Feeds:
Posts
Comments

Posts Tagged ‘LTTE’

ධීවර සම්පත ගැන කතා කරන විට වසර ගණනාවක සිට මුලතිව් හි කෝකිලායි ධීවර ගම්මානයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. කෝකිලායි ධීවර ගම්මානය සුන්දර ගම්මානයක් වුවත් එහි ජීවත් වන ධීවරයන්ගේ ජීවිත නම් සුන්දර නැත.   

කෝකිලායි දූපතේ එක් පැත්තක ජීවත් වන්නේ මුස්ලිම් ජනතාවයි. තවත් පැත්තක ජීවත් වෙන්නේ දමිළ ජනතාවයි. ඒ ගම්මාන සියල්ලන්ටම මැදි වී ඇත්තේ කෝකිලායි දූපතේ පිහිටි ධීවර ගම්මානයයි. කතෝලික ජනතාවක් සිටින එම ගම්මානයේ සිටින්නේ වසර ගණනාවක සිට ධීවර කර්මාන්තයේ නිරත වූවන්ය. ඔවුන් බොහෝ දෙනෙකුගේ මුල් බිම් වන්​නේ මීගමුව ප්‍රදේශයයි. ඇතැම් අය කෝකිලායි ගම්මානයේ උපන් අය වෙති.   

කෝකිලායි ගම්මානය පසුගිය යුද සමයේ අතිශයින්ම ප්‍රහාරවලට ලක් වූ ගම්මානයකි. 1984 වසරේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරවලින් 40 දෙනෙක් පමණ මිය ගියහ. එහෙත් ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ වුවද එම ගම්වාසීන් ගම්මානය අත හැර ගියේ නැත. ගම්මානයට ඇතුළු වීමට නිසි මාර්ග පද්ධතියක් නොතිබිණි.

ඒ සඳහා එක්කෝ යාත්‍රාවක් හෝ බෝට්ටුවක් අවශ්‍ය විය. එහෙත් අද මාර්ගයක් ඉදි වී තිබේ. එහෙත් එම මාර්ගය නිසි නඩත්තුවක් කර නැත.

ගම්මානයේ සිට මීටර 500ක් පමණ දුරකින් කාපට් කළ මාර්ග ඉදි කර ඇත. ඒ දෙමළ ගම්මාන බහුල ප්‍රදේශවලයි. පසුගිය දිනවල උතුරු වසන්තය ක්‍රියාත්මක කළ ද කෝකිලායි ගම්මානයට ඒ වසන්තය උදා නොවුණේ සිංහල ගම්මානයක් නිසාවෙනි. ගම්මානයට ඇත්තේ එකම එක පාසලකි. එහෙත් පාසලේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් නොමැත. බොහෝ දෙනෙකු දුෂ්කර ගම්මාන නිසා සේවයට වාර්තා කරන්නේ නැත.

කෝකිලායි ධීවර ගම්මානයේ ධීවරයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා අපි පසුගියදා එහි චාරිකාවක නිරත වුණෙමු.

කෝකිලායි ශාන්ත ආනා ග්‍රාමීය ධීවර සංගමයේ සභාපති දමයන්ත ප්‍රනාන්දු මහතා මෙසේ අදහස් පළ කළේය.

අපි පාරම්පරික ධීවරයෝ. මම ඉපදුණෙත් මුලතිව්වල. හැඳුනුම්පතේ පවා එය සඳහන් වෙනවා. නමුත් අපේ ගෙවල්වලට අංකයක් හෝ ලියාපදිංචි ඔප්පුවක් නැහැ. අපි ඒවා ඉල්ලන්න ගියාම අපිව හඳුන්වන්නේ කල්ලතෝනි හැටියට.

මේ ගම්මානය අවුරුදු 90ක පමණ ඉතිහාසයකට හිමිකම් කියනවා.

සමහරු සිතන් ඉන්නේ අපි යුද්ධයෙන් පස්සේ මේ ගම්මානයට පදිංචියට ආවා කියලා. අපේ උප්පැන්න සහතික, හැඳුනුම්පත්වල පවා තිබෙන්නේ මේ ගමේ ලිපිනය. ඇතැම් අයගේ ඡන්දය තිබෙන්නේත් මෙහේ. අපි යුද්ධය දරුණුවට යන කාලේත් මේ ගමේමයි පදිංචි වෙලා හිටියේ. අපිට කිසිම සාධාරණයක් කරලා නැහැ මොන ආණ්ඩුවකින්වත්. දැන් උතුරු වසන්තය කියලා එකක් ආවා. මෙතන ඉඳලා මීටර් 500ක් ඈතින්. ඒත් ඒ වැඩසටහන මේ ගමට ආවේ නැහැ අපි සිංහල නිසා. අපි ග්‍රාමසේවක ළඟට ගියත් ප්‍රාදේශීය ලේකම් ළඟට ගියත් අධිකරණයට ගියත් ජාති භේද සලකනවා. කිසිම සේවයක් මේ ගමට හෝ ගමේ ජනතාවට කරන්නේ නැහැ. අපිත් මේ රටේ මිනිස්සු. අපිටත් සාධාරණයක් ඉෂ්ඨ වෙන්න ඕනෑ.

කෝකිලායි ගම්වාසීන් ජීවත් වන නිවාස

 

කෝකිලායි ගම්මානයේ ඇති එකම පාසල 

ගමේ පවුල් 400ක් විතර ජීවත් වෙනව. භූමිය වර්ග කිලෝ මීටර් 6ක වට ප්‍රමාණයක් තමයි. අපේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි මේ ධීවර කර්මාන්තය. පිටින් එන ලොරිවලින් තමයි අපේ මාළු මිලදී ගන්නේ. ධීවර අමාත්‍යාංශය මගින් විවිධ නීති රීති ක්‍රියාත්මක කරනවා. අපිත් කැමතියි ඒවා ක්‍රියාත්මක කරනවට. නමුත් මේ ප්‍රදේශයේ සිටින ධීවර පරීක්ෂකවරයාගෙන් තමයි අපට නොයෙකුත් බලපෑම් එල්ල වෙන්නේ. ධිවර ගැටලුවක් ගැන කතා කරන්න ගියාම ඒවා කල් දම දමා මඟ හරිනවා. අපෙන් පළිගන්න වගෙයි හදන්නේ. සුළු වැරැද්දක් කළොත් අපිව කෙළින්ම නීතිය ඉදිරියට ගෙන යන්න තමයි බලන්නේ. ඒ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තමයි අපි මේ කර්මාන්තයේ යෙදෙන්නේ. පසුගිය කාලයේ බෝට්ටු ඔක්කොම අත්අඩංගුවට ගත්තා. අපේ සිංහල අයගේ බෝට්ටු 5ක් විතර දුන්නේ නැහැ. අනිත් සෑම අයෙකුටම ගත්ත බෝට්ටු නැවත දුන්නා.

ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ​ෙජනරාල්තුමාගේ ලිපියටවත් මේ නිලධාරියා සලකන්නේ නැහැ. ඔහු නීතිය තමන්ගේ අතට අරගෙන වගෙයි හැසිරෙන්නේ.

අපිට දැන් කලපුව තුළ ඕනෑම වෙලාවක ධීවර කටයුතුවල නිරත වෙන්න පුළුවන්. යුද්ධ කාලයේ නම් සීමා පැනවූවා. අවුරුදු 20ක් යන කම් අපි සතියට දවස් 2යි ධීවර කර්මාන්තයේ නිරත වුණේ. උදේ 6ට ගියොත් සවස 6ට කලින් නැවත එන්න ඕනෑ. යුද්ධ කාලේ ​අපි බොහෝ දුක් කරදරවලට මුහුණ දුන්නා. දැන් නම් සාමය උදාවෙලා තිබෙන නිසා එච්චර කරදරයක් නැහැ. රජයෙන් හෝ දේශපාලන අධිකාරියෙන් මොන සහන ආවත් මුලතිව් ධීවර කාර්යාලයෙන් පිටට ඒවා එන්නේ නැහැ. විශේෂයෙන් මේ කෝකිලායි ගම්මානයට ඒ බවට මෙතන ඉඳලා මීටර 500ක් ගියහම හොඳට සාක්ෂි තිබෙනවා. ඉස්සර​ මේ ප්‍රදේශයේ මහ කැලෑවක් තිබ්බේ. දැන් දමිළ ජනතාවට එහි ගස් කපලා නිවාස ඉදි කරලා දීලා තිබෙනවා. නමුත් අපි තාම ඉන්නේ මේ තහඩු ගහපු පැල්පත්වල. අපි ඉල්ලන්නේ මේ නිවාස හදලා නිවාසවල අයිතිය තහවුරු කරලා දෙන්න කියලා. අපේ නිවාසවලට බලපත්‍රයක් නැහැ. ඒවා කරලා දෙන්නේ නැහැ. මේ ප්‍රදේශයේ දැන් ජාති භේදය උග්‍ර වෙලා. මැති-ඇමැතිගොල්ලෝ කිහිප දෙනෙක් ආවා. උදව් කරන්නම් අපි. සහන දෙන්නම් කියලා ගියා. නමුත් කවුරුත් කරපු දෙයක් නැහැ. මාසෙන් දෙකෙන් කරලා දෙන්නම් කියලා යනවා. එච්චරයි.

ධීවර කටයුතුවලට විශාල බලපෑමක් තිබෙනවා. අපි ගොඩක් අල්ලන්නේ සාලයේ, හාල්මැස්සෝ වගේ කුඩා මාළු. ඒක අද නීති විරෝධී තත්ත්වයට පත් වෙලා. දැන් ධීවර පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කරන්නේ අඟල් එකයි කාල, ඒකයි කාල (1 1/4 x 1 1/4) වගේ ප්‍රමාණයේ දැල් පාවිච්චි කරන්න කියලා. ඒවට බලපත්‍ර දෙන්නම් කියනවා. ඒවගේ ප්‍රමාණයක් ඇති කොටු දැලකින් සාලයෝ‌, හාල්මැස්සෝ අල්ලන්න පුළුවන්ද? අපි ඉල්ලන්නේ ඔය වගේ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා. ඒක නිසා අප පසුගිය කාලයේ දවස් 3ක් විතර ධීවර රස්සාවට ගියේ නෑ.

කෝකිලායි ගම්මානයේ පදිංචි රෝස්මේරි කැන්සිඩා ප්‍රනාන්දු මහත්මිය.

උපන්දා ඉඳලා ජීවත් වුණෙත්, අම්මලා ඉපදුණෙත් මෙහෙ. මේක මගේ පාරම්පරික උපන් ගම. යුද්ධ කාලයේත් අපි ජීවත් වුණේ මේ ගම්මානයේ. අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තිබෙන්නේ.

උතුරු නැගෙනහිර තියෙන ප්‍රධාන සිංහල ගම්මානයක් වෙලත් අපිට කුමන ආණ්ඩුවකින්වත් සහනයක් ලබා දුන්නේ නැහැ. දැන් මීටර් 500ක් දුර දෙමළ ගම්මානවලට නම් නිවාස ඉදි කරල දුන්නා උතුරු වසන්තය තුළින්. අපි ඉන්නේ තහඩු ගෙවල්වල. ලොකු හුළඟක් ආවොත් කොයි වෙලේ ඒවා කඩා වැටෙයි ද දන්නේ නැහැ. ගෙවල් තුළ මැස්සෝ, මදුරුවෝ පිරිලා කුඩා ළමයෙකුටවත් ඉන්න බැහැ. පුල්මුඩේට මෙතන ඉඳලා කිලෝ මීටර් 50 යි. නිවාස ඇමතිව සිටි සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා ඒ ගමේ නිවාස ඉදි කළා. මේ සිංහල ගම්මානයට එකම ගෙයක්වත් හදලා දුන්නේ නැහැ. අපි ඉතින් බලන් ඉන්නවා කොයි පැත්තකින් හෝ සහනයක් ලැබෙයි කියලා. නමුත් ලැබෙන පාටක් නම් පේන්න නැහැ.
අපේ දරුවන්ට ගමේ ඉස්කෝලයක් තිබුණත් ප්‍රමාණවක් ගුරුවරු නැහැ. දැන් මේ ගමේ ගොඩක් ඉන්නේ මීගමුවේ ඉඳලා ඇවිත් ගෙවල් හදාගත්ත අය. ප්‍රමාණවත් අධ්‍යාපන පහසුකම් නැති නිසා දරුවන්ගෙන් ගොඩක් අය මීගමුවේ ඉස්කෝලවලට යවනවා. එහෙත් නැති බැරි අයෙක් තමයි මේ ගමේ ඉස්​කෝලවලට යවන්නේ. යුද්ධයක් තිබුණත් අපි මේ ගම දාලා ගියේ නැහැ. අපි සියලු දෙනා සිංහල කතා කරන, කතෝලික බැතිමතුන්. මේ වටේම සිටියේ නාවික හමුදාව කඳවුරු බැඳලා. දෙමළ කියන කිසි කෙනෙක් මේ ගම්මානයට ආවේ නැහැ.

