Feeds:
Posts
Comments

Archive for January, 2018

ආන් ෆොයෝටොෆොව් කොළඹ පදිංචියට පැමිණියේ ඉන්දීය සාගරයේ පාරාදීසය ගැන අන්තර්ජාලයෙන් කියැවූ තොරතුරුවලින් වශීකෘතවය. රන්වන් වෙරළ තීරයත් එම වෙරළ තීරය නිරතුරුව සිප ගන්නා පෙණ පිරුණු රළපහරත් වෙරළ තීරය වටා එතුනු පොල් රුප්පාවත් ඔහුගේ සිත වශී කළේය. නිරතුරුව මුහුදට ආශා කළ ආන්, වස්කඩුවේ නිසංසල බිම් කඩක් මුහුදු වෙරළ අද්දරින් මිලදී ගත්තේ සාමකාමී ජීවිතයක් ගෙවීය. රාජකීය නෝර්වීජියානු හමුදාවේ නිලධාරියකු වූ ඔහු විශ්‍රාම ජීවිතය ගත කිරීමට මෙම සුන්දර බිම් තීරය තෝරා ගත්තේ යුරෝපයේ කලබලකාරී යුද සේවයෙන් මිදී නිදහස් ජීවිතයක් ගෙවීමට ප්‍රිය කළ නිසාය. ඒ 1970 මුල් භාගය විය.

ආන්ට නෝර්වේජියානු රාජ්‍ය නොවන සංවිධාන, අරමුදල් සැපයුවේය. 1974 දී ජනගහන සේවා ලංකා ආයතනයට ඔවුන්ගේ උදව් ලැබී තිබිණි. තවත් ආයතන දෙකක් එම අරමුදල් ලැබීය. ඔවුන්ගේ වගකීම වූයේ වැඩිවන ජනගහණය පාලනය කිරීමයි. කුඩා රටවල්වල ජනගහන වර්ධනය අනවශ්‍ය ලෙස ඉහළ යන බව මෙම නෝර්වීජියානු සංවිධානවල අදහස වූ අතර එය පාලනය කිරීමට අරමුදල් ගලා ආවේය.

පුංචි පවුල රත්තරං එසේ ඇරඹුණ ව්‍යාපෘතියකි. 1977 වෙන විට කුඩා ව්‍යාපෘතියක්ව තිබූ එය ඈත ගම් දනව්වල මව්වරුන් කරා ඇදී ගියේ විපතට වැටුණු කාන්තාවන්ට පිහිටවෙන මුවාවෙනි. 1977 දී රාජ්‍ය මට්ටමෙන් මෙම කටයුත්තට අත ගැසුවේය. ජනපතිවරයා එය රාජ්‍ය ප්‍රතිපත්තියක් කළේය. පළමුව මව්වරුන් කරා ගිය පුංචි පවුල රත්තරං අනතුරුව හැරුණේ පියවරුන් හා තරුණයන් වෙතටය. වන්ධ්‍යාකරණය කර ගන්නාට රුපියල් පන්සියයක් ද ලබාගෙන ගෙදර ගිය හැකිය. ඒ වෙනුවෙන් ඔහු පූජා කරන්නේ ජීවිත කාලයටම තමාට දරුවන් හැදීමට ඇති ශක්තියයි.

ආන් කොළඹට එන විට එම පැරණි සබඳතා අලුත් වෙමින් තිබුණි. වන්ධ්‍යාකරණ ප්‍රතිපත්තිය සාර්ථකව ඉදිරියට යමින් තිබූ අතර වන්ධ්‍යාකරණය කර ගත්තෝ බහුතරය සිංහල බෞද්ධ පිරිමි වූහ. දමිළ, මුස්ලිම් හෝ ක්‍රිස්තියානි ආගමිකයන් අතර මෙම ව්‍යාපෘතිය ප්‍රචලිත නොවී තිබීම ද කැපී පෙනුණි. 1996 වසර එළඹෙන විට ආන් කොළඹ මිතුරන් කිහිපදෙනකු ආශ්‍රය කළේය. ආණ්ඩුවේත් විපක්ෂයේත් ප්‍රබල දේශපාලකයන් වූ ඔවුන් ආන්ගේ නිවසට නිතර ආවේ ගියේ යුරෝපයේ ඉස්තරම් මධුවිත ද ස්කැන්ඩිනේවියන් ක්‍රමයට සැකසුණු ආහාර ඇතුළත් සාද ද නිරතුරුවම ආන්ගේ නිවසේ පැවැත්වුණු හෙයිනි.

