Feeds:
Posts
Comments

Posts Tagged ‘ආනන්ද පීරිස්’

බෝට්ටු හතරකින් කොටි වරාය වට කරති – දෙහිවල දෙසින් ත‍්‍රස්තයෝ පෙළගැසෙති;

කොළඹ වරාය මෙරට ප‍්‍රධානතම ආර්ථික මර්මස්ථානයකි. ආනයන, අපනයන භාණ්ඩ වෙළෙඳාම සහ භාණ්ඩ හුවමාරුව සිදු කෙරෙන මෙරට ප‍්‍රධාන නාවික තොටුපළය. එමෙන්ම ඉන්දියන් සාගරයේ සුවිශේෂී ස්ථානයක පිහිටා ඇති කොළඹ වරාය භාණ්ඩ ප‍්‍රති අපනයනය කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල් බහුලව භාවිත කරනු ලැබේ. එහෙයින් කොළඹ වරාය අතිශය කර්යබහුල ස්ථානයකි. විවිධ අවශ්‍යතා සඳහා දිනකට පුද්ගලයන් තිස්පන්දහසකට වැඩි පිරිසක් පැමිණෙන බවත් දෛනිකව වාහන දසදහසකට වැඩි ප‍්‍රමාණයක් පැමිණෙන බවත් වාර්තා වේ.

රටක මෙවැනි ආර්ථික මර්මස්ථානයක් ආරක්‍ෂා කරගැනීම අතිශය වගකීම් සහගත කර්යභාරයකි. විශේෂයෙන්ම පැවති ත‍්‍රස්තවාදී යුද සමයේ එල්.ටී.ටී.ඊ. යේ ප‍්‍රධාන ඉලක්කයන් අතර කොළඹ වරාය ඉදිරියෙන් තිබිණි. සැහැල්ලූ ගුවන් යානාවලින් (කුරුම්බැට්ටි මැෂින්* සහ මුහුදෙන් මරාගෙන මැරෙන බෝට්ටුවලින් පැමිණි කොටි ත‍්‍රස්තවාදීන් කොළඹ වරායට පහරදීමට උත්සාහ කළ අවස්ථා රැුසකි. එහෙත් ඒ සියලූ ත‍්‍රස්ත ප‍්‍රයත්නයන් දුර්දර්ශී යුද සෙන්පතියන් හමුවේ ව්‍යර්ථ විය. පැවති යුද ගිනියමේ කොළඹ වරායේ ආරක්‍ෂාව සුරක්‍ෂිතව පවත්වාගෙන ගිය ආකාරය ගැන එවකට හිටපු බටහිර නාවික ප‍්‍රදේශය භාර ආඥාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් අපට කීවේය.

ඔහු හිටපු නාවික ප‍්‍රදේශයන් භාර ආඥාපතිවරයෙක් මෙන්ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකි. ත‍්‍රස්තවාදී යුද්ධයෙන් රට මුදාගැනීමට දිවි හිමියෙන් කැප වී සේවය කළ රණවිරුවෙකි. යුද ගිනි නිවී ගිය රටේ පන්සල් හාරසීයක් නැවත පිළිසකර කිරීමට මෙන්ම අලූතින් ගොඩනැඟීමට නායකත්වය ලබාදුන් පින්සාර නිලධාරියෙකි. දැන් විශ‍්‍රාම සුවයෙන් සැඳෑ සමය ගත කරන ආනන්ද පීරිස් මහතා අතිශය වගකීම් සහගතව සිදු කළ මේ හෙළිදරව්ව අපගේ වචනයෙන් කියනවාට වඩා ඔහුගේම වචනවලින් ඇසීම ඔබට වඩාත් සංවේදීවනු ඇත. මෙතැන් සිට පෙළගැසෙන්නේ හිටපු බටහිර නාවික ප‍්‍රදේශය භාර ආඥාපති ආනන්ද පිරීස් කියන ඒ කතාවය.

