Feeds:
Posts
Comments

Posts Tagged ‘අම්පාර’

කොටි ත්‍රස්‌තවාදීන්ට යටත් වන ලෙසට ඉහළින් ආ නියෝගයක්‌ මත කොටින්ට යටත්වූ නිරායුධ පොලිස්‌ නිලධාරීන් හයසියයකට ආසන්න පිරිසක්‌ 1990 ජුනි මස 11 වැනිදා වෙඩි තබා ඝාතනය කෙරිණි.

කොටි ත්‍රස්‌තවාදීන්ට යටත්වූ පසු නිරායුධ පොලිස්‌ නිලධාරීන් පොලිස්‌ ස්‌ථානවල සිට බස්‌ රථවලින් කැලෑවට ගෙන ගොස්‌ අත් බැඳ මුහුණු වසා ඔවුන්ගේ හිස්‌වලට වෙඩි තබන ලද අතර වෙඩි තැබීමට පෙර ඔවුන් විවිධ ආකාරයේ කෲර වධ හිංසාවලට ලක්‌ කරන ලද බවද පසුව අනාවරණය විය.

මෙම මහා ඛේදවාචකය සිදුවූයේ කංචිකුඩිච්චිආරු කැලෑවේය. අම්පාර දිස්‌ත්‍රික්‌කයට අයත් ප්‍රදේශයක්‌ වූ මෙය එදා කොටින්ගේ රාජධානියක්‌ව තිබිණි.

මෙම බිහිසුණු අවස්‌ථාවේ කොටින්ට යටත් නොවී ඔවුන්ගේ වෙඩි උණ්‌ඩවලින් ජීවිතය බේරා ගත් පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනෙක්‌ද සිටිති. මරණයේ දොරටුව අභියසටම පා තබා යළි ජීවිතය ලැබූ එවැනි පොලිස්‌ නිලධාරියකු පසුගියදා අපට හමුවිය.

කුරුණෑගල, කුඹුක්‌ගැටේ පදිංචිකරුවකු වන කුරුණෑගල පොලිස්‌ සේවාස්‌ථ පුහුණු ආයතනයෙහි සේවයෙහි නියුතු පොලිස්‌ සැරයන් ආර්. එම්. තෙන්නකෝන් බණ්‌ඩාර (37692) මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දුන් නිලධාරියාය.

සැරයන් තෙන්කෝන් බණ්‌ඩාර එවකට රාජකාරි කරමින් සිටියේ කල්මුණේ පොලිස්‌ ස්‌ථානයේ පොලිස්‌ කොස්‌තාපල්වරයකු වශයෙනි. එදා ඔහු 23 වියෑති තරුණයෙකි.

ඔහු සිය ලොමු ඩැහැගැන්වෙන කතාව මෙසේ ආරම්භ කළේය.

එදා 1990 ජුනි 11 වැනිදා මට අද වගේ මතකයි.

එදින උදේ සිටම හතර වටින්ම වෙඩි හඬ හා බෝම්බ පුපුරණ හඬ ඇසුණා.

උදේ 9.30 සිටම එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් 150 ක්‌ විතර අපේ පොලිස්‌ ස්‌ථානයට වටකරගෙන සිටියා. මා හට රාත්‍රි රාජකාරිය නියමිතව තිබූ බැවින් මා තනිකඩ නිවාසයේ රැඳී සිටියා.මෙම වේලාව වනවිට මඩකලපුව පොලිසියද ත්‍රස්‌තවාදීන් විසින් වටකරගෙන සිටින බැව් අපට දැන ගන්නට ලැබුණා.

අප අනෙකුත් නිලධාරින් සමග සාකච්ඡා කොට කොටින් සමග සටනට සූදානම් වී සිටියා. 9.45 ට විතර අම්පාර පැත්තෙන් වෙඩි ශබ්ද සහ බෝම්බ පුපුරණ හඬ එක දිගටම ඇහෙන්න පටන් ගත්තා. තත්ත්වය දරුණු අතට හැරීගෙන එන බව පෙනී ගිය නිසා මා ආරක්‌ෂාව සඳහා අංක 03 මුරපළට ගියා.

හිටිහැටියේම ත්‍රස්‌තවාදීන් පොලිසියට මෝටර් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. පැය තුනක්‌ පමණ සටන පැවතුණා. මෙම ප්‍රහාරවලින් අංක 01 මුරපළේ සිටි පොලිස්‌ නිලධාරීන් හය දෙනාම මිය ගියා.

ත්‍රස්‌තවාදීන්ට යටත් වන ලෙස ඉහළින් නියෝගයක්‌ ආ බැව් යුද්ධය අතර දී ආරංචි වුණා. ඒ අනුව සියලුම පොලිස්‌ නිලධාරින් අවි බිම තබා යටත් වීමට තීරණය කළා. ප්‍රථමයෙන් උ.පො.ප. ආනන්ද සහ උප සේවා උ.පො.ප. රණවීර යන නිලධාරීන් දෑත් ඔසවාගෙන ඉදිරියට ගියා. අනෙකුත් නිලධාරීන් ඔවුන් පසුපස ඒ අයුරින්ම ගමන් කළා. ඒ සමගම ත්‍රස්‌තවාදී ප්‍රහාර නතර වුණා.

