Feeds:
Posts
Comments

Posts Tagged ‘මනෝඡ් අබයදීර’

මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට…
ප්‍රභාකරන්ව මරා දැමූ 53 වැනි සේනාංකයේඅණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

සේවයෙන් විශ්‍රාම ලැබිය හැකිවුවත් කිසිදා විශ්‍රාම නොයන වීරත්වයක්‌ ඔහු ජාතියට පතල කර හමාරය. ජාතිය සිහිනයක්‌ සේ දුටු ත්‍රස්‌ත නායකයාගේ මරණය සිදුවුයේ ඔහු අණ දුන් සේනාංක අතින් ඔහුට ලබා දී තිබූ රණ භූමියේදීය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ විශ්‍රාම ලැබීම නිමිත්ත කරගෙන අපි, ඔහු සමඟ සාකච්ඡාවක්‌ ඉල්ලා දුරකතන ඇමතුමක්‌ දුන්නෙමු. මේ සිංහල අපගේ රටයි – අප ඉපදෙන මැරෙන රටයි … යන මහගමසේකරයන් ලියූ ගීතය ඔහුගේ දුරකතනයෙන් ඇසෙන්නට විය. අප උපන් මියයන දේශය වෙනුවෙන් තම අනගිතම යුතුකම ඉටුකළ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කරන ලද සාකච්ඡාවයි මේ.

හමුදා සේවයෙන් විශ්‍රාම යන මොහොතේ, අතීතයට අපේ කතා බහ රැගෙන යැම සඳහා 2009 මැයි 18 වෙනිදා දිනය ඔබට මතක්‌ කර ගන්න පුළුවන්ද…?
ඇත්තටම එදා පාන්දර දෙකහමාරට විතර, එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් මගේ කණ්‌ඩායමට ප්‍රහාරයක්‌ එල්ල කළා. නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පුදුමාතලන් ප්‍රදේශයේදී තමයි මේ පහර දීම සිදුවුණේ. අපි මෙවැනි තත්ත්වයක්‌ බලාපොරොත්තු වුණා. ත්‍රස්‌තවාදීන්ගේ අවසාන පිරිස අපි කොටු කරගෙනයි මේ වෙනකොට හිටියේ.

ඒ වෙනකොට ඔවුන්ට තිබුණ එකම විසඳුම කලපුවට පනින එක විතරයි… මොකද අනිත් තුන් පැත්තෙන්ම අපි ඔවුන්ව කොටු කරලයි තිබුණේ. එදා පාන්දර ඔවුන් මගේ වළල්ලේ පිටිපස්‌සේ තැනකට තමයි, ප්‍රහාරය එල්ල කළේ. එය අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ස්‌ථානයක්‌ සහ ප්‍රහාරයක්‌. එතැන කඩා ගෙන තුන්සිය පනහක පමණ ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ඇතුලට පැන්නා. ඒ වෙනකොටත් ඕනෑම දේකට සූදානම්ව අපි එක්‌ එක්‌ සැලසුම් හදලා තිබ්බේ… අපි ඒකට කියන්නේ, ඉන්ජෙන්සන් ප්ලෑන් කියලා… ඒ කියන්නේ, මෙහෙම වුණොත් මෙහෙම කරන්න, අරෙහෙම වුණොත් මෙහෙම කරන්න යනාදී වශයෙන්, අවදානම් ගණනාවක්‌ සඳහා අපි සූදානම් වෙලයි හිටියේ…

මගේ පළවෙනි අණ දීම වුණේ කඩපු තැන ඉක්‌මනට වහගන්න කියන ඒකයි… සාමාන්‍යයෙන් මීටර් දෙසීයක විතර ආරක්‌ෂක බැම්මක්‌ කැඩිලා තිබ්බා… අපි විනාඩි විස්‌සක්‌ විතර ඇතුළත එම වළල්ල යළි හදා ගත්තා. තව එළිවෙන්න පැය තුනයි තියෙන්නේ… ඊට පස්‌සේ අපිට ඇතිවෙන්න ගහ ගන්න පුළුවන් කියලා මම හිතුවා… ඒ නිසා ඉක්‌මනින්ම අපේ ආරක්‌ෂිත වළල්ලේ කැඩුණු තැන හදා ගන්නයි මට ඕනේ වුණේ…

මේ වෙනකොට නන්දිකඩාල් තීරයේ රැඳී ඉන්නේ කොයි වැනි පිරිසක්‌ කියලා ඔබට අනුමානයක්‌ තිබ්බාද…?

නැහැ…නායකයෝ කවුද ඉන්නේ කියන එක ගැන අපි කිසිම දෙයක්‌ දන්නේ නැහැ. නමුත් එල්ටීටීඊයේ සිහින ඊලාම් රාජ්‍යයේ අවසාන බිම් කඩත් අපි අල්ලා ගැනීම සඳහා සූදානමින් තමයි හිටියේ… මේ වෙලාව වෙනකොට අපිට තිබ්බේ අතේ තියෙන දේ කටේ දාගන්න විතරයි. උදේ වරුවේත් අපි සටන් කළා… දහය විතර වෙනකොට ඒ සටන අවසන් වුණා. දවල් ආයෙත් අපිට දැනගන්න ලැබුණා, එක්‌ පිරිසක්‌ කලපුවේ කඩොල් කැලය ඇතුළේ ඉන්නවා කියලා… එතැනට අපි ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. දවල් දෙක විතර වෙනකොට ඒ සටන පටන් ගත්තා. ඒක හැන්දෑවේ හයාමාර වෙනකං විතර ගියා. මේ වෙලාව වෙනකොට මුළු ලංකාවම අපේ රජයේ පාලනය යටතට පත්වුණා.

ඊලාම් දේශයේ සිහිනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා, සුනුවිසුණු වෙලා ගියා…ඔය පළාත අවුරුදු විස්‌සක්‌ විතර රජයෙන් ගිලිහිලා තිබුණේ. අනිත් පළාත් සේරම අපි අල්ලාගෙන ඉවරවෙලයි ඒ වෙනකොට තිබ්බේ. මෙතැන අල්ලා ගත්තා විතරයි, මුළු රටම එක ධජයක්‌ යටතට, සිංහ ධජය යටතට ආවා. එදා අපිට බොහෝම සන්තෝෂ දවසක්‌. මැරිච්ච ත්‍රස්‌තවාදීන්ගේ මළ සිරුරු අපි එකතු කර ගන්න පටන් ගත්තා. එතැන ඉහළ පෙලේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදී නායකයන් ගණනාවකගේ මළ සිරුරු තිබ්බා. ප්‍රභාකරන්, පොට්‌ටු අම්මාන් සහ සුසෙයි ඇරෙන්න අනිත් ඔක්‌කොම නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. භානු, ජෙයම් වගේ නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. ප්‍රභාකරන්ගේ පුතා චාල්ස්‌ ඇන්තනිගේ මළ සිරුර එතැන තිබ්බා.

එදා අපිට බොහොම සන්තෝසයි… නමුත් මගෙ ඔලුවෙ එක ප්‍රශ්නයක්‌ තිබ්බා. ඒ ප්‍රභාකරන්ගේ මළ සිරුර කෝ කියන එක. ඒ වගේම මම ආමි කමාන්ඩර්ට කතා කරලා “සර්, අපේ රටේ අන්තිම බිම් අඟලත් අපි බේරා ගත්තා” කිව්වාම ආමි කමාන්ඩර් ටිකක්‌ කල්පනා කරලා මගෙන් ඇහැව්වා “ප්‍රභාකරන් කෝ…?” කියලා. එතුමාට මම කිව්වා “සර්, ප්‍රභාකරන්ගේ බොඩි එක නැහැ …” කියලා. එතකොට ආමි කමාන්ඩර් මට කිව්වා “එහෙනං යුද්දේ ඉවර වෙන්නේ නැහැ …..” කියලා. මමත් එතකොට කිව්වා “ඔව් සර්, එහෙනං යුද්දේ ඉවරවෙන්නේ නැහැ … හැබැයි මගේ ඔක්‌කොම බ්ලොක්‌ස්‌ මම දාලා තියෙන්නේ…” කියලා. මේ වෙනකොට නන්දිකඩාල් කඩොලාන ඇතුලේ හරි කරුවලයි. එතැන මොකුත් කරන්න බැහැ. කඩොලාන ඇතුලේ රැට සටන් කිරීම අමාරුයි. පොඩි සද්දයක්‌ වුණත් ඇහෙනවා. කුරුල්ලෝ පියාඹනවා. ඒ දිශාව අනුව කවුරු හරි එන දිශාව හඳුනාගන්න ලෙහෙසියි.

මම ආමි කමාන්ඩර්ට කිව්වා “සර්, හෙට උදේ මම සර්ච් එකක්‌ දාලා බලන්නම්” කියලා. මම එදා රෑ බොහෝම සන්තෝසෙන් නින්දට ගියත් “ප්‍රභාකරන් කෝ…?” කියන ප්‍රශ්නය මගේ හිතේ තිබ්බා. “මේ යකා පැනලද…? පැන්නොත් යුද්දේ ඉවර වෙන්නේ නැහැ නේද…?” කියන ඒවා මගේ හිතට ආවා. අපිට ඕනෑ වෙලා තිබුණේ අනාගත පරම්පරාවකට මේ යුද්දේ ඉතුරු නොකරන්න. බැරි වෙලාවත් ප්‍රභාකරන් වෙන රටකට පැන්නා නම් එහෙට වෙලා යුද්දේ මෙහෙයවන්න පුළුවන්.

