Feeds:
Posts
Comments

Posts Tagged ‘තරංග රත්නවීර’

බෝට්ටු හතරකින් කොටි වරාය වට කරති – දෙහිවල දෙසින් ත‍්‍රස්තයෝ පෙළගැසෙති;

කොළඹ වරාය මෙරට ප‍්‍රධානතම ආර්ථික මර්මස්ථානයකි. ආනයන, අපනයන භාණ්ඩ වෙළෙඳාම සහ භාණ්ඩ හුවමාරුව සිදු කෙරෙන මෙරට ප‍්‍රධාන නාවික තොටුපළය. එමෙන්ම ඉන්දියන් සාගරයේ සුවිශේෂී ස්ථානයක පිහිටා ඇති කොළඹ වරාය භාණ්ඩ ප‍්‍රති අපනයනය කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල් බහුලව භාවිත කරනු ලැබේ. එහෙයින් කොළඹ වරාය අතිශය කර්යබහුල ස්ථානයකි. විවිධ අවශ්‍යතා සඳහා දිනකට පුද්ගලයන් තිස්පන්දහසකට වැඩි පිරිසක් පැමිණෙන බවත් දෛනිකව වාහන දසදහසකට වැඩි ප‍්‍රමාණයක් පැමිණෙන බවත් වාර්තා වේ.

රටක මෙවැනි ආර්ථික මර්මස්ථානයක් ආරක්‍ෂා කරගැනීම අතිශය වගකීම් සහගත කර්යභාරයකි. විශේෂයෙන්ම පැවති ත‍්‍රස්තවාදී යුද සමයේ එල්.ටී.ටී.ඊ. යේ ප‍්‍රධාන ඉලක්කයන් අතර කොළඹ වරාය ඉදිරියෙන් තිබිණි. සැහැල්ලූ ගුවන් යානාවලින් (කුරුම්බැට්ටි මැෂින්* සහ මුහුදෙන් මරාගෙන මැරෙන බෝට්ටුවලින් පැමිණි කොටි ත‍්‍රස්තවාදීන් කොළඹ වරායට පහරදීමට උත්සාහ කළ අවස්ථා රැුසකි. එහෙත් ඒ සියලූ ත‍්‍රස්ත ප‍්‍රයත්නයන් දුර්දර්ශී යුද සෙන්පතියන් හමුවේ ව්‍යර්ථ විය. පැවති යුද ගිනියමේ කොළඹ වරායේ ආරක්‍ෂාව සුරක්‍ෂිතව පවත්වාගෙන ගිය ආකාරය ගැන එවකට හිටපු බටහිර නාවික ප‍්‍රදේශය භාර ආඥාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් අපට කීවේය.

ඔහු හිටපු නාවික ප‍්‍රදේශයන් භාර ආඥාපතිවරයෙක් මෙන්ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකි. ත‍්‍රස්තවාදී යුද්ධයෙන් රට මුදාගැනීමට දිවි හිමියෙන් කැප වී සේවය කළ රණවිරුවෙකි. යුද ගිනි නිවී ගිය රටේ පන්සල් හාරසීයක් නැවත පිළිසකර කිරීමට මෙන්ම අලූතින් ගොඩනැඟීමට නායකත්වය ලබාදුන් පින්සාර නිලධාරියෙකි. දැන් විශ‍්‍රාම සුවයෙන් සැඳෑ සමය ගත කරන ආනන්ද පීරිස් මහතා අතිශය වගකීම් සහගතව සිදු කළ මේ හෙළිදරව්ව අපගේ වචනයෙන් කියනවාට වඩා ඔහුගේම වචනවලින් ඇසීම ඔබට වඩාත් සංවේදීවනු ඇත. මෙතැන් සිට පෙළගැසෙන්නේ හිටපු බටහිර නාවික ප‍්‍රදේශය භාර ආඥාපති ආනන්ද පිරීස් කියන ඒ කතාවය.

‘‘2006 අවුරුද්දට කලින් මම හිටියේ දකුණේ ප‍්‍රදේශ භාර නාවික ආඥාපති විදිහට. අවසාන සටන පටන් ගන්න ඔන්න, මෙන්න තියලා එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාවික හමුදාපතිවරයාගෙන් මාව කොළඹට ඉල්ලලා තිබුණා. ඒ අවසරයෙන් 2006 අවුරුද්දේ බටහිර ප‍්‍රදේශය භාර නාවික ආඥාපතිවරයා විදිහට මම පත්වෙලා ආවා…’’

‘‘දකුණේ වගේ නෙමෙයි, බටහිර නාවික ප‍්‍රදේශය භාරව කටයුතු කිරීම වගකීම වැඩියි. විශේෂයෙන්ම කොළඹ වරාය. රටේ ප‍්‍රධාන ආර්ථික මර්මස්ථානය. වරායට එන නෞකාවකට පහර දුන්නොත් සේරම ඉවරයි… නැව් එන්නෙ නැතිව මුළු ආර්ථිකයම කඩා වැටෙනවා. යුද්ධය නිකංම නතර වෙනවා. එල්.ටී.ටී.ඊ ය යුද්ධය දිනුවා වගේ වෙනවා. ඔය කාලේ එල්.ටී.ටී.ඊ. සංවිධානයත් පුහුණුකිරීම්, අභ්‍යාස කටයුතු වැඩි කරලා, ඉන්ධන, කෑම වර්ග එකතු කිරීම බහුලව සිදු කරන ගමන් රට පුරා යොදවා තිබුණු ඔත්තුකරුවන් ප‍්‍රමාණයත් වැඩි කරගෙන යන බව බුද්ධි තොරතුරුවලින් අනාවරණය වෙලා තිබුණා. දුර්දර්ශීව වැඩ කරපු ආරක්‍ෂක ලේකම්තුමා කොළඹ නගරය සහ වරායේ ආරක්‍ෂාව වැඩි කරන්න කියලා එවකට හිටපු හමුදාපතිවරුන්ට උපදෙස් දීලා තිබුණා…’’

‘‘ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් පිට කොළඹ නගරය සහ වරායේ ආරක්‍ෂාව සඳහා කළුතර, මතුගම, හොරණ, අවිස්සාවේල්ල, කෑගල්ල, කුරුණෑගල, හලාවත දක්වා සමස්ත ප‍්‍රදේශයම ආවරණය වන පරිදි විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් දියත් කළා. සෑම සතියකම සඳුදා බස්නාහිර පළාතේ ආරක්‍ෂක අංශ භාර අණදෙන නිලධාරිවරු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් සමඟ ආරක්‍ෂක ලේකම්වරයා විශේෂ සාකච්ඡුාවක් පැවැත්වුවා. සමහර රැුස්වීම් උදේ 9.00 ට ආරම්භ කරලා සවස හතර, පහ වෙනකම් පැවැත්වෙච්ච අවස්ථා තිබුණා. ඒ හැරුණුකොට සෑම මාසයකම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුදාපතිවරුන්ගෙන් තොරව පළාත් භාර හමුදා නායකයන් සමඟ ප‍්‍රදේශයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සාකච්ඡුා කළා. පසුව ආරක්‍ෂක කමිටුව රැුස් කරලා එම රැුස්වීමේදී ඉදිරිපත් වෙච්ච ගැටලූ සාකච්ඡුා කරලා විසඳුම් ලබාදුන්නා. ඒ වගේම සමහර අවස්ථාවල ආරක්‍ෂක ලේකම්වරයා කෙළින්ම මට කතා කරලා වරාය ආරක්‍ෂක කටයුතු ගැන සාකච්ඡුා කළා. ආරක්‍ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පිරිස් බලය, අවි ආයුධ ඉල්ලන පමණින් දුන්නා. ඒත් කොළඹ වරායට ආරක්‍ෂාව ලබාදීම අතිශය අසීරු කටයුත්තක් වුණා. මුහුද, ගොඩබිම, ගුවන තුන් තැනම දවසේ පැය විසිහතර පුරාම සෝදිසි කරන්න වුණා…’’

‘වරායට නෞකා ඇතුළු වන දොරටු දෙකයි. වරායට ගොඩබිමින් වාහන ඇතුළුවන දොරටු නවයක් තියෙනවා. අන්තිම දොරටුව තියෙන්නෙ මට්ටක්කුලියේ. කොළඹ කොටුව, පිටකොටුව, කොටහේන, මට්ටක්කුලිය සහ මෝදර ප‍්‍රදේශවලට දිවෙන ප‍්‍රධාන මාර්ග වගේම අතුරු මාර්ග රැසක් තියෙනවා. කොළඹ නගරයට එකතු වන වැසි ජලය පිට කරන්න විවිධ ප‍්‍රමාණයේ උමං මාර්ග දහනවයක් තියෙනවා. සමහරක් උමං මාර්ග කෙනෙකුට හිටගෙන ඇවිදගෙන යන්න පුළුවන් තරම් විශාලයි. ඒ වගේම දිනපතා විශාල නෞකා ප‍්‍රමාණයක් කොළඹ වරායට ඇතුළු වෙනවා. කොළඹ වරාය අවට මුහුදේ විශාල බෝට්ටු ප‍්‍රමාණයක් ධීවර කර්මාන්තයේ යෙදෙනවා. වරාය ආසන්නයේ මෝදර ධීවර වරායට දේශීය මෙන්ම විදේශීය ධීවර යාත‍්‍රා විශාල ප‍්‍රමාණයක් එනවා. කැලණි ගෙඟ් මෝයකට පිහිටලා තියෙන්නෙත් කොළඹ වරාය ආසන්නයේ. මේ හේතු නිසා කොළඹ වරායට ආරක්‍ෂාව සැලසීම සංකීර්ණ කටයුත්තක් වුණා. එතකොට වරායේ ආරක්‍ෂාවට හිටියේ දාහක්් වගේ පිරිසක්. ප‍්‍රථමයෙන් මම පිරිස් බලය වැඩි කළා. දෙවනුව වරායට ප‍්‍රහාර එල්ල කිරීමට ඇති ප‍්‍රධාන ඉලක්ක හඳුනාගෙන ඒවා වසා දැම්මා…’’

‘‘මරාගෙන මැරෙන යාත‍්‍රා, ප‍්‍රහාරක යාත‍්‍රා, වෙළෙඳ නෞකා ලෙස පැමිණ ප‍්‍රහාර එල්ල කිරීම, වරායට එන තෙල්, ගෑස් හෝ වෙනත් අන්තරායකර ද්‍රව්‍ය රැගෙන එන යාත‍්‍රා පැහැරගෙන යෑම, සැහැල්ලූ ගුවන් යානාවලින් පැමිණ බෝම්බ හෙලීම, ගොඩබිම මාර්ග ඔස්සේ පැමිණ ප‍්‍රහාර එල්ල කිරීමට ඇති සියලූ තැන් හඳුනාගෙන ආවරණය කළා. වරාය අවට ආරක්‍ෂිත කලාපය කොටස් හයකට බෙදලා ආරක්‍ෂිත රැකවල් දැඩි කළා. වරායට නෞකා ඇතුළු කරන දොරටු දෙකෙන් උතුරු දොරටුව සම්පූර්ණයෙන්ම වසා දැමුවා.

ඒ විතරක් නෙමෙයි ඒ දොරටුවේ ආරක්‍ෂාවට දවසේ පැය විසිහතර පුරාම නාවිකයාත‍්‍රා කිහිපයක් යෙදෙව්වා. වරාය ආසන්නයේ මුහුද ආරක්‍ෂිත කලාපයක් කරලා ඩෝරා යාත‍්‍රා ඇතුළු ප‍්‍රහාරක යාත‍්‍රා ගණනාවක් යෙදෙව්වා. එම අධි ආරක්‍ෂිත කලාපයේ ධීවර කර්මාන්තයේ යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. එම මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදුණු ධීවර පවුල්වලට සෑම මාසයකම වියළි සලාකයක් ලබා දුන්නා. මෝදර වරායට එන යන සියලූ ධීවර බෝට්ටු පරීක්‍ෂා කළා. පානදුරේ සිට මීගමුව දක්වා මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන සියලූ යාත‍්‍රා නාවික හමුදා මුරපොළකට වාර්තා කරලා පරීක්‍ෂා කළාට පස්සෙ තමයි, කර්මාන්තයේ යෙදෙන්න පුළුවන්. නැවත ගොඩබිමට යනකොටත් නවික හමුදා මුරපොළකට වාර්තා කරලා පරීක්‍ෂා කළාට පස්සේ තමයි පිටත් වෙන්න අවසර දුන්නේ. කැලණි ගෙඟ් වතුර බහින මෝයකට ළඟට මුරපොළක් දැම්මා. පානදුරේ මෝයකට ළඟ මුරපොළක් දැම්මා. බේරේ වැවේ වතුර මුහුදට එකතු වෙන තැනට මුරපොළක් දැම්මා. කොළඹ වැසි ජලය බහින සියලූ උමං මාර්ගවල කටවල් කම්බි දැලකින් ආවරණය කරලා උමඟ පේන විදිහට ලොකු ෆ්ලෑෂර් ලයිට් දාලා ?, දවල් දෙකේම ආරක්‍ෂාවට ඒ ස්ථානවල නිලධාරියෙක් තිබ්බා…’’

‘‘වරාය තුළ අනුඛණ්ඩ හයක් පිිහිටුවා ස්ථිර ලෙස භට පිරිස් ස්ථානගත කළා. යුද හමුදා අනුඛණ්ඩයක් වරාය තුළ ආරම්භ කළා. ගුවන් හමුදා භට පිරිස් වරාය තුළ ආරක්‍ෂක රාජකාරිවලට යොදාගත්තා. වරාය වටා ගුවන් නාශක අවි සීයක් විතර ස්ථානගත කළා. යුද හමුදාවට අයත් බර අවි කිහිපයක්ම වරාය වටා ස්ථානගත කළා. පානදුරේ ඉඳලා මීගමුව දක්වා නාවික අනුඛණ්ඩ අටක් ස්ථාපිත කළා. උස්වැටකෙයියාව ප‍්‍රදේශයේ නාවික කඳවුරක් ආරම්භ කළා. ගුවන් යානා පරීක්‍ෂා කිරීම සඳහා විශේෂිත රේඩාර් සවි කළා. වරායට ගොඩබිමින් ඇතුළු වන දොරටු නවයෙන් තුනක් සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. දිවා,

? වරාය වටා මීටර් සීයෙන්, සීය නාවික භටයන් ස්ථානගත කළා. මුහුදෙන් එන යාත‍්‍රා නිරීක්‍ෂණය කිරීමට පානදුරේ සිට මීගමුව දක්වා ගොඩබිම සහ මුහුදේ නාවික යාත‍්‍රා තුළ අධි තාක්‍ෂණික රේඩාර් යන්ත‍්‍ර විශාල ප‍්‍රමාණයක් සවි කළා. දිය යටින් පැමිණෙන කිමිදුම්කරුවන් නිරීක්‍ෂණයට සෝනාර් යන්ත‍්‍ර මෙන්ම ඔවුන් විනාශ කරන බෝම්බ සහිත නාවික යාත‍්‍රා ස්ථානගත කළා…’’

‘‘වරායට පැමිණෙන සහ පිට වන නෞකා ආරක්‍ෂිතව රැුගෙන යෑමට නියමුවන්ගේ සහායකයන් ලෙස නාවික හමුදා භටයින් යොමු කළා. ඉන්දියාවේ තූත්තුකුඩි වරායේ ඉඳලා කොළඹ වරායට එන පාරම්පරික රුවල් වෙළෙඳ නැව් පැය විසිහතරක් තබාගෙන විශේෂ පරීක්‍ෂාවකට ලක් කළා. වරාය අවට නැංගුරම්ලා සිටින නෞකාවලට ආරක්‍ෂාව වැඩි කළා. වරායට පැමිණෙන ගෑස්, තෙල් ගොඩබෑම සිදු කළේ දිවා කාලයේ විතරයි. ඒ කටයුත්ත සිදු කළෙත් අධි ආරක්‍ෂිත රැුකවල් යටතේ. ධීවරයන් විදිහට වෙස් වලාගත් නාවික භටයින් ධීවර කර්මාන්තයේ යෙදෙන මුවාවෙන් පානදුරේ සිට මීගමුවට යන තෙක් වරාය අවට මුහුදේ සෝදිසි කටයුතු සිදු කළා. සිවිල් පුද්ගලයන් මෙන් වරාය තුළ වගේම අවට ප‍්‍රදේශවල බුද්ධි අංශ නිලධාරීන් යෙදෙව්වා. අවශ්‍ය රාජකාරිවලට අවසර ලත් වාහන විතරයි, වරායට ඇතුළු කළේ. සෙසු සියලූ වාහන හරවලා යැව්වා. අවසර නොගෙන පැමිණි ප‍්‍රභූ වාහනත් හරවලා යැව්වා. එක් අවස්ථාවක අවසරයෙන් තොරව චන්ද්‍රිකා මැතිනිය ඇවිත් අංක එක දොරටුවේ ආරක්‍ෂාවට හිටිය නිලධාරීන් වාහනය ඇතුළු කරලා තිබුණේ නෑ. පස්සෙ ඒ සිද්ධිය ලොකු කතාන්දරයක් වුණා. ඒත් ඒ සිද්ධියට මුහුණ දුන් නාවික භටයව මම බේරගත්තා…’’

‘‘කොටුව, මෝදර දක්වා පාමුර සංචාර අඛණ්ඩව ක‍්‍රියාත්මක කළා. එම ප‍්‍රදේශවල සෝදිසි කටයුතුවලට යතුරුපැදි මුර සංචාරයක් ආරම්භ කළා. ඊට අමතරව ත‍්‍රිරෝදකරුවන් මුවාවෙන් නාවික භටයන් සෝදිසි මෙහෙයුම්වල යෙදෙව්වා. හැමදාම  වරාය අවට කොළඹ නගරයේ සියලූම ලොජ් සෝදිසි කළා. හඳුනාගත් සැකකටයුතු පුද්ගලයන් ප‍්‍රශ්න කරලා ඔවුන්ගේ ගම්වලට පිටත් කර හැරියා…’’

‘‘වරායේ ආරක්‍ෂාව ගැන සොයාබැලීමට පෙර දැනුම්දීමකින් තොරව සතියට දින දෙකක් නාවික හමුදාපතිවරයා වරාය වටා රාත‍්‍රි සංචාරයක නිරත වුණා. මම හැමදාම රාත‍්‍රියට හිටි හැටියේ වරාය තුළ මෙන්ම අවට සංචාරය කළා. ගෙදර ඉඳලා ඒ රාජකාරිය කරන්න බැරි නිසා බටහිර ප‍්‍රදේශය භාර නාවික ආඥාපති විදිහට වැඩ භාරගත්ත දවසේ ඉඳලා මම ගෙදර ගියේ නෑ. අන්තිමේ මගේ බිරිඳයි, දරුවො තුන්දෙනාවයි මගේ නිල කාමරයේම නතර කර ගත්තා. පුංචි කාමරයක ලොකු පුතාලා තුන්දෙනෙක් එක්ක ජීවත් වෙන්න අසීරු වුණා. පස්දෙනෙකුට නිදාගන්නවත් කාමරය ඉඩ මදි. ඒත් වරායේ ආරක්‍ෂාව ගැන හිතලා ඒ කැපකිරීම අපි කළා. හැමදාම උදේ නවයට සියලූ අණදෙන නිලධාරීන් දැනුවත් කිරීමක් කළා. වරාය ආරක්‍ෂක නිලධාරීන්, පොලිසිය සහ වරාය සේවකයින් සමඟ සතියකට දෙවරක් පුහුණු වැඩමුළු පැවැත්වුවා. ආරක්‍ෂක ලේකම්තුමාගේ, නාවික හමුදාපතිවරයාගේ දැනුවත්වීම මත සැකකටයුතු යාත‍්‍රාවක්, ගුවන් යානයක් දුටු සැණින් ප‍්‍රහාරදීමට ආරක්‍ෂක නිලධාරීන්ට උපදෙස් දීලා තිබුණා…’’

‘‘අවට ප‍්‍රදේශවාසීන් දැනුවත් කරලා ඔවුන්ගේ උපරිම සහයෝගය මත හැකි උපරිමයෙන් වරායේ ආරක්‍ෂාව තර කර තියෙද්දීත් එක දවසක් ?ක වරාය පැත්තට කුරුම්බැට්ටි මැෂිමක් එනවා රේඩාර්වලට වැදිලා තිබුණා. මමත් රේඩාර්වලින් දැක්කා. මීගමුව පැත්තෙන් එනකොටම ප‍්‍රහාර දෙන්න කියලා මම නියෝග කළා. මල් වෙඩි වරුෂාවක් වගේ වෙඩි උණ්ට අහසට විදිනකොට වත්තලට මඳක් එපිටින් යානය හැරිලා ගෙනාව බෝම්බ තැන, තැන හලාගෙන ගිහින් තිබුණා. එදා කොටි ඇවිත් තියෙන්නෙ වරායට ගහන්නම තමයි. ඊට පස්සෙ 2007 ජනවාරි 28 වැනිදා මරාගෙන මැරෙන කොටි යාත‍්‍රා හතරකින් වරායට ප‍්‍රහාර දෙන්න ආවා. පාන්දර හතරට විතර දෙහිවල පැත්තෙන් එනකොටම කොල්ලූපිටියේ මුහුද අයිනේ උස කුළුණේ හිටපු නාවික භටයෙක් යාත‍්‍රා හතර දැකලා තියෙනවා. ඒ මොහොතේම නාවික භටයා ප‍්‍රහාර දීලා. ඊට පස්සෙ අනිත් සියලූ මුරපොළවලින් ප‍්‍රහාර එල්ල කරලා. මුහුදේ තිබුණු ඩෝරා යාත‍්‍රාවලිනුත් ගැහුවා. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සිද්ධිය බලාගෙන ඉඳලා මට කතා කරලා ‘ආනන්ද මොකද තත්ත්වය…’ කියලා ඇහුවා…’’

‘බොහෝ දුරට තත්ත්ව පාලනය වෙලා ඉවරයි…‘ කියලා මම කියනකොට ගෝඨාභය සර් කියනවා ආනන්ද පරිස්සමින් ගොඩබිමින් ඇටෑක් එන්න පුළුවන්…’ කියලා. ඒ කියනකොටත් මම අවශ්‍ය සියලූ තැන්වල ආරක්‍ෂාව තර කරලා ඉවරයි. පැය දෙකක් විතර ප‍්‍රහාරදීම සිද්ධ වුණා. අන්තිමේ එක යාත‍්‍රාවක් ගිහින් නැවක හප්පලා පොඩි හානියක් කළා. අනිත් යාත‍්‍රා තුනෙන් දෙකක් අපි ගහනකොට විනාශ වෙලා තිබුණා. එකක් උන්ම විනාශ කරගෙන තිබුණා…’’

‘‘පැය දෙකක් විතර මෙහෙයුම ක‍්‍රියාත්මක වුණා. හතට විතර මම ඇවිත් මහන්සියට ඇලවුණා. ඒ කාලය තුළ ආරක්‍ෂක ලේකම්තුමා කොටි යාත‍්‍රාව මුලින්ම දැකපු නාවික භටය හමුවෙලා පෞද්ගලිකව ස්තූති කරලා තිබුණා. ඒ දිරිගැන්වීම තමයි අපිව ශක්තිමත් කළේ. යුද්ධය දිනන්න ප‍්‍රධාන හේතුවත් ඒකම තමයි…’‘ ආනන්ද පිරීස් දීර්ඝ කතාවකින් පසු අසුන මත හරිබැරි ගැසිණි. ඒ සමඟ යුද ගිනියමේ වරායේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමේ මෙහෙයුමේ කතාවේ ද අවසාන විය.

