Feeds:
Posts
Comments

Posts Tagged ‘ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි’

මේ ඡායාරූපයේ ඉන්නේ පොලිස් නිලධාරියෙක්. හැබැයි ඔහු නියම පොලිස් නිලධාරියෙක් නම් නෙමෙයි. LTTE සංවිධානය පොලිස් නිලධාරියෙක් ලෙස පුහුණුකර, මුලතිව් පොලිස් ස්ථානයට එල්ල කළ ප‍්‍රහාරයෙන් පසු ලබා ගත් නිල ඇඳුමකින් සරසා වව්නියාව උසස් පොලිස් නලධාරීන් විසින් සාකච්ඡාවක් පවත්වනු ලබන අවස්ථාවක එම සාකච්ඡාවට කඩා වැදී සිය ගතෙහි දවටා ගෙන සිටි බෝම්බ කට්ටලය පුපුරවා සියලූ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට සූදානම් වූ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ”සෙල්වා” යි.

එවකට වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයතු කළේ කීර්තිමත් පොලිස් නිලධාරියකු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස විශ‍්‍රාම ලැබූ ගාමිණි ද සිල්වා මහතායි. ”සෙල්වා” පොලිස් අත්අඩංගුවට පත්වුණේ වව්නියාව සිට ආපහු යාපනයට යෑමට ඕමන්තේ පොලිස් මුරපොළ හරහා යද්දියි. පොලිස් මුරපොළේ රඳවා සිටි පුහුණුවලත්, පසුව අත්අඩංගුවට පත් වූ LTTE සැකකරුවකු තමයි ඔහු සමග පුහුණු වූ අයකු ලෙස සෙල්වාව හඳුනාගත්තේ. ”සෙල්වා” ගේ ගම චාවකච්චේරිය. අම්මයි, තාත්තයි දෙන්නම මැරිලා. අක්කලා තුන් දෙනෙක් ඉන්නවා. තුන්දෙනාම අවිවාහකයි. මේ තුන්දෙනා ජීවත් කළේ ‘‘සෙල්වා” කුලී වැඩ කරලා. මෙහෙම ඉද්දි තමයි LTTE ය ”සෙල්වා” තම කාඩරයකු ලෙස බඳවා ගත්තේ. මූලික පුහුණුව ලැබුවේ පූනරීන්වල. පූනරීන්, මුලතිව් හා මුහමාලේ වැනි ප‍්‍රධාන ත‍්‍රස්ත ප‍්‍රහාරයන් කිහිපයකට ‘‘සෙල්වා” ඉතා ක‍්‍රියාශීලීව සහභාගී වුණා. මේ දක්ෂතා හින්දා කෙටි කාලයකින් ”සෙල්වා”ව කළුකොටි අංශයට උසස් කළා.

LTTE ය සිය මරාගෙන මැරෙන කාඩරයන් හඳුනාගනු ලබන්නේ කළුකොටි අතරිනුයි. ටික කලකින් සෙල්වාට LTTE යෙන් අපූරු යෝජනවාක් ආවා. ඒ තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස පුහුණුවීමට. සෙල්වා මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස පුහුණුව ලැබුවා. මේ අතරම සෙල්වාට මානසික අල්ලසක් දීමට LTTE ය පසුබට උනේ නැහැ. ඒ ඔහුගේ කැපවීම වෙනුවෙන් මුළු ජීවිත කාලයේම පණ වගේ හිටපු අක්කලා තුන්දෙනා බලා ගන්නවා කියලා. කෙසේ වෙතත් සෙල්වා තමාට ලැබුණු ඉලක්කයත් අරගෙන වව්නියාවට අවා.