මේක මම මගේ පොතේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. ප්‍රභාකරන් කියන්නේ දැඩි තීරණ වගේම මෝඩ තීරණ ගත්ත නායකයෙක්‌. එහෙම වුණාට ඔහු දක්‌ෂ නායකයෙක්‌… ඒ නායකත්වය රටටම ලොකු තර්ජනයක්‌. ඒ නායකත්වය අපිට විනාශ කරන්න බැරිවුණා නම් අපිට සහ අපේ අනාගත පරම්පරාවට ඒක ලොකු ප්‍රශ්නයක්‌ වෙනවා. ඒ වෙනකොට, හතර වෙනි ඊලාම් යුද්ධයෙන් පමණක්‌, අවුරුදු දෙකයි මාස නවයක්‌ ඇතුළත, අපේ පන්දාස්‌ නවසිය ගාණක්‌ මැරිලා, විසිනවදාස්‌ ගණනක්‌ තුවාල වෙලා ඉවරයි. මෙච්චර කැපවීමක්‌ කරලත් අපිට මේ මිනිහව මරා ගන්න බැරිවුණොත්, අපේ අනාගත පරම්පරාවට අපි කොහොමද උත්තර දෙන්නේ කියන ප්‍රශ්නය මගේ හිතට ආවා.

ඔබට ප්‍රභාකරන් හෝ භානු සජීවීව මුණගැහිලා තියෙනවද…?

ප්‍රභාකරන් කවදාවත් පණ පිටින් දැකලා නැහැ…භානු දැකලා තියෙනවා. හැබැයි කවදාවත් කතා කරලවත්, අතට අත දීලාවත් නැහැ… මේ මගේ දකුණු අත බොහොම පිරිසුදුයි. (සිය දකුණු අත ඉහළට ඔසවා පෙන්වමින්…) කිසිම ත්‍රස්‌තවාදී නායකයෙකුට සාමය කාලයේදීවත් මම අතට අත දීලා නැහැ… ඔය ත්‍රස්‌ත නායකයෝ සාම කාලවලදී මට අත දීක්‌ කරලා තියෙනවා… ඒ උනාට මම උන්ට අත දීලා නැහැ…

දැන් අපි දහ නමවෙනිදා දවස ගැන මතක්‌ කරගමු… රටේ හැම තැනම ජනතාව කිරිබත් කමින් ප්‍රීති ඝෝෂා පවත්වනවා…

ඔව්… අපේ ළමයිනුත් එදා උදේ කිරිබත් හදලා තිබ්බා…කඩොලානට තව බැටැලියන් එකක්‌ දාලා සර්ච් කරන්න කියලා එතකොට මම කියලයි තිබ්බේ. එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවා. එතුමා එතකොට පාර්ලිමේන්තුවේ ඉඳන් තමන්ගේ කතාව පටන් අරගෙන තිබුණා.

මගේ නායකත්වය යටතේ තිබුණු පනස්‌ තුන්වෙනි සේනාංකය යටතේ තමයි අටවෙනි කාර්ය සේනාංකය තිබ්බේ. කර්නල් රවිප්‍රිය තමයි එක භාරව හිටියේ. මේ අතරේ කර්නල් රවිප්‍රිය මට කතා කරලා. “සර්, කඩොලානේ තව ඩිවලොප්මන්ට්‌ එකක්‌ තියෙනවා…” කිව්වා.

ඒ වෙනකොට අපි යුද්දේ දිනලා ඉවරනේ… එක දිගට මාස දෙක තුනක්‌ නිදි මරලා, ටිකක්‌ හිටියා විතරයි, මෙන්න ආයිත් කියනවා ගහ ගන්නවා කියලා. කන්න ගත්ත කිරිබත් කෑල්ලත් පැත්තකට දාලා මම ගියා, නන්දිකඩාල් සටන් භුමියට. උන් එනකොට “අපේ කට්‌ටියත් ගහ ගත්තා, අපිටත් උන් ෆයර් කළා. මේ සටන විනාඩි හතලිස්‌ පහක්‌ විතර ගියා… “සර්, ඔක්‌කොම් නියුට්‌රමලයිස්‌ කරලා තියෙන්නේ. එක පොයින්ට්‌ එකක්‌ තියෙනවා, ඒක කොන්ට්‍රොල් කරගන්නම බැහැ… එතැනින් දිගටම ගහනවා” කියලා මට අපේ අය කිව්වා. මට ලොකු සටනක්‌ කරලා අපේ කොල්ලෝ මරා ගන්න උවමනාවක්‌ නැහැ. අතට ගත්ත දේ කටට දාලා, දැන් හපා ගන්න විතරයි තියෙන්නේ… “ලොකු සෙනගක්‌ දාන්න එපා… අට දෙනාගේ කණ්‌ඩායම් දෙකක්‌ දාලා, ඕක බලාගන්න” කියලා මම කිව්වා..

කර්නල් රෝහිත අළුවිහාරේගේ නායකත්වයෙන් හතරවෙනි විජයබාහු බලඇණියේ පිරිසක්‌ ඒ සඳහා මම යෙදෙව්වා. ටික වෙලාවකින් “හරි සර්, ඔක්‌කොම ඉවරයි. ප්‍රභාකරන්ගේ බොඩි එකත් තියෙනවා” කියලා මට එහෙන් කිව්වා. මේ වෙනකොට වෙලාව උදේ දහයයි තිහට විතර ඇති.

මගේ ගාව හිටියා, කර්නල් ලලන්ත ගමගේ. මෙතැන බලලා මොකද වෙලා තියෙන්නේ කියන්න කියලා මම කර්නල් ලලන්තව යෑව්වා. වැඩි ඈතක නෙමෙයි, මම හිටිය තැනින් මිටර් දෙසීයක්‌ ඈතින් තිබුණ කලපු ප්‍රදේශයට තමයි මම එයාව යෑව්වේ. “සර්, යුරේකා… ප්‍රභා මැරිලා ඉන්නවා” කියලා මට කර්නල් ගමගේ කතා කරලා කිව්වා. ” හොඳටම ෂුවර්ද…?” මම ඇහැව්වා.

“ඔව් සර්, ටක්‌ ගාලා ආමි කමාන්ඩර්ට කියන්න.”

“ඔය බොඩි එක මෙහෙට ගෙන්න…”

හරි…හරි සර්, බොඩි එක ගේන්නම් ටක්‌ ගාලා මේක කොළඹට කියන්න” කියලා මට කර්නල් ලලන්ත ගමගේ කිව්වා. එයත් හිටියේ ලොකු සන්තෝෂයකින්. මේ ජයග්‍රහණයේ පණිවුඩය ඉක්‌මනින්ම රටටම කියන්න තමයි හැමෝටම ඕනේ වුණේ.

“හරි…හරි සර් බොඩි එක ගේන්නම් මේ පණිවුඩේ ඉක්‌මනට කොළඹට කියන්න” ආයෙත් මට ලලන්ත කියනවා. මට ඒ පාර කේන්ති ගියා.

උඹ ඔතැනට වෙලා ඕකගේ පාංශුකුලය දෙන්නේ නැතුව ඕක ඉක්‌මනට මෙතැනට ගෙනෙන්…” කියලා මම කිව්වා.

එහෙම කිව්වට මගේ ඇස්‌ දෙකෙන් ප්‍රභාකරන්ගේ මිනිය දකිනකන් මම ඒක ආමි කමාන්ඩර්ට කියන්න කැමති වුණේ නැහැ. මම මේක ආමි කමන්ඩර්ට කියලා, එතැනින් ආරක්‌ෂක ලේකම්තුමාට සහ ජනාධිපතිතුමාට කියලා, ඊට පස්‌සේ මේක රටටම කියලා, ඒ මැරිලා ඉන්නේ ප්‍රභාකරන් නෙමෙයි නම්, මටත් වෙඩි තියාගෙන නන්දිකඩාල් කලපුවට පනින්න තමයි වෙන්නේ… ඒ නිසා මේ මිනිය මම ම බලලා තහවුරු කර ගන්න වුවමනාවක්‌ තිබ්බා…

විනාඩි දහයක්‌ විතර යනකොට මිනිය ගොඩට ගෙනාවා. ඒවෙනකොට යුද බිමේ මේ ආරංචිය ගිහිල්ලා අපි ළඟ නිලධාරීන් සහ සෙබළු හාර පන්දාහක්‌ එකතුවෙලා හිටියා. සතුටින් කෑගහන කොටම කොල්ලෝ උඩට වෙඩි තියන්න පටන් ගත්තා. ඔක්‌කොම තුවක්‌කුවලින් වෙඩි තිබ්බා. මැසින්ගන් වැල් පිටින් ගහනවා… පස්‌සේ මගේ ඔෆිසර්ස්‌ලා නවත්තන්න හදනකොට නැහැ… “වෙඩි තියපුවාවේ…” කියලා මම කිව්වා. ඒ ජයග්‍රහණයේ විතරක්‌ නෙමෙයි. තිබුණ පීඩනය පිට කිරීමක්‌. මේ කොල්ලෝ මරණ සහතිකය අතේ තියාගෙන අවුරුදු ගණනාවක්‌ පුරා උදේට නැගිටපු උදවිය. විනාඩි පහක්‌ විතර මුළු නන්දිකඩාල්ම ගිඟුරුම් දෙන විදිහට මේ වෙඩි පත්තු වුණා.

