Feeds:
Posts
Comments

Posts Tagged ‘තිස්‌ස රත්නායක’

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ
නිලධාරීන් අතර ඔහු ප්‍රසිද්ධව සිටියේ “යුද්දේ” යන අනවර්ථ නාමයෙන්ය. තිස්‌ස රත්නායක මහතාට ඒ අනවර්ථනාමය පටබැඳුණේ ඔහු යුද්ධය තම ජීවිතය කරගෙන සිටි නිර්භීත නිලධාරියකු වීම නිසාය.

අන්සියල්ලටම දෙවැනි තැන ලබාදී රට, ජාතිය බේරා ගැනීමේ උදාර කාර්යය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ ඒ උදාර විරුවා පොලිස්‌ විශේෂ කාර්ය බළකායට මහත්වූ ආඩම්බරයක්‌ එක්‌ කළ නිලධාරියකු විය. 2000 වර්ෂයේ අරලගංන්විල දී සිදුවූ ත්‍රස්‌ත ප්‍රහාරයකින් ඒ මහතා ජීවිතය පූජා කළේය.

1987 වර්ෂය වනවිට තිරික්‌කෝවිල් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේ තිස්‌ස රත්නායක මහතාය. එවකට තිරික්‌කෝවිල් කඳවුරේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා ලෙස කපිල ජයසේකර මහතා රාජකාරි කළේය. යාපනය ටික්‌කම්හි බෝම්බ පිපිරීමෙන් බරපතළ තුවාල ලබා සිටි කපිල ජයසේකර මහතා සුවය ලැබීමෙන් පසු නැවතත් විශේෂ කාර්ය බළකායට එක්‌ව සිටියේය.

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ සියලුම ත්‍රස්‌ත කණ්‌ඩායම් අභිබවායමින් එල්. ටී. ටී. ඊ. සංවිධානය ඉතාම ප්‍රබල තත්ත්වයකට පත්වෙමින් සිටියේ මේ කාලසීමාවේදීය.ඒ වනවිට නැගෙනහිර පළාතේ ප්‍රධානම පෙළේ ත්‍රස්‌ත කණ්‌ඩායම් 5 ක්‌ ක්‍රියාත්මක වෙමින් පැවැතිණි. ඊ. පී. ආර්. එල්. එµa., ටෙලෝ, ඊ රෝස්‌, ප්ලොට්‌ සංවිධාන නැගෙනහිර පළාතේ සිය බලය ව්‍යාප්ත කරගෙන සිටියද එල්. ටී. ටී. ඊ. සවිධානයෙන් ඔවුන් වෙත එල්ල වූයේ දැඩි තර්ජනයකි.

ඔවුන් සිය ප්‍රතිවිරුද්ධ ත්‍රස්‌තවාදී කණ්‌ඩායම්වල නායකයන් සහ සාමාජිකයන් ඝාතනය කිරීමට පටන් ගත්තේ එල්. ටී. ටී. ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නියෝග මතය. ඒ වනවිට නැගෙනහිර පළාතේ එල්. ටී. ටී. ඊ. නායකයා ලෙස කටයුතු කළේ ඩේවිඩ්ය.ඩේවිඩ්ගේ නියෝග මත ප්‍රතිවිරුද්ධ දෙමළ සංවිධානවල සාමාජිකයන් විශාල පිරිසක්‌ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් අතින් ඝාතනයට ලක්‌විය. එල්. ටී. ටී. ඊ. ය නැගෙනහිර පළාතේ ප්‍රබලම ත්‍රස්‌ත සංවිධානය බවට පත්කිරීමට අවශ්‍ය සියලු දේ ක්‍රියාත්මක කිරීමට පසුබට වුණේ නැත.

මේ කාල සීමාව වන විට කන්චිකුඩිච්චිආරු ඝන වනාන්තරය ත්‍රස්‌තවාදීන්ගේ තෝතැන්නක්‌ බවට පත්ව තිබිණි. ත්‍රස්‌ත කණ්‌ඩායම් පහකට අයත් කුඩා ප්‍රමාණයේ කඳවුරු වනාන්තරය මධ්‍යයේ පිහිටා තිබුණේ ඉතාම රහසිගත ස්‌ථානවලය.
එල්. ටී. ටී. ඊ. සංවිධානය ගෙනයමින් තිබූ ආත්මාර්ථකාමී ප්‍රතිපත්තිය අනෙකුත් ත්‍රස්‌ත සංවිධානවල දැඩි දොaෂදර්ශනයට ලක්‌ වෙමින් තිබිණි. එම ත්‍රස්‌ත සංවිධාන එල්. ටී. ටී. ඊ. ය කෙරෙහි මොනතරම් වෛරයකින් පසු වූයේ ද යත් ඔවුහු ආරක්‍ෂක අංශ වෙත එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිළිබඳව ඔත්තු ලබා දීමට පවා පෙළඹී සිටියහ.

