Feeds:
Posts
Comments

Archive for the ‘කොටි මිනිස් පළිහක් හදති’ Category

කොටින්ගේ ජීවනාලිය ලෙස සැලකෙන ශක්තිමත් මුහුදු කොටි බළකොටුව වන මුලතිව් පුරවරය පසුගිය ඉරිදා ආරක්ෂක හමුදා යටතට පත්වූයේය.

මෙය අහඹු සිදුවීමක් නොවේ. ආරක්ෂක හමුදාවන්ගේ යුද උපක‍්‍රම සංග‍්‍රාම කෞශල්‍යය හා අද්විතීය යුද සැලසුම් ඉදිරියේ කොටි දණගැස්වීමයි.

මේ වනවිට කොටින්ගේ අනෙකුත් සියලුම බළකොටු බිඳවැටී ඔවුන් ආරක්ෂක හමුදා ඉදිරියේ අසරණ වී වර්ග කි.මීටර් 300ක ප‍්‍රදේශයකට කොටුවී සිටින බව නොරහසකි.

කොටි බළකොටු මැඩගන්නට හමුදා සේනාංක 8 ක් කොටි ප‍්‍රදේශ වටලාගෙන සිටිද්දී මුලතිව් නගරය මුදාගන්නට විශේෂයෙන් අනුයුක්ත කොට තිබුණේ 59 වන සේනාංකයයි.

මුලතිව් නගරය ඉලක්ක කොට 2007 පෙබරවාරියේ පිහිටවූ බි‍්‍රගේඩියර් නන්දන උඩවත්තගේ නායකත්වයෙන් යුත් 59 සේනාංකය සිය ගමන් මඟ ආරම්භ කළේ වැලිඔය සිටය. වැලිඔය සිට රූස්ස වනාන්තරය මැද මර උගුල් බිම්බෝම්බ පස්බැමි හා මහා ශක්තිමත් බළකොටු කුඩුකරමින් ඉදිරියට යාමට ඔවුන් පටන්ගත්තේ 2008 ජනවාරි මාසයේ දීය.

593 බළසේනාධිපති කර්නල් ජයන්ත ගුණරත්න සිය රෙජිමේන්තු නිලධාරීන් ඉදිරි සැලසුම් සාකච්ඡා කරමින්

මුලතිව් වනාන්තරයට ඇතුළු වී නිත්‍යකායිකුලම්, තන්නිමුරුක්කුකුලම්, 14 බේස් කඳවුරු සංකීර්ණය, නයාරු කළපුව, ආලම්පිල් මුල්ලියාවේලි වැනි බලගතු කොටි කඳවුරු ඔවුන් විසින් අත්පත් කරගනු ලැබුවේ දරුණු සටන් මැදය. එහිදී කොටින් විශාල ප‍්‍රමාණයක් මරු කැඳවමින් ඔවුන්ගේ බළකොටු සියල්ලම සුන්කොට ඉදිරියට යද්දී යුද හමුදාවේ ද සෑහෙන රණවිරුවන් පිරිසක් සිය ජීවිත රට වෙනුවෙන් පූජා කළහ.

මේ බළකොටු අත්පත් කරගැනීමේදී හමුවූ බාධක බිඳ දැමීමට ගුවන් හමුදාවේ ගුවන් ප‍්‍රහාර ද උපකාරී විය. පාබල හමුදාවන්ට ඉදිරියට යාමට ඉදිරි මඟ සලසන්නට ගුවන් හමුදාවේ ර්ධ් 24 හෙළිකොප්ටර හා ප‍්‍රහාරක ජෙට්යානා ප‍්‍රහාරවලින් ලැබුණේ නොමඳ සහායකි. මේ අතර නාවික හමුදාව නැඟෙනහිර මුහුද රැකවල් කරමින් ආධාර දුන්නේය.

පසුගිය 23 වන සිකුරාදා වනවිට 59 වන සේනාංකයේ සෙබළ බළ මුළු දෙකක් මුලතිව් නගරය සීමාවට ඇතුළු වී සිටියහ. ඔවුන්ට ත‍්‍රස්තවාදීන්ගෙන් දැඩි ප‍්‍රහාරයක් එල්ල විණ. ඔවුන් ආවේ මුලතිව් නගරය වටා ත‍්‍රස්තවාදීන් විසින් ඉදිකර තිබූ විශාල පස්බැමි තුනක් කඩා බිඳ දමා තරණය කරමිනි.

