Feeds:
Posts
Comments

Posts Tagged ‘පොලිස් අධිකාරි ලාසිරාන් අසන්’

හිටපු පොලිස් අධිකාරි  ලාසිරාන් අසන් කියන කතාව

පොලිස් විශේෂ කාර්ය බළකායේ පළමු කඳවුර පිහිටුවා ඇත්තේ 1984 වසරේ සැප්තැම්බර් මාසයේ කල්අඩි ප්‍රදේශයේදී සහකාර පොලිස් අධිකාරී එම්.කේ. ඉලංගකෝන් මහතාගේ මූලිකත්වයෙනි.  

දෙවැනි කඳවුර පිහිටුවා තිබෙන්නේ කලවංචිකුඩි ප්‍රදේශයේය.  

1984 වසරේම අග භාගයේ පොලිස් විශේෂ කාර්ය බළකායට පොලිස් කොස්තාපල්වරුන් බඳවාගෙන ඔවුන්ට පුහුණවීම් ලබාදීම ආරම්භ කර ඇත්තේද මේ බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන්ගේ මාර්ගෝපදේශය යටතේය. පොලිස් කොස්තාපල්වරුන්ට පුහුණුවීම් ලබාදීමට ලාසිරාන් අසන් මහතා ඇතුළු උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙක්ද බ්‍රිතාන්‍ය විශේෂඥයන්ට සහාය ලබාදුන්හ.  ඉන්පසු යළිත් අසන් මහතා සක්‍රීය සේවය සඳහා කොටි ක්‍රියාකාරකම් පැවති ප්‍රදේශවලට රාජකාරි සඳහා යොමුකර තිබේ

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘ රවි ජයවර්ධන මහතා එල්ටීටීඊයට එරෙහිව සැලසුම් කළ ප්‍රහාරයක් ගැනත් ඒ සඳහා අසන් මහතා සහාය වූ ආකාරය ගැනත් මතකය අවදි කළේ මේ අන්දමිනි.  ඒ වෙනකොට මම රාජකාරි කළේ මඩකලපුව කලවංචිකුඩි කඳවුරේ. 1985 වසරේ සැප්තැම්බර් මාසයේ දවසක එරාවුර් පොලිසියට කොටි ත්‍රස්තයන් දරුණු ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 10 දෙනෙක් විතර මියගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා. ත්‍රස්තවාදීන් පොලිසියේ තිබුණ අවි ආයුද පවා පැහැරගෙන ගොස් තිබුණා.  එරාවුර් පොලිසියට ප්‍රහාර එල්ල කර නිලධාරීන් මරා දමා තවත් නිලධාරින් රැසකට තුවාල සිදුකර පොලිසියේ අවි ආයුද පැහැරගෙන ගිය කොටි කල්ලියට ප්‍රහාරයක් එල්ල කර ඔවුන් විනාශ කිරීමට රවි ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ සැලැස්මක් සකස්කර තිබෙනවා. දැන් විශ්‍රාම ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහත්තයාගේ නායකත්වයෙන් තමා ඒ ප්‍රහාරය දියත් කිරීමට කටයුතු යොදා තිබුණේ.

කලවංචිකුඩි එස්.ටී.එෆ්. කඳවුරේ රාජකාරියේ යෙදී ඉන්න අතරවාරයේ අපිට පණිවිඩයක් ආවා පසුදින අලුයම මඩකලපුව ගුවන්හමුදා කඳවුරට එන්න කියා. ඒ අනුව අපි කණ්ඩායමක් මඩකලපුව ගුවන් හමුදා කඳවුරට ගියා. එතකොට තමා අපිට පැවරිලා තිබුණ රාජකාරිය ගැන දැනගත්තේ. කතරගම පැත්තේ ඉඳලා හෙලිකොප්ටර් යානා හයක් විතර ආවා. අපි ඒ හෙලිකොප්ටර් යානාවලට ගොඩවුණා. එරාවුර් පොලිසියට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් මඩකලපුව පිල්ලුමලේ ප්‍රදේශයේ කැලෑවේ කඳවුරු බැඳගෙන ඉන්නවා කියා බුද්ධි තොරතුරු වලින් හෙළිකරගෙන තිබෙනවා.

හෙලිකොප්ටර් යානා වලින් පිල්ලුමලේ ප්‍රදේශයට ගොස් ගුවනේ සිට ඒ ප්‍රදේශයේ පිහිටි කොටි අඩවියට ගොඩබැස එක්වරම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. කොටි ත්‍රස්තවාදීන් රැසක් මරා දමා එරාවුර් පොලිසියෙන් පැහැරගෙන ගිය අවි ආයුධ තොගයෙන් කොටසක්ද අත්පත් කරගෙන නිරුපද්‍රිතව කොටි අඩවියෙන් පිටතට පැමිණීමට අප කණ්ඩායම සමත්වුණා. මෙය සතුරා විස්මිත කළ ප්‍රහාරයක් ලෙස හඳුන්වන්න පුළුවනි යැයි විශ්‍රාමික පොලිස් අධිකාරි ලාසිරාන් අසන් මහතා කිව්වේ සිනාසෙමිනි.

