක්වා වැඩි කිරීමට අප සමත්වුණා.

විදෙස්වලින් පැමිණි නියෝජිතයන් හමුවුණාම ඔවුන් බොහෝ විට කීවේ එල්ටීටීඊ වගේ ශක්තිමත් සංවිධානයක් සමඟ සටන් කිරීමට තරම් අපි ශක්තිමත් නැති බවයි. ඔවුන් ඊට හේතු වශයෙන් දැක්වූයේ වසර 30 ක් පුරා ගොඩනැගුණු එබඳු ශක්තිමත් සංවිධානයක් පරාජය කිරීම ඉතාමත් දුෂ්කර කරුණක් බවයි.

නමුත් අපගේ රජයට හැකියාවක් ලැබුණා අවුරුදු 3 ක කාලයක් පුරා ම ආර්ථික වශයෙන් දුෂ්කරතා විඳිමින් යුද්ධය පවත්වා ගෙන යෑමට. අපගේ ජනතාව රජය පිළිබඳව විශ්වාසය තබමින් ඒ සඳහා සහයෝගය ලබාදීමත් මේ ජයග‍්‍රහණවලට විශාල පිටුබලයක් වුණා.

යුද්ධය ආරම්භ වන කාලයේ සමාජයේ පැවැති විශාලම බිය වූයේ උතුරු නැගෙනහිර යුද්ධය පවතින අතරතුර දකුණේ ආරක්ෂාව තහවුරු කර ගැනීමයි. බොහෝ අය කීවේ යුද්ධය ආරම්භ කළොත් ‘කොළඹ’ ඇතුළු දකුණේ ආරක්ෂාව අනතුරට පත්වන බවයි.

නමුත් මෙහිදී අපගේ පොලීසියේ කටයුතු ඉතාමත් ඉහළින් අගය කළ යුතුයි. ඔවුන් ඉතාමත් ඉක්මනින් හොඳින් පරීක්ෂණ පවත්වමින් කොළඹ ඇතුළු ප‍්‍රදේශවල පැවැති එල්ටීටීඊ සබඳතා විනාශ කිරීමට සමත් වුණා.

මේ අනුව පැහැදිලිව එකම අරමුණක සිට කටයුතු කිරීමෙන් සෑම අංශයකම සහයෝගයෙන් ජයග‍්‍රහණය කරා එළැඹීමට අපට හැකිවුණා. ඇතැම් අවස්ථාවල හමුදා කඳවුරුවල සාකච්ඡා වලට සහභාගී වූ විට මම ඒ සෙබළුන්ගෙන් හා නිලධාරීන්ගෙන් අහනවා, මෙවර අපට මේ අන්දමින් ජයග‍්‍රහණය කිරීමට හැකිවුණේ කුමන හේතුවක් නිසා ද කියලා. ඔවුන්ගේ පිළිතුර වුණේ ‘අපට එක පැහැදිලි අරමුණක් ලැබුණා. ඒ නිසා අපට එම අරමුණ ඔස්සේ කටයුතු කිරීමට හැකිවුණා.’ කියලයි.

ත‍්‍රස්තවාදය පරාජය කරනතුරු, අවසන් ත‍්‍රස්තවාදියා විනාශ කරන තුරු අපගේ සටන අවසන් වන්නේ නෑ. මෙය කඩාකප්පල් කිරීමට කවුරු උත්සාහ කළත් එය සාර්ථක නොවුණේ ඒ අරමුණ ශක්තිමත් කරමින් අප සමඟ ජනතාව සිටි නිසයි. පසුගිය වසර තුනේදී හමුදාවට බැඳුණු දහස් ගණනක් සෙබළුන් ගෙන් කියැවුණේ ඒ ජනතා සහයෝගයයි.

යුද්ධය සාර්ථක වීමට දේශපාලන නායකත්වය මූලික සාධකයක් වුණත් ‘දේශපාලන නායකත්වය’ යන්න නිරතුරුවම දේශපාලන වේදිකාවේදී අභියෝගයට ලක්වෙනවා. හමුදා ජයග‍්‍රහණ දේශපාලන වාසි සඳහා යොදවා ගන්නා බවට මතයක් පවතිනවා.?