නෝර්වේජියානු විදේශ ඇමැති එරික් වොලබැග් 2000 පෙබරවාරි 10 වැනිදා කොළඹට නිල දූත ගමනක යෙදුණේය. එරික් සහ තවත් පිරිසක් ද කැටුව ආ වොලබැග් ජනාධිපතිගේ විශේෂ අනුග්‍රහයට භාජනය විය. වොලබැග් නික්ම ගියේ ත්‍රස්තවාදීන් සහ රජය අතර සාම සාකච්ඡා පැවැත්වීමේ ප්‍රධාන දූතයා ලෙස එරික් ​ෙසා්ල්හයිම් නම් කරමිනි. ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රී ලංකාව දෙසට හැරුණේය. එරික් ශ්‍රී ලංකා රජය සහ ත්‍රස්තවාදීන් අතර සාම මැදිහත්වීමකට ජාත්‍යන්තරයෙන් පත්වූ පළමුවැන්නා විය. 1985 මැයි 24 වැනිදා කැන්ටබරියේ ආච් බිෂොප්වරයා තම නියෝජිතයකු වන ටෙරී වෙයිට් නම් කරන්නට අවසර ඉල්ලුවද එවක රජය ඔහු ප්‍රතික්ෂේප කළේය. ජනාධිපති ජේ.ආර්. සුදු පාලකයන්ගේ අතිශය මිත්‍රයකු වුවද ඔහු විදේශ සහාය අතේ දුරින් තබා ගත්තේය. ඔහුට පසු කාලීනව නරකට හිටියේ ද මෙම දැඩි යුරෝපීය මිත්‍රත්වයයි.
ආන් ෆොයෝටොෆොව් යළිත් විශේෂ සාදයක් සංවිධානය කළේය. එය සම්පූර්ණයෙන්ම සූදානම් කෙරුණේ සාම සාකච්ඡා සඳහා අවශ්‍ය දේශපාලන පසුබිම සකසා ගැනීමටය. ‘ආන්… දැන් අපට ආපසු හැරෙන්න බෑ. අපේ එන්ජීඕ වලින් මුදල් ගෙන්වා ගන්න… මේක තමයි පලස්තීනයට අපි මැදිහත් වුණාට පස්සෙ කෙරෙන ලොකුම ජාත්‍යන්තර මැදිහත්වීම. ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙපැත්තෙම අය අපට කොන්ට්‍රෝල් කරගන්න වෙනවා. මුදල්වලින් බැරි අය වෙනත් ක්‍රමවලින් නම්ම ගන්න.. මේ ගැන රෝ එකට කියන්න…. එයාල දැනුවත් කරන්න නිතරම..’ එරික් ආන්ට උපදෙස් දුන්නේය.

අලිමංකඩ සහ මුලතිව් හමුදා කඳවුරු ත්‍රස්තවාදීන් අතට පත්වීමත් සමග යුද්ධය වෙනුවට සාමය රජයේ ප්‍රධාන තීන්දුව බවට පත්ව තිබුණි. 2002 දී දෙපාර්ශ්වය අතර සටන්විරාම ගිවිසුමක් ද අත්සන් තැබිණි.

සාම ව්‍යාපෘතිය යටතේ ‘ක්‍රෝන’ ගෝනි ගණන් කොළඹට ගලා ආවේය. සටන් නිරීක්ෂණයට ද එහි සිට පිරිස ආහ. සෑම තැනකම සිටියේ ඔවුන්ගේ මිනිසුන්ය. කොළඹ වරායෙන් කන්ටේනර් ගණනාවක් මුලතිව් බලා පිටත්ව ගිය ද එම කන්ටේනර විවෘත කර බැලීමක් නොවීය.