එ් නිලධාරීන් දන්නවා අපි ජීවත් වුණේ කොහොමද කියලා. ඒත් සීත කාමරවල කැරකෙන පුටුවල හිටපු අය දන්නේ නැහැ කොහොමද අපි ජීවත් වුණේ කියලා. දැන් තමා නීති රීති පනවලා අපිට අසරණ තත්ත්වයට පත් කරන්නේ.

පිරිමි අය ගිහිල්ලා රැකියාවේ නිරත වෙලා රැගෙන එන මාළු විකුණලා තමයි දරුවොයි අපියි ජීවත් වෙන්නේ. කාන්තාවන්ට කියලා ස්වයං රැකියාවක් කරන්න පහසුකම් නැහැ. මේ ගම්මානයේ තිබෙන්නේ ධීවර රැකියාව විතරයි. එක එක බලධාරීන් එනවා. ඇවිල්ලා බලලා මැනගෙන යනවා. ලබන මාසේ ගෙවල් දෙනවා. ඊළඟ මාසේ දෙනවා කියලා. නමුත් කටින් බතල විතරයි.

මේ ගම්මානය ඇතුළට ඒ පහසුකම් නැහැ. ගම්මානයෙන් පිට මීටර් කිහිපයක් ගිය අයට තමයි හැම පහසුකමක්ම දෙන්නේ. අපි අයිති මුලතිව් දිස්ත්‍රික්කයට. නමුත් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් කිසිම සේවාවක් ලැබෙන්නේ නැහැ. අපි සෑම කෙනෙකුටම වගේ ලිපි මගින් දැනුම් දුන්නා. නමුත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ආවම එතනින් එහාට එන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ අපට දැනටමත් ඉඩම් නැහැ කියලා එළවන්න තමයි. කොහොම වුණත් අපි මේ ගම දාලා යන්නේ නැහැ. දැන් මහවැලියෙන් කැමැතියි අපේ සංවර්ධන කටයුතු කරන්න. නමුත් ඒකට ඔවුන් අවසර දෙන්නේ නැහැ. මෙතන තිබෙන්නේ සිංහල, දෙමළ ප්‍රශ්නයක් බව පැහැදිළියි. අපි ඉන්න තැනට බලපත්‍රයක් ලබා දෙන්න කියලා හැමදාම ඉල්ලීම් කරනවා. නමුත් කෙරෙන්නේ නැහැ. කොටි ගහන කොට 1984 දී මට අවුරුදු 10 යි. අපි පණ බේර ගන්න දුවපු අතරේ ඔය දෙමළ කට්ටිය ආවා. එක පවුලක දරුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් ඒ හැමෝටම ඉඩම් දීලා නිවාස හදලා දීලා තිබෙනවා. නමුත් අපිට දරුවෙකුට තියා අම්මලාටවත් ඉන්න තැනක් නැහැ.

යුද කලබලවලට ඉස්සරවෙලා මෙහි ගෙවල් 62ක් තිබුණා. අපිට ස්ථීර බලපත්‍ර දෙන්න කිව්වා. නමුත් ලැබුණේ නැහැ. ඒ ගෙවල්වලට වරිපනම් ගෙවපු රිසිට් පත් පවා තිබෙනවා. නිලධාරීන් එනවා. බලනවා යනවා. ෆොටෝ ගහනවා. ඊට පස්සේ මුකුත් නැහැ. යුද්ධ කාලේ කිසිම රජයේ නිලධාරියෙක් හිටියේ නැහැ. අපේ පිහිටට හිටියේ යුද හමුදාවේ නිලධාරීන් විතරයි. එයාලට ලෙඩක් දුකක් වුණාම අපේ බෝට්ටු අරන් යනවා. අපිට කරදයක් වුණාම ඒ ගොල්ලන්ගේ බෙහෙත් තමයි අපට දෙන්නේ.

අපට තිබෙන තවත් ප්‍රධාන ගැටලුවක් තමයි ජල ප්‍රශ්නය. අපට මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාව හරහා තමයි ජලය එන්නේ. අපෙන් මාසයකට රුපියල් 520ක් අය කරනවා. අපට දවස් දෙකකට වතුර ලීටර් 40ක් වගේ තමයි හම්බ වෙන්නේ. ඒක අපට කොහොමටත් ප්‍රමාණවත් නැහැ. සමහර අය වතුර ටික පවා අලෙවි කරන්න මෙහෙට ගේනවා. අපි ඉතින් ලීටර් 20ක් රුපියල් 20ක් වගේ මුදලක් ගෙවලා අරගනන්වා. ඒ ප්‍රශ්නය ඉතාම උග්‍ර වෙලා තිබෙන්නේ.

කෝකිලායි ගම්මානයේ පදිංචි නදීකා සෙව්වන්දි මහත්මිය.

අපේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. ධීවර කර්මාන්තයෙන් ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. රජයෙන් බෝට්ටු දුන්නාලු, බෝට්ටු එන්ජින් දුන්නාලු. අපට නම් කිසිවක් ලැබුණේ නැහැ. දෙන ඒවත් සමිති මට්ටමින් තිබෙන අයටම දෙනවා. මගේ මහත්තයත් අසනීපයෙන් ඉන්නේ. අපි ජීවත් වෙන්නේ මගේ තාත්තට තිබෙන ඔරුවෙන් ගිහින් මාළු අල්ලා. කාගෙන් හරි දැල් කෑල්ලක් කුලියට අරගෙන. අනික වතුර ප්‍රශ්නය උග්‍රව තිබෙනවා. සෑහෙන්න දුරක ඉඳලා තමයි වතුර ටික හරි ගේන්න ඕනෑ. මේ ඉස්කෝලේ ගුරුවරුන්ගේ හිඟකම නිසා ළමයින්ගේ අධ්‍යාපන කටයුතු පහතටම බැහැලා තිබෙන්නේ. අපි ඉල්ලන්නේ මේ ගෙවල් ටික හදලා අපේ වතුර ප්‍රශ්නය විසඳලා මේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න ක්‍රමයක් සලසන්න කියලා.

මමයි, සැමියයි, තාත්තගේ ඔරුවෙ ගිහින් උදේ පාන්දර දැල් එළලා දවල්ට එනවා. මොනවා හරි තියෙන දෙයක් උයලා කන්න. ආපහු රෑට යනවා. නැවත දැල බලන්න මාළු හරි කකුළුවෝ හරි දැලට අසුවෙලා තිබුණොත් ඒක විකුණලා තමයි ජීවත් වෙන්නේ.

මෙම ජනතාවට දින දෙක තුනක කාලයක් ධීවර කටයුතුවල නිරත නොවුණහොත් කිසිදු ආදායම් මාර්ගයක් නැත. ජල ගැටලුවත් රැකියාවට එල්ල වන තර්ජනයත් නිසා අසරණ වී සිටිති.

මෙම ජනතාවගේ ගැටලු විසඳීමට කවුරුන් හෝ ඉදිරිපත් විය යුතු නොවේද? කවදත් ඔවුන් ඡන්ම භූමිය අත් නොහැර එහිම ජීවත් වන ජනතාවක් බැවිනි. ඔවුන්ගේ ගැටලු පිළිබඳ ඕනෑකමින් සොයා බලා කඩිනමින් විසඳුම් සැලසීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වේවා.

 

Advertisements

Read Full Post »

උබලාට ඕන නම් අපේ කුඹුරුවල වැඩ කරපල්ලා නැති නම් පව් නොදී මේ ගම්වලින් තොලොන්චි වෙලා පලයල්ලා…
 
 දහම් පාසලේ ළමයින් 146 ක් ඉගෙනගන්නවා තවමත් ශාලාවක් නෑ…
 
 ගමේ පාසලේ එකම උපාධිධාරියෙක්වත් නෑ…

‘ජනකපුර’ වැලිඔය සිංහල ගම් වැලේ එක් පුරුකකි. වැලිඔය සිංහල ගම්මාන යනු ත‍්‍රස්තවාදී යුද සමයේ උතුරු දකුණු මායිමේ පිහිටි ‘බැරියර්’ එකකි. එම ‘සිහළ’ තාප්පය බිඳගෙන කොටි ත‍්‍රස්තවාදීන්ට ඉදිරියට ඒමට කිසිලෙසකින්වත් ඉඩක් නොතිබිණි. ඒ වැලිඔය සිංහල මිනිසුන් කුසට අහරක් නොමැතිව හෝ ජීවිත පරදුවට තබා රට ජාතිය ආරක්‍ෂා කිරීමට හමුදාවන්ට සහාය වූ නිසාය. එහෙයින් වැලිඔය සිංහල ගම්මාන කොටි ත‍්‍රස්තවාදීන්ට හිසරදයක් වී තිබිණි.

විටින්, විට රෑ ජාමෙට එම ගම්මානවලට කඩා වැදුණු මිනීමරු කොටි ත‍්‍රස්තවාදීන් සිංහල වැසියන් පවුල් පිටින් කැති ගා දැමූ අවස්ථා ද බොහෝය. ම්ලේච්ඡු කොටි ප‍්‍රහාර හමුවේ දෙමවුපියන්ට දරුවන් අහිමි වූවා සේම දරුවන්ට දෙමවුපියන් අහිමි වූ පවුල් එම ගම්මානවල සුලබය. ම්ලේච්ඡු කොටි ත‍්‍රස්තවාදීන්ට බිලි වී මියගිය ස්වාමිපුරුෂයන්ගේ බිරින්දෑවරු අදට ද තම දරු පවුල් ජීවත් කරවීමට එම ගම්බිම්වල නොනිමි ජීවන අරගලයක පැටලී සිටිති. රට වෙනුවෙන් එහෙව් කැපකිරීම් කළ වැලිඔය, ජනකපුර සිංහල වැසියන් මේ වන විට උපන් බිමේ කල්ලතෝනි ගානට වැටී සිටින බව කියන්නට ලැබීම ද ජාතියේ අවාසනාවකි. එහෙත් සුදු පිරුවටවලින් පුල්ලි සඟවා ගත් කොටි රැළ ජනකපුර වැසියන් පීඩාවට පත් කරන අයුරු දැන, දැනත් හෙළිදරව් නොකර සිටීම ඒ මිනිසුන්ට කරන අසාධාරණයකි. එහෙයින් අපි වැලිඔය ජනකපුර ගමට ගොස් ඒ පීඩිත මිනිසුන්ගේ කප්පරක් ගැටලූ ගැන ඔවුන් සමඟ කතාබහ කළෙමු. දැන් අප කියන්න යන්නේ ජනකපුර වැසියන්ට අද අත්ව ඇති ඉරණම ගැනය.

මාඔය නිම්නය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස වැලිඔය ව්‍යපාරය ආරම්භ වී ඇත්තේ 1983 වර්ෂයේදීය. ආරම්භයේදී නිකවැව දකුණ, වම සහ ඇතාවැටුණුවැව ගම්මාන බිහිකරමින් පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ දිඹුලාගල ප‍්‍රදේශයේ ජනතාව පදිංචි කර ඇත. පසුකාලීනව මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාගේ යුද සැලසුමකට අනුව මහවැලි ‘එල්’ කලාපය යටතේ වැලිඔය ව්‍යාපාරය පුළුල් කෙරිණි. එම ව්‍යාපෘතිය යටතේ ජනකපුර, හැළඹවැව, කිරිඉබ්බන්වැව වම, දකුණ, ඇහැටුගස්වැව, මොනරවැව, ගජබාපුර, හංසවිල, සපුමල්තැන්න, කල්‍යාණපුර එක පියවර, කල්‍යාණපුර තුන පියවර, නාමල්පුර ඇතුළුව තවත් ගම්මාන කිහිපයක් ආරම්භ විය. මේ වන විට වැලිඔය එල් කලාපය යටතේ සිංහල ගම්මාන විසි එකක් ආරම්භ වී තිබේ. එම සියලූ ගම්මානවල මෙරට විවිධ ප‍්‍රදේශවල සිංහල මිනිස්සු පදිංචි වී සිටිති.

