Feeds:
Posts
Comments

Posts Tagged ‘යාපනයේ ස්‌වාධීන රාජ්‍ය මිත්‍යාව’

දුරාතීතයේ හෝ යුරෝපීයයන්ගේ යුගයේදී මෙරට ඊළමක්‌ තිබුණේ නැත.

the-portuguese-period-1දෙමළ ඊළාම් ව්‍යාපාරයේ වංචා සහගත ක්‍රියාවන් අතර මුල් තැන ගන්නේ ඊළාම් සිතියමයි. දෙමළ නිජබිම යනුවෙන් ප්‍රදේශයක්‌ වෙන් කර ලකුණු කර මේ කුඩා රට දෙකඩ කිරීමට ඔවුන් කටයුතු කරති. මේ මුළුමනින්ම වංචාවකි. පෙඩරල් පක්‍ෂය දෙමළ නිජබිම් සංකල්පය නිර්මාණය කළ අතර එය හුදු සංකල්පයක්‌ මිස කිසිකලෙකත් ලංකා පොළොව මත තිබූ දෙයක්‌ නොවේ. ලෝ පුරා ප්‍රචාරය කරන මෙම සිතියම ලංකා ඉතිහාසය නොදන්නා අයකුට ද ලංකා පොළොවට පය ගසා නැති අයකුට ද, ඇත්ත යෑයි සිතිය හැක. ලංකාවේ ජීවත් වන දෙමළ ජනයාට මෙම අදහස ඉංග්‍රීසීන් විසින් මිෂනාරීන් හරහා පාසල්වල උගන්වා දේශපාලන මතවාදයක්‌ ලෙස ද, ගෙන එමින් දෙමළ ජනයාගේ ලෙයට කා වද්දා ඇත.

SRI LANKA zwart wit

සිංහලයන් තම පළමු රජ විජයගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ දක්‌වා රජ පරපුරක්‌ සිටි බව මහාවංශ ආදී පොත් ඇසුරෙන් විශ්වාසයට ගෙන ඇත. එය තහවුරු කිරීමට නටබුන්, ගොඩනැඟිලි, වැව් අමුණු, පුදබිම් හා සෙල්ලිපි ආදිය අපට දැකගැනීමට ඇත. එහෙත් දෙමළ රාජධානියක්‌ තිබූ බවට එබඳු සාධක කිසිවක්‌ නොමැත. ඇත්තේ ගොබෙල්ස්‌ න්‍යායේ ප්‍රචාරයක්‌ පමණි.

map2

දැනට ලංකා ඉතිහාසය පිළිබඳ ඇති සිතියම් ඇසුරෙන් අධ්‍යයනය කර බැලීම මගින් ඊළාම් සිතියම ඇත්තක්‌ ද බොරුවක්‌ ද යන්න වටහා ගත හැක. මේ සඳහා අපි සිතියම් 6 ක්‌ උපයෝගී කර ගනිමු.

1. පෘතුගීසීන් පැමිණෙන විට ලංකාවේ සිතියම (කේ. එම්. ද සිල්වා (A HISTORY OF SRI LANKA) පොතේ 146 වැනි පිටුව

2. පෘතුගීසීන් යාපනය යටත් කර ගත්තා වූ 1620 සිතියම (එම 170 පිටුව)

3. ලන්දේසීන් හඟුරන්කෙත ගිවිසුම කීර්ති ශ්‍රී රජසිංහ රජු සමඟ අත්සන් කළ පසු ලංකාවේ සිතියම (එම 216 පිටුව)

4. ලන්දේසි යුගයේ පරිපාලන ප්‍රදේශ (නාත් යෝගසුන්දරම් A Comprehensive History of Sri Lanka)

5. කෝල්බෲක්‌ ප්‍රතිසංස්‌කරණ අනුව ලංකාව පළාත් 5 කට බෙදූ සිතියම (පාසල් පොත් ඇසුරෙන්)

6. දෙමළ ඊළාම්වාදීන්ගේ ප්‍රචාරක සිතියම (කේ. එන්. ඕ. ධර්මදාස- බෙදුම්වාදී න්‍යාය පොතෙන්)