මීයා වගා බිම බිඳ ධාන්‍ය අස්වැන්නෙන් උගේ ගුල පුරවමින් සිටියේය. එහෙත් බැලූ බැල්මට වගා බිම සාරවත්ය. අස්වැන්න නැති බව දැනගත හැක්කේ නෙළන්නට ගිය විටය. සාම ව්‍යාපෘතියේ මූලික අවධියේ සිදුවූ බොහෝ දෑ යකඩ තිරයකින් ආවරණය කරනු ලැබ තිබිණි. 1983 ලන්ඩනයෙන් ඇරඹි ඩයස්පෝරාවේ හිතමිතුරුකම් අග්නිදිග ආසියාව කරා සීඝ්‍ර පිම්මක් පැන තිබුණි. තායිලන්තයේ හුදෙකලා පුකට් සංචාරක කොදෙව්වේදී බෙදුම්වාදී ත්‍රස්ත නායකයෝ සහ නෝර්වේ විශේෂ බළකා නිලධාරීහු නිතර මුණ ගැසුණහ. අනතුරුව තායිලන්තයේ වනගත බිම් පෙදෙසකදී නෝර්වේ විශේෂ බළකායේ සේවයෙන් විශ්‍රාම ගත් නිලධාරීහු ගරිල්ලන්ට හමුදා පුහුණුව ලබාදුන්හ.

2000 වසරේදී එරික් තවත් වතාවක් ලංකාවට ආවේය. එවර ඔහු පැමිණියේ එතෙර ජනමාධ්‍ය පිරිවරා ගෙනය. ශ්‍රී ලංකාවේ සාම දූතයා හැටියට ජාත්‍යන්තර ජනමාධ්‍යයේ නිතර රැඳී සිටි එරික් මෙවර පැමිණියේ වන්නියට ගොස් ත්‍රස්තවාදී නායකයන් මුණ ගැසීම පිණිසය. එරික්ගේ ලේකම්වරිය ද ආන් ද වන්නියේ ත්‍රස්තනායකයන් හමුවන ඡායාරූප පුවත්පත් පිටු සරසා තිබිණ. එරික්ගේ භාෂාව රාජ්‍ය තාන්ත්‍රික සීමාව ඉක්මවා ගියේය. ත්‍රස්තවාදීන්ට වෙනම මුහුදු ප්‍රදේශයක් ලබාදිය යුතු යැයි එරික් කී බව ඡායාරූපය යටින් පළවිය.

යුද්ධයෙන් දිනාගත නොහැකි දේ ත්‍රස්තවාදීහු සාමයෙන් ලබා ගනිමින් සිටියහ.

2000 මැයි 20 වැනිදා ‘ලංකාදීපය’ මෙවැනි පුවතක් පළ කළේය.

කොළඹ වරායේ කන්ටේනරයක තිබී සැහැල්ලු ගුවන් යානා දෙකක් සොයා ගන්නට රේගු නිලධාරියකුට හැකි විය. ඔහුගේ සුපරික්ෂාකාරී බව නිසා මේ යානා දෙක දුටු අතර ඔහු වහාම මේ බව බලධාරීන්ට දැනුම් දුන්නේය. බලධාරීන්ගේ මැදිහත්වීම මත මේ යානා දෙක යවන්නට සිටි මුලතිව් ලිපිනයට නොයවා රඳවා ගන්නා ලදී.

මේ පුවත අන් අයට සේම තවත් අයකුටද හසුවිය. මම ඔහු ජගත් යැයි නම් කරමි. ඔහු කලක් යුද හමුදා සේවයේ නිරතව සිට පසුව ඉන් ඉවත්වූ අතර නෝර්වීජියානුවන්ට අමතක නොවන පාඩමක් උගන්වන බව තමාටම සපථ කර සිටි අයකු විය. නෝර්වීජියානු තානාපති කාර්යාලයට රිංගා එරික්ට අමතක නොවන පාඩමක් උගන්වන්නට ඔහු එදා සිතා ගත්තේය. 2000 මැයි 22 වැනිදා කොළඹ බුලර්ස් පා​ෙර් රාජකීය නෝර්වේජියානු තානාපති කාර්යාලයට තනිවම කඩාවැදී පහරදී ගිනිතබා ඔහු පළාගියේ කිසිවකුටවත් නොපෙනෙන්නටය.