මෙම සාර්ථක ප්‍රහාරයෙන් ටික වේලාවකට පස්සේ රවී ජයවර්ධන මහත්තයා එස්.ටී.එෆ්. නිල ඇඳුමකින් සැරසී වෙපන් එකක්ද අතැතිව හෙලිකොප්ටර් යානයකින් ආවා. රවි ජයවර්ධන මහත්තය අපි සියලුදෙනාට අතට අත දීලා සුබපැතුවා’ ඔහුගේ මේ පැමිණීම අපිට ලොකු ධෛර්යයක් වුණා. ඇත්තෙන්ම අපට මේ වගේ සාර්ථක ක්‍රියාන්විතයක් කරන්න හැකියාව ලැබුණේ අපි ලබා තිබුණ පුහුණුවීම් නිසයි. ඕනෑම දෙයකට හොඳින් ඔරොත්තුදීමේ හැකියාව එස්.ටී.එෆ්’ නිලධාරීන්ට තිබෙනවා. දැන් අපි හිටිය කාලයටත් වඩා හොඳ පුහුණුවක් එස්.ටී.එෆ්. එකට ලබාදෙනවා යැයි විශ්‍රාමික පොලිස් අධිකාරී අසන් මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විවිධ උපක්‍රම යොදාගනිමින් ප්‍රධානපෙළේ දේශපාලනඥයන් ඝාතනය කිරීමට පටන්ගත් පසු එම ඝාතන වළක්වා ගැනීමට හා ඒවාට සාර්ථකව මුහුණදීමේ අරමුණ ඇතිව පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයක් ආරම්භ කරනු ලැබීය.  1987 වසරේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් තෝරාගෙන ඔවුන්ට ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදී ඇත.

එය පළමු පුහුණු පාඨමාලාව විය.

ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරීන් තෝරා ගැනීමට කලින් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව, ඉලක්කයට වෙඩි තැබීමේ හැකියාව හා ක්ෂණික ප්‍රතික්‍රියා දැක්වීමේ වේගය පරීක්ෂා කර බලා ඒවාට සමත්කම් දක්වන නිලධාරීන් පමණක් මේ සඳහා බඳවාගෙන තිබේ.

පුහුණු කාලය සති 10 කි.

දෙවන පාවුළු පාප්වහන්සේ ශ්‍රී ලංකාවට 2015 වසරේ වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවූයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී අතුල දවුලගල මහතාටය.

පොලිස් අධිකාරි දවුලගල මහතා ඇ​ෙමරිකා එක්සත් ජනපදයේ ​ෙජා්ර්ජියාවලදී ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලබා ඇති නිලධාරියෙකි.  ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාය.  ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පළමු අධ්‍යක්ෂවරයා වන්නේද ලෙව්කේ මහතාය.  පොලිස් විශේෂ කාර්ය බළකායේ වත්මන් අණදෙන නිලධාරී ලතීෆ් මහතාද එක්සත් රාජධානියේදී ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුවීමක් ලැබ 1989 වසරේ සිට 1992 වසර දක්වා ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව ක්ෂණික ප්‍රතික්‍රියා කණ්ඩායමක් ස්ථාපිත කරනු ලැබුවේ 1996 වසරේදීය.

පවනට බඳු වේගයකින් ධාවනය වන යතුරුපැදියක සිට ඉලක්කයට වෙඩි තැබීමට හැකියාව ඇති නිලධාරීන් 24 දෙනෙකු පුහුණු කිරීමෙන් පසු මෙම ඒකකයට මුලින්ම බඳවාගනු ලැබිණි.  එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියා බහුලවශයෙන් සිදුවෙමින් පැවති වකවානුවේ එම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සාර්ථකව මුහුණදීමට විශේෂ අවි හා උපක්‍රම (SWAT) ඒකකයක් පොලිස් විශේෂ කාර්ය බළකායට ආරම්භකර ඇත්තේ 2005 වසරේදීය.

ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම, සමීප සටන් ක්‍රම ගැනද විශේෂ පුහුණුවක් මෙම ඒකකයේ නිලධාරීන්ට ලබාදෙන අතර පැරෂුට් කුසලතාව වර්ධනය කිරීමට ඒ ගැනද පුහුණුවක් ලබාදෙනු ඇත.  ඕනෑම ආකාරයක අවදානම් තත්ත්වයකට අතිශය සාර්ථක ලෙස මුහුණදීමට අවශ්‍ය පුහුණුව මනා ලෙස ප්‍රගුණ කර ඇති මෙම ඒකකයේ නිලධාරීන්ට විදේශවල සිට පැමිණෙන ප්‍රභූවරුන්ට හා ක්‍රීඩා කණ්ඩායම්වල ආරක්ෂාව සැපයීමද අයත්ය.

බියගම නිදහස් වෙ​ෙළඳ කලාපයේ කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් එහි විධායක ශ්‍රේණිවල නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටියදී එම නිලධාරීන් මුදවාගැනීම හා තංගල්ල බන්ධනාගාරය තුළ 2002 වසරේදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටියදී ඔවුන් මුදවාගැනීමට ගියේද පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම විසිනි.  තංගල්ල බන්ධනාගාර කැරැල්ල මැඩ පැවැත්වීමට ගිය එම කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ එවකට සහකාර පොලිස් අධිකාරී තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පසුකාලයක උසස්වීම් ලබා විශ්‍රාම ගිය අමරසිරි සේනාරත්න මහතා විසිනි.

අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරියේ ජාත්‍යන්තර නිතිරීති අනුගමනය කරමින් විකිරණශීලී ද්‍රව්‍ය ආරක්ෂාකාරීව ප්‍රවාහනය කිරීමේ වගකීම ඇත්තේද මෙම විශේෂ අවි හා උපක්‍රම ඒකකයේ නිලධාරීන් වෙතය.

මාලදිවයින රජයේ ඉල්ලීමකට අනුව එරට පොලිස් කණ්ඩායමකට විශේෂ අවි හා උපක්‍රම පිළිබඳව පුහුණුවීම් ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ අවි හා උපක්‍රම ඒකකයේ පුහුණු උපදේශකයන් විසිනි.

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ ප්‍රථම වතාවට එම බළකායේ නිලධාරීන් කණ්ඩායමකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදාවේ සේවය කිරීමට යාමට අවස්ථාවක් උදා විය.

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවේ රාජකාරි සඳහා 2004 වසරේ එහි ගියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහතා සහ සහකාර පොලිස් අධිකාරී අතුල දවුලගල යන මහත්වරුන් දෙදෙනා වෙති.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතා පොලිස් විශේෂ කාර්ය බළකාය වෙනුවෙන් අනගි මෙහෙවරක් ඉටුකර මේ වනවිට කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයසුන්දර මහතා නීතිඥයෙකු ද වේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී ආර්.එම්. විමලරත්න සහ පොලිස් පරීක්ෂක ඩී.ජී.එම්. චින්තක යන මහත්වරුන් 2015 වසරේදී ජෝර්දානය බලා ගොස් ඇත්තේ විශේෂ පුහුණුවීම් ලබාගැනීමටය.

ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 32 ක් නියෝජනය කරමින් මෙම විශේෂ පුහුණු පාඨමාලාව සඳහා සහභාගි වූ අතර මෙය ඉතා කටුක හා අතිශය දුෂ්කර පුහුණුවීමක් වී ඇත්තේ අධික උෂ්ණත්වයක් සහිත කාන්තාරයක පුහුණුවීම් ලබාදුන් නිසාය.

මෙම විශේෂ පුහුණු පාඨමාලාව මාස දෙකක් පුරා පැවති අතර මෙහිදී විමලරත්න මහතා අතිශය දක්ෂ පුහුණුවන්නෙකු ලෙස තේරී ඇත්තේ අපේ මව්බිමට අභිමානයක්ද ගෙනදෙමිනි.

ඒ කාලයේ විමලරත්න මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයේ සිටි අයෙකි.

විමලරත්න සහ චින්තක යන පොලිස් විශේෂ කාර්ය බළකායේ මේ නිලධාරීන් දෙදෙනා එම පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස හදාරා මෙරටට පැමිණ පොලිස් විශේෂ කාර්ය බළකායේ තවත් නිලධාරීන් කණ්ඩායම්වලට එවැනිම ආකාරයේ පුහුණුවීම් ලබාදීම එවැනි නිලධාරීන්ගේ හැකියාවන් ප්‍රගුණ කර එම බළකාය තවත් දියුණු තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කාන්තා බළඇණියක් ආරම්භ කරනු ලැබ ඇත්තේ 1990 වසරේදීය.

වර්තමානය වන විට පොලිස් කොස්තාපල් නිලයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය දක්වා කාන්තා නිලධාරිනියෝ 500 ක් පමණ රාජකාරියේ නිරතව සිටිති.

