Feeds:
Posts
Comments

Archive for January 24th, 2009

අරන්තලාවේ වැසියෝ කවදත් කාටවත් අතනොපා තම පාඩුවේ ජීවිකාව කරගනිමින් ජීවත් වූහ. ත‍්‍රස්තවාදී උවදුරත් සමඟ ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරුව ගියේ නොසිතූ පරිද්දෙනි.

එතැන් පටන් ඔවුන් ගේ ජීවිත සටන මරුවාත් සමග කරන සටනක් බවට පත්වූයේය. වරින්වර එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර නිසා අවසානයේ එගම් වැසියන් බොහෝ දෙනෙක් ගම අත්හැර දමා ගියෝය.

කොටි ත‍්‍රස්තවාදීන් සිදුකළ ම්ලේච්ඡ ඝාතන අතරින් අරන්තලාවේ සිදුවූ මහා භික්ෂු ඝාතනය ඉතිහාස ගතවේ. මින් වසර විසිදෙකකට පෙර ජුනි මස දෙවැනිදා සිදුවූ ඒ මහ ඛේදවාචකයෙන් මුළු රටම කම්පාවටත් ශෝකයටත් පත්විය.

අරන්තලාවේ පදිංචිව සිටි ගම්මුන් ටික දෙනා ද ගම අතහැර වෙනත් පළාත්වලට පදිංචියට ගියහ. අරන්තලාව ජනශුන්‍ය විය. කොටි ත‍්‍රස්තවාදීහු අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කරන්නට පෙර අරන්තලාව ගමට ද ප‍්‍රහාරයක් එල්ල කළහ.

කඩු තුවක්කු රැගෙන ගමට කඩා වැදුණු ත‍්‍රස්තයෝ ගමේ අහිංසක වැසියන් විසිනව දෙනකු අමු අමුවේ මරා දැමූහ. ඒ ඊට මාස හතරකට කලියෙන් එක්දහස් නවසිය අසුහතේම පෙබරවාරි මස හත්වැනිදාය.

අරන්තලාවේ වැසියන් බොහෝදෙනෙක් ජීවත් වූයේ හේන් ගොවිතැනෙනි. ඔවුන් අන්ත අසරණය. හේනේ හෝ වත්තේ කෙළවරක වැවෙන මඤ්ඤොක්කා අලයකින් බතල අලයකින් ඔවුන්ගේ බඩ වියත රැකිණි. ඔවුහු අහස් මාලිගා තනන්නට නොපැතූහ. යානවාහන… නොපැතූහ. දරුවන්ට ලොකු ඉස්කෝල නොඉල්ලූහ.

එදා වේල කා බඩ වියත රැකගෙන දරුමාල්ලන් සමඟ එකට වැටී නිදහසේ ජීවත්වීම ඔවුන්ගේ එකම අරමුණ වූයේය. ඒත් සිත්පිත් නැති කොටි ත‍්‍රස්තවාදීහු ඔවුන්ගේ සියලු සිතුම් පැතුම් විනාශ කර දැමූහ.

අහිංසක වැසියන් ගම අතැර හැතැප්ම දෙතුන් සියයක් ඈතට ගියේ වෙන කරන්නට දෙයක් නැති නිසාය. සමහරු මහඔය පදියතලාව, මහියංගණය සහ බොරපොල දෙසට පලා ගියහ. ඔවුන් අන්ත අසරණ පවුල්ය.

එදා පටන් අරන්තලාව ජනශුන්‍ය ප‍්‍රදේශයක් විය. ත‍්‍රස්තවාදීන් වරින් වර අරන්තලාව ප‍්‍රදේශයේ ආරක්ෂාවේ නියුතු රණවිරුවන්ට ද ප‍්‍රහාර එල්ල කළහ.

සමහරු යළි ගම්බිම් සොයා පැමිණිය ද ත‍්‍රස්තවාදීහු යළි යළි ප‍්‍රහාර එල්ල කරන්නට වූහ. දරුවන්ගේ අධ්‍යාපනය රැකියාව හේන ගොවිතැන හරකබාන සියල්ල ඔවුනට අහිමි විය. ඒ අදින් වසර විසිදෙකකට කලියෙන්ය.

ත‍්‍රස්තවාදීන් නැගෙනහිරින් පලවා හැරීමත් සමඟ පලා ගිය ගම්හු තම ගම්බිම් බලා පැමිණෙන්නට වූහ. නව නිවාස ඉදිවෙන්නට විය. නැඟෙනහිර නවෝදයේ හිරු පායා එන්නට විය. ඔවුන්ගේ සිත්හි තිබූ බිය කෙමෙන් කෙමෙන් පහව ගියේය. තොප්පිගල කොටි කඳවුර රණවිරුවන් අතට පත්වෙද්දී ඔවුහු සතුටු වූහ.

නැඟෙනහිර සම්පූර්ණයෙන්ම කොටින්ගෙන් මුදවා ගනිද්දි ගම්මු සැනසුම් සුසුම් හෙළුහ. පපුවේ බියක් සැකයක් නැතිව ජීවත්වන්නට හැකිවීම ඔවුන්ගේ සිනහමුසු මුහුණින් මොනවට පිළිබිඹු විය.