25 වෙනි ඉරිදා දහවල් 1 පමණ වනවිට මුලතිව් නගරයේ බටහිර අන්තයේ වූ නන්තිකඩාල් කළපුව දෙසින් එයට ඇතුළු වූයේ 593 බළසේනාවයි. 593 බළසේනාධිපති කර්නල් ජයන්ත ගුණරත්න ගේ මෙහෙයවීම යටතේ 7 ගැමුණු, 15 වන පාබල හා 12 පාබල රෙජිමේන්තු ඊට ඇතුළු විය.

බළසේනා නන්තිකඩාල් කළපුව දෙසින් ඇතුළු වේ යැයි කොටි කිසිදිනක නොසිතන්නට ඇත.

ඊළඟට මුලතිව් දකුණු දෙසින් මුලතිව් නගරයට ඇතුළු වූයේ කර්නල් අරුණ ආරියසිංහ මෙහෙයවූ 592 බළසේනාව 1 වන සිංහ 14 වන විජයබා හා 11 වන ගැමුණු පාබල රෙජිමේන්තුවල භට පිරිස්ය.

මේ පාබල බළ ඇණිවලට සන්නාහ සන්නද්ධ බළකායේ හා කාලතුවක්කු හමුදාවලට සහාය ලැබිණ.

හමුදා මුදාගත් මුලතිව් නගරයේ කෙළවර

මෙසේ දෙපැත්තකින් මුලතිව් නගරයට එක්වර කඩාපැන පහරදුන් බළසේනාවන්ට මුහුණ දී ගත නොහී කොටි ත‍්‍රස්තවාදීහු පලායන්නට වූහ.

ඔවුන් හමුදාවට දරුණු ප‍්‍රහාරයක් එල්ල කළද ඒවා ව්‍යර්ථ කරන්නට හමුදා බළසේනා සමත් වූහ.

නන්තිකඩාල් කළපුව හා මුලතිව් මුහුදු තීරය මුහුදු කොටි කි‍්‍රයාකාරකම් ඉතා දැඩිව පැවැති ප‍්‍රදේශයයි.

වැලිඔය සිට මුලතිව් දක්වා වූ කි.මී.42 මුදාගැනීමට 59 සේනාංකයේ සෙබළුන්ට ඉතා දුෂ්කර වසරක කාලයක් ගතවිය. කිලිනොච්චියෙන් පසුව කොටින්ගේ අවසන් බළකොටුව ලෙස සැලකූ මුලතිව් යුද හමුදාව විසින් මුදාගනු ලැබුවේ වසර 13 කට පසුවය.

මුලතිව් මුහුදු තීරය ගල්පර රහිත ගැඹුරු මුහුදු තීරයකි. මෙහි පැවැති එල්ටීටීඊ මුහුදු කොටි කි‍්‍රයාකාරකම් නාවික හමුදාවට ද දැඩි අභියෝගයක් විය.

මෙය වන්නි මෙහෙයුමේ අති සුවිශේෂ ජයග‍්‍රහණයක් ලෙස සනිටුහන් වන්නේ කොටින්ගේ අවසන් පරිපාලනමය බළකොටුව මෙය වන නිසාය.

1996 ජූලි මස 18 වෙනිදා එල්ටීටීඊ ත‍්‍රස්තයෝ මුලතිව් හමුදා කඳවුර වටලා පහර දුන්හ. එහිදී ප‍්‍රථම වරට හමුදාව සතු මිමි 122 හා මිමි 120 කාලතුවක්කු එල්ටීටීඊය විසින් පැහැර ගන්නා ලදී. එහිදී නිලධාරීන් 2 හා සෙබළුන් 60 ක් දිවිපිදූ අතර සෙබළුන් 1000 කට වැඩි සංඛ්‍යාවක් අතුරුදන් විය. 1996 අප‍්‍රියෙල් 25 දින මුලතිව් හමුදා කඳවුර මුළුමනින්ම එල්ටීටීඊය සතුවිය. ඉන්පසු හරියටම වසර 12 කුත් මාස 6කට පසු මුලතිව් නගරය මුදාගත්තේ පසුගිය 25 වෙනිදා වීමද විශේෂත්වයකි.