‘‘2006 අවුරුද්දට කලින් මම හිටියේ දකුණේ ප‍්‍රදේශ භාර නාවික ආඥාපති විදිහට. අවසාන සටන පටන් ගන්න ඔන්න, මෙන්න තියලා එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාවික හමුදාපතිවරයාගෙන් මාව කොළඹට ඉල්ලලා තිබුණා. ඒ අවසරයෙන් 2006 අවුරුද්දේ බටහිර ප‍්‍රදේශය භාර නාවික ආඥාපතිවරයා විදිහට මම පත්වෙලා ආවා…’’

‘‘දකුණේ වගේ නෙමෙයි, බටහිර නාවික ප‍්‍රදේශය භාරව කටයුතු කිරීම වගකීම වැඩියි. විශේෂයෙන්ම කොළඹ වරාය. රටේ ප‍්‍රධාන ආර්ථික මර්මස්ථානය. වරායට එන නෞකාවකට පහර දුන්නොත් සේරම ඉවරයි… නැව් එන්නෙ නැතිව මුළු ආර්ථිකයම කඩා වැටෙනවා. යුද්ධය නිකංම නතර වෙනවා. එල්.ටී.ටී.ඊ ය යුද්ධය දිනුවා වගේ වෙනවා. ඔය කාලේ එල්.ටී.ටී.ඊ. සංවිධානයත් පුහුණුකිරීම්, අභ්‍යාස කටයුතු වැඩි කරලා, ඉන්ධන, කෑම වර්ග එකතු කිරීම බහුලව සිදු කරන ගමන් රට පුරා යොදවා තිබුණු ඔත්තුකරුවන් ප‍්‍රමාණයත් වැඩි කරගෙන යන බව බුද්ධි තොරතුරුවලින් අනාවරණය වෙලා තිබුණා. දුර්දර්ශීව වැඩ කරපු ආරක්‍ෂක ලේකම්තුමා කොළඹ නගරය සහ වරායේ ආරක්‍ෂාව වැඩි කරන්න කියලා එවකට හිටපු හමුදාපතිවරුන්ට උපදෙස් දීලා තිබුණා…’’

‘‘ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් පිට කොළඹ නගරය සහ වරායේ ආරක්‍ෂාව සඳහා කළුතර, මතුගම, හොරණ, අවිස්සාවේල්ල, කෑගල්ල, කුරුණෑගල, හලාවත දක්වා සමස්ත ප‍්‍රදේශයම ආවරණය වන පරිදි විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් දියත් කළා. සෑම සතියකම සඳුදා බස්නාහිර පළාතේ ආරක්‍ෂක අංශ භාර අණදෙන නිලධාරිවරු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් සමඟ ආරක්‍ෂක ලේකම්වරයා විශේෂ සාකච්ඡුාවක් පැවැත්වුවා. සමහර රැුස්වීම් උදේ 9.00 ට ආරම්භ කරලා සවස හතර, පහ වෙනකම් පැවැත්වෙච්ච අවස්ථා තිබුණා. ඒ හැරුණුකොට සෑම මාසයකම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුදාපතිවරුන්ගෙන් තොරව පළාත් භාර හමුදා නායකයන් සමඟ ප‍්‍රදේශයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සාකච්ඡුා කළා. පසුව ආරක්‍ෂක කමිටුව රැුස් කරලා එම රැුස්වීමේදී ඉදිරිපත් වෙච්ච ගැටලූ සාකච්ඡුා කරලා විසඳුම් ලබාදුන්නා. ඒ වගේම සමහර අවස්ථාවල ආරක්‍ෂක ලේකම්වරයා කෙළින්ම මට කතා කරලා වරාය ආරක්‍ෂක කටයුතු ගැන සාකච්ඡුා කළා. ආරක්‍ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පිරිස් බලය, අවි ආයුධ ඉල්ලන පමණින් දුන්නා. ඒත් කොළඹ වරායට ආරක්‍ෂාව ලබාදීම අතිශය අසීරු කටයුත්තක් වුණා. මුහුද, ගොඩබිම, ගුවන තුන් තැනම දවසේ පැය විසිහතර පුරාම සෝදිසි කරන්න වුණා…’’