ඒ තමයි මගේ ජීවිතේ අමරණීයම මොහොත. අපේ රට අවුරුදු තිහක්‌ තිස්‌සේ අඳුරු අගාධයකට ඇදලා දාලා, සිංහල ජාතිය අප්‍රිකාවේ වනචාරීන්ටත් වඩා වනචාරී ජාතියක්‌ කියලා ලෝකයට පෙන්නලා, අහිංසක දරුවන්ගේ ඉඳන් ජීවිත බිලිගත්ත මිනිහව, මගේ කොල්ලෝ මරලා, මගේ කකුල් දෙක ගාවට ගෙනාවම මට දැනෙන සන්තෝෂය විස්‌තර කරන්න මට වචන නැහැ.

මම ඒ ඇඟට අත තියලා බලනකොට ඇඟ රස්‌නෙයි. ඔලුවෙන් ලේ එනවා.

මම අතට අත දුන්නේ නැහැ…

ප්‍රභාකරන් තමන්ගේ දෙපා මුල මැරිලා ඉන්නවා දැක්‌කාම ඔබට දැනුන හැඟීම මොකක්‌ද…?

යුද්දේ ඉවර වුණාම යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්‌ කොළඹ හිල්ටන් හෝටලයේ දී ලබා දුන්නා. එතැනදී ඔය ප්‍රශ්නයම ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා මගෙන් ඇහැව්වා. “සර්, මට මම රජෙක්‌ වගේ කියන හැඟීම ආවා…” කියලා තමයි මම උත්තර දුන්නේ. ප්‍රභාකරන්ට දෙවියෝ අණ දුන්නාට, පනස්‌ තුන සේනාංකය එක්‌ක ඇවිල්ලා සටන් කරලා මැරියන් කියලා, මේ සටන කළේ අපි හැමෝම. මම කළේ සියලු සේනාංකාධිපතිවරුන්ට කතා කරලා කිව්වා  “වැඩේ හරි, ප්‍රභාකරන්ව මැරුවා ටක්‌ ගාලා මෙතැනට එන්න” කියලා. ජෙනරල් ජගත් ඩයස්‌, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරල් චාගි ගාල්ලගේ වගේ සියල්ලට මේක කිව්වා. ඒ වෙලාවේ ආමි කමාන්ඩර් හිටියේ පාර්ලිමේන්තුවේ. ජනාධිපතිතුමාගේ කතාව අහන්න ගිහිල්ලා. විනාඩි දහයකින් විතර ආමි කමාන්ඩර්ට, මම මේ පණිවිඩය කතා කරලා කිව්වා.

මෙයිට වඩා වෙනස්‌ කට කතා පසු කාලයේදී මේ පිළිබඳව රට පුරා පැතිරිලා ගියා.  “ප්‍රභාකරන් පනාගොඩට රැගෙන ගිහිල්ලා, ඔහුට පහර දීලා මරා දැම්මා” කියලා සමහරු කිව්වා…

ඒ කතා ඔක්‌කොම බොරු…ප්‍රභාකරන් මැරෙනකන් එතැන හිටියේ ඔහු කියලා කිසිම කෙනෙක්‌ දැනගෙන හිටියේ නැහැ. ඔතැන වැදගත් නායකයෙක්‌ ඉන්නවා කියලා අර සටන යනවෙලාවේ අපි තේරුම් ගත්තා. ඒත් ඒ ප්‍රභාකරන් කියලා අපි දැනගෙන හිටියේ නැහැ.

ප්‍රභාකරන්ගේ හිස පසාරු කරගෙන ගියේ ස්‌නයිෆර් උණ්‌ඩයක්‌ද…?

නැහැ… මමත් දැක්‌කා සමහර පොත්වල සහ පත්තරවල එහෙම ලියලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ඒක වැරදියි… එදා උදේ අටේ කණ්‌ඩායම් දෙක විසින් තබපු උණ්‌ඩයකින් තමයි ප්‍රභාකරන් මැරුණේ… මගේ පොතේ මේ ගැන පින්තුර සමග විස්‌තර සියල්ල එනවා.

කොටි බුද්ධි අංශ නායක පොට්‌ටු අම්මාන්ට මොකද වුණේ…? ඔහු රටින් පැන ගිය බවට පවා කතා පළවුණා…

නන්දිකඩාල් කියන්නේ විශාල කලපුවක්‌ පස්‌සේ අපි මිනී හොයනකොට ඉදිමුණු, කුණුවෙච්ච මිනී ඕනෑ තරම් හම්බු වුණා. සති දෙකක්‌ විතර යනකන් අපිට මිනී හම්බු වුණා. ඒ අතර පොට්‌ටුඅම්මාන් ඉන්න ඇති කියලා අපි සැක කරනවා. ඒ වගේම පොට්‌ටු අම්මාන් මැරුණ බවට ඇසෙන් දුටු සාක්‌ෂි අපිට හමුවුණා.

ප්‍රභාකරන් මිය ගිය බවට මේ දක්‌වා මරණ සහතිකයක්‌ නිකුත් වී නැති නිසාත් ප්‍රභාකරන්ගේ මළසිරුර යයි කියූ මළ සිරුරේ ඩී.එන්.ඒ පරීක්‌ෂණයක්‌ තවමත් සිදුකර නොමැති නිසාත් ප්‍රභාකරන්ගේ මරණය සැක සහිත බවත් ඔහු අයත්වන්නේ අතුරුදන් වූවන්ගේ ගණයට බවත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී වන එම්. කේ. සිවාජිලිංගම් පවසා තිබුණා..

ඔහොම සැකකරන කට්‌ටියට මම කියන්නේ එහෙම කතා කියලා විහිළුකාරයින්ගේ තත්ත්වයට පත්වෙන්න එපා කියලයි… අපි බොරුකාරයෝ නෙමෙයි. අපි වෘත්තීමය හමුදාවක්‌. අපි ප්‍රභාකරන් කියන ත්‍රස්‌තවාදී නායකයා මැරුවා… අපි එයාගෙයි එයාගේ පුතා චාර්ල්ස්‌ ඇන්තනිගෙයි ජාන පරීක්‌ෂණයක්‌ කළා. ඒකෙන් ප්‍රභාකරන් සහ පුතා කියලා තහවුරු වුණා. සමහර දෙමළ දේශපාලකයන් ජනප්‍රිය වෙන්න කරන ළදරු ක්‍රියා ගැන අපිට කනගාටුයි. මම ළදරුවෙක්‌ නෙමෙයි. පරිණත හමුදා නිලධාරියෙක්‌. සමහරු හිතනවා ඇති ප්‍රභාකරන් දිව්‍ය ලෝකයට ගියා කියලා. අපි හිතනවා අපායට ගියා කියලා. කොහොම වුණත් එයා මේ ලෝකේ නැතුව වෙන ලෝකෙක ඇති.

ඔබ හෙට සිට විශ්‍රාමික හමුදා නිලධාරියෙක්‌. සේවය නිමවා හමුදාවට සමුදෙන මොහොතේ ඇතිවෙන හැඟීම ගැන කිව්වොත්…

අපේ තරුණ කාලය ගතවුණේ කැලෑවල්වල සටන් කිරීමට. අනිත් සේනාංකාධිපතිවරුන්ගේ ජීවිතත් එහෙමයි. වසර තිස්‌ පහකුයි දවස්‌ පහක්‌ මේ නිල ඇඳුම ඇන්දාට පස්‌සේ ඒක එල්ලා, ගෙදර යන එක කනගාටුයි. නමුත් මම හිතනවා, මගෙන් රටට විය යුතු සේවය මම කරලා තියෙනවා කියලා… මහාචාර්ය සුනිල් ආරියරත්න ලියපු අබේවර්ධන බාලසූරිය ගයපු ගීතයක මුල් කෑල්ල මගේ හිතේ තදින්ම සටහන් වෙලා තියෙනවා. ඒක මගේ ජීවිතයට බොහෝම සම්බන්ධයි.

අවසන් හුස්‌ම පොද නොබියව හෙළන්නට
සිව් රියනේ හිත සතුටින් නිදන්නට
මිනිසෙකු විලස ඉපදුනු පල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට”

යුගයේ වීරයෙක්‌ ලෙස හමුදාව තුළ සහ දේශයේ කීර්තියක්‌ ලබාගෙන, රට සිටි ප්‍රධානම සතුරා තමන්ගේ දෙපා මුල මරලා දමලා, හමුදාපති තනතුර නොලබා විශ්‍රාම යැම ගැන ඔබට දුකක්‌ නැද්ද…?