දේශපාලන නායකත්වය මූලිකම දෙයයි. ජනාධිපතිවරයා කියන්නේ මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ප‍්‍රධානියා. යුදමය තත්ත්වයක් වගේම සාමයත් දේශපාලන අවශ්‍යතාවක්, එල්ටීටීඊය සමඟ සාමයට යෑම මුලාවක් බව අවබෝධ කරගැනීමත් ඊට ගැලපෙන විසඳුම යුදමය විසඳුමක් බව තීරණය කිරීමත් දේශපාලනික තීරණයක්. හමුදාමය ජයග‍්‍රහණවලින් දේශපාලන වාසි ලබා ගන්නවා යනු අරාජික බවට පත්වූ දේශපාලකයින්ගේ කතාවක්. හරි දේශපාලන නායකත්වයක් නැතිනම් යුද්ධයක් කළ නොහැකියි.

මින් පෙරත් අපගේ හමුදා කියා සිටියා එල්ටීටීඊ සමඟ සාකච්ඡා කිරීම තේරුමක් නෑ. ඔවුන් යුදමය වශයෙන් ජයග‍්‍රහණය කළ යුතුයි කියලා. නමුත් ඒ අදහසට හොඳ දේශපාලන නායකත්වයක් ලැබුණේ නෑ. ඒ නිසාම මේ ගැටලුව මෙතෙක් දුර ආවා.

ප‍්‍රභාකරන් විනාශ කිරීම මේ යුද්ධයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වෙනවා. අවසානයේ ප‍්‍රභාකරන්ට කුමක් වේවි ද? දැන් බොහෝ දෙනකුට එය ප‍්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා.?

ලෝකයේ ෆැසිස්ට්වාදී සංවිධාන දෙස බලන විට පෙනී යන්නේ එය එක් නායකයකු වටා ගොඩනැඟෙන බවයි. එල්ටීටීඊයත් එහෙමයි. ඒ නිසාමයි ඔවුන් ටෙලෝ, ඊපීඩීපී ආදි සංවිධාන විනාශ කළේ, ඔවුන් හා සමාන සංවිධාන වගේම නායකයනුත් විනාශ කළා. ඇතැම් අවස්ථාවල ඔවුන්ගේම සංවිධානයෙන් මතුවන නායකයන් විනාශ කළා.

ප‍්‍රභාකරන් විනාශ කිරීම මේ යුද්ධයේත් විශේෂ සන්ධිස්ථානයක් වෙනවා. මම හිතන්නේ ඔහු සිදුකළ අපරාධවලට ඔහු එල්ලුම් ගසට නියම විය යුතුයි. කෙසේ වෙතත් ඔහු රටින් පැන ගොස් සැඟවීමට තිබෙන ඉඩකඩ වැඩි බවයි දැනගැනීමට ලැබී තිබෙන්නේ.

එල්ටීටීඊය මෙසේ විනාශ වුණත් යම් අවස්ථාවක නැවත නැඟී සිටීමට ඉඩ ඇතැයි ඇතැමුන් සැක පළ කරනවා.?

අපි ඒ පිළිබඳව අවදියෙන් පසුවන්නේ. යුද්ධය අවසන් වුණත් අපගේ වැඩ කටයුතු අවසන් වන්නේ නෑ. සම්පූර්ණ ප‍්‍රදේශයම නිදහස් කරගත්තත් ඉන් ඉදිරියට එම ප‍්‍රදේශවල කටයුතු කිරීම සඳහා අප ළඟ විශේෂ සැලැස්මක් තිබෙනවා. ඒ අනුව කටයුතු කිරීමෙන් එබඳු නැවත නැගිටීම් වළක්වාගත හැකියි.