ආනන්ද පීරිස්ට තවත් අභියෝගයක් පැවරිණි. ඒ නැගෙනහිර ප‍්‍රදේශයන් භාර නාවික ආඥාපතිවරයා ලෙස වැඩ භාරගැනීමය. තවත් දිනක නැගෙනහිර මුහුදේ සිදු කළ වික‍්‍රමයන් ගැන කතා කිරීමේ අදහසින් අපි ඒ සොඳුරු කැදැල්ලෙන් සමුගත්තෙමු.

තරංග රත්නවීර

Read Full Post »

උබලාට ඕන නම් අපේ කුඹුරුවල වැඩ කරපල්ලා නැති නම් පව් නොදී මේ ගම්වලින් තොලොන්චි වෙලා පලයල්ලා…
 
 දහම් පාසලේ ළමයින් 146 ක් ඉගෙනගන්නවා තවමත් ශාලාවක් නෑ…
 
 ගමේ පාසලේ එකම උපාධිධාරියෙක්වත් නෑ…

‘ජනකපුර’ වැලිඔය සිංහල ගම් වැලේ එක් පුරුකකි. වැලිඔය සිංහල ගම්මාන යනු ත‍්‍රස්තවාදී යුද සමයේ උතුරු දකුණු මායිමේ පිහිටි ‘බැරියර්’ එකකි. එම ‘සිහළ’ තාප්පය බිඳගෙන කොටි ත‍්‍රස්තවාදීන්ට ඉදිරියට ඒමට කිසිලෙසකින්වත් ඉඩක් නොතිබිණි. ඒ වැලිඔය සිංහල මිනිසුන් කුසට අහරක් නොමැතිව හෝ ජීවිත පරදුවට තබා රට ජාතිය ආරක්‍ෂා කිරීමට හමුදාවන්ට සහාය වූ නිසාය. එහෙයින් වැලිඔය සිංහල ගම්මාන කොටි ත‍්‍රස්තවාදීන්ට හිසරදයක් වී තිබිණි.

විටින්, විට රෑ ජාමෙට එම ගම්මානවලට කඩා වැදුණු මිනීමරු කොටි ත‍්‍රස්තවාදීන් සිංහල වැසියන් පවුල් පිටින් කැති ගා දැමූ අවස්ථා ද බොහෝය. ම්ලේච්ඡු කොටි ප‍්‍රහාර හමුවේ දෙමවුපියන්ට දරුවන් අහිමි වූවා සේම දරුවන්ට දෙමවුපියන් අහිමි වූ පවුල් එම ගම්මානවල සුලබය. ම්ලේච්ඡු කොටි ත‍්‍රස්තවාදීන්ට බිලි වී මියගිය ස්වාමිපුරුෂයන්ගේ බිරින්දෑවරු අදට ද තම දරු පවුල් ජීවත් කරවීමට එම ගම්බිම්වල නොනිමි ජීවන අරගලයක පැටලී සිටිති. රට වෙනුවෙන් එහෙව් කැපකිරීම් කළ වැලිඔය, ජනකපුර සිංහල වැසියන් මේ වන විට උපන් බිමේ කල්ලතෝනි ගානට වැටී සිටින බව කියන්නට ලැබීම ද ජාතියේ අවාසනාවකි. එහෙත් සුදු පිරුවටවලින් පුල්ලි සඟවා ගත් කොටි රැළ ජනකපුර වැසියන් පීඩාවට පත් කරන අයුරු දැන, දැනත් හෙළිදරව් නොකර සිටීම ඒ මිනිසුන්ට කරන අසාධාරණයකි. එහෙයින් අපි වැලිඔය ජනකපුර ගමට ගොස් ඒ පීඩිත මිනිසුන්ගේ කප්පරක් ගැටලූ ගැන ඔවුන් සමඟ කතාබහ කළෙමු. දැන් අප කියන්න යන්නේ ජනකපුර වැසියන්ට අද අත්ව ඇති ඉරණම ගැනය.

මාඔය නිම්නය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස වැලිඔය ව්‍යපාරය ආරම්භ වී ඇත්තේ 1983 වර්ෂයේදීය. ආරම්භයේදී නිකවැව දකුණ, වම සහ ඇතාවැටුණුවැව ගම්මාන බිහිකරමින් පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ දිඹුලාගල ප‍්‍රදේශයේ ජනතාව පදිංචි කර ඇත. පසුකාලීනව මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාගේ යුද සැලසුමකට අනුව මහවැලි ‘එල්’ කලාපය යටතේ වැලිඔය ව්‍යාපාරය පුළුල් කෙරිණි. එම ව්‍යාපෘතිය යටතේ ජනකපුර, හැළඹවැව, කිරිඉබ්බන්වැව වම, දකුණ, ඇහැටුගස්වැව, මොනරවැව, ගජබාපුර, හංසවිල, සපුමල්තැන්න, කල්‍යාණපුර එක පියවර, කල්‍යාණපුර තුන පියවර, නාමල්පුර ඇතුළුව තවත් ගම්මාන කිහිපයක් ආරම්භ විය. මේ වන විට වැලිඔය එල් කලාපය යටතේ සිංහල ගම්මාන විසි එකක් ආරම්භ වී තිබේ. එම සියලූ ගම්මානවල මෙරට විවිධ ප‍්‍රදේශවල සිංහල මිනිස්සු පදිංචි වී සිටිති.

කුලියාපිටිය, දුම්මලසූරිය ප‍්‍රදේශයෙන් ගොස් ජනකපුර ගමේ පදිංචි වී සිටින පැරැණිතම සාමාජිකයෙක් දැන් අප අසල සිටී. ඔහු නෙල්සන්ය. වයස අවුරුදු හැත්තෑ තුනකි. එහෙත් වයසට වඩා හේ වියපත්ය. දෙපයින් ඇවිදගෙන යෑමටත් අසීරු ගානය. ‘සැප’ කියන වචනයේ අරුතවත් නොතේරන තරමට ජීවිතයේ දුකම පමණක් වැළª නෙල්සන් මාමා මෙලෙසින් හෝ දකින්නට ලැබීම වාසනාවකි. එමෙන්ම ඔහු ජනකපුර පුරාවෘතයකි. එහෙයින් ජනකපුර ඉතිහාස කතාව අප කියනවාට වඩා නෙල්සන් මාමාගේ හඬින්ම ඇසෙන විට සංවේදී හදවත්වලට වඩාත් හොඳින් සන්නිවේදනය වේ. එහෙයින් දැන් අපි ඔහුට සවන්දී සිටිමු.

‘‘අපි තමයි මේ ගමේ මුල් පදිංචිකරුවො. සර්වෝදය හරහා තමයි අපිව මෙහෙට ගෙනාවේ. ජානක පෙරේරා මහත්තයා මූලිකත්වය අරගෙන මේ ගම ආරම්භ කළේ 1987 අවුරුද්දේ. ජානක මහත්තයාව සිහිපත් වෙන්න තමයි මේ ගමට ‘ජනකපුර’ කියලා නම තියලා තියෙන්නේ. ඒ කාලේ මේ ගමේ පවුල් හාරසිය අසූ හතරක් පදිංචි වෙලා හිටියා. ඒ සේරම සිංහල පවුල්. ඒ සන්දියේ නම් අපිට රජයෙන් හොඳට සැලකුවා. ගමේ පස් දෙනෙක් ඉන්න පවුලකට සෑම මාසයකම හාල් කිලෝ හැටයි, සීනි කිලෝ පහයි. රුපියල් දෙසිය විසි පහකුයි දුන්නා…’’.

‘‘ගමේ එක පවුලකට ගොඩ, මඩ ඉඩම් අක්කර තුනහමාරක් බෙදා දුන්නා. අපි ඒ සියලූම ඉඩම් අස්වැද්දුවා. ගම ආරම්භ වෙලා අවුරුද්දක්, දෙකක් යනකොට මේක තනිකරම සරුසාර ගොවිපොළක් බවට පත් වෙලා තිබුණා. අපේ දරුවො ගමේ පාසලට ගියා. හවසට හැම ගෙදරකම මිනිස්සු බුදුන් වඳින්න මේ පන්සලට එකතු වුණා. පිටගම්කාරයන් වුණාට මේ ගමේ මිනිස්සු අතර පුදුමාකාර බැඳීමක් තිබුණා. අපේ ගමට හෙණය පාත් වුණේ 1993 අවුරුද්දේ. එදා රෑ කොටි ගමට පැනලා අපේ උන් කිහිපදෙනෙක්ම මරලා දැම්මා. එදා කොටි වෙඩි තියලා දාලා ගිය අපේ උන්ව ඉස්පිරිතාලයකට ගෙනියන්න වාහනයක් තිබුණේ නෑ. වෙඩි වැදුණු එක දරුවෙක් ලේ ගිහිල්ලම මැරුණා. ඒ සිද්ධිය මතක් වෙනකොටත් දුකයි. ෂෝක් කෙලි පැටියා…’’ නෙල්සන් මාමාගේ හීන් හඬ නැවතිණි. අප දෙසට එල්ල වී තිබුණු ඔහුගේ දෙනෙත් අප වටා රොක්ව සිටි ගමේ කාන්තාවක් අසල නතර විය.

‘අර ඉන්නෙ ඒ නැති වෙච්ච දුවගේ අම්මා…’ නෙල්සන් මාමා නැවත කතා කළේය.

මම ඇය අසලට ගියෙමි. දියණියගේ අකල් වියෝව මතක් කිරීම තවමත් ඇයව හඬවන්නක් බව කඳුළු දිලිසෙන දෙනෙත්වලින් මම දුටිමි. ඒ උණු කඳුළු කැට දෙකොපුල් තෙත් කිරීමට මත්තෙන් මම ඇයට කතා කළෙමි.

අම්මගේ නම…
‘අනුලාවතී…’
වයස…
‘පනස් හතයි…‘
දුවට මොකද වුණේ…

‘‘අනේ මහත්තයො මගේ දුව නැති වුණේ ලේ ගිහිල්ලා වැඩිකමටමයි. තුවාල වෙලා ටික වෙලාවකින් හරි ඉස්පිරිතාලයකට ගෙනිච්චා නම් අදත් මගේ කෙල්ල ජීවතුන් අතර. එදා රෑ ගමට කොටි ඇවිත් කියන කෑගැහිල්ලට මගේ කෙල්ල ගෙයි මුල්ලෙ හැංගුණා. එතකොට අපිට තිබුණේ පුංචි මැටි ගෙයක්. කොටි බිත්තිය කඩලා අත් බෝම්බය ගේ ඇතුළට විසි කරලා තිබුණේ කෙල්ල ළඟටමයි. දුවට හොඳටම තුවාල වුණා. කොටි ගහලා ගියාට පස්සෙ අපි දරුවා උස්සගෙන මේ පන්සලට ආවා. එතකොට මේ පන්සලෙත් මේ විදිහට ගොඩනැඟිලි නෑ. ටකරන් මඩු දෙකක් තිබුණේ. දැන් ‘හමුදා වාහනයක් එයි… එයි…’ කියලා බලාගෙන හිටියා ආවේ නෑ… පාන්දර යාමේ මහා හයියෙන් හූ තුනක් කියලා මගේ දරුවා ඇස් පියා ගත්තා. උදේ ආපු ට‍්‍රක් එකෙත් තුවාල වෙච්ච හමුදාවේ අය පටවගෙන ගියා මිසක් සාමාන්‍ය තුවාලකාරයන් අරගෙන ගියේ නෑ. හවස තමයි මගේ දුව ඉස්පිරිතාලයට අරගෙන ගියේ. දොස්තර මහත්තයා බලලා කිව්වා මේ ළමයා මැරිලා තියෙන්නෙ ලේ ගිහිල්ලා වැඩිකමට කියලා. එදා විතරක් මගේ දරුවා එක්ක ගමේ තව අට දෙනෙක් කොටි මරලා දලා තිබුණා. ඊට පස්සෙත් කිහිප සැරයක්ම කොටි අපේ මිනිස්සුන්ව කපලා කොටලා මරලා දැම්මා. අත පය කපා දාල ගිය මිනිස්සු අදටත් අපේ ගමේ ජීවත් වෙනවා. යුද්දෙ ඉවර වෙලත් අපේ මිනිස්සු බිම් බෝම්බවලට කොටුවෙලා අබ්බගාතයන් වෙලා ඉන්නවා…’’

‘‘කොටි කලබල කාලේ නම් අපි පුදුම විදිහට දුක් වින්දා මහත්තයො. හේනකට, කුඹුරකට යන්න බයයි. අපේ ගොවිතැන් සේරම පාළු වුණා. රජයෙන් දුන්න හාල් ටික විතරයි. අපි කෙහෙල් අලත් තම්බලා කාලා තියෙනවා. හවස හයෙන් පස්සේ ගෙදරක කුප්පියක් පත්තු කරන්න බෑ. ගමට කොටි ගහන්න පටන් ගත්තට පස්සේ ගමේ සේරම මිනිස්සු තැන් දෙකකට එකතු වෙලා තමයි රෑ පහන් කළේ. ඒත් අපිට නින්ද ගියේ නෑ. ඊට පස්සේ ගමේ සෑම ගෙදරකටම බංකරයක් හදලා දුන්නා. ඒක කළේ හමුදාවෙන්. ඊට පස්සේ කොටි ආටි ගහනකොට ගෙවල්වල සේරම අර බංකරය ඇතුළට ගුලි වුණා. මොන බංකර් හැදුවත් රෑට අපේ ගෙවල්වල කුප්පි ලාම්ප්පුවක්වත් පත්තු වුණේ නෑ. ?කට අපේ දරුවකුට පොතක්, පතක් පාඩම් කරන්න බැරි වුණා. දරුවන්ට ඉස්කෝලෙන් උගන්වන දෙයක් විතරයි. ඉස්කෝලෙත් හැමදාම තිබුණේ නෑ. ඒ නිසා අපේ ගමේ ළමයි අධ්‍යාපනය පැත්තෙන් මොට වුණා. අදටවත් අපේ ගමෙන් උපාධිධාරියෙක් බිහි වෙලා නෑ…’’ අනුලාවතී දිගු සුසුමක් පිට කළාය. ඒ කතා කර මහන්සියට නොව, මරණයේ සෙවණැලිත් සමඟ ජීවත් වූ අඳුරු මූසල යුගය ආවර්ජනය කිරීමේදී සිත තුළ හට ගත් කම්පනය පිට කිරීමටය.

‘‘ඒ කාලේ අපිට තිබුණේ මරණ බය. දැන් තියෙන්නේ අපේ ගම අපිට නැති වෙයි කියන බය…’’ අනුලාවතී හද සැහැල්ලූ කර ගන්න ඇසිල්ලට ගලා යන කතාවට ගමේ තවත් කෙනෙක් එකතු විය. ඔහු සරත්ය. සිංහ ගොවි සංවිධානයේ සභාපතිය. කුඹුරේ වැඩ කරමින් සිටින අතරේ ඔහු පන්සලට දිවආවේ ගැටලූ මල්ලක් ද හදවතේ තුරුලූ කරගෙනය. දැන් ඔහු එම ගැටලූ එකිනෙක අප ඉදිරියේ පෙළගස්වන්නේය.

‘‘එල්.ටී.ටී.ඊ.කාරයො කෙළින්ම ඇවිත් අපිට පහර දුන්නා. දැන් ගහන්නෙ අපේ අයිතිවාසිකම්වලට. ඒක කොටි ගහනවාට වඩා භයානකයි. අවුරුදු තිහකට වඩා වැඩි කාලයක් ජීවත් වෙච්ච අපේ ඉඩම්වලට දැන් දෙමළ මිනිස්සු අයිතිය කියාගෙන එනවා. ඔප්පු තිරප්පු තියෙනවා කියනවා. මහවැලි අධිකාරියේ නිලධාරීන් ඇතුළු සියලූ නිලධාරීන් ඒ මිනිස්සුන්ගේ පැත්තට කතා කරනවා. අපේ පැත්තට කතා කරන්න ඉන්නේ ගමේ පන්සලේ හාමුදුරුවො විතරයි. දැන් අපි අන්ත අසරණයි මහත්තයො…

’’

‘‘මුල්ලියාවේලී කියන ගමේ දෙමළ මිනිස්සු තමයි අපේ ඉඩම්වලට අයිතිය කියාගෙන එන්නේ. ඒ සමහර මිනිස්සු ඒකාලේ ඉඳලා අපේ ගම්වලට පහළ රජයේ ඉඩම්වල වගා කටයුතු කරගෙන ගියා. ඒත් ඒ මිනිස්සු ඒ ඉඩම්වල පදිංචි වෙලා හිටියේ නෑ. වගා කරන්න විතරයි ආවේ. ඒ් වගේම ඒ මිනිස්සුන්ට පොල්වතු, කුඹුරු, හේන් ඉඩම් අක්කර පහ, දහය උපන් ගමෙත් තියෙනවා. ඊට අමතරව කෝකිලායි, කොක්කුතුඩුවායි, කරනාටිකුලම් වගේ ගම්වලත් ඉඩම් අල්ලගෙන ඉන්නවා. ඔය එක පුද්ගලයකුට සේරම ඉඩම් අක්කර විසිපහක්, තිහක් තියෙනවා. සමහර මිනිස්සුන්ගේ ඉඩම් අයිතිය සාක්‍ෂි ඇතිව ඔප්පු කරලා පෙන්වන්න අපිට පුළුවන්. ඒත් අපිට අනුන්ගේ ඉඩම්වල අයිතිය වැඩක් නෑ. කොටි කටේ ඉඳගෙන අපි මේ ගම් ආරක්‍ෂා කර ගත්තා. අස්වැද්දුවා. එතකොට දැන් අයිතිය කියාගෙන එන එකෙක්වත් හිටියේ නෑ. දැන් තමයි ඔය හැමෝම අයිතිය කියාගෙන එන්නෙ. දැනටත් සමහර දෙමළ මිනිස්සු ඇවිත් බලහත්කාරයෙන් අපේ ගමේ ඉඩම්වල වගා කරගෙන යනවා. ඒ මදිවට අපේ ගම්වල මිනිස්සුන්ට පාට් එකත් දානවා. සමහර දෙමළ දේශපාලනඥයොත් ගමට ඇවිත් මිනිස්සුන්ට පාට් එක දාලා ගිහින්. ‘බොලාගේ කාලය ඉවරයි. දැන් තියෙන්නෙ අපේ කාලය. බොලාට ඕනෑ නම් අපේ කුඹුරුවල වැඩට එන්න පුළුවන්. නැති නම් පව් නොදී මේ ගම්වලින් තොලොන්චි වෙලා පලයව්…’ කියලා තියෙනවා…’’

‘අපිට මේ විදිහට කරදර කරනවා කියලා පොලිසියට, හමුදාවට කිව්වත් දැන් වැඩක් නෑ. කිසිම නිලධාරියෙක් ඔවුන්ට එරෙහිව ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. සමහර සිංහල නිලධාරීන් කියනවා ‘ඉතිං ඕයි ඇයි තමුසෙලා මේකෙ ඉන්නෙ… ඔය කොහේට හරි යනව කෝ…’ කියලා. යුද්දේ කාලේ ඔය කියන කටවල්වලින්ම අපිට කතා කළේ ජනකපුර සිංහයො කියලා. දැන් කතා කරන්නේ බල්ලන් ගානට දාලා. මහවැලියෙනුත් දැන් අපිට කියනවා ‘අක්කර තුනහමාරක් දෙන්න බෑ. ඕන නම් අක්කරයක් දෙන්නම් පුළුවන් විදිහට වගා