ඕනෑම වෘත්තීය හමුදා නිලධාරියෙක්‌ගේ අභිලාශය, සරලව කිව්වොත් ආශාව, කවදාහරි යුද හමුදාපති වෙලා ලෝකෙම ඉන්න හොඳම සොල්දාදුවන්න්ගේ නායකයා වෙන්න. ලෝකයේ ඉන්න හොඳම සොල්දාදුවන්ගෙන් කොටසක නායකයා වෙන්න මට පුළුවන් වුණා. නමුත් ඒ සොල්දාදුවෝ ඔක්‌කොමලාගේ නායකයා වෙන්න මට අවස්‌ථාව ලැබුණේ නැහැ. ඒ ගැන යම් කනගාටුවක්‌ තියෙනවා. අපේ රටේ හමුදාපති තනතුර ලැබෙන්න දක්‌ෂකම විතරක්‌ නෙමෙයි, වාසනාවත් තියෙන්න ඕනේ. මට ඒ වාසනාව තිබුණේ නැහැ. හමුදාපති පුටුවට නොගියාට මම ගෙදර යන්නේ ජයග්‍රාහී විදිහට. ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට ගෙදර යන්නයි මට වුවමනා වුණේ. අප දක්‌ෂ ජෙනරාල්ලා පරාජිත සොල්දාදුවෝ වගේ ගෙදර යනවා මම දැක්‌කා. මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට. ඒ ජයග්‍රහණයේ කතාවත් රටට කියාගෙන තමයි මම ගෙදර යන්නේ… මම විශ්‍රාම ගියේ පස්‌වෙනිදා සඳුදා. මගේ පොත එළිදැක්‌කේ ඊට පස්‌සේ දවසේ, ඒ කියන්නේ අඟහරුවාදා…මම ඉගෙන ගත්තෙ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේදී. මේ පොතේ තියෙන්නේ “මා දුටු දේ සහ අප කළ දේ” ගැන.

හමුදා වහරෙන් කිව්වොත් ඔබගේ එක මෙහෙයුමක්‌ දැන් නිමා වෙනවා. පත්තර භාෂාවෙන් කිව්වොත් ඔබගේ ජීවිතයේ එක පිටුවක්‌ ඉවරයි. මොකක්‌ද ඔබේ ඊළඟ මෙහෙයුම නැත්නම් පිටුව…?

රජයේ රැකියාවක්‌ දුන්නාට මම ඒක භාර ගන්නේ නැහැ. මම මේ රට දාලා වෙන රටකට යන්නෙත් නැහැ. මම ආඩම්බර රට වැසියෙක්‌ විදිහට මේ රටේ ජීවත් වෙනවා…

ඔබ අපට වීරයෙක්‌ වුණාට සමහරුන්ට යුද අපරාධ චෝදනාකරුවෙක්‌. නැත්නම් යුද අපරාධකාරයෙක්‌. සමහර රටවලට ඔබට අඩිය තියන්නවත් බැහැ… මේ ගැන හිතන කොට දුකක්‌ එහෙම දැනෙන්නේ නැද්ද…?

මම පස්‌වෙනි පන්තියට වෙනකං ගියේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට. මට හතරේ පන්තියේදී ඉගැන්නුවේ සෝමා රණවිර ගුරු මෑණියෝ. එදා ඒ ගුරු මෑණියෝ උගන්වපු, එස්‌. මහින්ද හාමුදුරුවන්ගේ කවි දෙකක්‌ මට හොඳට පාඩම් හිටියා. මගේ ජීවිතේ පාඩම බවටත් මම ඒක පත්කර ගත්තා.

ජාතිය රන් විමනක්‌ වේ
ආගම මිණි පහනක්‌ වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹවේ

අනිත් කවිය තමයි ඔබගේ ප්‍රශ්නයට පිළිතුර

ඉටුකොට කළයුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්

Read Full Post »

“ඒ පස රතු වුයේ ලේ වලිනි” රතුපස්‌වල ඛේදවාචකයට පසුදා “දිවයින” කතු වැකියේ මාතෘකාව වුයේ එයයි. ඒ ලේ වැගිරුවේ කවුද? මෙම රචනයේ මාතෘකාව වන්නේ එයයි.

ප්‍රශ්නයට පහසු පිළිතුරක්‌ දැනටමත් සමාජගත කර තිබේ.

හමුදාව……

හමුදාව යොදවා අහිංසක මිනිසුන්ට වෙඩි තිබ්බ එක කොහොමටවත් අනුමත කරන්නේ නෑ.

ප්‍රශ්නය මෙච්චර දුරදිග යන කං බලධාරීන් නිලධාරීන් මොකද කළේ……. ආදියේ සිට මාවිල් ආරුවේ ජලය හා රතු පස්‌වල ජලය යන්නට ගලපමින් ” හමුදාව කෲර ලෙස රතුපස්‌වලදී හැසිරුණා” යන්න සමාජගත කිරීමේ වෑයමක්‌ මේ වන විට දියත්ව තිබේ. රතුපස්‌වල ප්‍රදේශයේ මිනිසුන් වතුර ඉල්ලා කරන යුද්ධයත්, හමුදාව හා පොලිසිය මිනිසුන් සමග අරගල කරන ආකාරයත්, අවසානයේ හමුදාව අතින් මිනිස්‌ ජීවිත කිහිපයක්‌ නැති වන ආකාරයත් පමණක්‌ දුටු කෙනෙකුට රතුපස්‌වල ගැන ඉහත කතා සාරාංශය පහසුවෙන් කිව හැකිය. ඒ වැනි සාධනයකට පැමිණීමට විශේෂඥ ඤාණයක්‌ තිබෙන්නට අවශ්‍ය නැති අතර මන්ද මානසික හෝ උමතු මානසික තත්ත්වයක්‌ වුවත් ඒ වැඩේට වැඩිය.

ඌරපල ප්‍රදේශයේ දරුවකු වන ගිම්හාන් සන්දීප්ගේ වයස අවුරුදු නවයකි. ඔහුට නිරන්තර උණ ගැනීම් තත්ත්වයක්‌ ඇතිවෙයි. අවසානයේ දී රෝගය හඳුනා ගැනෙනුයේ වකුගඩුවලට විෂබීජයක්‌ ගොස්‌ ඇති ලෙසය. බොන ළිඳේ වතුරෙන් මෙම විෂබීජය ගොස්‌ ඇතැයි විශ්වාසයක්‌ මතුවෙයි. එය කේවල කතාවකි. එතැනින් එහාට එවැනි නිදර්ශන රෝගීන් රතුපස්‌වලින් හෝ අවට ගම්වලින් තවම හමු වී නැත.

ජලයේ විෂ ඇති බවට එම කතාව සමාජගත වන්නේ 2013 වසරේ ජුනි දිනදීය. වෙනිග්‍රොස්‌ අත්වැසුම් කම්හලට යාබදව තිබෙන රෝහණ වික්‍රමාරච්චි මහතාගේ නිවසේ ලිඳේ වතුර බීමට නොහැකි තත්ත්වයක තිබේ. ළිදේ වතුර මෙසේ වීමට හේතුව අසල කර්මාන්ත ශාලාවෙන් මුදා හැරෙන ඇසිඩ් බවට වන මතයක්‌ ඒ සමග කටකතාවක්‌ ලෙස ප්‍රකාශ වෙයි. වික්‍රමාරච්චි මහතා ජල සම්පාදන මණ්‌ඩලයට සිය ළිඳේ ජල සාම්පලයක්‌ රැගෙන යන අතර, ජලයේ පී. එච්. අගය අඩු බවට වන සහතිකයක්‌ මණ්‌ඩලය විසින් නිකුත් කරයි. ඒ සමගම ආම්ලිකතාවය නිසා මෙම ජලය බීමට නුසුදුසු බවට ජල සම්පාදන මණ්‌ඩලය විසින් අදාළ වාර්තා සටහන් කර දෙයි. කලබගෑනියේ පැනනැගීම සඳහා පුළිඟු දැල්වෙන්නේ එතැනිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පානීය ජලය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවන්ට අනුව, පානීය ජලය සඳහා පී. එච්. අගයේ කිසිදු බලපෑමක්‌ නැත. නමුත් අඩු පී. එච්. අගයක්‌ ජලයේ තිබෙන විට, ජල පරිවහන නලවල යකඩ මළ බැඳීමට ඇති අවස්‌ථාව වැඩිය. මේ නිසා පරිවහනකාර්යයේදී පමණක්‌ හෙවත් යකඩ නල මගින් ජලය බෙදා හැරේ නම් පමණක්‌ ජලයේ පී. එච්. අගය සැලකිල්ලට ගත යුතු තත්ත්වයක්‌ තිබේ.

(දැනට නැඟෙන රැල්ල අනුව, මෙම වාර්තාව හේලීස්‌ ආයතනය හෝ වෙනිග්‍රොස්‌ ආයතනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට මුදල් ලබාදී ලියවා ගත්තත් බවට යම් සමාජ ක්‍රියාකාරියකු මිය ගිය ජනතාව හෝ රතුපස්‌වල වතුර ගැන කැක්‌කුමෙන් හෝ කිව හැකිය.)

ජල සම්පාදන මණ්‌ඩලය වැඩේ වරද්දා ගන්නේ මෙතැනදීය. ජල සම්පාදන මණ්‌ඩලය යනු ජල මූලාශ්‍ර පිළිබඳ පර්යේෂණ ඒකකයක්‌ නොවේ. එහි රාජකාරිය ජලය බෙදාහැරීම, පිරිපහදු කිරීමය. එම රාජකාරිය අනුව, ජලය බෙදීමේදී පවත්වා ගත යුතු පී. එච්. අගය ජලයේ පී. එච්. අගය සමග සසඳන විට මණ්‌ඩලය ඉක්‌මන් වන්නේ බෙදා හරින ජලයේ පී. එච්. අගය පානීය ජලයේ පී. එච්. අගය ලෙස මණ්‌ඩලය වරද්දා ගැනීම නිසාය. උගුරු දණ්‌ඩේ සිට ජලය ගමන් කරන නහර යකඩින් සෑදී ඇත්නම් මණ්‌ඩලයේ මේ නිගමනය සාධාරණය)

මණ්‌ඩලයේ වාර්තාකොලය දකින රතුපස්‌වල මිනිසුන් කියන්නේ තමන්ගේ ළිඳෙන් එන්නේ වතුර නොව ඇසිඩ් කියාය. මේ කතාව බෙලි ගෙඩිය වැටීම, ලෝකය පෙරළි මට සමාන තත්ත්වයක්‌ මතු කළා සේa රතුපස්‌වල දෙවනක්‌ කළේය. හයක්‌ හතරක්‌ නොදත් රතුපස්‌වල සමහරුන් පී. එච්. අගය පී. එච්. අයි ලෙසද පටලවා ගත්තේය. ජලයේ ආම්ලිකතාව හා අම්ල යනු දෙකක්‌ ලෙස නොවැටහෙන්නාටත්, පී. එච්. අගය හා පී. එච්. අයි එකක්‌ ලෙස තේරුම් ගන්නන් ලවා විශාල කාර්යයක්‌ කර ගත හැකිය. ඒ බව තේරුම් ගත් පිරිසක්‌ ද විය.