‘වරායට නෞකා ඇතුළු වන දොරටු දෙකයි. වරායට ගොඩබිමින් වාහන ඇතුළුවන දොරටු නවයක් තියෙනවා. අන්තිම දොරටුව තියෙන්නෙ මට්ටක්කුලියේ. කොළඹ කොටුව, පිටකොටුව, කොටහේන, මට්ටක්කුලිය සහ මෝදර ප‍්‍රදේශවලට දිවෙන ප‍්‍රධාන මාර්ග වගේම අතුරු මාර්ග රැසක් තියෙනවා. කොළඹ නගරයට එකතු වන වැසි ජලය පිට කරන්න විවිධ ප‍්‍රමාණයේ උමං මාර්ග දහනවයක් තියෙනවා. සමහරක් උමං මාර්ග කෙනෙකුට හිටගෙන ඇවිදගෙන යන්න පුළුවන් තරම් විශාලයි. ඒ වගේම දිනපතා විශාල නෞකා ප‍්‍රමාණයක් කොළඹ වරායට ඇතුළු වෙනවා. කොළඹ වරාය අවට මුහුදේ විශාල බෝට්ටු ප‍්‍රමාණයක් ධීවර කර්මාන්තයේ යෙදෙනවා. වරාය ආසන්නයේ මෝදර ධීවර වරායට දේශීය මෙන්ම විදේශීය ධීවර යාත‍්‍රා විශාල ප‍්‍රමාණයක් එනවා. කැලණි ගෙඟ් මෝයකට පිහිටලා තියෙන්නෙත් කොළඹ වරාය ආසන්නයේ. මේ හේතු නිසා කොළඹ වරායට ආරක්‍ෂාව සැලසීම සංකීර්ණ කටයුත්තක් වුණා. එතකොට වරායේ ආරක්‍ෂාවට හිටියේ දාහක්් වගේ පිරිසක්. ප‍්‍රථමයෙන් මම පිරිස් බලය වැඩි කළා. දෙවනුව වරායට ප‍්‍රහාර එල්ල කිරීමට ඇති ප‍්‍රධාන ඉලක්ක හඳුනාගෙන ඒවා වසා දැම්මා…’’

‘‘මරාගෙන මැරෙන යාත‍්‍රා, ප‍්‍රහාරක යාත‍්‍රා, වෙළෙඳ නෞකා ලෙස පැමිණ ප‍්‍රහාර එල්ල කිරීම, වරායට එන තෙල්, ගෑස් හෝ වෙනත් අන්තරායකර ද්‍රව්‍ය රැගෙන එන යාත‍්‍රා පැහැරගෙන යෑම, සැහැල්ලූ ගුවන් යානාවලින් පැමිණ බෝම්බ හෙලීම, ගොඩබිම මාර්ග ඔස්සේ පැමිණ ප‍්‍රහාර එල්ල කිරීමට ඇති සියලූ තැන් හඳුනාගෙන ආවරණය කළා. වරාය අවට ආරක්‍ෂිත කලාපය කොටස් හයකට බෙදලා ආරක්‍ෂිත රැකවල් දැඩි කළා. වරායට නෞකා ඇතුළු කරන දොරටු දෙකෙන් උතුරු දොරටුව සම්පූර්ණයෙන්ම වසා දැමුවා.

ඒ විතරක් නෙමෙයි ඒ දොරටුවේ ආරක්‍ෂාවට දවසේ පැය විසිහතර පුරාම නාවිකයාත‍්‍රා කිහිපයක් යෙදෙව්වා. වරාය ආසන්නයේ මුහුද ආරක්‍ෂිත කලාපයක් කරලා ඩෝරා යාත‍්‍රා ඇතුළු ප‍්‍රහාරක යාත‍්‍රා ගණනාවක් යෙදෙව්වා. එම අධි ආරක්‍ෂිත කලාපයේ ධීවර කර්මාන්තයේ යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. එම මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදුණු ධීවර පවුල්වලට සෑම මාසයකම වියළි සලාකයක් ලබා දුන්නා. මෝදර වරායට එන යන සියලූ ධීවර බෝට්ටු පරීක්‍ෂා කළා. පානදුරේ සිට මීගමුව දක්වා මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන සියලූ යාත‍්‍රා නාවික හමුදා මුරපොළකට වාර්තා කරලා පරීක්‍ෂා කළාට පස්සෙ තමයි, කර්මාන්තයේ යෙදෙන්න පුළුවන්. නැවත ගොඩබිමට යනකොටත් නවික හමුදා මුරපොළකට වාර්තා කරලා පරීක්‍ෂා කළාට පස්සේ තමයි පිටත් වෙන්න අවසර දුන්නේ. කැලණි ගෙඟ් වතුර බහින මෝයකට ළඟට මුරපොළක් දැම්මා. පානදුරේ මෝයකට ළඟ මුරපොළක් දැම්මා. බේරේ වැවේ වතුර මුහුදට එකතු වෙන තැනට මුරපොළක් දැම්මා. කොළඹ වැසි ජලය බහින සියලූ උමං මාර්ගවල කටවල් කම්බි දැලකින් ආවරණය කරලා උමඟ පේන විදිහට ලොකු ෆ්ලෑෂර් ලයිට් දාලා ?, දවල් දෙකේම ආරක්‍ෂාවට ඒ ස්ථානවල නිලධාරියෙක් තිබ්බා…’’