මේ තත්ත්වය පොලිස්‌ විශේෂ කාර්ය බළකායට දැඩි වාසිසහගත තත්ත්වයක්‌ ගෙන දුන්නේය. බුද්ධි අංශ සාමාජිකයෝ සිය රාජකාරිය අකුරටම ඉටු කළහ. විරුද්ධ ත්‍රස්‌තවාදී කණ්‌ඩායම්වලින් ලබාගත් තොරතුරු මත එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු විශාල වශයෙන් සිදු කිරීමට විශේෂ කාර්ය බළකාය සමත් වූහ.

තිරික්‌කෝවිල් ප්‍රදේශයේදී ප්‍රබල පෙළේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදියකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හැකි වූයේ ඔය අතරදීය. යෝගරාජා නමැති මේ ත්‍රස්‌තවාදියා සතුව එල්. ටී. ටී. ඊ. සංවිධානයේ පණිවුඩ හුවමාරු යන්ත්‍රයක්‌ද තිබිණි.යෝගරාජාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කීරීම් ඇරැඹිණි. කන්චිකුඩිච්චිආරු වනාන්තරය තුළ නිර්මාණය වෙමින් පවතින එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් පිළිබඳව ඉතාම වැදගත් තොරතුරු රැසක්‌ යෝගරාජා හෙළි කළේය.

ත්‍රස්‌තවාදියා සතුව තිබී සොයාගත් පණිවුඩ හුවමාරු යන්ත්‍රයට සවන් දීමෙන් එල්. ටී. ටී. ඊ. කඳවුරු පිහිටා තිබෙන ස්‌ථාන පිළිබඳවද වැදගත් තොරතුරු ලබා ගැනීමට විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්ට හැකි විය.කන්චිකුඩිච්චිආරු කැලේ එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් මර්දනය නොකළොත් අපිට ඉදිරියේදී ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.
තිරික්‌කෝවිල් කඳවුරේ අණදෙන නිලධාරි පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස රත්නායක මහතා සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළේ ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් කිරීම සඳහාය. ඉතාම ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින එල්. ටී. ටී. ඊ. බලය සුන්නද්දූලි කිරීම සඳහා කන්චිකුඩිච්චිආරු ඝන වනාන්තරයේ දැවැන්ත මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මතු වෙමින් තිබිණි.

එවකට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා වූ ලයනල් කරුණාසේන මහතාගෙන්ද මෙම මෙහෙයුම සඳහා අනුමැතිය ලැබී තිබිණි.මෙහෙයුම සඳහා සියලු සැලසුම් සකස්‌ කළේ තිරික්‌කෝවිල් අණදෙන නිලධාරි තිස්‌ස රත්නායක සහ එහි නියෝජ්‍ය අණදෙන නිලධාරි කපිල ජයසේකර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේය.

1987 වර්ෂයේ ජූනි 27දා කන්චිකුඩිච්චිආරු ඝන වනාන්තරයට ඇතුළු වී එල්. ටී. ටී. ඊ. කඳවුරු විනාශ කිරීමේ දැවැන්ත මෙහෙයුම සඳහා සියලුම සැලසුම් සකස්‌ කෙරිණි.මෙහෙයුම සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු 30 දෙනෙකු සූදානම් වූහ. ඊට නායකත්වය දීම සඳහා එක්‌ව සිටියේ තිස්‌ස රත්නායක මහතාය. මෙම මෙහෙයුම සඳහා එවකට කීර්තිමත් දක්‍ෂ තරුණ නිලධාරීහු රැසක්‌ම සූදානමින් සිටියහ.

පොලිස්‌ පරීක්‍ෂක කපිල ජයසේකර මෙහෙයුමේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කිරීමට සූදානම් වූයේය. එවකට උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වූ අජිත් සිල්වා (අම්පාර 5 කණුව ප්‍රදේශයේදී සිදුවු බිම්බෝම්බ පිපිරීමකින් දිවි පිදුවේය.) විදානගම (ඇමැති අෂ්රොµa මහතා සමග හෙලිකොප්ටර් යානා අනතුරින් ජීවිතක්‌ෂයට පත්වූයේය.) උපාලි සිල්වා (හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා වෙත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්වූයේය.) දසනායක (තිරික්‌කෝවිල් ප්‍රදේශයේදී ත්‍රස්‌ත ප්‍රහාරයකින් දිවි පිදුවේය.) සහ ලයනල් ගුණතිලක (වර්තමානයේ හැටන් පොලිස්‌ අධිකාරිවරයා ලෙස කටයුතු කරයි.) යන අභීත නිලධාරීහුද මෙම මෙහෙයුමට එක්‌ව සිටියහ.