”රත්නම්” වව්නියාවේ රාජ්‍ය ආයතනයක පියන් කෙනෙක්. රත්නම්ගේ බිරිඳ ජයලක්ෂ්මී, ඔහුගේ දියණියන් දෙදෙනා කුඩා කාලේදීම පිළිකාවක් හැදිලා මිය ගියා. ජීවා සහ ලක්ෂ්මී යන දියණියන් දෙදෙනා සමග වව්නියාව, පුන්තෝට්ටම් ප‍්‍රදේශයේ කරදරයක් නැතුව ජීවත් වුණා. රත්නම්ගේ අයියා ජේසුදාසන් හිටියේ චාවකච්චේරියේ. ජේසුදාසන්ගේ පෙරත්තවට එක් දීපවාලී උත්සව කාලයකදී තම ඇස්දෙක වගේ ඉන්න දියණියන් දෙදෙනා සමග අයියව බලන්න චාවකච්චේරියට ගියා. එහිදි ඔවුන්ට ලොකු අකරතැබ්බකට මුහුණ දෙන්න සිදු වුණා. රත්නම් දියණියන් දෙදෙනා සමග සිය අයියාගේ නිවසේ සිටින එක් රාත‍්‍රියක LTTE යේ ජීප් රථයක් නිවසට පැමිණියා. රත්නම් සහ දියණියන් දෙදෙනා විලාප නඟද්දී රත්නම්ගේ වැඩිමහල් දියණිය වූ ජීවාව LTTE විසින් පැහැර ගත්තා. රත්නම් එදා ?ම ජේසුදාසන් එක්ක චාවකච්චේරි LTTE කඳවුර ළඟට ගිහිල්ලා එළිවෙනකම් හිටියා. ඒ වුණාට ඔවුන්ට කඳවුර ඇතුළට යන්න හම්බවුණේ නැහැ. රත්නම් මේ විදියට දවස් තුනක් නොකා නොබී සිය බාල දියණිය සමග LTTE ගේට්ටුව ළඟ හිටියා. අවසානයේ දින තුනකින් පසු චාවකච්චේරි LTTE කඳවුරේ ප‍්‍රධානියා හමුවෙන්න අවස්ථාවක් රත්නම්ට ලැබුණා. ඔහු හරිම සැර පරුෂ පුද්ගලයෙක්. ඔහු කිව්වා.

”උඹලා හොඳට කාලා ඇඳලා ඉන්නවා. අපි මේ කැලෑවට වෙලා විමුක්තිය වෙනුවෙන් සටන් කරනවා. අපිට ඒකට ඉඩ දෙන්න බැහැ. අපි උඹට එක චාන්ස් එකක් දෙන්නම්. අපි එවනවා අපේ එකෙක් උඹේ ගෙදරට. එයා උඹේ ගෙදර තියා ගන්න ඕනේ. උඹේ අයියගේ පුතා කියලා. නැත්තම් උඹලගේ දුවල දෙන්නගෙන් එක්කෙනෙක් LTTE එකට බැඳෙන්න ඕනේ.”