‘‘වරාය තුළ අනුඛණ්ඩ හයක් පිිහිටුවා ස්ථිර ලෙස භට පිරිස් ස්ථානගත කළා. යුද හමුදා අනුඛණ්ඩයක් වරාය තුළ ආරම්භ කළා. ගුවන් හමුදා භට පිරිස් වරාය තුළ ආරක්‍ෂක රාජකාරිවලට යොදාගත්තා. වරාය වටා ගුවන් නාශක අවි සීයක් විතර ස්ථානගත කළා. යුද හමුදාවට අයත් බර අවි කිහිපයක්ම වරාය වටා ස්ථානගත කළා. පානදුරේ ඉඳලා මීගමුව දක්වා නාවික අනුඛණ්ඩ අටක් ස්ථාපිත කළා. උස්වැටකෙයියාව ප‍්‍රදේශයේ නාවික කඳවුරක් ආරම්භ කළා. ගුවන් යානා පරීක්‍ෂා කිරීම සඳහා විශේෂිත රේඩාර් සවි කළා. වරායට ගොඩබිමින් ඇතුළු වන දොරටු නවයෙන් තුනක් සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. දිවා,

? වරාය වටා මීටර් සීයෙන්, සීය නාවික භටයන් ස්ථානගත කළා. මුහුදෙන් එන යාත‍්‍රා නිරීක්‍ෂණය කිරීමට පානදුරේ සිට මීගමුව දක්වා ගොඩබිම සහ මුහුදේ නාවික යාත‍්‍රා තුළ අධි තාක්‍ෂණික රේඩාර් යන්ත‍්‍ර විශාල ප‍්‍රමාණයක් සවි කළා. දිය යටින් පැමිණෙන කිමිදුම්කරුවන් නිරීක්‍ෂණයට සෝනාර් යන්ත‍්‍ර මෙන්ම ඔවුන් විනාශ කරන බෝම්බ සහිත නාවික යාත‍්‍රා ස්ථානගත කළා…’’

‘‘වරායට පැමිණෙන සහ පිට වන නෞකා ආරක්‍ෂිතව රැුගෙන යෑමට නියමුවන්ගේ සහායකයන් ලෙස නාවික හමුදා භටයින් යොමු කළා. ඉන්දියාවේ තූත්තුකුඩි වරායේ ඉඳලා කොළඹ වරායට එන පාරම්පරික රුවල් වෙළෙඳ නැව් පැය විසිහතරක් තබාගෙන විශේෂ පරීක්‍ෂාවකට ලක් කළා. වරාය අවට නැංගුරම්ලා සිටින නෞකාවලට ආරක්‍ෂාව වැඩි කළා. වරායට පැමිණෙන ගෑස්, තෙල් ගොඩබෑම සිදු කළේ දිවා කාලයේ විතරයි. ඒ කටයුත්ත සිදු කළෙත් අධි ආරක්‍ෂිත රැුකවල් යටතේ. ධීවරයන් විදිහට වෙස් වලාගත් නාවික භටයින් ධීවර කර්මාන්තයේ යෙදෙන මුවාවෙන් පානදුරේ සිට මීගමුවට යන තෙක් වරාය අවට මුහුදේ සෝදිසි කටයුතු සිදු කළා. සිවිල් පුද්ගලයන් මෙන් වරාය තුළ වගේම අවට ප‍්‍රදේශවල බුද්ධි අංශ නිලධාරීන් යෙදෙව්වා. අවශ්‍ය රාජකාරිවලට අවසර ලත් වාහන විතරයි, වරායට ඇතුළු කළේ. සෙසු සියලූ වාහන හරවලා යැව්වා. අවසර නොගෙන පැමිණි ප‍්‍රභූ වාහනත් හරවලා යැව්වා. එක් අවස්ථාවක අවසරයෙන් තොරව චන්ද්‍රිකා මැතිනිය ඇවිත් අංක එක දොරටුවේ ආරක්‍ෂාවට හිටිය නිලධාරීන් වාහනය ඇතුළු කරලා තිබුණේ නෑ. පස්සෙ ඒ සිද්ධිය ලොකු කතාන්දරයක් වුණා. ඒත් ඒ සිද්ධියට මුහුණ දුන් නාවික භටයව මම බේරගත්තා…’’