කලපුවට පැන මිය ගියත් කොටින්ට යටත් නොවීමට මම දැඩි ලෙස අදිටන් කර ගත්තා. මා භාරයේ තිබුණු ටී 56 ගිනි අවිය බංකරයේ වහලයේ සැඟවූ මම තමිල්නාඩු බැරැක්‌කය නමින් හඳුන්වන තනිකඩ නිවාසය පිටුපසට දුවගෙන ගියා. ආනන්ද, සෙනෙවිරත්න, දළුවත්ත සහ සරත් යන නිලධාරීන්ද එතැන සිටියා. ඔවුන්ටද යටත් නොවන ලෙස කී මම කලපුව දෙසට බඩ ගා ගෙන ගියා. ඉන්පසු මඩකලපුවට පැන්නා. මා සමග තවත් කිහිප දෙනකු පැන්නා. මෙය දුටු ත්‍රස්‌තවාදීන් අපට නැවත වෙඩි තියන්න පටන් ගත්තා. එවිට කලපුවට පැන සිටි අනෙක්‌ සියලු දෙනාම බියට පත්ව නිකම් වෙඩි කාලා මැරෙන්න බැ අපි යටත් වෙමු කියා මා තනිකර දමා කලපුවෙන් ගොඩට අවුත් අත් ඔසවාගෙන ඉදිරියට ගියා.

මම කලපුව මැද්දට පිහිනා ගෙන ගියා. කලපුවේ විශාල කූඩැල්ලන් සිටියා. දිය බරිද සිටියා. මට කිහිප විටක්‌ම මඩ වතුර පෙවුණා.

පාසි පිරුණු කලපුවේ පීනන එක හරිම අමාරුයි. පැය කීපයක්‌ කලපුවේ සිටි මා පීනා ගොස්‌ එගොඩ වී පාරක්‌ දිගේ බඩ ගාගෙන ගිය විට වෙල් යායක්‌ හමුවුණා. වෙල්යායේ ගොයම් අතරින් බඩගාගෙන යන විට මට ඈතින් විශාල ගිනි ගොඩක්‌ පෙනුණා. ඒ ගිනි ගනිමින් තිබුණේ හමුදා වාහනයක්‌. වෙල්යාය දිගේ ගිය මා යළිත් වැටුණේ වෙනත් කලපුවකටයි. එය එතරම් විශාල නැහැ. ඒ කලපුව දිගේ පීනාගෙන ගිය විට යළිත් වෙල් යායක්‌ හමුවුණා. පොල්ලක්‌ කර තියාගත් මා ගොවියෙක්‌ උදෑල්ලක්‌ කර තියාගෙන යන ආකාරයට ගමන කළා. එවිට මට ගොවීන් දෙදෙනකු හමුවුණා. මා කවුද කියා ඔවුන් විමසුවා. මා ඔවුන්ට සිද්ධිය විස්‌තර කළා. මම ඔවුන්ගෙන් කෑමට යමක්‌ ඉල්ලුවා. කලපුව අසල නවතා තිබූ ඔරුවක්‌ අසලට ගිය ඔවුන් මට බත් ටිකක්‌ දුන්නා. අඳින්න දෙන්න නම් දෙයක්‌ නැහැයි කිව්වා. ඔවුන් මට අම්පාර මධ්‍යම කඳවුරට යන පාර පෙන්නුවා.

ඒ අනුව මා ඉදිරියට යන විට මුස්‌ලිම් ජාතිකයන් කිහිප දෙනකු හමුවුණා. ඔවුන් මා කැටුව ගොස්‌ කන්න බොන්න දී සරමක්‌ සහ කමිසයක්‌ද දුන්නා. ඔවුන් මගේ තනියට තරුණයන් දෙදෙනකුද එව්වා.

මම ඔවුන් සමග මධ්‍යම කඳවුරට ගියා. පසුවදා එම කඳවුරේ නිලධාරින් මා අම්පාර රෝහලට යෑව්වා.

කොටින්ගේ වෙඩි පහරවල් කාගෙන බේරී ආ කිහිප දෙනෙකුම රෝහලේදී මට හමුවුණා. ඔවුන්ගේ අත් පාවලට වෙඩි වැදි තිබුණා. කල්මුණේ සහකාර පොලිස්‌ අධිකාරි බොතේජු ඇතුළු අනෙකුත් සියලුම නිලධාරින් කොටි උණ්‌ඩයට ගොදුරු වූ බැව් ඔවුන් කියා සිටියා.

සිය බිහිසුණු කතාව මෙසේ අවසන් කළ සැරයන් තෙන්නකෝන් බණ්‌ඩාර එවැනිම තවත් අත්දැකීම් කිහිපයක්‌ පිළිබඳව ද අපට පැවැසීය.

1989.11.17 දින සිට 1989.11.23 දින දක්‌වා පුරා දින හතක්‌ තිස්‌සේ ත්‍රස්‌තවාදීන් කල්මුණේ පොලිසියට ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරයේදී යුද හමුදා නිලධාරීන් හය දෙනෙකු සහ ත්‍රස්‌තවාදීන් දාහත් දෙනෙකු මිය ගියා. මෙම ප්‍රහාරය මැඩ පැවැත්වීමට අනෙකුත් නිලධාරීන් සමග මාද දායක වුණා.

මෙවැනි ප්‍රහාර ගණනාවකට මුහුණ දී සිටි තෙන්නකෝන් බණ්‌ඩාර එවැනි හපන්කම් කිසිවකුගේ ඇගයීමකට ලක්‌ නොවීම නිසා කළකිරීමට පත්ව 1996.12.15 වැනි දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 44/90 යටතේ සේවයෙන් විශ්‍රාම ගත්තේය. ඔහු යළිත් 1999.05.16 වැනි දින පොලිස්‌ සේවයට බැඳුනේය.

ඔහුගේ දීර්ඝ සේවා කාලය පදනම් කරගෙන ඔහුට 2006.01.01 දින සිට පොලිස්‌ සැරයන් තනතුරට උසස්‌ වීමක්‌ ලැබුණි.