කන්චිකුඩිච්චිආරු ඝන වනාන්තරයට ඇතුළු වීම ඉතාම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බව තිස්‌ස රත්නායක මහතා මෙන්ම සෙසු නිලධාරීහුද දැන සිටියහ. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ කඳවුරුවලට අමතරව තවත් ත්‍රස්‌ත කණ්‌ඩායම් 4 කට අයත් කඳවුරු වනාන්තරයේ පිහිටා තිබීම තත්ත්වය තව තවත් දරුණු කළේය. ඒ ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අරමුණු ඇතිව තිස්‌ස රත්නායක මහතා ඇතුළු නිලධාරීහු මෙහෙයුමට සූදානම් වූහ. දින දෙකකට පමණ අවශ්‍ය ආහාරපාන ඔවුහු සූදානම් කර ගත්හ. ප්‍රහාර සඳහා සුළු අවි, බර අවි මෙන්ම බෝම්බ රැගෙන යැමට උපදෙස්‌ ලැබී තිබිණි.

කන්චිකුඩිච්චිආරු ඝන වනාන්තරය මධ්‍යයේ විශාල ප්‍රමාණයේ වැවක්‌ විය. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රධානම කඳවුර පිහිටා තිබෙන්නේ මෙම වැව ආසන්නයේ බව බුද්ධි තොරතුරු මගින් විශේෂ කාර්ය බළකාය සොයාගෙන තිබිණි. මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරගෙන සිටියේ අලුයම් කාලයේදීය. මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතව තිබූ දිනට පෙර දින තිස්‌ස රත්නායක මහතා සියලුම නිලධාරීන් කැඳවා ඔවුන්ට උපදෙස්‌ ලබාදීමට ක්‍රියා කළේය.

මේක බොහොම අවදානම් තත්ත්වයේ මෙහෙයුමක්‌. අපි හැම මොහොතකම අවදියෙන් සිටිය යුතුයි. කැලෑවට ඇතුළු වුණාම අපි ටෙරොරිස්‌ට්‌ලා ගෙ ඉලක්‌ක වෙනවා.මෙහෙයුම භාර නිලධාරියා ලබාදුන් උපදෙස්‌ ඉතාම වැදගත් විය. ඒ වනවිට විශේෂ කාර්ය බළකායට අලුතින් එක්‌ව සිටි තරුණ නිලධාරීන් තිස්‌ස රත්නායක මහතාගෙන් උගත් පාඩම් බොහෝය.”අපි පුළුවන්තරම් පාන්දර මේ ඔපරේෂන් එක පටන් ගන්න ඕනේ. එහෙම ගියොත් සිවිල් මිනිස්‌සුන්ටයි ඉන්ෙµdaමන්ලටයි (ඔත්තුකරුවන්) නොදැනෙන්න අපිට කැලේට ඇතුළු වෙන්න පුළුවන්. අපි එන බව ටෙරොරිස්‌ට්‌ලා කලින් දැන ගත්තොත් අපේ මහන්සියේ ප්‍රතිඵල හරියාකාරව ලබාගන්න අපට බැරිවෙනවා.

තිස්‌ස රත්නායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පසුදා අලුයම 3.00 ට පමණ මෙහෙයුම ආරම්භ කෙරිණි. ඩිපෙන්ඩර් ජීප් රථවල නැගුණු නිලධාරීහු කන්චිකුඩිච්චිආරු වනාන්තරය ආසන්නයට ගමන් කර ඉන් බැසගත්හ. පසුව ඔවුහු පා ගමනින්ම ඉදිරියට ගමන් කළහ. කොන්චනඩකුඩා සහ සංගමන්කන්ද ප්‍රදේශ අතරින් වූ ස්‌ථානයකින් ඔවුන් කන්චිකුඩිච්චිආරු වනාන්තරයට ඇතුළු වනවිට අලුයම 5.30 පමණ වී තිබිණි.කණ්‌ඩායම් තුනකට බෙදුණු විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ඝන වනාන්තරය මැදින් ඉදිරියට ගමන් කරන්නට වූහ. කන්චිකුඩිච්චිආරු ඝන වනාන්තරයේ රූස්‌ස ගස්‌ අතරින් අරුණලු උදාවෙමින් තිබිණි.