විදුහල ආරම්භ කරන දා පැමිණි ගම්වැසියෝ

“මේ පැත්තේ මිනිස්සු හරිම අහිංසකයි. අන්ත අසරණයි. වැස්ස හැමදාම මෙහෙට නැහැ. හේනක් කුඹුරක් කරගෙන තමයි ඒ අය ජීවත්වෙන්නේ… ත‍්‍රස්තවාදීන් බල්ලො බළල්ලු ගානට ගමේ මිනිස්සු මැරුවා… හාමුදුරුවරු ඝාතනය කළා… මංකොල්ල කෑවා… වාහන පැහැරගත්තා… කොටින්ම කියනවනම් අසූපහ අවුරුද්දෙදි අපේ මංගලගම ලොකු හාමුදුරුවෝ පැහැරගෙන ගියා… අදටත් උන්වහන්සේට මොනවා වුණාද දන්නේ නැහැ…

මුළු ගමම ජනශුන්‍ය වුණා… හමුදාව ගමට ආවා… හාමුදුරුවෝ පැහැරගෙන ගියේ විසිපස්වැනිදා ඊට පහුවදා ඉඳලා මම ගමට ආවා… හමුදාවේ මහත්තුරු අපිට උදව් වුණා… නැගෙනහිර සම්පූර්ණයෙන්ම මුදවාගත්තට පස්සේ අපේ හිතේ බය නැතිවුණා… දැන්නම් මරණ බියක් දැනෙන්නෙවත් නැහැ… මේ කරපු දේට ජනාධිපතිතුමාට පිංසිද්ධ වෙනවා… මහත්තයො…” අරන්තලාව ශී‍්‍ර ජයතිලකරාමයේ විහාරාධිපති දෙහිගම ඥානරතන හිමියෝ පවසති.

වසර ගණනාවකට පසු ඔවුන්ගේ ජීවිතයේ සතුට උදාවී තිබේ. ගම්බිම් අතර පලා ගිය ඔවුහු යළි ගමට පැමිණියහ. වසර විසිදෙකකට පසු ගමේ පාසල යළි ඇරැඹීමට ඔවුනට හැකිවී තිබේ. එය නැඟෙනහිර නවෝදයේ එක්තරා කඩඉමක් ලෙස ඔවුහු දකිති.

“අපේ දරුවන්ට ඉස්කෝලයක් තිබුණේ නැහැ. කොටි ගමට ගැහැව්වට පස්සේ අපි මේවා දාලා ගියා… දරුවෝ ඉස්කෝලෙකට ගියේ නැහැ තිබුණු බයට… ඉස්කෝලේ යළි පටන්ගත්ත නිසා මේ දරුවා ආයෙත් ඉස්කෝලෙට දාගන්න පුළුවන් වුණා…” අරන්තලාවේ පදිංචි ඥානවතී කියයි. ඇයට නව නිවෙසක් ලැබී තිබේ. ඇය සිය දියණියගේ දරුවා පාසලට යන්නට ලකලෑස්ති කරන්නේ දැඩි සතුටකිනි.

කොටි ප‍්‍රහාරයත් සමඟ අරන්තලාව පාසලේ ගොඩනැගිලි සියල්ල ආරක්ෂක අංශ අතට පත්විය. ගමට ආරක්ෂාව සලසන්න කඳවුරක් ඉදිවූයේ ඊට යාබදවය. වසර විසි දෙකකට පසු අරන්තලාව විදුහල මහින්ද රාජපක්ෂ විදුහල නමින් පසුගිය දා යළි ආරම්භ විය. එහි විදුහල්පති චන්ද්‍රකුමාර බණ්ඩාර ය.

චින්තක

අවන්ති

“මේ පාරේ වැඩිපුරම යන්නේ දුර ගමන් බස් රථයි. ඒ අම්පාර, මහියංගන නුවර වගේ පළාත්වලට යන බස්. මේ බස් මේ පළාතේ නතර කරන්නේ නැහැ… ඒ නිසා දරුවන්ට ඉස්කෝලෙ යන්න විදියක් ඇත්තේ නැහැ… ඒ නිසා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගෙන් ඉල්ලුවා මේකට පියවරක් ගන්න කියලා… ඒ පාර තමයි ජනාධිපතිතුමාගේ අවසරය මත ඉස්කෝලෙ යළි පටන්ගන්න නැඟෙනහිර පළාතේ අධ්‍යාපන ඇමැති විමලරත්න දිසානායක මහතා කටයුතු යෙදුවේ…” යැයි විදුහල්පතිවරයා කීය.

ඔහු සමඟ එක් ගුරුවරයෙක් විදුහලේ දරුවන්ට අකුරු කරයි. දැනට පාසලට ඇතුළත්ව ඇත්තේදරුවන් දොළොස්දෙනෙක් පමණි. පළමු හා දෙවැනි ශ්‍රේණි පමණක් දැනට අරඹා තිබේ. පළමු වසර සඳහා දරුවන් දහදෙනකු ද දෙවැනි වසර සඳහා දරුවන් දෙදෙනෙක් දැනට මෙහි ඉගෙනුම ලබති.

පාසල ඇරැඹී අදට සතියකි. තවත් දරුවන් අද හෙටම විදුහලට ඇතුළත් වීමට සූදානමින් සිටින බව ද විදුහල්පතිවරයා කීය. නිල ඇඳුම්, පොත්පත් හා පොත් බෑග් පවා දරුවන් වෙත ලබාදී තිබේ. දිසානායක ඇමැතිවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ද දරුවන්ට බොහෝ දේ ලැබී ඇත.

දෙහිගම ඥානරතන හිමි

මෙම විදුහල පසුගිය පහළොස්වැනිදා පළාත් අධ්‍යාපන ඇමැති ප‍්‍රමුඛ අම්පාර දිසාපති සුනිල් කන්නන්ගර, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.එච්.ඒ.ඩී. විජේසිරි යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් විවෘත කෙරිණි.

යළි ඇරැඹුණු නව විදුහලේ ඉදිරියේදී සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වීමට ඔවුහු බලාපොරොත්තු වෙති. ඊට අමතරව පෙර පාසලක් ද අරඹා තිබේ.