මෙම මානුෂිය මෙහෙයුම් ආරම්භ වීමට ප‍්‍රථම එල්ටීටීඊය ඉතාමත් ශක්තිමත් මට්ටමක පසුවූවා. අද වන විට ඔවුන් මුලතිව් කැලේ ති‍්‍රකෝණාකාර ප‍්‍රදේශයකට සීමාවී සිටිනවා.?

සමහරවිට ඇතැමෙක් කියන්න පුළුවන් ‘මේ යුද්ධයෙන් මොනවද අපි ලැබුවේ’ කියා. ජනාධිපතිතුමා බලයට පත්වන විට එල්ටීටීඊය සිටියේ ඉතාමත් ශක්තිමත් තැනක. ලංකාවේ විශාල ප‍්‍රදේශයක් ඔවුන්ගේ අවි බලයෙන් පාලනයට නතුකරගෙන සිටියා. කිලිනොච්චි ප‍්‍රදේශය ඔවුන්ගේ අගනගරය ලෙස නම්කරගෙන, ඔවුන්ගේ පොලීසියත් ඔවුන්ගේ දේශපාලන මධ්‍යස්ථාන, බැංකු, උසාවි පවත්වාගෙන ගියා. ඇත්තෙන්ම කියනවා නම් දුරකතන නාමාවලියට පවා ඊලාම් බැංකුවේ දේශපාලන මූලස්ථානයේ අංක ඇතුළත්ව තිබුණා.

අපේ හිටපු නායකයන් කළේ මෙය යුද්ධයෙන් දිනන්න බැරි බවට ජනතාව අතර මතයක් ඇති කිරීමයි. එසේ කර රට ඇතුළත තවත් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට අවස්ථාව ලබාදී තිබුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ආණ්ඩුව පත්නොවී වෙනත් ආණ්ඩුවක් තවත් වසර දෙකක් තිබුණානම් ඊළාම් රාජ්‍යය පිහිටුවා අවසන් වීමටත් ඉඩ තිබුණා. ජාත්‍යන්තරයේ බොහෝ දෙනකුටත් අවශ්‍ය වූයේ එය ඉටුකර ගන්නයි. අපගේ ස්වෛරී රට දෙකඩ වීමට ගිය අවස්ථාවේදියි අප එය වෙනස් කළේ.

මහවිරු දින කතාව මඟින් එල්ටීටීඊ නායකයා කියන්නේ කිලිනොච්චිය අල්ලා ගැනීමට සිතීම ශී‍්‍ර ලංකා රජය දකින දවල් සිහිනයක් බවයි. නමුත් අද කිලිනොච්චිය දිනා තිබෙනවා. නගර අල්ලා ගන්නා විට එල්ටීටීඊය කියන්නේ අප අල්ලා ගන්නේ ‘මළ’ නගර බවයි. ඊට හේතුව ඒවායේ ජීවත්වන වැසියන් ඔවුන් විසින් රැගෙන යාමයි. නමුත් එසේ යන වැසියන් දැන් දැන් නැවතත් එමින් සිටිනවා.?

අතීතයේදී මාන්කුලම් අල්ලා ගත්තානම් එය අවුරුදු ගණනක් කතා කරන මාතෘකාවක් වෙනවා. ඔඩ්ඩුසුඩාන් අල්ලා ගත්තනම් හමුදාව ඇතුළේ එය කාලයක් තිස්සේ කතාවෙන මාතෘකාවක් වීමට ඉඩ තිබුණා. අද මාන්කුලම් ඇල්ලුවා. පුනරින්, පරන්තන්, එලිපන්ට්පාස් ඇල්ලුවා. නමුත් ඒ තරම් කතාබහක් නෑ. අපි තොප්පිගල අල්ලන කොට එල්ටීටීඊය කීවේ උපක‍්‍රමික පසුබැසීමක් කළේ කියල. මං ඒ වෙලාවේ කීවේ එවැනි පසුබැසීම් කීපයක්ම කළාට කමක් නෑ කියලා. දැන් මට පේන්නේ ඒ අය ඒ උපදේශය පිළිඅරගෙන පසුබැසීම් ගණනාවක්ම සිදුකර තිබෙනවා කියලයි.