පරිපාලන කටයුතු, පිළිගැනීමේ කටයුතු, ප්‍රභූන් සිටින ප්‍රදේශවලට ඇතුළු වන ජනතාව පරීක්ෂා කිරීම, සන්නිවේදන රාජකාරි කටයුතු සෝදිසි කිරීම හා බුද්ධි තොරතුරු එක්රැස් කිරීමටද කාන්තා නිලධාරිනියන්ට පැවරී ඇති රාජකාරීන් අතර වෙයි.

පිරිමි නිලධාරීන්ට ලබාදෙන මූලික පුහුණුවම කිසිම අඩුවක් නොමැතිව පොලිස් විශේෂ කාර්ය බළකායට බඳවා ගන්නා කාන්තා නිලධාරිනියන්ටද ලබාදෙනු ලැබේ.

මෙම පුහුණුවීම් ලබාදෙන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (පුහුණු) පොලිස් අධිකාරී ෆයිසාල් හජ්ජි මහතාගේ උපදේශකත්වයෙනි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කාන්තා ඒකකයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරි අමරසිංහ මහත්මිය වන්නීය.

විශේෂ කාර්ය බළකා කාන්තා බළඇණියක් ඇති කිරීමෙන් පසු එම කාන්තා නිලධාරිනියෝ පිරිමි නිලධාරීන් සමග උරෙන් උර ගැටෙමින් උතුරු – නැගෙනහිර ප්‍රදේශවල ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම රාජකාරියේ නිරතව සිටිති.

එල්.ටී.ටී.ඊ. ය මෙරට ක්‍රියාත්මකවූ වකවානුවේදී විශේෂ කාර්ය බළකා කාන්තා නිලධාරිනියන් සුවිශේෂී කාර්යයක් රට වෙනුවෙන් ඉටුකර ඇත.

යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ.ය සතු පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමටද කොටි අත්අඩංගුවට ගැනීමටද කාන්තා පොලිස් නිලධාරිනියන් සමත් වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයන්ගේ තෝතැන්නකි.

විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෂර්නි විජේසූරිය, පැට්‍රික් එඩ්වා, පොලිස් අධිකාරී ෆයිසාල් හජ්ජි, සහකාර පොලිස් අධිකාරී ආර්.එම්. විමලරත්න, ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් රත්නායක, පොලිස් පරීක්ෂක දිවුල්වැව, උප පොලිස් පරීක්ෂක සුමල් සිල්වා, පොලිස් සැරයන් බණ්ඩාර යන මහත්වරු ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයෝය.

පොලිස් පරීක්ෂක දිවුල්වැව මහතා ජාතික ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේ ජාතික ශූරතාව ද ජාත්‍යන්තර තරගවලට සහභාගි වී රන් පදක්කම්ද දිනා ඇත.

සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට බැඳී පසුව පොලිස් විශේෂ කාර්ය බළකායට එක්වූ එච්.කේ. ඉලංගකෝන් මහතා පසුව පොලිස්පති නිලයට පත්වූ අතර ගාමිණි නවරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සහ මැතිවරණ කටයුතු ලෙස රාජකාරි කර විශ්‍රාම ගියේය.

උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු සහ නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර යන මහත්වරුද කාලයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කළ නිලධාරීහුය.

 

Read Full Post »

හිටපු පොලිස් අධිකාරි ලාසිරාන් අසන් කියන කතාව

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ලෙස එදා සැලකුනේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. 

මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සංස්කෘතිය ලෝක ත්‍රස්තවාදී සංවිධානවලට පවා හඳුන්වා දෙනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය බව අමුතුවෙන් කිව යුතු ද නොවේ. 

එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ වකවානුවේ නැගෙනහිර පළාතේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් මැඩපවත්වා නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේ පොලිස් විශේෂ කාර්ය බළකායයි. එහෙමත් නැත්නම් කවුරුත් දන්නා භාෂාවෙන් කියනවා නම් එස්.ටී.එෆ්. එකයි. 

ගස්වල කොළ පොතු ගඩා ගෙඩි කමින් සතුන් දඩයම් කර ඒ මස් පුලුස්සා කමින් මඩ වතුර පොදකින් සා පිපාසාව යාන්තම් නිවා ගනිමින් මහ කැලෑවල දින ගණන් රැක සිට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කර ඔවුන් බුරුතු පිටින් මරා දැමීමටත්, නැගෙනහිර පළාතේ මහ කොටි කඳවුරු විනාශ කර දැමීමටත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා භටයන් දිවි පරදුවට තබා කළ යුග මෙහෙවර ජාතියේ ප්‍රණාමය නිතැතින්ම හිමි වනවා නොඅනුමානය. එල්.ටී.ටී.ඊ. සමග නිර්භීතව සටන් වැදීමට ගොස් දිවි දුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ හා භටයන්ගේ සංඛ්‍යාව 672කි. තවත් 1374 දෙනක් ආබාධිත තත්ත්වයට පත්වූහ. සැලකිය යුතු රණවිරු පිරිසක් තුවාල ලැබ ආබාධිත වූහ. එසේ වූයේ රටට වඩාත් හොඳ හෙට දවසක් උදාකරදීමට ගොස්ය.