“ගමේ මිනිස්සුන්ගේ ඉල්ලීමක් නිසාමත් නැඟෙනහිර මුදවා ගැනීමට කළ මෙහෙය නිසාත් ජනාධිපතිතුමාට ගෞරවයක් හැටියට ඉස්කෝලෙට එතුමාගෙ නම දාන්න අපට හැකිවුණා…”

විදුහල්පති චන්ද්‍රකුමාර බණ්ඩාර

අරන්තලාව පොලිස් මුරපොළ සහ විශේෂ කාර්ය බළකා භටයෝ ද ගමට මෙන්ම පාසලට ද අම්පාර නුවර ප‍්‍රධාන මාර්ගයට ද ආරක්ෂාව සලසති.

විදුහල්පති ලෙස කටයුතු කරන බණ්ඩාර මහතා ද බොහෝ අත්දැකීම් ලැබූ අයෙකි. ඔහු කොටි ප‍්‍රහාරවලින් තෙවරක් ම දිවි ගලවා ගත් අයෙකි. පුලාවල ප‍්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කළ ඔහු අද මහින්ද රාජපක්ෂ විදුහලේ විදුහල්පතිවරයාය.

“අපේ රණවිරුවන් ජීවිතය පූජා කරලා රට රකිනවා… මම ඉපදුණේ මෙහෙ… හැදුණේ වැඩුණේ ඉගෙන ගත්තේ මෙහේ…. ගම දාලා අපට යන්න බැහැ… අරන්තලාව ඉස්කෝලෙ වැඩ බාරගත්තේ හරිම සතුටින්… කැමැත්තෙන්…. අඩුපාඩු ගොඩක් තිබුණත් ඉදිරියේදී කොහොමහරි ඒවා විසඳ්‍රගෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා… මෙහෙ ජනතාව දැඩි ආර්ථික ප‍්‍රශ්න මැද්දේ තමයි ජීවත්වෙන්නේ… ඔවුන්ගේ ආර්ථිකය නඟා සිටුවන්නටත් කුමක් හෝ දෙයක් කරන්න මගේ සිතේ සැලැසුමක් තියෙනවා…” විදුහල්පතිවරයා කීය. ඔහුගේ බිරිය ද ඒ පළාතේම ගුරුවරියක් වීම ඔහුගේ ගමනට ආශිර්වාදයක් වී ඇත.

දරුවන්ගේ විවිධ ප‍්‍රසංගයේ අවස්ථාවක්.

මේ අතරේදී තවත් සුවිශේෂ සිදුවීමක් විය. වෙනත් කටයුත්තක් සඳහා මෙම ප‍්‍රදේශයට පැමිණි ජපන් ජාතිකයෙක් අරන්තලාවේ මහින්ද රාජපක්ෂ විදුහල දැකගැනීමට පැමිණියේය. විදුහල්පතිවරයා විසින් ඔහු ආදරයෙන් පිළිගනු ලැබුවේය. ඔහු ජපන් ජාතික අසමු අරිනෝ මහතාය.

“ඔබේ රටේ ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදීන්ට එරෙහිව කි‍්‍රයාකර ඔබට නිදහසේ ඉන්න ඉඩ සලසා දුන්නා. මට ඒ ගැන හරි සතුටුයි. ඒ නිසා පාසලේ අඩුපාඩු සකසා ගැනීමට උදව් කිරීමට මං බලාපොරොත්තු වෙනවා…” යැයි ඔහු පැවැසීය.

පාසල සඳහා පරිගණකයක් ඇතුළු තවත් උපකරණ රැසක් පරිත්‍යාග කිරීමට ඔහු බලාපොරොත්තු වන බව ද පැවසුවේය. මහින්ද රාජපක්ෂ විදුහලේ දරුවන් මුණ ගැසීමට ද ඔහු අමතක නොකළේය.

අසේල චින්තක දෙවැනි වසරට ඇතුළත් වූ දරුවෙකි. ඔහුගේ පියා ජීවත්වන්නේ හේන් ගොවිතැනින්ය. පාසල් යෑමට පැන්සල්, බෑග්, වතුර බෝතල නිල ඇඳුම පවා ඔහුට ලැබී ඇතතත් පයට දමන්නට සපත්තු කුට්ටමක් ඔහුට නැත. පාසලේ බොහෝ දරුවන්ගේ තත්ත්වය ද එයමය. අරන්තලාවට තවත් බොහෝ දෑ සිදුවිය යුතුව ඇත. ඔවුන්ගේ ජීවිත යළි නඟාසිටුවීම ඉන් ප‍්‍රධානය. ආරක්ෂාව අතින් ඔවුහු සෑහීමකට පත්ව ඇත්තාහ. යටිතල පහසුකම් නඟාසිටුවීම තවත් කර්තව්‍යයකි. රජය ඒ සඳහා දැනටමත් පියවර ගෙන ඇත. වැව හදා තවත් පිරිස් මෙහෙ පදිංචි කරවීම දිසාපතිවරයාගේ බලාපොරොත්තුව බව විදුහල්පතිවරයා අප සමඟ කීවේය.

Read Full Post »

සේනාංක හතරක් හා කාර්ය සේනාංක තුනක් පැති හතකින් මුලතිව් ප‍්‍රදේශය වට කොට ඇති අතර පලා යෑමට නොහැකිවූ එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් දහසක් එම සේනාංක වලින් බේරීම සඳහා අහිංසක සිවිල් වැසියන් අතර රැඳී සිටින බව මුලතිව් ප‍්‍රදේශයෙන් ලැබෙන අලුත්ම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සිය දිවි හානි කරගන්නේ ද නැතහොත් හමුදා සේනාංක වෙත බාර වෙන්නේ ද යන්න තීරණය කර ගත නොහැකිව  මංමුලාවී ඇති මොවුන් හමුදා සේනාංක මුලතිව් නගරයට ළංවීමත් සමඟ හමුදාවට යටත් වෙනු ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප‍්‍රධානියෙකු කීය.