ප‍්‍රධානියාගේ නියෝගය පිළිගන්නවා හැරෙන්න රත්නම්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ අනුව තමයි සෙල්වා රත්නම්ගේ ගෙදරට ආවේ. සෙල්වා රත්නම්ගේ ගෙදරට ආවේ අයියගේ පුතෙක් විදියට පිටරට යන්න අවශ්‍ය වැඩ ටික කර ගන්න කියලා. ටික දවසක් යද්දි හරි පුදුම දෙයක් වුණා. LTTE විසින් ලබා දෙන දැඩි පුහුණුව හේතුවෙන් ගලක් වෙලා තිබ්බ සෙල්වාගේ හිතට රත්නම්ගේ වැඩිමහල දුව ජීවා එබිකම් කරන්න ගත්තේ මේ දවස්වල. සෙල්වා නිතරම රත්නම්ගේ දියණියන් දෙදෙනා එක්ක වව්නියාව නගරයේ චිත‍්‍රපට ශාලාවල සැරිසරන්න ගත්තා. LTTE සංවිධානය සිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙහෙයුමකට යෙදෙවුවොත් ඔහුගේ ක‍්‍රියාකාරකම් පරීක්ෂා කරන්න වෙනම කිහිපදෙනකු යොදවනවා. ඒ පොට්ටුඅම්මාන්ගේ ”ටොසී” ඔත්තුසේවාවේ ඔත්තුකරුවන්. ඔත්තුකරුවන් සෙල්වාගේ වෙනස්වීම පොට්ටුඅම්මාන්ට වාර්තා කළා. පොලිස් අධිකාරි කාර්යාලයේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට LTTE සංවිධානය සෙල්වාව කිහිප අවස්ථාවකදී සූදානම් කරත් ඒ වනවිට සෙල්වා මිනිස් බෝම්බයක් වී කෑලී කෑලී වලට කැඞී යෑමේ අදහසින් ඉවත්වයි හිටියේ. ඒ වෙනුවට ජීවාගේ ආදරයට මැදිව මහත් උභතෝකෝටියක තත්ත්වයට මැදිව සිටියා. මේ වනවිට සෙල්වාගේ මරාගෙන මැරෙන ජැකට්ටුව සහ පොලිස් ඇඳුම් සියල්ල පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට පිහිටි තේක්ක කැලෑවෙ LTTE සංවිධානයේ හිතවතකුගේ නිවස තුළ සඟවා තිබුණා. අවසානයේ පොට්ටුඅම්මාන් තීරණය කළා සෙල්වා නැවත කැඳවන්න. කෙසේ හෝ සෙල්වා නැවත ජීවාගෙන් වෙන්ව යන රාත‍්‍රීය ඉතා වේදනාත්මක රාත‍්‍රියක් වුණා. සෙල්වා බලාපොරොත්තු වුණේ ඕමන්තේ මුරපොළ හරහා ගිහිල්ල කෙසේ හෝ වෙනත් කෙටි පාරකින් පැමිණ ජිවා ද සමග කොහේ හෝ ගොස් ජීවත් වීමටයි. එහෙත් සෙල්වා ඕමන්තේ මුර පොළේදී හඳුනාගෙන අත්අඩංගුවට පත් වුණා. සෙල්වාව ප‍්‍රශ්න කරන්න අවස්ථාව හම්බවුණේ මට. ඔහු එහිදි කිසි දෙයක් කිව්වේ නැහැ. හැබැයි සෙල්වාව බලන්න රත්නම් සිය දියණියන් දෙදෙනා පැමිණෙන සෑම අවස්ථාවකදීම සෙල්වා ජීවා සමග ඇසින් කතා කළ ඉඟි තේරුම් ගැනීමට යම්තම් යොවුන් විය පසු කරපු මට තේරුම් ගැනීමට අමාරු වුණේ නැහැ. අවසානයේ සෙල්වා සහ ජීවා සම්මුඛ කර ප‍්‍රශ්න කිරීමේදී සියල්ල හෙළි වුණා. පස්සේ සෙල්වා අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයට යන දවසේ සෙල්වා පැය 01 ක කාලයක් ඇඬුවා. ඒ වනවිට ඔහු අපේ කාර්යාලයේ බොහෝ දෙනා සමග ඉතාමත් කුළුපග වෙලා හිටියා. ඔහුගේ වෙන්වීම ඔහුට මෙන්ම අපටත් දරාගත නොහැකි වුණා. මේ වන විට සෙල්වා හෝ ජීවා කොහේ ඉන්නවද දන්නේ නැහැ. හැබැයි මගේ ප‍්‍රාර්ථනාව සෙල්වා ජීවා සමග කොහේ හෝ තැනක පුංචි කුරුලූ කැදැල්ලක් තනලා ජීවත් වනු දැකීමයි.

මිනිස් බෝම්බයක් වූ සෙල්වාගේ මෙහෙයුමේ සැලසුම වී තිබුණේ මන්නාරමේ සේවය කරන ද්‍රවිඩ පොලිස් නිලධාරියෙක් ලෙස උසස් පොලිස් නිලධාරීන්ගේ රැස්වීම් පැවැත්වෙන අවස්ථාවේ පොලිස් අධිකාරි සංකීර්ණයට ඇතුළු වී සාකච්ඡා පැවැත්වෙන ස්ථානයට ගොස් සිය බෝම්බ කට්ටලය පුපුරා ගැනීමයි. මෙහිදී ඔහු අපූරු හැඳුනුම්පතක් සූදානම් කරගෙන තිබුණා. ඒ හැඳුනුම්පතේ එක පසක ජාතික හැඳුනුම්පත ලෙසත් අනෙක් පස කහ පාට පසුබිමේ කළුපාට අකුරින් ”මගේ ඇෙඟ් බෝම්බ හයිකරලා තිබෙනවා. මට යන්න දීපන්, නැත්තම් මෙතනම පුපුරවා ගන්නවා.” ලෙසත් සඳහන්ව තිබුණා. සෙල්වාගේ ඉලක්කය වී තිබුණේ කෙසේ හෝ බෝම්බය පුපුරවා හැරීමටය. සෙල්වා ජීවා සමග ඇතිකර ගත් පේ‍්‍රම සබඳතාවය මා ඇතුළු පොලිස් නිලධාරීන් රාශියකගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බව සිතීමේ මහත් ආශ්චර්යක් බව හැෙඟ්.