ත්‍රස්‌තවාදීන් කුමන ස්‌ථානයක සැඟවී සිටින්නේදැයි කිසිවකු දැන සිටියේ නැත. කුමන මොහොතක හෝ තමන් වෙත ප්‍රහාරයක්‌ එල්ලවන බව පමණක්‌ ඔවුහු දැන සිටියහ. ඉදිරියට තබන සෑම පියවරක්‌ පියවරක්‌ පාසාම මරණයේ අඳුරු සෙවණැලි හොල්මන් කරන්නට විය.එහෙත් තිස්‌ස රත්නායක ඇතුළු නිලධාරීන් කිසිවකු ඉන් සැලුණේ නැත. ඔවුහු නොබියව සිය ඉලක්‌කය වෙත ගමන් කරන්නට වූහ. පැය දෙකකට ආසන්න කාලයක්‌ වනාන්තර මැදින් එක සීරුවට ගමන් කළ නිලධාරීහු වැව්තාවුල්ල ආසන්නයට පැමිණියහ.වැව් බැම්මට නුදුරින් එල්. ටී. ටී. ඊ. කඳවුරක්‌ පිහිටා තිබෙන බව විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු කලින්ම දැන සිටියහ. එහෙත් ත්‍රස්‌තවාදියකු පෙනෙන තෙක්‌මානයේ නැත. කඳවුරක සේයාවක්‌ද නැත.

අපි කොයි එකටත් සූදානමින් ඉමු. එල්. ටී. ටී. ඊ. කාරයො බොහොම භයානකයි. උන් කොහේ හරි හැංගිලා ඇති.
කොයිතරම් ආරක්‍ෂක ක්‍රමවේද අනුගමනය කරමින් කැලෑවට ඇතුළු වුවත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු තමන්ට ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා පැමිණ සිටින බව එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ දැන සිටියහ.කන්චිකුඩිච්චිආරු එල්. ටී. ටී. ඊ කඳවුරේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ඩේවිඩ්ය. ඔවුහු විශේෂ කාර්ය බළකාය වෙත ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සූදානම් වූහ.ගතවූයේ නිමේෂයකි. මුළු වනාන්තරයම දෙදරුම් කවමින් විශේෂ කාර්ය බළකාය වෙත ත්‍රස්‌තවාදීන්ගෙන් ප්‍රහාර එල්ලවන්නට විය. සුළු අවි මෙන්ම එල්. එම්. ජී. ගිනි අවිවලින් පිටවූ ගිනිපුලිඟුවලින් මුළු වනාන්තරයම ආලෝකවත් විය. විනාඩි 15 – 20 ක්‌ යනතුරුම ත්‍රස්‌තවාදීහු නොනවත්වාම ප්‍රහාර එල්ල කරන්නට වූහ.

ප්‍රහාර එල්ලවීමත් සමඟම ආරක්‍ෂිත ස්‌ථාන වෙත ගිය විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ.එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් සියයකට වැඩි පිරිසක්‌ කඳවුර තුළ වූහ. පැය දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ මේ බිහිසුණු සටන ඇවිළී ගොස්‌ තිබිණි. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ක්‍රමක්‍රමයෙන් සිය වෙඩි බලය වැඩි කරන්නට වූහ. එම ප්‍රහාරවලට මුහුණදීම ත්‍රස්‌තවාදීන්ට ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවීය.

ඔවුහු එකා දෙන්නා පසුබසින්නට වූහ. පැයක්‌ ගතවන්නට පෙර ත්‍රස්‌තවාදීන් සිය කඳවුරද අතහැර දමා කන්චිකුඩිච්චිආරු වනාන්තරයට වැදී සැඟවී ගියේ සිය ජීවිත ආරක්‍ෂා කරගැනීම සඳහාය.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු කෙමෙන් කෙමෙන් කඳවුර දෙසට ඇදෙන්නට වූහ. කඳවුර භූමිය පුරා ත්‍රස්‌තවාදීන්ට අයත් අවි ආයුධ ඇතුළු නොයෙකුත් බඩුබාහිරාදිය පිපිරී ගොස්‌ තිබිණි.ප්‍රහාරයට ලක්‌ව තුවාල ලැබූ ත්‍රස්‌තවාදින්ගේ සිරුරුවලින් ගලා ගිය රුධිරයෙන් කඳවුර භූමිය තෙත්ව ගොස්‌ තිබිණි.එහෙත් මියගිය තුවාල ලැබූ එකදු ත්‍රස්‌තවාදියකු හෝ කඳවුර භූමියේ සිටියේ නැත. ඔවුන් සියලු දෙනාව සෙසු සාමාජිකයන් විසින් ආරක්‍ෂිත ස්‌ථානවෙත ගෙන ගොස්‌ තිබිණි.