විශ්‍රාම ලත් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ටාසි සෙනෙවිරත්න විසින් නොබෝදා ප්‍රකාශයට පත් කළ “HUMAN RIGHTS AND POLICING නමැති ග්‍රන්ථයෙහිද සැරයන් තෙන්නකෝන් බණ්‌ඩාර පිළිබඳව විශේෂ සටහනක්‌ ඇතුළත් කර තිබේ.

කල්මුණේ පොලිස්‌ නිලධාරින්ගේ ඝාතනය එම පොතේ සඳහන් කර ඇත්තේ පොලිස්‌ ඉතිහාසයේ අතිශයින්ම ශෝකජනකවූ දිනය වශයෙනි.

ඉහළින් ආ නියෝගයට අවනතවීම නිසා අවසානයේ පොලිස්‌ නිලධාරීන් හයසියයක පමණ සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය. දුරදිග නොබලා ගත් එවැනි තීන්දු තීරණ නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ ඒ පොලිස්‌ නිලධාරින් අවාසනයේ මිය ගියේ මිනිසෙකුට ඉසිලිය නොහැකි දරුණු දුක්‌වේදනා විදිමිනි.

මැරුම් කෑ කොටින් වෙනුවෙන් තවමත් කිඹුල් කඳුළු හෙලන අය මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා ගැන කියන්නේ කුමක්‌ද? ඉහලින් ආ නියෝගයක්‌ නිසා සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ පොලිස්‌ නිලධාරින් සිහිකර ඔවුන්ට උත්තමාචාර පිරිනැමීමටත් එම ප්‍රහාරවලින් දිවි ගලවාගෙන තවමත් සේවයෙහි යෙදී සිටින නිලධාරීන්ට ඔවුන්ගේ සේවය හා නිර්භීතකම ගැන සලකා බලා උසස්‌ වීම් ලබාදීමටත් වගකිව යුත්තන් විසින් නොපමාව පියවර ගත යුතුව ඇතැයි මධ්‍යස්‌ථ මතධාරි පොලිස්‌ නිලධාරීහු පෙන්වා දෙති.

රණවීර මනුකුලසූරිය

Advertisements

Read Full Post »

ත්‍රස්තවාදයෙන් රට රැක ගන්න එස්.ටී.එෆ්. හැදූ හැටි

1992 වසරේ අග භාගයේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් අක්කරෙයිපත්තුව නගරයේ ඇඟලුම් කම්හලක් විවෘත කිරීමේ උත්සවයකට එවකට ජනාධිපතිවරයාව සිටි ආර්. ප්‍රේමදාස මහතා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවීමට නියමිතව සිටියේය. ඒ වකවානුව වන විට ඒ ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රචණ්ඩ ක්‍රියා බහුල වශයෙන් සිදු කරමින් තිබිණි.   

මායිම් ගම්මානවලට හිටි හැටියේ කඩා වැදී අහිංසක මිනිසුන් බුරුතු පිටින් මරා දැමීමට හා ආරක්ෂක අංශවලට සැඟවී සිට ප්‍රහාර එල්ල කිරීම එල්.ටී.ටී.ඊ. ය විසින් සිදු කරගෙන ගිය නිසා ඒ පළාතේ තිබුණේ දැඩි අනාරක්ෂිත බවකි.

​ෙප්‍ර්මදාස මහතා මෙම උත්සව අවස්ථාවට පැමිණි පසු එල්.ටී.ටී.ඊ. ය ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරුවලින් ද සනාථ විය.

මෙවැනි තත්ත්වයක් යටතේ ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට ප්‍රේමදාස මහතාගේ පැමිණීම ඔහුගේ ජීවිතයට බලවත් තර්ජනයක් බව පැහැදිලිවම පෙනී ගිය නිසා ඒ ගමන වැළැක්වීමට බලධාරීන් උත්සාහ කර ඇත.

අක්කරෙයිපත්තුව නගරයේ ඉදිකළ ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට පැමිණීම නවතා දැමීමට කොතරම් උත්සාහ කර ඇතත් ප්‍රේමදාස මහතාගේ තීරණය වෙනස් කිරීමට බලධාරීන්ට හැකියාව ලැබී නොමැත.

ජනතාවාදී ජනනායකයෙකු වූ ආර්. ප්‍රේමදාස මහතා තමාගේ ජීවිතය ගැන නොතකා පොදු ජන මෙහෙවරේ නිරතව සිටි දේශපාලනඥයෙකු ලෙස ප්‍රසිද්ධිව සිටියේය.

එල්.ටී.ටී.ඊ. එකට මගේ පොදු ජන මෙහෙවර නවත්වන්න බැහැ. යැයි ප්‍රේමදාස මහතාගේ ගමන නැවැත්වීමට කතා කළ රජයේ බලධාරීන්ට පවසා ඇති බව කියති.
ආරක්ෂක අංශවල උසස් නිලධාරීන්ට ලැබී තිබුණු බුද්ධි තොරතුරුවලින් කිය වී තිබී ඇත්තේ කංචිකුඩිච්චිආරු මහ කැලෑවේ සිට ප්‍රේ‍මදාස මහතා සහභාගි වන උත්සවයට බර අවි යොදාගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සැලසුම් කර ඇති බවටය.

ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට අනිවාර්​ෙ‌යන්ම සහභාගි වන නිසා මෙම එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාර සැලසුම් ව්‍යර්ථ කිරීමට උසස් ආරක්ෂක අංශ නිලධාරීන් තීරණය කළහ.

ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට ප්‍රේමදාස මහතා පැමිණී​ෙමන් පසු එල්ල විය හැකි එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය ව්‍යර්ථ කිරීමේ භාරදූර වගකීම පවරා ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය වෙතය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ එවකට අණ දෙන නිලධාරියාව සිටි නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේකර මහතාගේ නියෝගයක් මත ලැබී තිබුණ බුද්ධි තොරතුරු මත එල්.ටී.ටී.ඊ. ප්‍රහාර සැලසුම් ව්‍යර්ථ කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරී ඇත.