(මෙහි එන සියලූ නම් ගම් මන:කල්පිතයි…)

(මෙම සත්‍ය කතාව ඇසුරෙන් ”මොහාන් නියාස්” විසින් ”කළු සුදු මල්” චිත‍්‍රපටය නිර්මාණය කරන ලදි. එහෙත් එය අප සිතූ තරම් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයට ලක් නොවූ බව කනගාටුවෙන් සඳහන් කරමි.)

Read Full Post »

හිටපු පොලිස් අධිකාරි ලාසිරාන් අසන් කියන කතාව

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ලෙස එදා සැලකුනේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. 

මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සංස්කෘතිය ලෝක ත්‍රස්තවාදී සංවිධානවලට පවා හඳුන්වා දෙනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය බව අමුතුවෙන් කිව යුතු ද නොවේ. 

එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ වකවානුවේ නැගෙනහිර පළාතේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් මැඩපවත්වා නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේ පොලිස් විශේෂ කාර්ය බළකායයි. එහෙමත් නැත්නම් කවුරුත් දන්නා භාෂාවෙන් කියනවා නම් එස්.ටී.එෆ්. එකයි. 

ගස්වල කොළ පොතු ගඩා ගෙඩි කමින් සතුන් දඩයම් කර ඒ මස් පුලුස්සා කමින් මඩ වතුර පොදකින් සා පිපාසාව යාන්තම් නිවා ගනිමින් මහ කැලෑවල දින ගණන් රැක සිට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කර ඔවුන් බුරුතු පිටින් මරා දැමීමටත්, නැගෙනහිර පළාතේ මහ කොටි කඳවුරු විනාශ කර දැමීමටත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා භටයන් දිවි පරදුවට තබා කළ යුග මෙහෙවර ජාතියේ ප්‍රණාමය නිතැතින්ම හිමි වනවා නොඅනුමානය. එල්.ටී.ටී.ඊ. සමග නිර්භීතව සටන් වැදීමට ගොස් දිවි දුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ හා භටයන්ගේ සංඛ්‍යාව 672කි. තවත් 1374 දෙනක් ආබාධිත තත්ත්වයට පත්වූහ. සැලකිය යුතු රණවිරු පිරිසක් තුවාල ලැබ ආබාධිත වූහ. එසේ වූයේ රටට වඩාත් හොඳ හෙට දවසක් උදාකරදීමට ගොස්ය.

යුද්ධය නිමා කිරීමට නායකත්වය දුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරින්වත්, හිටපු උසස් පොලිස් නිලධාරින්වත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔවුන්ට කරන උපහාරයක් වශයෙනි.

ත්‍රස්තවාදය තුරන් කිරීමේ සටනට තම ඇස්, ඉස්, මස් හා ලේ දන්දෙමින් සක්‍රීයව දායකවීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෝ හා භටයෝ එතැන් පටන් තවත් ජාතික මෙහෙවරක අඛණ්ඩව නිරතව සිටිති.

ඒ පාතාල කල්ලි පසුපස හඹා යමින් ඔවුන් මර්දනය කිරීමට හා මත්ද්‍රව්‍ය ඇල්ලීමේ මහා ජාතික මෙහෙවරක් ඉටු කරමිනි.
පසුගිය කාලය පුරාවට වරින් වර මත්ද්‍රව්‍ය තොග, පාතාලයේ අවි ආයුධ තොග පිටින් අල්ලා ගත්තේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා පාතාල නායකයන් හා ඔවුන්ගේ ගෝලබාලයන්ද සමගය.

වර්තමානයේ මේ කාර්යභාරයේ නියමුවා වී සිටින්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ද භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාය.