1996 ජූලි 25 දායින් පසු එල්ටීටීඊයේ මර්මස්ථානයක් වූ මුලතිව් නගරය කේන්ද්‍රකොට ගෙන නැඟෙනහිර මුහුදු තීරයේ මුහුදු කොටි කි‍්‍රයාකාරකම් දැඩි වූයේ නාවික හමුදාවට ද අභියෝගයක් එල්ල කරමිනි.

මුලතිව් නගරය කේන්ද්‍ර කොටගෙන නයාරු කළපුව නන්තිකඩාල් කළපුව ආශ‍්‍රය කොට මුහුදු කොටි පුහුණු කඳවුරු බොහෝමයක් කි‍්‍රයාත්මක විය.

මේ වනවිට ඒ සියල්ල ආරක්ෂක හමුදා විසින් ද මර්දනය කොට කොටි කඳවුරු සුණුවිසුණු කොට අවසානය.

මුලතිව් නගරයේ සියලුම රජයේ ගොඩනැඟිලි බැංකු – දිසාපති කාර්යාලය ආදිය කොටි කි‍්‍රයාකාරකම්වල තෝතැනි බවට පත්ව තිබිණ.

මුලතිව්හි අල්ලාගත් බංකරයක්

59 වන සේනාංකය මුලතිව් නගරය මුදාගෙන එහි දිසාපති කාර්යාලය ඉදිරිපිට සිංහ කොඩිය එසවූයේ 26 වෙනිදා උදෑසනය.

එහිදී 59 සේනාංකාධිපති බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත හා 593 බළසේනාධිපති කර්නල් ජයන්ත ගුණරත්න, 592 බළසේනාධිපති කර්නල් අරුණ ආරියසිංහ, 591 බළසේනාධිපති කර්නල් මනීෂ ද සිල්වා ඇතුළු සියලුම සෙබළ මුළු සහභාගි වූහ.

මුලතිව් නගරය අත්පත් කරගත් 59 සේනාංකය ඉන් නොනැවතී ඉදිරියට යමින් බටහිර හා ගිනිකොන දෙසින් පුදුකුඩුඉරිප්පු කරා සිය මෙහෙයුම් දිගටම පවත්වාගෙන යයි.

4 වන කාර්ය සාධක බළකාය පුදුකුඩුඉරිප්පු බටහිර හා දකුණු දෙසින් ද, 2 වන කාර්ය සාධක බළකාය පුදුකුඩුඉරිප්පු බටහිර උඩසාර්කට්ටුකුලම් ප‍්‍රදේශවලද 3 වන කාර්ය සාධක බළකාය විශ්වමඩු හා කල්මඩුකුලම් ප‍්‍රදේශවලින් ද ඉදිරියට යමින් දකුණේ සිට උතුරු දෙසට ප‍්‍රහාර එල්ල කරති.

57 වන සේනාංකය මෙහෙයුම් සිදුකරන්නේ රාමනාදපුරම් අල්ලාගෙන එහි නැඟෙනහිර දෙසටය.

58 වන සේනාංකය ඒ35 මාර්ගයට උතුරින් විශ්වමඩු දෙසට ප‍්‍රහාර එල්ල කරයි.

55 සේනාංකය චුණ්ඩිකුලම් කළපුව පසුකොට මුලතිව් නගරය දෙසට උතුරින් ප‍්‍රහාර එල්ල කරයි.

මේ නිසා මේ වනවිට කොටි ත‍්‍රස්තවාදීන් පුදුකුඩුඉරිප්පු හා විශ්වමඩු ප‍්‍රදේශවල කොටුවී සිටින්නේ ඔවුන් වටා සිවිල් ජනතාව මිනිස් පලිහක් ලෙස තබා ගෙනයි.

විශ්වමඩු සිට හමුදා පාලන ප‍්‍රදේශවලට එන ජනතාවට එන්නට නොදී බලෙන් තබාගෙන සිටින කොටි ත‍්‍රස්තවාදීන් තාමත් පළිගන්නේ අහිංසක සිවිල් ජනතාවගෙනි.

කොටින්ට දැන් රෝගීන්ගේ කරමතින් හෝ ගොස් තමන්ට ඉතිරිව ඇති ප‍්‍රදේශ හමුදාවෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වෙයි. එහෙත් එය ප‍්‍රභාකරන්ගේ ඊළාම් සිහිනයේ අවසාන ජවනිකාවයි.

දැනට විශ්වමඩු හා පුදුකුඩුඉරිප්පු ප‍්‍රදේශවලට කොටුවී බංකරවල සැඟවී සිටින කොටි නායකයින් හමුදාවට එලිදරව් වන දිනය වැඩි ඈතක නොවේ.