කොහොමටත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජලයේ පී. එච්. අගය අඩුය. මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම විසින් පෙන්වා දෙන්නේ, එම තත්ත්වය මතු වන්නේ එම දිස්‌ත්‍රික්‌කය ලැටරයිට්‌ පසෙන් සෑදී තිබීම නිසා බවය.

මෙය අලුත් කතාවක්‌ නොවේ. මෙම ප්‍රදේශයේ අන්නාසි සරුවට වැඩෙන්නේ .. ජලයේ ඇති මෙම ආම්ලිකතාව නිසාය. ඒ බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අන්නාසි වගාවට යෝග්‍ය තත්ත්වයෙන් හා ප්‍රදේශයේa aපස පිළිබඳ වාර්තාවක සඳහන් කර තිබේ. ලැටරයිට්‌ පස රතු පැහැයෙන් යුක්‌තය. රතුපස්‌වල ගමේ නමට පවා මුල් වන්නේ මේ තත්ත්වය බව එයින් පෙනේ.

එයින් පැවසෙන්නේ, කාලාන්තරයක සිටම රතුපස්‌වල පමණක්‌ නොව ගම්පහ දිස්‌ත්‍රික්‌කයේම ජලයේ පී. එච්. අගය අඩු බවය. නමුත් මෙය ලෙඩක්‌ බවට පත් වන්නේ 2013 ජුනි මාසයේ අග සිටය. ව්‍යසනයක්‌ බවට පත්වන්නේ ජුලි මාසයේදීය. ඛේදවාචකයක්‌ බවට පත්වන්නේ අගෝස්‌තු පල වැනිදාය.

මේ තරම් සීග්‍රයෙන් රතුපස්‌වල වතුර නරක්‌ වුණේ ඇයි? හිටි හැටියේම ඒ වතුර නිසා මිනිසුන්ගේ ඇඟ දන්න ගත්තේ ඇයි?

රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගයට හේතුව තවම පැහැඳිලි වී නැතත්, එම ප්‍රදේශයේ වකුගඩු රෝගයක්‌ තිබෙන බව පැහැදිලිය. රතුපස්‌වල භූගත ජලය නිසා එවැනි රෝගී තත්ත්වයක්‌ තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් හෝ ස්‌වාධීන පරීක්‍ෂකයන් තවම කියා නැත. නමුත් ඒ ගැන මාධ්‍යයට කතා කරන ගම්මුන්ට කැසිල්ලක්‌ ඇති වී තිබේ. ඒ කැසිල්ලට ඇත්තේ මාස කිහිපයක ඉතිහාසයකි. ඇස්‌ ලෙඩ, ඩෙංගු, වැනි රෝග පැතිරෙන කාලයට එම රෝගීන්ගෙන් රෝහල් පිරීයයිs. සමාජය තුළද ඒ ගැන කතා ඇතිවෙයි. නමුත් රතුපස්‌වල කැසිල්ලෙන් අවට කිසිම රෝහලක්‌ පිරීගියේ නැත. අවම තරමින් වටපිට කිසිම රෝහලකට මෙය වැදගත් ලෙඩක්‌ යන සංඥාව හෝ ලැබෙන්නේ නැත. ඩෙංගු, රජරට වකුගඩු රෝගය නිසා යම් ප්‍රදේශයකට ලැබෙන තැන මාධ්‍යයේදී, මැති සබයේදී හෝ වෙනත් තැනකදී මේ රතුපස්‌වල කැසිල්ලට, දැවිල්ලට ලැබෙන්නේ නැත. ඒ සියල්ල ලැබෙන්නේ 2013 ජුනි අන්තිම කාලයෙන් පසුවය. රටේ මේ වන විට ප්‍රචාරය වී තිබෙන තරමට අනුව නම් යමෙකු පිටකොටුවේදී හෝ ගාල්ලේදී අතක්‌ කසයි නම් එහා පැත්තේ සිටින කෙනා ඔහුගෙන් ගම රතුපස්‌වලදැයි ඇසිය යුතු තරමටම මේ කැසිල්ල තිබිය යුතුය. කැසිල්ලේ තත්ත්වය එසේය. නමුත්, කැසිල්ලට හේතුව ගම්මුන් විසින් සැණෙන් සොයා ගත්තේය.

වෙනිග්‍රොස්‌ අත්වැසුම් කම්හලෙන් නිකුත් කරන ඇසිඩ්, වතුරට එක්‌වීමෙන් මේ දේ වුණා. එතරම්ම පර්යේෂණශීලී තත්ත්වයක රතුපස්‌වල ඇත්තෝ සිටිති.

වෙනිග්‍රෝස්‌ කර්මාන්ත ශාලාව ආරම්භ වන්නේ 1994 වසරේදීය. එය අයත් වන්නේ හේලීස්‌ සමූහ ව්‍යාපාරයටය. ලෝකයේ රටවල් හැත්තෑපහකට අධික ප්‍රමාණයකට එහි නිපදවන ග්ලවුස්‌ අපනයනය කරති. යුරෝපයේ සුපිරි වෙළෙඳ සල් ජාල වන වෝල් මාර්ට්‌ වැනි ආයතන මගින් මෙම අත්වැසුම් විකුණනු ලබයි. අවශ්‍ය ආරක්‍ෂණය සහ තත්ත්ව සහතික මෙම කර්මාන්ත ශාලාවට ඕනෑවටත් වඩා තිබෙන අතර ඒවා සියල්ලම වාගේ මාස කිහිපයෙන් කිහිපයට යාවත්කාලීන කෙරෙන හා ස්‌වාධීන පරීක්‍ෂණ මගින් විටින් විට සහතික කරන ගණයේ තත්ත්වයන්ය. ඒ උදෙසා එක්‌වරක්‌ නොව පිට පිට කිහිප වරක්‌ම වෙනිග්‍රොස්‌ ආයතනය සම්මානයටද පාත්‍ර වී තිබේ. කර්මාන්තශාලාවක දේශීයව තිබිය යුතු අත්‍යවශ්‍යම තත්ත්වයේ සිට ජාත්‍යන්තර ආයතනය සඳහා තිබිය යුතු අන්තර්ජාතික ප්‍රමිතියෙන් මෙම කර්මාන්ත ශාලාව යුක්‌ත අතර, එසේ නොමැති නම් අධිකරණය හමුවේ එම කරුණු පෙන්වා දී ඉතා පහසුවෙන් මෙම කර්මාන්ත ශාලාව වසා දමන්නට හැකිය. උද්ඝෝෂණ වැනි සංකීර්ණ ක්‍රියාදාම දක්‌වා දුර දිග යා යුතු නැත.

අනෙක්‌ අතට මෙම කම්හලේ නිපදවන අත්වැසුම් ආහාර කර්මාන්තය සඳහා යොදා ගන්නා බැවින් සුරක්‌ෂිතතා සහතික වර්ගීකරණයෙන් මෙම කර්මාන්ත ශාලාව සිය ප්‍රමිතිය පවත්වාගෙන යා යුතුය.

එසේ තිබියදී වෙනිග්‍රොස්‌ කම්හලෙන් නිකුත් වන අපද්‍රව්‍ය මගින් තමන්ගේ ජලය දූෂිත වූවා යෑයි ගමක්‌ හඬ නැඟුවේ ඇයි?

මෙම නිෂ්පාදනයන්ම කරන වෙනිග්‍රෝස්‌ ආයතනයට අයත් කර්මාන්ත ශාලා තුනක්‌ තිබේ. එකක්‌ හංවැල්ලේ පහත්ගමය. අනික රතුපස්‌වලටත් වඩා ජනාකීර්ණ කොට්‌ටාව බ්‍රාහ්මණගමය, එම ප්‍රදේශවාසීන්ට නොතිබුණු කැසිල්ලක්‌, රතුපස්‌වලට මෙම කම්හලේ බලපෑමෙන් වූවා යෑයි කියන්නේ කෙසේද?

