Feeds:
Posts
Comments

Posts Tagged ‘කොටි ත්‍රස්‌තවාදීන්’

කොටි ත්‍රස්‌තවාදීන්ට යටත් වන ලෙසට ඉහළින් ආ නියෝගයක්‌ මත කොටින්ට යටත්වූ නිරායුධ පොලිස්‌ නිලධාරීන් හයසියයකට ආසන්න පිරිසක්‌ 1990 ජුනි මස 11 වැනිදා වෙඩි තබා ඝාතනය කෙරිණි.

කොටි ත්‍රස්‌තවාදීන්ට යටත්වූ පසු නිරායුධ පොලිස්‌ නිලධාරීන් පොලිස්‌ ස්‌ථානවල සිට බස්‌ රථවලින් කැලෑවට ගෙන ගොස්‌ අත් බැඳ මුහුණු වසා ඔවුන්ගේ හිස්‌වලට වෙඩි තබන ලද අතර වෙඩි තැබීමට පෙර ඔවුන් විවිධ ආකාරයේ කෲර වධ හිංසාවලට ලක්‌ කරන ලද බවද පසුව අනාවරණය විය.

මෙම මහා ඛේදවාචකය සිදුවූයේ කංචිකුඩිච්චිආරු කැලෑවේය. අම්පාර දිස්‌ත්‍රික්‌කයට අයත් ප්‍රදේශයක්‌ වූ මෙය එදා කොටින්ගේ රාජධානියක්‌ව තිබිණි.

මෙම බිහිසුණු අවස්‌ථාවේ කොටින්ට යටත් නොවී ඔවුන්ගේ වෙඩි උණ්‌ඩවලින් ජීවිතය බේරා ගත් පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනෙක්‌ද සිටිති. මරණයේ දොරටුව අභියසටම පා තබා යළි ජීවිතය ලැබූ එවැනි පොලිස්‌ නිලධාරියකු පසුගියදා අපට හමුවිය.

කුරුණෑගල, කුඹුක්‌ගැටේ පදිංචිකරුවකු වන කුරුණෑගල පොලිස්‌ සේවාස්‌ථ පුහුණු ආයතනයෙහි සේවයෙහි නියුතු පොලිස්‌ සැරයන් ආර්. එම්. තෙන්නකෝන් බණ්‌ඩාර (37692) මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දුන් නිලධාරියාය.

සැරයන් තෙන්කෝන් බණ්‌ඩාර එවකට රාජකාරි කරමින් සිටියේ කල්මුණේ පොලිස්‌ ස්‌ථානයේ පොලිස්‌ කොස්‌තාපල්වරයකු වශයෙනි. එදා ඔහු 23 වියෑති තරුණයෙකි.

ඔහු සිය ලොමු ඩැහැගැන්වෙන කතාව මෙසේ ආරම්භ කළේය.

එදා 1990 ජුනි 11 වැනිදා මට අද වගේ මතකයි.

එදින උදේ සිටම හතර වටින්ම වෙඩි හඬ හා බෝම්බ පුපුරණ හඬ ඇසුණා.

උදේ 9.30 සිටම එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් 150 ක්‌ විතර අපේ පොලිස්‌ ස්‌ථානයට වටකරගෙන සිටියා. මා හට රාත්‍රි රාජකාරිය නියමිතව තිබූ බැවින් මා තනිකඩ නිවාසයේ රැඳී සිටියා.මෙම වේලාව වනවිට මඩකලපුව පොලිසියද ත්‍රස්‌තවාදීන් විසින් වටකරගෙන සිටින බැව් අපට දැන ගන්නට ලැබුණා.

අප අනෙකුත් නිලධාරින් සමග සාකච්ඡා කොට කොටින් සමග සටනට සූදානම් වී සිටියා. 9.45 ට විතර අම්පාර පැත්තෙන් වෙඩි ශබ්ද සහ බෝම්බ පුපුරණ හඬ එක දිගටම ඇහෙන්න පටන් ගත්තා. තත්ත්වය දරුණු අතට හැරීගෙන එන බව පෙනී ගිය නිසා මා ආරක්‌ෂාව සඳහා අංක 03 මුරපළට ගියා.

හිටිහැටියේම ත්‍රස්‌තවාදීන් පොලිසියට මෝටර් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. පැය තුනක්‌ පමණ සටන පැවතුණා. මෙම ප්‍රහාරවලින් අංක 01 මුරපළේ සිටි පොලිස්‌ නිලධාරීන් හය දෙනාම මිය ගියා.