මුලතිව් හි කොටුවී ඇති සාමාන්‍ය වැසියන් පළිහක් කැරගෙන හමුදා ප‍්‍රහාර නතර කරලීමට ඔවුන් දැඩි උත්සාහයක යෙදෙන බව ද දැනගන්නට ඇත. පැති කිහිපයකින් වටකොට ඇති සේනාංක අතරින් එක් සේනාංකයක් මුලතිව් නගරයට පිටුපසින් දකුණෙන් කිලෝමීටර තුනක දුරින් රැඳී සිටින බව ද යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා කීය.

මුලතිව්හි රැඳී සිටින සාමාන්‍ය වැසියන් රජයේ පාලන පැවැති පෙදෙසට යාම වළක්වාලීම සඳහා ඔවුන්ගේ දරුවන් පවා කඳවුරු තුළ දමා ගෙන සිටින අතර බොහොමයක් කොටි ත‍්‍රස්තවාදින් සිය නිල ඇඳුම ඉවතලා සාමාන්‍ය වැසියන් වෙස් ගෙන සිටින බවද දැනගන්නට තිබේ. සාමාන්‍ය වැසියන්ට හිරිහැරයක් නොවන පරිද්දෙන් මුලතිව් අත්පත් කරගැනීම රජයේ හමුදාවන්හි එකම බලාපොරොත්තුව බව ද ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් කීය.

Read Full Post »

ශී‍්‍රලංකා ආරක්ෂක හමුදා ඊලාම් ත‍්‍රස්තවාදයට එරෙහිව එල්ටීටීඊය සමග කරන යුද්ධයේ අවසාන අදියරට පැමිණ සිටී. මුළු රටම ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ උදාර මෙහෙයුම අවසන් කරන මේ මොහොතේ ත‍්‍රස්තවාදීන් සතුව තවත් පවතින්නේ වර්ග කි.මී. 392 තරම් ප‍්‍රදේශයකි. එම භූමි ප‍්‍රදේශය ද තත්පරයෙන් තත්පරය පැයෙන් පැය දවසින් දවස තව තවත් අඩු වෙමින් පවතී.

දශක දෙකහමාරක ත‍්‍රස්තවාදී සිහින ඊළාම් අරගලය සමයේදී එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් වර්ග කි.මී. 15000 ක භූමි ප‍්‍රදේශයක් සිය ඊළම ලෙස වෙන්කරගෙන සිටියහ.

එහෙත් වසර 2 1/2 කින් ඊළාම් ත‍්‍රස්තවාදින් තුවක්කුවෙන් ඝාතනවලින් වෙන්කරගෙන සිටි භූමි ප‍්‍රදේශය සියයට 90කට වඩා බේරා ගැනීමට ආරක්ෂක හමුදාවන්ට හැකිවී තිබේ. ඒ නිවැරැදි නොසැලෙන දේශපාලන නායකත්වයක් සමග සැලැසුම් සහගත දිරිමත් හමුදා නායකත්වයක් එකවර ලැබීම නිසාය.

දැන් කොටින් ගේ ඊළාම් රාජ්‍යය බිඳ වැටි ඇත. ඊළාම් පොලිසි, ඊළාම් බැංකු, ඊළාම් නීතිරීති සියල්ල ආරක්ෂක හමුදාවන් විසින් සුනුවිසුණු කරනු ලැබ ඇත.

පසුගිය සතියේ යාපනය අර්ධද්වීපය මුදාගත් 55 වන සේනාංකය චුන්ඩිකුලම් දෙසින් දකුණට මෙහෙයුම් කරමින් නැඟෙනහිර වෙරළ දෙසින් මුලතිව් වටකරද්දි, අලිමංකඩ මුදා ගැනීමට විශේෂ දායකත්වයක් සැපයූ 53 වන සේනාංකය යළිත් ඒ 9 මාර්ගය දෙසින් මුලතිව් බලා ගමන් කරයි. 57, 58, 59 සේනාංක හා 2, 3, 4 කාර්ය සාධක හමුදා මුලතිව් වට කරමින් ඉදිරියට මෙහෙයුම් සිදු කරති.

හමුදා සෙබළි යක ගේ දරු සෙනෙහස

මුලතිව් වටා ඇති ඒ 9, ඒ 34 මාර්ග දැන් ශී‍්‍ර ලංකා හමුදා යටතට පත්ව තිබේ. සියලුම සැපයුම් මාර්ග ඇහිරී සිටින කොටින්ට දැන් පෙර මෙන් අවි ආයුධ ලැබෙන්නේ නැත. ඔවුන්ට සැපයුම් මාර්ගයකට ඉතිරිව ඇත්තේ මුලතිව් සිට චුන්ඩිකුලම් කළපුව දක්වා ඇති ඊසානදිග වෙරළ තීරයේ කි.මී. 30 ක ප‍්‍රමාණයක් පමණකි.

මේ සතිය තුළදී ආරක්ෂක හමුදා සේනාංක කොටි ප‍්‍රදේශ කරා සටන් කරමින් ඉදිරියට ගියේ පෙර නොවු විරූ වේගයකිනි.

දකුණේ සිට උතුරට ඇදෙන සියලුම ආරක්ෂක හමුදා පරන්තන් මුලතිව් ඒ 35 මාර්ගයට ළංව කි‍්‍රයාන්විතයෙන් සිදු කරන්නේ එල්ටීටීඊයේ සීමා මායිම් තවත් කෙටි කරමිනි.

58 හා 57 වන සේනාංක බටහිර සිට පරන්තන් හරහා විශ්වමඩු දෙසට ඇතුළු වෙමින් සිටී. විශ්වමඩු යනු එල්ටීටීඊයේ ඉතා ප‍්‍රබල මර්මස්ථානයකි. එල්ටීටීඊ ධර්මපුරම් හි මෙතෙක් කල් රඳවාගෙන සිටි අහිංසක දෙමළ සිවිල් වැසියන් මේ වන විට විශ්වමඩු කරා බලෙන් රැගෙන ගොස් සිටින බව යුද ආරංචි මාර්ග වලින් පැවැසේ.