‘‘කොටුව, මෝදර දක්වා පාමුර සංචාර අඛණ්ඩව ක‍්‍රියාත්මක කළා. එම ප‍්‍රදේශවල සෝදිසි කටයුතුවලට යතුරුපැදි මුර සංචාරයක් ආරම්භ කළා. ඊට අමතරව ත‍්‍රිරෝදකරුවන් මුවාවෙන් නාවික භටයන් සෝදිසි මෙහෙයුම්වල යෙදෙව්වා. හැමදාම  වරාය අවට කොළඹ නගරයේ සියලූම ලොජ් සෝදිසි කළා. හඳුනාගත් සැකකටයුතු පුද්ගලයන් ප‍්‍රශ්න කරලා ඔවුන්ගේ ගම්වලට පිටත් කර හැරියා…’’

‘‘වරායේ ආරක්‍ෂාව ගැන සොයාබැලීමට පෙර දැනුම්දීමකින් තොරව සතියට දින දෙකක් නාවික හමුදාපතිවරයා වරාය වටා රාත‍්‍රි සංචාරයක නිරත වුණා. මම හැමදාම රාත‍්‍රියට හිටි හැටියේ වරාය තුළ මෙන්ම අවට සංචාරය කළා. ගෙදර ඉඳලා ඒ රාජකාරිය කරන්න බැරි නිසා බටහිර ප‍්‍රදේශය භාර නාවික ආඥාපති විදිහට වැඩ භාරගත්ත දවසේ ඉඳලා මම ගෙදර ගියේ නෑ. අන්තිමේ මගේ බිරිඳයි, දරුවො තුන්දෙනාවයි මගේ නිල කාමරයේම නතර කර ගත්තා. පුංචි කාමරයක ලොකු පුතාලා තුන්දෙනෙක් එක්ක ජීවත් වෙන්න අසීරු වුණා. පස්දෙනෙකුට නිදාගන්නවත් කාමරය ඉඩ මදි. ඒත් වරායේ ආරක්‍ෂාව ගැන හිතලා ඒ කැපකිරීම අපි කළා. හැමදාම උදේ නවයට සියලූ අණදෙන නිලධාරීන් දැනුවත් කිරීමක් කළා. වරාය ආරක්‍ෂක නිලධාරීන්, පොලිසිය සහ වරාය සේවකයින් සමඟ සතියකට දෙවරක් පුහුණු වැඩමුළු පැවැත්වුවා. ආරක්‍ෂක ලේකම්තුමාගේ, නාවික හමුදාපතිවරයාගේ දැනුවත්වීම මත සැකකටයුතු යාත‍්‍රාවක්, ගුවන් යානයක් දුටු සැණින් ප‍්‍රහාරදීමට ආරක්‍ෂක නිලධාරීන්ට උපදෙස් දීලා තිබුණා…’’