කරගන්න…’ කියලා. ඒත් අපිට මේ ගම්වල පදිංචියට එනකොට ගොඩින්, මඩින් අක්කර තුනහමාරක් දෙනවා කියලා දීපු පොරොන්දු පත‍්‍ර අපි ළඟ තියෙනවා. ඒ වගේම මේ ගම්වල සියලූම පවුල් ජීවත් වෙන්නෙ ගොවිතැන් කරලා. අපිට වැඩ කරන්න කර්මාන්තශාලා නෑ. ඔෆිස්වල ජොබ් කරන්න මේ ගම්වල මිනිස්සු ඉගෙනගෙනත් නෑ. කොටි ත‍්‍රස්තවාදීන් අපිට අකුරක් ඉගෙනගන්න ඉඩක් දුන්නෙ නෑ. ඒ නිසා අපි ජීවත් වෙලා ඉන්නකම් හේන්, කුඹුරු කරන්න වෙනවා. නැති නම් අපිට මේ ගම අතහැරලා කුලියට යන්න වෙනවා. දැනටත් මේ ප‍්‍රශ්න නිසා යුද්දේ කාලේවත් ගම දාලා නොගිය මිනිස්සු ගමෙන් ගිහින්. පවුල් හාරසිය අසූ ගාණක් ජීවත් වෙච්ච ජනකපුර ගමේ දැන් ජීවත් වෙන්නේ පවුල් තුන්සිය ගාණයි…’’

‘‘ඇත්තටම දැන් මේ ගම්වල ජීවත් වෙන්න අමාරුයි. කුඹුරු ටික හරක් පැනලා විනාශ කරනවා. අලි ඇවිත් හේන් කාබාසිනියා කරනවා. රෑකට දොට්ට බහින්න බයයි අලි ගේ මිදුලේ. එහෙන් පුල්ලි නැති කොටි අපිට දෙන සහනාධාර කපා දාලා. අවට සේරම දෙමළ ගම්මානවලට වගා කරන්න වතුර දෙනවා. අපේ ගම්මානවල මිනිස්සුන්ට වගා කර ගන්න වතුර ටිකක්වත් දෙන්නෙ නෑ. මේ අවට දෙමළ ගම්මානවලට රජයෙනුත් ආධාර දෙනවා. රාජ්‍ය නොවන සංවිධානවලිනුත් ආධාර බෙදනවා. අපිට දුක සිංහල ගිහි පැවිදි උදවියත් අපේ ගම උඩින් ගිහින් දෙමළ ගම්මානවලට ආධාර බෙදලා දෙන එක ගැන. ඒක ආධාර බෙදන අයගෙවත්, ආධෘර ගන්න අයගෙවත් වරදක් නෙමෙයි, අපේ කරුමය. දරුවෙක්ගේ ඈස් පාදගන්න හරියට පාසලක් නෑ. තියෙන පාසල්වලත් ගුරුවරු හිඟයි. උපාධිධාරී ගුරුවරු ඇත්තේම නෑ. ගොඩක්ම පාසල්වල උගන්වන්නේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ගුරුවරු. ඒ අයට ඉගැන්වීම සම්බන්ධයෙන් හරියට දැනුමක් නෑ. එහෙම උගන්වන ගුරුවරු යටතේ ගමෙන් උපාධිධාරියෙක් බිහිකිරීම සිහිනයක් විතරයි. මේ ගම්මානවල හැදෙන පරම්පරාවත් අපි වගේම කැලෑවට නාකි වෙලා මැරිලා යනවා. ඕක තමයි ඇත්ත…’’

දවස තිස්සේ කුඹුරේ වේළුනු සරත් ගිනියම් වී සිටින්නේ අව්රශ්මීයට නොවේ. හිරුගේ වියරුව ඔවුන්ට හොඳට හුරුය. දැන් ඔහු ගිනියමින් පුපුරා යන්නේ වෙස් මුහුණු පළඳාගෙන එන ඉඩම් කොල්ලකරුවන් විසින් ජීවත් වන භූමිය මංකොල්ල කා ගැනීමට දරන ප‍්‍රයත්නය සම්බන්ධයෙනි. ගිනිපුපුරු මෙන් පිට වූ සරත්ගේ වාග් ප‍්‍රහාරය ජනකපුර තිලකාරාමයේ විහාරාධිපති මිහින්තලේ සුජීව හිමි විසින් පාලනය කළහ.

‘‘දැන් මම මේ පන්සලට වැඩම කරලා අවුරුදු හතරක් විතර වෙනවා. අපිට තියෙන ප‍්‍රධාන අඩුපාඩුව දහම් පාසලට අවශ්‍ය උපකරණ නැතිකමයි. මට ඕනෑ මේ ගමේ දරුවන්ට නිවැරැදි දහම් අධ්‍යාපනයක් ලබාදීමයි. එහෙම වුණොත් මේ ගම්වල තියෙන දුරාචාරකම් හරි ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒත් ඒකට හරි හැටි ශාලාවක් නෑ. ළමයි එකසිය හතළිස් පහක් ඉගෙනගන්නෙ පුංචි ඉඩක. ඩෙස් බංකු නෑ. දහම් පොත්පත් ටික තියාගන්න කබඞ් එකක් නෑ. බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් පාස් කරන ප‍්‍රතිපාදන අපිට එන්නෙත් නෑ. පුස්තකාල ගොඩනැඟිල්ලක් හදන්න හැදුවා. ඒක හදන්න මහවැලියෙන් අවසර දෙන්නෙ නෑ. වැහි කාලේට ළමයින්ට ඉගෙනගන්න තැනක් නැති නිසා නිවාඩු දෙනවා. මේ අපිට තියෙන එක ප‍්‍රශ්නයක් විතරයි. තව ප‍්‍රශ්න කප්පරක් තියෙනවා. ඒවා කතා කරන්න ගියොත් ඉවරයක් නෑ. මේ ගම්වල මිනිස්සු ලබා උපන් හැටි. ඒත් මේ මිනිස්සු රට බේරාගැනීමේ සටනේදී විශාල දායකත්වයක් ලබා දුන්න පිරිසක්. ඒක අපි අමතක කරන්න නරකයි…’’

අපට ඉතා ඉක්මනට හැමදේම අමතක වෙන්නේය. වැදූ මවුපියන් තබා තමුන්ගේ නම් ගම් වාසගමත් අමතක කර දමන්නට අපේ උදවිය සමත්ය. ඒ අපේ බොහෝ මිනිසුන්ගේ හැටිය. එහෙව් රටක මිනිසුන්ට කාලකණ්ණි යුද්ධයක් තිබූ බව අමතක වන්නේ නම් පුදුමයක් නොවේ. ජීවිත පරදුවට තබා යුද වැදුණු හමුදා විරුවන් මෙන්ම කොටි කටේ ජීවත් වූ ජනකපුර ඇතුළු මායිම් ගම්මානවල සිංහල මිනිසුන් ගැන අල්පමාත‍්‍රයක හෝ මතකයක් තිබුණොත්ය පුදුමය. ජනකපුර මිනිසුන් අද ගෝත‍්‍රික අන්තවාදීන්ගේ අතකොළු බවට පත්ව සිටින්නේ අපේ මිනිසුන්ගේ අමතකවීමේ මන්දබුද්ධික රෝගය නිසාය. මේ වන විට අපේ රට මෙතරම් ගැටලූ මල්ලක සිර වී සිටින්නේ ද අපේ මිනිසුන්ගේ අමතකවීමේ මන්දබුද්ධිකකම නිසාය.

බලය වෙනුවෙන් පොරකන ගෝත‍්‍රිකවාදී දේශපාලනඥයන් ජනකපුර සිංහලයන්ගේ අවනඩු ගැන ඇහැක් ඇර බලන්නේ නැති බව සැබෑය. ජනකපුර මිනිසුන්ගේ දුක්ගැනවිලි අසා සිත් තැවුලට පත් වී ලේ කුපිත වූයේ නම් එම ගම් බිම්වල දෙපයින් සිට ගැනීමට ඔවුන්ට අත දෙන්නට ඔබට හැකි යැයි කියමින් අපි කතාව නතර කරන්නෙමු.

Read Full Post »

vil1අපි අපූරු ගමනක්‌ ගියෙමු. ගමනට නිමිත්ත වී තිබුණේ මේ දිනවල රට උණුසුම් කර ඇති විල්පත්තු උතුරු අභයභූමියේ ඉදිකරගෙන යන පැල්පත් නිවාස ගැන සොයා බැලීමය. ගමන සංවිධානය කර තිබුණේ රිෂාඩ් බදුර්දීන් ඇමැතිතුමා ඇතුළු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයයි.

පසුගිය 22 වැනිදා උදේ 8.00 ට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් ගමන ආරම්භ විය. දහවල් වන විට පුත්තලම එළුවන්කුලමට ළඟා විය. එතැනින් එහාට ගමන් කිරීමට කලා ඔය තරණය කළ යුතුව තිබිණි. එහෙත් කලාඔය මැදින් දමා ඇති සපත්තු පාළම මතින් වතුර ගලා යන තරමටම ජල කඳ උරණ වී තිබිණි. නොසිතු ලෙස වැඩි වූ ජල කඳ පැයක්‌ පමණ ගත වන විට බැස යන බව නඩයේ ගුරා වූ බදුර්දීන් ඇමැතිතුමා මාධ්‍යවේදීන්a අමතා කීවේය.

පුත්තලම එළුවන්කුලම හරහා විල්පත්තු ජාතික වන උද්‍යානය මැදින් මන්නාරමට දිවෙන මෙම මාර්ගය ඉදිකර ඇත්තේ යුද සමයේ හමුදා සේනාංකවලට පහසුවෙන් සහ ආරක්‍ෂිතව උතුරට ගමන් කිරීමටය. එසේ නොමැතිව ජාතික වන උද්‍යානයක්‌ මැදින් මහ මාර්ග තැනීම වන සංරක්‍ෂණ ආඥපනතට අනුව අවසර නැත. කෙසේ හෝ යුද සමයේ කැපුණු මග දැන් ස්‌ථාවර වී ඇති සේය. මිනිස්‌ වාසයෙන් හිස්‌ යෑයි සිතෙන තරමට මග හුදෙකලා වුවද, මාර්ගය පුළුල් කරමින් තැනින් තැන කාපට්‌ අතුරමින් ද තිබෙන්නේය.

පැය භාගයක්‌ පමණ යන විට පාළම මතින් ගලන වතුර ප්‍රමාණය අඩු විය. එසැනින් ක්‍රියාත්මක වූ ඇමැති ආරක්‍ෂක රථය පෙරමුණ ගෙන ගලා යන වතුර මතින්ම කලාඔය තරණය කළේය. සෙසු වාහන පෙළද ඇමැති ආරක්‍ෂක රථය අනුගමනය කළහ. එහා ඉවුරේ විල්පත්තු ජාතික වන උද්‍යානයට ඇතුළු වන එක්‌ දොරටුවකි. එම ස්‌ථානයේ දැන්වීම් පුවරුවක සටහන් කර ඇත්තේ අවසර පත්‍රයක්‌ නොමැතිව වන උද්‍යානයට ඇතුළුවීම තහනම් බවය. එහෙත් සියයකට වඩා වැඩි වූ අපගේ කණ්‌ඩායමට එම නීතිය වලංගු නොවීය. ජීවිතයේ පළමු වතාවට අවසර පත්‍රයක්‌ නොමැතිව වන උද්‍යානයට ඇතුළුවීමේ භාග්‍යයද අපට එම ගමනේදී උදා විය.

මෙතැන් සිට අප ගමන් කරන්නේ විල්පත්තු ජාතික වන උද්‍යානය මැදිනි. වියළුණු පොළව කලඹාගෙන වාහන පෙළ පිම්මේ ඉදිරියට ඇදෙන්නාහ. දූවිලි තැවරුණු වඳුළු අතරින් දුඹුරු පැහැයෙන් සිත්තම් වන බොරළු පාර හීයක්‌ මෙන් විහිදී යනු දකිමු. හිරු ගිනියම්ව අවට දවාලුවද සිතිජය වැස්‌සකට අරඇඳමින් තිබේ. වන උද්‍යානයක්‌ මැදින් ගමන් කළ ද කුරුල්ලෙක්‌වත් ඇස නොගැටුනේය. කලාඔයෙන් එගොඩ වී පැය එකහමාරකට පමණ පසු මෝදරආරු ප්‍රදේශයෙන් විල්පත්තු ජාතික වන උද්‍යාන සීමාව පසු කර විල්පත්තු උතුරු අභයභූමියට සේන්දු විය. මරික්‌කාර්තිව් ලෙස හඳුන්වන මෙම ප්‍රදේශය අයිති වන්නේ මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ මුසිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට.

නැවතත් කාපට්‌ පාරකි. ටික දුරක්‌ යන විට කැලෑව සුද්ද පවිත්‍ර කර මට්‌ටම් කර පොළව මත තැන තැන කූඩාරම් ඉදිකර තිබිණි. වාහන පෙළ නතර කෙරිණි. බැලූ බැල්මට අහිකුණ්‌ටික පැල්පත් වැනිය. එහෙත් අහිකු=ණ්‌ටික කූඩාරමක නම් මිනිසුන් ජීවත් වන බව හැඟෙන රෙදි පොට්‌ටනියක්‌, නයි බහාලන වේවැල් කූඩයක්‌ තරම්වත් තිබේ. කූඩාරම ඉදිරිපිට හෝ පසු පස දර ලිපක්‌ තිබේ. රිළවෙක්‌ බල්ලෙක්‌ සමග සෙල්ලම් කරන ළමයෙක්‌ දෙන්නෙක්‌ සිටිති. එහෙත් මේ කූඩාරම් තුළ මිනිසුන් ජීවත් වන බවට කිසිදු සලකුණක්‌ නැත. කූඩාරම ඉදිරිපස ත්‍රිරෝද රථයක්‌, යතුරුපැදියක්‌ නවතා තිබේ. අඹුසැමියන් යෑයි කියන පිරිමියෙක්‌ සහ ගැහැණියක්‌ සිටිති. පසුබිමෙන් පෙනෙන්නට තිබෙන්නේ එවැනි හැඩ තලයකි. එහෙත් කතාව යන්නේ මේ කූඩාරම් තුළ ජීවත් වන්නේ ඒ බිමට පරම්පරාවෙන් උරුමකම කියන මිනිසුන් බවය. එහෙත් වනජීවී නිලධාරීන් කියන්නේ ඒ භූමිය විල්පත්තු උතුරු අභයභූමියට අයිති බවය. සිද්ධිය උණුසුම් වන්නේ එසේය.

ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලනඥයා වන රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා ඇතුළු මුසිල ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එම්. එහියාම් සහ මන්ත්‍රීවරු දෙදෙනකු ද, ප්‍රදේශයේ ඉඩම් නිලධාරිවරයා සහ ප්‍රධාන මිනින්දෝරු නිලධාරිවරයාද මෙම ස්‌ථානයට පැමිණ සිටියහ. දැන් දැන් මාධ්‍යවේදීන් නගන විවිධ ප්‍රශ්නවලට ඔවුහු උත්තර බඳින්නාහ. අපි තව තවත් අවට විපරම් කළෙමු. පොල්අතු කූඩාරම්වලට පසුපසින් සිමෙන්ති ගඩොලෙන් ඉඳිවුණු ගොඩනැඟිල්ලකි. එම ගොඩනැඟිලිල්ල ඉදිරිපස ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ, ග්‍රාමීය සංවර්ධන කාර්යාලය ලෙස දැන්වීම් පුවරුවකි. ඒ අසළම පැල්පතක්‌ ඉදිරිපිට සිටි කෙනකු සමග අපි ඔවුන්ගේ ජීවන තතු විමසුවෙමු. ඔහු නාජාඩ්ය. පැල්පත්වාසියෙකි.

නාජාඩ්ලා මෙහෙට ඇවිත් කොච්චර කාලයක්‌ වෙනවද?

අවුරුදු තුනක්‌ වෙනවා.

ඔයලා ජීවත් වෙන්නේ මේ මඩුවේද…

නෑ.

දැන් ඔබ කිව්වේ මෙහෙට ඇවිත් අවුරුදු තුනක්‌ වෙනවා කියලා…

ඔව්… එහා පැත්තෙ ගම තියෙනවා. ගෙවල් තියෙනවා. දැන් ඒ ගෙවල් වහලා දලා මෙතැනට ආවා..

එහා පැත්තේ කියන්නේ…

මරිච්චිකටුවේ.

නාජාඩ් කසාද බැඳලද…

ඔව්… මේ ඉන්නේ බිරිඳ.

ඔහු අසළම සිටි කාන්තාව දෙසට නාජාඩ්ගේ දෙනෙත් ඉගිළිණි. ඇය තුරුළේ සිටින පුංචි දරුවා ද අප දෙස බලා සිටින්නේය.

නාජාඩ්ට ළමයි කීදෙනෙක්‌ ඉන්නවද?

දුවල තුනයි. පුතලා දෙකයි.

දරුවෝ මොකද කරන්නේ…

ඉස්‌කෝලේ යනවා.

ඉස්‌කෝලේ යන්නේ කොහේද…

පුත්තලමේ…

පුත්තලමේ කොහේද ළමයි ඉන්නේ…

ගෙදර.

පුත්තලමේත් ගෙයක්‌ තියෙනවද?

ඔව්… යුද්ධ කාලේ කුට්‌ටිගලින් අපිට ඉඩම් දුන්නා.

ඔයාලට තැන් දෙකක ගෙවල් තියෙනවා නේද. ඇයි තවත් ඉඩම් අල්ලගෙන ඉන්නේ…

මෙතන අපේ පරම්පරාවේ ඉඩම්. අනිත් එක අපේ පවුල දැන් ලොකුයි. දරුවන්ට ඉන්න තැනක්‌ ඕනෑ.

ඔයාලගේ පැරැණි නිවස තිබුණේ කොතනද?

‘අතන’ ඔහු කැලෑව දෙසට අත දිගු කළේය.

නිවසක්‌ තිබුණු බවට සලකුණක්‌වත් නැහැනේ…

අපේ ගෙවල් එල්.ටී.ටී.ඊ. විනාශ කරලා.

ගම්මානයක්‌ තිබුණු බවට දැනට මොනවද තියෙන සාක්‍ෂි…

පල්ලිය තියෙනවා. සොහොන තියෙනවා. ළිඳ තියෙනවා. වැව තියෙනවා… කුඹුරු තියෙනවා..

කොහේද ඒවා තියෙන්නේ…

ඔය තියෙන්නේ කුඹුරු.

නාජාඩ් නැවතත් කැලෑවට අත දිගු කරන්නේය.

මොනවත් පේන්නේ නැහැනේ…

කැලෑ වැවිලා. අර කැලේ පැත්තට වෙන්න කුඹුරුවල නියරත් තියෙනවා.

එහෙම නම් අපි යමුද බලන්න…

ගොඩක්‌ දුර යන්න ඕනා. සත්තුත් ඉන්නවා.

පල්ලිය තිබුණු තැනට බලන්න යමුද?

දැන් කැලේ වැවිලා කිසිම දෙයක්‌ පේන්නේ නැහැ…

අපේ පැනයන්ට නාජාඩ් එසේ පිළිතුරු දෙන විට තවත් පැල්පත්වාසියකු වන එම්. එම්. මර්සූක්‌ තවත් මාධ්‍ය සගයකු සමග මෙසේ කතා කරමින් සිටියේය.

යුද්ධය ඉවර වුණාට පස්‌සේ රජය කිව්ව නැවත ගම් පළාත්වලට ගිහින් පදිංචි වෙන්න කියලා. එතකොට අපේ ඇමැතිතුමා කිව්වා අපිට මේ ඉඩම්වල පදිංචි වෙන්න කියලා. එතුමා කිව්ව විදිහට අපි මේ ඉඩම් එළිකරගෙන පදිංචි වුණා.

මේ අභයභූමියට අයිති ඉඩමක්‌ කියලා කවුරුවත් ඔබලට කිව්වේ නැද්ද?

මේක අපේ අම්මා, තාත්තා හිටපු ඉඩම්. ඒවට එන්න අපිට කාගෙන්වත් අවසරයක්‌ ඕන නැහැ.

මෙහෙන් යනකොට ඔබ හිටියේ නැද්ද?

අපි පොඩි ළමයි.

දැන් ඔයාගේ වසය කීයද?

49 යි.

ඔබ කිව්වේ මේ ගම්බිම්වලින් ගියේ 1990 අවුරුද්දේ කියලා. දැන් ඔබගේ වයස එක්‌ක බලනකොට ඔබට අවුරුදු 25 යි. ඇයි ඔබ පොඩි දරුවෙක්‌ ගානට වැටුණේ. කව්ද ඔයලා නොදරුවෝ කරන්න හදන්නේ…

කොටි ත්‍රස්‌තවාදයෙන් උතුරු-නැගෙනහිර විනාශ වූ තවත් ගම්බිම් ඇත්තේය. යුද්ධය නිසා නටබුqන් වූ ගොඩනැඟිලි, නිවාස එම ගම්බිම්වල අදටත් දකින්නට ලැබේ. එහෙත් පුදුමයකි. මේ මරික්‌කාර්තිව් ගම්මානයේ ගොඩනැඟිලිවල අත්තිවාරමත් ගලවා දැමීමට තරම් එල්.ටී.ටී.ඊ. සැහැසි වී තිබේ. මේ කතාව අහන විට අපේ හදවත් හිරී වැටී යන්නේය. දෙනෙත් උණු කඳුළින් පුරවාලන්නේය. ගම්මුන්ගේ කතා අසා කම්පනයට පත් වූ අපි ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නායකයා වන මුසිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග මොහොතක්‌ කතා කළෙමු.