කුලියාපිටිය, දුම්මලසූරිය ප‍්‍රදේශයෙන් ගොස් ජනකපුර ගමේ පදිංචි වී සිටින පැරැණිතම සාමාජිකයෙක් දැන් අප අසල සිටී. ඔහු නෙල්සන්ය. වයස අවුරුදු හැත්තෑ තුනකි. එහෙත් වයසට වඩා හේ වියපත්ය. දෙපයින් ඇවිදගෙන යෑමටත් අසීරු ගානය. ‘සැප’ කියන වචනයේ අරුතවත් නොතේරන තරමට ජීවිතයේ දුකම පමණක් වැළª නෙල්සන් මාමා මෙලෙසින් හෝ දකින්නට ලැබීම වාසනාවකි. එමෙන්ම ඔහු ජනකපුර පුරාවෘතයකි. එහෙයින් ජනකපුර ඉතිහාස කතාව අප කියනවාට වඩා නෙල්සන් මාමාගේ හඬින්ම ඇසෙන විට සංවේදී හදවත්වලට වඩාත් හොඳින් සන්නිවේදනය වේ. එහෙයින් දැන් අපි ඔහුට සවන්දී සිටිමු.

‘‘අපි තමයි මේ ගමේ මුල් පදිංචිකරුවො. සර්වෝදය හරහා තමයි අපිව මෙහෙට ගෙනාවේ. ජානක පෙරේරා මහත්තයා මූලිකත්වය අරගෙන මේ ගම ආරම්භ කළේ 1987 අවුරුද්දේ. ජානක මහත්තයාව සිහිපත් වෙන්න තමයි මේ ගමට ‘ජනකපුර’ කියලා නම තියලා තියෙන්නේ. ඒ කාලේ මේ ගමේ පවුල් හාරසිය අසූ හතරක් පදිංචි වෙලා හිටියා. ඒ සේරම සිංහල පවුල්. ඒ සන්දියේ නම් අපිට රජයෙන් හොඳට සැලකුවා. ගමේ පස් දෙනෙක් ඉන්න පවුලකට සෑම මාසයකම හාල් කිලෝ හැටයි, සීනි කිලෝ පහයි. රුපියල් දෙසිය විසි පහකුයි දුන්නා…’’.

‘‘ගමේ එක පවුලකට ගොඩ, මඩ ඉඩම් අක්කර තුනහමාරක් බෙදා දුන්නා. අපි ඒ සියලූම ඉඩම් අස්වැද්දුවා. ගම ආරම්භ වෙලා අවුරුද්දක්, දෙකක් යනකොට මේක තනිකරම සරුසාර ගොවිපොළක් බවට පත් වෙලා තිබුණා. අපේ දරුවො ගමේ පාසලට ගියා. හවසට හැම ගෙදරකම මිනිස්සු බුදුන් වඳින්න මේ පන්සලට එකතු වුණා. පිටගම්කාරයන් වුණාට මේ ගමේ මිනිස්සු අතර පුදුමාකාර බැඳීමක් තිබුණා. අපේ ගමට හෙණය පාත් වුණේ 1993 අවුරුද්දේ. එදා රෑ කොටි ගමට පැනලා අපේ උන් කිහිපදෙනෙක්ම මරලා දැම්මා. එදා කොටි වෙඩි තියලා දාලා ගිය අපේ උන්ව ඉස්පිරිතාලයකට ගෙනියන්න වාහනයක් තිබුණේ නෑ. වෙඩි වැදුණු එක දරුවෙක් ලේ ගිහිල්ලම මැරුණා. ඒ සිද්ධිය මතක් වෙනකොටත් දුකයි. ෂෝක් කෙලි පැටියා…’’ නෙල්සන් මාමාගේ හීන් හඬ නැවතිණි. අප දෙසට එල්ල වී තිබුණු ඔහුගේ දෙනෙත් අප වටා රොක්ව සිටි ගමේ කාන්තාවක් අසල නතර විය.

‘අර ඉන්නෙ ඒ නැති වෙච්ච දුවගේ අම්මා…’ නෙල්සන් මාමා නැවත කතා කළේය.

මම ඇය අසලට ගියෙමි. දියණියගේ අකල් වියෝව මතක් කිරීම තවමත් ඇයව හඬවන්නක් බව කඳුළු දිලිසෙන දෙනෙත්වලින් මම දුටිමි. ඒ උණු කඳුළු කැට දෙකොපුල් තෙත් කිරීමට මත්තෙන් මම ඇයට කතා කළෙමි.

අම්මගේ නම…
‘අනුලාවතී…’
වයස…
‘පනස් හතයි…‘
දුවට මොකද වුණේ…

‘‘අනේ මහත්තයො මගේ දුව නැති වුණේ ලේ ගිහිල්ලා වැඩිකමටමයි. තුවාල වෙලා ටික වෙලාවකින් හරි ඉස්පිරිතාලයකට ගෙනිච්චා නම් අදත් මගේ කෙල්ල ජීවතුන් අතර. එදා රෑ ගමට කොටි ඇවිත් කියන කෑගැහිල්ලට මගේ කෙල්ල ගෙයි මුල්ලෙ හැංගුණා. එතකොට අපිට තිබුණේ පුංචි මැටි ගෙයක්. කොටි බිත්තිය කඩලා අත් බෝම්බය ගේ ඇතුළට විසි කරලා තිබුණේ කෙල්ල ළඟටමයි. දුවට හොඳටම තුවාල වුණා. කොටි ගහලා ගියාට පස්සෙ අපි දරුවා උස්සගෙන මේ පන්සලට ආවා. එතකොට මේ පන්සලෙත් මේ විදිහට ගොඩනැඟිලි නෑ. ටකරන් මඩු දෙකක් තිබුණේ. දැන් ‘හමුදා වාහනයක් එයි… එයි…’ කියලා බලාගෙන හිටියා ආවේ නෑ… පාන්දර යාමේ මහා හයියෙන් හූ තුනක් කියලා මගේ දරුවා ඇස් පියා ගත්තා. උදේ ආපු ට‍්‍රක් එකෙත් තුවාල වෙච්ච හමුදාවේ අය පටවගෙන ගියා මිසක් සාමාන්‍ය තුවාලකාරයන් අරගෙන ගියේ නෑ. හවස තමයි මගේ දුව ඉස්පිරිතාලයට අරගෙන ගියේ. දොස්තර මහත්තයා බලලා කිව්වා මේ ළමයා මැරිලා තියෙන්නෙ ලේ ගිහිල්ලා වැඩිකමට කියලා. එදා විතරක් මගේ දරුවා එක්ක ගමේ තව අට දෙනෙක් කොටි මරලා දලා තිබුණා. ඊට පස්සෙත් කිහිප සැරයක්ම කොටි අපේ මිනිස්සුන්ව කපලා කොටලා මරලා දැම්මා. අත පය කපා දාල ගිය මිනිස්සු අදටත් අපේ ගමේ ජීවත් වෙනවා. යුද්දෙ ඉවර වෙලත් අපේ මිනිස්සු බිම් බෝම්බවලට කොටුවෙලා අබ්බගාතයන් වෙලා ඉන්නවා…’’

‘‘කොටි කලබල කාලේ නම් අපි පුදුම විදිහට දුක් වින්දා මහත්තයො. හේනකට, කුඹුරකට යන්න බයයි. අපේ ගොවිතැන් සේරම පාළු වුණා. රජයෙන් දුන්න හාල් ටික විතරයි. අපි කෙහෙල් අලත් තම්බලා කාලා තියෙනවා. හවස හයෙන් පස්සේ ගෙදරක කුප්පියක් පත්තු කරන්න බෑ. ගමට කොටි ගහන්න පටන් ගත්තට පස්සේ ගමේ සේරම මිනිස්සු තැන් දෙකකට එකතු වෙලා තමයි රෑ පහන් කළේ. ඒත් අපිට නින්ද ගියේ නෑ. ඊට පස්සේ ගමේ සෑම ගෙදරකටම බංකරයක් හදලා දුන්නා. ඒක කළේ හමුදාවෙන්. ඊට පස්සේ කොටි ආටි ගහනකොට ගෙවල්වල සේරම අර බංකරය ඇතුළට ගුලි වුණා. මොන බංකර් හැදුවත් රෑට අපේ ගෙවල්වල කුප්පි ලාම්ප්පුවක්වත් පත්තු වුණේ නෑ. ?කට අපේ දරුවකුට පොතක්, පතක් පාඩම් කරන්න බැරි වුණා. දරුවන්ට ඉස්කෝලෙන් උගන්වන දෙයක් විතරයි. ඉස්කෝලෙත් හැමදාම තිබුණේ නෑ. ඒ නිසා අපේ ගමේ ළමයි අධ්‍යාපනය පැත්තෙන් මොට වුණා. අදටවත් අපේ ගමෙන් උපාධිධාරියෙක් බිහි වෙලා නෑ…’’ අනුලාවතී දිගු සුසුමක් පිට කළාය. ඒ කතා කර මහන්සියට නොව, මරණයේ සෙවණැලිත් සමඟ ජීවත් වූ අඳුරු මූසල යුගය ආවර්ජනය කිරීමේදී සිත තුළ හට ගත් කම්පනය පිට කිරීමටය.

‘‘ඒ කාලේ අපිට තිබුණේ මරණ බය. දැන් තියෙන්නේ අපේ ගම අපිට නැති වෙයි කියන බය…’’ අනුලාවතී හද සැහැල්ලූ කර ගන්න ඇසිල්ලට ගලා යන කතාවට ගමේ තවත් කෙනෙක් එකතු විය. ඔහු සරත්ය. සිංහ ගොවි සංවිධානයේ සභාපතිය. කුඹුරේ වැඩ කරමින් සිටින අතරේ ඔහු පන්සලට දිවආවේ ගැටලූ මල්ලක් ද හදවතේ තුරුලූ කරගෙනය. දැන් ඔහු එම ගැටලූ එකිනෙක අප ඉදිරියේ පෙළගස්වන්නේය.