ශක්තිමත් කොටි කඳවුරු එකින් එක ඉතා ඉක්මනින් මෙලෙස බිඳවැටෙතැයි කොටි නායකයා හා ඊනියා ගෝලබාලයින් කිසිදා නොසිතන්නට ඇත. කාලයක් මුළු ලෝකයටම තමන් දෙමළ ප‍්‍රජාවගේ එකම ගැලවුම්කාරයා යැයි කියාගෙන සිටි ප‍්‍රභාකරන් තවදුරටත් දෙමළ ජනතාවගේ ගැලවුම්කරුවකු නොවන බව දැන් මුළු ලෝකයම පිළිගෙන අවසානය.

කලක් කොටි පිලේ සිට කොටින්ට ආවැඩූ කොටින්ට ප‍්‍රහාර එල්ල කිරීම නවත්වන්නැයි ඉල්ලා සිටි තමිල්නාඩු මහ ඇමති කරුණානිධි හා ජයලලිතා ප‍්‍රභාකරන්ට විරුද්ධ වී සිටිති. කොටි දෙමළ සිවිල් ජනතාව සිය භාරයේ තබාගෙන මිනිස් පලිහක් ලෙස තබාගෙන සිටින්නේ තමන්ගේ ආරක්ෂාව සඳහා බව රහසක් නොවේ.

මේ අතර ශ‍්‍රී ලංකාවට ආ ඉන්දීය විදේශ ඇමැති ප‍්‍රණාම් මුකර්ජි මහතා ගුවන් තොටුපලේදී ඉන්දීය පුවත්පත් අමතා කියා සිටියේ තමන් කිසිම දිනක කොටි සංවිධානයට අනුකම්පා නොකරන බවය. බොහෝදෙනා සිතා සිටියේ ඉන්දියාව කොටි සංවිධානයට බුරුලක් පෙන්වාවි යැයි කියායි. එහෙත් ඉන්දීය විදේශ ඇමැතිතුමාගේ ප‍්‍රකාශයෙන් තම රටේ තහනම් සංවිධානයක් වන තම රටේ අගමැතිතුමා ඝාතනය කළ කොටි සංවිධානයට ඉන්දියාවෙන් බුරුලක් නොලැබෙන බව පෙනී යයි.

කෙසේ වෙතත් ත‍්‍රස්තවාදී මේ වන විට වියරු වැටී සිටින්නේ මහා විනාශයක් කිරීමට බව පෙනේ. ඔවුන් පසුගිය සතියේ හමුදාව ඔවුන්ගේ ප‍්‍රදේශ කරා ළඟාවීම වැළැක්වීමට කල්මඩුකුලම් වැව් බැම්ම මුළුමනින්ම පුපුරුවා හැරියහ. කි.මී. 5 ක් පුරා වැව් ජලය පිටාර ගලා ගියේ ධර්මපුරම් දකුණෙ රාමනාදපුරම් විශ්වමඩු ඇතුළු ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටකරමිනි. සමහර තැන්වල මීටර 5 – 6 පමණ ජලයෙන් යටවිණ. එයින් පාඩුවූයේ හානිවූයේ හමුදාවන්ට නොවේ.

සාමාන්‍ය ජනතාවගේ ගෙවල් දොරවල් වතුපිටි බොහෝ කොට ජලයෙන් යටවිය. එහෙත් එයින් හමුදා සෙබළුන් ගේ ප‍්‍රහාර පැය 24 කට පමණ අඩාළ වූවා මිස නැවතුණේ නැත. ගොඩනැගිලි මත නැග ගස් මතට නැග ජලයේ පීනමින් වීරෝදාර සෙබළු ත‍්‍රස්තවාදීන්ට පහර දුන්හ.

හමුදා භටයන්ටත් වඩා කොටින්ට එයින් හානි සිදුවූයේ ජලකඳ තෝරා බේරා හමුදා සේනා සිටි ස්ථානවලට පමණක් නො ආ බැවිනි. ජලකඳ කොටි ත‍්‍රස්තයන්ගේ බංකර් යටකරමින් ඔවුන්ට වඩා බරපතළ හානි සිදු කළේය. ජනතාවට යුදමුක්ත කලාපයට ඒමට ද බාධා පැමිණුනි. එහෙත් යුද හමුදාව මහා ජලකඳ ආශිර්වාදයක් කරගනිමින් ත‍්‍රස්තවාදීන් පසුපස හඹා ගියේය.