කන්චිකුඩිච්චිආරු ඝන වනාන්තරයේ තිබූ ප්‍රධානම පෙළේ එල්. ටී. ටී. ඊ. කඳවුර අත්පත් කරගත් පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එහි ඉදිකර තිබූ නිවාස සහ අනෙකුත් ඉදිකිරීම්වලට ගිනි තබා විනාශ කළහ.මේ සියලු සිදුවීම් ගලායද්දී හතර අතින් ඝන අන්ධකාරය පැතිර යමින් තිබිණි.

මේ වෙලාවේ අපි ආපසු යන එක හොඳ නැහැ. කොටි දැන් මරුවිකලෙන් ඉන්නෙ. ඒ නිසා අපි හෙට උදේම තව ටිකක්‌ ඉදිරියට යන්න බලාගෙන මෙතන නතර වෙමු. (එදින රාත්‍රිය වනාන්තරයේ ගත කිරීමට තිස්‌ස රත්නායක මහතා තීරණය කළේය.රාත්‍රිය ඉතාම බියකරු විය. පලා ගිය ත්‍රස්‌තවාදීන් කොයි මොහොතක හෝ පැමිණ තමන්ට ප්‍රහාරයක්‌ එල්ල කරති යන සැකයෙන් සියලුම නිලධාරීහු නිදිවර්ජිතව රැය පහන් කළහ.අනාරක්‍ෂිත වනාන්තරය මැද රාත්‍රිය පහන් කරද්දී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට කිසිදු බියක්‌ දැනුණේ නැත. හිමිදිරි පාන්දර ඇතිවූ සීතල ඔවුන් පීඩාවක්‌ කර ගත්තේ නැත. සියළුම දුක්‌ කම්කටොලු විඳ දරාගෙන සිටියේ රට, ජාතිය බේරා ගැනීමේ උදාර කාර්යය පෙර දැරි කරගෙනය.

කන්චිකුඩිච්චිආරු වනාන්තරයේ ඇති ත්‍රස්‌ත කඳවුරු විනාශ කිරීමේ මෙහෙයුම පසුදා අලුයම නැවතත් ක්‍රියාත්මක කෙරිණි. ඝන වනාන්තරය හරහා ගමන් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවීය. එහෙත් සිය ඉලක්‌කයන් ජය ගැනීම සඳහා යන ඒකායන පරමාර්ථයෙන් නිලධාරීහු සියලු දෙනා ඉදිරියට ගමන් කළහ.

පැයකට ආසන්න කාලයක්‌ නොනැවතී ඉදිරියට යද්දී නැවතත් ත්‍රස්‌තවාදීහු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙත ප්‍රහාර එල්ල කරන්නට වූහ. එම ප්‍රදේශයේ තවත් කඳවුරක්‌ තිබෙන බව හඳුනාගත් නිලධාරීහු ත්‍රස්‌තවාදීන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ.දරුණු සටන් ඇති වී අඩහෝරාවක්‌ පමණ ගතවිණි. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එල්ල කළ ප්‍රහාරවලට මුහුණ දීගත නොහැකි වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ පැන දුවන්නට වූහ. නිලධාරීන්ද ඔවුන් පසුපස පන්න පන්නා ප්‍රහාර එල්ල කළේ ත්‍රස්‌තවාදීන් අන්දමන්ද කරමින්ය. මියගිය සහ තුවාල ලැබූ ත්‍රස්‌තවාදීන්ද රැගෙන සෙසු සාමාජිකයෝ කැලෑවේ සැඟවුණහ. එම ප්‍රදේශයේ පිහිටුවා තිබූ ත්‍රස්‌ත කඳවුරද ගිනි තබා විනාශ කළ විශේෂ කාර්ය බළකායේ තිස්‌ස රත්නායක මහතා ඇතුළු නිලධාරීහු සෝදිසි මෙහෙයුමක්‌ද ක්‍රියාත්මක කළහ.

