Feeds:
Posts
Comments

Archive for September, 2019

ගෝනගල ජනපදයට යන පාර

රාත්‍රීයේ ත්‍රස්තවාදීන් ගමට පැමිණියේ මෙම වෙල් යාය ඔස්සේයි

ගෝනගල බන්ට් එකට හැරෙන තැන වංගුවේ තිබුණ පහන්කණුවේ දැල්වෙන විදුලි ලාම්පුව වටා දහස් ගණනක් මෙරු රංචු බමමින් සිටියහ.

පිනි පොද වැටෙමින් තිබුණ එදින මධ්‍යම රාත්‍රියද එළැඹෙමින් තිබිණ.

හැත්තෑ හතේ බණ ගෙදරට පැමිණි අසල්වාසීන් පසුවදා පැවැත්වෙන සාංඝික දානය වෙනුවෙන් විවිධ කටයුතුවල නිරත වෙමින් සිටියහ.

කාන්තාවන් බොහෝ දෙනෙක් පසුවදා සාංඝික දානයට අවශ්‍ය කැවිලි පෙවිලි සූදානම් කරමින් සිටියහ. මේ කියන්නේ 1999 සැප්තැම්බරයේ දිනයක් ගැනය. ගෝනගල ගමේ මැද බන්ට් එකේ පිහිටි 77 නිවසේ පදිංචිවී සිටි එච්.එම්. රන්හාමි මහතා කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව මියගියේ 1999 ජූලි මාසයේදීය. ඔහුගේ තුන් මාසයේ බණ සහ දානය යෙදී තිබුණේ 1999 සැප්තැම්බර් 17 සහ 18 දින වලදීය.

මෙදින රාත්‍රී 77 නිවස ඉදිරිපිට ඇති වෙල් යාය ඔස්සේ පූච්චිකුඩි වනගත ප්‍රදේශයේ සිට කොටි ත්‍රස්තවාදීන් හතළිහකට ආසන්න පිරිසක් ආයුධ සන්නද්ධව ළඟා වෙමින් සිටි බව කිසිවෙකු හෝ දැන සිටියේ නැත.  මේ අතර ඔවුන් මුලින්ම ‘කුරුණෑගල බන්ට්’ එකට මධ්‍යම රාත්‍රියේ පැමිණ ඇති අතර එහි කාන්තාවක බිය ගන්වා පොලිසිය හා සිවිල් ආරක්ෂක භටයින් ස්ථානගතව සිටින තැන් ගැන තොරතුරු විමසා තිබිණ.

පසුව මැද බන්ට් එකට පැමිණි කොටි ත්‍රස්තයෝ එම නිවාස පේළියේ පදිංචි මුතුකුමාරණ නමැති ගොවි මහතෙකු අල්ලාගෙන ඔහුගේ දෑත් පිටුපසට තබා බැඳ නිවෙස් කීපයකට ගොස් ඇති බව එදින කළ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය.

නිවැසියන්ගේ නම කියා ඔහු ලවා කතා කොට ඔවුන් අවදි කරවාගෙන නිවෙස්වලින් පිටතට පැමිණි විට ඝාතනය කර පසුව එම ගොවි මහතාද හිත් පිත් නැති ත්‍රස්තවාදීන් විසින් මරා දමා තිබිණ.

ඉන්පසුව ත්‍රස්තවාදීන් 77 නිවසට පැන විලාප නගමින් අභයදානය ඉල්ලා සිටි පිරිස එකා පිට එකා වැටෙන ලෙස තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබිණ. 31/86, 31/92, 31/86 සහ 31/80 යන නිවෙස්වලින් නැගුණ විලාපවල දෝංකාරය හැටේ හන්දිය දෙසටද පැතිර ගියේ සමස්ත ජන ජීවිතය බියෙන් හා ත්‍රාසයෙන් මුසපත් කරමිනි.
කේ.එච්. රත්නසේන මහතා ඒ භීම රාත්‍රිය ගැන මෙසේ පැවසීය.