‘‘එල්.ටී.ටී.ඊ.කාරයො කෙළින්ම ඇවිත් අපිට පහර දුන්නා. දැන් ගහන්නෙ අපේ අයිතිවාසිකම්වලට. ඒක කොටි ගහනවාට වඩා භයානකයි. අවුරුදු තිහකට වඩා වැඩි කාලයක් ජීවත් වෙච්ච අපේ ඉඩම්වලට දැන් දෙමළ මිනිස්සු අයිතිය කියාගෙන එනවා. ඔප්පු තිරප්පු තියෙනවා කියනවා. මහවැලි අධිකාරියේ නිලධාරීන් ඇතුළු සියලූ නිලධාරීන් ඒ මිනිස්සුන්ගේ පැත්තට කතා කරනවා. අපේ පැත්තට කතා කරන්න ඉන්නේ ගමේ පන්සලේ හාමුදුරුවො විතරයි. දැන් අපි අන්ත අසරණයි මහත්තයො…

’’

‘‘මුල්ලියාවේලී කියන ගමේ දෙමළ මිනිස්සු තමයි අපේ ඉඩම්වලට අයිතිය කියාගෙන එන්නේ. ඒ සමහර මිනිස්සු ඒකාලේ ඉඳලා අපේ ගම්වලට පහළ රජයේ ඉඩම්වල වගා කටයුතු කරගෙන ගියා. ඒත් ඒ මිනිස්සු ඒ ඉඩම්වල පදිංචි වෙලා හිටියේ නෑ. වගා කරන්න විතරයි ආවේ. ඒ් වගේම ඒ මිනිස්සුන්ට පොල්වතු, කුඹුරු, හේන් ඉඩම් අක්කර පහ, දහය උපන් ගමෙත් තියෙනවා. ඊට අමතරව කෝකිලායි, කොක්කුතුඩුවායි, කරනාටිකුලම් වගේ ගම්වලත් ඉඩම් අල්ලගෙන ඉන්නවා. ඔය එක පුද්ගලයකුට සේරම ඉඩම් අක්කර විසිපහක්, තිහක් තියෙනවා. සමහර මිනිස්සුන්ගේ ඉඩම් අයිතිය සාක්‍ෂි ඇතිව ඔප්පු කරලා පෙන්වන්න අපිට පුළුවන්. ඒත් අපිට අනුන්ගේ ඉඩම්වල අයිතිය වැඩක් නෑ. කොටි කටේ ඉඳගෙන අපි මේ ගම් ආරක්‍ෂා කර ගත්තා. අස්වැද්දුවා. එතකොට දැන් අයිතිය කියාගෙන එන එකෙක්වත් හිටියේ නෑ. දැන් තමයි ඔය හැමෝම අයිතිය කියාගෙන එන්නෙ. දැනටත් සමහර දෙමළ මිනිස්සු ඇවිත් බලහත්කාරයෙන් අපේ ගමේ ඉඩම්වල වගා කරගෙන යනවා. ඒ මදිවට අපේ ගම්වල මිනිස්සුන්ට පාට් එකත් දානවා. සමහර දෙමළ දේශපාලනඥයොත් ගමට ඇවිත් මිනිස්සුන්ට පාට් එක දාලා ගිහින්. ‘බොලාගේ කාලය ඉවරයි. දැන් තියෙන්නෙ අපේ කාලය. බොලාට ඕනෑ නම් අපේ කුඹුරුවල වැඩට එන්න පුළුවන්. නැති නම් පව් නොදී මේ ගම්වලින් තොලොන්චි වෙලා පලයව්…’ කියලා තියෙනවා…’’

‘අපිට මේ විදිහට කරදර කරනවා කියලා පොලිසියට, හමුදාවට කිව්වත් දැන් වැඩක් නෑ. කිසිම නිලධාරියෙක් ඔවුන්ට එරෙහිව ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. සමහර සිංහල නිලධාරීන් කියනවා ‘ඉතිං ඕයි ඇයි තමුසෙලා මේකෙ ඉන්නෙ… ඔය කොහේට හරි යනව කෝ…’ කියලා. යුද්දේ කාලේ ඔය කියන කටවල්වලින්ම අපිට කතා කළේ ජනකපුර සිංහයො කියලා. දැන් කතා කරන්නේ බල්ලන් ගානට දාලා. මහවැලියෙනුත් දැන් අපිට කියනවා ‘අක්කර තුනහමාරක් දෙන්න බෑ. ඕන නම් අක්කරයක් දෙන්නම් පුළුවන් විදිහට වගා

කරගන්න…’ කියලා. ඒත් අපිට මේ ගම්වල පදිංචියට එනකොට ගොඩින්, මඩින් අක්කර තුනහමාරක් දෙනවා කියලා දීපු පොරොන්දු පත‍්‍ර අපි ළඟ තියෙනවා. ඒ වගේම මේ ගම්වල සියලූම පවුල් ජීවත් වෙන්නෙ ගොවිතැන් කරලා. අපිට වැඩ කරන්න කර්මාන්තශාලා නෑ. ඔෆිස්වල ජොබ් කරන්න මේ ගම්වල මිනිස්සු ඉගෙනගෙනත් නෑ. කොටි ත‍්‍රස්තවාදීන් අපිට අකුරක් ඉගෙනගන්න ඉඩක් දුන්නෙ නෑ. ඒ නිසා අපි ජීවත් වෙලා ඉන්නකම් හේන්, කුඹුරු කරන්න වෙනවා. නැති නම් අපිට මේ ගම අතහැරලා කුලියට යන්න වෙනවා. දැනටත් මේ ප‍්‍රශ්න නිසා යුද්දේ කාලේවත් ගම දාලා නොගිය මිනිස්සු ගමෙන් ගිහින්. පවුල් හාරසිය අසූ ගාණක් ජීවත් වෙච්ච ජනකපුර ගමේ දැන් ජීවත් වෙන්නේ පවුල් තුන්සිය ගාණයි…’’

‘‘ඇත්තටම දැන් මේ ගම්වල ජීවත් වෙන්න අමාරුයි. කුඹුරු ටික හරක් පැනලා විනාශ කරනවා. අලි ඇවිත් හේන් කාබාසිනියා කරනවා. රෑකට දොට්ට බහින්න බයයි අලි ගේ මිදුලේ. එහෙන් පුල්ලි නැති කොටි අපිට දෙන සහනාධාර කපා දාලා. අවට සේරම දෙමළ ගම්මානවලට වගා කරන්න වතුර දෙනවා. අපේ ගම්මානවල මිනිස්සුන්ට වගා කර ගන්න වතුර ටිකක්වත් දෙන්නෙ නෑ. මේ අවට දෙමළ ගම්මානවලට රජයෙනුත් ආධාර දෙනවා. රාජ්‍ය නොවන සංවිධානවලිනුත් ආධාර බෙදනවා. අපිට දුක සිංහල ගිහි පැවිදි උදවියත් අපේ ගම උඩින් ගිහින් දෙමළ ගම්මානවලට ආධාර බෙදලා දෙන එක ගැන. ඒක ආධාර බෙදන අයගෙවත්, ආධෘර ගන්න අයගෙවත් වරදක් නෙමෙයි, අපේ කරුමය. දරුවෙක්ගේ ඈස් පාදගන්න හරියට පාසලක් නෑ. තියෙන පාසල්වලත් ගුරුවරු හිඟයි. උපාධිධාරී ගුරුවරු ඇත්තේම නෑ. ගොඩක්ම පාසල්වල උගන්වන්නේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ගුරුවරු. ඒ අයට ඉගැන්වීම සම්බන්ධයෙන් හරියට දැනුමක් නෑ. එහෙම උගන්වන ගුරුවරු යටතේ ගමෙන් උපාධිධාරියෙක් බිහිකිරීම සිහිනයක් විතරයි. මේ ගම්මානවල හැදෙන පරම්පරාවත් අපි වගේම කැලෑවට නාකි වෙලා මැරිලා යනවා. ඕක තමයි ඇත්ත…’’

දවස තිස්සේ කුඹුරේ වේළුනු සරත් ගිනියම් වී සිටින්නේ අව්රශ්මීයට නොවේ. හිරුගේ වියරුව ඔවුන්ට හොඳට හුරුය. දැන් ඔහු ගිනියමින් පුපුරා යන්නේ වෙස් මුහුණු පළඳාගෙන එන ඉඩම් කොල්ලකරුවන් විසින් ජීවත් වන භූමිය මංකොල්ල කා ගැනීමට දරන ප‍්‍රයත්නය සම්බන්ධයෙනි. ගිනිපුපුරු මෙන් පිට වූ සරත්ගේ වාග් ප‍්‍රහාරය ජනකපුර තිලකාරාමයේ විහාරාධිපති මිහින්තලේ සුජීව හිමි විසින් පාලනය කළහ.

‘‘දැන් මම මේ පන්සලට වැඩම කරලා අවුරුදු හතරක් විතර වෙනවා. අපිට තියෙන ප‍්‍රධාන අඩුපාඩුව දහම් පාසලට අවශ්‍ය උපකරණ නැතිකමයි. මට ඕනෑ මේ ගමේ දරුවන්ට නිවැරැදි දහම් අධ්‍යාපනයක් ලබාදීමයි. එහෙම වුණොත් මේ ගම්වල තියෙන දුරාචාරකම් හරි ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒත් ඒකට හරි හැටි ශාලාවක් නෑ. ළමයි එකසිය හතළිස් පහක් ඉගෙනගන්නෙ පුංචි ඉඩක. ඩෙස් බංකු නෑ. දහම් පොත්පත් ටික තියාගන්න කබඞ් එකක් නෑ. බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් පාස් කරන ප‍්‍රතිපාදන අපිට එන්නෙත් නෑ. පුස්තකාල ගොඩනැඟිල්ලක් හදන්න හැදුවා. ඒක හදන්න මහවැලියෙන් අවසර දෙන්නෙ නෑ. වැහි කාලේට ළමයින්ට ඉගෙනගන්න තැනක් නැති නිසා නිවාඩු දෙනවා. මේ අපිට තියෙන එක ප‍්‍රශ්නයක් විතරයි. තව ප‍්‍රශ්න කප්පරක් තියෙනවා. ඒවා කතා කරන්න ගියොත් ඉවරයක් නෑ. මේ ගම්වල මිනිස්සු ලබා උපන් හැටි. ඒත් මේ මිනිස්සු රට බේරාගැනීමේ සටනේදී විශාල දායකත්වයක් ලබා දුන්න පිරිසක්. ඒක අපි අමතක කරන්න නරකයි…’’

අපට ඉතා ඉක්මනට හැමදේම අමතක වෙන්නේය. වැදූ මවුපියන් තබා තමුන්ගේ නම් ගම් වාසගමත් අමතක කර දමන්නට අපේ උදවිය සමත්ය. ඒ අපේ බොහෝ මිනිසුන්ගේ හැටිය. එහෙව් රටක මිනිසුන්ට කාලකණ්ණි යුද්ධයක් තිබූ බව අමතක වන්නේ නම් පුදුමයක් නොවේ. ජීවිත පරදුවට තබා යුද වැදුණු හමුදා විරුවන් මෙන්ම කොටි කටේ ජීවත් වූ ජනකපුර ඇතුළු මායිම් ගම්මානවල සිංහල මිනිසුන් ගැන අල්පමාත‍්‍රයක හෝ මතකයක් තිබුණොත්ය පුදුමය. ජනකපුර මිනිසුන් අද ගෝත‍්‍රික අන්තවාදීන්ගේ අතකොළු බවට පත්ව සිටින්නේ අපේ මිනිසුන්ගේ අමතකවීමේ මන්දබුද්ධික රෝගය නිසාය. මේ වන විට අපේ රට මෙතරම් ගැටලූ මල්ලක සිර වී සිටින්නේ ද අපේ මිනිසුන්ගේ අමතකවීමේ මන්දබුද්ධිකකම නිසාය.

බලය වෙනුවෙන් පොරකන ගෝත‍්‍රිකවාදී දේශපාලනඥයන් ජනකපුර සිංහලයන්ගේ අවනඩු ගැන ඇහැක් ඇර බලන්නේ නැති බව සැබෑය. ජනකපුර මිනිසුන්ගේ දුක්ගැනවිලි අසා සිත් තැවුලට පත් වී ලේ කුපිත වූයේ නම් එම ගම් බිම්වල දෙපයින් සිට ගැනීමට ඔවුන්ට අත දෙන්නට ඔබට හැකි යැයි කියමින් අපි කතාව නතර කරන්නෙමු.

Read Full Post »

මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට…
ප්‍රභාකරන්ව මරා දැමූ 53 වැනි සේනාංකයේඅණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

සේවයෙන් විශ්‍රාම ලැබිය හැකිවුවත් කිසිදා විශ්‍රාම නොයන වීරත්වයක්‌ ඔහු ජාතියට පතල කර හමාරය. ජාතිය සිහිනයක්‌ සේ දුටු ත්‍රස්‌ත නායකයාගේ මරණය සිදුවුයේ ඔහු අණ දුන් සේනාංක අතින් ඔහුට ලබා දී තිබූ රණ භූමියේදීය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ විශ්‍රාම ලැබීම නිමිත්ත කරගෙන අපි, ඔහු සමඟ සාකච්ඡාවක්‌ ඉල්ලා දුරකතන ඇමතුමක්‌ දුන්නෙමු. මේ සිංහල අපගේ රටයි – අප ඉපදෙන මැරෙන රටයි … යන මහගමසේකරයන් ලියූ ගීතය ඔහුගේ දුරකතනයෙන් ඇසෙන්නට විය. අප උපන් මියයන දේශය වෙනුවෙන් තම අනගිතම යුතුකම ඉටුකළ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කරන ලද සාකච්ඡාවයි මේ.