යුද්ධය නිමා කිරීමට නායකත්වය දුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරින්වත්, හිටපු උසස් පොලිස් නිලධාරින්වත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔවුන්ට කරන උපහාරයක් වශයෙනි.

ත්‍රස්තවාදය තුරන් කිරීමේ සටනට තම ඇස්, ඉස්, මස් හා ලේ දන්දෙමින් සක්‍රීයව දායකවීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෝ හා භටයෝ එතැන් පටන් තවත් ජාතික මෙහෙවරක අඛණ්ඩව නිරතව සිටිති.

ඒ පාතාල කල්ලි පසුපස හඹා යමින් ඔවුන් මර්දනය කිරීමට හා මත්ද්‍රව්‍ය ඇල්ලීමේ මහා ජාතික මෙහෙවරක් ඉටු කරමිනි.
පසුගිය කාලය පුරාවට වරින් වර මත්ද්‍රව්‍ය තොග, පාතාලයේ අවි ආයුධ තොග පිටින් අල්ලා ගත්තේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා පාතාල නායකයන් හා ඔවුන්ගේ ගෝලබාලයන්ද සමගය.

වර්තමානයේ මේ කාර්යභාරයේ නියමුවා වී සිටින්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ද භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාය.

පාතාලයන් අල්ලා ඔවුන්ගේ අවි ආයුධ ගබඩා හා මත්ද්‍රව්‍ය ගබඩා කර ඇති රහසිගත ස්ථාන ​ෙසායා කරන මෙම මෙහෙයුම්වලට එම බළකායේ සියලුම තරාතිරම්වල නිලධාරීන් හා භටයන්ගෙන් ලැබෙනුයේ කියා නිම කළ නොහැකි මෙහෙයකි.

මෙම කාර්යයට නායකත්වය ලබාදී පොලිස් විශේෂ කාර්ය බළකායෙන් ඉවත්ව ගොස් සාමාන්‍ය පොලිස් සේවයට එක්වූ සෑම තරාතිරමක නිලධාරීන්ද මෙහිදී සිහිපත් කළ යුත්තේ ඔවුන්ගෙන්ද සිදුවූ මෙහෙවර වෙනුවෙනි.

පොලිස් විශේෂ කාර්ය බළකාය නමින් බළකායක් මීට වසර 36කට පෙර ආරම්භ නොකරන්නට ජාතිය වෙනුවෙන් මෙතරම් සුවිශේෂී මෙහෙයක් කරන්නට කිසිසේත් ඉඩ ප්‍රස්ථා ලැබෙන්නේ නම් නැත.

පොලිස් විශේෂ කාර්ය බළකාය මෙරට ස්ථාපිත කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් එයට නායකත්වය ලබාදී ඇත්තේ රවින්ද්‍ර විමල් ජයවර්ධන මහතාය. කා අතරත් ඔහු ප්‍රසිද්ධව සිටියේ “රවි ජයවර්ධන” කියන නමින්ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එකම පුත්‍රයා වූ රවි ජයවර්ධන මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘවරයාය. විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුත් රවි ජයවර්ධන ඒ වන විට සිටියේ සිය පියාගේ ප්‍රධාන ආරක්ෂක උපදේශකවරයා වශයෙනි. රවි ජයවර්ධන මහතා දක්ෂ ගුවන් නියමුවකු මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතාන්වරයකු ලෙස ද කටයුතු කර ඇත්තේය.

 

1983 සහ 1989 වසරවල පැවැති දරුණු භීෂණ ක්‍රියාවන්ට හා වර්ධනය වෙමින් තිබූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාවලට වඩාත් හොඳින් මුහුණදීමේ අරමුණින් පොලිසියේම අතුරු හමුදාවක් ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය පිහිටුවා ඇත්තේ 1984 වසරේදීය. ඒ විශේෂ පරීක්ෂණයකින් පසු තෝරා ගත් උපපොලිස් පරීක්ෂකවරුන් 60 දෙනකුගෙනි. එම පළමු කණ්ඩායමේ වර්තමානයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ලෙස විශිෂ්ට සේවයක් කරන එම්.ආර්. ලතීෆ් මහතා ද සිටියේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පළමුවැනි අණදෙන නිලධාරියා එවකට සහකාර පොලිස් අධිකාරි නිලයේ සිට පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස්වීම් ලැබූ බෝධි ලියනගේ මහතාය.