එල්ටීටීඊය එසේ උපක‍්‍රමික පසුබැසීම් පිළිබඳව කියන විට, දකුණේ දේශපාලන වේදිකාවේ කියැවුණේ රජයටත් එල්ටීටීඊයටත් කිසියම් ගිවිසුමක් ඇති බවයි. එල්ටීටීඊය දිගින් දිගටම පරාජය වන්නේ එම ගිවිසුමට අනුව බවත්, එම ප‍්‍රකාශ මඟින් අදහස් ඉදිරිපත් වුණා.?

එබඳු අවාසනාවන්ත කතා අද පමණක් නොවේ සිංහල රජ කාලයේත් එබඳු පවාදීම් සිදු වුණා. රටේ ජයග‍්‍රහණය පිළිනොගෙන කවදත් රට පාවා දෙන අය හිටියා. අප ඒවාට කලබල විය යුතු නෑ. රටට ආදරය කරන ජනතාව සත්‍යය කුමක්දැයි දන්නවා. බලයට කෑදර ඇතැමුන් තවමත් සත්‍යය වටහා ගැනීමට නොහැකිව ළතැවෙනවා. තමන්ගේ රට වෙනුවෙන් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් සටන් කිරීමට හැම කෙනකුගේම හදවතේ පෙළඹුමක් තිබෙනවා. අප මතුකර ගත යුත්තේ එම අවශ්‍යතාවයයි.

සටන් විරාම කාලයේ එල්ටීටීඊය වඩාත් ශක්තිමත් වූ බව ඔබ මින් පෙරත් සඳහන් කර තිබුණා.

එල්ටීටීඊය සටන් විරාමය සමයේ ශක්තිමත්වූ ආකාරය නැඟෙනහිර ප‍්‍රදේශය අල්ලාගත් අවස්ථාවේ හමුවූ ආයුධ මගින්ම ප‍්‍රත්‍යක්ෂ වෙනවා. සටන් විරාමයට පෙර ඔවුන් සතු නොවූ අවි ආයුධ විශාල ප‍්‍රමාණයක් සටන් විරාමයට පසුව ඔවුන් සතුව තිබී හමුවුණා. ගුවන් යානා නාශක බිම්බෝම්බ මිලිමීටර 152, මිලිමීටර 84, මිලිමීටර 120 බර අවි ඔවුන් මේ කාලයේදී ලබාගෙන තිබුණා. එසේ ආයුධ පිරවූ නැවක් තමාගේ ආරක්ෂාව යටතේම ගොඩබෑ බවට කරුණා අම්මන්ම ප‍්‍රකාශකර තිබුණා.

යුද්ධය නිසා තුවාල වන පිරිස ගැන මෙන්ම අනතුරට පත්වන පිරිස් පිළිබඳව නිවැරැදි සංඛ්‍යා දත්ත ලබා නොදෙන බවට චෝදනාවක් එල්ල වෙනවා.?

මා මුලින්ම කී පරිදි ජනාධිපතිතුමා මේ අරමුණට එළැඹීමේදී යම් යම් කරුණු පිළිබඳව අවධානය යොමු කරා. ඒ අනුව මූලිකම අරමුණ වූයේ ත‍්‍රස්තවාදීන් විසින් අල්ලා ගත් අපේ රට එක් රටක් ලෙසින් සාමකාමීව පවත්වාගෙන යාමයි. එයයි ජනතා අපේක්ෂාව වූයේ. මේ අනුව මුලින්ම සාකච්ඡා සඳහා අවතීර්ණ වුණා. නමුත් එතැනදී පැහැදිලි වුණා එය අසාර්ථක කි‍්‍රයාදාමයක් බව. ඉන් අනතුරුවයි යුදමය කි‍්‍රයාදාමයකට අවතිර්ණය වූයේ. එල්ටීටීඊය වැනි දැවැන්ත ත‍්‍රස්තවාදී සංවිධානයකින් රට බේරා ගැනීමේදී අපට යම් යම් පරිත්‍යාග කරන්න සිදුවීම ස්වභාවිකයි. එසේ අප සිදුකරන පරිත්‍යාගයනට සාපේක්ෂව ප‍්‍රතිඵල ලැබෙනවා ද යන්න ඉතාමත් වැදගත්.