බි‍්‍රගේඩියර් ශවීන්ද්‍ර සිල්වා මෙහෙයවන 58 වන සේනාංකය කොඩිකන්න ආරු තරණය කරමින් විශ්වමඩු කරා ඇතුළු විය. මේජර් ජනරාල් ජගත් ඩයස් අණ දෙන 57 වන සේනාංකය විශ්වමඩු කරා ඇතුළු වූයේ ඒ 35 මාර්ගයේ දකුණු දෙසිනි.

හමුදාව විශ්වමඩු කරා ළංවෙන්නේ ඉතා ප‍්‍රවේශමෙනි. එහි මිනිස් පළිහක් මෙන් තබාගෙන ඇති දහස් ගණන් සිවිල් ජනතාව බේරා ගැනීම ඔවුන්ගේ ප‍්‍රධාන පරමාර්ථයක් වී ඇත. කොටි ත‍්‍රස්තවාදීන් විශ්වමඩුහි රඳවා ඉන්නා සිවිල් වැසියන් අතර ඉඳගෙන හමුදාවන්ට කාලතුවක්කු හා මෝටාර් ප‍්‍රහාර එල්ල කරති.

එහෙත් ඒ ප‍්‍රහාර වලට මුහුණ දෙමින් වුවද ත‍්‍රස්තවාදීන්ට කෙළින්ම ප‍්‍රහාර එල්ල කිරීමට හමුදාවන්ට අවකාශයක් නැත. හේතුව ත‍්‍රස්තවාදීන් සිවිල් ජනතාවට මුවාවී ප‍්‍රහාර එල්ල කරන බැවිනි. හමුදා ප‍්‍රහාරයක් වැරැදිලාවත් සිවිල් ජනතාවට එල්ල වුවහොත් එහි වගකීම වැටෙන්නේ හමුදාවන් වෙතය.

මේ සතිය මැද වන විට බි‍්‍රගේඩියර් රෝශන බණ්ඩාර මෙහෙයවන දෙවන කාර්ය සාධක හමුදාවන් බි‍්‍රගේඩියර් සත්‍යපි‍්‍රය ලියනගේ මෙහෙයවන තුන්වන කාර්ය සාධක හමුදාවන් කර්නල් නිශාන්ත වන්නිආරච්චි මෙහෙයවන හතරවන කාර්ය සාධක හමුදාවන් ඒ 35 මාර්ගය දකුණු දෙසින් කිලෝමීටර් 2 ක් පමණ කිට්ටු වී සිටියහ. ඔවුහු මාන්කුලම් මුලතිව් ඒ 34 මාර්ගය ඉහළින් පුදුකුඩුඉරිප්පු ගිනිකොණ දෙසට ගමන් කරති.

මේ අතර පසුගිය සතියේ විශේෂිත සිදුවීම් කීපයක් සිදුවිය. එකක් නම් කොටින් ගේ දරුණු මර්මස්ථානයක් මෙන්ම සිවිල් වැසියන් බොහෝ පිරිස් මිනිස් පලිහක් වශයෙන් තබාගෙන ත‍්‍රස්තවාදීන් රජ කළ ධර්මපුරම් වෙත පළමුවරට ශී‍්‍ර ලංකා හමුදා ඇතුළුවීමය.

දශක දෙකක එල්ටීටීඊ යුද්ධය පුරාවට හමුදාවන්ට ධර්මපුරම් වෙත ඒමට එල්ටීටීඊය ඉඩ දුන්නේ ම නැත. එය එතරම්ම බලසම්පන්න එල්ටීටීඊ කඳවුරකි. ඔවුන්ගේ බළකොටු ආහාර ගබඩා පරිපාලනමය මධ්‍යස්ථාන බොහෝමයක් තිබුණේ ධර්මපුරම්හිය.

දින ගණනාවක දරුණු සටන් මැද ත‍්‍රස්තවාදීන්ට දැඩි හානි පමුණුවමින් පසුගිය සතියේ 58 සේනාංකයේ බළසේනා ධර්මපුරම් අල්ලා ගත්හ.

මෙතෙක් සොයාගත හැකිවූ කොටි ත‍්‍රස්තවාදීන්ගේ විශාලම ආහාර ගබඩාව සොයාගත හැකිවූයේ ධර්මපුරම් හිදීය. එම ගබඩාවල වී හාල් පිටි සීනි ආදි ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩගසා රැස්කර තිබිණ. මේවා කොටි සංවිධානය මිලයට ගත් ඒවා නොවේ. රජයෙන් පොදු මහජනතාව වෙත එවන ආහාර ද්‍රව්‍යවලින් කොල්ලකාගත් ඒවාය.

ඔවුන් සිය වැසියන්ගේ මූලික අවශ්‍යතා පවා නොසලකා හැර යුද්ධය සඳහා ආහාරපාන රැස්කළ අයුරුයි ඒ. මේ ආහාර හා වී ගබඩා වටකොට බංකර් බැඳ ඒවා ආරක්ෂා කොට තිබේ.

ජනතාව වැඩි වශයෙන් සිටියේ ද ධර්මපුරම් ප‍්‍රදේශයේය. ඔවුන්ගේ පරිභෝජනයට රජය විසින් එවූ ආහාර කොටි සංවිධානය සිය පරිහරණයට ගෙන තිබුණේ සාමාන්‍ය ජනතාව පිළිබඳ කිසිදු හැඟීමකින් තොරවය.

මේ අතර ධර්මපුරම්හි සෝදිසි මෙහෙයුම්වලදී එල්ටීටීඊයේ ප‍්‍රධාන පාලන මධ්‍යස්ථානයක් හා කි‍්‍රයාන්විත මැදිරි සංකීර්ණයක් 58 වන සේනාංකය විසින් සොයාගෙන තිබේ.