එල්.ටී.ටී.ඊ. යේ මෙම සැලසුම ව්‍යර්ථ කිරීමට කංචිකුඩිච්චිආරු මහා කැලෑවේ මෙහෙයුමකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් යොදවා ඇත.

මේ කණ්ඩායමට අම්පාර සංගමන්කන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණ දෙන නිලධාරියා වශයෙන් රාජකාරි කළ පොලිස් පරීක්ෂක ලාසිලාන් අසන් මහතා ද ඇතුළත්ව සිටියේය.

අසන් මහතා පසුකාලීනව පොලිස් අධිකාරි නිලයට උසස් වීම් ලබා මේ වන විට විශ්‍රාම ලබා සිටී.

මීට වසර 27 කට පමණ පෙර සිදු කළ එ් මෙහෙයුම ගැන විශ්‍රාමික පොලිස් අධිකාරි ලාසිලාන් අසන් මහතා මතකය අවදි කළේ මේ අන්දමිනි.

ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ඇඟලුම් කම්හල් පිහිටුවීමේ හා ඔරලෝසු කණු සෑදීමේ දීපව්‍යාප්ත සංක්ලපය යටතේ අක්කරෙයිපත්තුව නගරයේ ඉදිකර තිබුණු ඇඟලුම් කම්හලක් හා ඔරලෝසු කණුවක් විවෘත කිරීමේ උත්සවයකට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතව තිබුණ ඒ 1992 වසරේ අගභාගයේ දවසක කංචිකුඩිච්චිආරු මහ කැලෑවේ සිට බර අවි යොදාගෙන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ද බුද්ධි තොරතුරු ලැබී තිබුණි.

එල්.ටී.ටී.ඊ.යේ මෙම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට බාර දී තිබුණේ එවකට පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරියාව සිටි නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේකර මහත්තයාට. කරුණාසේකර මහතා ලබා දුන් නියෝගයක් අනුව එල්ල විය හැකි ​ෙමම ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට සැලසුම් සකස් කළා. ප්‍රේමදාස මහත්තයා එන්න කලින් දවස් පහක් පුරා කංචිකුඩිච්චිආරු කැලෑවේ මෙහෙයුමක් සිදුකිරීමට තමා සැලසුම් කළේ.

ඒ වෙන කොට මම අම්පාර සංගමන්කන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණ දෙන නිලධාරියා ලෙස රාජකාරි කරමින් සිටියා. මා ඇතුළු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දින පහකට විතර සෑහෙන්න කෑම බීමත් අරගෙන කංචිකුඩිච්චි ආරු කැලෑවට ඇතුළු වුණා. කිලෝ මීටර් 15 ක් පමණ දුර කැලෑව ඇතුළට ගියා.

කණ්ඩායමේ නායකයාව සිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස රත්නායක මහත්තයායි.

ඊට පස්සේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 30 දෙනා කුඩා කණ්ඩායම් වශයෙන් බෙදුවා. මේ කුඩා කණ්ඩායම් කැලෑව ඇතුළේ ත්‍රස්තවාදීන් සොයා මෙහෙයුම් ආරම්භ කළා. මෙම කුඩා කණ්ඩායම් කැලෑව තුළට වරින් වර මෝටාර් හා ග්‍රෙනේඩ් ලෝන්චර් අවිවලින් ත්‍රස්තවාදී ගැවසෙන මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කළා. දින තුනක් විදිහට කංචිකුඩිච්චි ආරු මහ කැලෑවේ මෙහෙයුම් සිදු කළා. ත්‍රස්තවාදීන්ගෙන් අපට ඒ දින තුනක පමණ කාලය තුළ කිසිම ප්‍රතිප්‍රහාරයක් එල්ල වුණේ නැහැ.

අපේ කණ්ඩායමේ නායකයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස රත්නායක මහත්තයා කිව්වා තවදුරටත් මහ කැලෑවේ රැඳී සිටීමෙන් පළක් නොවන නිසා අක්කරෙයිපත්තු පොතුවිල් මාර්ගයේ කිලෝ මීටර් දෙකක් පමණ වන්නට ඇති තංගවේලායුදපුරම් ගමට යමු කියා. ඒ අනුව අපි කණ්ඩායමම ඒ ගමට ගියා තංගවේලායුද පුරම් ගමට යමු කිය​ා. ගමේ අත හැර දමා තිබූ පාසල් ගොඩනැගිල්ලක් තිබුණා. අපි ඒ පාසල් ගොඩනැගිල්ලේ කඳවුරු බැඳ ගත්තා.

තංගවේලායුද පුරම් ගමේ පසල් ගොඩනැගිල්ලේ කඳවුරු බැඳ ගෙන සිටියදී ත්‍රස්තවාදීන් පාසල් ගොඩනැගිල්ල වට කර ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් අන්දමන්ද කරමිනි.

ඒ බිහිසුණු එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය ගැන විශ්‍රාමික පොලිස් අධිකාරි අසන් මහතා කිව්වේ මෙවැනි කතාවකි.

දවස් තුනක් තිස්සේ එක දිගටම පැලැඳ සිටි බූට් සපත්තු යකඩ හිස් වැසුම් ගලවා දමා අපි පාසල් ගොඩනැගිල්ලේ බිම දිගා වී විඩා නිවමින් සිටියා. ගොඩනැගිල්ල අවට තෝරා ගත් ස්ථාන කිහිපයක නිලධාරීන් කිහිප දෙනෙක් යොදවා ආරක්ෂාවක් ද සපයා ගෙන තිබුණා.