රතුපස්‌වල ගමේ තිබෙන වෙනිග්‍රොස්‌ කර්මාන්ත ශාලාවේ සේවකයන් හත්සිය පනහක පිරිසක්‌ 2008 වසරේ දෙසැම්බර් මාසයේ සිට දින පනස්‌ පහක වර්ජනයක්‌ දියත් කළේය. එයට නායකත්වය දුන්නේ ජ. වි. පෙ වෘත්තීය සමිති අංශය වන අන්තර් සමාගම් සේවක සංගමයයි. අන්තර් සමාගම් සේවක සංගමයට ගම්පහ ප්‍රදේශයේ ඇති පක්‍ෂ වැඩිම සාමාජිකයන් පිරිසක්‌ සිටියේ, වෙනිග්‍රොස්‌ කම්හලෙනි. ජ. වි. පෙ. මැයි රැලයේ මුල හරියේ ගමන් කරන ලද්දේ, මෙම ආයතනයේ සේවකයන්ය. 2008 දෙසැම්බර් වර්ජනයෙන් සේවකයන් 120 ක්‌ රැකියාවෙන් ඉවත් කර යළිත් සේවයට ගන්නා තැනට පරිපාලනය පැමිණියේය. යළිත් මැතිවරණයක්‌ පවත් වන්නේ 2013 ජනවාරි 29 දාය. එම වර්ජනයන් සේවකයන් 122 ක්‌ එළියට දමන්නට පාලනාධිකාරිය තීරණය කළේය.

රතුපස්‌වල කේන්ද්‍ර කරගත්, කිලෝමීටර් දොළහක සීමාව තුළ කර්මාන්තශාලා පහළොවක්‌ හා ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක්‌ තිබියදී, කැසිල්ලට හේතුව වෙනිග්‍රොස්‌ කම්හලේ අපද්‍රව්‍ය ලෙස නම් වන්නේ, මේ එකසිය විසිදෙනා එළියට විසිවීමය.

ජලය දූෂිත යෑයි ගමේ යන කතාව සංවිධානාත්මක ව්‍යාපාරයක්‌ බවට පත් කිරීමට පෙරමුණ ගන්නේ එළියට විසි වුණු පිරිස්‌ හා ඔවුන්ගේ දේශපාලනඥයන්ය.

ජුලි දාහත් වැනිදා ගමේ වතුර ගැන හා කර්මාන්ත ශාලාව පිළිබඳ සාකච්ඡා ගමේ පිරිස්‌, අදාළ බලධාරීන් හා කම්හලේ ප්‍රධානීන් අතර පැවැත්විණි.

ගම්පහ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු හා ගම්වාසීන් මේ සඳහා සහභාගි වූහ. ගම්වාසීන් අතර කුමාරදාස නම් මහතෙක්‌ද සිටියේය. ඔහු ඇන්සල් ලංකා ආයතනයේ අන්තර් සමාගම් වෘත්තීය සමිතියේ අයෙකි. 1994 වසරේ වෙඩි තැබීමකින් සේවකයෙන් මියගියේ මෙම ආයතනයේදීය. එවැනි අත්දැකීම් සහිත චරිතයක්‌, රතුපස්‌වල ජලය ගැන ප්‍රශ්නය සාකච්ඡා කෙරෙන පළමු දිනයේම ගම්වාසීන් අතරට එක්‌වන්නේය.

එතැන් සිට දිනෙන් දින තත්ත්වය මෙසේ කැටිකළ හැකිය.

ජුලි – 18

මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජගත් මනතුංග හා ගම්වාසීන් කර්මාන්ත ශාලා බලධාරීන් මුණගැසෙති. මතු වී ඇති තත්ත්වය පිළිබඳව වාර්තාවක්‌ ලබාදීම සඳහා ආචාර්ය මනතුංග වෙත ආරාධනා කරන ලද්දේ කර්මාන්ත ශාලාව මගිනි. විසිදෙනකු පමණ මෙම අවස්‌ථාවට සහභාගි වූහ. මේ වන විටත්, ජල ප්‍රශ්නයට හේතුව වෙනිග්‍රොස්‌ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය බවට වන කතාවක්‌ හා එම කර්මාන්තශාලාව වැසිය යුතු බවට වන විරෝධතා තත්ත්වයක්‌ ගමේ ඇති වේ.

ජුලි 19

ගම්වාසීන්, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා කර්මාන්තශාලා බලධාරීන්, ආයෝජන මණ්‌ඩල නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙදින සාකච්ඡාවට සහභාගි වූහ. කම්හලේ ජල සාම්පල පරීක්‍ෂණ සඳහා ලබාගත් අතර ගම්වාසීන් ඉදිරිපිට ඒවා ලබාගනී. මෙම සාකච්ඡාව කර්මාන්ත ශාලාව තුළ පවත්වයි. අනතුරුව නි. ඇමැතිවරයා හා ගම්වාසීන් අතර සාකච්ඡාවක්‌ ගමේදී සිදු වේ.

ජුලි 20

රාජ්‍ය නිලධාරීන් හා කර්මාන්ත ශාලාවේ බලධාරීන් අතර සාකච්ඡාවක්‌ කර්මාන්ත ශාලාවේ ඇති වේ.

ජුලි 23

ගම්වාසීන් ඉදිරිපිට මහර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක විසින් ජල සාම්පල් කර්මාන්ත ශාලාවෙන් ලබාගනී.

ජුලි 24

යළිත් ගම්වාසීන් ඉදිරියේ ජල සාම්පල් ලබාගනී. කර්මාන්ත ශාලාවේ සෑම තැනකින්ම වාගේ මෙම සාම්පල් ලබාගනී.

ජුලි 25

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කර්මාන්ත ශාලාවට පැමිණ ජල සාම්පල් ලබාගනී.

ජුලි 26

නි. ඇමැති ලසන්ත අලගියවන්න විසින් ස්‌ථාන තුනකදී ප්‍රදේශවාසීන් හමුවෙයි. මාස එකහමාරක්‌ තුළ ප්‍රදේශයට නළ ජලය දෙන බවට නි. ඇමැතිවරයා පොරොන්දුවක්‌ ලබාදෙයි.

ජුලි 27

ගම්වාසීන් රතුපස්‌වල මංසන්ධියේ උද්ඝෝෂණයක නිරත වෙයි. පැය දෙකකට වැඩි කාලයක්‌ පාර වසා හාරසීයක්‌ පමණ දෙනා උද්ඝෝෂණයේ යෙදෙති.

වැලිවේරිය පොලිස්‌ ස්‌ථානාධිපති, සහකාර පොලිස්‌ අධිකාරි හා පොලිස්‌ අධිකාරිවරුන් තෙරිපැහැ සිරිධම්ම හිමි සමග කර්මාන්ත ශාලාවට පැමිණෙති.

ගම්වාසීන් රැස්‌වී සිටිති. විසිර නොයන තත්ත්වය හමුවේ පොලිසිය විසින් ගම්වාසීන් විසුරුවා හරියි.

ජුලි 28

පාරවල් අවහිර කරමින් ගම්වාසීන් විරෝධතාවක යෙදෙයි. පාර අවහිර කිරීමට පොලිසිය ඉඩ නොදෙන අතර රතුපස්‌වල ක්‍රීඩාංගණයේ පිරිස රැස්‌වෙයි. එදින රාත්‍රියේ සිරිධම්ම හිමියන් සත්‍යග්‍රහයක්‌ සඳහා පිවිසෙයි.

ජුලි 29

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීහු කර්මාන්ත ශාලාවේ බලධාරින් හා ගම්වැසියන් හැත්තෑ පස්‌දෙනකුගේ පමණ සහභාගිත්වයෙන් රැස්‌වීමකි. එහිදී රාජ්‍ය නිලධාරීන්ගෙන් යුත් කමිටුවක්‌ පත් කෙරෙයි. පසුදා දිනයම ගම්වාසීන්ගේ පැමිණිලි භාරගැනීම සඳහා කමිටුව වෙන්කර ඒ බව පැමිණි ගම්වාසීන්ට දැනුම් දෙයි. මාස එකහමාරක්‌ තුළ නළ ජලය දෙන බවට රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය රතුපස්‌වල ක්‍රීඩාංගණයේ සිටින ප්‍රදේශවාසීන්ට දැනගැනීමට ලැබෙයි. උපවාසයේ නියුතුව සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් ප්‍රදේශවාසීන් මයික්‍රොපෝනයකින් අමතනු ලබයි. ප්‍රශ්නයට විසඳුම් ලැබී ඇති බවත්, නිවෙස්‌ බලා පිටත් විය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටිති.

නමුත් එතැන සිටි කර්මාන්ත ශාලාවේ වර්ජනයෙන් එළියට දමා සිටි පිරිස හාමුදුරුවන්ගේ තීරණයට එකඟ නොවන බව ප්‍රකාශ කරයි. කර්මාන්ත ශාලාව වසන තෙක්‌ තමන් සටන අතනොහරින බව ඔවුන් ප්‍රකාශ කරයි. පොලිසියද මේ වන විට ඉවත්ව ගොසිනි.

එදින රාත්‍රි අටට පමණ පන්සියයක පමණ පිරිසක්‌ කර්මාන්ත ශාලාව දෙසට පැමිණෙයි. උපවාසය කළ ස්‌වාමින් වහන්සේද ඒ අතර වෙයි. පිරිස විසින් කර්මාන්ත ශාලාවට ගල් ප්‍රහාර එල්ල කරයි. කර්මාන්ත ශාලා භූමියට පොලිසිය පැමිණෙයි. පොලිස්‌ නිලධාරියකු ගල් ප්‍රහාරයකින් තුවාල ලබයි. රාත්‍රි 11.30 වන විට තත්ත්වය සමනය කිරීම සඳහා යුද හමුදාව ද පැමිණෙයි. සිද්ධිය නිසා ප්‍රධාන මාර්ගය රාත්‍රි 8.30 සිට වැසී ගොසිනි. සියලුම මාර්ගවල ටයර් පුච්චනු ලබයි. කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරන ලද 80 දෙනකු පමණ උද්ඝෝෂණයේ ක්‍රියාකාරීව සිටිනු පෙනේ. විරෝධතාකරුවන් මහමඟ හා පිට්‌ටනියේ කෑම පිසිමින්, තේ බොමින් කටයුතු කරගෙන යයි.