හමුදා සේවයෙන් විශ්‍රාම යන මොහොතේ, අතීතයට අපේ කතා බහ රැගෙන යැම සඳහා 2009 මැයි 18 වෙනිදා දිනය ඔබට මතක්‌ කර ගන්න පුළුවන්ද…?
ඇත්තටම එදා පාන්දර දෙකහමාරට විතර, එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් මගේ කණ්‌ඩායමට ප්‍රහාරයක්‌ එල්ල කළා. නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පුදුමාතලන් ප්‍රදේශයේදී තමයි මේ පහර දීම සිදුවුණේ. අපි මෙවැනි තත්ත්වයක්‌ බලාපොරොත්තු වුණා. ත්‍රස්‌තවාදීන්ගේ අවසාන පිරිස අපි කොටු කරගෙනයි මේ වෙනකොට හිටියේ.

ඒ වෙනකොට ඔවුන්ට තිබුණ එකම විසඳුම කලපුවට පනින එක විතරයි… මොකද අනිත් තුන් පැත්තෙන්ම අපි ඔවුන්ව කොටු කරලයි තිබුණේ. එදා පාන්දර ඔවුන් මගේ වළල්ලේ පිටිපස්‌සේ තැනකට තමයි, ප්‍රහාරය එල්ල කළේ. එය අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ස්‌ථානයක්‌ සහ ප්‍රහාරයක්‌. එතැන කඩා ගෙන තුන්සිය පනහක පමණ ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ඇතුලට පැන්නා. ඒ වෙනකොටත් ඕනෑම දේකට සූදානම්ව අපි එක්‌ එක්‌ සැලසුම් හදලා තිබ්බේ… අපි ඒකට කියන්නේ, ඉන්ජෙන්සන් ප්ලෑන් කියලා… ඒ කියන්නේ, මෙහෙම වුණොත් මෙහෙම කරන්න, අරෙහෙම වුණොත් මෙහෙම කරන්න යනාදී වශයෙන්, අවදානම් ගණනාවක්‌ සඳහා අපි සූදානම් වෙලයි හිටියේ…

මගේ පළවෙනි අණ දීම වුණේ කඩපු තැන ඉක්‌මනට වහගන්න කියන ඒකයි… සාමාන්‍යයෙන් මීටර් දෙසීයක විතර ආරක්‌ෂක බැම්මක්‌ කැඩිලා තිබ්බා… අපි විනාඩි විස්‌සක්‌ විතර ඇතුළත එම වළල්ල යළි හදා ගත්තා. තව එළිවෙන්න පැය තුනයි තියෙන්නේ… ඊට පස්‌සේ අපිට ඇතිවෙන්න ගහ ගන්න පුළුවන් කියලා මම හිතුවා… ඒ නිසා ඉක්‌මනින්ම අපේ ආරක්‌ෂිත වළල්ලේ කැඩුණු තැන හදා ගන්නයි මට ඕනේ වුණේ…

මේ වෙනකොට නන්දිකඩාල් තීරයේ රැඳී ඉන්නේ කොයි වැනි පිරිසක්‌ කියලා ඔබට අනුමානයක්‌ තිබ්බාද…?

නැහැ…නායකයෝ කවුද ඉන්නේ කියන එක ගැන අපි කිසිම දෙයක්‌ දන්නේ නැහැ. නමුත් එල්ටීටීඊයේ සිහින ඊලාම් රාජ්‍යයේ අවසාන බිම් කඩත් අපි අල්ලා ගැනීම සඳහා සූදානමින් තමයි හිටියේ… මේ වෙලාව වෙනකොට අපිට තිබ්බේ අතේ තියෙන දේ කටේ දාගන්න විතරයි. උදේ වරුවේත් අපි සටන් කළා… දහය විතර වෙනකොට ඒ සටන අවසන් වුණා. දවල් ආයෙත් අපිට දැනගන්න ලැබුණා, එක්‌ පිරිසක්‌ කලපුවේ කඩොල් කැලය ඇතුළේ ඉන්නවා කියලා… එතැනට අපි ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. දවල් දෙක විතර වෙනකොට ඒ සටන පටන් ගත්තා. ඒක හැන්දෑවේ හයාමාර වෙනකං විතර ගියා. මේ වෙලාව වෙනකොට මුළු ලංකාවම අපේ රජයේ පාලනය යටතට පත්වුණා.

ඊලාම් දේශයේ සිහිනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා, සුනුවිසුණු වෙලා ගියා…ඔය පළාත අවුරුදු විස්‌සක්‌ විතර රජයෙන් ගිලිහිලා තිබුණේ. අනිත් පළාත් සේරම අපි අල්ලාගෙන ඉවරවෙලයි ඒ වෙනකොට තිබ්බේ. මෙතැන අල්ලා ගත්තා විතරයි, මුළු රටම එක ධජයක්‌ යටතට, සිංහ ධජය යටතට ආවා. එදා අපිට බොහෝම සන්තෝෂ දවසක්‌. මැරිච්ච ත්‍රස්‌තවාදීන්ගේ මළ සිරුරු අපි එකතු කර ගන්න පටන් ගත්තා. එතැන ඉහළ පෙලේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදී නායකයන් ගණනාවකගේ මළ සිරුරු තිබ්බා. ප්‍රභාකරන්, පොට්‌ටු අම්මාන් සහ සුසෙයි ඇරෙන්න අනිත් ඔක්‌කොම නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. භානු, ජෙයම් වගේ නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. ප්‍රභාකරන්ගේ පුතා චාල්ස්‌ ඇන්තනිගේ මළ සිරුර එතැන තිබ්බා.

එදා අපිට බොහොම සන්තෝසයි… නමුත් මගෙ ඔලුවෙ එක ප්‍රශ්නයක්‌ තිබ්බා. ඒ ප්‍රභාකරන්ගේ මළ සිරුර කෝ කියන එක. ඒ වගේම මම ආමි කමාන්ඩර්ට කතා කරලා “සර්, අපේ රටේ අන්තිම බිම් අඟලත් අපි බේරා ගත්තා” කිව්වාම ආමි කමාන්ඩර් ටිකක්‌ කල්පනා කරලා මගෙන් ඇහැව්වා “ප්‍රභාකරන් කෝ…?” කියලා. එතුමාට මම කිව්වා “සර්, ප්‍රභාකරන්ගේ බොඩි එක නැහැ …” කියලා. එතකොට ආමි කමාන්ඩර් මට කිව්වා “එහෙනං යුද්දේ ඉවර වෙන්නේ නැහැ …..” කියලා. මමත් එතකොට කිව්වා “ඔව් සර්, එහෙනං යුද්දේ ඉවරවෙන්නේ නැහැ … හැබැයි මගේ ඔක්‌කොම බ්ලොක්‌ස්‌ මම දාලා තියෙන්නේ…” කියලා. මේ වෙනකොට නන්දිකඩාල් කඩොලාන ඇතුලේ හරි කරුවලයි. එතැන මොකුත් කරන්න බැහැ. කඩොලාන ඇතුලේ රැට සටන් කිරීම අමාරුයි. පොඩි සද්දයක්‌ වුණත් ඇහෙනවා. කුරුල්ලෝ පියාඹනවා. ඒ දිශාව අනුව කවුරු හරි එන දිශාව හඳුනාගන්න ලෙහෙසියි.

මම ආමි කමාන්ඩර්ට කිව්වා “සර්, හෙට උදේ මම සර්ච් එකක්‌ දාලා බලන්නම්” කියලා. මම එදා රෑ බොහෝම සන්තෝසෙන් නින්දට ගියත් “ප්‍රභාකරන් කෝ…?” කියන ප්‍රශ්නය මගේ හිතේ තිබ්බා. “මේ යකා පැනලද…? පැන්නොත් යුද්දේ ඉවර වෙන්නේ නැහැ නේද…?” කියන ඒවා මගේ හිතට ආවා. අපිට ඕනෑ වෙලා තිබුණේ අනාගත පරම්පරාවකට මේ යුද්දේ ඉතුරු නොකරන්න. බැරි වෙලාවත් ප්‍රභාකරන් වෙන රටකට පැන්නා නම් එහෙට වෙලා යුද්දේ මෙහෙයවන්න පුළුවන්.

මේක මම මගේ පොතේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. ප්‍රභාකරන් කියන්නේ දැඩි තීරණ වගේම මෝඩ තීරණ ගත්ත නායකයෙක්‌. එහෙම වුණාට ඔහු දක්‌ෂ නායකයෙක්‌… ඒ නායකත්වය රටටම ලොකු තර්ජනයක්‌. ඒ නායකත්වය අපිට විනාශ කරන්න බැරිවුණා නම් අපිට සහ අපේ අනාගත පරම්පරාවට ඒක ලොකු ප්‍රශ්නයක්‌ වෙනවා. ඒ වෙනකොට, හතර වෙනි ඊලාම් යුද්ධයෙන් පමණක්‌, අවුරුදු දෙකයි මාස නවයක්‌ ඇතුළත, අපේ පන්දාස්‌ නවසිය ගාණක්‌ මැරිලා, විසිනවදාස්‌ ගණනක්‌ තුවාල වෙලා ඉවරයි. මෙච්චර කැපවීමක්‌ කරලත් අපිට මේ මිනිහව මරා ගන්න බැරිවුණොත්, අපේ අනාගත පරම්පරාවට අපි කොහොමද උත්තර දෙන්නේ කියන ප්‍රශ්නය මගේ හිතට ආවා.

ඔබට ප්‍රභාකරන් හෝ භානු සජීවීව මුණගැහිලා තියෙනවද…?

ප්‍රභාකරන් කවදාවත් පණ පිටින් දැකලා නැහැ…භානු දැකලා තියෙනවා. හැබැයි කවදාවත් කතා කරලවත්, අතට අත දීලාවත් නැහැ… මේ මගේ දකුණු අත බොහොම පිරිසුදුයි. (සිය දකුණු අත ඉහළට ඔසවා පෙන්වමින්…) කිසිම ත්‍රස්‌තවාදී නායකයෙකුට සාමය කාලයේදීවත් මම අතට අත දීලා නැහැ… ඔය ත්‍රස්‌ත නායකයෝ සාම කාලවලදී මට අත දීක්‌ කරලා තියෙනවා… ඒ උනාට මම උන්ට අත දීලා නැහැ…

දැන් අපි දහ නමවෙනිදා දවස ගැන මතක්‌ කරගමු… රටේ හැම තැනම ජනතාව කිරිබත් කමින් ප්‍රීති ඝෝෂා පවත්වනවා…

ඔව්… අපේ ළමයිනුත් එදා උදේ කිරිබත් හදලා තිබ්බා…කඩොලානට තව බැටැලියන් එකක්‌ දාලා සර්ච් කරන්න කියලා එතකොට මම කියලයි තිබ්බේ. එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවා. එතුමා එතකොට පාර්ලිමේන්තුවේ ඉඳන් තමන්ගේ කතාව පටන් අරගෙන තිබුණා.

මගේ නායකත්වය යටතේ තිබුණු පනස්‌ තුන්වෙනි සේනාංකය යටතේ තමයි අටවෙනි කාර්ය සේනාංකය තිබ්බේ. කර්නල් රවිප්‍රිය තමයි එක භාරව හිටියේ. මේ අතරේ කර්නල් රවිප්‍රිය මට කතා කරලා. “සර්, කඩොලානේ තව ඩිවලොප්මන්ට්‌ එකක්‌ තියෙනවා…” කිව්වා.

ඒ වෙනකොට අපි යුද්දේ දිනලා ඉවරනේ… එක දිගට මාස දෙක තුනක්‌ නිදි මරලා, ටිකක්‌ හිටියා විතරයි, මෙන්න ආයිත් කියනවා ගහ ගන්නවා කියලා. කන්න ගත්ත කිරිබත් කෑල්ලත් පැත්තකට දාලා මම ගියා, නන්දිකඩාල් සටන් භුමියට. උන් එනකොට “අපේ කට්‌ටියත් ගහ ගත්තා, අපිටත් උන් ෆයර් කළා. මේ සටන විනාඩි හතලිස්‌ පහක්‌ විතර ගියා… “සර්, ඔක්‌කොම් නියුට්‌රමලයිස්‌ කරලා තියෙන්නේ. එක පොයින්ට්‌ එකක්‌ තියෙනවා, ඒක කොන්ට්‍රොල් කරගන්නම බැහැ… එතැනින් දිගටම ගහනවා” කියලා මට අපේ අය කිව්වා. මට ලොකු සටනක්‌ කරලා අපේ කොල්ලෝ මරා ගන්න උවමනාවක්‌ නැහැ. අතට ගත්ත දේ කටට දාලා, දැන් හපා ගන්න විතරයි තියෙන්නේ… “ලොකු සෙනගක්‌ දාන්න එපා… අට දෙනාගේ කණ්‌ඩායම් දෙකක්‌ දාලා, ඕක බලාගන්න” කියලා මම කිව්වා..