සිවිල් වැසියන්ට හමුදාවෙන් උපරිම පහසුකම්

ධර්මපුරම් නැඟෙනහිර ප‍්‍රදේශයේ මෙම එල්ටීටීඊ යුද මධ්‍යස්ථානය ඔවුන්ගේ සන්නිවේදන මැදිරියත් හා භූගත බංකරයක පවත්වාගෙන ගිය පාලන මැදිරියක් ද හමුවී ඇත.

සියුම් ශිල්පීය ක‍්‍රමයට සකස් කළ ලංකාවේ ප‍්‍රධාන නගරවල සිතියම්, කොටි සිහින ඊළම් රාජ්‍යයේ සිතියම්, මෙන්ම ප‍්‍රධාන ආරක්ෂක කඳවුරුවල සිතියම් සහිත සිතියම් මධ්‍යස්ථානයක් ද එහි තිබිණ.

ධර්මපුරම් ප‍්‍රදේශයෙන් තවත් විශේෂිත යමක් හසුවිය. ඒ කොටින්ගේ විශාලතම ඉන්ධන ගබඩාවයි. එය ඉතා සූක්ෂ්ම ලෙස සැකසූ ඉන්ධන ගබඩාවකි.

පළාතේ සෝදිසි මෙහෙයුම් වලදි ඔවුන්ට අක්කරයක විශාල පොල් වත්තක් හමුවිය.

එහි තැනින් තැන සෝදිසි කරද්දි පොළොවේ පස් බුරුල් ඇති බව ඔවුන්ගේ දෙපාවලට දැනිණ. තෙල් ගඳ ද තැනින් තැන විහිදිණි.

සෙබළු බුරුල් වූ පස් ඉවත් කළහ. යටින් වූයේ ලෑලි දමා සකස් කළ වතුර වළවල්ය. ඒවායේ ඩීසල් පුරවා සීල් කළ බැරල්ය. මුළු වත්ත පුරා තැනින් තැන මෙසේ ඩීසල් බැරල් වළ දමා තිබු අතර, ඒවා වළ දැමු ස්ථාන අසල වූ පොල්ගස්වල එම ස්ථානයේ ඇති බැරල් ප‍්‍රමාණයන් ඒවා වළ දැමු දිනයත් සටහන්ව තිබිණ.

මේ ඩීසල් ද කොටි ත‍්‍රස්තවාදීන් මිලදී ගත් ඒවා නොවේ. රාජ්‍ය නොවන සංවිධානවලට මහජනතාවගේ පොදු කටයුතු සඳහා ඔවුන්ගේ වාහන සඳහා ලබා දුන් හා මහජනයාගේ ප‍්‍රයෝජනයට ලබාදුන් ඒවාය.

පසුගිය කාලවල මේ ප‍්‍රදේශවල ඉන්ධන හිඟයක් ඇතැයි ඇතැම් අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන පවා රජයට දොස් කීව ද සිදුවී ඇත්තේ ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන්ගේ ඩීසල් කොටි සංවිධානය ලබාගැනීමයි.

මේ ස්ථානයේ ලීටර් 225 ඩීසල් බැරල් 300 ක් පමණ වළ දමා තිබිණ. සොයාගත් මුළු ඩීසල් ප‍්‍රමාණය ලීටර් 67500 කි. මේ කොටි සංවිධානයට වසර ගණනකට සිය යුද වාහනවලට ගත හැකි ප‍්‍රමාණයකි. එහෙත් ඔවුන්ට ඒ සියල්ල අත්හැර දමා ආරක්ෂක හමුදා ප‍්‍රහාර හමුවේ පලා යන්නට සිදුවිය.

මේ අතර චුන්ඩිකුලම අල්ලාගෙන මුළු යාපනය ම මුදාගත් බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා මෙහෙයවන 55 වන සේනාංකය විසින් වෙත්තලයිකර්නි, තාලෙයිඅඩි, චැම්පියන්පත්තු, චුන්ඩිකුලම් ප‍්‍රදේශවල කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී ත‍්‍රස්තවාදීන් විසින් දමා ගිය බොහෝ දෑ ආරක්ෂක හමුදාවන්ට හමුවිය.

කොටි ත‍්‍රස්තවාදීන් තමන් පාවිච්චි කළ වාහන මෙන්ම ආයුධ පවා දමා පැන ගියේ ආරක්ෂක හමුදාවන් ගේ ප‍්‍රහාරවල වේගවත්කම නිසා ය.

නාගර්කෝවිල් සිට චුන්ඩිකුලම් දක්වා කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී කොටි ත‍්‍රස්තවාදීන් දමා ගිය විශේෂ වෙඩි නොවදින රථයක් හමුවූයේ වෙත්තලයිකර්නි හිදීය. ඒ රථය විශේෂිත වූ ඝන තහඩු යොදාගෙන වෙඩි නොවදින ලෙස තනා තිබුණේ සමහරවිට කොටි නායකයන් ප‍්‍රවාහනයට විය හැක.

වෙත්තලයිකර්නි වෙරළේ තිබී බස්රථයක් ලොරියක් බුල්ඩෝසරයක් බැකෝ යන්ත‍්‍රයක් ට‍්‍රැක්ටර් ඇතුළු වාහන කීපයක්ම හමුදාවට හමුවිය. මේ සියලු වාහන රජයේ ඒවාය. රජයේ ආයතනවලින් හොරා ගත් හෝ බලෙන් ගත් ඒවාය. එමෙන් ම බංකර් සැදීමට ගෙනා තේක්ක දැව කඳන් විශාල ප‍්‍රමාණයක් ද දමා ගොස් තිබිණ.