1987 ජනාධිපති නිල නිවස ඉදිරිපිට හමුදා ආචාර පෙළපාලිය පිළිගනිමින් සිටි ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට තම තුවක්කුවෙන් පහරදුන් නාවික සෙබළ විජිත් රෝහණ විජයමුණි ගැන අද ලොවම දැනසිටියද රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයට වැදී සෝල්හයිම්ගේ වාහනයට පහරදුන් ජගත් යැයි මා හඳුන්වන සෙබළා ගැන අද ද ලෝකයා කිසිදෙයක් නොදනී. මෙම සටහන පළවූ පසු හෝ ඔහු නිහඬතාව බිඳින්නට සූදානම්ව සිටින්නේ නම් අප එයට ද ඉඩදීමට සූදානම්ය.

ඒ තීරණාත්මක දිනයේ ජගත් තම ‘රැම්බෝ’ මෙහෙයුම සඳහා සූදානම් විය. ‘රැම්බෝ’ බිහිසුණු ආයුධ ගෙන සතුරා වෙත කඩා පනින්නේ හොලිවුඩ් චිත්‍රපටවල පමණක් වුවත් ජගත්ගේ අදහස එරික්ගේ ගුහාවට සැබෑ ලෙසම කඩා පැනීමටය. මේ වෙනවිට එරික් සිටින්නේ හෝටලයක නොව තානාපති කාර්යාලයේ බව ඔහුට සිතුණි.

ඔහු තම මේස ලාච්චුව විවර කළේය. මිලිමීටර් 9 පිස්තෝලය අතට ගෙන එය කලිසමේ එක් සාක්කුවක ඔබා ගත්තේය. පෙට්‍රල් බෝම්බ දෙකක් බෑගයක දමාගෙන කරේ එල්ලා ගත්තේය. කුඩා වතුර බෝතලයක්ද බෑගයට දමාගෙන නිවසින් එළියට ඇදුණේය.

එය ඝනදුරු රැයක් විය. අහසේ තරු කිසිත් නොවීය. අගනුවර බොහෝ ස්ථානවල විදුලි පහන් රාත්‍රියට දැල්වෙන්නේ නැති හෙයින් වීදිය තැනින් තැන තිබුණේ අන්ධකාරයෙනි. අන්ධකාරය මැදින් වැහි බින්දු එක දෙක ඇද හැළෙන්නට විය. ඒ අඳුරු රැයේ සීතලෙන් ගත කිලිපොලා ගියත් ආපසු යන්නට ඔහුගේ සිත ඉඩ දුන්නේ නැත.

ඔහු බුලර්ස් පාරට පිවිසුණේය. රාජකීය නෝර්වීජියානු තානාපති කාර්යාලය පිහිටියේ එහි 49 වැනි අංකයේය. විනාඩි දහයක පමණ ගමනකදී අංක 49ට කිට්ටු කරන්නට ඔහුට හැකිවිය. වැස්ස මඳක් තුරල් කර තිබිණි. පෙනෙන තෙක් මානයේ වූයේ වැහි අඳුරයි. ශ්‍රී ලංකා රජය තානාපති කාර්යාලයට ඉහළම ආරක්ෂාව ලබාදී තිබුණේ ඒ වන විට නෝර්වීජියානුවන්ට රට තුළ දැඩි විරෝධයක් මතුවී තිබීම සහ ත්‍රස්තවාදීන් යම් ප්‍රහාරයක් එල්ලකර එය රජයේ ගිණුමට බැර කළ හැකි නිසාය. කැරලි මර්දන හමුදාවක් තානාපති කාර්යාල ගේට්ටුවේ නවතා තිබූ අතර විවිධ ඇඳුමින් සැරසුණු සාමාන්‍ය පුද්ගලයෝද ගේට්ටුව අසල ගැවසෙමින් සිටියහ. ඒ රහස් පරීක්ෂණ අංශවල සාමාජිකයන් බව ජගත්ගේ අදහස විය.