කර්නල් රෝහිත අළුවිහාරේගේ නායකත්වයෙන් හතරවෙනි විජයබාහු බලඇණියේ පිරිසක්‌ ඒ සඳහා මම යෙදෙව්වා. ටික වෙලාවකින් “හරි සර්, ඔක්‌කොම ඉවරයි. ප්‍රභාකරන්ගේ බොඩි එකත් තියෙනවා” කියලා මට එහෙන් කිව්වා. මේ වෙනකොට වෙලාව උදේ දහයයි තිහට විතර ඇති.

මගේ ගාව හිටියා, කර්නල් ලලන්ත ගමගේ. මෙතැන බලලා මොකද වෙලා තියෙන්නේ කියන්න කියලා මම කර්නල් ලලන්තව යෑව්වා. වැඩි ඈතක නෙමෙයි, මම හිටිය තැනින් මිටර් දෙසීයක්‌ ඈතින් තිබුණ කලපු ප්‍රදේශයට තමයි මම එයාව යෑව්වේ. “සර්, යුරේකා… ප්‍රභා මැරිලා ඉන්නවා” කියලා මට කර්නල් ගමගේ කතා කරලා කිව්වා. ” හොඳටම ෂුවර්ද…?” මම ඇහැව්වා.

“ඔව් සර්, ටක්‌ ගාලා ආමි කමාන්ඩර්ට කියන්න.”

“ඔය බොඩි එක මෙහෙට ගෙන්න…”

හරි…හරි සර්, බොඩි එක ගේන්නම් ටක්‌ ගාලා මේක කොළඹට කියන්න” කියලා මට කර්නල් ලලන්ත ගමගේ කිව්වා. එයත් හිටියේ ලොකු සන්තෝෂයකින්. මේ ජයග්‍රහණයේ පණිවුඩය ඉක්‌මනින්ම රටටම කියන්න තමයි හැමෝටම ඕනේ වුණේ.

“හරි…හරි සර් බොඩි එක ගේන්නම් මේ පණිවුඩේ ඉක්‌මනට කොළඹට කියන්න” ආයෙත් මට ලලන්ත කියනවා. මට ඒ පාර කේන්ති ගියා.

උඹ ඔතැනට වෙලා ඕකගේ පාංශුකුලය දෙන්නේ නැතුව ඕක ඉක්‌මනට මෙතැනට ගෙනෙන්…” කියලා මම කිව්වා.

එහෙම කිව්වට මගේ ඇස්‌ දෙකෙන් ප්‍රභාකරන්ගේ මිනිය දකිනකන් මම ඒක ආමි කමාන්ඩර්ට කියන්න කැමති වුණේ නැහැ. මම මේක ආමි කමන්ඩර්ට කියලා, එතැනින් ආරක්‌ෂක ලේකම්තුමාට සහ ජනාධිපතිතුමාට කියලා, ඊට පස්‌සේ මේක රටටම කියලා, ඒ මැරිලා ඉන්නේ ප්‍රභාකරන් නෙමෙයි නම්, මටත් වෙඩි තියාගෙන නන්දිකඩාල් කලපුවට පනින්න තමයි වෙන්නේ… ඒ නිසා මේ මිනිය මම ම බලලා තහවුරු කර ගන්න වුවමනාවක්‌ තිබ්බා…

විනාඩි දහයක්‌ විතර යනකොට මිනිය ගොඩට ගෙනාවා. ඒවෙනකොට යුද බිමේ මේ ආරංචිය ගිහිල්ලා අපි ළඟ නිලධාරීන් සහ සෙබළු හාර පන්දාහක්‌ එකතුවෙලා හිටියා. සතුටින් කෑගහන කොටම කොල්ලෝ උඩට වෙඩි තියන්න පටන් ගත්තා. ඔක්‌කොම තුවක්‌කුවලින් වෙඩි තිබ්බා. මැසින්ගන් වැල් පිටින් ගහනවා… පස්‌සේ මගේ ඔෆිසර්ස්‌ලා නවත්තන්න හදනකොට නැහැ… “වෙඩි තියපුවාවේ…” කියලා මම කිව්වා. ඒ ජයග්‍රහණයේ විතරක්‌ නෙමෙයි. තිබුණ පීඩනය පිට කිරීමක්‌. මේ කොල්ලෝ මරණ සහතිකය අතේ තියාගෙන අවුරුදු ගණනාවක්‌ පුරා උදේට නැගිටපු උදවිය. විනාඩි පහක්‌ විතර මුළු නන්දිකඩාල්ම ගිඟුරුම් දෙන විදිහට මේ වෙඩි පත්තු වුණා.

ඒ තමයි මගේ ජීවිතේ අමරණීයම මොහොත. අපේ රට අවුරුදු තිහක්‌ තිස්‌සේ අඳුරු අගාධයකට ඇදලා දාලා, සිංහල ජාතිය අප්‍රිකාවේ වනචාරීන්ටත් වඩා වනචාරී ජාතියක්‌ කියලා ලෝකයට පෙන්නලා, අහිංසක දරුවන්ගේ ඉඳන් ජීවිත බිලිගත්ත මිනිහව, මගේ කොල්ලෝ මරලා, මගේ කකුල් දෙක ගාවට ගෙනාවම මට දැනෙන සන්තෝෂය විස්‌තර කරන්න මට වචන නැහැ.

මම ඒ ඇඟට අත තියලා බලනකොට ඇඟ රස්‌නෙයි. ඔලුවෙන් ලේ එනවා.

මම අතට අත දුන්නේ නැහැ…

ප්‍රභාකරන් තමන්ගේ දෙපා මුල මැරිලා ඉන්නවා දැක්‌කාම ඔබට දැනුන හැඟීම මොකක්‌ද…?

යුද්දේ ඉවර වුණාම යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්‌ කොළඹ හිල්ටන් හෝටලයේ දී ලබා දුන්නා. එතැනදී ඔය ප්‍රශ්නයම ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා මගෙන් ඇහැව්වා. “සර්, මට මම රජෙක්‌ වගේ කියන හැඟීම ආවා…” කියලා තමයි මම උත්තර දුන්නේ. ප්‍රභාකරන්ට දෙවියෝ අණ දුන්නාට, පනස්‌ තුන සේනාංකය එක්‌ක ඇවිල්ලා සටන් කරලා මැරියන් කියලා, මේ සටන කළේ අපි හැමෝම. මම කළේ සියලු සේනාංකාධිපතිවරුන්ට කතා කරලා කිව්වා  “වැඩේ හරි, ප්‍රභාකරන්ව මැරුවා ටක්‌ ගාලා මෙතැනට එන්න” කියලා. ජෙනරල් ජගත් ඩයස්‌, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරල් චාගි ගාල්ලගේ වගේ සියල්ලට මේක කිව්වා. ඒ වෙලාවේ ආමි කමාන්ඩර් හිටියේ පාර්ලිමේන්තුවේ. ජනාධිපතිතුමාගේ කතාව අහන්න ගිහිල්ලා. විනාඩි දහයකින් විතර ආමි කමාන්ඩර්ට, මම මේ පණිවිඩය කතා කරලා කිව්වා.

මෙයිට වඩා වෙනස්‌ කට කතා පසු කාලයේදී මේ පිළිබඳව රට පුරා පැතිරිලා ගියා.  “ප්‍රභාකරන් පනාගොඩට රැගෙන ගිහිල්ලා, ඔහුට පහර දීලා මරා දැම්මා” කියලා සමහරු කිව්වා…

ඒ කතා ඔක්‌කොම බොරු…ප්‍රභාකරන් මැරෙනකන් එතැන හිටියේ ඔහු කියලා කිසිම කෙනෙක්‌ දැනගෙන හිටියේ නැහැ. ඔතැන වැදගත් නායකයෙක්‌ ඉන්නවා කියලා අර සටන යනවෙලාවේ අපි තේරුම් ගත්තා. ඒත් ඒ ප්‍රභාකරන් කියලා අපි දැනගෙන හිටියේ නැහැ.

ප්‍රභාකරන්ගේ හිස පසාරු කරගෙන ගියේ ස්‌නයිෆර් උණ්‌ඩයක්‌ද…?

නැහැ… මමත් දැක්‌කා සමහර පොත්වල සහ පත්තරවල එහෙම ලියලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ඒක වැරදියි… එදා උදේ අටේ කණ්‌ඩායම් දෙක විසින් තබපු උණ්‌ඩයකින් තමයි ප්‍රභාකරන් මැරුණේ… මගේ පොතේ මේ ගැන පින්තුර සමග විස්‌තර සියල්ල එනවා.

කොටි බුද්ධි අංශ නායක පොට්‌ටු අම්මාන්ට මොකද වුණේ…? ඔහු රටින් පැන ගිය බවට පවා කතා පළවුණා…

නන්දිකඩාල් කියන්නේ විශාල කලපුවක්‌ පස්‌සේ අපි මිනී හොයනකොට ඉදිමුණු, කුණුවෙච්ච මිනී ඕනෑ තරම් හම්බු වුණා. සති දෙකක්‌ විතර යනකන් අපිට මිනී හම්බු වුණා. ඒ අතර පොට්‌ටුඅම්මාන් ඉන්න ඇති කියලා අපි සැක කරනවා. ඒ වගේම පොට්‌ටු අම්මාන් මැරුණ බවට ඇසෙන් දුටු සාක්‌ෂි අපිට හමුවුණා.

ප්‍රභාකරන් මිය ගිය බවට මේ දක්‌වා මරණ සහතිකයක්‌ නිකුත් වී නැති නිසාත් ප්‍රභාකරන්ගේ මළසිරුර යයි කියූ මළ සිරුරේ ඩී.එන්.ඒ පරීක්‌ෂණයක්‌ තවමත් සිදුකර නොමැති නිසාත් ප්‍රභාකරන්ගේ මරණය සැක සහිත බවත් ඔහු අයත්වන්නේ අතුරුදන් වූවන්ගේ ගණයට බවත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී වන එම්. කේ. සිවාජිලිංගම් පවසා තිබුණා..

ඔහොම සැකකරන කට්‌ටියට මම කියන්නේ එහෙම කතා කියලා විහිළුකාරයින්ගේ තත්ත්වයට පත්වෙන්න එපා කියලයි… අපි බොරුකාරයෝ නෙමෙයි. අපි වෘත්තීමය හමුදාවක්‌. අපි ප්‍රභාකරන් කියන ත්‍රස්‌තවාදී නායකයා මැරුවා… අපි එයාගෙයි එයාගේ පුතා චාර්ල්ස්‌ ඇන්තනිගෙයි ජාන පරීක්‌ෂණයක්‌ කළා. ඒකෙන් ප්‍රභාකරන් සහ පුතා කියලා තහවුරු වුණා. සමහර දෙමළ දේශපාලකයන් ජනප්‍රිය වෙන්න කරන ළදරු ක්‍රියා ගැන අපිට කනගාටුයි. මම ළදරුවෙක්‌ නෙමෙයි. පරිණත හමුදා නිලධාරියෙක්‌. සමහරු හිතනවා ඇති ප්‍රභාකරන් දිව්‍ය ලෝකයට ගියා කියලා. අපි හිතනවා අපායට ගියා කියලා. කොහොම වුණත් එයා මේ ලෝකේ නැතුව වෙන ලෝකෙක ඇති.