අපට වැඩි වේලාවක් විඩා නිවන්නට ලැබුණෙ නැහැ. පාසල් ගොඩනැගිල්ල පිටුපසින් එක දිගටම වෙඩි හඬ ඇ​ෙසන්න පටන් ගත්තා. එය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් බව තේරුම් ගන්න අපට වැඩි වේලාවක් ගත වූයේ නැහැ. අයට යකඩ හෙල්මට් හෝ බූට් සපත්තු දා ගන්නවත් වේලාවක් තිබුණේ නැහැ. වෙපන් අතර අරගෙන වෙඩි ප්‍රහාරය එල්ල වූ දෙසට දිවගොස් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා. කොටි ත්‍රස්තවාදීන්ද එක දිගටම ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා. කොටි ත්‍රස්තවාදීන්ද එක දිගට ප්‍රහාර එල්ල කරනවා. අපි හිටියේ එළිමහනේ භූමියක. අප බිම දිගා වී ප්‍රති ප්‍රහාර එල්ල කළා. අපේ ගිය ළඟින්ම වෙඩි උණ්ඩ ඇදී යනවා. පොඩ්ඩක් හෝ ඔළුව ඉස්සුවොත් එයින්ම ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා.

පස් කාගෙනම අපිත් එක දිගට ප්‍රතිප්‍රහාර එල්ල කළා. විවෘත භූමියක සිටි නිසා අපි… එල්.ටී.ටී.ඊ.යේ ඉලක්ක වී තිබුණා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ස්වයංක්‍රීය ගිනි අවිවලින් විතරක් නෙවේ කාර්ල් ගුස්ටා වර්ගයේ බර අවිවලින් ද ඔවුන් අපට ප්‍රහාර එල්ල කළා. ඒ නිසා තත්ත්වය තවත් බැරෑරුම් වුණා. අපිත් ඇරියේ නැහැ. පස් කාගෙනම ප්‍රතිප්‍රහාර එල්ල කළා.
අපේ කණ්ඩායම සංවිධානාත්මකව එල්ල කළ ප්‍රහාර හමු​වේ ත්‍රස්තවාදීන් පලා ගියා. සටන පැය 1/2 ක විතර කාලයක් පැවැත්වුණා. අපේ කිසිම නිලධාරියෙකුට හෝ භටයකුට තුවාල සිදු නොවීම ගැන අපට ලොකු සැනසීමකට හේතු වුණා. අපි කංචිකුඩිච්චිආරු කැලෑවෙන් පිටතට පැමිණ තිබුණේ කලින් අපේ උසස් නිලධාරීන් ලබා දී තිබූ නියෝගවලට පටහැනිවයි.

ඉහළ නිලධාරීන් ලබා දී තිබූ නියෝග කඩකර ඇති බව එම නිලධාරීන් යම් හෙයකින් දැනගත්තොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව අපි හොඳාකාරවම දැන සිටියා. මෙය රහසක් වශයෙන් තබා ගැනීමට සියලු දෙනා කතිකා කර ගත්තා. මේ ගැන ආරංචි වේවි යැයි කියා අප තුළ ලොකු බියක්ද පැවතුණා.

ඇඟලුම් කම්හල හා ​ඔරලෝසු කණුව විවෘත කිරීමේ උත්සවයට ආර්. ප්‍රේමදාස මහත්තයා එක්ක අක්කරෙපත්තුවට පැමිණ සිටි නියෝජ්‍ය පොලිස්පති කරුණාසේන මහත්තයා අපිට වහාම සංගමන්කන්ද විශේෂ කාර්ය බළකා කඳවුරට රපෝත්තු කරන්න කියා පණිවිඩ හුවමාරු යන්ත්‍ර මගින් නියෝගයක් කළා. ඒ වෙන කොටත් අපි හිටියේ කැලෑවේ මෙහෙයුම්වල නිරතවෙමින්. අපි කළ වැඩේ ගැන කෙසේ හෝ ආරංචි වෙලා නියෝග කඩකිරීමේ වරදට දඬුවම් දෙන්න තමා කැඳවීම කළේ කියා අපි සිතුවා. ලැබෙන ඕනෑම දඬුවමකට යටත් වෙනවා කියා හිත හදාගෙන සංගමන් කන්ද කඳවුරට අපි 30 දෙනාම ආවා.

ඊට පස්සේ මොකද වුණේ කියන ප්‍රශ්නයට ද පිළිතුරු දුන්නේ විශ්‍රාමික පොලිස් අධිකාරි අසන් මහතාය.

සංගමන්කන්ද කඳවුරේ ඉදිරිපිට ජ්‍යෙෂ්‍ඨත්වයට අනුව අපේ කණ්ඩායම අණ දෙන නිලධාරි කරුණාසේන මහත්තයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පෙළ ගැසී සිටියා. ජීප් රථ කිහිපයක් පිරිවරාගෙන ආ කරුණාසේන මහත්තයා ඔහු පැමිණි ජීප් රථයෙන් බැහැලා ඇවිත් අපිට අතට අත දෙමින් සුබ පතන්න පටන් ගත්තා. මේ වෙන්නේ මොකක්ද කියා අපිට හිතා ගන්නා බැරිව ගියා.

දඬුවම් විඳින්න වෙයි කියා හිතාගෙන හිටිය අපිට අත අත දී දීලා සුබ පැතුවේ ඇයිද කියන එක ලොකු ප්‍රශ්නයක් වුණා.

​ෙපර දිනයේ අපේ කණ්ඩායම එල්ල කළ ප්‍රහාරයෙන් කංචිකුඩිච්චි ආරු ප්‍ර​දේශය බාරව සිටි කොටි සංවිධානයේ අණ දෙන නිලධාරියාව සිටි ශෂී සහ ඔහුගේ දෙවැනියා ඇතුළු කොටි ත්‍රස්තයන් කිහිප දෙනෙක් මැරුම්කා තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඒ බව කොටින්ගේ පණිවිඩ හුවමාරු ජාලයට සවන් දී​ෙමන් අපේ ලොකු නිලධාරින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ විතරක් නෙමේ කොටි හඬ ගුවන් විදුලියෙන් මේ නායකයන් දෙදෙනා මියගිය නිසා ශෝක ගී පවා ප්‍රචාරය කරලා.