මෙම සිතියම් 6 ට අමතරව ලංකා ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් විසින් උඩරට අණදෙන නිලධාරී (1817 – 1820) වෙත නිකුත් කළ සමූලඝාතන නියෝගය.

map1

කෝල්බෘක්‌ ප්‍රතිසංස්‌කරණ අනුව ශ්‍රී ලංකාව පළාත් පහකට බෙදූ ආකාරය

map3ඒ අනුව මෙම විග්‍රහය කිරීම සඳහා පළමු සිතියම එනම් පෘතුගීසීන් පැමිණි කාලයේ සිතියම සළකා බලමු. එහි කෝට්‌ටේ, රයිගම, සීතාවක, උඩරට රාජධානිය හා යාපනය රාජධානිය ද පෙන්වා ඇත. මෙම සිතියමේ තද කළු වර්ණයෙන් ලකුණු කර ඇත්තේ යාපනය රාජධානියයි. එය ආර්යචක්‍රවර්තී නමින් වූ දෙමළ කතාකරන ආර්ය වංශික රජ පරපුරක්‌ පාලනය කළ ප්‍රාදේශීය රාජ්‍යයකි. එය කලක්‌ කෝට්‌ටේ යටතේ ද ඉන්පසු සීතාවක යටතේ ද එම රාජ්‍යය කඩා වැටෙන විට උඩරට රාජ්‍යය යටතේ ද කටයුතු කළ රාජ්‍යයකි. ඒ බව යාල්පාන වෛපමාලය පොතේ පරිෂ්ඨයේ (xxxviii) පිටුවේ දක්‌වා ඇත. යාපන රාජ්‍යයේ සීමාව සිතියමේ ඉතා ප්‍රවේශමෙන් බලන විට මන්නාරමෙන් උතුරට වන්නට පුනරීන් දක්‌වාද එතැන් සිට කිලාලි කලපුවේ දකුණු තීරයද, යාපන අර්ධද්වීපයද ඊට අයිතිව තිබූ බව පෙනේ. එහි දැක්‌වෙන ත්‍රිකුණාමලය මඩකලපුව ආදී ප්‍රදේශ ද මන්නාරමේ සිට මීගමුව දක්‌වා පළාත් ප්‍රධානීන් ද සෙනරත් රජු බැහැදැකීමට 1613 පැමිණ සිටි බව බැල්ඩියස්‌ගේ ලංකා පුරාවෘත පොතේ දැක්‌වේ. ඒ අනුව පෘතුගීසීන් පැමිණි 1505 සිට යාපනය පෘතුගීසීන්ට යටත්ව 1620 වර්ෂය දක්‌වා ඊළාම් රාජ්‍යයක්‌ තිබූ බවට සේයාවක්‌වත් මෙම සිතියමේ දක්‌නට නැත. ඒ නිසා තමන්ගේ ඊළාම් රාජ්‍යය පෘතුගීසීන් යටත් කර ගත්තා යෑයි කීවත් 6 වැනි සිතියමේ පෙන්වන ඊළාම් රාජ්‍යයක්‌ පිළිබඳ ඇඟවීමක්‌ පළමු සිතියමෙන් සොයා ගත නොහැක. උඩරට රජු ඉන්දියාවේ තංජොරයේ සිට වන්නි හා මාතලේ හරහා යුද සැපයීම් ගෙන්වා ගත්තේ සිය අණසක වන්නි ප්‍රදේශවල තිබූ නිසාය. මේ අනුව කේ.එම්. ද සිල්වා මහාචාර්යවරයාගේ පොත් ඇසුරෙන් ඊළාම් රාජ්‍යයක්‌ පිළිබඳ සිතියමක හැඟවීමක්‌ හෝ සොයාගත නොහැකි බව පළමුවැනි සිතියම පරීක්‍ෂා කිරීමේදී පෙනේ.