පාන්දර 2.30 ත් 3.00ත් අතර කාලයේදී කොටි කපනවෝ….! මෙන්න කොටි ඇවිල්ලා….! අපව මරනවෝ….!! කවුරුත් නැද්දෝ… යන විලාප හඬ ඈතින් ඇසුණා. ටික වෙලාවක් යනකොට මගේ ගේ ළඟ පාරෙන් වාහන ගමන් කළා. ලොකු සිද්ධියක් වෙලා තියෙන බව වාහන වලින් ගිය අයගේ කතාවෙන් තේරුණා.

බයෙන් බයෙන් මම අහස් එළියෙන් බන්ට් එකට ගිහින් බලනකොට 76 ගේ ළඟ ඉඳලා තෝමස් අයියලාගේ ගේ දක්වා කොටසේ මිනිස්සු පිරිලා හිටියා. සමහරු විලාප නගනවා. හතර වටේම එකම ගාලගෝට්ටිය… තුවාල ලබා සිටි අය ආරක්ෂක අංශවල නිලධාරීන් රෝහලට අරන් ගියා.

ඒත් එක්කම පොලිසිය ග්‍රාමාරක්ෂක කණ්ඩායම් එක්ක හමුදා ඇඳුම් ඇඳ සිටි රජයේ ආරක්ෂක අංශ ඇවිත් වෙල් යාය හරහා පලායමින් සිටි කොටින්ට වෙඩි තබමින් පලවා හැරියා. කොටි පහේ කෑල්ල හරියේ රාණමඩුව එරකෙටිවට්ටේයි වෙල් යාය දෙසට පසු බැස්සා. 77 ගෙදරට ගිහින් බලනකොට එක කාමරයක මුල්ලේ 14 දෙනෙක් එක ගොඩේ කපා දමා තිබුණා.

රංහාමි මහතාගේ වඩුමඩුව තවමත් එලෙසම පවතින අයුරු.

බොහෝ දෙනෙකු අවසන් සුසුම් හෙළුෑ 77 බණ ගෙදර

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනපද වැසියන්ගේ නාමාවලිය සහිත ස්මාරකය

මෙම ප්‍රහාරයෙන් වැඩිහිටියන් සහ ළමයින් ඇතුළු 44 දෙනෙකු ඝාතනයට ලක්ව තිබුණ බව නිල වාර්තාවල සඳහන් විය. 14 දෙනෙක්ම වයස 12ට අඩු බාල වයස්කරුවෝ වූහ. මියගිය පිරිස අතර ඔවුන්ගේම දූදරුවන් සැමියන් බිරියන් මව්පියන් හා හිතවත්හුද වූහ. මෙම ප්‍රහාරයෙන් මිය ගොස් සිටි පිරිස අතර ගැබිනි කාන්තාවන් දෙදෙනෙකු සිටි බවත් ඔවුන්ගේ උදර පෙදෙස කිසියම් තියුණු ආයුධවලින් කපා දමා තිබුණ බවත් නොරහසක් විය.

අම්පාර මඩකළපුව දිස්ත්‍රික් මායිමෙහි ඇති මෙම ගොවි ජනපදය අම්පාර නගරයේ සිට කිලෝමීටර් 20ක් දුරින් පිහිටා ඇත. එදා මෙම සිද්ධිය පැතිරයාමත් සමග නන්දෙසින් පැමිණි දහස් ගණනක් ජනතාව උදෑසන ගෝනගල 31 ජනපදය වෙත ඇදී එන්නට වූහ.

‘අනේ අපිට ඇයි මෙහෙම වුණේ? මේවා හෙන ගහන අපරාධ. මේ කාලකන්නින්ට හිතක් පපුවක් නැද්ද දෙයියනේ?’ කියමින් කාන්තාවක් බිම පෙරළීගෙන සිය දුක කියන්නට වූවාය.
එදා ගෙයින් ගෙට ගිය අපට දැකගන්නට ලැබුණේ ත්‍රස්තවාදීන් සෑම නිවසකම තිබුණ කැබිනට් සහ පෙට්ටගම් හැර මුදල් සහ රන්බඩු කොල්ලකා ඇති අයුරුය. වී වගා කන්නය සඳහා තම රන්බඩු බැංකුවලට උකස් කොට ගොවිතැන් කළ ගෝනගල ගමේ ගොවීන් එම උකස් බඩු නිදහස් කරගෙන තිබුණ අවදියකි ඒ.