ඔබ හෙට සිට විශ්‍රාමික හමුදා නිලධාරියෙක්‌. සේවය නිමවා හමුදාවට සමුදෙන මොහොතේ ඇතිවෙන හැඟීම ගැන කිව්වොත්…

අපේ තරුණ කාලය ගතවුණේ කැලෑවල්වල සටන් කිරීමට. අනිත් සේනාංකාධිපතිවරුන්ගේ ජීවිතත් එහෙමයි. වසර තිස්‌ පහකුයි දවස්‌ පහක්‌ මේ නිල ඇඳුම ඇන්දාට පස්‌සේ ඒක එල්ලා, ගෙදර යන එක කනගාටුයි. නමුත් මම හිතනවා, මගෙන් රටට විය යුතු සේවය මම කරලා තියෙනවා කියලා… මහාචාර්ය සුනිල් ආරියරත්න ලියපු අබේවර්ධන බාලසූරිය ගයපු ගීතයක මුල් කෑල්ල මගේ හිතේ තදින්ම සටහන් වෙලා තියෙනවා. ඒක මගේ ජීවිතයට බොහෝම සම්බන්ධයි.

අවසන් හුස්‌ම පොද නොබියව හෙළන්නට
සිව් රියනේ හිත සතුටින් නිදන්නට
මිනිසෙකු විලස ඉපදුනු පල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට”

යුගයේ වීරයෙක්‌ ලෙස හමුදාව තුළ සහ දේශයේ කීර්තියක්‌ ලබාගෙන, රට සිටි ප්‍රධානම සතුරා තමන්ගේ දෙපා මුල මරලා දමලා, හමුදාපති තනතුර නොලබා විශ්‍රාම යැම ගැන ඔබට දුකක්‌ නැද්ද…?

ඕනෑම වෘත්තීය හමුදා නිලධාරියෙක්‌ගේ අභිලාශය, සරලව කිව්වොත් ආශාව, කවදාහරි යුද හමුදාපති වෙලා ලෝකෙම ඉන්න හොඳම සොල්දාදුවන්න්ගේ නායකයා වෙන්න. ලෝකයේ ඉන්න හොඳම සොල්දාදුවන්ගෙන් කොටසක නායකයා වෙන්න මට පුළුවන් වුණා. නමුත් ඒ සොල්දාදුවෝ ඔක්‌කොමලාගේ නායකයා වෙන්න මට අවස්‌ථාව ලැබුණේ නැහැ. ඒ ගැන යම් කනගාටුවක්‌ තියෙනවා. අපේ රටේ හමුදාපති තනතුර ලැබෙන්න දක්‌ෂකම විතරක්‌ නෙමෙයි, වාසනාවත් තියෙන්න ඕනේ. මට ඒ වාසනාව තිබුණේ නැහැ. හමුදාපති පුටුවට නොගියාට මම ගෙදර යන්නේ ජයග්‍රාහී විදිහට. ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට ගෙදර යන්නයි මට වුවමනා වුණේ. අප දක්‌ෂ ජෙනරාල්ලා පරාජිත සොල්දාදුවෝ වගේ ගෙදර යනවා මම දැක්‌කා. මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට. ඒ ජයග්‍රහණයේ කතාවත් රටට කියාගෙන තමයි මම ගෙදර යන්නේ… මම විශ්‍රාම ගියේ පස්‌වෙනිදා සඳුදා. මගේ පොත එළිදැක්‌කේ ඊට පස්‌සේ දවසේ, ඒ කියන්නේ අඟහරුවාදා…මම ඉගෙන ගත්තෙ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේදී. මේ පොතේ තියෙන්නේ “මා දුටු දේ සහ අප කළ දේ” ගැන.

හමුදා වහරෙන් කිව්වොත් ඔබගේ එක මෙහෙයුමක්‌ දැන් නිමා වෙනවා. පත්තර භාෂාවෙන් කිව්වොත් ඔබගේ ජීවිතයේ එක පිටුවක්‌ ඉවරයි. මොකක්‌ද ඔබේ ඊළඟ මෙහෙයුම නැත්නම් පිටුව…?

රජයේ රැකියාවක්‌ දුන්නාට මම ඒක භාර ගන්නේ නැහැ. මම මේ රට දාලා වෙන රටකට යන්නෙත් නැහැ. මම ආඩම්බර රට වැසියෙක්‌ විදිහට මේ රටේ ජීවත් වෙනවා…

ඔබ අපට වීරයෙක්‌ වුණාට සමහරුන්ට යුද අපරාධ චෝදනාකරුවෙක්‌. නැත්නම් යුද අපරාධකාරයෙක්‌. සමහර රටවලට ඔබට අඩිය තියන්නවත් බැහැ… මේ ගැන හිතන කොට දුකක්‌ එහෙම දැනෙන්නේ නැද්ද…?

මම පස්‌වෙනි පන්තියට වෙනකං ගියේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට. මට හතරේ පන්තියේදී ඉගැන්නුවේ සෝමා රණවිර ගුරු මෑණියෝ. එදා ඒ ගුරු මෑණියෝ උගන්වපු, එස්‌. මහින්ද හාමුදුරුවන්ගේ කවි දෙකක්‌ මට හොඳට පාඩම් හිටියා. මගේ ජීවිතේ පාඩම බවටත් මම ඒක පත්කර ගත්තා.

ජාතිය රන් විමනක්‌ වේ
ආගම මිණි පහනක්‌ වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹවේ

අනිත් කවිය තමයි ඔබගේ ප්‍රශ්නයට පිළිතුර

ඉටුකොට කළයුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්

Read Full Post »

mullaitivu-war-640x335

ජයන්ත හදිස්සියක්. මුලතිව් කෑම්ප් එකට වටකරලා ගහනවා. සී.ඕ.ට (අණදෙන නිලධාරිට) කතාකරලා ඉක්මනට මුලතිව් රෙස්කිව් එකට යන්න ලෑස්ති වෙන්න කියන්න. සී.ඕ. ඉක්මනට ලයින් එකට ගන්න යැයි කර්නල් දවුලගල දැනුම් දුන්නේය.

මෙම කාලවල ජංගම දුරකථන නොවූයෙන් සියලු දුරකථන ඇමතුම් ස්ථාවර දුරකථන ඇති තැන් මගින් පමණක්ම විය.

අලුයම් කාලයේම හමුදා මූලස්ථානයෙන් ආ දුරකථන ඇමතුම ගැන වහාම ලුතිනන් කර්නල් ලෆීර්ගේ නවාතැනට දුවගිය මේජර් ජයන්ත රත්නායක සර් මුලතිව්වලට ගහනවලු. මුලතිව් රෙස්කිව් කරන්න යන්න ලෑස්ති වෙන්න කියලා හෙඩ්ක්වාටර්ස්වලින් දැනුම් දුන්නා. යැයි කියත්ම උණ වැලඳී සිටි ලුතිනන් කර්නල් ලෆීර් හීයක වේගයෙන් නැගීසිට වහාම දුරකථනය වෙත ගොස් හමුදා මූලස්ථානය ඇමතීය.

ඒ අනුව ලුතිනන් කර්නල් ලෆීර්ගෙන් විමසුවේ තොප්පිගල මෙහෙයුම අතැර මුලතිව් යෑමට සූදානම් විය හැකිද යන්නය. දුරකථන ඇමැතුම ගන්නට එනවිටත් අණදෙන නිලධාරියා මේජර් ජයන්ත රත්නායකට බළඇණිය සූදානම් පිට තබන්නැයි කියා ගොස් තිබිණ. අණදෙන නිලධාරියා එනතුරු මේජර් ජයන්ත කපිතාන් නාලක ද සිල්වා ද කැටුව සියලු භට පිරිස් ‍පෝලිම් කර මෙහෙයුමට සූදානම් වන්නැයි දැන්වීය.

වනබද සටනක් සඳහා යාමට සූදානම් කර තිබූ ආම්පන්න සහිත මලු ඉවත් කර නගරබද සටන්වලට අවශ්‍ය ලෙසට සියලු දෙනා වහා සූදානම් කෙරිණ. නගරබද සටන්වලට වැඩිපුර අවශ්‍ය පතුරම් හා වතුර සෙබළුන්ගේ මලුවලට එක්කර ගැනිණ. මේ අතරේ කර්නල් ලෆීර් තම බිරිඳ අනෝමාට කතාකර මුලතිව් බේරාගැනීමට යාමට සිදුව ඇතැයි දැන්වීය.

ජූලි 18 උදෑසන 6.15ට පමණ මාදුරුඔය කඳවුරේ නැගෙනහිර පැත්තෙන් හෙලිකොප්ටර් හයක් මතුවූයේ තොප්පිගල මෙහෙයුම සඳහා කලින් සැලසුම් කළ පරිදිය. හෙලිකොප්ටර් සියල්ල මාදුරුඔය වැව් බැම්මේ නැවැත්වූයේ සෙබළුන් රැගෙන යාම සඳහාය.

මේ වනවිට මුලතිව් කඳවුරට කාලතුවක්කු සහාය ගැනීමට ද නොහැකි විය. වැලිඔය සිට කාලතුවක්කුවල උපරිම වෙඩි බලය ගත්ත ද මුලතිව්වලට සහායක් නොවීය. පණිවුඩ හුවමාරු ජාලය ද බිඳවැටී තිබිණ. මුහුදින් සහායක භට පිරිස් රැගෙන යාම ද අසීරු විය. මුලතිව් කඳවුරේ සිරවී සටන් කළ සෙබළුන්ගෙන් බොහොමයක් ඒ වන විටත් කොටින්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව තිබිණි. හතර වටින් කොටින්ට මැදිවී ජීවිතය යදින සහෝදර සෙබළුන් බේරාගැනීමට හමුදා මූලස්ථාන ප්‍රධානීන්ට නිසි සැලසුමක් නොවීය.

කෙසේ වුවද මුලතිව්වලට යාමට හැකිදැයි ඇසූ විගස ස්වේච්ඡාවෙන්ම එයට ඉදිරිපත් වූ ලුතිනන් කර්නල් ලෆීර්ගේ ඒකායන අරමුණ වූයේ තම සෙබළ සොහොයුරන් කොටින්ගේ ප්‍රාණ ඇපයෙන් බේරගැනීමටය. අනෙක් නිලධාරීන් පස්සට යද්දී තමන් විශාල අවදානමක් ගෙන එහි යාමට සූදානම් වන්නේ කිසිදු සහායක් නොමැති වටපිටාවකය. ඉහළ නිලධාරීන් සහායට භට කණ්ඩායම් හා කාලතුවක්කු සහාය සූදානම් කර අවසන් වනතුරු නොසිට පමා නොකර මුලතිව් බලා යාමට කර්නල් ලෆීර්ට අවශ්‍ය වූයේ තවත් ජීවිත කිහිපයක් හෝ රැකගන්නටය.

බ්‍රිගේඩියර් ජානක පෙරේරා හා එවකට කමාන්ඩෝ හා විශේෂ බළකා භාරව සිටි ස්වාධීන බළසේනාධිපති බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු මුලතිව්වලට කාලතුවක්කු සහාය මෙන්ම ගුවනින් හා මුහුදින් භට පිරිස් යැවීමට සැලසුම් කළේය. එම සැලසුම් ක්‍රියාත්මක වන්නටත් පෙර ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් මුලතිව් යාමට තීරණය කළේ මුලතිව්වල ජීවිතයත්, මරණයත් අතර සටනක නිරත සහෝදර සෙබළුන්ට දිරිය දෙන්නටය. හෙලිකොප්ටර් හයක නැගුණු ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් ඇතුළු පළමුවැනි විශේෂ බළකා භට කණ්ඩායම් උදෑසන අට පමණ වනවිට ත්‍රිකුණාමල, චයිනා බේ ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන එනු ලැබූහ. ගුවන් පථයේ දී බළඇණිය යළි ‍පෝලිම් කර ඉදිරි මෙහෙයුම සඳහා දැනුවත් කරන්නට සෙසු නිලධාරීන්ට භාර දී ලුතිනන් කර්නල් ලෆීර් එම කඳවුරේ පැවැති හමුදා ප්‍රධානීන්ගේ සාකච්ඡාවට එක්විය.

ගුවන් හමුදා මෙහෙයුම් මැදිරියට එක් වූ හමුදා ප්‍රධානීන් ඉදිරි සැලසුම් ගැන උපදෙස් දෙමින් විශේෂ බළකාය සටන්බිමට යද්දී කාලතුවක්කු සහායත්, සහායට පාබළ සේනාංකත් එවන බවට ‍පොරොන්දු විය.