ත‍්‍රස්තවාදයට හිතකර කොටි හිතවාදී ඇතැම් විදේශ මාධ්‍යයන් ජලයෙන් හමුදාවට විශාල හානි සිදුවී යැයි ද සිය ගණන් සෙබළුන් ජලයේ ගසාගෙන ගියා යැයි ද බොරු ප‍්‍රචාර කළ ද ඒ ප‍්‍රචාර ද වතුරේ ගලාගිය පරඬැල් මෙන් විය.

57 – 58 සේනාංකවල සෙබළු ජලකඳ මැදින් පන්නරය ලබා ඉදිරියට ඇදී ගොස් ප‍්‍රහාර එල්ල කළහ.

ඔවුන්ගේ ධෛර්යයේ ප‍්‍රතිඵල විදහා පාමින් 28 වෙනිදා උදෑසන වන විට විශ්වමඩු ප‍්‍රදේශයත් දැකගත හැකිවිය. 58 වන සේනාංකය දැඩි සටනකින් පසු විශ්වමඩු හන්දිය අල්ලාගත්තේ ඉකුත් 28 උදෑසනය. විශ්වමඩු හන්දියේ පොදු දේපළ හා පෞද්ගලික දේපොළ පවා කඩා බිඳ දමමින් ත‍්‍රස්තවාදීහු පලා ගියහ.

ප‍්‍රදේශයේ රජයේ හා පෞද්ගලික වාහන මෙන්ම නොටි නායකයන්ගේ වාහන ද විශාල සංඛ්‍යාවක් විනාශ කොට අත්හැර දමා ගොස් තිබුණු අයුරු ප‍්‍රදේශය අත්පත් කරගත් හමුදාවට දැකගත හැකිවිය.

පළා යන ත‍්‍රස්තවාදීහු ඈත සිට හමුදා සෙබළුන් වෙත ස්නයිපර් ප‍්‍රහාර එල්ල කළහ. ඒවාට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරමින් බි‍්‍රගේඩියර් ශවීන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකය බළසේනා විශ්වමඩු ප‍්‍රදේශය මුළුමනින්ම අත්පත් කරගැනීමට ඉදිරියට යන අයුරු දැකගත හැකිවිය.

ඒ 35 මාර්ගයේ මුලතිව් සිට කි.මී. 20 දුරින් පිහිටි විශ්වමඩු හන්දිය එල්ටීටීඊයට සංග‍්‍රාමික වශයෙන් වැදගත් ප‍්‍රදේශයකි. විශ්වමඩු අල්ලා ගැනීමේ සටන ඉතා තියුණු සටනක් විය. එහිදී කොටි ත‍්‍රස්තවාදීන් 20 කට වඩා ගණනක් මියගිය බවට කොටි සංඥා පණිවුඩ මඟින් හෙළිවිය.

ඉතා දරුණු සටන් පටන්ගත්තේ මෙතැන් සිටය. කොටි නායකයින් සිරවී සිටින මේ ප‍්‍රදේශය රැකගැනීමට කොටි ත‍්‍රස්තවාදීන් වඩාත් දරුණු ලෙස සටන් කරනු ඇත. එහෙත් සිවිල් ජනතාව ද කොටි සාමාජිකයින් අතර වඩා වැඩි වශයෙන් මුසුවී සිටින බැවින් සටන කළ යුත්තේ ඉතා ප‍්‍රවේශමෙන් බව හමුදා ආරංචි මාර්ගවලින් පැවැසේ.

කොටි ආරක්ෂක හමුදාවට පහරදීමට මෝටාර් හා කාලතුවක්කු අටවා ඇත්තේ සිවිල් ජනතාව අතෙර්ය. ඒ නිසා පහරදීම කළ යුත්තේ සූක්ෂම හා සැලැසුම් සහගත ලෙසය.

විශ්වමඩු හන්දිය අල්ලාගත් 58 සේනාංකය ඉදිරියට යන්නේ මුළු විශ්වමඩු ප‍්‍රදේශයම අත්පත් කරගැනීම සඳහාය.