ජගත් තෝරා ගත්තේ ප්‍රධාන ගේට්ටුව නොව බුලර්ස් පාරේ වෙනත් අංකයකි. තානාපති කාර්යාලයට නිවාස පහක් පමණ මෑතින් වූ නිවසක තාප්පය අසල නැවතුණු ඔහු තාප්පය දෙස බලා සිටියේය. විදුලි කණුවේ තිබූ කුඩා කහ පැහැති විදුලි බල්බයට මාවතම එළිය කරන්නට හැකි වූයේ නැත. මොහොතක් තාප්පය දෙස බලා සිටි ජගත් ඊළඟ මොහොතේ සිටියේ තාප්පය මුදුනේය. සියලු මුරකාවල් අංක 49ට යොදා තිබුණද මෙම තාප්පය එම ආරක්ෂක දැලට හසු නොවීය. ජගත් තාප්පය උඩින් පැන ගෙවත්තට ඇතුළු විය. වැහි බින්දු ඇද වැටෙමින් තිබූ හෙයින් ජගත්ට එය ආවරණයක් කොට ගෙන තවත් තාප්ප දෙකක් පසුකිරීමට හැකිවිය. අංක 49 එම තාප්පයෙන් ඉදිරිපස විය. අසල තිබූ අඹ ගසට නැගුණ ඔහු එහි අතුපතරට වූයේය. සිහින් වැහිපොද වේගවත්ව වැටෙන්නට විය. ඒ අවසරයෙන් ඔහු සිටියේ අංක 49 සීමාව ඇතුළේය. තාප්පය අසලම තිබූ වාහනයකට පය තබා බිමට බැස්ස ජගත් අඳුරට මුවා වුණේය.

නෝර්වේජියානු රාජ්‍යයේ 104 වැනි ජාත්‍යන්තර දූත මණ්ඩල නිවහන මෙය විය. මිදුලේ තැන තැන මෝටර් රථ පෙළක් නවතා තිබුණි. ශ්‍රී ලංකා රජයේ ආරක්ෂකයන් සිටියේ තාප්පයෙන් පිටතය. තානාපති වරප්‍රසාද හෙයින් පිටස්තරයන්ට ඇතුළුවීම තහනම් වේ. එහෙත් ජගත් අංක 49ට ඇතුළුව සිටියි. වහ වහා අඳුර මැදින් දිව ගිය ජගත් තම ඉලක්කය තෝරා ගත්තේය. අඹ ගස උඩ සිට තානාපති කාර්යාල පරිශ්‍රය ඔහුගේ තියුණු දෙනෙතට හසු කරගෙන තිබුණි.

අංක 49 හි ප්‍රධාන දොරටුව විවර විය. හිටිවනම ගල් ගැසුණු ජගත් දොරටුව දෙස බලද්දී වේගයෙන් ඇදී ආ ප්‍රාඩෝ රථ දෙකක් පෝටිකෝව යට නතර විය. පළමු රථයෙන් බිමට බැස්සේ ඔහුට හුරු පුරුදු මුහුණකි. උදෑසන පුවත්පතේ ත්‍රස්තවාදී නායකයන් සමඟ සමූහ ඡායාරූපයේ වූයේ ඔහුගේ මුහුණයි.

ඉලක්කය පැමිණ සිටියි. පැහැර හරින්නට කාලයක් නැත. ජගත් කරේ තිබූ බෑගය අතට ගත්තේය. වාහනයෙන් බිමට පා තැබූ එරික් පිළිගන්නට තානාපති සගයෝ දිව ආහ. ඔවුන්ට අතට අතදී ආචාර සමාචාර කළ එරික් ආලින්දයට පා තැබුවේය. ජගත් බෑගය හැර පෙට්‍රල් ​බෝම්බයක් අතට ගෙන ඉදිරිපස ජනේලය අසලට දිව ගියේය. ඔහුට එරික් නිවස තුළට යනු පෙනිණි. ඔහු බෝම්බයේ පියන විවර කළේය. තත්පරයකදී එය පුපුරා යනු ඇත. වහ වහා කාමරයේ ජනේලය අතරින් අත එබූ ඔහු බෝම්බය එරික් යන මගට විසි කළේය. තව තත්පරයකදී මහ හඬක් සහ විලාප හඬ ඇසෙනු ඇත.