මාතෘ භූමිය දෙකඩ නොවී රැකගැනීම අප සිදුකරන පරිත්‍යාග සාධාරණීයකරණය කළ හැකි ප‍්‍රධානතම මඟයි. 1977 වර්ෂයේදී ජේ.ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කළා. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ජේ.ආර්.ට රට බාර දෙන විට ආරක්ෂක අංශවල කිසිවකුවත් යුද්ධයක් නිසා මරණයට පත්වී සිටියේ නෑ. තුවාල ලබා තිබුණේත් නෑ. ඒ වගේම ත‍්‍රස්තවාදී කඳවුරු පැවැතුණේ ද නෑ. යාපනයේ 22,000 ක තරම් සිංහල ජනගහනයක් ජීවත්වුණා. කිලිනොච්චිය වැනි ප‍්‍රදේශවල සිංහල ජනයා ජීවත්වුණා. යාපනයේ සිංහල මහා විද්‍යාලයක් තිබුණා.

නැවතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවකට රට බාර දුන්නේ 1994 දී. ඒ වන විට මේ රටේ යම් යම් ප‍්‍රදේශ එල්ටීටීඊයේ පාලන ප‍්‍රදේශ වශයෙනුයි තිබුණේ. යාපන අර්ධද්වීපයේ ඉතිරිවී තිබුණේ හමුදා කඳවුරු කීපයක් පමණයි. 1994 වන විට ති‍්‍රවිධ හමුදාවේ සාමාජිකයන් 7194 දෙනෙක් යුද්ධය නිසා මරණයට පත්වී සිටියා. ඒ මරණයට පත්වී තිබුණේ අපගේ භූමිය ත‍්‍රස්තවාදීන්ට බාරදෙන අතරේමයි. මේ තත්ත්වය අද බොහෝ අයට අමතක වෙලා.

මේ වර්ෂ තුන ඇතුළත රණවිරුවන් 3703 ක පිරිසක් මිය ගොස් තිබෙනවා. ඒ පරිත්‍යාග අතරේ අපි මුළු නැඟෙනහිරම අපගේ පාලනයට නතු කරගෙන තිබෙනවා. ඒ වගේම යාපනය, පුනරින්, කිලිනොච්චි, පරන්තන්, ඔඩ්ඩුසුඩාන් මේ සියල්ල දිනාගැනීමටයි අපි එබඳු පරිත්‍යාගයන් කර තිබෙන්නේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය කලාපයේ රටවල් බොහොමයකම අරගල පවතිනවා. ස්පාඤ්ඤය අපි‍්‍රකානු රටවල්, කොලොම්බියාව, පාකිස්ථානය. නමුත් ඒ කිසිදු තැනක ගැටුම් නිරාකරණය පිළිබඳ මායිමකටවත් පැමිණ නෑ. එබඳු රටවලට අපේ රට හොඳ පණිවුඩයක් දෙනවා.?

මේ ලබන ජයග‍්‍රහණය එක්දහස් නවසිය පනස් ගණන්වල මැලේසියාව ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ලෝකයේ ප‍්‍රථම වතාවට හමුදාමය වශයෙන් ත‍්‍රස්තවාදය පරාජය කිරීමක් ලෙස ඉතිහාසයට එකතු වෙනවා.