පාතාලයන් අල්ලා ඔවුන්ගේ අවි ආයුධ ගබඩා හා මත්ද්‍රව්‍ය ගබඩා කර ඇති රහසිගත ස්ථාන ​ෙසායා කරන මෙම මෙහෙයුම්වලට එම බළකායේ සියලුම තරාතිරම්වල නිලධාරීන් හා භටයන්ගෙන් ලැබෙනුයේ කියා නිම කළ නොහැකි මෙහෙයකි.

මෙම කාර්යයට නායකත්වය ලබාදී පොලිස් විශේෂ කාර්ය බළකායෙන් ඉවත්ව ගොස් සාමාන්‍ය පොලිස් සේවයට එක්වූ සෑම තරාතිරමක නිලධාරීන්ද මෙහිදී සිහිපත් කළ යුත්තේ ඔවුන්ගෙන්ද සිදුවූ මෙහෙවර වෙනුවෙනි.

පොලිස් විශේෂ කාර්ය බළකාය නමින් බළකායක් මීට වසර 36කට පෙර ආරම්භ නොකරන්නට ජාතිය වෙනුවෙන් මෙතරම් සුවිශේෂී මෙහෙයක් කරන්නට කිසිසේත් ඉඩ ප්‍රස්ථා ලැබෙන්නේ නම් නැත.

පොලිස් විශේෂ කාර්ය බළකාය මෙරට ස්ථාපිත කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් එයට නායකත්වය ලබාදී ඇත්තේ රවින්ද්‍ර විමල් ජයවර්ධන මහතාය. කා අතරත් ඔහු ප්‍රසිද්ධව සිටියේ “රවි ජයවර්ධන” කියන නමින්ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එකම පුත්‍රයා වූ රවි ජයවර්ධන මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘවරයාය. විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුත් රවි ජයවර්ධන ඒ වන විට සිටියේ සිය පියාගේ ප්‍රධාන ආරක්ෂක උපදේශකවරයා වශයෙනි. රවි ජයවර්ධන මහතා දක්ෂ ගුවන් නියමුවකු මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතාන්වරයකු ලෙස ද කටයුතු කර ඇත්තේය.

 

1983 සහ 1989 වසරවල පැවැති දරුණු භීෂණ ක්‍රියාවන්ට හා වර්ධනය වෙමින් තිබූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාවලට වඩාත් හොඳින් මුහුණදීමේ අරමුණින් පොලිසියේම අතුරු හමුදාවක් ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය පිහිටුවා ඇත්තේ 1984 වසරේදීය. ඒ විශේෂ පරීක්ෂණයකින් පසු තෝරා ගත් උපපොලිස් පරීක්ෂකවරුන් 60 දෙනකුගෙනි. එම පළමු කණ්ඩායමේ වර්තමානයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ලෙස විශිෂ්ට සේවයක් කරන එම්.ආර්. ලතීෆ් මහතා ද සිටියේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පළමුවැනි අණදෙන නිලධාරියා එවකට සහකාර පොලිස් අධිකාරි නිලයේ සිට පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස්වීම් ලැබූ බෝධි ලියනගේ මහතාය.

ඊට පසු පිළිවෙළින් නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරි වීරකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෂර්නි විජේසූරිය, නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේන, නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරි වීරකෝන් (දෙවැනි වරට යළිත් පත්විය) නියෝජ්‍ය පොලිස්පති නිමල් ගුණතිලක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ, නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත් බන්දුල, නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්. රණවක, නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා යන මහත්වරුන් විශේෂ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීන් ලෙස පත්වී විශිෂ්ට සේවයක් රට ජාතිය වෙනුවෙන් සිදුකර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ 11 වැනි වත්මන් අණදෙන නිලධාරිවරයාය.

පොලිස් විශේෂ කාර්ය බළකායට පළමුවෙන් එක්වූ උපපොලිස් පරීක්ෂකවරුන් 60 ගේ කණ්ඩායමේ සිටි ලාසිරාන් අසන් මහතා පොලිස් අධිකාරිවරයෙක් ලෙස පසුකාලීනව උසස්වීම් ලබා මේ වන විට විශ්‍රාම ගොස් සිටී.

උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස 1982 වසරේ පොලිස් සේවයට බැඳී ඇති ලාසිරාන් අසන් මහතාගෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරම්භය හා ඒ හා බැඳුණු තොරතුරු දැනගැනීමට ඔහු හමුවූයේ නාරාහේන්පිටදීය.

විශ්‍රාමික පොලිස් අධිකාරි ලාසිරාන් අසන් මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරම්භය හා එහි විකාශනය ගැන කරුණු කාරණා එකිනෙක ගෙනහැර දක්වමින් කතා බහ ආරම්භ කළේ මෙසේය.

ජේ.ආර්. ජයවර්ධන මහතා පළමු විධායක ජනාධිපතිවරයා ලෙස රට පාලනය කරන කාලයේ තමා එස්.ටී.එෆ්. එක මුලින්ම ආරම්භ කළේ. ජනාධිපතිවරයාගේ පුත් රවි ජයවර්ධන මහතාගේ අදහසකට අනුව ඒ මහතාගේ මගපෙන්වීම යටතේ 1984 වසරේ පෙබරවාරි මාසයේ 06 වැනිදා. ඒ වෙනකොට රවි ජයවර්ධන මහතා ජේ.ආර්. ජනාධිපතිතුමාගේ ප්‍රධාන ආරක්ෂක උපදේශකවරයා ලෙස තමා කටයුතු කරමින් සිටියේ. පොලිස් විශේෂ කාර්ය බළකාය ආරම්භ කරන්න කලින් තෝරා ගත් තරුණ පොලිස් නිලධාරින් කණ්ඩායම් කිහිපයක් යුද හමුදා පුහුණුව ලබාදී ප්ලැටුන් නමින් යාපනයේ සේවයේ යොදවා තිබුණා. විදේශීය යුද විශේෂඥයන්ගේ පුහුණුවීම් යටතේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට විශේෂ පුහුණුවීම් ලබාදී විශේෂ කාර්ය බළකායක් පිහිටුවීමට අවශ්‍යතාවය පෙන්වාදී එය එයාකාරයෙන්ම ක්‍රියාවට යෙදෙව්වේ රවි ජයවර්ධන මහත්තයා.

ඒ වෙනකොට මම පොලිසියට බැඳිලා අවුරුදු දෙකක් විතර වෙනවා. මට අද වගේ මතකයි විශේෂ පොලිස් පණිවිඩයක් ලංකාවේ තියන සෑම පොලිස් ස්ථානයකටම එවා තිබුණා. ඒ විශේෂ පොලිස් පණිවිඩයෙන් සඳහන්ව තිබුණේ අවුරුදු 25ට අඩු අවිවාහක හොඳ තරුණ ජවයක් තියෙන උපපොලිස් නිලයේ සිටින සියලු නිලධාරීන්ට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවට එන්න කියන නියෝගයයි.

මේ රැස්වීම් ශාලාව මඟුල් මඩුව කියා තමා හඳුන්වන්නේ. ඒ විශේෂ පොලිස් පණිවිඩය අනුව මමත් එහි ගියා. අවිවාහක තරුණ උපපොලිස් පරීක්ෂකවරුන් 100කට වැඩි පිරිසක් ප්‍රධාන රැස්වීම් ශාලාවට පැමිණ සිටියා. මේ කිසිම කෙනෙක් තමන්ව මෙතැනට කැඳෙව්වේ මොකද කියලා දැනගෙන හිටියේ නැහැ.

බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් ප්‍රහාරක සේවාවේ සේවය කර බොහෝ අත්දැකීම් ඇති විශ්‍රාම ලබා සිටි හා හිටපු කමාන්ඩෝ බළකායේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් පෞද්ගලික ආරක්ෂක සෙබළුන් ඒ රටේ පිහිටුවාගෙන තිබුණ මේ ආරක්ෂක සමාගම කේ.එච්.එස්. ලෙස හඳුන්වනු ලැබුවා. මේ ආරක්ෂක සමාගමේ ඉන්න කමාන්ඩෝ භටයන් වෙනත් රටවල යුද්ධ තිබෙන රටවල කුලී හේවායන් ලෙස සේවය කරනවා. ඒ නිසා ඔවුන්ට යුද උපක්‍රම ගැන විශේෂඥ දැනුමක් තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ කේ.එම්.එස්. ආරක්ෂක සමාගමේ සිටින විශේෂඥ දැනුම ඇති නිලධාරීන් පස් දෙනකුත් එහි පැමිණ සිටියා. රවි ජයවර්ධන මහතා​ෙග් තිබුණ ජාත්‍යන්තර සම්බන්ධතා මත ඔහුගේ ඉල්ලීමකට අනුව තමා මේ බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන් කණ්ඩායම පැමිණ තිබුණේ. ඒ බව පසුකාලයක අපට දැනගන්නට ලැබුණා.