ඊට පසු පිළිවෙළින් නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරි වීරකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෂර්නි විජේසූරිය, නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේන, නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරි වීරකෝන් (දෙවැනි වරට යළිත් පත්විය) නියෝජ්‍ය පොලිස්පති නිමල් ගුණතිලක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ, නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත් බන්දුල, නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්. රණවක, නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා යන මහත්වරුන් විශේෂ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීන් ලෙස පත්වී විශිෂ්ට සේවයක් රට ජාතිය වෙනුවෙන් සිදුකර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ 11 වැනි වත්මන් අණදෙන නිලධාරිවරයාය.

පොලිස් විශේෂ කාර්ය බළකායට පළමුවෙන් එක්වූ උපපොලිස් පරීක්ෂකවරුන් 60 ගේ කණ්ඩායමේ සිටි ලාසිරාන් අසන් මහතා පොලිස් අධිකාරිවරයෙක් ලෙස පසුකාලීනව උසස්වීම් ලබා මේ වන විට විශ්‍රාම ගොස් සිටී.

උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස 1982 වසරේ පොලිස් සේවයට බැඳී ඇති ලාසිරාන් අසන් මහතාගෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරම්භය හා ඒ හා බැඳුණු තොරතුරු දැනගැනීමට ඔහු හමුවූයේ නාරාහේන්පිටදීය.

විශ්‍රාමික පොලිස් අධිකාරි ලාසිරාන් අසන් මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරම්භය හා එහි විකාශනය ගැන කරුණු කාරණා එකිනෙක ගෙනහැර දක්වමින් කතා බහ ආරම්භ කළේ මෙසේය.

ජේ.ආර්. ජයවර්ධන මහතා පළමු විධායක ජනාධිපතිවරයා ලෙස රට පාලනය කරන කාලයේ තමා එස්.ටී.එෆ්. එක මුලින්ම ආරම්භ කළේ. ජනාධිපතිවරයාගේ පුත් රවි ජයවර්ධන මහතාගේ අදහසකට අනුව ඒ මහතාගේ මගපෙන්වීම යටතේ 1984 වසරේ පෙබරවාරි මාසයේ 06 වැනිදා. ඒ වෙනකොට රවි ජයවර්ධන මහතා ජේ.ආර්. ජනාධිපතිතුමාගේ ප්‍රධාන ආරක්ෂක උපදේශකවරයා ලෙස තමා කටයුතු කරමින් සිටියේ. පොලිස් විශේෂ කාර්ය බළකාය ආරම්භ කරන්න කලින් තෝරා ගත් තරුණ පොලිස් නිලධාරින් කණ්ඩායම් කිහිපයක් යුද හමුදා පුහුණුව ලබාදී ප්ලැටුන් නමින් යාපනයේ සේවයේ යොදවා තිබුණා. විදේශීය යුද විශේෂඥයන්ගේ පුහුණුවීම් යටතේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට විශේෂ පුහුණුවීම් ලබාදී විශේෂ කාර්ය බළකායක් පිහිටුවීමට අවශ්‍යතාවය පෙන්වාදී එය එයාකාරයෙන්ම ක්‍රියාවට යෙදෙව්වේ රවි ජයවර්ධන මහත්තයා.

ඒ වෙනකොට මම පොලිසියට බැඳිලා අවුරුදු දෙකක් විතර වෙනවා. මට අද වගේ මතකයි විශේෂ පොලිස් පණිවිඩයක් ලංකාවේ තියන සෑම පොලිස් ස්ථානයකටම එවා තිබුණා. ඒ විශේෂ පොලිස් පණිවිඩයෙන් සඳහන්ව තිබුණේ අවුරුදු 25ට අඩු අවිවාහක හොඳ තරුණ ජවයක් තියෙන උපපොලිස් නිලයේ සිටින සියලු නිලධාරීන්ට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවට එන්න කියන නියෝගයයි.

මේ රැස්වීම් ශාලාව මඟුල් මඩුව කියා තමා හඳුන්වන්නේ. ඒ විශේෂ පොලිස් පණිවිඩය අනුව මමත් එහි ගියා. අවිවාහක තරුණ උපපොලිස් පරීක්ෂකවරුන් 100කට වැඩි පිරිසක් ප්‍රධාන රැස්වීම් ශාලාවට පැමිණ සිටියා. මේ කිසිම කෙනෙක් තමන්ව මෙතැනට කැඳෙව්වේ මොකද කියලා දැනගෙන හිටියේ නැහැ.

බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් ප්‍රහාරක සේවාවේ සේවය කර බොහෝ අත්දැකීම් ඇති විශ්‍රාම ලබා සිටි හා හිටපු කමාන්ඩෝ බළකායේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් පෞද්ගලික ආරක්ෂක සෙබළුන් ඒ රටේ පිහිටුවාගෙන තිබුණ මේ ආරක්ෂක සමාගම කේ.එච්.එස්. ලෙස හඳුන්වනු ලැබුවා. මේ ආරක්ෂක සමාගමේ ඉන්න කමාන්ඩෝ භටයන් වෙනත් රටවල යුද්ධ තිබෙන රටවල කුලී හේවායන් ලෙස සේවය කරනවා. ඒ නිසා ඔවුන්ට යුද උපක්‍රම ගැන විශේෂඥ දැනුමක් තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ කේ.එම්.එස්. ආරක්ෂක සමාගමේ සිටින විශේෂඥ දැනුම ඇති නිලධාරීන් පස් දෙනකුත් එහි පැමිණ සිටියා. රවි ජයවර්ධන මහතා​ෙග් තිබුණ ජාත්‍යන්තර සම්බන්ධතා මත ඔහුගේ ඉල්ලීමකට අනුව තමා මේ බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන් කණ්ඩායම පැමිණ තිබුණේ. ඒ බව පසුකාලයක අපට දැනගන්නට ලැබුණා.

විශ්‍රාමික පොලිස් අධිකාරි අසන් මහතා ඊට පස්සේ වෙච්ච කෙරිච්ච දේවල් ගැන ද මතකය අවදි කරමින් තොරතුරු හෙළිකරන්නට පටන් ගත්තේය.

බ්‍රිතාන්‍ය ජාතික යුද විශේෂඥයන්ගේ හා අපේ රටේ උසස් පොලිස් නිලධාරීන්ගෙන්ද සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේ එහි පැමිණ සිටි උපපොලිස් පරීක්ෂකවරුන් සියලු දෙනාම පරීක්ෂණවලට වෙන වෙනම ලක් කළා. හොඳ ජවසම්පන්න නිරෝගී තරුණ උපපොලිස් පරීක්ෂකයින් 60 දෙනෙක් පරීක්ෂණ මණ්ඩලය විසින් අවසානයේ තෝරා ගත්තා. බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන් අපේ අතපයවල මස් ගොබ පවා මිරිකමින් පරීක්ෂා කර බැලූ ආකාරය මට අද වගේ මතකයි. අපේ අත්පාවල ශක්තිය හොඳට තියෙනවාද කියා පරීක්ෂා කර බලන්න තමා එහෙම කළේ.

විධිමත් පරීක්ෂණයකින් තෝරා ගත්ත උපපොලිස් පරීක්ෂකවරුන් 60 දෙනා ඒ හා බී වශයෙන් කණ්ඩායම් දෙකකට බෙදා ඒ කණ්ඩායම් දෙකට වෙන වෙනම නායකයන් දෙදෙනෙක් එම කණ්ඩායම් දෙකෙන් තෝරා ගත්තා. ඒ කියන කණ්ඩායමේ නායකයා වුණේ උපපොලිස් පරීක්ෂක එච්.ආර්. ලතීෆ් මහත්තයි. මාව ඇතුළු වුණේ බී කණ්ඩායමට. එහි නායකයා උපපොලිස් පරීක්ෂක තිස්ස රත්නායක මහත්තයා. ඔහු සහකාර පොලිස් අධිකාරි නිලයට පත්වීම් ලබා සිටියදී අරගන්විල ප්‍රදේශයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වී පසුකාලයක මියගියා.

පුහුණුවට තෝරා ගත්තාට පස්සේ මුලින්ම කළේ හැමදාම අලුයම් කාලයේ කළුතර කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට දොඩංගොඩ හා පයාගල ප්‍රදේශ දක්වා දුවවන එකයි. ඒ විදිහට දුවලා ශාරීරික අභ්‍යාස කරලා අපිව ඉදිරි පුහුණුවීම් සඳහා ඉහළ යෝග්‍ය මට්ටමකට ගෙනාවා.