අපි අදට මෙතනින් නතර කරමු. තව දවසක අපි මීට වඩා ලොකු ඔපරේෂන් එකක්‌ කරමු.තිස්‌ස රත්නායක මහතා සිය සහෝදර නිලධාරීන්ට කීවේය. ත්‍රස්‌තවාදීන් සොයා ඉදිරියට යැම නතර කළ නිලධාරීහු තමන් පැමිණි මාර්ගය ඔස්‌සේ ආපසු යැමට පිටත් වූහ. ඔවුන් කන්චිකුඩිච්චිආරු වැව ආසන්නයට එද්දී දහවල උදාවී තිබිණි. මෙහෙයුම නිමා කිරීම නිසා සෑම නිලධාරියකුම සිටියේ තරමක සැහැල්ලුවෙන්ය.

එහෙත් සිදුවූයේ අනපේක්‍ෂිත දෙයකි. වැව් ඉවුර ඈතින් සැඟවී සිටි එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීහු විශාල පිරිසක්‌ එක්‌වරම විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙත ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත්හ.නොසිතූ මොහොතක එල්ලවූ ප්‍රහාරයෙන් නිලධාරීහු අන්දමන්ද වූහ. කණ්‌ඩායමේ ඉදිරියෙන්ම ගමන් කළ කොස්‌තාපල් වර්ණකුලසූරිය වෙඩි ප්‍රහාරයකට ලක්‌ව වැව් තාවුල්ලේ ඇද වැටිණි.ඔහු වේදනාවෙන් කෑගසන්නට වුවේය. නොනවත්වාම ප්‍රහාර එල්ල වෙමින් තිබූ නිසා කිසිදු නිලධාරියකුට වර්ණකුලසූරිය වෙත ළඟාවීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී තිබිණි. වේදනාවෙන් කෑගසන සිය සගයා කෙසේ හෝ බේරා ගැනීම කළයුතු විය. වර්ණකුලසූරියගේ හොඳම මිතුරා වූයේ කොස්‌තාපල් විමලරත්න නොනවත්වා එල්ල වන ප්‍රහාර ගණනකට නොගත් විමලරත්න බිමදිගේ බඩගාගෙන ගොස්‌ වර්ණකුලසූරිය සමීපයට ගියේය.

මම ඔයාව කොහොමහරි බේරගන්නවා. ඔයා කිසිදේකට බය වෙන්න එපා විමලරත්න සිය මිතුරාගේ සිත සනසන්නට උත්සාහ කළේය. ඒ සමගම ත්‍රස්‌තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයක්‌ විමලරත්නගේ සිරුර විනිවිද ගියේය. එය ගණනකට නොගත් විමලරත්න බරපතළ තුවාල ලබා විලාප නගමින් සිටි සිය කල්‍යාණ මිතුරා බිමදිගේ ඇදගෙන ගොස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිටි ස්‌ථානයට පැමිණියේය.

ඒ වන විට මෙම ප්‍රහාරය පිළිබඳව තිරික්‌කෝවිල් කඳවුර වෙත දැනුම් දීමට තිස්‌ස රත්නායක මහතා කටයුතු කර තිබිණි.
කලබල වෙන්න එපා මම චොපර් එකක්‌ මෙහාට ගෙන්න ගන්න දැනුම් දුන්නා. අපි වර්ණකුලසූරියව චොපර් එකෙන් හොස්‌පිට්‌ල් එකට අරිමු.තිස්‌ස රත්නායක මහතා කීවේය. බිහිසුණු සටන නොනවත්වාම සිදුවෙයි. කැලෑවේ සිටි සියලුම එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් එක්‌ ස්‌ථානයකට පැමිණ ප්‍රහාරය එල්ල කරන බව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වැටහී තිබිණි. මරාගෙන මැරෙනවා හැරෙන්න කළ යුතු වෙනත් යමක්‌ නොමැති බව කවුරුත් තේරුම් ගෙන සිටියහ.

බරපතළ තුවාල ලබා ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් සිටි වර්ණකුලසූරිය සිය මිතුරාගේ උකුලේ හිස තබාගෙන කෙඳිරි ගෑවේය.මචං මම ජීවත්වෙන එකක්‌ නැහැ. මම නැති උණොත් මගේ පවුලම අනාථයි. අම්මයි, තාත්තයි හුඟාක්‌ වයසයි. නංගියේ අනාගතේ ගැන බලන්න කෙනෙක්‌ නැහැ. මම නැති උණාම ඒ හැම දෙයක්‌ම උඹ බලාගන්න ඕනේ.
වර්ණකුලසූරිය කෙඳිරි ගාමින් සිය කල්‍යාණ මිතුරා වූ විමලරත්නට කීවේය.