විශ්‍රාමික පොලිස් අධිකාරි අසන් මහතා ඊට පස්සේ වෙච්ච කෙරිච්ච දේවල් ගැන ද මතකය අවදි කරමින් තොරතුරු හෙළිකරන්නට පටන් ගත්තේය.

බ්‍රිතාන්‍ය ජාතික යුද විශේෂඥයන්ගේ හා අපේ රටේ උසස් පොලිස් නිලධාරීන්ගෙන්ද සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේ එහි පැමිණ සිටි උපපොලිස් පරීක්ෂකවරුන් සියලු දෙනාම පරීක්ෂණවලට වෙන වෙනම ලක් කළා. හොඳ ජවසම්පන්න නිරෝගී තරුණ උපපොලිස් පරීක්ෂකයින් 60 දෙනෙක් පරීක්ෂණ මණ්ඩලය විසින් අවසානයේ තෝරා ගත්තා. බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන් අපේ අතපයවල මස් ගොබ පවා මිරිකමින් පරීක්ෂා කර බැලූ ආකාරය මට අද වගේ මතකයි. අපේ අත්පාවල ශක්තිය හොඳට තියෙනවාද කියා පරීක්ෂා කර බලන්න තමා එහෙම කළේ.

විධිමත් පරීක්ෂණයකින් තෝරා ගත්ත උපපොලිස් පරීක්ෂකවරුන් 60 දෙනා ඒ හා බී වශයෙන් කණ්ඩායම් දෙකකට බෙදා ඒ කණ්ඩායම් දෙකට වෙන වෙනම නායකයන් දෙදෙනෙක් එම කණ්ඩායම් දෙකෙන් තෝරා ගත්තා. ඒ කියන කණ්ඩායමේ නායකයා වුණේ උපපොලිස් පරීක්ෂක එච්.ආර්. ලතීෆ් මහත්තයි. මාව ඇතුළු වුණේ බී කණ්ඩායමට. එහි නායකයා උපපොලිස් පරීක්ෂක තිස්ස රත්නායක මහත්තයා. ඔහු සහකාර පොලිස් අධිකාරි නිලයට පත්වීම් ලබා සිටියදී අරගන්විල ප්‍රදේශයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වී පසුකාලයක මියගියා.

පුහුණුවට තෝරා ගත්තාට පස්සේ මුලින්ම කළේ හැමදාම අලුයම් කාලයේ කළුතර කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට දොඩංගොඩ හා පයාගල ප්‍රදේශ දක්වා දුවවන එකයි. ඒ විදිහට දුවලා ශාරීරික අභ්‍යාස කරලා අපිව ඉදිරි පුහුණුවීම් සඳහා ඉහළ යෝග්‍ය මට්ටමකට ගෙනාවා.

ඊට පස්සේ අපිට අවි ආයුධ පරිහරණය, වනාන්තරවල සති ගණන් ගත කරමින් ගරිල්ලා සටන්, සැඟවී පහරදීම්, හෙලිකොප්ටර්වලින් යමින් ගුවනේ සිට බිමට පැනලා ත්‍රස්තවාදීන්ට ක්ෂණිකව ප්‍රහාර එල්ල කිරීම, වාහන හා යතුරුපැදිවලින් අධික වේගයෙන් ගමන් කර ඉලක්කයට වෙඩි තැබීමට මනා ලෙස පුරුදු පුහුණු කළා. මේ පුහුණුවීම් ඉතාම කටුක හා ඉතාම බැරෑරුම් පුහුණුවීම් බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