එසේම මුදල් හදල් නිවෙස්වල තිබිණි.

එම දේපල සොයා අල්මාරි, ලී කැබිනට් අවුස්සා ඒවායේ තිබුණ මුදල් සහ රන්බඩු ත්‍රස්තවාදීන් මෙසේ කොල්ලකා තිබෙන බව ගම්වාසීහු පැවසූහ.

මේ අතර මහරෑ මැද බන්ට් එකේ කෙළවර පිහිටි ග්‍රාමාරක්ෂකයෙකුගේ නිවසට පැමිණ එහි පදිංචි තෝමස් සිංඤ්ඤෝ කපු මහතා ඇතුළු නව දෙනෙකු කපා කොටා මරාදමා තිබුණි. මෙම තොරතුරු සොයා ඉකුත්දා අප එහි යනවිට දක්නට ලැබුණේ එම නිවසේ අත්තිවාරම පමණක් ඉතිරි වූ පාළු ඉඩමකි.

77 නිවස ඒ ආකාරයෙන්ම තිබුණ අතර එහි වෙනසකට වූයේ වෙනත් තීන්න ආලේප කර තිබීම පමණකි. එහි වෙනත් පවුලක් අලුතින් පදිංවී සිටියහ. ඒ අසල තිබුණ රංහාමි මහතාගේ වඩු මඩුවද පාළුවට ගොස් තිබිණ.

අසල් වාසීන් පැවසුවේ එදා කොටි ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේ කාමරකට දමා වසාසිටි එම නිවසේ ඉතිරිවූ එකම තරුණයා පසුව එම නිවස වෙනත් අයෙකුට විකුණා දමා ගමෙන්ද පිටවී ගොස් ඇති බවය. වෙනසකට තිබුණේ විසි වසරක් ගතව ගොස් තිබීම පමණකි. අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩකළපුව මායිමෙහි පිහිටි ගෝනගල ගමට සංවර්ධනයේ හිරු කිරණ වැටී නැත. එහිදී මුණ ගැසුණ ආර්. මාගරට් මෙසේද කීවාය.

මහත්තයෝ එදා තිබුණ ගෙවල් දොරවල් පවා තවමත් ඒ විදියටම තියෙනවා. තෝමස් මාමාගේ ගෙය තිබුණු තැන දැන් තියෙන්නේ අත්තිවාරම විතරයි. ඒ ගෙය ගරා වැටුණා. එදා මෙම ප්‍රහාරයට සම්මාදම් වුණ එවුන් දැන් බැටළු හම් පොරවගෙන තවමත් ඉන්න පුළුවන්. උන්ට කවදා හරි මේ අපරාධවලට සොබා දහමෙන් හරි වන්දි ගෙවන්න වෙනවා යැයි ඇය කී කතාව සනාථ කරන්නට මෙන් ඒ අවට එදා දකින්නට තිබුණ පුවක් අරඹ තවමත් එලෙසම තිබෙනු මම දුටුවෙමි. ගම පාළුවට ගොස් තිබිණ.

 බණ ගෙදරට කොටි ඇවිත් මිනිස්සු කපා කොටා දමනකොට මගේ මහත්තයාත් එතන ඉඳලා මැරුම් කෑවා. කාටද මේ අපරාධය කියන්නේ? යැයිද ඇය දුක්මුසු සරින් පැවසුවාය.   ඔවුන් වෙනුවෙන් මෙම සටහන තබන්නේ එදා දිවි ගලවා ගත් දෙවැනි පරපුරේ දරුවන්ටද දැන් විසි වයස් සපිරෙමින් පවතින බැවිණි.