ඔහු වහා පෝටිකෝව අසලට කිට්ටු විය. එරික් පැමිණි රථය එහි තිබිණි. බෑගයට අත දැමූ ජගත් අනෙක් බෝම්බය අතට ගත්තේය. පළමු බෝම්බය විසි කර තත්පර හයක් ගෙවී ඇත. ඔහු දෙවැන්න ද අතට ගෙන එහි ආරක්ෂක ආවරණය ඇද දමා එරික් ආ රථයේ යටට වීසි කර නිවසේ පසු පස දෙසට දිව ගියේය. පළමු පිපිරීමට තව තත්පර විසි හතරක් තිබේ. නිවසේ ඉදිරිපස කාමරය අසලින් ගුලි ගැසී පසු පසට දිව ගිය ජගත් බෑගයට අතදමා පිස්තෝලය අතට ගෙන සූදානම් වූයේ පළමු පිපිරීමෙන් ඇතිවන කලබලය මැද එරික් එළියට එන තුරුය. උණ්ඩ පුරවා ඇති මිලිමීටර් නවයේ පිස්තෝලය නැහැයට ළං කළ ඔහු එහි සුවඳ බැලුවේය. උණ්ඩ පරීක්ෂාව කළ මොහොතේ පිටව ගිය උණ්ඩයේ වෙඩි බෙහෙත් සුවඳ එහි තවමත් දැවටී තිබේ.

ඒ සමඟම මහ හඬ ඇසුණි. ඉන් තත්පරයකට පසු කලබලකාරී ඝෝෂාවක් නැගී ආවේය. කිසිවකුත් ඉදිරිපසට දිව ආවේ නැත. දෙවැනි කාමරයේ ජනේලය අතරින් අත දැමූ ඔහු නිවස තුළට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. එහෙත් කිසිවකුත් ඉදිරිපසට දුව ආවේ නැත.

තවත් තත්පර දෙකකදී ප්‍රාඩෝ රථය යටින් කහ සහ රතු ආලෝකයක් විහිදී ගියේය. තවත් තත්පරයකින් පිපිරුම් හඬ ඇසුණි. ඊළඟ නිමේෂයේ ප්‍රාඩෝ රථයද ගිනි ගන්නට විය. යළිත් වරක් පිස්තෝලය කාමරයට ඇතුළු කළ ඔහු එල්ලයක් නොමැතිව වෙඩි තබන්නට විය.

දැන් පළා යා යුතු වේලාවයි. නෝර්වීජියානුවන්ට පණිවිඩය දැනුම් දී ඇත. ජගත් තාප්පය අද්දරට දිව ගියේය. වර්ෂාව සිහින් වැහි පොදක් බවට පෙරැළී තිබිණ. ආ මග ඔස්සේම රථයටත් අඹ ගසටත් මාරු වූ ඔහු අඹ ගසේ ඉහළටම නැග අංක 49 නිවස දෙස බැලුවේය. එරික් පැමිණි රථය දෙසින්ද නිවස ඇතුළතින්ද ගිනිදළු නැගෙයි.

ඔහු ප්‍රතිඵල බලන්නට උනන්දු නොවීය. තමා උපන් බිමට යුතුකම ඉටුකර තිබේ. ලෝකයා මොනවා කියන්නට පුළුවන් වුවත් තම හෘද සාක්ෂියට අනුව රට වෙනුවෙන් යුතුකම ඉටු කර තිබේ. තාප්පයෙන් තාප්පයට ඇවිද ගිය ඔහු බුලර්ස් පාරට යළි පිවිසුණේ අංක හතළිස් පහෙනි. සිහින් වැසි පොද මහ වැස්සට පෙරළිණ. ගිනි දළු සහ දුම්වලා ඉහළට නැගෙනු මාවතේ ඈතට යනතුරුත් ඔහුට පෙනුණි.