වෙරළ දිගටම දමා ගොස් තිබු බෝට්ටු සමහරක් ගිනිතබා ගොස් තිබුණු අතර තලෙයිඅඩි ප‍්‍රදේශයේ තිබී තවත් ගිනි නොතැබු මරාගෙන මැරෙන කොටි බෝට්ටුවක් ද හමුවිය.

නාගර්කෝවිල් සිට මුලතිව් දක්වා කොටි මුහුදු බලය තිබු කාලයේදී නාවික හමුදාවට විශාල තර්ජනයක් වූ කොටි බෝට්ටු දැන් බොහෝදුරට නිහඬ වී ඇත.

වන්නියේ ලක්ෂ 2 1/2 ක් හෝ 3 ක් පමණ සිවිල් වැසියන් සිරකරගෙන ඇතැයි පසුගිය දිනවල අන්තර්ජාතික වශයෙන් විශාල ප‍්‍රචාරයක් දී තිබිණ.

වන්නියේ සිරවූ සාමාන්‍ය දෙමළ ජනතාව දුක් විඳින බවත් ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර හිඟ බවටත් නොයෙක් ප‍්‍රචාර ගෙන ගියේ ද කොටි හිතවාදී මාධ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයි.

එහෙත් හමුදාව ශීඝ‍්‍රයෙන් ඉදිරියට ගොස් කොටි ප‍්‍රදේශ අල්ලා ගනිද්දි ඒවායේ සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් සිටියේ නැත. කිලිනොච්චිය පරන්තන් ධර්මපුරම් ප‍්‍රදේශ හිස්වී තිබිණ. ඒවායේ සිරවී සිටිතැයි දිසා ලේකම්වරුන් මඟින් පෙන්වූ ජනතාව පිළිබඳ ගණන් හිලව් වලට අනුව එවැනි ජනතාවක් එහි සිටියේ නැත.

කිලිනොච්චිය අල්ලා ගන්නා විට ඔවුන් කොහේ ගියේ දැයි හමුදාවන්ට ප‍්‍රශ්නයකි. මෙයින් පෙනී යන්නේ කොටි හිතවාදීන් ලොවට පෙන්වූ ගණන් හිලව් මවාපෑමක් බවයි.

හමුදා ආරංචි මාර්ගවලින් හා පලා ආ සිවිල් වැසියන්ගේ ප‍්‍රකාශවලින් පැවැසෙන්නේ වන්නියේ සිටින්නේ 75000 කට අඩු සිවිල් ජනතාවක් බවයි.

එසේ ම විශ්වමඩු සිට පලා එන්නට තැත් කළ දහස් ගනනක් වූ ජනතාවට ප‍්‍රභාකරන් ගේ නියෝගයෙන් කොටි ත‍්‍රස්තවාදීන් වෙඩි තබා ඇති බවත් එහිදී දසදෙනෙක් මියගිය බවත් ධර්මපුරම් කරා පලා ආ ජනතාව පැවැසූහ.

ප‍්‍රභාකරන් සිය ජනතාවගේ ගැලවුම්කරුවා නොව මග මරුවකු බව මෙයින් ලොවට ඔප්පු කර තිබේ.

විශ්වමඩු ප‍්‍රදේශයේ සිරකරගෙන සිටින ජනතාවට පැමිණීම සඳහා රජය විසින් තවත් යුද මුක්ත කලාපයන් මේ වන විට ප‍්‍රකාශයට පත්කොට තිබේ.

ඒ, ඒ 35 මාර්ගය සීමාකොට උඩයාර්කට්ටුකුලම් හන්දිය හා කහ පාලමෙන් උතුරු කොටසයි.

කලින් රජය මඟින් ප‍්‍රකාශ කොට තිබු යුද මුක්ත කලාපය මින් අහෝසි වෙයි. මේ පිළිබඳව දැන්වීම් පති‍්‍රකා ගුවනින් කොටි පාලන ප‍්‍රදේශවල ජනතාව වෙත ලබාදී තිබේ.

ජනතාව කොටි අඩවියේ සිට යුද මුක්ත කලාපයට හෝ මුදාගත් ප‍්‍රදේශවලට ඒමට දැඩි කැමැත්තකින් සිටී. එහෙත් රජයේ පාලන ප‍්‍රදේශවලට එන ජනතාවට එක්වරම ඔවුන්ට අවශ්‍ය ස්ථානවලට යාමට ඉඩ දෙන්නේ නැත.

මෙය හුවා දක්වමින් සමහර කොටි හිතවාදීන් පවසන්නේ රජයේ පාලන ප‍්‍රදේශවලට එන ජනතාවට නිදහසක් නැති බවයි. එය අසත්‍යයකි. කොටි පාලන ප‍්‍රදේශවල ඒ ජනතාව සිටින්නේ මර බියෙනි. සුළු වැරදීමකින් සැකයකින් කොටින්ගෙන් මරණීය තර්ජනවලට මුහුණදිය යුතුය. නැතිනම් සටන්වලට මැදිවී මියයාමේ තර්ජනයට ද මුහුණදීමට සිදුවේ.

එහෙත් රජයේ පාලන ප‍්‍රදේශවලට එන සිවිල් වැසියන්ට එවැනි තර්ජන ගර්ජන නැත. ඔවුන්ට ආහාරපාන හා අත්‍යවශ්‍ය සියලු පහසුකම් ලැබේ. රජයේ පාලන ප‍්‍රදේශවලට එන සිවිල් වැසියන්ට ලැබෙන පහසුකම් ඔවුන්ට කොටි පාලන ප‍්‍රදේශවලදී ලැබෙන්නේ නැත.

මේ වසරේ ජනවාරි 1 දා සිට 21 දා දක්වා රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණි පිරිස 2959 දෙනෙකි. දිනෙන් දිනම එම පිරිස එන්න එන්නම වැඩිවී ඇත. ඉදිරියට මේ සංඛ්‍යාව මහා පරිමාණයෙන් වැඩිවීමට ඉඩ තිබේ.