සභාපතිතුමා මේ ගම එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරීමට පෙර පවුල් කීයක්‌ ජීවත් වුණාද?

vilපවුල් එකසිය පනහක්‌ විතර ජීවත් වුණා.

දැන් පවුල් කීයක්‌ විතර ඉන්නවද?

පවුල්වල සාමාජිකයෝ වැඩි වෙලා දැන් පවුල් එක්‌දහස්‌ පන්සීයක්‌ විතර ඉන්නවා.

මේ ඉඩම අභයභූමිය අයිති ඉඩමක්‌ කියනවා නේද?

ඔය අභයභූමිය කියන කතාව මට හරියට පැහැදිළි නැහැ. මේ මිනිස්‌සු පදිංචි වෙලා හිටියේ මේ ඉඩම්වල. මම දන්නේ එච්චරයි.

ප්‍රාදේශීය සභාවේ සභාපති හැටියට අභයභූමියක්‌ කියන්නේ මොකක්‌ද කියලා ඔබතුමා දන්නේ නැද්ද?

මම ඕවා දන්නේ නැහැ. දැන් තමයි වනජීවී එක ඔය අභයභූමි කතාව කියන්නේ. 2010 අවුරුද්දේ මේ ප්‍රජාශාලාව හැදුවේ කවුරුවත් කතා කළේ නැහැ.

ප්‍රදේශයේ නායකයා ලෙස සිටින ප්‍රාදේශීය සභාපතිවරයා තම ප්‍රදේශයේ ඇති ජාතික වන උද්‍යානය ගැනවත් දන්නේ නැත. එවැනි ප්‍රාදේශීය නායකයකු සමග තවත් කතා කර පලක්‌ නැත. එහෙයින් අපි අපට මතු වුණු ගැටලු ප්‍රදේශය නියෝජනය කරන ඇමැතිවරයා වන කර්මාන්ත හා ඉංජිනේරු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා වෙත යොමු කළෙමු.

මේ මිනිස්‌සු පදිංචි වෙලා ඉන්නේ විල්පත්තුව උතුරු අභයභූමියේ නෙමෙයිද?

1938 අවුරුද්දේ අභයභූමියක්‌ කියලා ප්‍රදේශයක්‌ ගැසට්‌ කරලා තියෙනවා කියලා වනජීවී නිලධාරීන් කියනවා. මේ ජනතාව කියනවා ඔවුන්ගේ සුසාන භූමිය මෙතන තියෙනවා. කුඹුර තියෙනවා. පරම්පරාවම ජීවත් වුණේ මෙතැන කියලා. මේ පිළිබඳව දැන් උසාවියේ නඩුවක්‌ යනවා. උසාවිය දෙන තීන්දුව අපි පිළිගන්නවා.

ගෙවල් සීයකට වඩා හදන්න නම් මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගන්න ඕනා. ‘ජාසිම්සිටි’ නිවාස යෝජනා ක්‍රමයේ ගෙවල් සීයකට වැඩියි. එහෙම අවසර අරගෙන තියෙනවාද?

මේ අලුත් ප්‍රදේශයක්‌ නෙමෙයි. පැරැණි ගම්මානයක්‌. ඒ නිසා මේකට අලුතින් අවසර ගන්න ඕනා නෑ.

දැන් මේ මාධ්‍ය සාකච්ඡාවට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකුට සහ ප්‍රදේශයේ දිසාපතිතුමාට ආරාධනා කළේ නැද්ද?

නැහැ. අපි මේක හදිසියේ කරපු දෙයක්‌.

ඔවුන්ගේ කතාව දැන් අපට ඕනෑවටත් වඩා පැහැදිළිය. ඇමැතිතුමා නටන්නට ගිය නාඩගම පසුතලයේදීම අනාගත්තේය. එහෙත් මේ ගැටලුව නිසා මරිච්චිකට්‌ටුව, මරික්‌කාර්තිව් පමණක්‌ නොව මුළුරටම නොසන්සුන්ය. බෙහෙවින්ම නොසන්සුන්ය.

නිරුවතින් නටන මේ නාඩගම අපව කම්පා කරන්නේය. මේ රට විචිත්‍ර වූයේ බහුජාතික සංස්‌කෘතීන්හි සොදුරු රූ රටා අතරය. ඒ වෛර්ණ සංස්‌කෘතික ගැඹුරු රුධිර ගංගාවක ගිල්වාලන්නට කැස කවන මේ ගෝත්‍රික රංගනය අවසන් වනු ඇත්තේ ජාතියේ සොහොන් බිම මතිනි.

Read Full Post »

ස.රි.ග.ම.ප.ධ.නි.ස. ස්‌වර සප්තකය ඔහු දැන නොසිටියේය. ස්‌වර සප්තකය කෙසේ වෙතත් සිංහල හෝඩිය ඉගැනීමටවත් ඔහුට අවසරයක්‌ නොතිබිණි. සිංහල භාෂාවක්‌ තිබෙනවාද කියාවත් ඔහු කුඩා කාලයේ දැන සිටියේ නැත. ඔහුගේ ළමා විය මෝරා වැඩෙත්ම ඔහු දුටුවේ ප්‍රභාකරන් සිංහලුන්ට එරෙහිව අවුලවන ප්‍රචණ්‌ඩත්වයේ ගිනි දැල්ය. දෙසවනේ පිළිරැව් දුන්නේ “සිංහලුන් මරා පියව්, කොටා පියව්” යන ප්‍රචණ්‌ඩකාරී වචනය. එවැනි වෛරී පරිසරයක හැදී වැඩුණු ඔහු සිංහලයන්ට වෛර කළේය. සිංහල භාෂාවට වෛර කළේය. සිංහල හඬක්‌ ඇසීමටවත් ඔහු අකැමති විය. එමෙන්ම ප්‍රභාකරන්ගේ සිහින ඊළාම් දේශයේ වැරැදීමකින්වත් සිංහල හඬක්‌ නොනැගුනි. එසේ සිංහල හඬක්‌ නොඇසූ ඔහු අද සිංහල වචන ගැට ගසන්නේය. මිහිරි හඬින් සිංහල ගීත ගයන්නේය.

“හන්තානට පායන හඳ ලස්‌සනයිද කියන්න

මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න…”

අපි දැහැන්ගතව සවන් දී සිටිමු. සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ සංගීත පුහුණු ශාලාවේ වේදිකාවේ “සාමයේ මිතුරෝ” ගයති, වයති.

“අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න

කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න….”

තාලයකට හැඬ වෙන සරල රිද්මයත් සමග මුසුව ගලා යන ඒ ලයාන්විත හඬ මොහොතකට අපගේ හදවත් දයාබරත්වයෙන් තෙත් කළේය. මේතරම් සුන්දර ලෙස ගයන්නට, වයන්නට සංවේදී සිත් ඇත්තන් මිනීමරු කොටි සංවිධානය තුළ සිටියේද? මම එසේ සිතමින් සිටියෙමි. ගීතයේ හඬ හීනි වී ගියේය. වාද්‍ය වෘන්දය ද නිහඬ විය. වියළී ගිය හදවත් මිහිරි ගීතයකින් සුවපත් කළ ඔහු දැන් අප ඉදිරියේ අසුනකට බරදී සිටියි. හේ වල්ලිපුරම් මනෝරාසාය.

ඔහුගේ ළමා විය මෙන්ම, යෞවනයද සම්පූර්ණයෙන්ම දිය කර හැර ඇත්තේ ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය සැබෑ කිරීමටය. එල්.ටී.ටී.ඊ.ය මරණ මංචකයේ සිටියදීද, ඔහු ඊළම දිනාගැනීමට හමුදාව සමග සටන් වැදුනේය. එහෙත් පූරුවේ පිනකට ඔහු තවමත් ජීවතුන් අතරය. සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ පුනරුත්ථාපනය වන ඔහු දැන් “සාමයේ මිතුරෝ” සංගීත කණ්‌ඩායමේ නිත්‍ය ගායකයෙකි.

“මම එල්.ටී.ටී.ඊ. ෆයිටින් යුනිට්‌ එකේ හිටියේ… අපට කරන්න තිබුණෙ සටන් කරන එක විතරයි. අවුරුදු විසි පහක්‌ම මම එල්.ටී.ටී.ඊ. වෙනුවෙන් සටන් කළා. යුද්දෙ අන්තිම කාලෙත් අපි ගිනි අවිය බිම තිබ්බෙ නැහැ. මරණය පෙනි පෙනිත් අපි සටන් කළා. කවදාවත් මම මගේ ජීවිතය ගැන හිතුවේ නැහැ. ඒත් අන්තිම මොහොතේ මට දරුවෝ දෙන්නව මතක්‌ වුණා. මම ගිනි අවිය බිමට දාලා දරුවෝ දෙන්නවත් තුරුළු කරගෙන බිරිඳත් එක්‌ක මුල්ලිවයික්‌කාල්වලදී හමුදාවට භාර වුණා”

මනෝරාසා පදිංචිව සිටියේ යාපනේය. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකි. මනෝරාසා තම පවුලේ බඩපිස්‌සාය. මනෝරාසාට වැඩිමහල් සහෝදරයකු සහ සහෝදරියක්‌ සිටියහ. මනෝරාසාගේ පියාට මැලේරියා උණ වැළඳීමෙන් ඔවුන් කුඩා කාලයේදීම තම පියා ඔවුන් අතහැර ගියේය. එදා සිට තම දරුවන් තිදෙනාව උස්‌ මහත් කිරීමට මෙන්ම අකුරු සාස්‌තර ඉගැන්වීමට මනෝරාසාගේ මව නොවිඳිනා දුක්‌වින්දාය. මනෝරාසාගේ වැඩිමහල් සහෝදරයා සාමාන්‍ය පෙළ කඩඉම පසු කිරීමත් සමග අධ්‍යාපන ගමනට තිත තබා ඇත්තේ තම මව දුක්‌විඳිනවා තවත් බලා සිටීමට නොහැකි යෑයි පවසමිනි. ඔහු යාපනෙන් පිට වී කොළඹට පැමිණියේ කුමක්‌ හෝ රැකියාවක්‌ සොයා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එමෙන්ම තම අක්‌කා ද සාමාන්‍ය පෙළ කඩඉම දක්‍ෂ ලෙස සමත් වුවද ඇයද අධ්‍යාපන ගමන නතර කර තම පවුලේ ජීවන ගමනට හවුල් වීමට තීරණය කළාය. ඇයද යාපනෙන් පිට වී වෙනත් පළාතක රැකියාවකට ගියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ද වසන් වී සිටීමටත් එක්‌කය. මනෝරාසාගේ සහෝදරයන් ගමෙන් පිටවී සිටීම නිසා ඔවුන් දෙදෙනාම එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් බේරිණි. එහෙත් මනෝරාසාට එල්.ටී.ටී.ඊ.යෙන් බේරී සිටීමට නොහැකි විය.

“මම ඉස්‌කෝලේ ගියේ හත වසරට විතරයි. දවසක්‌ අපි ඉස්‌කෝලෙ ඇරිලා මමයි මගේ යාළුවකුයි ගෙදර යනකොට ලොරියකින් ආපු පිරිසක්‌ අපිව උස්‌සලා ලොරියට දාගත්තා. අපි කෑගහලා ඇඬුවා. ඒත් ඒ අය ගණන් ගත්තේ නැහැ. එදා අපි දෙන්නත් එක්‌ක තවත් ළමයි එකොළස්‌ දෙනෙකුව අරගෙන ගිහින් කඳවුරට දාලා එල්.ටී.ටී.ඊ. නායකයෙක්‌ ඇවිත් පැය ගානක දේශනයක්‌ දුන්නා. එහෙම දේශනයක්‌ දීලා කිව්වා කැමති අයට එල්.ටී.ටී.ඊ. සංවිධානයට එකතු වෙන්න පුළුවන් කියලා. සමහර අය කැමති වුණා. ඒත් මමයි මගේ යාළුවයි කැමති වුණේ නැහැ. අකමැති වුණා කියලා අපිව ගෙවල්වලට යෑව්වෙත් නැහැ. ටික දවසක්‌ තියාගෙන ගෙවල්වලට ගිහින් දාන්නම් කිව්වා. එහෙම තියාගෙන අපිට යුද චිත්‍රපට පෙන්නුවා, නිතරම එල්.ටී.ටී.ඊ. නායකයෝ ඇවිත් අපිත් එක්‌ක කතා කරලා “එල්.ටී.ටී.ඊ. ය යුද්දෙ කරන්නේ දෙමළ ජාතිය වෙනුවෙන්. ඔයාලටත් ජාතිය වෙනුවෙන් යමක්‌ කරන්න පුළුවන්. කැමති නම් අපිත් එක්‌ක එකතු වෙන්නයි” කිව්වා. අපි පස්‌සෙ කැමති වුණා. ඊට පස්‌සෙ වෙනත් එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරකට දාලා අපිට අවුරුදු එකහමාරක පුහුණුවක්‌ දුන්නා”

“පුහුණුවෙන් පස්‌සෙ අපිව මුලින්ම අරගෙන ගියේ අලිමංකඩ හමුදා කඳවුරට පහර දෙන්නයි. එතැනදී මගේ අත තුවාල වුණා. ඒ මෙහෙයුමේදී මම හොඳට සටන් කළා. මට හොඳ මොරාල් එකක්‌ තිබුණා. එදා මම ආධුනිකයෙක්‌ විදිහට හොඳට සටන් කළා කියලා මාව එල්.ටී.ටී.ඊ. යේ ෆයිටින් යුනිට්‌ එකට දැම්මා”

එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයට බඳවාගන්න සම්පූර්ණ කළ යුතුව තිබුණු සුදුසුකම් මොනවද?

“පුහුණුවීම්වලදී සටන් කරන්න දක්‍ෂතා පෙන්වන්න ඕනා. ඕනෑම ගිනි අවියක්‌ හසුරුවන්න පුළුවන් වෙන්න ඕනා. පුහුණුවෙන් පස්‌සෙ යොමු කරන මෙහෙයුම්වලදී හොඳට සටන් කරන්න ඕනා. මූලිකම දේ තමයි ඕනෑම දෙයක්‌ විඳ දරාගැනීමට ශක්‌තියක්‌ තියෙන්න ඕනා”

ඔබ පළමුවෙන්ම සම්බන්ධ වුණේ අලිමංකඩ හමුදා කඳවුරට ප්‍රහාර දෙන්නයි කිව්වා. ඊට පස්‌සෙ මොන වගේ මෙහෙයුම්වලටද සම්බන්ධ වුණේ….

“එල්.ටී.ටී.ඊ. ය දියත් කරපු ගොඩක්‌ මෙහෙයුම්වලට මම සම්බන්ධ වුණා. අපි සම්බන්ධ වුණු ගොඩක්‌ම මෙහෙයුම් සාර්ථකව ජයග්‍රහණය කළා. සමහර මෙහෙයුම්වලදී අපි පසු බැහැලා තියෙනවා. අලිමංකඩ මෙහෙයුමේදී ඇරෙන්නට වෙන කිසිම මෙහෙයුමකදී පුංචි තුවාලයක්‌වත් වෙලා නැහැ”

එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ ඔබ ගායකයෙක්‌ වුණේ නැද්ද?

“අපේ යුනිට්‌ එකේ හිටිය ගායකයා මම තමයි. විවේකීව කඳවුරේ ඉන්නකොට අපි සින්දු කියලා විනෝද වෙලා තියෙනවා. එල්.ටී.ටී.ඊ. සංගීත කණ්‌ඩායමට සම්බන්ධ වෙන්න බැරි වුණා.

කඳවුරේ ගායකයා හැටියට මොනවද කියපු සින්දු…

“දෙමළ සින්දු විතරයි. ඉඳල හිටලා හින්දි සින්දුවක්‌ කිව්වා”

ලස්‌සනට සින්දු කියන්න පුළුවන් තව අය ඔබේ කඳවුරේ හිටියද?

“ඔව්… විවිධ හැකියාවන් තිබුණු අය ගොඩක්‌ හිටියා”

ඔබේ කඳවුරේ කිසිම සාමාජිකයෙක්‌ සිංහල සින්දු කිව්වේ නැද්ද?

“නැහැ… සිංහල වචනයක්‌ අහන්නවත් ඒ කාලේ අපි කැමති වුණෙ නැහැ…”

ඇයි එච්චරටම සිංහල මිනිස්‌සුන්ට වෛර කළේ…රෑ

“එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අපිට හැම වේලාවේම කිව්වේ මේ රට දෙමළ මිනිස්‌සුන්ගේ රට. සිංහල මිනිස්‌සු බලෙන් රජවෙලා ඉන්නෙ… අපේ ප්‍රධාන හතුරා සිංහල මිනිස්‌සු. එහෙම කිව්වහම අපි සිංහල මිනිස්‌සුට වෛර කළා. සිංහල හඬක්‌වත් අහන්න අකමැති වුණා.

ඔබ කිව්වා අක්‌කයි, අයියායි පිට පළාත්වල ජොබ්වලට ගිහින් හිටිය නිසා ගෙදර හිටියේ ඔබේ අම්මා විතරයි කියලා. එතකොට ඔබ අම්මව බලන්න නිතරම නිවසට ආවා ගියාද?

“නැහැ… මට අම්මව බලන්න එන්න ඕනෑකම තිබුණා. නමුත් අපිට ගෙවල්වලට එන්න එල්.ටී.ටී.ඊ. ය අවසර දුන්නේ නැහැ. මම කසාද බඳිනකම්ම අම්මව බලන්න එන්න අවසර ලැබුණෙ දවස්‌ දෙකක්‌ විතරයි”

ඇයි එල්.ටී.ටී.ඊ.ය තම සාමාජිකයන්ගේ අම්මා අප්පාවත් බලන්න යන්න අවසර නොදුන්නේ…

“ඒක එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රතිපත්තියක්‌. එල්.ටී.ටී.ඊ. නායකයෝ කියන්නේ ගෙවල්වලට ගියාහම අම්මා අප්පා එක එක දේවල් කියලා හිත් වෙනස්‌ කරනවා කියලා. ගෙවල්වලට ගිහිල්ලා ඉඳල ආවාහම “මොරාල් අඩු වෙනවා කියලත් එල්.ටී.ටී.ඊ. නායකයෝ කිව්වා. ඒ නිසා නිවාඩු දුන්නේ නැහැ”

“ඒ වගේ දේවල් නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය විතරක්‌ නෙමෙයි මට එපා වුණේ මගේ ජීවිතයත් මට කළකිරුණා. දවසක්‌ අපේ ගෙවල් පැත්තට ගිය කෙනෙක්‌ ඇවිත් කිව්වා අම්මා අසනීපයෙන් ඉන්නෙ කියලා. එදා මම ටීම් ලීඩර්ගෙන් ඇහුවා ගිහින් අම්මව බලලා එන්නද කියලා. ඒත් යන්න දුන්නෙ නැහැ. මට එදා ජීවිතයම එපා වුණා. වෙඩි තියාගෙන මැරෙන්න හිතුණා. පස්‌සෙ මම හිත හදා ගත්තා.

එල්.ටී.ටී.ඊ. යෙන් පැනලා යන්න තිබුණානේ…

“එක පාරක්‌ පැනලා ගිහින් හැංගිලා හිටියා. ඒත් වැඩක්‌ වුණෙ නැහැ. දවසක්‌ රෑක යාළුවකුගේ ගෙදර ඉන්නකොට එල්.ටී.ටී.ඊ යෙන් ඇවිත් මාව අරගෙන ගිහින් හිර කරලා මාස ගාණක්‌ ෆනිෂ්මන්ට්‌ දුන්නා. මම සටන්වලට ගියාහම හොඳට සටන් කරනවා කියලා මාව මැරුවේ නැහැ. නැත්තම් එල්.ටී.ටී.ඊ. යෙන් පැනලා යන අයට කිසිම සමාවක්‌ දුන්නෙ නැහැ. හිර කරලා කන්න බොන්න දෙන්නෙ නැතුව නිකම්ම ජීවිත දිය කරලා දානවා”

ඔබව කොහේද සිර කරලා තිබ්බේ…

කිලිනොච්චි සිර කඳවුරක.

කොච්චර කාලයක්‌ සිර කරලා තිබ්බද?

මාසයක්‌ විතර…

කොහොමද ඒ කාලය ගෙවිලා ගියේ…

එක දවසකට කෑම දෙන්නෙ එක වේලයි. ඊට අමතරව වතුර උගුරක්‌වත් දෙන්නෙ නැහැ

ඒ මාසයට අමතරව තව සති තුනක්‌ විතර දඬුවම් දුන්නා.

ඔබව සිර කරලා තිබුණු සිර කුටිය කොහොම එකක්‌ද?

බලු කූඩුවකට අන්තයි. හරියට දිගා වෙලා නිදාගන්නවත් බැහැ. මම ඒ මාසයම නිදා ගත්තේ වාඩි වෙලා.

පැන යන සාමාජිකයන්ට එල්.ටී.ටී.ඊ. සංවිධානය ඒ විදිහෙ දරුණු දඬුවම් දුන්නේ ඇයි…?

එල්.ටී.ටී.ඊ. නායකයෝ කියන්නේ පැනලා යන එක්‌කෙනකුට දෙන්නකුට ඒ විදිහ දඬුවම් දුන්නහම ආයිත් කවුරුවත් පැනලා යන්න හදන්නෙ නැහැ කියලයි. ඒක ඇත්ත තමයි ඒවා දකින, අහන අය කවුරුවත් පැනලා යන්න නම් හැදුවේ නැහැ.