ජුලි 30

උදැසන හත වන විට ‍ෙ‍ජ්Hෂ්ඨ නි. පොලිස්‌පති අනුර සේනානායක ඇතුළු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ ප්‍රදේශයට පැමිණේ. කර්මාන්ත ශාලා කළමනාකාරිත්වය වෙනුවෙන් ආචාර්ය මහේෂ රණසෝම සමග නි. පොලිස්‌පතිවරයා සාකච්ඡා පවත්වයි. උපවාසයේ නියුතු හිමියන් සමගද සාකච්ඡාවක්‌ පවත්වයි.

මේ වන විට කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙසීයක්‌ පමණ, විරෝධතාකරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට කර්මාන්ත ශාලාව තුළ පත්වේ. සේවකයන් නැවතී සිටිනා ප්‍රදේශයේ බෝඩිං ගණනාවකට ද පහර දෙයි.

මහජන උපයෝගිතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා විරෝධතාකරුවන් හා කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය හමුවෙයි.

ගම්පහ දිස්‌ත්‍රික්‌ අධිකරණයේ දී සිද්ධිය විභාගයට ගැනෙයි. තවමත් මාර්ග වැසී තිබේ.

ජුලි 31

තත්ත්වය දිගටම පැවැත්වෙයි. ගම්පහ දිස්‌ත්‍රික්‌ අධිකරණයේදී සිද්ධිය විභාග වෙයි.

මේ වන විට උපවාසයේ නියුතු හිමියන් සමග ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද දුරකථනයෙන් සාකච්ඡා කර තිබිණි. එසේම රටේ ප්‍රධාන පුවත බවට රතුපස්‌වල පත් වී තිබිණි. බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ අණ දීම යටතේ යුද හමුදාව දිගටම කර්මාන්ත ශාලාවට ආරක්‍ෂාව ලබාදෙන අතර සිද්ධියේ රැඳී සිටියි.

අගෝස්‌තු 1

වැලිවේරියේ පාරවල් වසාගෙන දින ගණනක්‌ සිටි විරෝධතාකරුවන් බැලුම්මහර මංසන්ධියට පැමිණෙයි. නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය වසා දමමින් විරෝධතාවේ යෙදෙයි. පාර වසා ටෙන්ට්‌ ඉදිකර තිබෙන අතර මිනිපෙට්‌ටියක්‌ ද උද්ඝෝෂකයෝ රැගෙන යති.

මේ වන විට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් කර්මාන්ත ශාලා බලධාරීන්, ගම්වාසීන්, රාජ්‍ය නිලධාරීන් අතර සාකච්ඡාවක්‌ කොළඹදී සිදුවෙයි. තත්ත්වය සමනය වන තෙක්‌ කර්මාන්ත ශාලාව වසා දැමීමට කර්මාන්ත ශාලා බලධාරීන් එහිදී එකඟවෙයි. විරෝධතාව අවසන් කිරීමට ගම්වාසී ර

නියෝජිතයෝ එහිදී එකඟ වූහ.

ගමේ තත්ත්වය දරුණු අතට හැරෙමින් තිබුණි. බැලුම්මහර හන්දිය වසාගෙන විරෝධතාකරුවන් සිටියහ. ඊට මඳක්‌ ඔබ්බෙන් තිබූ වතුරුගම පාර අසලින් ගමනාගමන කටයුතු සඳහා ඉඩකඩ විවර කරන්නට ආරක්‍ෂක අංශ කටයුතු යෙදූහ. විරෝධතාකරුවන් එතැනට ද රැස්‌විය. විකල්පය ද වැසී ගිය කල මුළු පළාතේම ගමනාගමන කටයුතු අඩපණ විය. විරෝධතා දිනයේ සිටම ගම්වාසීන්ව පොළඹවන ලද්දේ අරගලයක්‌ ඉල්ලාය. අහිංසක ගම්වාසීන් යෑයි වහරන ලද වුවද මැර බලයක්‌ සේ ඔවුන්ගේ පෙළගැසීම ඒ වන විට එක්‌ව තිබුණි. පොලිසියට මෙම බලවේගය සීරුමාරු කිරීම අසීරු විය.

රතුපස්‌වලට මඳක්‌ නුදුරෙන් පිහිටි දොම්පෙ පොලිසියට ගම්වාසීන් ගිනි තබන ලද්දේ අතිශය චෞර කුඩ්ඩෙකු පොලිස්‌ පහරදීමකින් මියයැම නිසාය. ඒ මීට වසර දෙකකට පමණ ඉහතදීය.

නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් විසින් ජනතාවගෙන් ගුටි කෑ පොලිස්‌ නිලධාරීන්ට අණකර තිබුණේ තුවක්‌කු දුන්නේ වෙඩි කන්නට නොවන බවය. මෙවැනි කතා රාශියක්‌ ඒ වන විටත් කරලියේ තිබිණි. රතුපස්‌වලදී පොලිසියට සිදුවූයේ එයමය. පොලිසියේ කිසිදු හඬකට එහි ජනතාව කන් දුන්නේ නැත.

ජුලි 29 වැනිදා යුද හමුදාව හා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය නොයොදන්නට අහිංසක ගැමියන් කම්හල විනාශ කර එහි සේවකයන්ගේ ජීවිත බිලිගන්නට ද ඉඩ තිබිණි. පුදුමය වූයේ අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ජීවත්වීමේ අයිතිය, පිපාසය ඇතුළු සියල්ල අවශ්‍ය වී තිබුණේ රතුපස්‌වල ගැමියාට පමණක්‌ වීමය. විරෝධතාකරුවන් සිරිසීවලී විද්‍යාලය අසල ළදරු පාසලක දරුවන් ද උද්ඝෝෂණ ව්‍යාපාරයේ වාඩිකරගෙන සිටියහ. ජීවත්වීම සඳහා ජලය ඉල්ලා පැමිණි බලවේගය මාධ්‍යට ඇසෙන සේ ප්‍රකාශ කරන ලද්දේ මරාගෙන මැරෙන බවය. ආරක්‍ෂක ලේකම්වරයා මැදිහත් වී තත්ත්වය සංසිඳුවා තිබුණ ද විරෝධතාකරුවන් වගේ වගක්‌ නොමැතිව තම කාර්යයේ නිරතව සිටියෝය.

නුවර පාර මුළුමනින්ම වැසී යැම තුළ වතුරුගම පාර අසල මිරිස්‌වත්ත හන්දිය ගමනා ගමන කටයුතු සඳහා විවර කර දෙන්නට, පහරදීම මගින් විරෝධතාකරුවන් එලවීමට ද යුද හමුදාවට සිදුවිය.

ඊළඟ තැන වූයේ බැලුම්මහරය. එතැනදී විවෘත ලෙස සියලු විරෝධතාකරුවන් අමතන්නට හමුදාවට සිදුවිය. බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන එහිදී ප්‍රකාශ කළේ විරෝධතාකරුවන්ට විසිර යන ලෙසය. අහිංසක ගැමියන් බ්‍රිගේඩියර් ගුණවර්ධන සමඟ වාද විවාද කරගත්තේ මෙතැනදීය. ජීවත්වීමට ජලය ඉල්ලා සිටි අහිංසක ගැමියකු බ්‍රිගේඩියර් ගුණවර්ධන වෙත ප්‍රකාශ කරන ලද්දේ මෙතැනින් නොයන බවත් මරාගෙන මැරෙන බවත්ය.

කෙසේ හෝ අරියාදුවෙන්ම පාර ඇරගන්නට හමුදාව සමත් විය.

ඊළඟට විවෘත කළ යුතුව තිබුණේ වැලිවේරිය හන්දියයි. පාර විවෘත කිරීමට පොලිසියට හා හමුදාවට නිමා නොමැති ගල් වරුසාවකට මුහුණ දෙන්නට සිදුවිය. පොලිසිය විසින් කඳුළු ගෑස්‌ එල්ල කරන්නේ මේ අතරය. කඳුළු ගෑස්‌ වර්ෂාව කෙතරම් දරුණු වූවාද කිවහොත්, යුද හමුදාව පවා කඳුළු ගෑස්‌ මගින් පීඩාවට ලක්‌විය. එහෙත් විරෝධතාකරුවෝ නොසැළුණහ. පොලිසිය සතු කඳුළු ගෑස්‌ නිමාවට පත්විය. කරකියාගත නොහැකි වූ පොලිසිය තත්ත්වය සමනය කිරීම සඳහා හමුදාවට මුළුමනින්ම “බාර දෙන්නේ” මෙතැනදීය.

වැලිවේරිය දක්‌වා යන හමුදාවට හූ හඬින් ඇරඹි ගල්මුල් ප්‍රහාර දක්‌වා යන විරෝධතාවයකට මුහුණදෙන්නට සිදුවිය. හමුදා පහරකෑමෙන් විරෝධතාකරුවන් තුවාල ලැබුවා සේම, ගැමියන් වෙතින් හමුදාව ද තුවාල ලබන්නට පටන් ගත්තේය.