ඊට පස්සේ අපිට අවි ආයුධ පරිහරණය, වනාන්තරවල සති ගණන් ගත කරමින් ගරිල්ලා සටන්, සැඟවී පහරදීම්, හෙලිකොප්ටර්වලින් යමින් ගුවනේ සිට බිමට පැනලා ත්‍රස්තවාදීන්ට ක්ෂණිකව ප්‍රහාර එල්ල කිරීම, වාහන හා යතුරුපැදිවලින් අධික වේගයෙන් ගමන් කර ඉලක්කයට වෙඩි තැබීමට මනා ලෙස පුරුදු පුහුණු කළා. මේ පුහුණුවීම් ඉතාම කටුක හා ඉතාම බැරෑරුම් පුහුණුවීම් බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

සති ගණන් කැලෑවල ගස්වල කොල පොතු ගෙඩි වර්ග ආහාරයට ගනිමින් කැලෑවේ තිබෙන වතුරවලින් පිපාසය නිවා ගනිමින් පුහුණුවීම් තමා ලබාගත්තේ. කැලෑවේ ඉන්න සත්තු දඩයම් කරලා ඒ මස් පුලුස්සාගෙන කෑවා. අපි කුසගින්න නිවාගත්තේ එහෙමයි. සටන් ක්‍රම ගැන පුහුණුවීම් මගින් ඕනෑම බැරෑරුම් තත්ත්වයකට ඕනෑම අභියෝගයකට මුහුණදීමට අවශ්‍ය ශාරීරික හා මානසික ශක්තිය ලබාගෙන මෙසේ මාස 4 1/2ක පමණ කාලයක් අංගසම්පූර්ණ පුහුණුවීම් සම්පූර්ණ කළා.

මේ පුහුණුවීම් කාලයේ සියලුම පහසුකම් ලබාදීමට රවි ජයවර්ධන මහතා සෑම විටම වගබලා ගෙන ඇත.

පුහුණුවීම් ලබා දෙන ආකාරය ගැන ද සොයා බැලීමට නිරන්තරයෙන් ද රවි ජයවර්ධන මහතා පොලිස් අභ්‍යාස විද්‍යාලයට පැමිණ තිබේ.

මූලික පුහුණුවීම්වලින් පසු මෙම උපපොලිස් පරීක්ෂකවරුන් 60 දෙනා කැඳවාගෙන ගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයටය.

 

විශ්‍රාමික පොලිස් අධිකාරි ලාසිරාන් අසන් මහතා ඒ ගැන කිව්වේ මේවගේ කතාවකි.  අපි දිග කතාවකට සවන් දෙමු.

මූලික පුහුණුවීම්වලින් පස්සේ අම්පාරට රැගෙන ගොස් ඒ ප්‍රදේශයේ තිබෙන පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථාන ගත කළා. අපි අම්පාරේ ඉඳලා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශවලට කුඩා කණ්ඩායම් වශයෙන් රැගෙන ගොස් සැඟවී සිටට ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරිම් සිදු කළා.

එක දිගට දින ගණන් කැලෑවල සැඟවී සිටිමින් අසීරු රහසිගත මෙහෙයුම් සිදු කර කොටි ත්‍රස්තවාදීන් මරා දමා ඔවුන් සතු අවි ආයුධ තොග පිටින් අපි අරගෙන ආපු අවස්ථා ඕනෑ තරම් තිබුණා.

අම්පාරේ ටික කාලයක් ඉඳලා අපිව ත්‍රිකුණාමලයට රැගෙන ගියා. එහිදී අප නවාතැන් ගත්තේ ත්‍රිකුණාමලය බෞද්ධ මධ්‍යස්ථානයේ. එහි සිටද කුඩා කණ්ඩායම් වශයෙන් එල්.ටී.ටී.ඊ. ක්‍රියා බහුල වශයෙන් සිදුවන මුතූර් ප්‍රදේශයට ගොස් රහසිගත මෙහෙයුම් බොහොම සාර්ථක ආකාරයට කළා. එම මෙහෙයුම්වලදී ත්‍රස්තවාදී නායකයන් ඇතුළු සාමාජිකයන් මරා දැම්මා. අවි ආයුධ පවා අල්ලා ගත්තා. මාස දෙක තුනක කාලයක් මේ විදිහට එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වැඩපැවැත්වීමේ රහසිගත මෙහෙයුම්වල නිරතව සිටියදී අපිව ආයෙත් කළුතර කටුකුරුන්ද කඳවුරට රැගෙන ආවා. එසේ අපිව මාස දෙක තුනක කාලයක් අම්පාර හා ත්‍රිකුණාමලය ප්‍රදේශවලට ගොස් මෙහෙයුම්වලට යවා ඇත්තේ ප්‍රායෝගික පුහුණුවීම් ලබාදීමට බව දැන ගැනීමට ලැබුණා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණු නවක කණ්ඩායම වූ අප සාර්ථක ලෙස ඒ කටයුතු සිදු කර තිබෙන බව කියා රවි ජයවර්ධන මහත්තයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ විශේෂ ඇගයීම්වලට ලක්කළා.

 

Read Full Post »