map4
map6දෙවැනි සිතියම සළකා බලමු. එය 17 වැනි සියවසේ මුල යනු පෘතුගීසීන් යාපනය යටත් කරගන්නා යුගයයි. එනම් 1620 වර්ෂයයි. මේ කාලය වන විට කෝට්‌ටේ ධර්මපාල කුමාරයා තෑගි ඔප්පුවකින් ලංකාව පෘතුගීසීන්ට පවරා දී හමාරය. එම ගිවිසුම අනුව සීතාවක, සත් කෝරළය, මහනුවර, යාපනය, සතර කෝරළය රජුට කප්පම් ගෙවන වන්නිය ද, පානම් 2 කද, වැල්ලවාය කොස්‌ගම, වෙල්ලස්‌ස, පාළුගම, මඩකලපුව, කොට්‌ටිආරම, ත්‍රිකුණාමලය, පුත්තලම, මන්නාරම, නුවර කලාවිය ද පෘතුගීසීන්ට පැවරී ඇත. ඒ අනුව වැටහෙන්නේ කෝට්‌ටේ ප්‍රධාන රජුට ලංකාවේ සියලුම ප්‍රදේශ අයිතිව තිබූ බවයි. මේ අනුව පෘතුගීසීන් ඊළාම් රාජ්‍යය යටත් කර ගත්තා යෑයි කියතත්, එවැන්නක්‌ නොතිබූ බව මේ කරුණුවලින් තහවුරු වේ. මේ අනුව දෙවැනි සිතියම අනුව ද, ප්‍රචාරය කරන ඊළාම් සිතියමක්‌ තිබූ බවට තහවුරුවක්‌ නොපෙන්වයි.

දැන් අප 3 වැනි සිතියම කෙරේ අවධානය යොමු කරමු. එම සිතියම 17 වැනි සියවස මැදදී ලංකාවේ තත්ත්වය පෙන්වයි. සිතියම පරීක්‍ෂා කිරීමේදී පෙනෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු මුහුදුබඩ පළාත්වලින් ගව්වක තීරයක්‌ ලන්දේසීන්ට පවරා දුන් පසු තත්ත්වය එහි දක්‌වන බවයි. එම සිතියම අනුව යාපනය, මන්නාරම, කල්පිටිය, පුලියන්දූව (මඩකලපුව) ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ ද ලන්දේසීන්ට පවරා ඇති බව පෙනේ. ඒ අනුව වර්තමානයේ උතුර නැගෙනහිර හැටියට පෙන්වන ප්‍රදේශ උඩරට රජුට අයිතිය තිබූ බවයි. (මෙම ගිවිසුම පිළිබඳව මඩකලපු වෘතාන්ත පොතේ 17 වැනි පිටුවේ දැක්‌වේ) ඒ බව ලන්දේසීන් ද පිළිගෙන ගිවිසුමට අත්සන් කර තිබීමෙන් එය වැඩි දුරටත් තහවුරු වේ. එවක දෙමළ ඊළමක්‌ තිබුණේ නම් උඩරට රජු සමග මේ ප්‍රදේශ අත්පත් කර ගැනීමට ලන්දේසීන්ට ගිවිසුමක්‌ අත්සන් කිරීමට අවශ්‍යතාවක්‌ තිබීමට හේතුවක්‌ නැත. ඒ අනුව එම සිතියමෙන් ද දෙමළ ඊළමක්‌ පිළිබඳ සේයාවක්‌ සොයාගත නොහැක.

දැන් අප 4 වැනි සිතියම සලකා බලමු. නාත් යෝගසුන්දරම් ලියූ A comprehensive History of Sri Lanka නමැති පොතෙන් මෙම සිතියම උපුටාගෙන ඇත. එම දෙමළ ලේඛකයා දක්‌වා ඇති සිතියමට අනුව පානම සිට මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය, වන්නිය හා මන්නාරම එක ප්‍රදේශයක්‌ ලෙස සිතියම් ගත කර ඇත. එම සිතියමට පුත්තලම හා දැදුරු ඔය දක්‌වා ප්‍රදේශ යා කල විට වර්තමාන ඊළාම් සිතියමට සම්බන්ධයක්‌ ඇති බව පෙනේ. එහෙත් 3 වැනි සිතියමෙන් පෙන්වන්නේ පානම, මඩකලපු, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල වරායන් හා ඒ අවට ලන්දේසීන්ගේ සෘජු පාලනය යටතේ තිබූ බවයි. සෙසු භූමිය උඩරට රජුට විවෘතව තිබූ බව ඉංග්‍රීසී ආණ්‌ඩු කාලයේ ලියකියවිලිවලින් තහවුරු වේ. බ්‍රවුන්රිග් නිකුත් කළ නියෝගයක දැක්‌වෙන්නේ පෘතුගීසි හා ලන්දේසි මුහුදු වරායවල් පමණක්‌ පාලනය කළ බවකි. ලන්දේසීන් හා පෘතුගීසීන් පාලනය කළේ මුහුදු වරායවල පමණි. එම නිසාම දුර බැහැර රට අභ්‍යන්තර ප්‍රදේශවල අනියමින් බාධා පැන නඟී, යයි එහි සඳහන් වේ. එකී නියෝගය සිංහල පරිවර්තනයත් සමග පහත දක්‌වමි.