ඔබ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පැන ගියේ එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ වෙලා කොච්චර කාලයකට පසුද?

අවුරුදු හතරක්‌ විතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉඳලයි.

දඬුවම් දීලා නැවත ඔබව එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයටම යොමු කළාද?

“ඔව්..”

ඔබ කසාඳ බැඳලා දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා කියලා කිව්වා. එතකොට ඔබ විවාහ වෙනකොට වයස කීයද?

එතකොට මට අවුරුදු විස්‌සක්‌ විතර ඇති.

ඔබ විවාහ වුණේ එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක්‌ සමගද?

නැහැ… ගෙවල් ළඟම ඥතී තරුණියක්‌ සමගයි.

ඔබ කිව්වා එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වෙලා, විවාහ වෙන්න පෙර අම්මව බලන්න ගියෙත් දවස්‌ දෙකයි කියලා. ඉතිං කොහොමද ගෙවල් ළඟ තරුණියක්‌ සමග සම්බන්ධයක්‌ ඇති කර ගත්තේ…

එල්.ටී.ටී.ඊ. යෙන් පැනලා ගිහින් හිටිය දවස්‌ ටිකේදී තමයි අපි අතර සම්බන්ධයක්‌ ඇති වුණේ. අනිත් එක තමයි අම්මට ලෙඩක්‌ දුකක්‌ හැදුනහම ඒ අය තමයි අම්මව බලාගෙන තිබුණේ.

ඔබේ විවාහයට එල්.ටී.ටී.ඊ.යෙන් බාධාවක්‌ වුණේ නැද්ද?

නැහැ… මම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වෙලා අවුරුදු නවයකට පස්‌සෙයි අපි විවාහ වුණේ. ඒක නිසා මට ප්‍රශ්නයක්‌ වුණේ නැහැ.

විවාහයෙන් පස්‌සෙ ගෙදර යන්න එන්න අවසර ලැබුණද?

ඔව්… සතියකට, සති දෙකකට පාරක්‌ ගෙදර ඇවිත් යන්න අවසර ලැබුණා. ඒ වගේම එල්.ටී.ටී.ඊ. සංවිධානය අපිට කිලිනොච්චියෙන් ගෙයක්‌ දුන්නා. ගොඩක්‌ උදව් කළා. මටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන තිබුණු කළකිරුණු බව නැති වෙලා ගියා. මමත් මගේ උපරිමය එල්.ටී.ටී.ඊ. ය වෙනුවෙන් කළා.

උපරිමය කිව්වේ දිවි හිමියෙන් සටන් කරපු එකනේ…

ඔව්…

එතකොට අම්මා බිරිඳ ගැන හිතුවේ නැද්ද?

යුද්දෙට ගියාට පස්‌සෙ ඒව කිසිම දෙයක්‌ මතක්‌ වුණෙ නැහැ. අඩුම තරමින් අපේ ජීවිත ගැනවත් හිතන්නෙ නැතුව අපි සටන් කළේ. අපිට ඕනා වෙලා තිබුණේ අපේ ටාගට්‌ එකට යන එක විතරයි.

මොකක්‌ද ඔබේ ටාගට්‌ එක…

පටන් ගත්ත මෙහෙයුම ජයග්‍රහණයෙන් ඉවර කරන එකයි.

ඉතිං ඔබ සහභාගි වුණු හැම මෙහෙයුමක්‌ම ජයග්‍රහණයෙන් ඉවර කළාද?

ඔව්… ගොඩක්‌ම මෙහෙයුම් ජයග්‍රහණය කරලා තියෙනවා.

ඒත් අන්තිම සටනේදී ඔබ විතරක්‌ නෙමෙයි මුළු එල්.ටී.ටී.ඊ. සංවිධානයම පරාජය වුණානේ…?

එහෙම වුණා තමයි.

ඇයි එහෙම වුණේ…?

එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළේ ගොඩක්‌ ප්‍රශ්න තිබුණා. නායකයන් අතර තිබූ ප්‍රශ්න තමයි පරාජයට මූලික වුණේ. අනිත් එක තමයි හමුදාව එල්ල කරපු ගුවන් ප්‍රහාර එල්.ටී.ටී.ඊ. යට දරා ගන්න බැරි වුණා.

ඔබ දන්න විදිහට එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළෙ තිබුණු ගැටලු මොනවද?

අපිත් දන්නෙ කවුරුහරි කියපු දෙයක්‌ තමයි. නැතුව මම එල්.ටී.ටී.ඊ. දෙවැනි පෙළ නායකයෙක්‌ එක්‌කවත් කතාබහ කරලා නැහැ. “ලීඩර්ව” දැකලා තියෙන්නෙත් එක දවසයි.

හමුදාව එක දිගටම ප්‍රහාර එල්ල කරමින් එකින් එක එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශ අත්පත් කරගන්න කොට ඔබට හිතුණද එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරයි කියලා…

යුද්ධයේ මුල් කාලයේදී නම් එහෙම හිතුනේ නැහැ. හමුදාව කොහේදී හරි කොටු වෙයි කියලා හිතාගෙන හිටියේ. ඒත් හමුදාව එල්ල කරපු ගුවන් ප්‍රහාර එල්.ටී.ටී.ඊ.යට මර්දනය කරන්න බැරි වුණා. දවසින් දවස එල්.ටී.ටී.ඊ. ය පසු බැස්‌සා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැතිවීම ගැන හොඳක්‌ හැටියටද? නරකක්‌ හැටියටද? දැන් ඔබ දකින්නෙ..

මනෝරාසාගේ හිස බිමට පාත් විය. අප අතර නිහඬතාවයකි. නිහඬතාවයෙන් පෙනී යන්නේ අපගේ පැනය හමුවේ ඔහු නිරුත්තර වූ බවකි.

අපි විමසන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැති වීම ඔබ දකින්නේ කෙසේද කියායි. අපේ ප්‍රශ්නයට ඔබට පිළිතුරක්‌ තියෙන්න ඕනා…

මට ඒකට උත්තරයක්‌ දෙන්න බැහැ. නැවත අපි නිදහස්‌වෙලා ගිහින් ජීවත් වෙන්න ඕනා කිලිනොච්චියේ..

කිලිනොච්චිය දැන් එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයක්‌ නෙමෙයි.. ඔබගේ පිළිතුරට කිලිනොච්චිය ගැටලුවක්‌ නෙවෙයි.

එහෙත් පිළිතුරක්‌ නැත.

එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් නැති වීම ගැන ඔබ දකින්නෙ කෙසේද?

දෙමළ ජනතාව වෙනුවෙන් කතා කරන්න හිටපු නායකයෙක්‌ නැති වුණා. ප්‍රභාකරන් නැති වුණු එක ගැන මම නම් දුක්‌ වෙනවා.

ඔබ සටන් කළේ සිංහල හමුදා සමග. ඒත් අද ඔබ හමුදා කඳවුරක හමුදාව සමග සුහදව ජීවත් වෙනවා. දැන් ඔබට හමුදාව කෙරෙහි තිබෙන්නේ කෙබඳු ආකල්පයක්‌ද?

අපි හිතාගෙන හිටියේ සිංහල හමුදාව කියන්නේ දෙමළ මිනිස්‌සු මරණ ම්ලේච්ඡ හමුදාවක්‌ විදිහටයි. නමුත් දැන් අපිට තේරෙනවා හමුදාවේ ඉන්න මිනිස්‌සු ගුණයහපත් අය කියලා. ඒ වගේම තමයි සිංහල මිනිස්‌සුත් අපි එල්.ටී.ටී.ඊ.කාරයෝ කියලා අපිට කිසිම වෙනසක්‌ කරන්නේ නැහැ. මම ඒක හොඳට දන්නවා අපේ සංගීත කණ්‌ඩායම රටේ විවිධ පළාත්වල විවිධ උත්සවවලට සහභාගි වෙලා තියෙනවා. ඒ හැම අවස්‌ථාවකම සිංහල මිනිස්‌සු අපිත් එක්‌ක හොඳින් කතාබහ කරලා හොඳට සැලකුවා.

සිංහල මිනිස්‌සු, සිංහල හමුදාව මේ තරම් ගුණයහපත් අය කියලා දැනගෙන හිටියා නම් අපි කවදාවත් ඒ අයත් එක්‌ක යුද්ධ කරන්න එන්නෙ නැහැ. හැමදේම වුණේ නොදැනුවත්කම නිසයි.

මනෝරාසා නිහඬ විය. තවදුරටත් ඔහු අප සමග කතා කිරීමට මැලි විය. ඔහුගේ දෙනෙත් වියළි ගොස්‌ය. බැල්ම හැඟීම්බරය. ළමා වියෙහි සිටම ඇවිල වූ වෛරයේ ගිනි දළු ලතෙත් හැඟීම් වියළා දැමූ සෙයකි. උදේ සවස සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ බුදු කුටියට මල් පහන් පූජා කරන ඔහු දැන් දැහැමින් ජීවත් වෙමින් සිටියි.

ඔහුගේ දරුවන් දෙදෙනා සහ බිරිඳ කිලිනොච්චියේ පදිංචිව සිටිති. මනෝරාසා ද ඔවුන් සමග එකතු වන්නේ කවදාද කියා දින ගනිමින් සිටියි. දරුවන් දෙදෙනා මෙන්ම තම ආදරණීය බිරිඳ ද මනෝරාසා එනතුරු දින ගණිනවා ඇති. ඒ සොඳුරු හමුව තව ඈතට නොයන්නයි අපිදු සිතින් පතමින් ඔහුට සමුදී තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු සමග අලුත් කතාබහක්‌ ආරම්භ කළෙමු.

Read Full Post »

කෙනකුගේ පැමිණිල්ලක්‌ විභාග කිරීමට නම් අධිකරණයේ සිටිය යුත්තේ පිරිසිදු අය විය යුතුය. ඒ නිසාම අධිකරණ විනිසුරුවරුන් දූෂකයන්, වංචාකාරයන්, ත්‍රස්‌තවාදීන් විය නොහැකිය. එහෙත් ප්‍රභාකරන්ගේ සිහින විජිතයේ අගනුවර වූ කිලිනොච්චි ඊනියා උසාවියේ ක්‍රියාත්මක වූයේ ලොව දරුණුතම ත්‍රස්‌තවාදී නායකයාගේ නියෝග ය. එසේ නම් යුක්‌තිය පතාගෙන කිලිනොච්චි උසාවියට පැමිණි අහිංසක මිනිසුන්ට යුක්‌තිය ඉටු වූයේද? අපි විමසා බලමු. කිලිනොච්චි උසාවියේ හිටපු නීතිඥවරයකු මෙන්ම අතිරේක මහෙස්‌ත්‍රාත්වරයකු දැන් අප ඉදිරියේය. එහෙත් අද ඔහු මහෙස්‌ත්‍රාත්වරයකු හෝ නීතිඥවරයකු නම් නොව, හේ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ පුනරුත්ථාපනය ලබන එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. ඔහු කයිලාස පිල්ලෙයි ලන්ගීෂ්වරන්ය. මෙතැන් සිට පෙළ ගැසෙන්නේ කිලිනොච්චි උසාවියේ නීතිඥ කයිලාසාගේ කතාවය.

ලන්ගීෂ්වරන්ලා පදිංචිව සිටියේ වව්නියාවේය. ඔහුගේ පියා වැල්ලවත්ත රජයේ බැංකුවක කළමනාකාරවරයකු ලෙස රැකියාව කළේය. ඔහුගේ මව රැකියාවක්‌ කළේ නැත. ලන්ගීෂ්වරන්ට වැඩිමහල් සහෝදරයෝ දෙදෙනෙක්‌ සිටියහ. මොවුන් තිදෙනාම පාසල් ගියේ වව්නියාවේ ප්‍රධාන පාසලකටය. ලන්ගීෂ්වරම් මෙන්ම සහෝදරයන් දෙදෙනා ද උසස්‌ පෙළ කඩඉම පසු කළද විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් අහිමි විය. ලන්ගීෂ්වරන්ගේ සහෝදරයෝ දෙදෙනාම වව්නියාවෙන් පිටව වෙනත් පළාත්වල රැකියාවන්වලට යොමු වූහ.

මේ කාලවකවානුවේදී එල්.ටී.ටී.ඊ සංවිධානය ද මෝරා වැඩෙමින් තිබිණි. ඒ දිනවල හමුදාව හා එල්.ටී.ටී.ඊ.ය අතර නිරන්තරයෙන් ගැටුම් ඇති විය. ලන්ගීෂ්වරන්ගේ මව්පියෝ තම පුතුන් තිදෙනා ගැන මහත් බියකින් පසු වූහ. තම වැඩිමහල් දරුවන් දෙදෙනා නිවසෙන් පිටව සිටීම ඔවුන්ට යම් අස්‌වැසිල්ලක්‌ වුවද ලන්ගීෂ්වරන් ගමේ සිටීම නිසා ඔවුන් පසු වූයේ භීතියෙනි. යුද ගිනි දැල් මැද කාලය ගෙවී ගියේය.

 

පුංචි කාලේ සිටම ලන්ගීෂ්වරන් දුටු එකම සිහිනය නීතිඥවරයකු වීමය. එහෙත් ඔහුට නීති විද්‍යාව හැදෑරීමට විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට වරම් නොලැබිණි. ලන්ගීෂ්වරන් අධෛර්යවත් නොවීය. ඔහු නීති විද්‍යා පාඨමාලාවක්‌ හැදෑරීමට තීරණය කළේය. හේ තම පියාටද ඒ බව දැන්නුවේය. තම පියාද එක සිතින්ම තම පුත්‍රයාගේ තීරණයට කැමැති විය. ලන්ගීෂ්වරන්ගේ පියා ඔහුව කොළඹට ගෙනැවිත් නීති විද්‍යා පාඨමාලාවකට යොමු කිරීමට අදහස්‌ කරගෙන සිටියේය. එමෙන්ම ලන්ගීෂ්වරන් ද නීති විද්‍යා පන්ති පවත්වන ස්‌ථානයක්‌ සොයමින් සිටියේය.

පුවත්පත් බැලීම පුරුද්දක්‌ කරගෙන සිටි ලන්ගීෂ්වරන් දිනක්‌ උදෑසනක “ඊළනාදන්” පුවත්පත බලමින් සිටියදී ඔහුගේ දෙනෙත් එක්‌ දැන්වීමක්‌ අතර නතර විණි. “නීති පාඨමාලාවන් හැදෑරීමට කැමැති අයට නොමිලේ පාඨමාලා පවත්වනු ලැබේ. පහත ලිපිනයට පැමිණෙන්න”

කාලය ගත නොකරම ලන්ගීෂ්වරන් නීති විද්‍යා පාසල සොයාගෙන කිලිනොච්චියට ගියේය. පාඨමාලාවට අවැසි සුදුසුකම්වලටත් වඩා සුදුසුකම් ලන්ගීෂ්වරන්ට තිබූ බැවින් ඔහුට නීති පාසලට ඇතුළත් වීමට කිසිදු බාධාවක්‌ නොවීය. ලන්ගීෂ්වරන්ගේ නීතිඥ සිහිනය යථාර්ථයක්‌ කරගැනීමට දොරගුලු විවර විය. ඔහු මෙන්ම තම මව්පියෝ ද මහත් සේ සතුටු වූහ. එහෙත් ඒ සතුට තාවකාලික විය. නීති පාසල පවත්වාගෙන යන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් බව ලන්ගීෂ්වරන් දැන ගත්තේය. “මේ මොන උගුලකට ද හසු වුණේ. දැන් මම මොකද කරන්නේ” කියා ඔහු රෑ දහවල් නොමැතිව සිතන්නට විය. එහෙත් එල්.ටී.ටී.ඊ උගුලෙන් බේරී යැමට ඔහුට කිසිවක්‌ මනසට නොනැඟිණි. ඔහු අසරණ විය. ලන්ගීෂ්වරන් තම මව්පියන්ට ද ඒ බව දැන්නුවේය. “මේක එල්.ටී.ටී.ඊයට ළමයි බඳව ගන්න අටවපු උගුලක්‌. එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ වෙලා වැඩ කරනකොට ජීවිතය ගැන ෂුවර් එකක්‌ තියන්න බැහැ. අපිට ඔයාව ඕනා. ඔය පන්ති ඕනෙ නැහැ. ඔන්න ඕකට යන එක නවත්වන්න පුතේ… මම ඔයාව කොළඹ එක්‌ක යන්නම්. එහෙ තියෙනවා නීති පාඨමාලාවන් කරන හොඳ තැන්” ලන්ගීෂ්වරන්ගේ පියා එල්.ටී.ටී.ඊ සංවිධානයේ භයානක තත්ත්වය ගැන තම පුත්‍රයාට එසේ පැහැදිලි කර දුන්නේය.

ලන්ගීෂ්වරන් පාඨමාලාව අතරමඟ නතර කිරීමට අකැමැති විය. එමෙන්ම නීති පාඨමාලාව හැදෑරූ ළමයින්ට එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳෙන්නයි කියා එල්.ටී.ටී.ඊ.ය තර්ජන කළේ ද නැත. එහෙත් ඉඳහිට පැමිණෙන එල්.ටී.ටී.ඊ. නායකයන් පැවැත්වූ දේශන නිසා ලන්ගීෂ්වරන්ගේ සිත ඔහුටත් හොරාම එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි බැඳෙන්නට පටන් ගෙන තිබිණි. ලන්ගීෂ්වරන්ගේ මව්පියන්ට ද එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි තිබූ අවිශ්වාසය කෙමෙන් පහ වෙමින් තිබිණි. දින, සති, මාස, අවුරුදු ගෙවී ගියේය. පාඨමාලාව සාර්ථකව නිම කිරීමට ලන්ගීෂ්වරන්ට අවස්‌ථාව උදා විණි. ඔහුගේ දක්‍ෂතා නිසාම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට නීතිය ඉගැන්වීමට නීති ගුරුවරයකු ලෙස ලන්ගීෂ්වරම් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ කරගැනීමට ප්‍රභාකරන් තීරණය කර තිබිණි.

සෑම එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුටම එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නීතිය ඉගැන්නුවේය. ඒ සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානය ඔවුන්ගේ සාමාජිකයන්ව කණ්‌ඩායම් වශයෙන් නීති පාඨමාලාවන්වලට ද යොමු කළහ. ඒ පාඨමාලාවන්වල දේශන පැවැත්වීමට පැමිණියේ කිලිනොච්චි අධිකරණයේ නීතිඥවරුන්ය. ලන්ගීෂ්වරන් ද ඒ පාඨමාලාවන්වල නීති විද්‍යා ගුරුවරයකු ලෙස කටයුතු කළේය.

දිනක්‌ ලන්ගීෂ්වරන් එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් පිරිසකට නීතිය උගන්වමින් සිටියදී ඔහුගේ දෙනෙත් කාන්තියෙන් බැබළෙමින් තිබූ තවත් දෙනෙත් දෙකක්‌ සමග ගැටිණි. ඒ කාන්තිමත් දෙනෙත් ඇති රුවැත්තිය එල්.ටී.ටී.ඊ. සාමාජිකාවකි. ඇය මාලතී බළකායේ සටන් මෙහෙයවන්නියකි. ලන්ගීෂ්වරන් ඇයට නීතිය උගන්වන ගුරුවරයාය. ඒ කිසිවක්‌ ආදරයට බාධාවක්‌ නොවිණි.

දින, සති ගෙවී ගියේය. ලන්ගීෂ්වරන් එම කණ්‌ඩායමට දේශන පැවැත්වීමට කිහිපවරක්‌ම පැමිණියේය. ඒ සෑම දිනකම ඔවුහු පාඨමාලාව අතරතුර දෙනෙත්වලින් කතා කළහ. එමෙන්ම ඉඩකඩක්‌ ලැබුණු සැණින් ඔවුහු කතාබහ කර දැනහඳුන ගත්හ. එහෙත් ඇයට ආදරෙයි යෑයි කෙළින්ම පැවසීමට ලන්ගීෂ්වරන් දෙවරක්‌ සිතුවේය. දිනක්‌ ඔහු පන්තියේ සිටි තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක හරහා ඔහුගේ අදහස ඇය වෙත දැන්නුවේය. ලන්ගීෂ්වරන් කඩවසම් තරුණයෙකි. එමෙන්ම ඔහු නීතිය උගන්වන ගුරුවරයෙකි. ඔහුගේ යෝජනාවට එල්.ටී.ටී.ඊ. සාමාජිකාව එක සිතින්ම කැමැති වූවාය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ ආදරය කිරීමට තහංචි නොමැති වුවද විවාහ වීමට බාධක තිබිණි. එල්.ටී.ටී.ඊ සාමාජිකාවකට විවාහ ජීවිතයට ඇතුළත් විය හැක්‌කේ වයස අවුරුදු විසිපහ සම්පූර්ණ වීමෙන් පසුය. සාමාජිකයකුට නම් වයස අවුරුදු තිහ සම්පූර්ණ විය යුතුව තිබිණි. ඔවුන් දෙදෙනාම එම වයස්‌ සීමා පසු කර නොසිටියහ. එහෙත් ඔවුන්ගේ ආදරයට බාධා නොතිබිණි. දින දින ආදරය දලුලා වැඩෙමින් තිබිණි. විවාහ ජීවිතයට ඇතුළත්වීමට ඇති වයස්‌ සීමාව ද සම්පූර්ණ විය. ඔවුන්ගේ ආදරය ජය ගත්හ. දෙපාර්ශ්වයේම ආශීර්වාද මැද ජයටම මංගල උත්සවයක්‌ ද ගෙන ඔවුහු විවාහ වූහ. ඔවුන්ගේ මංගල උත්සවයට එල්.ටී.ටී.ඊ පළමු පෙළ නායකයන් වන පුලිදේවන්, තමිල් චෙල්වම්, නඩේසන් වැනි නායකයන් මෙන්ම මාලතී බළකාය භාරව සිටි විදූෂා ද ඔවුන්ට සුබපැතීමට මංගල උත්සවයට සහභාගි වී සිටියාය.