මේ නිසා තමා එදා අපට කරුණාසේන මහත්තයා අතට අත දීලා සුබ පතා තියෙන්නේ. නමුත් අපි කළ විනය විරෝධි ක්‍රියාව ගැන ආරංචි වෙලා නැහැ. අපි එදා විනය විරෝධී ක්‍රියාවක් සිදු කළත් එයින් යහපතක් ද සිදු වුණා යැයි විශ්‍රාමික පොලිස් අධිකාරි අසන් මහතා කිව්වේ සිනා සෙමින්ය.

ආර්. ප්‍රේමදාස මහත්තයා ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට පැමිණි පසු එයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ ද එදා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ප්‍රහාරයකින් මැරුම් කෑ කංචිකුඩිච්චිආරු ප්‍රදේශය භාරව සිටි එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයේ නායක ශෂී නමැත්තාය.

සටහන
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප
මාදම්පේ නිර්මාල් ප්‍රසංග ජයසූරිය.   

 

Read Full Post »

* ඉඩම් ගත්තේ හෝටල් සංකිර්ණයකට
* ගෙවල්වලට ගිනිතබා මිනිසුන් එළවයි

thrada1පානම කී විට අප සිහියට නැගෙන්නේ ඉතා මනරම් රමණිය සුන්දර බිම්කඩකි. පානම දෙවොළේ අංඇදීම, පානම හරහා ඔක`ද දේවොළට ගොස්‌ පාද යාත්‍රාවෙන් කතරගමට යැම සහ කුමන කුරුළු පාරාදිසය මතකයට නැගෙන නිසාදෝ මෙම ගම්මානය මුළු ලංකාවේම අවධානය දිනා ගන්නේය. මිනිස්‌සු හිතන්නේ පානමත් පානම අවට ගම්වලත් ඇත්තන් වාසනාවන්ත ජීවිත ගත කරන බවය. මේ කතාව පානමට නුදුරු රාගම්වල ගම්මානය ගැනය.

එහෙත් දැනට වසර හයක සිට පානමට ආසන්නයේ පිහිටි රාමගම්වල ගමේ ජනයා ඉඩම් ආරවුලකට මැදිව දිගින් දිගට බළධාරීන්ගේ කෙණහිලිවලට ලක්‌ව ඇත්තේය. ඒ රාගම්වල මෙම සුන්දර ගම්මානයටම ක`දුළක්‌ එක්‌ කරලමිනි. මෙම ප්‍රදේශයේ එක්‌ පසෙකින් සුන්දර වෙරළ තීරයය. අනෙක්‌ පසින් ඇත්තේ කළපුවකි. තවත් පසෙකින් කුඹුරු යාය සහ වන පෙතෙන් වටව ඇති සුන්දරම බිම්කඩක්‌ නිසා ලොකු ලොකු බලවතුන් මෙම ස්‌ථානයේ සංචාරක ව්‍යාපාරයෙන් උපදින මුදලේ කුණු රසයට ඉව කරමින් සිටිති. එබැවින් පානම මිනිස්‌සුන්ට සිදුව ඇත්තේ තමන් පදිංචිව සිටි බිම්කඩද අහිමි වූ සරණාගතයින් වීමටය.

2010 වසරේ ජුනි 17වන දින පානම ඔක`ද දෙවොල හරහා කුමන වන පෙතේ මැදින් හරෝ හරෝ කියමින් බැතිමතුන් පාද චාරිකාවේ යෙදුන සමයයි. එදින රාත්‍රියේ ඔක`ද දේවොලේ සිට මැදියම් රෑ අප නැවත පානම හරහා අම්පාරට එන විට දුටුවේ රාත්‍රියේ කළුවර කපා මහා ගින්නක්‌ ඇවිලෙන අයුරුය. හේන්වලට තැබු ගින්නක්‌ යෑයි සිතා එදා අපි අම්පාරට පැමිණියෙමු. පසු දින ආරංචිවුයේ රාගම්වල පදිංචිව සිටි ජනයාට එදින රාත්‍රියේ කිසියම් පිරිසක්‌ පැමිණ පහරදි නිවස 07 කට ගිනි තබා පළවා හැර තිබෙන බවය.

එය සිදුවුයේ රාජපක්‌ෂ පාලන සමයේය. සුන්දර මුහුදු තීරයකට යාබදව ඇති මෙම ප්‍රදේශයේ කොයි කාගෙත් අවධානයට ලක්‌වු බිම් කඩක්‌ වූයේය. 60 දශකයේ සිට පානම ගම්මානයේ ජනයා මෙම රාගම්වළ ප්‍රදේශයේ පදිංචිව ගොවිතැන් සිදු කරමින් දිවිසරි කර ගත්හ. රාගම්වළ ගමින් පන්නා දැමු ජනයා නැවතත් තම අතීත අයිතිය වෙනුවෙන් සටන් කරන්නට වූහ. දිගින් දිගටම විරෝධය පාමින් උද්ඝෝෂණයන් සිදු කරන්නට වූහ. මේ ආකාරයෙන් තම අයිතීන් වෙනුවෙන් සටන් වැදි ජනයා අවසානයේදී තමන්ගේ ඉඩකඩම්වලට යැම නිසා රජයේ ඉඩම්වලට බලෙන් ඇතුළු වූයේ යෑයි පවසමින් පොතුවිල අධිකරණයේ මෙම ජනයාට එරෙහිව නඩු පවරන ලදී.