විශ්වමඩු හන්දියේ තිබී දමා ගිය වාහන සෑහෙන සංඛ්‍යාවක් හමුදාවට හමුවිය. ලංගම බස්රථ මෙන්ම රජයේ වාහන ද එල්ටීටීඊ නායකයන් පාවිච්චි කළ කැබ් රථ ආදි වාහන මෙන්ම යුනිසෙෆ් ආයතනයේ රථයක් ද ඒ අතර තිබිණි.

විශ්වමඩු හන්දිය අල්ලාගත් අනතුරුව තවත් ඉදිරියට මෙහෙයුම් සිදුකළ 3 වන කාර්ය සාධක බළකායේ 631 බලසේනාවට අයත් 4 වන ශී‍්‍ර ලංකා පාබල හමුදාවේ සෙබළු විශ්වමඩු උඩයාර්කට්ටුකුලම් හි ව.කි.මී. 2 ක් පුරා විහිදුණු එල්ටීටීඊ කඳවුරු සංකීර්ණයකි. බලය මුළුමනින්ම තහවුරු කරගන්නේ ද ඉකුත් 28 වැනිදාය.

කැලෑබද මාර්ග පද්ධතියකින් හෙබි ඒ කඳවුරු භූමිය ඉතා ශක්තිමත් බංකර්වලින් පිරී තිබිණ. දැඩි සටනකින් පසු අල්ලාගත් එල්ටීටීඊ කඳවුරේ කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී ප‍්‍රථමවරට එල්ටීටීඊය සතු සබ්මැරිනයක් සොයාගෙන තිබේ. අඩි 35 ක් දිගු වෙඩි නොවදින තහඩුවලින් සකස් කළ සබ්මැරිනයක් සමග තවත් අඩ වශයෙන් වැඩ නිමකළ කුඩා ප‍්‍රමාණයේ සබ්මැරින් 3 ක්ද හමුවී තිබේ.

එයට අමතරව ටයිල් අතුරා වායු සමීකරණය කරන ලද 20 ය 30 ප‍්‍රමාණයේ සුඛෝපභෝගී නිවාස 15 ක්ද එවැනිම ටයිල් අතුරා වායු සමීකරණය කළ අඩි 25 ය 100 විවේකාගාර 2 ක්ද කඳවුර තුළ තිබිණ.

සබ්මැරිනය ප‍්‍රවාහනය කළ හැකි පැත්තකට රෝද 13 බැගින් යෙදූ භාණ්ඩ ප‍්‍රවාහනය කළ හැකි තට්ටුවක් ද අඩි 20 දිගු ආයුධ සවිකළ යාත‍්‍රාවක් පාබල බොට්ටු 3 ක් හා බෝට්ටු මෝටර් විශාල ප‍්‍රමාණයක් ද මෙහි තිබී හමුවිය.

මෙයට අමතරව ලියවන පට්ටල් විදුලි මෝටර් ඔක්සිජන් සිලින්ඩර් පැස්සුම් යන්ත‍්‍ර භූමිතෙල් පිරවූ බව්සරයක් වතුර මෝටර් 30 ක් ඇතැම් භාණ්ඩ රැසක් ද මෙහි තිබිණි.

එල්ටීටීඊය අන්ත්ර්ජාතික රාජ්‍ය නොවන සංවිධානවල ආධාරයෙන් තහනම් කි‍්‍රයාවල යෙදී තිබුණු අයුරු ද පුදුකුඩුඉරිප්පු ප‍්‍රදේශයේ අත්පත් කරගත් ප‍්‍රදේශය සෝදිසි කිරීමේදී හමුදාවන්ට දැකගත හැකිවිය.

රනිල් වික‍්‍රමසිංහ ගේ ඊනියා සාම ගිවිසුම සමයේදී කන්ටේනර් පිටින් ජනතා සුබ සාධනයට යැයි කියමින් භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් මුදා නොගත් ප‍්‍රදේශ කරා ගෙන එන ලදී. එමෙන් ම සුනාමි ව්‍යසනය සමයේ දී ජනතාවගේ විනාශ වී ගිය ගේදොර හැදීමට අවශ්‍ය බඩු භාණ්ඩ පරීක්ෂාවකින් තොරව ගෙන ඒමට එවකට සිටි රජය ඉඩදුන්නේ ලෝක ප‍්‍රජාවගේ සහනාධාර විපතට පත් ජනතාවට කෙළින්ම ලබාදීම සඳහාය. එහෙත් සිදුවී ඇත්තේ වෙනත් දෙයකි. මුලතිව් ප‍්‍රදේශයේ වෙරළ බඩ කැඩි බිඳී ගිය නිවාස කිසිවක් පිළිසකර කොට නැත. ඒ ඊනියා අන්තර්ජාතික සංවිධාන හරහා කිසිදු සංවර්ධනයක් සිදුවී නැත. සිදුවී ඇත්තේ කොටි සංවිධානය පෝෂණය වීම පමණි.