වැලිවේරිය නගරයේදී විරෝධතාකරුවන් අමතමින් බ්‍රිගේඩියර් ගුණවර්ධන ප්‍රකාශ කරන ලද්දේ පාර විවෘත කිරීමට අවශ්‍ය නිසා මහමගින් ඉවත් වන ලෙසය. බ්‍රිගේඩියර් ගුණවර්ධන ජනතාව අමතමින් සිටියදීම අසල සිටි තවත් හමුදා ප්‍රධානියකුට ආරක්‍ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් ප්‍රශ්නය විසඳුණු බව දැනගන්නට ලැබිණි. උඩට නැග ජනතාව අමතමින් සිටි බ්‍රිගේඩියර් ගුණවර්ධන පහළට බැඳ මෙම පණිවුඩය දැනගත් අතර යළිත් ඉහළට නැග මයික්‍රෙපෝනය මගින් ජනතාවට ඒ බව දැනුම් දුන්නේය. තත්ත්වය යම් සමථයකට පත්ව තිබිණි. ගැමියන්ට විසඳුම් ලැබුණ ද වෙනිග්‍රෝස්‌ ආයතනයෙන් ඉවත් කරන ලද “රතු චණ්‌ඩින්ට” ඒ පිළිතුර ප්‍රමාණවත් නොවීය. පාර විවෘත කිරීම සඳහා එකඟතාවක පැමිණ හමුදාව විසින් මහමඟ දමා තිබූ බාධක ඉවත් කිරීමට පැමිණෙන විට “රතු චණ්‌ඩින්” මහහඬින් පැවසුවේ තමන් මහමගින් ඉවත් නොවන බවය. ඒ සමඟම කලින් සූදානම් කරගෙන තිබූ ගල්මුල්, වැලි පිරවූ බෝතල් ආදියෙන් හමුදාවන්ට ප්‍රහාර එල්ල විය. ඊට පෙර දිනයේදී ජලය බීමට නොහැකි නිසාදොa විරෝධතාකරුවන් අරක්‌කු කේස්‌ විස්‌සක්‌ හිස්‌කර තිබිණි. අංක තහඩු නොමැති කැබ් රථ මගින් ඒවා ප්‍රවාහනය කර තිබිණි. යම් ප්‍රශ්නයක්‌ තිබුණා යෑයි සිතුවද විරෝධතා දැක්‌විය යුතු තත්ත්වයට එහා ගොස්‌ රතුපස්‌වල ත්‍රස්‌තවාදය බිහිවන්නේ මේ සමඟය. පොලු මුගුරු, ගල්මුල් ප්‍රහාර සමඟ තත්ත්වයට මුහුණදීම හමුදාවට අසීරු විය. පෙට්‍රල් බෝම්බ ප්‍රහාර ද හමුදාව දෙසට එල්ල විය. අසල තිබූ ඉන්ධන පිරවුම්හල වෙත පෙට්‌රල් බෝම්බ ප්‍රහාර තුනක්‌ පමණ එල්ල විය. එය සේවකයන් මගින් ගිනි නිවන උපකරණ යොදා නිවා නොදමන්නට මහා අග්නියකින් පළාතම වැසී යන්නට ඉඩ තිබුණි. අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි වෙඩි ප්‍රහාර ද හමුදාව දෙසට එල්ල වී තිබේ. හමුදා සෙබළුන්ගේ සීමාව ඉක්‌මවා යන්නේ එතැනිනි. මාධ්‍යකරුවකුගේ කැමරාව හමුදාව විසින් බිඳ දමන ලද්දේය. එතැනින් පසු වෙඩි ප්‍රහාර එල්ල විය.

මේ වන විට ප්‍රදේශවාසීන් තිදෙනකුගේ ජීවිත විනාශ වී තිබේ. හමුදා සෙබළුන් විස්‌සකට වඩා තුවාල වී තිබේ.

නමුත් ඇසෙන්නේ එක්‌ කරුණක්‌ පමණකි. මාධ්‍ය විසින් ආවරණය කර රටටම බෙදන්නේ ද එයම පමණි. රතුපස්‌වල මිනිස්‌සුන්ට හමුදාව වෙඩි තිබ්බා, මරා දැම්මා. හමුදාවට එල්ල වූ ප්‍රහාරය ගැන කිසිදු කතාවක්‌ නැත. සමහරු කීවේ රතුපස්‌වල නන්දිකඩාල් කලපුවක්‌ බවට පත්කරන ලද බවය. රටම මිලිටරි යාන්ත්‍රණයකට යටත් කර ඇති බවය. හමුදාපතිවරයකු ජනාධිපති කරන්නට මීට වසර තුනහමාරකට පෙර උත්සාහ දැරූ පිරිසට මිලිටරිකරණයක්‌ ගැන හඬ නගමින් සිටියේය. ලසන්ත වික්‍රමතුංග මරා දමන ලදැයි, උපාලි තෙන්නකේන්ව කපා දමන ලදැයි, කීත් නොයාර්ට පහර දෙන ලදැයි රටම දන්නා මිලිටරිකරණය, ජනාධිපති කරන්නට හැදූ පිරිස කැමරාවක්‌ පොලොවේ ගැසීම මාධ්‍යයට කරන ලද ලොකුම හිංසනය ලෙස අරුත්ගන්වමින් තිබිණි.

තුවක්‌කු පත්තුවන්නේ ඉබේ නොවේ. කොකාට අත තබන මිනිසා අනුවය. ශ්‍රී ලංකා හමුදාව ලෝකයේම විනයවත් හමුදාවක්‌ ලෙස ප්‍රසංශා ලැබ තිබේ. යුද සමයේදී එල්. ටී. ටී. ඊ. තුවක්‌කුවට ප්‍රේම කරමින්, හමුදා තුවක්‌කුවට වෛර කරන ලද එන්. ජී. ඕ. නඩය හමුදාවට එරෙහි යළිත් පිටියට බැස්‌සේය.

ජීවිත අමිලය. රතු චණ්‌ඩින්ගේ වැඩවලට අහිංසකයන් පළි ද නැත. සිද්ධියක්‌ ඛේදවාචකයක්‌ කරන ලද්දේ මිනිසුන් විසිනි. එහිදී මියයන ලද්දේ මනුෂ්‍යකමය. හමුදාවෝ ද මනුෂ්‍යයෝය. ඔවුන්ගේ ජීවිත ද ජීවිතය. වතුර ඉල්ලා කරන අරගලයට විසඳුමක්‌ ලැබී තිබියදීත් මරාගෙන මැරෙන්නට ඉල්ලු පිරිස්‌ “නිදොස්‌ය.” මෙතැනදී යම් සෙයකින් හමුදා භටයකු මළේ නම්, වැඩේ බැලන්ස්‌ය. ඒකපාර්ශ්වික වාර්තාකරණය විසින් සියලු වගකීම හමුදාව වෙතට දමා අත පිසදාගෙන තිබේ. මෙය තවත් චැනල් ෙµda පන්නයේ මාධ්‍ය මෙහෙයුමකි.

වැඩිදුර විස්‌තර නොසොයන්නාට සිද්ධිය පෙනෙන්නේ ‘හමුදාව ආවා, වෙඩි තිබ්බා’ යන ළදරු මනසේ සාධනයකි. නොදැනුවත්කම, සංවිධානාත්මක කඩාකප්පල්කාරීන් පිරිසක්‌ ඉදිරියට පැමිණුනි. නොඉවසිලිවන්තකම ද අනුපානයට එක්‌වී තිබිණි. රතු දේශපාලනයේ වෛරය හොඳ පදනමට තිබුණි. අනෙකා ද ඇවිස්‌සුණි. ප්‍රතිඵලවය ඛේජනකය. තමන්ගේ දේශපාලන ගිම්හානයට රතුපස්‌වල වසන්තයක්‌ කර කැඳවා ගන්නට රත්තන්ට අවශ්‍ය වී තිබිණි.

මෙතැනදී කිවයුතුම දෙයක්‌ වන්නේ හමුදාව සතු අවම අවි බලය තවමත් ටී පනස්‌හයේ තිබීමය. හමුදාව තම ආරක්‍ෂාවට භාවිතා කරන ලද්දේ එයය. පැමිණ සිටි හමුදාව හරියට වෙඩි තිබ්බා නම් රතුපස්‌වල දෙවැනි අරන්තලාවක්‌ බඳු වීමට තිබිණි.

යමෙකුට සියල්ල වැඩක්‌ නැති ඒවා වන්නට පුළුවන. පී. එච්. අගය, විරෝධතාකරුවන්ගේ ක්‍රියා, ප්‍රාණ ඇපයට ලක්‌වූ ජනතාව, ළමුන් වැනි දේ ඔවුන්ට වැඩක්‌ නැත. වැඩක්‌ තිබෙන්නේ හමුදාව අතින් මළ ගණනය. ගණන ඉහළ යන්නට යන්නට ඔවුන්ට සතුටුය. රතුපස්‌වල ගම්මුන්ගේ දුක ගැන කතා කරන කොළඹ සිටින්නන් පිරිසකට මෙය තවත් 20-20 තරගයකට වඩා වෙනසක්‌ නැත.

ඒ පස්‌ රතු වූයේ ලේවලිනි. සිද්ධියට පසුදා දිවයින කතුවැකිය සනිටුහන් වූයේ ඒ සිරස්‌තලයෙනි.

ඒ ලෙය වැගිරුණේ රතු දේශපාලනයෙනි.

සමාප්තිය ලෙස ඒ වැකිය සනිටුහන් කොට තබමු.

Read Full Post »