ඔහුගේ මෙහෙයුම අවසන් කර ඇත. එය කිසිදා හෙළි නොවන මෙහෙයුමක් වනු ඇත්තේ නෝර්වීජියානුවන් ආරක්ෂක භට පිරිස් නොකැඳවන නිසා බව ඔහුට සිතිනි. එය එ​්​ ලෙසම සිදුවිය.
2000 මැයි 22 වැනිදා සිදුවූ මෙම හුදකලා ප්‍රහාරය එදා නෝර්වේජියානුවන් පිටතට දුන්නේ හදිසි ගිනි ගැනීමක් ලෙසයි. තමන්ට ප්‍රහාරයක් එල්ල වූ බව කීම ඔවුන්ට ලජ්ජාවක් වී තිබිණි. එහෙත් නෝර්වේ අමාත්‍ය එරික් සෝල්හයිම් තමන්ට ශ්‍රී ලංකාවේදී ප්‍රහාරයක් එල්ල වූ බව වසර 12කට පසු පිළිගත්තේය. රාජ්‍ය කටයුතු පිළිබඳ උපලේකම් රේමන්ස් ජෝන්සන් සමග එරික් ​සෝල්හයිම් ශ්‍රී ලංකාවට පැමිණියේ 2000 මැයි 22 දාය. ඒ විශේෂයෙන්ම එවක ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මුණ ගැසීම පිණිසය. ඔවුන් ශ්‍රී ලංකාවේ දින තුනක් ගත කිරීමට නියමිත විය.

ඉන් වසර දොළහකට පසුව ‘අෆ්ටෙන්පෝස්ටෙන්’ පුවත්පතට ප්‍රකාශයක් කරන සෝල්හයිම් එදා ශ්‍රී ලංකාවේදී තමා ඝාතනය කිරීමට සැලසුමක් තිබූ බව කියා සිටී. ඔහු කියන්නේ අන්තවාදී කොටස් වෙතින් මෙම තර්ජනය එල්ල වූ බවය. සෝල්හයිම් කොළඹට ළඟා වීමට දින කිහිපයකට පෙර ආරක්ෂක අංශවලට මෙම ඝාතන සැලැස්ම ගැන ඉව වැටී තමා දැනුවත් කළ බව ද සෝල්හයිම් පවසයි. මේ ගැන මුල්ම ඉඟිය ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවේ ‘රැඩිකල්’ ජනවර්ග පිළිබඳ හොඳින් දන්නා නෝර්වේහි පිරිසකගෙනි. එම සාකච්ඡාවේදී සෝල්හයිම් මෙසේ පවසයි.

“ශ්‍රී ලංකාවේ එදා පැවැති වාතාවරණය පිළිබඳ රහස්‍ය තොරතුරු ද වරින් වර අප අතට පත්විය. අප ශ්‍රී ලංකාවේ ගත කළ මුළු කාලය පුරාම අප සිටියේ දැඩි අනතුරුදායක තත්ත්වයකය. අපට මේ තර්ජනය එල්ල වූයේ අප නෝර්වේජියානු ජාතිකයන් වීම නිසාය. මේ නිසා ආරක්ෂක බළකායක රැකවරණ යටතේ මිස ශ්‍රී ලංකාව තුළ කිසි ගමනක් නොගියෙමු. කොළඹ දී රජයේ හමුදා මෙන්ම උතුරේදී සන්නද්ධ සාමාජිකයන් අපට රැකවරණ සැලසූ නමුත් ඒ රැකවරණ පිළිබඳ එතරම් විශ්වාසයක් නොවීය. එසේ වන්නේ අතිවිශාල ආරක්ෂක මුර ඇණියක් සමග ගමන් බිමන් ගිය ශ්‍රී ලංකාවේ නායකයන් කිහිපදෙනකුම ඝාතනය වූ ආකාරය දෙස බැලීමෙනි.

දෙමළ කොටි සංවිධානය යුදමය වශයෙන් ශක්තිමත් පදනමක සිටි එම වකවානුවේ කොළඹ පැවතියේ දැඩි තැතිගත් ස්ථාවරයකි. යාපනයට කොටු වී සිටි හමුදාව සහමුලින්ම ඉන්දියාවට රැගෙන යාමට ඇති හැකියාව ගැන අපි ඉන්දියාව සමග සාකච්ඡා කළෙමු.” සෝල්හයිම් එම පත්‍රයට කීවේය.

ඔහු කියන්නේ 2000 මැයි 21 හා 24 කාලය තුළ කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවයි.

Advertisements

Read Full Post »

Advertisements