පසුගිය සතියේ මා සාකච්ඡාවක් සඳහා ඉන්දුනීසියාවට ගියා. එහි ආරක්ෂක ඇමැතිතුමා, විදේශ කටයුතු ඇමැතිතුමා, ලේකම්තුමා, ති‍්‍රවිධ හමුදාපතිවරු ආදී සම්භාවනීය පිරිසක් මට හමුවුණා. ඔවුන් කියා සිටියා “ශ‍්‍රී ලංකාව මුළු ලෝකයටම හොඳ පණිවුඩයක් දුන්නා කියලා” එය මහත් ආඩම්බරයට කරුණක්. එබඳු අත්දැකීම් රාශියක්ම මා සතුයි.

ඊශ‍්‍රාලයට ගිය අවස්ථාවේදී එහි හමුදාවේ කි‍්‍රයාන්විත අධ්‍යක්ෂවරයා, සමඟ පැය භාගයක සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ අවස්ථාවේ ඔවුන් ඇසුවේ අපගේ නාවික හමුදාවෙන් එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝට්ටු විනාශ කිරීමේ උපක‍්‍රමය පිළිබඳවයි.

ඉන්දියාවේ ආරක්ෂක උපදේශක නාරායන් මැතිතුමා හමු වූ අවස්ථාවක පැවසුවේ ‘ශ‍්‍රී ලංකාවේ සිටින්නේ ලෝකයේ හොඳම හමුදාපතිවරයා “ යනුවෙනි.

මට හමුවූ විදෙස් නියෝජිතයන් බොහෝ දෙනෙක් අපගේ ගුවන් හමුදාව ඉලක්ක ලබාගන්නා අන්දමේ නිරවද්‍යතාව පිළිබඳව බොහෝවිට පැසසීමෙන් යුතුව තොරතුරු විමසා සිටියා.

යුධ තත්ත්වයකදී සිවිල් ජනයාට හානි සිදුවීම පිළිබඳව ලෝකයෙන් කොතෙකුත් උදාහරණ ලබාගත හැකියි. නමුත් ලංකාවේදී එය වෙනස්වී තිබෙනවා.?

සිවිල් වැසියාට හානි නොවන ආකාරයෙන් යුද්ධය පවත්වාගැනීම අපගේ ඒකායන අරමුණයි. “සිවිල් වැසියාට අවම හානි” යන්න අපගේ මූලික සංකල්පයක් බවට පත්වී තිබෙනවා. නමුත් ඇතැම් අන්තවාදී මාධ්‍ය අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට තැත්කරමින් මෙම යුද්ධය හේතුවෙන් සිවිල් වැසියන් බරපතළ ලෙස අනතුරට පත්වන බවට උලුප්පා පෙන්වීමට උත්සාහ දරනවා.

ත‍්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව අද වනවිට රටේ ජනමතය ඉතාමත් යහපත් තැනක පවතිනවා. පවතින තත්ත්වය වාර්තා කිරීමේදී ජනමාධ්‍ය වගකීමෙන් යුතුව කටයුතු කරනවාද?

ලෝකයේ මාධ්‍ය කි‍්‍රයා කරන අන්දම පිළිබඳව සැලකිලිමත් වීමේදී ලංකාවේ බොහොමයක් මාධ්‍ය වගකීම් විරහිතව කි‍්‍රයාකරන බවයි පෙනීයන්නේ. අපගේ මූලිකම දෙය මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමයි. නමුත් අපගේ මාධ්‍ය ඉතාමත් සෘණාත්මකයි. දූෂණ වංචා ආදියටයි ඔවුන් මූලික තැන දෙන්නේ.

අද වැඩිදෙනෙක් බලන මාධ්‍යය බවට පත්වී තිබෙන්නේ අපගේ වෙබ් අඩවියයි. (ඹඹඹ.ඤඥටඥදජඥ.තඬ) දිනකට මිලියන 6කට අධික පිරිසක් බලනවා. ඊට හේතුව අපි ධනාත්මක දේවල්, ජයග‍්‍රහණ ආදිය එහි ඉදිරිපත් කිරීමයි.

මාධ්‍ය මර්දනය පිළිබඳව රජයට චෝදනා ඉදිරිපත් වෙනවා. ඒ අනුව ඔබද චූදිතයකු වෙනවා.?