ත්‍රස්‌තවාදීන්ට යටත් වන ලෙස ඉහළින් නියෝගයක්‌ ආ බැව් යුද්ධය අතර දී ආරංචි වුණා. ඒ අනුව සියලුම පොලිස්‌ නිලධාරින් අවි බිම තබා යටත් වීමට තීරණය කළා. ප්‍රථමයෙන් උ.පො.ප. ආනන්ද සහ උප සේවා උ.පො.ප. රණවීර යන නිලධාරීන් දෑත් ඔසවාගෙන ඉදිරියට ගියා. අනෙකුත් නිලධාරීන් ඔවුන් පසුපස ඒ අයුරින්ම ගමන් කළා. ඒ සමගම ත්‍රස්‌තවාදී ප්‍රහාර නතර වුණා.

කලපුවට පැන මිය ගියත් කොටින්ට යටත් නොවීමට මම දැඩි ලෙස අදිටන් කර ගත්තා. මා භාරයේ තිබුණු ටී 56 ගිනි අවිය බංකරයේ වහලයේ සැඟවූ මම තමිල්නාඩු බැරැක්‌කය නමින් හඳුන්වන තනිකඩ නිවාසය පිටුපසට දුවගෙන ගියා. ආනන්ද, සෙනෙවිරත්න, දළුවත්ත සහ සරත් යන නිලධාරීන්ද එතැන සිටියා. ඔවුන්ටද යටත් නොවන ලෙස කී මම කලපුව දෙසට බඩ ගා ගෙන ගියා. ඉන්පසු මඩකලපුවට පැන්නා. මා සමග තවත් කිහිප දෙනකු පැන්නා. මෙය දුටු ත්‍රස්‌තවාදීන් අපට නැවත වෙඩි තියන්න පටන් ගත්තා. එවිට කලපුවට පැන සිටි අනෙක්‌ සියලු දෙනාම බියට පත්ව නිකම් වෙඩි කාලා මැරෙන්න බැ අපි යටත් වෙමු කියා මා තනිකර දමා කලපුවෙන් ගොඩට අවුත් අත් ඔසවාගෙන ඉදිරියට ගියා.

මම කලපුව මැද්දට පිහිනා ගෙන ගියා. කලපුවේ විශාල කූඩැල්ලන් සිටියා. දිය බරිද සිටියා. මට කිහිප විටක්‌ම මඩ වතුර පෙවුණා.

පාසි පිරුණු කලපුවේ පීනන එක හරිම අමාරුයි. පැය කීපයක්‌ කලපුවේ සිටි මා පීනා ගොස්‌ එගොඩ වී පාරක්‌ දිගේ බඩ ගාගෙන ගිය විට වෙල් යායක්‌ හමුවුණා. වෙල්යායේ ගොයම් අතරින් බඩගාගෙන යන විට මට ඈතින් විශාල ගිනි ගොඩක්‌ පෙනුණා. ඒ ගිනි ගනිමින් තිබුණේ හමුදා වාහනයක්‌. වෙල්යාය දිගේ ගිය මා යළිත් වැටුණේ වෙනත් කලපුවකටයි. එය එතරම් විශාල නැහැ. ඒ කලපුව දිගේ පීනාගෙන ගිය විට යළිත් වෙල් යායක්‌ හමුවුණා. පොල්ලක්‌ කර තියාගත් මා ගොවියෙක්‌ උදෑල්ලක්‌ කර තියාගෙන යන ආකාරයට ගමන කළා. එවිට මට ගොවීන් දෙදෙනකු හමුවුණා. මා කවුද කියා ඔවුන් විමසුවා. මා ඔවුන්ට සිද්ධිය විස්‌තර කළා. මම ඔවුන්ගෙන් කෑමට යමක්‌ ඉල්ලුවා. කලපුව අසල නවතා තිබූ ඔරුවක්‌ අසලට ගිය ඔවුන් මට බත් ටිකක්‌ දුන්නා. අඳින්න දෙන්න නම් දෙයක්‌ නැහැයි කිව්වා. ඔවුන් මට අම්පාර මධ්‍යම කඳවුරට යන පාර පෙන්නුවා.

ඒ අනුව මා ඉදිරියට යන විට මුස්‌ලිම් ජාතිකයන් කිහිප දෙනකු හමුවුණා. ඔවුන් මා කැටුව ගොස්‌ කන්න බොන්න දී සරමක්‌ සහ කමිසයක්‌ද දුන්නා. ඔවුන් මගේ තනියට තරුණයන් දෙදෙනකුද එව්වා.

මම ඔවුන් සමග මධ්‍යම කඳවුරට ගියා. පසුවදා එම කඳවුරේ නිලධාරින් මා අම්පාර රෝහලට යෑව්වා.

කොටින්ගේ වෙඩි පහරවල් කාගෙන බේරී ආ කිහිප දෙනෙකුම රෝහලේදී මට හමුවුණා. ඔවුන්ගේ අත් පාවලට වෙඩි වැදි තිබුණා. කල්මුණේ සහකාර පොලිස්‌ අධිකාරි බොතේජු ඇතුළු අනෙකුත් සියලුම නිලධාරින් කොටි උණ්‌ඩයට ගොදුරු වූ බැව් ඔවුන් කියා සිටියා.