පෘතුගීසි හා ලන්දේසි පාලනය කළේ මුහුදු වරාය පමණි. ඒ නිසා රටේ දුර බැහැර පළාත්වල පැවති සෙසු ප්‍රදේශවල නිතර ආරවුල් තිබී ඇත.

ප්‍රධාන විධානය

ලංකාවේ ප්‍රධාන අණදෙන නිලධාරී හා ආණ්‌ඩුකාරවරයා නුවර පළාතේ 1817 – 1820 අණදෙන නිලධාරියාව කටයුතු කළ මේජර් ඩී. මැක්‌ඩොනල්ඩ් වෙතට

නියෝගය –

බ්‍රවුන්රිග් විසින් මේජර් මැක්‌ඩොනල්ට අණ කරයි.

වයස අවුරුදු 18 ට වැඩි සියලුම පිරිමින් මරා දැමිය යුතුයි.

සියලු නිවාස කඩා බිඳ දමා ගිනි තැබිය යුතුයි.

මිනිස්‌ ආහාරයට ගත හැකි පල දරණ සියලු ගස්‌ කපා හෙළිය යුතුයි.

සියලුම ධාන්‍ය විනාශ කළ යුතුයි, නැතහොත් අත්පත් කර ගත යුතුයි.

වාරි වැව් හා ඇළවල් කඩා බිඳ දැමිය යුතුයි.

මිනිසුන්ට අයිති වූ හමුදාවේ අවශ්‍යතාවයට අතිරික්‌ත වන සියලුම ගවයින් අප්‍රමාදව විනාශ කළ යුතුයි.

Dutch and the Portuguese
only controlled seaports
Therefore only indirectly
disturbed the rest of
countryside
GENERAL ORDERS:
COMMANDER – IN – CHIEF & GOVERNOR OF
CEYLON
TO MAJOR D. MACDONALD COM’DING
OFFICER
KANDYAN PROVINCE 1817 – 1820
BROWNRIGG ORDERED MAJOR
MACDONALD
THAT ALL MEN ABOVE 18 SHOULD BE
KILLED.
ALL HOUSES PULLED – DOWN AND BURNT
AND
ALL TREES BEARING FRUITS OF USE TO
HUMAN
BEINGS, FELLED. ALL GRAINS SHOULD
EITHER BE
DESTROYED OR CONFISCATED. IRRIGATION
TANKS AND CANALS SHOULD BE
BREACHED
ALL CATTLE BELONGING TO THE PEOPLE
WHICH WERE IN EXCESS OF THE
REQUIREMENTS OF THE
ARMY SHOULD
FORTHWITH BE
DESTROYED.