එමෙන්ම ටීආර්ඕ හෙවත් දෙමළ පුනරුත්ථාපන සංවිධානය ද ද්‍රවිඩ ජනතාව උදෙසා සහන ලබාදීමට ලෝක ප‍්‍රජාවගෙන් මුදල් එකතු කළේය. ඒ සියලු ආධාර මුදල් වලින් කෙරී ඇත්තේ දෙමළ ඊළාම් කොටි සංවිධානය තරවීම පමණකි. ඔවුහු එම මුදල් වලින් අවි ආයුධ ගෙනාවා පමණක් නොව තහනම් රසායනික අවි මෙන්ම බෝම්බ තැනීමට අවශ්‍ය කම්මල් ඉදිකළහ.

ඒවා තැනීමට අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර ගෙන්වා ඇති අයුරු පුදිකුඩුඉරිප්පු ප‍්‍රදේශයේදී හමුදාව සොයාගත් රසායනික අවි හා බෝම්බ නිෂ්පාදනාගාර වලින් පැහැදිලිව පෙනේ.

බෝම්බ නිෂ්පාදනාගාර සහිත කොටි කඳවුරු සංකීර්ණය සොයාගත්තේ දකුණු දෙසින් මෙහෙයුම් කරන ලුතිනන් කරනල් රන්දුල හන්තාගොඩගේ නායකත්වයෙන් යුත් 4 වන කාර්ය සාධක හමුදාවේ 622 බලසේනාවයි.

කොටි අන්තර්ජාතික නීතිරීතිවලට ද පටහැනිව රසායනික ද්‍රව්‍ය හා අවි නිෂ්පාදනාගාර මහා වනාන්තරයේ රහසිගතව පවත්වාගෙන ගොස් ඇත්තේ ජනතාවගෙන් වසන් කොට ඉතා ආරක්ෂා කාරී ලෙසය. අනතුරු සංඥා සහිතව කම්බි වැට වලින් වටකොට රසායනික අවි ගබඩාවක් එහි තිබී ඇත. මරාගෙන මැරෙන ඇඳුම් පවා නිෂ්පාදනය කර ඇති අයුරු දැන් ලොවට රහසක් නොවේ.

දෙමළ ජනතාවගේ විමුක්තිකාමින් යැයි කියාගන්නා එල්ටීටීඊයේ විනාශකාරී දෙබිඩි පිළිවෙත හෙළිවීමෙන් පසු ඔවුන්ට ආධාර කළ බොහෝ විදේශික බළවේග අහක බලාගෙන ඇති අයුරු ද දැකිය හැකිය.

මේ සියලු තත්ත්වයන් මැද කොටි සංවිධානය ගෙවන්නේ ඔවුන්ගේ අන්තිම කාලයයි.

1948 සුද්දන්ගෙන් නිදහස ලබාගත් ශ‍්‍රී ලංකාව 1972 දී ඔවුන්ගේ ව්‍යවස්ථාවෙන් ද නිදහස ලබා නව ශ‍්‍රී ලංකා සෛවරී ස්වාධීන ජනරජයක් බවට පත්විය.

ඒත් ඒ නිදහස හරිහැටි විඳගන්නටත් කලින් එල්ටීටීඊ ත‍්‍රස්තවාදයෙන් ශ‍්‍රී ලංකාව සිරවිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නොසැලෙන සේනාධිනායකත්වය යටතේ ආරක්ෂක ලේකම් තුමාගේ උපදෙස් පරිදි යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකාගේ සැලසුම් මත නාවික හා ගුවන් හමුදාපතිවරුන්ගේ සහයෝගයෙන් ත‍්‍රස්තවාදයෙන් මේ රට මුළුමනින්ම මුදාගන්නා දිනය ආසන්නයටම අද පැමිණ සිටී.

මේ සතියේ 61 වැනි නිදහස් සැමරුමත් සමඟම සැබෑ නිදහසේ අරුත රටවැසි සියලු දෙනාටම මෙන්ම මුළු රටටම දැනේවායි අපි පතන්නෙමු.

Read Full Post »