මේ වන විට පුදුකුඩිඉරුප්පු, විශ්වමඩු ප‍්‍රදේශ වටලා හමුදා සේනාංක අටක් කඳවුරු බැඳගෙන සිටී.

59 වන සේනාංකය මුලතිව්හි විලාවත්ත දකුණු දෙසින් නැඟෙනහිර වෙරළට ආසන්නව පලෙයිකුඩිරුප්පු ප‍්‍රදේශයෙන් මෙහෙයුම් කරයි.

4 වන කාර්ය සාධක බළකාය පුදුකුඩිඉරිප්පු දකුණු දෙසින් ද 2 කාර්ය සාධක බළකාය උඩයාරකට්ටුකුලම් දෙසින් ද 3 වන කාර්ය සාධක බළකාය පල්මඩුකුලම් වැව හා උඩයාරකට්ටුකුලම් වැව අතර ප‍්‍රදේශයෙන් ද මෙහෙයුම් සිදු කරමින් උතුරු දෙසට ගමන් කරන්නේ ත‍්‍රස්තවාදීන් සමග දරුණු ලෙස ගැටෙමිනි.

57 වන සේනාංකය රාමනාදන්පුරම් නැඟෙනහිර සිට විශ්වමඩු දෙසට සටන මෙහෙයවයි.

58 වන සේනාංකය ඒ 35 මාර්ගයට උතුරින් පුල්ලයන්පොක්කරායි හා විශ්වමඩු දකුණු දෙසින් නැගෙනහිර දෙසට ගමන් කරන්නේ ධර්මපුරම් හි කොටි ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය පවා සියතට අරගෙනය.

මේ අතර 55 සේනාංකය චුන්ඩිකුලම් සිට දකුණට මෙහෙයුම් කරමින් උතුරු දෙසින් මුලතිව් නගර සීමාවට ළංවෙමින් සිටින්නේ කොටි ත‍්‍රස්තයන්ගේ දැඩි ප‍්‍රතිරෝධයට ලක්වෙමිනි.

මෙසේ සතර අතින් කොටුවී සිටින කොටි නායකයින්ගේ මීළඟ අභිප‍්‍රාය සටන පාවාදී පලා යාම බව වන්නියෙන් එන ආරංචි මාර්ගවලින් පැවැසේ. එහෙත් දසතින් රැකවල්ලාගෙන සිටින ති‍්‍රවිධ හමුදාවන් ගෙන් බේරී පලායාම කිසිත් කළ නොහැක්කකි.

එහෙත් මේ අතර දකුණේ විශාල විනාශයක් කිරීමට කොටි බෝම්බකරුවන් අරඅඳින බවට බුද්ධි අංශ සනාථ කරයි. මරාගෙන මැරෙන බෝම්බකරුවන් 16 දෙනෙක් එවා ඇති අතර ඉන් දෙදෙනකු හසුවී තවත් 14 දෙනෙක් දකුණේ සැරිසරන බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇත.

මේ ඔවුන් විනාශකාරී කි‍්‍රයාවන්ට පෙළඹෙන කාලයයි. පසුගිය වසරේදී ද ජනවාරි පෙබරවාරි මාසවලදී මරාගෙන මැරෙන බෝම්බ කීපයක් කොළඹ හා ඊට ආසන්නයේදී පුපුරා ගියේය.

එම නිසා මේ වසරේ කොටි ත‍්‍රස්තවාදීන් පරාජයේ අගාධයටම වැටි සිටින මේ මොහොතේ දී ද එවැනි විනාශයක් පිළිබඳ තොරතුරු බුද්ධි අංශවලට ලැබී තිබේ. මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට හොඳම පිළිවෙත මහජනතාව ඉතාමත් සුපරීක්ෂාකාරීව හා නොබියව සිටීමයි.

කිලිනොච්චියේ දී කිලෝ මීටර කණුවක් ලෙස සකස් කළ ක්ලේමෝ බෝම්බයක් ද හමුදා සෝදිසි මෙහෙයුම්වලදී සොයාගෙන තිබේ. මෙවැනි කණු පිළිබඳව ද ජනතාව මින්පසු සුපරීක්ෂාකාරී විය යුතු බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර ඉල්ලීමක් කරයි.

පසුගිය දා පාදුක්කේදී බස්රථයක තිබු බෝම්බයක් සමඟ ඒ බෝම්බකරු අල්ලා ගැනීමට හැකිවූයේ කාන්ති පෙරේරා නම් මගී කාන්තාවකගේ විමසුම් ඇස නිසාය. එයින් සිදුවූ සෙත ඒ බෝම්බකරු හා බෝම්බය සොයාගැනීම පමණක් නොවේ.

ඒ බෝම්බකරු ගෙන් මාසයක් පමණ ප‍්‍රශ්න කොට සොයාගත් තොරතුරු අනුව බෝම්බ අටවා සීල් තබා සුදු පැහැති බෝම්බ වෑන් රථයක් සොයා ගැනීමට හැකිවී ඇත. කිලෝ 34 ක් බරැති 58 – 3914 දරන ඒ වෑන් රථය සොයා ගැනීම පිටුපස ඇත්තේ මගීන්ගේ විමසිල්ල හා බිය නැතිව ඉදිරිපත්වීම පිළිබඳ කතාන්තරයයි.

එම නිසා නිදහස් උලෙළට ළංවෙන මේ සමයේ රට ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීමට ඔන්න මෙන්න කියා තිබෙන මේ මොහොතේ මහජනතාව ඉතාමත් විමසිල්ලෙන් දකුණේ ආරක්ෂක අංශවලට සහාය දැක්විය යුතුය. නිතරම විමසිල්ලෙන් හා අවබෝධයෙන් සිටිය යුතුය.

Read Full Post »