මේ නියෝගයෙන් ලන්දේසි පාලන යුගයේ වරායවල හැර සෙසු ප්‍රදේශ ඔවුන් පාලනය නොකළ බව ඉංග්‍රීසීන්ගේ වගකිවයුතු ලියවිල්ලකින් තහවුරු වේ. මේ තහවුරුවට අමතරව ඉංග්‍රීසීන් ලංකාවේ යුද අපරාධ කළ බවට සාධකයක්‌ ද ඉස්‌මතු වේ. එය මෙහිදී අමතක කර දමා සිටීම අපහසුය. මේ නියෝගය කියවන ඔබට එහි භයානකකම වැටහෙනු ඇත. මෙය යුද අපරාධ කළ බවට ලිත සාක්‍ෂියකි. මෙයින් මරා දැමූ ඌව වෙල්ලස්‌සේ මිනිසුන් සංඛ්‍යාව දශ ලක්‍ෂයක්‌ බව තහවුරු වී ඇත. මිනිසා, ගහ කොළ, තිරිසනුන් පවා මේ ම්ලේච්ඡ අපරාධයට භාජන වී ඇත. මේ අපරාධය ඊළාම්වාදීන් අද ප්‍රචාරය කරන ලංකාවේ හමුදාව කළා යෑයි කියන යුද අපරාධවලට මෙබඳු සෘජු ලිත කිසිම සාක්‍ෂියක්‌ සොයා ගැනීමට නැත. එම නිසා යුද අපරාධ පිළිබඳ ඊළාම්වාදීන්ගේ ප්‍රචාරය සිතියම මෙන්ම වංචාවකි.

මේ වියරුවෙන් පසුව 1833 දී ලංකාව පළාත් පහකට බෙදන ලදී. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර හා මධ්‍යම යනු එම පළාත් වේ. මේ පළාත් බෙදීමේදී උඩරට ප්‍රදේශවල කොටස්‌ සෙසු ප්‍රදේශවලට යා කර මධ්‍යම පළාත කුඩා ප්‍රදේශයක්‌ බවට පත් කර ඇත. එයින් ඉංග්‍රීසීන් බලාපොරොත්තු වූයේ නැවත නැඟී සිටීමකට සිංහලයාට ඉඩ නොදීමයි. මෙයින් කලකට පසුව උතුරු පළාතින් නුවර කලාවිය වෙන් කරන ලදී. ඊටපසු වයඹ වෙනම පළාතක්‌ බවට ද ඌව හා සබරගමුව නව පළාත් දෙකක්‌ද කිරීමෙන්, අද තිබෙන පළාත් 9 ක සංයුතිය ඇති විය. මේ අතර වාරයේ නැගෙනහිර බිම් තීරයට උඩරට රාජ්‍යයේ සමහර ප්‍රදේශ යා කර ගැනීමෙන් ඊළාම් සිතියමේ සමහර ප්‍රදේශ රට ඇතුළට නෙරා විත් ඇත. මේ සිදු වූයේ ඌව වෙල්ලස්‌ස මිනිස්‌ ඝාතනයෙන් පසු හිස්‌වූ ප්‍රදේශ නැගෙනහිරට යා කර ගැනීමෙනි. ඌවේ විමුක්‌ති සටනට ගලා ගිය ලේ මත ඊළාම් දේශය විහිදා ඇති බව පෙනේ.

ඇත්ත වශයෙන්ම නැගෙනහිර පළාතේ වරායවල හැර ලන්දේසි පාලනයක්‌ නොතිබූ නිසා නාත් යෝගසුන්දරම්ගේ පොතේ ඇති සිතියම පරිපාලන සිතියමක්‌ වශයෙන් ගත නොහැක. අවසාන වශයෙන් කිව හැක්‌කේ දුරාතීතයේ හෝ යුරෝපීයයන්ගේ යුගයේ ලංකාවේ ඊළාම් දේශයක්‌ නොතිබූ බවයි. එසේ තිබූ බවට කිසිම සාක්‍ෂියක්‌ සොයා ගත නොහැකි බව කලින් සඳහන් කළෙමි. මෙය හුදු අනාගත වැඩසටහනක්‌ මිස පැවති දේශපාලන සත්‍යයක්‌ නොවේ. ලංකාව දෙකඩ කර ත්‍රිකුණාමලය අත්පත් කර ගැනීමේ අනාගත සැලැස්‌ම ඇමරිකාව ක්‍රියාත්මක කරවන අන්දම තේරුම් ගැනීමට මෙය හොඳ නිදසුනකි.

පියසිරි අමරකෝන්
ගණකාධිකාරි සේවා සංගමයේ හිටපු සභාපති

Advertisements

Read Full Post »