උඹ මගේ සහෝදරයෙක්‌. කිසිදේකට බය වෙන්න එපා. ඒ හැම දෙයක්‌ම මම බලා ගන්නම් ඉස්‌සර වෙලා අපි හොස්‌පිට්‌ල් එකට යමු. විමලරත්න කීවේය. වර්ණකුලසූරියගේ සිරුරෙන් අධික ලෙස රුධිරය වහනය වෙමින් තිබිණි. හෙලිකොප්ටර් යානය කන්චිකුඩිච්චිආරු වනාන්තරයට ආවේ සෑහෙන වේලාවක්‌ ප්‍රමාද වීය. යානයේ නියමුවන් ලෙස කටයුතු කළේ රුසියානු ජාතිකයන් දෙදෙනෙකි. දැවැන්ත ප්‍රහාර එල්ලවෙද්දී ඔවුහු හෙලිකොප්ටර් යානය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ආසන්නයට පහත් කළහ.බරපතළ තත්ත්වයෙන් සිටි වර්ණකුලසූරිය සහ තුවාල ලැබූ විමලරත්න හෙලිකොප්ටර් යානයට ඇතුළු කළේ ඔවුන් හැකි ඉක්‌මනින් රෝහල කරා රැගෙන යැමටය.

පැය කීපයක්‌ තිස්‌සේ පැවැති බිහිසුණු ගැටුම හමාර වූයේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ජයග්‍රහණය හිමිකර දෙමින්ය. ත්‍රස්‌තවාදීන් පළා ගියේ තුවාලකරුවන්ද රැගෙනය. කන්චිකුඩිච්චිආරු වනාන්තරයේ සිය සාර්ථක මෙහෙයුම නිමා කළ තිස්‌ස රත්නායක. කපිල ජයසේකර ඇතුළු අභීත නිලධාරීන් තිරික්‌කෝවිල් කඳවුරට එද්දී එය එකම මළගෙයක්‌ වී තිබිණි.අසාධ්‍යය තත්ත්වයෙන් සිටි වර්ණකුලසූරිය රෝහල් ගත කිරීමට රැගෙන යද්දී අතරමගදී ඔහු ජීවිතයෙන් සමුගෙන තිබිණි.

ඔහුගේ අහිමි වීම මුළු කඳවුරම කම්පාකරවනසුලු සිදුවීමක්‌ විය. වර්ණකුලසූරියගේ වියෝව දරාගත නොහැකිව ඔහුගේ කල්‍යාණ මිතුරාවූ විමලරත්න හඬා වැටුණේය. වර්ණකුලසූරියගේ උපන් ගම බදුල්ල ප්‍රදේශයට ඔහුගේ සිරුරු රැගෙන ගියේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින්ය. කන්චිකුඩිච්චිආරු බිහිසුණු ගැටුමේ අතුරු කථාව පටන් ගත්තේ එතැන් සිටය.ඔහුගේ පවුලේ සාමාජිකයෝ ඉතාම දුෂ්කර ජීවිතයක්‌ ගත කරමින් සිටියහ. තම මිතුරාගේ අවසාන ඉල්ලීම විමලරත්නගේ සිතේ දෝංකාර දෙන්නට විය. ඔහු තම මිතුරා වෙනුවෙන් කළ හැකි උසස්‌ම පරිත්‍යාගය කිරීමට සූදානම් වූයේය.

“මගේ පවුල බලා ගනින්. උන් අසරණයි. වර්ණකුලසූරිය අවසන්වරට කියූ වදන් විමලරත්නගේ සිතේ හොල්මන් කරයි.
මම උඹලාව බලා ගන්නවා. ඒ ඉල්ලීම අකුරක්‌ නෑර ඉෂ්ට කරනවා. විමලරත්න සිත දැඩි කර ගත්තේය.
වර්ණකුලසූරියගේ අවසන් කටයුතු පොලිස්‌ ගෞරව මධ්‍යයේ සිදු කෙරිණි. ඔහුගේ මහලූ මව්පියන් හඬා වැටුණේ ඔවුන්ට අනාගතයක්‌ ගැන සිහින මැවීමට නොහැකි නිසාය.වර්ණකුලසූරියගේ නැගණිය අන්ත අසරණ වී සිටියාය. පවුලේ එකම ගැලවුම්කාරයා වූ සිය සොහොයුරා අහිමි වීම ඇයට දරාගත නොහැකි සිදුවීමක්‌ විය. අවමඟුල් කටයුතු අවසන් වී දින කීපයක්‌ ගතවෙද්දී වර්ණකුලසූරියගේ කල්‍යාණ මිතුරාවූ විමලරත්න ඔහුගේ නිවස වෙත ආවේය.