සිය බිහිසුණු කතාව මෙසේ අවසන් කළ සැරයන් තෙන්නකෝන් බණ්‌ඩාර එවැනිම තවත් අත්දැකීම් කිහිපයක්‌ පිළිබඳව ද අපට පැවැසීය.

1989.11.17 දින සිට 1989.11.23 දින දක්‌වා පුරා දින හතක්‌ තිස්‌සේ ත්‍රස්‌තවාදීන් කල්මුණේ පොලිසියට ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරයේදී යුද හමුදා නිලධාරීන් හය දෙනෙකු සහ ත්‍රස්‌තවාදීන් දාහත් දෙනෙකු මිය ගියා. මෙම ප්‍රහාරය මැඩ පැවැත්වීමට අනෙකුත් නිලධාරීන් සමග මාද දායක වුණා.

මෙවැනි ප්‍රහාර ගණනාවකට මුහුණ දී සිටි තෙන්නකෝන් බණ්‌ඩාර එවැනි හපන්කම් කිසිවකුගේ ඇගයීමකට ලක්‌ නොවීම නිසා කළකිරීමට පත්ව 1996.12.15 වැනි දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 44/90 යටතේ සේවයෙන් විශ්‍රාම ගත්තේය. ඔහු යළිත් 1999.05.16 වැනි දින පොලිස්‌ සේවයට බැඳුනේය.

ඔහුගේ දීර්ඝ සේවා කාලය පදනම් කරගෙන ඔහුට 2006.01.01 දින සිට පොලිස්‌ සැරයන් තනතුරට උසස්‌ වීමක්‌ ලැබුණි.

විශ්‍රාම ලත් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ටාසි සෙනෙවිරත්න විසින් නොබෝදා ප්‍රකාශයට පත් කළ “HUMAN RIGHTS AND POLICING නමැති ග්‍රන්ථයෙහිද සැරයන් තෙන්නකෝන් බණ්‌ඩාර පිළිබඳව විශේෂ සටහනක්‌ ඇතුළත් කර තිබේ.

කල්මුණේ පොලිස්‌ නිලධාරින්ගේ ඝාතනය එම පොතේ සඳහන් කර ඇත්තේ පොලිස්‌ ඉතිහාසයේ අතිශයින්ම ශෝකජනකවූ දිනය වශයෙනි.

ඉහළින් ආ නියෝගයට අවනතවීම නිසා අවසානයේ පොලිස්‌ නිලධාරීන් හයසියයක පමණ සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය. දුරදිග නොබලා ගත් එවැනි තීන්දු තීරණ නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ ඒ පොලිස්‌ නිලධාරින් අවාසනයේ මිය ගියේ මිනිසෙකුට ඉසිලිය නොහැකි දරුණු දුක්‌වේදනා විදිමිනි.

මැරුම් කෑ කොටින් වෙනුවෙන් තවමත් කිඹුල් කඳුළු හෙලන අය මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා ගැන කියන්නේ කුමක්‌ද? ඉහලින් ආ නියෝගයක්‌ නිසා සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ පොලිස්‌ නිලධාරින් සිහිකර ඔවුන්ට උත්තමාචාර පිරිනැමීමටත් එම ප්‍රහාරවලින් දිවි ගලවාගෙන තවමත් සේවයෙහි යෙදී සිටින නිලධාරීන්ට ඔවුන්ගේ සේවය හා නිර්භීතකම ගැන සලකා බලා උසස්‌ වීම් ලබාදීමටත් වගකිව යුත්තන් විසින් නොපමාව පියවර ගත යුතුව ඇතැයි මධ්‍යස්‌ථ මතධාරි පොලිස්‌ නිලධාරීහු පෙන්වා දෙති.

රණවීර මනුකුලසූරිය

Advertisements

Read Full Post »

බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්‌තවාදීන් බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කර සිදු කළ විනාශයට අදට (25 දාට) පහළොස්‌ වසරක්‌ පිරෙයි.

ශ්‍රී දළදා මාළිගාවේ මහා වාහල්කඩ ඉදිරිපිටදී ලොරි බෝම්බයෙන් පුපුරුවා හරිමින් 1998 ජනවාරි මස 25 වැනිදා උදෑසන 6.00 ට පමණ කොටි සංවිධානය මේ විනාශය සිදු කරන ලදී.

බෝම්බය පුපුරුවා හැරීමෙන් විසිදෙනකු පමණ ජීවිතක්‍ෂයට පත්වුණු අතර තවත් බොහෝ දෙනකුට තුවාල සිදු විය.

Read Full Post »

Advertisements