2015 වර්ෂය සඳහා යුද හමුදා නිලධාරීන්ට බෙදා දී තිබු දිනපොතෙහි නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ රුව සහිත සුභාශිංසනයක් අඩංගුවී තිබීම හේතුවෙන් යුද හමුදා නිලධාරීන් එම දින පොත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා විය .
මෙම ප්‍රවෘත්තිය දුටු හිටපු රොයිටර් ඡායාරූප වාර්තාකරුවෙක් වූ අනුරුද්ධ ලොකුහපුආරච්චි විසින් තබන ලද සටහනක් පහත දැක්වේ.
‘‘යුධ හමුදා 2015 දිනපොතට කරුණා අම්මාන්ගේ ඡායාරූපයක්ද ඇතුලත්ව ඇතැයි දැනගැනීම නිසා මේ සටහන තබමි. 2002 වසරේ සාම ගිවිසුම ආසන්න දිනෙක මට මුලතිව් ප්‍රදේශයේ ඡායාරූපගතකිරීමට අවස්ථාව ලැබිනි. ඒ සඳහා කිළිනොච්චියේ සිට යාමට වාහනයක් සහ පස්දෙනෙකුගෙන් යුක්ත එල් ටී ටී සන්නද්ධ භට පිරිසක් දයා මාස්ටර් විසින් සූදානම් කර තිබුනි. දවස පුරා මුලතිව් නගරයේ විවිධ ස්ථාන වල ඡායාරූප ගත් මා අවසානයේ මුලතිව් පල්ලියට ගියෙමි. ඒ අවට මිනිස් පුළුටක් දකින්න හිටියේ නැහැ. සුදු වැළිතලාව මත ඒ වන විටත් ඉතිරිව තිබූ බිත්ති කීපයකින් පල්ලියේ සුරුවමට හෙවනක් ලැබිල තිබුන.
පල්ලියෙ මිදුලෙ පැත්තක වැලිතළාව මත හමුදා යකඩ හිස්වැසුම් පන්සියයක් පමන ගොඩ ගසා තිබුන. ඒවා වසර කීපයක් පැරණි ඇතැයි පහසුවන් හඳුනාගන්නට තරම් මළකඩ සහිතය. මා එයින් එකක් අතට අරන් බැලුවෙමි. යකඩ හිස්වැස්මේ ඉදිරියෙන් ඇතුලට නෙරාගිය සිදුරකි. එම සිදුර සමීපයේ සිට තබන ලද වෙඩි පහරකින් ඇතිවූවක් බව හඳුනා ගන්න මගේ විසිපස් වසරක යුධ සහ පුවත් ඡායාරූප ශිල්පී අත්දැකීම් ප්‍රමාණවත්යයි විශ්වාස කරමි. මා තිහක් පමණ යකඩ හිස් වැසුම් පරීක්ෂා කෙරුවෙමි. ඒ සියල්ලේම එවන් සිදුරුවිය. ඒ පිලිබඳ මා සමග ගිය එල් ටී ටී කණ්ඩායමේ නායකයාගෙන් මා විමසුවෙමි. ඔහු කියා සිටියේ එවා මුලතිව් හමුදා කඳවුරේ සිටි රජයේ හමුදා භටයින්ගේ ඒවා බවය.
මා වැඩි දුරටත් ඔහුගෙන් තොරතුරු විමසූ විට ඔහු කියා සිටියේ . මුලතිව්හි රජයේ හමුදා කඳවුරට එල්ලකල ප්‍රහාරයෙන් යටත් වූ 207 ක් පමණ වූ හමුදා සෙබලුන් දණගස්වා මෙතැනදී හිසට වෙඩි තබා මරා දමා සටනේදි මිය ගිය 1000 ක් පමණ වූ අනෙක් හමුදා සොල්දාදුවන්ගේ සිරුරු සමග පල්ලිය ඉස්සරහා දමා ටයර් දමා ගිණිතැබූ බවත් මේ ඒ සොල්දදුවන්ගේ හිස්වැසුම් බවත්ය. සිහිවටනයක් ලෙස සිදුරු වූ හිවැස්මක් මා කොළඹට ගෙන යන්නදැයි ඇසූවිට ඔහු විරෝධයක් නොදැක්වීය.
මා ඔහුත් ඒ අවස්ථාවේ සිටියාදැයි ඇසූවිට ඔහුගේ නිහඬ බව මට පිලිතුරක් සැපයීය. එහෙත් මගේ දෙවැනි පැණයට ඔහු වාචිකව පිලිතුරුදුනි. එනම්… ‘කවුද ඔයාලට අණ දුන්නෙ යටත් වුන සොල්දාදුවන්ගෙ ඔලුවලට වෙඩි තියන්න ?‘
‘අපේ කමාන්ඩර් කරුණා අම්මාන් එයා ඒ වෙලාවෙ අපිත් එක්ක මෙතන හිටිය…..!“
(Lankaenews)