අම්මේ ඔයාගේ පුතා නැති වුණා කියලා දුක්‌වෙන්න එපා. අද ඉඳලා මම ඔයාලගෙ පුතා වෙනවා. අනාගතේ ගැන ඔයගොල්ලො බයවෙන්න එපා.

සිය පුත්‍රයාගේ මිතුරා ඉෂ්ට දේවතාවකු මෙන් පෙනී සිටීම මහලු දෙමාපියන්ටත් නැගණියටත් ගෙන දුන්නේ මහා ශක්‌තියකි. වසර කීපයක්‌ ගෙවී ගියේය. ඒ වනවිට විමලරත්නත් වර්ණකුලසූරියගේ නැගණියත් අතර ප්‍රේමසම්බන්ධතාවක්‌ ගොඩ නැගී තිබිණි.

මම ඔයාව කසාද බඳිනවා. එතකොට ඕගොල්ලන්නට කිසිම ප්‍රශ්නයක්‌ වෙන්නේ නැහැ. අයියාගේ අන්තිම ඉල්ලීමත් මට ඉෂ්ටකරන්න ලැබෙනවා.

විමලරත්න සිය පෙම්වතියට කීවේ දෙපාර්ශ්වයේම ආශිර්වාදය මැද මේ විවාහ මංගල්‍යයට දින නියම කර ගත්තේය. ඒ 1989 වර්ෂයේ එක්‌තරා දිනයකි. විමලරත්නගේ නිවස පිහිටා තිබුණේ මාවනැල්ල පොලිස්‌ වසමේ මාකෙහෙල්වල ප්‍රදේශයේය. විවාහ මංගල්‍යය කෙරුණේ මාකෙහෙල්වල නිවසේය.

මේ කාල සීමාව වන විට රට පුරා මහා භීෂණකාරීත්වයක්‌ පැතිර ගොස්‌ තිබිණි. දේශප්‍රේමී සංවිධාන විසින් දකුණේ දියත්කර තිබූ භීෂණය මුළු රටම වෙළාගෙන තිබිණි.

විමලරත්නගෙත් වර්ණකුසූරියගේ නැගණියගේත් මංගල උත්සවය චාම් අන්දමින් කෙරිණි. ඔවුන් දෙදෙනා මංගල රාත්‍රිය ගත කිරීමට හෝටල්වලට ගියේ නැත. එදින රාත්‍රිය මාකෙහෙල්වල නිවසේම ගත කිරීමට ඔවුහු යොදා ගත්හ. එහෙත් එදින රාත්‍රියේ සිදුවූයේ මහපොළොව නුහුලන අපරාධයකි. එදින අලුයම 1.00 ට පමණ මාකෙහෙල්වල නිවසට කඩා වැදුණු දේශප්‍රේමී සංවිධානයක පිරිසක්‌ විමලරත්න නිවසින් පිටතට ඇදගෙන ගියහ.

වර්ණකුලසූරියගේ නැගණිය විලාප නගන්නට වූවාය.

අනේ මේ ඉන්නේ අපිට ජීවිතේ දුන්න දෙවියා. එයාට මොකුත් කරන්න එපා.

මහලු මව්පියන්ටත් නැගණියටත් දෙවියකු වූ විමලරත්න ඔවුන්ගේ දැස්‌ ඉදිරිපිටදීම දේශප්‍රේමී තරුණයන් පිරිසක්‌ විසින් වෙඩිතබා ඝාතනය කළේ ඉතාම කෲර ආකාරයටය.

රට, ජාතිය බේරාගැනීමේ උදාර කාර්යයට අතගසා දිවිහිමියෙන් කටයුතු කළ විමලරත්න දේශෙද්‍රdaහියකු යෑයි කියමින් ඝාතනය කිරීම මොනතරම් පාපතර ක්‍රියාවක්‌ද?

වර්ණකුලසූරියගේ මහලු මව්පියන්ට ඔහු පුත්‍රයකු විය. නැගණියට සොහොයුරකුවූ ඔහු පසුව ඇගේ අනාගතය භාර ගත්තේ මිතුරාගේ ඉල්ලීමට ගරු කරමින්ය. එහෙත් අවසානයේ සිදුවූයේ කව්රුත් නොසිතූ මහා ඛේදවාචකයකි.

හේමන්ත රන්දුණු

Advertisements

Read Full Post »

Advertisements