දිගින් දිගටම පොතුවිල අධිකරණයේ ඇදී ගිය නඩුවට 2015 වසරේදී තින්දුවක්‌ ලැබුනේය. මෙම ගම්වාසින් මෙම ඉඩම්වලට තම අයිතිය සනාථ වන බලපත්‍ර ආදිය ඉදිරිපත් කළහ. නඩු තීන්දුව ලැබෙන්නේ මෙම ඉඩම්වල පදිංචි වීමට මිනිස්‌සුන්ට අවසර ලබා දෙමිනි. ඊට අමතරව මානව හිමිකම් කොමිසන් සභාවේ නිර්දේශයද හිමිවන්නේ එම ස්‌ථානයේම පදිංචිවීමට මේ මිනිසුන්ට ඉඩකඩ සලසා දෙමිනි.

වර්ෂ 2015 පෙබරවාරි මාසයේදී කැබිනට්‌ මන්ඩලයේ තීන්දු වූයේත් පසුගිය රජයේ සමයේ ඉදිකරන ලද ජත්‍යන්තර තොරතුරු මධ්‍යස්‌ථානයට අදාළ භූමියට අක්‌කර 25 ක්‌ වෙන් කර ඉතිsරි ප්‍රමාණය ජනතාවට ලබා දීමටය. මේ ආකාරයෙන් ලැබිය යුතු සෑම තැනකින්ම මිනිසුන් වෙනුවෙන් තීන්දුව ලැබුණත් රාගම්වෙල අසරණයන්ට මෙම ඉඩමට ඇතුළු වීමට අවසර නොලැබුණි.

පානම්පත්තුව සුරකීමේ සංවිධානයේ ප්‍රධාන සංවිධායක පී. සෝමසිරි මේ ගැන මෙසේ කීවේය.

”මෙම ප්‍රදේශයේ නාවික හමුදාව සතුව අක්‌කර 825 ක්‌ තියෙනවා. ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්‌ථානය ඉදිකිරීම ස`දහා ගුවන් හමුදාවට තවත් අක්‌කර 25 ක්‌ වෙන්කර තිබෙනවා. ඉතිරි අක්‌කර 365 න් වැවට අක්‌කර 96 ක්‌ද කුඹුරු යායට අක්‌කර 64 ක්‌ද කැළයට අක්‌කර 40 ක්‌ද ගියාම ශාස්‌ත්‍රවෙල සහ රාගම්වෙළ ජනතාවට ලැබෙන්නේ ඉතිරි ටිකයි. මෙම ජනතාවට බලපත්‍ර සහ ප්‍රකාශන ඔප්පු තිබෙනවා. අපේ ජනතාව පදිංචි ස්‌ථානයේ දයා ගමගේ ඇමතිවරයා හෝටල් සංකර්ණයක්‌ හදන්න කටුතු කරනවා. අපි පදිංචි ස්‌ථානය වෙනුවට මාර්ගයේ අනෙක්‌ පස ගල් ගොඩලි සහිත ප්‍රදේශයට ගෙවල් හදන්න මුල්ගල් තියලා තියෙනවා. අපි ඉන්න මුහුදු ප්‍රදේශයෙන් එයාලා හෝටල් ගහන්න අපිව පන්නවා. අපිව ඉඩම්වලින් පන්නලා එතන හෝටල් හදන්න කාටවත් අපි ඉඩ දෙන්නේ නැහැ. හෝටල් හදලා ආර්ථිකය දියුණු වෙනවට අපි කැමතියි. හැබැයි එම හෝටල් හදන්න දිය යුත්තේ ජනතාවටයි. ඒ ස`දහා ජනතාවට සහයෝගය ලැබිය යුතුයි.

ඒ වෙනුවට අපිව පන්නලා බලපුළුවන්කාරයන්ට හෝටල් හදන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එදා වේල බොහෝම අමාරුවෙන් දිවිය සරි කරගන්නා මෙම ජනතාවට මෙම ඉඩම් වලට නැවත ඒමට ඉඩ නොලැබුන නිසා පසුගියාද අපි බලයෙන් එම ඉඩම් වල පදිංචි වුවා. කුමන හේතුවක්‌ නිසාවත් අපි මෙම ඉඩම් අත් හරින්නෙ නෑ..” පි. සෝමසිරි පවසා සිටියේය.

පානම්පත්තුව සුරකීමේ සංවිධානයේ සභාපති පානම ශ්‍රී සංඝරතන නාහිමියන් මේ සම්බන්ධව කීවේ මෙවැනි අදහසකි .

”පානම ගැටළුව සම්බන්ධව පොතුවිල උසාවියෙන් නඩු තීන්දු දෙකක්‌ ලැබිලා තියෙනවා. නමුත් ප්‍රාදේශීය ලේකම් මිනුම් කටයුතු කරලා මිනිස්‌සු පදිංචි කරන්න තවමත් කටයුතු කලේ නැහැ. දයා ගමගේ ඇමතිවරයා මේ ආයෝජන කළාපයක්‌ කරන්න දිසාපතිවරයාටයි ප්‍රාදේශීය ලේකම්ට බලපෑම් කරනවා. ජනාධිපතිවරයා මෙය වහාම දෙන්න කියලා නියෝග කරලා තිබුණත් මෙම ජනයාට තවමත් ඉඩම් ලැබුනේ නැහැ. එම නිසා මෙම ගම්මානයේ පවුල් 35ක්‌ විතර නතර වෙලා ඉන්නවා. මෙතන ව්‍යාපෘති නොවෙයි මිනිසුන්ට ඉන්න ඉඩ දෙන්න. මෙම ගම්වාසීන්ගේ අයිතිය වෙනුවෙන් ඉදිරියේදී නිරන්තරයෙන් කටයුතු කරනවා…” පානම ශ්‍රී සංඝරතන නායක හිමියන් ‘දිවයින’ට අදහස්‌ දක්‌වමින් කීහ.