ඔවුන් මෙම ප්‍රහාරය ගැන හරිහමන් තොරතුරු නොදනිති. ගෝනගල ශෝකාන්තයේ උච්චතම අවස්ථාවටද අපි සහභාගි වූයෙමු.

ඒ 19 දින මළ හිරු බැසයන හැන්දෑවේ පොදු සුසාන භූමියේ සමූහ මිනී වළක එම මළසිරුරු එකට මිහිදන් කිරීමේ සෝචනීය හෝරාවය. එවැනි දසුනක් දකින්ට අපේ දෑස් පාපතර විය.

එදා සිරුරු මිහිදන් කළ අවස්ථාවේ රැස්ව සිටි ජනපදවාසීන් නැඟූ විලාප හඬ විනාඩි කීපයක් එක දිගට පැවතිණ. ගෝනගල ශ්‍රී සුමංගලාරාමාධිපති රන්සෑගොඩ මිත්තසිරි හිමියෝ අතිවිශාල ජනකාය පංසිල්හි පිහිටුවන ලදී. පසුව පිං අනුමෝදන් කොට ආගමික කටයුතු සිදුකෙරිණි.

ප්‍රියන්ගල ආරණ්‍ය සේනාසනාධිපති තල්ගමුවේ ශ්‍රී සුභූති හිමි වීරගොඩ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති රූපහ විමලානන්ද හිමි බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති කළුතර ධම්මානන්ද හිමි ඇතුළු හිමිවරු අනුශාසනා පැවැත්වූහ. ගෝනගලට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එවකට සිටි වරාය පුනරුත්තාපන අමාත්‍ය එම්.එච්.එම්. අෂ්රොෆ් මහතා අලාභ, හානිවූ සෑම නිවසකටම රුපියල් 25000/- බැගින් හා මියගිය අය වෙනුවෙන් රුපියල් 50000/- වන්දි ගෙවීමට පුනරුත්තාපන අමාත්‍යංශයට නියෝග කර තිබිණ.

මෙම ගමට යන ප්‍රධාන පාරද එදා මෙන්ම අදත් ගමන්කළ නොහැකි තත්ත්වයේ පවතී. ඒ ගැන අදහස් දැක්වූ ආර්.ඇම්. ඩිංගිරිබණ්ඩා මහතා අප සමග මෙසේ කීය.

එදා මේ ගමේ සිදුවුණ ඛේදවාචකය දැකගන්න මැති ඇමතිවරුන් විශාල පිරිසක් මේ පාරේ ආවා ගියා. ඒත් පාර හැදුවේ නෑ. 1977 අවුරුද්දේ තමයි පාර හැදුවේ. ඒ ආණ්ඩුව පෙරළුනා. 28 හන්දිය දක්වා පාර නැවත තාර දාලා පාර හදන්න කෙනෙක් නැතිව ගියා. බලයට ආපු ආණ්ඩුවෙනුත් පාර ටිකක් හැදුවා. ඒත් සාර්ථක වුණේ නැහැ. දැන් පාරේ යන්න බැහැ. කොටි ගහලා අනාථ වුණ පවුල් ඇතුළු අනෙකුත් පවුල් අදත් කොටින්ට ශාප කරනවා.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය ජනපද වැසියන් වෙනුවෙන් විහාරාධිපති රන්සෑගොඩ මිත්තසිරි හිමියන්ගේ අනුශාසනාව පරිදි ප්‍රදේශවාසීන්ගේ සහය මත ඉදිකළ ස්මාරකයක් ගෝනගල ගමේ ඇත. මෙම ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාාතීන් ඇතුළු එගම් වැසියන්ගේ අනාගත දියුණුවට රජයේ හෝ වත්මන් දේශපාලන අධිකාරියේ අවධානය යොමුකොට කිසියම් වැඩපිළිවෙළක් ඇති කළයුතු බව එගම්වාසීහු වැඩිදුරටත් යෝජනා කරති.

(මුද්‍රිත මාධ්‍ය වාර්තා ඇසුරිනි)

Read Full Post »