සති ගණන් කැලෑවල ගස්වල කොල පොතු ගෙඩි වර්ග ආහාරයට ගනිමින් කැලෑවේ තිබෙන වතුරවලින් පිපාසය නිවා ගනිමින් පුහුණුවීම් තමා ලබාගත්තේ. කැලෑවේ ඉන්න සත්තු දඩයම් කරලා ඒ මස් පුලුස්සාගෙන කෑවා. අපි කුසගින්න නිවාගත්තේ එහෙමයි. සටන් ක්‍රම ගැන පුහුණුවීම් මගින් ඕනෑම බැරෑරුම් තත්ත්වයකට ඕනෑම අභියෝගයකට මුහුණදීමට අවශ්‍ය ශාරීරික හා මානසික ශක්තිය ලබාගෙන මෙසේ මාස 4 1/2ක පමණ කාලයක් අංගසම්පූර්ණ පුහුණුවීම් සම්පූර්ණ කළා.

මේ පුහුණුවීම් කාලයේ සියලුම පහසුකම් ලබාදීමට රවි ජයවර්ධන මහතා සෑම විටම වගබලා ගෙන ඇත.

පුහුණුවීම් ලබා දෙන ආකාරය ගැන ද සොයා බැලීමට නිරන්තරයෙන් ද රවි ජයවර්ධන මහතා පොලිස් අභ්‍යාස විද්‍යාලයට පැමිණ තිබේ.

මූලික පුහුණුවීම්වලින් පසු මෙම උපපොලිස් පරීක්ෂකවරුන් 60 දෙනා කැඳවාගෙන ගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයටය.

 

විශ්‍රාමික පොලිස් අධිකාරි ලාසිරාන් අසන් මහතා ඒ ගැන කිව්වේ මේවගේ කතාවකි.  අපි දිග කතාවකට සවන් දෙමු.

මූලික පුහුණුවීම්වලින් පස්සේ අම්පාරට රැගෙන ගොස් ඒ ප්‍රදේශයේ තිබෙන පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථාන ගත කළා. අපි අම්පාරේ ඉඳලා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශවලට කුඩා කණ්ඩායම් වශයෙන් රැගෙන ගොස් සැඟවී සිටට ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරිම් සිදු කළා.

එක දිගට දින ගණන් කැලෑවල සැඟවී සිටිමින් අසීරු රහසිගත මෙහෙයුම් සිදු කර කොටි ත්‍රස්තවාදීන් මරා දමා ඔවුන් සතු අවි ආයුධ තොග පිටින් අපි අරගෙන ආපු අවස්ථා ඕනෑ තරම් තිබුණා.

අම්පාරේ ටික කාලයක් ඉඳලා අපිව ත්‍රිකුණාමලයට රැගෙන ගියා. එහිදී අප නවාතැන් ගත්තේ ත්‍රිකුණාමලය බෞද්ධ මධ්‍යස්ථානයේ. එහි සිටද කුඩා කණ්ඩායම් වශයෙන් එල්.ටී.ටී.ඊ. ක්‍රියා බහුල වශයෙන් සිදුවන මුතූර් ප්‍රදේශයට ගොස් රහසිගත මෙහෙයුම් බොහොම සාර්ථක ආකාරයට කළා. එම මෙහෙයුම්වලදී ත්‍රස්තවාදී නායකයන් ඇතුළු සාමාජිකයන් මරා දැම්මා. අවි ආයුධ පවා අල්ලා ගත්තා. මාස දෙක තුනක කාලයක් මේ විදිහට එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වැඩපැවැත්වීමේ රහසිගත මෙහෙයුම්වල නිරතව සිටියදී අපිව ආයෙත් කළුතර කටුකුරුන්ද කඳවුරට රැගෙන ආවා. එසේ අපිව මාස දෙක තුනක කාලයක් අම්පාර හා ත්‍රිකුණාමලය ප්‍රදේශවලට ගොස් මෙහෙයුම්වලට යවා ඇත්තේ ප්‍රායෝගික පුහුණුවීම් ලබාදීමට බව දැන ගැනීමට ලැබුණා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණු නවක කණ්ඩායම වූ අප සාර්ථක ලෙස ඒ කටයුතු සිදු කර තිබෙන බව කියා රවි ජයවර්ධන මහත්තයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ විශේෂ ඇගයීම්වලට ලක්කළා.

 

Read Full Post »