ප්‍රභාකරන් ඔවුන්ගේ මංගල උත්සවයට සහභාගි නොවුණද ඔවුන්ට ජීවිතයට අමතක නොවන මංගල තෑග්ගක්‌ ලබාදීමට අමතක නොකළේය. ඒ ලන්ගීෂ්වරන්ට වැඩිදුරටත් නීති විද්‍යාව හැදෑරීම සඳහා මැලේසියාවේ නීති විද්‍යාලයකට ඇතුළුවීමට ශිෂ්‍යත්වයකි. මංගල උත්සවයෙන් දින කිහිපයකට පසු ඔවුහු මැලේසියාවට පිටත්ව ගියහ. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහාය. ලන්ගීෂ්වරන් මැලේසියාවේ නීති විද්‍යාලයක වසර පහක නීති විද්‍යාව හදාරමින් උපාධියක්‌ ද ලබාගත්තේය. ඔහුගේ නීතිඥ සිහිනය සැබෑ විය. ඔහුගේ සිහිනය යථාර්ථයක්‌ කරගැනීමට ඔහුට මග විවර කර දුන්නේ ප්‍රභාකරන්ය. එහෙයින් ඒ සුබ ආරංචිය ප්‍රභාකරන්ට මෙන්ම තම මව්පියන්ට දැනුම් දෙන තුරු ලන්ගීෂ්වරම්ට විසුම නොවීය. ලන්ගීෂ්වරන් සහ ඔහුගේ බිරිඳ නැවත කටුනායක ගුවන් තොටුපළ හරහා ලංකාවට පැමිණ ඊළාම් දේශය කරා කිසිදු බාධාවකින් තොරව ගමන් කළ බව ඔහු තරමක්‌ ආඩම්බරයෙන් පැවසීය.

මැලේසියාවේ නීති විද්‍යාලයකින් උපාධියක්‌ ලබාගෙන පැමිණි ලන්ගීෂ්වරම්ව මහත් හරසරින් එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිගත්තේය. එමෙන්ම ඔහු ඊළාම් රාජ්‍යයේ නීතිඥයකු ලෙස ද ප්‍රභාකරන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. ලන්ගීෂ්වරන්ගේ සිහිනය සැබෑ වන මොහොත දැක බලාගැනීමට ඔහුගේ මව්පියන්, සහෝදරයන් මෙන්ම හිත මිත්‍ර ආදීහු බොහෝ පිරිසක්‌ද එම අවස්‌ථාවට සහභාගි වී සිටියහ. එදා ලන්ගීෂ්වරන් රටක්‌ රාජ්‍යයක්‌ ලැබුණා සේ සතුටු විය. ඔහු මෙන්ම තම බිරිඳ, මව්පියෝ, සහෝදරයෝ ද සතුට ඉහවහා ගිය සිතින් ඔහුට සුබ පැතූහ. එදා සිට ලන්ගීෂ්වරන් කිලිනොච්චි අධිකරණයේ නීතිඥයකු ලෙස සේවයට බැඳුණේය.

කාලය ගෙවී ගියේය. ලන්ගීෂ්වරන් ඊළාම් රාජ්‍යයේ දක්‍ෂ නීතිඥයකු ලෙස ජනතාව අතර ප්‍රසිද්ධව සිටියේය. ඔහුගේ දක්‍ෂතා හෙයින්ම ඇතැම් අවස්‌ථාවලදී කිලිනොච්චි උසාවියේ අතිරේක මහෙස්‌ත්‍රාත් ලෙසද ඔහු කටයුතු කළේය. කාලය ගෙවී ගියේය. ලන්ගීෂ්වරම්ගේ කැදැල්ල පුංචි පුතුන් දෙදෙනකුගෙන්ද හැඩ විණි. ඔවුන්ගේ ජීවිත ඉතාම සතුටින් ගලා ගියේය.

කිලිනොච්චි අධිකරණය සිවිල් අධිකරණයක්‌ වුවද, මෙරට පවතින පොදු නීති රෙගුලාසිවලින් ඔබ්බට ගිය ප්‍රභාකරන්ගේ නීති රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක වූ අධිකරණයකි. එහෙත් පොඩි ලොකු භේදයකින් තොරව සෑම කෙනකුටම නීතිය එක සේ ක්‍රියාත්මක විය. ස්‌ත්‍රී දූෂකයන්ට, මිනීමරුවන්ට, ඊළාම් දේශයට ෙද්‍රdaහීවන්නන්ට කිලිනොච්චි උසාවියේදී කිසිදු සමාවක්‌ නොලැබිණි. එවැනි වැරැදිකරුවන්ව ප්‍රසිද්ධියේ වෙඩි තබා මැරීමට ද කිලිනොච්චි උසාවිය නියෝග නිකුත් කරනු ලැබිණි. එවැනි චෝදනා සම්බන්ධයෙන් වැරැදිකරුවන් වූවන්ට කිලිනොච්චි අධිකරණයේදී අවසාන තීන්දුව ලබාදී ඇත්තේ දහහත් දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක්‌ විසිනි. වැරැදිකරුවන් සම්බන්ධයෙන් අධිකරණය ගත් තීන්දුව අවසානයේ ප්‍රභාකරන් විසින් අනුමත කළ විට ඒ චූදිතයන්ට ප්‍රසිද්ධියේ වෙඩි තබා මැරීම ක්‍රමවේදය විය. ලන්ගීෂ්වරන්ගේ වසර අටක නීතිඥ ජීවිතය පුරාවට කිලිනොච්චි අධිකරණය විසින් වැරැදිකරුවන් හතර දෙනකුට එසේ මරණ දඬුවම ලබාදී ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා ඇත.

කිලිනොච්චි අධිකරණයේදී ඉඩම් සම්බන්ධව ගොනු වන නඩු සම්බන්ධයෙන් ද දැඩි නීති ක්‍රියාත්මක විය. එමෙන්ම නඩු කල්ගත නොකර හැකි ඉක්‌මනින් නඩු විභාග කර යුක්‌තිය ඉටු කරන්නැයි කිලිනොච්චි අධිකරණයේ මහෙස්‌ත්‍රාත්වරුන්ට ප්‍රභාකරන් උපදෙස්‌ දී තිබිණි. එමෙන්ම මෙරට ආණ්‌ඩුවේ මන්නාරමේ රිෂාඩ් බදියුදීන්ලා මෙන් දේශපාලන හයිය පෙන්නා අධිකරණයේ තීන්දු-තීරණ වෙනස්‌ කිරීමට කිලිනොච්චි අධිකරණයේදී එල්.ටී.ටී.ඊ. නායකයන්ට ප්‍රභාකරන් ඉඩ ලබාදී නැත. වරද දුටු තැන දඬුවම් ලබාදීමට පන්ති භේද, නිල, තානාන්තර කිලිනොච්චි උසාවියට ගැටලුවක්‌ නොවිණි.

ඊළාම් රාජ්‍යයේ අධිකරණ, දේශපාලන කටයුතු භාරව සිට ඇත්තේ තමිල් චෙල්වම්ය. ඔහුගේ මරණයෙන් පසු ඒ සම්බන්ධව කටයුතු කර ඇත්තේ නඩේසන්ය. “චෙල්වම් එක්‌ක වැඩ කරන්න ලේසියි. එයා ඕනෑම දෙයක්‌ ගැන බුද්ධිමත්ව හිතලයි තීරණ ගත්තේ. අධිකරණ නීති සම්බන්ධයෙන් ඔහුගේ කාලේ කිසිම ප්‍රශ්නයක්‌ ඇති වුණේ නැහැ. නීති කටයුතු සම්බන්ධයෙන් වගේම අපගේ පෞද්ගලික ප්‍රශ්නයක්‌ වුණත් චෙල්වම් එක්‌ක කතා කරලා පහසුවෙන් විසඳගන්න පුළුවන් වුණා. ඒ වගේම චෙල්වම් අධිකරණයට බොහෝම ගරු කළා. ඔහුගේ මරණය එල්.ටී.ටී.ඊ. සංවිධානයට ගොඩක්‌ බලපෑවා. චෙල්වම්ගෙන් පස්‌සෙ අධිකරණ කටයුතු ගැන සොයා බැලුවේ නඩේසන්. එයා මුල ඉඳලම සියල්ල අච්චාරුවක්‌ කර ගත්තා” ලන්ගීෂ්වරන් කරුණු – කාරණා ඉතාම පැහැදිලිව එසේ විස්‌තර කරමින් සිටියේය. අපි ඔහුගේ කතාවට බාධා කළෙමු.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පාවා දුන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ටත් දඬුවම් ලබාදුන්නේ කිලිනොච්චි අධිකරණයේදීද?

“නැහැ. එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් වූ සියලුම නඩු විභාග කෙරුණේ එල්.ටී.ටී.ඊ. මිලිටරි අධිකරණය මගින්. ඒ අධිකරණයේ නඩු විභාග කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පත් කරපු අය. එල්.ටී.ටී.ඊ සංවිධානය පාවා දෙන වැඩ කරලා අත්අඩංගුවට පත් වුණු අයට නම් කිසිම සමාවක්‌ නැහැ. ඒ අයට උරුම මරණයම තමයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයෙක්‌ම තමයි එහෙම අයට වෙඩි තියලා මරලා දැම්මේ. එල්.ටී.ටී.ඊ.ය පාවා දෙන්න ගිහින් අත්අත්අඩංගුවට ගත්ත සමහර අයට ප්‍රභාකරන්ම වෙඩි තියලා මරලා තියෙනවා”

ප්‍රභාකරන් අධිකරණ නීති සම්බන්ධයෙන් ක්‍රියා කළේ කොහොමද?

“ප්‍රභාකරන් අධිකරණ සම්බන්ධයෙන් හැම දේකටම අත ගැහුවේ නැහැ. එයා බොහෝම සාධාරණ විදිහට අධිකරණය සම්බන්ධයෙන් තීන්දු-තීරණ ගත්තා”

උගත් නීතිඥයකු ලෙස ඔබ කියන්නෙ වෙනත් තැන්වලදී ප්‍රභාකරන් ගත්තු තීන්දු-තීරණ වැරදි කියලද?

“ඔව්.. එයා ගත්තු තීන්දු-තීරණ වැරදි නැත්නම් ප්‍රභාකරන් අදත් ජීවතුන් අතරනේ”

ඔබ කියන්නේ ප්‍රභාකරන්ගේ වළ කපා ගත්තේ ප්‍රභාකරන්ම කියලද?

“එල්.ටී.ටී.ඊ. සංවිධානයේ විනාශයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනා එල්.ටී.ටී.ඊ. නායකයෝ. ඒ අය පෞද්ගලික වාසි තකා පමණක්‌ වැඩ කරන්න පටන් ගත්තා. එහෙම අයත් එක්‌ක රටක්‌ අල්ලන්න බැහැනේ. තමන් ගැන හිතලා යුද්ධ කරන්න බැහැ. යුද්ධ කරන්න ජීවිත පරදුවට තියලා සටන් පෙරමුණට යන්න ඕනා. ඒත් එල්.ටී.ටී.ඊ. නායකයෝ කළේ ඒ අය පස්‌සට ගිහින් සෙසු සාමාජිකයන්ව ඉස්‌සරහට දාපු එකයි. දිගින් දිගටම ඒකම කළා. අන්තිමේ එල්.ටී.ටී.ඊ. යේ සෙසු සාමාජිකයනුත් ඔවුන්ගේ ජීවිත ගැන හිතන්න පටන් ගත්තා”

එල්.ටී.ටී.ඊ නායකයන්ගේ අදූර්දර්ශී ක්‍රියා හේතුවෙන් අවසන එල්.ටී.ටී.ඊ.ය දෙකඩ විය. ඇතැම් නායකයන් සංවිධානයේ සිටියත් ක්‍රියාකාරීන් නොවීය. සියල්ල පෙළගැසුණේa එල්.ටී.ටී.ඊ යේ විනාශයටය. එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ පැවැති ගැටුම්කාරී තත්ත්වය හොඳින්ම අවබෝධ කරගත් සිංහල හමුදාවෝ දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහ.

“හමුදාව දිගට හරහට ප්‍රහාර දෙනකොට එල්.ටී.ටී.ඊ. නායකයෝ ඔවුන්ගේ පවුල, දේපළ ආරක්‍ෂා කරගන්න එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටිය දක්‍ෂ සටන්කරුවන්ව යෙදව්වා. අන්තිමේ යුද පෙරමුණට ගියේ හරි හැටි පුහුණුවක්‌ නැති ආධුනික සාමාජිකයන්. එහෙම කරපු යුද්ධයක්‌ පරාද වෙන එක අහන්න දෙයක්‌ නෙමෙයි. අවසාන යුද්ධයේදී අපේ ජීවිත ගැන අපිටත් ෂුවර් එකක්‌ නැති වුණා. හැම වේලාවෙම අපි කල්පනා කළෙත් අපේ ජීවිත බේරගන්නෙ කොහොමද කියලයි”

“යුද්දෙ අවසාන කාලේ දිනෙන් දින අපි කොටු වුණා. එල්.ටී.ටී.ඊ.ය අපිට එළියට එන්න දුන්නෙත් නැහැ. ඉරණපලේදී දරුවොත් එක්‌ක ඉන්නකොට ටිකක්‌ ඈතට වැටුණු බෝම්බයකින් අපිටත් පොඩි තුවාල වුණා. එදා නම් මම හිතුවා අපි ඉවරයි කියලා. පස්‌සේ බිරිඳවයි, දරුවෝ දෙන්නවයි ගුලි කරගෙන වළකට බැහැලයි හිටියේ. එදා තමයි අපි තීරණය කළේ මැරෙන්න හරි හමුදා පාලන ප්‍රදේශවලට ගිහින් හමුදාවට භාර වෙමු කියලා” ඔහු දිගු සුසුමකින් හද සැහැල්ලු කර ගත්තේය.

ඔවුන් ටිකෙන් ටික මුලතිව් ප්‍රදේශයට කොටු විය. දිනය 2009-05-16 වැනිදාය. හැත්තෑපස්‌ දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ලෙසින් ඔහු හමුදා පාලන ප්‍රදේශවලට පැමිණ හමුදාවට භාර විය. දින ගණනාවක්‌ කුස ගින්දරේ සිටි ඔවුන්ට හමුදාව පළමුව ආහාර ලබා දුන්නේය. අනතුරුව ඔවුන්ව හමුදාව විසින් ආරක්‍ෂක ස්‌ථාන කරා යොමු කරන ලදී. ඔවුහු නැවත හුස්‌ම ගන්නට පටන් ගත්හ. මරණ බිය ක්‍රමයෙක්‌ ඔවුන්ගේ සිත්වලින් පහ වී ගියේය. දරුවන් දෙදෙනාව ඔවුන්ගේ මව්පියන් වෙතට භාරදී ලන්ගීෂ්වරන්ව හා ඔහුගේ බිරිඳව පුනරුත්ථාපන කඳවුරුවලට යොමු කිරීමට ආරක්‍ෂ අංශ කටයුතු කළහ. දැන් ඔහුගේ බිරිඳ පුනරුත්ථාපනය වී ඇයගේ මව්පියන් ළඟට ගොස්‌ තම පුංචි පුතා සමගින් ජීවත් වේ. ඔවුන්ගේ වැඩිමහල් දරුවා ලන්ගීෂ්වරන්ගේ මව්පියන් සමග කොළඹට පැමිණ අධ්‍යාපන කටයුතුවල නියෑළෙමින් සිටියි.

ලන්ගීෂ්වරම්ලා මහන්සියෙන් ගොඩනගා ගත් සියල්ල දැන් ඔවුන්ට අහිමි වී ගොස්‌ය. නැවත ඔවුන්ට ජීවිතය අලුතින්ම පටන් ගැනීමට සිදුව ඇත. බිඳී ගිය කැදැල්ල එක්‌කාසු කර ජීවිතය නැවත අලුතින් පටන් ගැනීමට වව්නියාවට යැමට ලන්ගීෂ්වරම් ද දින ගනිමින් සිටියි. එමෙන්ම ඔහු මෙරට පිළිගත් නීති විද්‍යාලයකින් නැවත නීති විද්‍යාව හදාරා උපාධියක්‌ ලබාගෙන නීතිඥයකු ලෙස රටට සේවය කිරීමට සිහින දකිමින් ද සිටියි. ඔහුගේ සිහින නැවත වරක්‌ ත්‍රස්‌තවාදයේ අළු දූවිලිවලින් වැසී නොයන්නැයි පතමින් අපි ඔහුට සමු දුන්නෙමු.

Read Full Post »


ඔහු හැඩකාරය. කඩවසම්ය. ජව සම්පන්න ඔහු දකුණු ඉන්දියාවේ ඉපදුණා නම් චිත්‍රපට නළුවෙකි. එහෙත් ඔහුගේ අවාසනාවට ඔහු ඉපැද ඇත්තේ යාපනේය. ප්‍රභාකරන්ගේ සිහින තමිල්නාඩුවේය. අවසානයේ ඔහු පාසල් වියේදීම එල්.ටී.ටී.ඊ. කාඩරයෙක්‌ වූයේය. ළමා වියේ සිටම තුවක්‌කු බටය ඔසවාගෙන කාෂ්ටක අව්වේ යුද පුහුණුව ලැබුවද ඔහුගේ ඡවි වර්ණය අවවර්ණ වූයේ නැත. ඔහු ළමා විය පසුකර තරුණ වියට පා තබන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටින සුන්දරම තරුණයකු ලෙසටය. එමෙන්ම ඔහු දක්‍ෂ වෙඩික්‌කරුවෙකි. ඒ දක්‍ෂතාවන් මෙන්ම සිත් වසඟ කරන රූප සොබාව නිසාම ඔහු ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්‍ෂක අංශයට බඳවා ගත්තේය. දැන් ඔහු අප ඉදිරියේය. සේනපුර පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වන ඔහු නෙමි නාදන්ය.

නාදන්ගේ මුල් පදිංචිය යාපනේය. ඔහුගේ පියා ලූනු ගොවියෙකි. මව රැකියාවක්‌ කළේ නැත. ඔහුට සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියක ද සිටියේය. තම පියාගේ ලූනු වගාවෙන් උපයන ආදායමෙන් ඔවුහු කා බී සතුටින් ජීවත් වූහ. අනිත් සහෝදරයන්ට මැදිව නාදන් ද අකුරු ඉගෙනගැනීමට පාසල් ගියේය. ගුරුවරුන්ට කීකරු දක්‍ෂ සිසුවකු වූ නාදන් හත වසරට සමත් විය. “මේක අපේ රට. සිංහලුන් අපේ රට බලෙන් අල්ලගෙන ඉන්නවා. අපි අපේ රට දිනා ගන්න සටන් කරන්න ඕනා. අපි සටන් කරන්නේ දෙමළ ජාතිය වෙනුවෙන්. අපේ රාජ්‍යයක්‌, ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවා ගන්න අපිත් එක්‌ක එකතුවෙන්න” දිනක්‌ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් නාදන් ඉගෙනගත් පාසලට පැමිණ එසේ දේශනයක්‌ පැවත්වූයේය. ඒ වචන පුංචි නාදන්ගේ හදවතට හීසර මෙන් කි¹ බැස්‌සේය. තුවක්‌කු බට අතින් ගෙන මඟතොටේ කරක්‌ ගසන එල්.ටී.ටී.ඊ. කාඩරයන් ද ඒ පුංචි සිතේ වීරයන් වූයේය. “අපිත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳෙමුද? එතකොට අපිටත් පුළුවන් තුවක්‌කු කරේ එල්ලගෙන මේ වගේ බයිසිකල්වල නැගලා යන්න” දිනක්‌ පුංචි නාදන් තම වැඩිමහල් සහෝදරයාට එසේ කීවේය. දැනුම් තේරුම් ඇති නාදන්ගේ සහෝදරයා නිවසට ගොස්‌ තම මල්ලී කියූ දේවල් අකුරක්‌ නෑරම මව්පියන්ට කීවේය. “විකාර කතා නොකිය හොඳට ඉගෙන ගන්න” කියා එදා නාදන්ගේ පියා පුංචි නාදන්ට තරවටු කළේය. මාස තුන හතරක්‌ ගෙවී ගියේය. නාදන්ගේ සිතේ එල්.ටී.ටී.ඊ සංවිධානයට තිබූ කැමැත්ත දලුලා වැඩිණි. පියාගේ දැනමුතුකම් නාදන්ගේ හිත වෙනස්‌ කිරීමට සමත් නොවීය. දිනෙන් දින නාදන්ගේ සිත එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත බැඳුණේaය. දිනක්‌ අනිත් සහෝදරයන් සමග පාසලට ආ නාදන් නැවත නිවසට ගියේ නැත. ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂය එදින විය. තවත් යාළුවන් දෙදෙනකු සමඟ ඔහු එල්.ටී.ටී.ඊ කඳවුරක්‌ වෙතට ගියේය. ඔවුන්ගේ ළමා වියට විරාම තිත තැබිණි. පොත් මිටිය පසෙකට දැමූ ඔවුහු ගිනි අවිය තුරුලට ගත්හ. නැණ පහනින් එළිවෙමින් තිබුණු ඒ ජීවිත අඳුරු වලාවෙන් වැසී යන්නට පටන් ගත්හ. පුංචි මොළ ගෙඩිවලට එල්.ටී.ටී.ඊ ය ත්‍රස්‌තවාදී වෛරී විෂ ඇතුළු කළහ. ඔවුහු උන්මත්තකයෝ වූහ. ලේ නොදැක සිටි ඔවුහු ලේ පිපාසයෙන් පෙළෙන යක්‍ෂයන් බවට පත් වූහ.