‘‘අවට ප‍්‍රදේශවාසීන් දැනුවත් කරලා ඔවුන්ගේ උපරිම සහයෝගය මත හැකි උපරිමයෙන් වරායේ ආරක්‍ෂාව තර කර තියෙද්දීත් එක දවසක් ?ක වරාය පැත්තට කුරුම්බැට්ටි මැෂිමක් එනවා රේඩාර්වලට වැදිලා තිබුණා. මමත් රේඩාර්වලින් දැක්කා. මීගමුව පැත්තෙන් එනකොටම ප‍්‍රහාර දෙන්න කියලා මම නියෝග කළා. මල් වෙඩි වරුෂාවක් වගේ වෙඩි උණ්ට අහසට විදිනකොට වත්තලට මඳක් එපිටින් යානය හැරිලා ගෙනාව බෝම්බ තැන, තැන හලාගෙන ගිහින් තිබුණා. එදා කොටි ඇවිත් තියෙන්නෙ වරායට ගහන්නම තමයි. ඊට පස්සෙ 2007 ජනවාරි 28 වැනිදා මරාගෙන මැරෙන කොටි යාත‍්‍රා හතරකින් වරායට ප‍්‍රහාර දෙන්න ආවා. පාන්දර හතරට විතර දෙහිවල පැත්තෙන් එනකොටම කොල්ලූපිටියේ මුහුද අයිනේ උස කුළුණේ හිටපු නාවික භටයෙක් යාත‍්‍රා හතර දැකලා තියෙනවා. ඒ මොහොතේම නාවික භටයා ප‍්‍රහාර දීලා. ඊට පස්සෙ අනිත් සියලූ මුරපොළවලින් ප‍්‍රහාර එල්ල කරලා. මුහුදේ තිබුණු ඩෝරා යාත‍්‍රාවලිනුත් ගැහුවා. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සිද්ධිය බලාගෙන ඉඳලා මට කතා කරලා ‘ආනන්ද මොකද තත්ත්වය…’ කියලා ඇහුවා…’’

‘බොහෝ දුරට තත්ත්ව පාලනය වෙලා ඉවරයි…‘ කියලා මම කියනකොට ගෝඨාභය සර් කියනවා ආනන්ද පරිස්සමින් ගොඩබිමින් ඇටෑක් එන්න පුළුවන්…’ කියලා. ඒ කියනකොටත් මම අවශ්‍ය සියලූ තැන්වල ආරක්‍ෂාව තර කරලා ඉවරයි. පැය දෙකක් විතර ප‍්‍රහාරදීම සිද්ධ වුණා. අන්තිමේ එක යාත‍්‍රාවක් ගිහින් නැවක හප්පලා පොඩි හානියක් කළා. අනිත් යාත‍්‍රා තුනෙන් දෙකක් අපි ගහනකොට විනාශ වෙලා තිබුණා. එකක් උන්ම විනාශ කරගෙන තිබුණා…’’

‘‘පැය දෙකක් විතර මෙහෙයුම ක‍්‍රියාත්මක වුණා. හතට විතර මම ඇවිත් මහන්සියට ඇලවුණා. ඒ කාලය තුළ ආරක්‍ෂක ලේකම්තුමා කොටි යාත‍්‍රාව මුලින්ම දැකපු නාවික භටය හමුවෙලා පෞද්ගලිකව ස්තූති කරලා තිබුණා. ඒ දිරිගැන්වීම තමයි අපිව ශක්තිමත් කළේ. යුද්ධය දිනන්න ප‍්‍රධාන හේතුවත් ඒකම තමයි…’‘ ආනන්ද පිරීස් දීර්ඝ කතාවකින් පසු අසුන මත හරිබැරි ගැසිණි. ඒ සමඟ යුද ගිනියමේ වරායේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමේ මෙහෙයුමේ කතාවේ ද අවසාන විය.

ආනන්ද පීරිස්ට තවත් අභියෝගයක් පැවරිණි. ඒ නැගෙනහිර ප‍්‍රදේශයන් භාර නාවික ආඥාපතිවරයා ලෙස වැඩ භාරගැනීමය. තවත් දිනක නැගෙනහිර මුහුදේ සිදු කළ වික‍්‍රමයන් ගැන කතා කිරීමේ අදහසින් අපි ඒ සොඳුරු කැදැල්ලෙන් සමුගත්තෙමු.

තරංග රත්නවීර

Read Full Post »