වැරැදි ප‍්‍රවෘත්ති පළවුණහොත් මා ඒවා නිවැරැදි කිරීම වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒක මගේ වගකීමක්. ඒ වගේම මා දුටුවා පසුගිය දිනක එක්තරා පුද්ගලයෙක් මාධ්‍යවේදීන් මර්දනය කිරීම පිළිබඳව ලැයිස්තුවක් ඉදිරිපත් කර සිටියා. ඒත් ඒ සඳහන් කරන අය සැබෑම මාධ්‍යවේදීන් ද යන වගත් ප‍්‍රශ්නයක්. මාධ්‍යවේදීන් නම් ඔවුන් ජනමාධ්‍ය හා කටයුතු කරන්න ඕන. පුවත්පතකට ලිපියක් වත් නොලියන අය ගැනයි ඔවුන් කරුණු ඉදිරිපත් කරන්නේ. මාධ්‍යවේදීන් වුවත් ආරක්ෂක අංශයේම සාමාජිකයින් වුවත් ඔවුන් එල්.ටී.ටී.ඊ.යට සහයෝගය දෙනවා නම් අත්අඩංගුවට ගැනීමට සිදුවෙනවා.

ඉන්දියාවේ භූමිකාව පිළිබඳව විමසන විට පෙනීයන්නේ ශ‍්‍රී ලංකාව පිළිබඳව ඉතාමත් හොඳ ස්ථාවරයක පසුවන බවයි.?

ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ දිගුකාලීන මිත‍්‍රයෙක්. ඉන්දියාව රට අභ්‍යන්තරයේ පවතින දේශපාලන ප‍්‍රශ්නයකට විසඳුමක් වශයෙන් වෙනත් රටකට බලපෑම් කරන තත්ත්වයට කවදාවත්ම පත්වන්නේ නෑ. ඒ වගේම පකිස්ථානය අපගේ දිගුකාලීන මිතුරෙක්. මේ වනවිට එරට දේශපාලන නායකත්වය වෙනස් වී තිබුණාට අප වෙත දක්වන මිත‍්‍රත්වය එලෙසින්ම පවතිනවා. ඔවුන් හැමදාමත් ශ‍්‍රී ලංකාවේ ස්වෛරී බව අගය කළා.

Read Full Post »

හයවැනි ගුවන් පථයත් අල්ලයි

කොටි ත‍්‍රස්තවාදීන් විසින් තනා තිබූ 6 වැනි ගුවන් පථයත් අල්ලා ගැනීමට රජයේ ආරක්ෂක හමුදාවෝ ඉකුත් සිකුරාදා සමත් වූහ.

ඉරණමඩු වැව් බැම්මේ සිට දකුණ දෙසින් කිලෝමීටරයක් දුරින් පිහිටා තිබූ මේ ගුවන් පථය මීටර 200 ක් පළල වූ අතර එහි දිග කිලෝ මීටර එකකි. යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේ කොටි ත‍්‍රස්තවාදීන් සතුව පැවැති හය වැනි ගුවන් පථය ආරක්ෂක හමුදා අතට පත්වූ බවත් මීට අමතරව ඔවුන් සතුව තවත් ගුවන් පථ තිබෙන්නේ දැයි සොයා බැලීමට තියුණු අවධානය යොමු කරන බවයි.

ඉරණමඩු වැව් බැම්මට කිලෝ මීටරයක් පමණ දකුණු දෙසින් ඉදිකැර තිබූ මේ ගුවන් පථය 57 වැනි සේනාංකය විසින් අත්පත් කරගන්නා ලදී.

මුලතිව් ප‍්‍රදේශයේ කොටු වී සිටින ත‍්‍රස්තවාදීන් සොයා හමුදා මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතින අතර ප‍්‍රබල කොටි නායකයන් රැසක් රටින් පලා යෑමේ මං සොයමින් සිටින බවත් හමුදා බුද්ධි අංශ වෙත වාර්තා වී තිබේ.

Read Full Post »