ඔවුන්ට විශ්වමඩු එල්.ටී.ටී.ඊ. කඳවුරකදී අවුරුදු දෙකක යුද පුහුණුවක්‌ ලැබිණි. යුද පුහුණුව අතරතුර නාදන් පළමු වරට සටන් බිමට පිවිසෙන්නේ යාපනේ හමුදා කඳවුරක්‌ අල්ලා ගැනීමට එල්.ටී.ටී.ඊ. ය කළ මෙහෙයුමක අත්උදව් කරුවකු ලෙසය.

“පොඩි වයස නිසා අපිව සම්පූර්ණයෙන්ම යුද්ධෙට යෙදෙව්වේ නැහැ. මම එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ වුණේ 1993 වර්ෂයේ. එතකොට මට අවුරුදු 11 යි. ඒ කාලේ තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ සාර්ථකම කාලේ. එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට හොඳට යුද පුහුණුව ලබා දුන්නා. අපිටත් හොඳ යුද පුහුණුවක්‌ දුන්නා. ඒ පුහුණුව අතරතුර යුද මෙහෙයුම්වලට සහායකයන් වශයෙන් ද අපිව ගෙනිච්චා. ඒත් යුද පෙරමුණට දැම්මේ නැහැ. ඒ කාලේ හමුදා කෑම්ප්වලට පහර දුන්නේ හොඳට සැලසුම් කරලා. එහෙම සැලසුම් කරලා කරපු මෙහෙයුම් සේරම ජයග්‍රහණය කළා.”

“එල්.ටී.ටී.ඊ.ය ඒ කාලේ යුද්ධෙටම කියලා වෙනම කණ්‌ඩායමක්‌ පුහුණු කළා. ඒකට මාවත් තෝරගත්තා. අවුරුදු දෙකේ පුහුණුවට අමතරව තවත් මාස හයක අමතර පුහුණුවක්‌ අපට ලබාදුන්නා. ඒ පුහුණුව අවසානයේ තමයි මාව ප්‍රභාකරන්ගේ ස්‌කොඩ් එකට තෝරගත්තේ” නාමි නාදන් එසේ හඬ අවදි කළේය.

ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්‍ෂක අංශයට ඇතුළු වීම ලේසිපහසු කටයුත්තක්‌ නොවේ. ප්‍රියමනාප, කඩවසම් තරුණයකු වීම විශේෂ සුදුසුකමකි. ඕනෑම දෙයක්‌ දරා ගැනීමේ ශක්‌තිය තිබිය යුතුය. යුද පුහුණුවේදී විශේෂ දක්‍ෂතා පෙන්වා තිබිය යුතුය. සියල්ලටම වඩා විශ්වාසවන්තයෙක්‌ම විය යුතුය. මේ සියලුම විශේෂ සුදුසුකම් නාමි නාදන් සම්පූර්ණ කළේය. එහෙයින්ම එල්.ටී.ටී.ඊ සංවිධානය නාදන්ව ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්‍ෂක අංශයට යොමු කළේය. ඒ 2000 වර්ෂයේදීය. ඒ වන විට ඔහු වයස අවුරුදු 18 ක ජවසම්පන්න තරුණයෙකි.

දෙසිය හතළිහකින් යුත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්‍ෂක අංශය විවිධ අංශ කිහිපයකට බෙදා වෙන් කර තිබිණි. නෙමි නාදන් ඒ සෑම අංශයකම රාජකාරි කරමින් අවසානයේ ප්‍රභාකරන්ගේ සමීපතම ආරක්‍ෂක නිලධාරීන් දස දෙනා අතරට ද පැමිණියේය. ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් වසර තුනකින් හෝ පහකින් වෙනත් බළකායන්වලට මාරු කිරීම එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රමවේදයක්‌ වූ බැවින් නාමි නාදන් ද වසර පහක සේවා කාලයකින් පසු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සන්නද්ධ බළකායට මාරු කර හැරියේය.

නෙමි නාදන් වේළුපිල්ලේ ප්‍රභාකරන්ව වසර පහක්‌ වැනි කාලයක්‌ ළඟින්ම ඇසුරු කළ පුද්ගලයෙකි. ප්‍රභාකරන් ආ ගිය තැන්වලට ගිය ඔහු ප්‍රභාකරන්ගේ දින චර්යාව, ගති පැවැතුම් මෙන්ම ඔහුගේ පවුලේ විස්‌තර හොඳින්ම දැන සිටියේය. එහෙයින්ම ප්‍රභාකරන්ගේ චරිතය පිළිබඳ විමසීමට හොඳම කෙනා මොහු යෑයි අපි සිතමු.

“ප්‍රභාකරන් හොඳ මිනිහා. මිනිස්‌සුන්ට උදව් කළා. පුංචි දරුවන්ට ගොඩක්‌ ආදරය කළා. අසරණ මිනිස්‌සුන්ට ගොඩක්‌ උදව් කළා. ‘උඹ බං බොලං’ කියලා මිනිස්‌සුන්ව පහත් කරලා කතා කළේ නැහැ. බොහොම ළෙන්ගතුව මිනිස්‌සුන්ට කතා කරා” නෙමි නාදන් දැකපු ප්‍රභාකරන්ගේ චරිතය එසේ අප ඉදිරියේ විස්‌තර කිරීමට පටන් ගත්තේය. ඔහුගේ කතාවට විරාමයක්‌ තැබීමට ඉඩක්‌ නොතබාම අපි අපේ ප්‍රශ්න පත්තරය මෙසේ දිග හැරුවෙමු.

ප්‍රභාකරන්ට නිවාස කීයක්‌ තිබුණද?

“පුදුකුඩුඉරිප්පු, විශ්වමඩු, කිලිනොච්චියේ ගෙවල් තුනක්‌ තිබුණා”

වැඩි වශයෙන් ජීවත් වුණේ කොහෙ නිවසෙද?

“පුදුකුඩුඉරුප්පු, විශ්වමඩු නිවාසවල තමයි වැඩියෙන්ම හිටියේ. ඉඳල හිටලා කිලිනොච්චියෙත් හිටියා”

ප්‍රභාකරන්ගේ ජීවන රටාව මොන වගෙද?

“උදේ පාන්දර 4 ට විතර නැඟිටිනවා. මූණ කට සෝදගෙන කිරි එකක්‌ බීලා ලෝකෙ විප්ලවීය නායකයන් අළලා ලියෑවුණු පොත් කියවනවා. දෙවැනි ලෝක යුද්ධය සම්බන්ධයෙන් ලියෑවුණු පොත් කියවන්න විශේෂ කැමැත්තක්‌ තිබුණා.”

“පොත් කියවලා ඉවරවෙලා කිලෝමීටර් පහක්‌ විතර ඇවිදලා ව්‍යායාම කරලා ඉවර වෙලා පිස්‌ටල් µයරින් එකක්‌ කරනවා. එහෙම කරලා ටිකක්‌ විවේකීව ඉඳලා නාගෙන උදේ 7. 30 ට විතර කාර්යාලයට යනවා. හැමදාම උදේ ආහාර ගන්නේ කාර්යාලයේදී. ඒ උදේ 8 ට විතර. එයා කෑම කන වේලාවට තව කවුරුහරි එල්.ටී.ටී.ඊ. නායකයෙක්‌ හිටියොත් ඒ අයවත් කෑම මේසෙට එකතු කර ගන්නවා. කෑම අරගෙන ඉවර වෙලා තමයි කාර්යාලයේ වැඩ පටන් ගන්නේ. ලිපි ගොනු පරීක්‍ෂා කරනවා. ගොඩක්‌ වෙලාවට අනිත් එල්.ටී.ටී.ඊ. නායකයන් සමඟ සාකච්ඡා කරන එක තමයි කළේ. ඒ අතර දවසේ පුවත්පත් බලනවා. දවල් 11 ට විතර පලතුරු බීම එකක්‌ බොනවා. හරියටම දවල් 12 ට කෑම කනවා. සවස 3 ට විතර කාර්යාලයෙන් ගෙදර යනවා. ඒ ගිහිල්ලා සමහර දවස්‌වල ‘ස්‌විමින්’ කරන්න µQල් එකට යනවා. එහෙම නැති දවස්‌වලට ගෙදරට වෙලා පොත් කියවනවා. ගොඩක්‌ දවස්‌වල හවස්‌ කාලයට යුද චිත්‍රපට බැලුවා”

එතකොට කාර්යාලය තිබුණෙ කොහේද?

“පුදුකුඩුඉරුප්පු, විශ්වමඩු, කිලිනොච්චි ප්‍රදේශ තුනේම එල්.ටී.ටී.ඊ. ප්‍රධාන කාර්යාල තිබුණා”

ඒ කාර්යාලවල මොනවද කෙරුණේ…

“ඒ තැන්වලදී තමයි නායකයෝ හමු වුණේ. ඒ ඒ කාර්යාලවලට වෙනම සේවකයෝ පත් කරලා තිබුණා. ඔවුන්ට පැවරුණු රාජකාරි තිබුණා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ විස්‌තර ඇතුළත් ලිපි ගොනු තිබුණේ ඒ කාර්යාලවල තමයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධව කෙරුණු සේරම දේවල් කෙරුණේ ඒ කාර්යාලවලදීයි”

ප්‍රභාකරන්ගේ ආරක්‍ෂක අංශයට වාහන කීයක්‌ තිබුණද?

“15 ක්‌ 16 ක්‌ තිබුණා. හයිඒස්‌ වෑන් 3 ක්‌, එකම විදිහට පැජරෝ රථ 6-7 තිබුණා. ඊට අමතරව මෝටර් සයිකල් කිහිපයක්‌ තිබුණා”

ප්‍රභාකරන් කොහේට හරි යන කොට ඒ වාහන ඔක්‌කොම යනවද?

“ඔව්.. පැජරෝ රථ 6 ක්‌ විතර යනවා. ඒ පැජරෝ රථවලින් කොයි එකේ යනවද කියලා දැනගෙන හිටියේ ආරක්‍ෂක අංශයෙත් කිහිප දෙනයි. හයිඑස්‌ වෑන් රථ තුනම යනවා. ඊට අමතරව බයිසිකල් හයක්‌ විතර යනවා”

එතකොට ප්‍රභාකරන්ට නිල වාහන කීයක්‌ තිබුණද?

“වාහන තුනයි.. නමුත් පැජරෝ රථ සේරම එකම වගෙයි”

කොහොමද ඒ වාහන පෙළ ගමන් කළේ…

“මුලින්ම මෝටර් සයිකල් තුනක්‌ යනවා.. ඊට පස්‌සේ හයිඑස්‌ වෑන් දෙකක්‌ යනවා. ඒ යන්නේ දුරින් දුරින්. ඊට පස්‌සේ තමයි අර පැජරෝ රථ ටික එන්නේ. ඒ ආවේත් දුරින් දුරින්. ඒ පිටුපසින් තවත් මෝටර් බයිසිකල් තුනක්‌ ගියා පස්‌සෙන්ම හයිඒස්‌ වෑන් එක ගියා”

ප්‍රභාකරන් සමග තවත් එල්.ටී.ටී.ඊ. නායකයෝ ගියාද?

“ඔව්.. සමහර අවස්‌ථාවල එල්.ටී.ටී.ඊ නායකයන් කිහිපදෙනා ගිය අවස්‌ථා තිබුණා”

ප්‍රභාකරන්ගේ සමීපතම දෙවැනි පෙළ එල්.ටී.ටී.ඊ. නායකයන් කවුද?

“මම දන්න විදිහට නම් කර්නල් සංකර් සහ පොට්‌ටු අම්මාන්. ගොඩක්‌ වේලාවට ප්‍රභාකරන් ගමන් යන කොට ඒ දෙන්නගෙන් එක්‌නෙක්‌ ගියා”

ප්‍රභාකරන්ට සිංහල කතා කරන්න පුළුවන්ද?

“සිංහල කතා කරනවා මම අහලා නැහැ. නමුත් යන්තමට සිංහල කතා කරන්න පුළුවන් කියලා සංවිධානය ඇතුළේ රාවයක්‌ තිබුණා”

ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද?

“සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන්. නමුත් හැම දේකටම භාවිත කළේ දෙමළ භාෂාව”

එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල දෙමළ මිනිස්‌සුන්ට සිංහල කතා කිරීම එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කරලා තිබුණද?

“එහෙම කරලා තිබුණෙ නැහැ. එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල තිබුණු පාසල්වලත් සිංහල ඉගෙනගන්න කැමති ළමයින්ට ඉගෙන ගන්න අවසර දීලා තිබුණා. තෝරාගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසකටත් සිංහල ඉගැන්නුවා”

ඇයි එහෙම කළේ…

“සිංහල දන්න අය නැතුව සිංහල හමුදාව සමග යුද කරන්න බැහැනේ. හමුදාවේ යුද රහස්‌ දැනගන්න සිංහල භාෂාව ගැන දැනුවත් අය ඉන්න ඕනා”

ප්‍රභාකරන්ගේ දරුවන් සහ බිරිඳ හිටියේ ප්‍රභාකරන් එක්‌කද?

“නැහැ. ඒ අය වෙනම හිටියේ…”

ප්‍රභාකරන් එහෙම හිටියේ ඇයි..

“ඒක නම් මම දන්නේ නැහැ..”

එතකොට ප්‍රභාකරන්ගේ පවුලේ අය හිටියේ කොහේද?

“මුල්ම කාලේ හිටියේ පුදුකුඩුඉරිප්පුවල. කිලිනොච්චියේ ගෙදරත් හිටියා. යුද්ධයේ අවසාන කාලේ නම් විශ්වමඩු ගෙදර හිටියෙ. එතැනිනුත් තැන් තැන්වලට ගියා”

ප්‍රභාකරන්ගේ දරුවන්, බිරිඳව දැකලා තියෙනවද?

“ඔව්…”

කතා කරලා තියෙනවද?

“ගොඩක්‌ අවස්‌ථාවල ඒ අයත් එක්‌ක සුහදව කතා කරලා තියෙනවා”

ප්‍රභාකරන්ගේ දරුවෝ තුන්දෙනාම එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවලද හිටියේ…

“ඔව්… තුන්දෙනාම කොහේවත් ගියේ නැහැ. එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල තමයි හිටියේ. ඉස්‌කෝලෙ ගියෙත් එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල තිබුණු පාසල්වල තමයි. ප්‍රභාකරන්ගේ දරුවන්ට හොඳට ඉගෙනගන්න පුළුවන්ලු. ප්‍රභාකරන්ගේ ලොකු පුතා චාල්ස්‌ ඇන්තනී උසස්‌ පෙළ කරලා ඉංජිනේරු පාඨමාලාවක්‌ හදාරලා තියෙනවා”

ප්‍රභාකරන් සති අන්තයට නිවාඩු දැම්මා…
ප්‍රභාකරන්ට දරුවෝ කී දෙනෙක්‌ හිටියද?

තුන්දෙනයි.

ප්‍රභාකරන්ගේ දරුවන්, බිරිඳව දැකලා තියෙනවද?

ඔව්…

කතා කරලා තියෙනවද?

ගොඩක්‌ අවස්‌ථාවල ඒ අයත් එක්‌ක සුහදව කතා කරලා තියෙනවා.

ප්‍රභාකරන්ගේ දරුවෝ තුන්දෙනාම එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවලද හිටියේ…

ඔව්… තුන්දෙනාම කොහේවත් ගියේ නැහැ. එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල තමයි හිටියේ. ඉස්‌කෝලෙ ගියෙත් එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල තිබුණු පාසල්වලට. ප්‍රභාකරන්ගේ දරුවන්ට හොඳට ඉගෙනගන්න පුළුවන්ලු. ප්‍රභාකරන්ගේ ලොකු පුතා චාල්ස්‌ ඇන්තනී උසස්‌ පෙළ කරලා ඉංජිනේරු පාඨමාලාවක්‌ හදාරලත් තියෙනවලු.

එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල තිබුණු පාසල් මොනවද?

කිලිනොච්චි කනිෂ්කා විදුහල සහ බී7 මහ විදුහල ප්‍රධාන ඉස්‌කෝල හැටියට තිබුණේ. තව පොඩි ඉස්‌කෝල දෙක තුනක්‌ තිබුණා.

ඒ පාසල් දෙකෙන් ප්‍රභාකරන්ගේ දරුවෝ මොන පාසලටද ගියේ…

කිලිනොච්චි කනිෂ්කා විදුහලටයි, බී7 මහ විදුහලටයි දෙකටම ගියා.

ප්‍රභාකරන්ගේ දුව ඉගෙනගත්තෙ පිටරටක කියන්නෙ..

නැහැ. එයත් ඉගෙනගත්තේ උතුරෙම තමයි. ප්‍රභාකරන් උතුරේ ජනතාව අමතලා කියනවා ඔයලාගේ දරුවෝ වගෙමයි මගෙ දරුවොත්. ඔයලාගේ දරුවෝ ඉගෙනගන්න පාසල්වලටම තමයි මගේ දරුවෝ යවන්නෙත් කියලා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රභාකරන්ගේ දුවව මොන නමින්ද හඳුනාගෙන හිටියේ…

තුවාරකා කියන නමින්.

ප්‍රභාකරන්ගේ තුන්වැනි දරුවා ආබාධිතයි නේද?

නැහැ එයා හොඳට හිටියා. බාලචන්ද්‍රන් ආබාධිතයි කියලා රාවයක්‌ ඇරියේ ප්‍රභාකරන්ම තමයි. ඉන්දියන් හමුදාව ඉන්න කාලෙත් රාවයක්‌ යවලා තිබුණා බෝම්බ වැදිලා ප්‍රභාකරන්ගේ දුවයි පුතයි නැති වුණා කියලා. ඒවා ඔක්‌කොම බොරු. ප්‍රභාකරන් එහෙම දේවල් කළේ අපේ මිනිස්‌සුන්ගේ අනුකම්පාව දිනාගන්න, සිංහල හමුදාව මුළා කරන්න. ජාත්‍යන්තරේ අනුකම්පාව දිනා ගැනීමේ අරමුණින් තමයි. අන්තිම යුද්ධය වෙනකම් ප්‍රභාකරන්ගේ දරුවන්ට යුද්ධයෙන් කියලා සීරීම් තුවාලයක්‌වත් වෙලා තිබුණෙ නැහැ. බාලචන්ද්‍රන් නිරෝගීමත් ළමයෙක්‌ විදිහට ඉස්‌කෝලවලට ගිහින් හොඳට ඉගෙනගත්තා. එයාට හොඳට ඉගෙන ගන්නත් පුළුවන්ලු.

ප්‍රභාකරන්ගේ දරුවන්ට ඔවුන්ගේ ගමන් බිමන් යැමට නිදහසක්‌ තිබුණද?

මට හිතෙන විදිහට ඔවුන්ට නිදහසක්‌ තිබුණෙ නැහැ. ඒ අය කොහේ ගියත් ගියේ ආරක්‍ෂක නිලධාරීන් එක්‌ක. නමුත් ඒ ළමයි ඉස්‌කෝලවලට ගියේ කිසිම ආරක්‍ෂාවක්‌ නැතිව සාමාන්‍ය දරුවන් විදිහටයි. ඒ ඉස්‌කෝලවල සර්ලා, මිස්‌ලා දැනගෙන හිටියෙත් නැහැ මේ ප්‍රභාකරන්ගේ දරුවෝ කියලා. ඉස්‌කෝලවලට යන්න ප්‍රභාකරන්ගේ දරුවන්ට වෙනම ආරක්‍ෂාවක්‌ ඕන වුණේ නැහැ. මොකද එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල තිබුණු ප්‍රධාන පාසල් දෙකට උපරිම ආරක්‍ෂාවක්‌ එල්.ටී.ටී.ඊ.ය ලබා දීලා තිබුණා.

ඒ ඉස්‌කෝලවලට ළමයි භාර දෙන්න අම්මා, තාත්තම ඕනා කියලා නීතියක්‌ තිබුණෙ නැහැ. මේ ළමයා මෙයාගේ මේ ළමයා අරයාගේ කියලා වෙන් කිරීමක්‌ තිබුණෙත් නැහැ. හැම ළමයෙක්‌ම එකම අම්මගේ කියලා හිතලා උගන්වන්න කියලා තමයි ප්‍රභාකරන් ඒ ඉස්‌කෝලවල ගුරුවරුන්ට උපදෙස්‌ දීලා තිබුණෙ.

ප්‍රභාකරන් තම පවුලට ආදරය කළාද?

ඔව්. මොන දේවල් තිබුණත්, එයාගෙ දරුවෝ ගැන බිරිඳ ගැන හොඳින් සොයා බැලුවා. ඒ වගේම අම්මා, තාත්තා, තම සහෝදරයන් ගැනත් හොයලා බැලුවා. දරුවන්ට ගොඩක්‌ ආදරෙයි. එයා කෑම කන්න ඉස්‌සරවෙලා ගෙදරට කතා කරලා දරුවෝ කෑවාද කියලා සොයා බලලා තමයි කෑම කාලා තියෙන්නෙ.