පානම ඉඩම් ගැටළුව සම්න්ධව මැදිහත්ව ක්‍රියා කරන උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපති සේනාපතියේ ආනන්ද හිමියන් මෙසේ පවසා සිටියහ.

”එදා 1818 ඌව වෙල්ලස්‌ස කැරැල්ල නිසා පැමිණි ජනයාගෙන් සැදුම්ලත් පිරිසක්‌ තමයි පානම රාගම්වෙල පදිංචිව සිටින්නේ. නිවාස ගිනි බත් කරමින් ඉතා කුරිරු ලෙස පන්නා දැමු මෙම ජන කොටස වෙනුවෙන් අපි පසුගිය අප්‍රේල් මස 07 වන දින සිට කටයුතු කරන්න පටන් ගත්තා. අපි අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය ඇමතිsනි අනෝමා ගමගේ, මහ දිසාපති තුසිත වනගසිංහ, නියෝජ්‍ය පොලිස්‌පතිතුමා ඇතුළු දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිළධාරි මහත්ම මහත්මීන් සමග අම්පාර කච්ෙච්රියේදී සාකච්ජාවක්‌ කරනු ලැබුවා. එහිදි දේශපාලන අධිකාරිය රටේ ආයෝජනය ස`දහා මෙම භුමිය භාවිතා කිරීම අත්‍යවශ්‍ය බවත් මෙම භුමියේ පදිංචි ජනයා වෙනත් ස්‌ථානයකට පදිංචි කරවන බවත් පැවසුවා.”

”නමුත් තමන් ජීවත්වන පරිසරයෙන් ඇත් කරලා වෙනත් ප්‍රදේශයට පදිංචි කරන්න යැමෙන් එම ජනතාවගේ ජීවත්වීමේ ආර්ථික වැඩ පිලිවෙළ තර්ජනයට ලක්‌ වෙනවා. තමන්ට හිමිව තිබු අක්‌කර දෙක තුනක ඉඩම් අහිමිව යැමෙන් මොවුන්ගේ අර්ථිකය මුළුමනින්ම බි`ද වැටෙනවා. මේ රටේ ජනතාවගෙන් ජීවත්වීමේ අයිතිය උදුරා ගැනීමද යහපාලනේ කියන්නේ. මේ රටේ අධිකරණ වලින් ලබා දුන් නඩු තීන්දු දෙකක්‌ උල්ලංඝනය කරමින් වත්මන් පාලකයන් කටයුතු කරනවා. උතුරු නැගෙනහිර සිංහල සංවිධානය රාගම්වෙල මිනිස්‌සු මේ අරගලය දිනන තුරු දිවි හිමියෙන් කටයුතු කරනවා” යෑයිද කීහ.

පොතුවිල අධිකරනයෙන් දුන් නඩු තීන්දු දෙක අනුව මෙම ජනයාට තමන් සිටි ඉඩම්වල පදිංචිවීමට අවසර ලැබුණි. නමුත් තවමත් රාගම්වෙල ගමේ තමන් සිටි ඉඩම්වලට පදිංචිවීමට බළධාරින් ගම් වැසියන්ට අවසර දි නොමැත. අධිකරණ තින්දුව දෙමළෙන් ඇති බව පවසමින් මෙහි මොනවා තියෙනවාද කියා දන්නේ නැතැයි පවසමින් ඇතැම් නිළධාරීහු හිමින් සිරුවෙන් ඇ`ග බේරා ගනිති. අවසානයේ ස්‌වකීය උරුමය අනුව රාගම්වෙල ගමේ පදිංචි වූවන් පන්නා දැමිමට විවිධ උපක්‍රම යොදමින් සිටිති. නමුත් ඒ සියලුදේට නොසැලී මුහුණ දෙන ගම් වැස්‌සෝ උද්ඝෝෂණ අරගල කරමින් තම අයිතිය වෙනුවෙන් සටන් කරමින් සිටිති.

රාජපක්‌ෂ සමයේ පන්නා දමන ලද රාගම්වෙළ ජනයාගෙන් ඉඩම් අයිතිsය ලබා දෙන බවටද එදා යහපාලන ලොක්‌කෝ පාරම්බෑහ. යහපාලනේ යේ සො`දුරු ජනතා සිහින පානම වෙරළේ හෙලුවෙන් ඇවිදිමින් සිටී. අධිකරණ තීන්දු පයිසයකට මායිම් නොකරන ඇමතිවරයෙක්‌ ස්‌වකීය බිරි`ද සමග මිනිස්‌සුන්ගේ ජීවිත කුඩුපට්‌ටම් කර හෝටල් හදමින් සිටිති.

අම්පාරේ දිඝවාපියේ නොරච්චෝලේ නිවාස 500 ක්‌ ස`දහා ලබා දුන් අධිකරණ තීන්දුව පයිසයකට මායිම් වී නැත. පානම රාගම්වෙල ඉඩම් සදහා ලබා දුන් අධිකරණ තීන්දු වලට සිදුවූයේ මෙයය. නීතියේ ආධිපත්‍ය ඇත්තේ අහවල් තැනදැයි දැන් අපට අසන්නට සිතේ. ඒ සමගම අම්පාර පැත්තෙන් රටට වැදගත් පණිවුඩයක්‌ රැගෙන ඇවිත් ඇත. එනම් දේශපාලන තුප්පහිකම් වලට ජාති ආගම් භේද නොමැති බවය.

සදාචාරය හෝ නීතිය වැදගත් නොවන බවය.

Read Full Post »

Advertisements