ඒ වගේම තමයි අනිත් දරුවන්ටත් ගොඩක්‌ ආදරය කළා. අම්මා, තාත්තා නැති දරුවන්ව බලාගන්න වෙනම අනාථ කඳවුරු හදලා තිබුණා. ඒවා සම්පූර්ණයෙන්ම නඩත්තු කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්. ප්‍රභාකරන් නිරන්තරයෙන්ම ඒ කඳවුරුවලට ගිහින් ඒ ළමයින්ගේ දුක, සැප සොයා බැලුවා. ඒ දරුවන්ව වඩාගෙන කතා බහ කරනවා මම දැකලා තියෙනවා. ඇඳුම්, පැළඳුම්, කෑම බීමවලින් ඒ ළමයින්ට කිසිම අඩුවක්‌ කළේ නැහැ. ඉස්‌කෝලවලට යවලා ඉගෙන්නුවා. ඒ ළමයින්ට තිබුණෙ අම්මා, අප්පා නැති අඩුව විතරයි.

මසට හදන කුකුල්ලු වගේ ඒ ළමයි උස්‌ මහත් වුණහම එල්.ටී.ටී.ඊ. සංවිධානයට බඳවා ගත්තද?

ඔව්… ගොඩක්‌ දෙනෙක්‌ එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුණා.

එතකොට අනාථ කඳවුරු කීයක්‌ තිබුණද?

දෙකක්‌ තිබුණා.

ඒ කඳවුරු දෙකේ ළමයි කී දෙනෙක්‌ විතර හිටියද?

350 ක්‌ විතර හිටියා.

ප්‍රභාකරන්ගේ මව්පියෝ සමග කතා කරලා තියෙනවද?

එකම දවසක්‌ කතා කරලා තියෙනවා.

ඒ අය හිටියේ කොහේද?

කිලිනොච්චියේ වෙනම ගෙදරක හිටියේ.

ප්‍රභාකරන් අම්මා අප්පා බලන්න ගියේ නැද්ද?

හැම මාසෙකම ඒ ගෙදරට ගිහින් එයාලගේ සැප දුක්‌ බැලලා ආවා.

ප්‍රභාකරන්ගේ සහෝදරයෝ උතුරෙත් හිටියද?

නැහැ. ප්‍රභාකරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය පටන් ගත් අවධියේම ඒ අය වෙනත් රටවලට ගියාලු.

ප්‍රභාකරන් ඒ අයත් එක්‌ක සම්බන්ධතා තියාගෙන හිටියද?

ඒ අය නිතරම කතාබහ කරනවා කියලා ප්‍රභාකරන්ගේ නිවසේ වැඩ කරපු අය කියනවා.

ප්‍රභාකරන්ගේ සහෝදරයෝ විදේශගත වූවාට පසු උතුරට ආවේ නැද්ද?

නැහැ..

එතකොට ප්‍රභාකරන් ඒ අයව බලන්න ඒ රටවලට ගියාද?

එහෙම දන්නෙ නැහැ. මම දන්න විදිහට ප්‍රභාකරන් විදේශගත වෙලා නැහැ.

ප්‍රභාකරන්ගේ දරුවෝ, බිරිඳ රට සවාරි ගියද?

දන්න විදිහට නම් නැහැ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට තිබුණු ගුවන් යානාවලින් ප්‍රභාකරන් ගමන් ගියාද?

නැහැ… මම දන්න විදිහට ඒ ගුවන් යානාවලින් ප්‍රභාකරන් කොහේටවත් ගියේ නැහැ.

එල්.ටී.ටී.ඊ. යේ ගුවන් යානා ඔබ දැකලා තියෙනවද?

මම දැකලා තියෙනවා..

එල්.ටී.ටී.ඊ. සංවිධානයට ගුවන් යානා කීයක්‌ තිබුණද?

හතරක්‌ තිබුණා.

ප්‍රභාකරන් පිහිනීම් සඳහා වැඩි කැමැත්තක්‌ තිබුණලු. ඒ සඳහා ප්‍රභාකරන්ටම වෙන්වුණු පිහිනුම් තටාක තිබුණලු නේද?

ස්‌විමින් පූල් කිහිපයක්‌ම තිබුණා. නමුත් ඒවා ප්‍රභාකරන්ට ස්‌විමින් කරන්නම කියලා වෙන් කරලා තිබුණෙ නැහැ. ස්‌විමින් පූල් හදන්න ප්‍රධානම හේතුව මුහුදු කොටි බළකායේ පුහුණුවීම්වලට වගේම ජල ක්‍රීඩා කරන ළමයින්ට පුහුණුවීම්වල යෙදෙන්නයි.

පිහිනුම් තටාක කීයක්‌ විතර තිබුණද?

විශාල පූල් 4 ක්‌ විතර තිබුණා. තව සාමාන්‍ය පූල් කිහිපයකුත් තිබුණා.

ප්‍රභාකරන්ගේ නිවාසවලට මොන වගේ ආරක්‍ෂාවක්‌ද තිබුණෙ…

ආරක්‍ෂක වළලු කිහිපයක්‌ යටතේ සතෙකුටවත් ඇතුල් වෙන්න බැරි විදිහට පූර්ණ ආරක්‍ෂාවක්‌ දීලා තිබුණා.

ඒ වගේම ඒ නිවාස ඉහළට නොපෙනෙන විදිහට ගස්‌ වැල්වලින් ආවරණය කරලත් තිබුණා. ප්‍රභාකරන් ඒ ගෙවල්වල ඉන්නකොට ගොඩක්‌ වේලාවට හිටියේ ගෙවල් ඇතුළෙ තිබුණු භූගත කාමරවල. ඒ කාමරවලට අවශ්‍ය උපරිම පහසුකම් තිබුණා.

ප්‍රභාකරන් හිටපු හැම නිවසකම වගේ නිවස හතර පැත්තේ සෙල් හතරක්‌ තියෙනවා. (කූඩු හතරක්‌) ඒ සෙල්වලට උදේට එක්‌කෙනා ගානේ ආරක්‍ෂක නිලධාරීන් හතර දෙනෙක්‌ව ඇතුළට දාලා සෙල් වහනවා. ඒ අයගේ අතට දීලා තිබුණෙ සුපිරි ආයුධ. වටේටම වෙඩි තියන්න පුළුවන් විදිහට ඒ සෙල්වල වටේට කපොලු තියලත් තිබුණා. ඒ කූඩුවල ඉන්න අයට කෑම බීම සියලුම දේ ඒ කූඩුවලටම දුන්නා. ඒ කූඩුවලට දැම්මෙත් ප්‍රභාකරන්ට විශ්වාසවන්තම ආරක්‍ෂක නිලධාරීන් හතර දෙනෙක්‌ තමයි.

ප්‍රභාකරන් තමන්ගේ විශ්වාසවන්තම නිලධාරීන්ව බල්ලෝ බළලු වගේ කූඩු කරලා තිබුණෙ මොකද?

ප්‍රභාකරන් හැම දෙයක්‌ දිහාම බැලුවේ සැකයෙන්. ප්‍රභාකරන්ගේ නිවස ඇතුළට ගත්තේ, නිවසේ වැඩට ගත්තේ එයාට බොහෝම ලෙන්ගතුයි කියලා හිතෙන පුද්ගලයන්ව විතරයි. ආරක්‍ෂක අංශයේ 240 ක්‌ හිටියට ඒ ඔක්‌කොටම ප්‍රභාකරන් සමග කතා කරන්න, ප්‍රභාකරන්ගේ නිවසට යන්න බැහැ. ප්‍රභාකරන් සමහර වෙලාවට කියනවා දුර ඉන්න හතුරට වඩා ළඟ ඉන්න මිතුරගෙන් ආරක්‍ෂා වෙලා ඉන්න ඕනා කියලා.

ප්‍රභාකරන් ඕනෑම දෙයක්‌ කෑමට පෙර එයාගේ ආරක්‍ෂක අංශයේ නිලධාරියෙක්‌ කන්න ඕන කියන්නේ ඇත්තද?

ඔව්.. ප්‍රභාකරන් කෑමක්‌ ගන්න පැය භාගයට පෙර කෑම පරීක්‍ෂක අංශයේ ප්‍රධානියා කන්න ඕනා. ඊට පස්‌සෙ තමයි ප්‍රභාකරන් කෑම කෑවේ. ඒ වගේම තමයි එයා ඉන්න නිවසෙන් හෝ පවුලෙ අනිත් අය ඉන්න නිවසට ගියහම ඒ නිවසෙන් කෑවා ඇරෙන්න වෙනත් තැන්වලින් වතුර එකක්‌වත් බීවේ නැහැ.

ප්‍රභාකරන් කෑම ගන්න තැන්වල ඔබ ඉඳල තියෙනවද?

සමහර වේලාවට ඉඳලා තියෙනවා.

ප්‍රභාකරන් කෑම කෑවේ පාලනයක්‌ සහිතවද?

මුලදී නම් ඕනෑම දෙයක්‌ කෑවා. මොනවහරි අලුත් කෑමක්‌ හදන හැටි පොතකින්, සඟරාවකින් දැක්‌කම එයාම හදාගෙන කන අවස්‌ථා තිබුණා. එහෙම කෑමක්‌ හදපු දවසට නම් එදාට ස්‌කොඩ් එකේ ඉන්න සේරටම චුට්‌ට චුට්‌ට හරි දෙනවා. එයාගේ එහෙම දේවල් තිබුණා. ගොඩක්‌ වෙලාවට එහෙම කෑම වර්ග හදලා කන්නෙ දරුවන් ඉන්න ගෙදරට ගිය විට.

එතකොට ප්‍රභාකරන් දරුවන් ඉන්න නිවසට යන්නෙ මොන වගේ අවස්‌ථාවලදීද?

සෑම සති අන්තයකම ප්‍රභාකරන් දරුවොත් එක්‌ක ඉන්නෙ. සිකුරාදා ඔµsස්‌ එකෙන් පිටවෙලා කෙලින්ම යන්නෙ දරුවෝ බිරිඳ ඉන්න ගෙදරට. නැවත සඳුදා තමයි ප්‍රභාකරන් ඉන්න ගෙදරට එන්නෙ. ඒ සෙනසුරාදා ඉරිදා දවස්‌ දෙකේදී දරුවන් එක්‌ක බොහෝම සතුටින් ගත කරනවා. බෝට්‌ටු සවාරි යනවා. දරුවොත් එක්‌ක පූල් එකකට බැහැලා පැය ගණන් සෙල්ලම් කරනවා. දරුවන් කැමති කෑම හදලා දෙනවා. ඒ දවස්‌ දෙක ගත කරන්නෙ පොඩි ළමයෙක්‌ වගේ තමයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිසිම දෙයක්‌ ගැන ඒ දවස්‌ දෙකේදි හොයන්නෙ බලන්නේ නැහැ. සමහර වේලාවට දුරකථන පවා ඕµa කරලා තියෙන අවස්‌ථා තිබුණා.

ඔබ දැකපු විදිහට ප්‍රභාකරන් වැඩියෙන්ම ආදරය කළේ පවුලේ කාටද?

පවුලේ හැම කෙනෙකුටම එයා ගොඩක්‌ ආදරය කළා. නමුත් අපිට දැනුණු විදිහට නම් ප්‍රභාකරන් එයාගේ දුවට වැඩි ලෙන්ගතුකමක්‌ තිබුණා.

ඔබ කිව්වා ප්‍රභාකරන් මුලදී ඕනෑම කෑමක්‌ කෑවා, පස්‌සේ කෑවේ නැහැ කියලා. ඇයි එහෙම කළේ…?

කාලයක්‌ යද්දී ප්‍රභාකරන්ට දියවැඩියාව, කොලෙස්‌ටරෝල්, දෙකම තදින්ම ආවා. එක දවසක්‌ හාට්‌ ඇටෑක්‌ එකකුත් හැදිලා හොස්‌පිට්‌ල් එකටත් ඇතුළු කරලා තිබුණා. පස්‌සේ ප්‍රභාකරන් බොහෝ විට කෑම පාලනයක්‌ ඇතුව තමයි කෑවෙ බීවේ. මුලදි මස්‌ මාළු හොඳට කෑවා. පස්‌සෙ මස්‌ කෑම සම්පූර්ණයෙන්ම නතර කරලා ඉඳලා හිටලා මාළු කෑල්ලක්‌ කෑවා. වැඩියෙන්ම කෑවේ එළවළු, පලතුරු වර්ග තමයි. මුල ඉඳලාම පලතුරුවලට ප්‍රභාකරන්ගේ වැඩි කැමත්තක්‌ තිබුණා.

දියාවැඩියා රෝගයට වගේම කොලෙස්‌ටරෝල්වලට ප්‍රභාකරන් දිගටම බෙහෙත් ගත්තද?

මම දන්න විදිහට අවසාන යුද්ධය වෙනකම්ම ප්‍රභාකරන් ඔය රෝග දෙකටම බෙහෙත් බිව්වා. ඒ වගේම එයාට විශ්වාසවන්තම ඩොක්‌ටර් කෙනෙකුත් එයත් එක්‌කම හිටිය.

ප්‍රභාකරන්ගේ බිරිඳ කොහොම චරිතයක්‌ද?

ඕනෑම කෙනෙක්‌ එක්‌ක හිනා වෙලා කතා කරන ප්‍රියමනාප කෙනෙක්‌. අපේ සංවිධානයේ ගොඩක්‌ සාමාජිකයන් එයාට බොහෝම ගරු කළා. තනිකරම එයාගේ ජීවිතේ ගෙවිලා ගියේ දරුවොත් එක්‌කම තමයි. ඒ වගේම තමයි එයා ප්‍රභාකරන්ට ගොඩක්‌ ආදරය කළා. ප්‍රභාකරනුත් එයාට ගොඩක්‌ ආදරය කළා. ප්‍රභාකරන්ගේ බිරිඳට ලොකු විශ්වාසයක්‌ තිබුණා ප්‍රභාකරන් යුද්ධය ජයග්‍රහණය කරයි කියලා. ඒත් එහෙම වුණේ නැහැනේ. යුද්ධෙ අවසාන කාලෙ නම් දුවවයි, පොඩි දරුවවයි මොහොතකටවත් එයාගෙන් ඈත් කළේ නැහැලු. මැරෙනවා නම් තුන්දෙනාම එකට මැරෙමු කියලා එයා ළඟින්ම දරුවෝ දෙන්නව තියාගෙන හිටියලු.

ප්‍රභාකරන්ට අනියම් ප්‍රේම සම්බන්ධතා තිබුණද?

එහෙම දේවල් තිබුණා කියලා එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළේ විවිධ කතා පැතිර ගියා.

එතකොට එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යැම තහනම් කර තිබුණා නේද?

මුලින් එහෙම නීතියක්‌ තිබුණා. පස්‌සේ ඒ නීති වෙනස්‌ වුණා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය කාලෙන් කාලෙට එහෙම ප්‍රතිපත්ති වෙනස්‌ කළාද?

එහෙම දෙයක්‌ නෙමෙයි. අපේ සාමාජිකයන්ට ආදරය කරන්න අවසර දුන්නා.

ප්‍රභාකරන් එක පාරටම ප්‍රතිපත්ති වෙනස්‌ කරමින් ආදරයට දමා තිබූ තහංචි වෙනස්‌ කළේ ඇයි..?

ප්‍රභාකරන්ට ආදරය කරන්නට ඕනා වෙන්න ඇති.

එතකොට ප්‍රභාකරන්ට මොනවහරි කරන්න අවශ්‍ය වූ විට එල්.ටී.ටී.ඊ. යේ ප්‍රතිපත්ති වෙනස්‌ වුණාද?

සමහර වෙලාවට එහෙම වුණා.

ඒ කියන්නේ ප්‍රභාකරන් එක ප්‍රතිපත්තියක ඉඳලා නැහැ…?

එහෙම කියන්න බැහැ. කාලෙන් කාලෙට සමහර ප්‍රතිපත්ති වෙනස්‌ කරන්න වෙනවා නේ.

යුද්ධයේ අවසාන කාලෙ ඔබ ප්‍රභාකරන්ගේ ආරක්‍ෂක අංශයේ හිටියද?

නැහැ. එතකොට මම ආරක්‍ෂක අංශයෙන් ඉවත් වෙලා සන්නද්ධ අංශයට එකතු වෙලා හිටියේ.

එතකොට යුද්ධයේ අවසාන කාලේ ඔබ ප්‍රභාකරන්ව දැකල තියෙනවද?

ඔව්… මම දැකලා තියෙනවා.

ඒ දවස්‌වල ප්‍රභාකරන් හැසිරුණේ කොහොමද, ඔහුගේ ස්‌වරූපය කෙබඳුද?

යුද්දෙ අවසාන කාලෙ එයාගේ රූපය ගොඩක්‌ වෙනස්‌ වුණා. අවසාන යුද්ධයෙ මුල් කාලේදී නම් ප්‍රභාකරන්ට ලොකු විශ්වාසයක්‌ තිබුණා කොහේ හරි රටකින් ඇවිත් එයාව බේරගෙන යයි කියලා. එයාට විතරක්‌ නෙමෙයි එල්.ටී.ටී.ඊ. නායකයෝ හැමෝටම වගේ ඒ විශ්වාස තිබුණා. පස්‌සෙ ඒ බලාපොරොත්තු ඉටු නොවෙන කොට මරණ බිය කියන දේ ප්‍රභාකරන්ගේ මුහුණින් හොඳට පෙනුණා. ප්‍රභාකරන් මැරෙන්න බය මිනිහෙක්‌ කියලා අපි දැනගත්තේ අන්තිමට. එල්.ටී.ටී.ඊ. නායකයෝ එකාට එකා නැති වුණා. කවුරු කවුරුත් බැලුවේ කෙහොමහරි පණ බේරගන්න තමයි.

ඔබට හිතෙන විදිහට ප්‍රභාකරන් කිසිදාක නොහිතපු ඉරණමක්‌ ඔහුට අත් වුණේ ඇයි…?

මොනව වුණාද කියලා තවමත් හිතාගන්න බැහැ. එල්.ටී.ටී.ඊ.යේ මුල් කාලයේදී එල්.ටී.ටී.ඊ. නායකයන් එකා වගේ සිටියත්, පසු කාලීනව ඔවුන් අතර විවිධ මතභේද ඇති වුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ විනාශයට ඒ මතභේද ගොඩක්‌ බලපෑවා කියලා තමයි අපේ අය කියන්නෙ. “නායකයෝ සැප ගන්නවා. අපි දුක්‌විඳිනවා” කියලා අපේ සාමාජිකයන් අතරත් ලොකු කලකිරීමක්‌ ඇති වෙලා තිබුණා. ඒ දේවල්ම තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානය නැති වෙන්න ප්‍රධානම හේතු වුණේ.

දැන් ඔබට සිංහල හමුදාව ගැන මොන වගේ හැඟීමක්‌ද තියෙන්නෙ…?

මම විතරක්‌ නෙමෙයි උතුරේ අපේ මිනිස්‌සු සේරම සිංහල හමුදාව ගැන හිතාගෙන හිටිය විදිහ වැරැදියි. මම මේ කඳවුරේ හිටිය කාලය තුළ සිංහල හමුදාව ගැන හොඳට තේරුම් ගත්තා. එල්.ටී.ටී.ඊ. නායකයෝ කිව්වේ සිංහල හමුදාව මිනීමරුවෝ කියලා. නැහැ. සිංහල හමුදාකාරයා ළඟ උතුම් හදවතක්‌ තියෙනවා. ඒක තේරුම් ගන්න ඒ අයත් එක්‌ක ඉන්නම ඕනා.

නෙමි නාදන්ගේ කතාව අවසානය. දැන් අපි මොහොතක්‌ කතා කරමු.

නෙමි නාදන් විවාහකය. දරුවන් දෙදෙනකුගේ පියෙකි. දරුවන් දෙදෙනා සමග ඔහුගේ බිරිඳ දැන් කිලිනොච්චියේ පදිංචිව සිටී. එමෙන්ම නාදන්ගේ දරුවෝ කිලිනොච්චියේ පාසලක අකුරු උගනමින් ද සිටිති. ඔහු තව නොබෝ කාලයකින් නිදහස්‌ වී කුමක්‌ හෝ ව්‍යාපාර කටයුත්තක නියෑළෙමින් තම දරුවන් සමග නිදහසේ ජීවත් වීමට ඇඟිලි ගනිමින් ද සිටියි.

නාදන් දක්‍ෂ වෙඩික්‌කරුවකු වුවද, කාලයක්‌ ගිනි අවිත් සමග ජීවත් වෙමින් ලේ පිපාසයෙන් දිව ගිය එල්.ටී.ටී.ඊ කාඩරයකු වුවද නැවත ආයුධ අතට ගැනීමට තුන්හිතකවත් නැති බව ඔහු අප ඉදිරියේ සපථ කළේය. සේනපුර පුනරුත්ථාපන කඳවුරේ ගත කළ ජීවිතය පුරාවට ඔහුගේ සිතේ පැල්පැදියම් වී තිබූ වෛරය, ප්‍රචණ්‌ඩත්වය වෙනුවට දැහැමි සිතුම් පැතුම්වලින් සිත පුරවා ගනිමින් ඔහු අලුත් මිනිසකු වූ බව ද පවසා සිටියේය. ඔහු තව තවත් ගුණදම්වලින් පිරිපුන් මිනිසෙක්‌ම වේවායි අපිදු පතමු.!

Read Full Post »