ඒ සියලු ‍පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකිරීම අසීරු බව දැනුණ ද මුලතිව් කඳවුරේ සිරවුණු සගයන් වෙනුවෙන් අභියෝගය භාරගත් කර්නල් ලෆීර් ජූලි 18 සවස 4.30ට සාකච්ඡාව අවසන් කර පැමිණියේ ජයන්ත යන්න ලෑස්ති වෙන්න කියාගෙනය.

අපි කොතනටද යන්නේ සර්? යැයි මේජර් ජයන්ත රත්නායක විමසද්දී කර්නල් ලෆීර් පෙන්නුවේ මුලතිව් සිතියමේ අලම්පීල්වල කොටසකි. 1990 දී කොටි ත්‍රස්තයන් මුලතිව් කඳවුර වටකරගෙන මෙවැනිම ප්‍රහාරයක් එල්ල දරද්දී බ්‍රිගේඩියර් ජානක පෙරේරාගේ නායකත්වයෙන් කෙරුණ සී බ්‍රිස් මෙහෙයුමෙන් ගුවනින් හා මුහුදෙන් සංග්‍රාම භූමියට ගොස් කඳවුර බේරාගන්නට කළ සටනේදීත් ලුතිනන් කර්නල් ලෆීර් එහි ඛණ්ඩ භාර නිලධාරියකු ලෙස ගිය අයෙකි. එහිදීත් පළමු විශේෂ බළකාය කළ මෙහෙවර නිසා කඳවුරේ සෙබළුන් බේරාගැනීමට හැකිවිය. නමුදු එල්.ටී.ටී.ඊය මෙවර කලින් අසාර්ථක වූ තැන් පවා මනාව අධ්‍යයනය කර මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි.

සර් අපිට කමියුනිකේෂන් කොහොමද? ආටිලරි (කාලතුවක්කු) ස‍පෝට් එක හම්බවෙනවද? මේජර් ජයන්ත ඇතුළු නිලධාරීහු හදිසි මෙහෙයුම ගැන අණදෙන නිලධාරීගෙන් විමසූහ.

අපි මුලතිව් යද්දි කමියුනිකේෂන් හරිගස්සලා තියෙයි. ජානකපුරින් ඉස්සරහට ආටිලරි ගන්ස් ගෙනල්ලා වන් ත්‍රී සීරෝ (130 මි.මී. කාලතුවක්කුව) ස‍පෝට් එක දෙනවා කියලා ‍පොරොන්දු වුණා. යැයි කියමින් කර්නල් ෆස්ලි තම කණ්ඩායම අස්වැසීය. එහෙත් ඒවා ඉටුවන තුරු තම ජීවිත අවදානම් බව සියලු දෙනා දැන සිටියහ. ඕනෑම අභියෝගයක් භාර ගන්නට කැමැති ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් මෙය මරාගෙන මැරෙන්නට යන සටනක් බවත් දැන දැනත් මුලතිව් යන්නට තීරණය කර සිටියේය.

ජූලි 18 දා සවස මුලතිව් කඳවුර බේරාගන්නට තමා පිටත්වන බව කර්නල් ලෆීර් තම බිරිඳ අනෝමාට දුරකථන ඇමතුමක් දී දැන්වීය. යුද්ධය ගැන මනා අත්දැකීමක් ඇති අනෝමා ලෆීර් මහත්මිය මේ ගමනේ අවදානම දැන සිටියත් ෆස්ලි ඕනෑම අභියෝගයක් භාරගෙන ජයගත් අයකු නිසාවෙන් ඔහුගේ ගමනට බාධා නොකළාය. යාපනය කොටුවට 1990 දී කොටි ත්‍රස්තයන් වටකර පහරදී කොටුව අත්පත් කරගන්නට සූදානම් වන මොහොතේ රාජාලියා මෙහෙයුම (ඔපරේෂන් ඊගල්) මගින් යාපනය කඳවුර බේරාගන්නට ගිය මේජර් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමට කෑම හා වෙඩි උණ්ඩ රැගෙන අභියෝගාත්මක ගමනක් ගියේ ද කර්නල් ලෆීර්ය.

මෙකී අභියෝග ජයගනිමින් යන නිර්භීත නිලධාරියකු වූ කර්නල් ලෆීර්ව “සුසයිඩ් එක්ස්ප්‍රස්” මෙහෙයුමෙන් පසුව හමුදා නිලධාරීන් හැඳින්වූවෙත් සුසයිඩ් එක්ස්ප්‍රස් නමිනි.

මුලතිව් බලා යන ගමනට තම කණ්ඩායම්වලට නායකත්වය දෙමින් තමන්ම මුලින්ම යන කණ්ඩායම සමග යාමට කර්නල් ලෆීර් ද එක්විය. බලඇණියේ අණදෙන නිලධාරියා සටන් පෙරමුණට යාම නිර්භීත නිලධාරින්ට පමණක් උරුම වූ දෙයක් නිසා මොහු ද එසේ එක්විය.

ගොල්ෆ් හා චාලි බලඝන දෙක සමග ඉර බැස යන මොහොතේ (Last Fight) උපක්‍රමික ලෙස අලම්පීල්වලට ගොඩබැසීමට සැලසුම විය. පියාසර ලුතිනන් ශිරාන් පෙරේරා ඇතුළු ගුවන් නියමුවෝ අභියෝගාත්මක ගුවන් මෙහෙයුමට දායක වූහ.

සී. බ්‍රිස් මෙහෙයුමේ දී මුලතිව්වලට උතුරින් ගොඩබැස්ස ද මෙවර මුලතිව්වලට කිලෝමීටර් හතරක් දකුණින් අලම්පිල් වෙරළ තීරයට යාමට ගුවන් නියමුවන්ට පැවරිණි. සවස 4.30ට ත්‍රිකුණාමලයෙන් ඉහළට නැංවුණු හෙලිකොප්ටර් යානා පහක් අඳුර කපාගෙන විනාඩි හතළිහක් පමණ ඇතුළත අලම්පිල් බලා ළඟාවූහ. කර්නල් ලෆීර් හා මේජර් රත්නායක දෙවැනි හෙලිකොප්ටරයේ වූහ.

එම්.අයි. 17 හෙලිකොප්ටරයක සෙබළු තිස්පහක් රැගෙන ගිය අතර හෙලිකොප්ටරය ‍පොළොව ආසන්නයට ළං කරද්දී තප්පර විසිඑකකට කලින් සියලු දෙනා බැසගැනීමට පුරුදු කර තිබිණි.

අපිට ලෑන්ඩ් කරන්න විදියක් නැහැ. චොපර් පාත් කරපු ගමන් හැමෝම පරිස්සමට පැනගන්නයි කර්නල් ලෆීර් තම කණ්ඩායම් දැනුවත් කර තිබිණි.

මුලතිව් වෙත ළඟා වෙද්දී කඳවුරෙන් නැගෙන වෙඩි හඬත්, අහසට නැගෙන කළු දුමාරයත් හැර වෙන කිසිවක් ගුවන් නියමුවන්ට දැකගත නොහැකි විය. මුලතිව් මහ වනාන්තරයට ඉහළින් වට කිහිපයක් ගිය ශිරාන්ට කඳවුරේ දකුණින් වූ වැලි තලාවක් සහිත තැනක් නිරීක්ෂණය විය. වහාම හෙලිකොප්ටරය පහත් කරනවාත් සමග නියමුවාට වෙනසක් තේරිණි. මුහුදු වැල්‍ලේ වළවල් කපාගෙන සිටි කොටින්ගේ ෆයිව් සීරෝ (ගුවන් යානා නාශක අවි) අවි ඇටවූ තිප්‍පොළක් මතට යානය පහත්කර ඇතැයි පසක් වනවිටත් යානයට වෙඩි තබන්නට අර අඳින කොටි ත්‍රස්තයාගේ හිස මතට යානය පහත්කර යටකර මරාදමා යානයේ අවර පෙතිවලින් වැලි කුණාටුවක් මෙන් ඇවිස්සෙන තෙක් ළං කළේය. සිනිඳු වැලි තලාව වැලි කුණාටුවක් මෙන් කොටි ත්‍රස්තයන්ගේ දෑස් වැසෙන තරමට වැලි ඉහළට නගිද්දීත් ත්‍රස්තයන් හතර වටේට වෙඩි තබන්නට වූහ.

එහි දී යානයේ කෙළවරක සිටි කෝප්‍රල් ලන්දේකුඹුරගේ අත පසාරු කරගෙන යද්දී එයින් කුපිත වී ගොඩබිමට පැනගත් කෝප්‍රල් මංජුල සෝමසිරි ඇතුළු දෙදෙනකු කොටි ත්‍රස්තයන් එකිනෙකා මරා දමමින් කොටි සතු ෆයිව් සීරෝ අවියක් ද සටන්බිමට ගොඩබට වහාම අත්පත් කරගෙන එයින්ම සතුරාට පහරදුන්හ.

තත්පර ගණනක් ඇතුළත සියල්ලම සිදු වූ අතර හෙලිකොප්ටර් යානා දෙකක පැමිණ භට කණ්ඩායම් හා අණදෙන නිලධාරියාට පමණක් ගොඩබසින්නට හැකි විය. කොටි ත්‍රස්තයන් පවා නොසිතූ මොහොතක සටන් බිමට විශේෂ බළකා භට පිරිස් ගොඩබැසගත් අතර සෙසු හෙලිකොප්ටර් හතරේ සෙබළුන් ත්‍රස්ත ප්‍රහාර නිසා ගොඩබැස්සවීමට නොහැකි වූ නිසා යළිත් ත්‍රිකුණාමලයට පියාසර කළේය.

ඒ වන විටත් සටන්බිම තිබුණේ දරුණු තත්ත්වයකි. විශේෂ බළකාය මුලතිව්වලට ගොඩබසින විටත් පණිවුඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියාත්මක නොවිණි.

අලම්පිල් වෙරළේ සිට මීටර් හාරසියයක් පමණ ඇතුළට වන්නට වූ ආරක්ෂිත තැනක වට ආරක්ෂාව දමාගත් විශේෂ බළකා විරුවන් අඳුරේම උපක්‍රමශීලීව සැඟවී යාම නිසා කොටින්ටත් සොයාගත නොහැකි විය. වට ආරක්ෂාව යොදාගෙන විඩාව නිවාගත් කර්නල් ලෆීර්, මේජර් රත්නායක ඇතුළු කණ්ඩායම සෙසු කණ්ඩායම් පැමිණි පසුව ඉදිරි මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට තීරණය කළහ.

හැටක පමණ පිරිසක් එහි වූ අතර ගොඩබිමට සේන්දු වෙද්දී තුවාල ලද සෙබළුන්ට ද එහි දී ප්‍රථමාධාර දී ප්‍රතිකාර කරන්නට යුහුසුලු විය. කොටින්ට ඉව නොදැනෙන්නට සියලු දෙනා ස්ථානගත වූ අතර කුගර් පණිවුඩ හුවමාරු යන්ත්‍ර මධ්‍යම රාත්‍රිය වනවිටත් ක්‍රියාත්මක නොවීය.

මෙදින රාත්‍රියේ කර්නල් ලෆීර් ජීප් රථයෙන් එන ශබ්ද ඇතුළුව විවිධ සිතුවිලි ගලා එන්නට වූයෙන් අනෝමා ලෆීර් ද නිදිවර්ජිතව සිටියාය. මාස ගණනක් තිබූ පෑවිල්ල නිසා ඉඩෝරයට විදුලිය පවා කපන කාලයක් වුව ද එදා රාත්‍රියේ ඉඩෝරය නිමා කරමින් මහ වැසි ඇද හැළෙන්නට වූයේ පරිසරයද වෙනස් කරමිනි.

ෆස්ලි මුලතිව්වලට ගිය පසු කිසිදු ඇමතුමක්වත් තොරතුරක්වත් නොවුව ද ඇය ෆස්ලි ජීවිතයේ බය නොහඳුනන නිලධාරියකු බවට දැන සිටියාය.

ජීප් රථවල ශබ්ද කන ඇතුළේ දෝංකාර දෙද්දී ෆස්ලි තමන් බැලීමට ආවාද යන්න දොරකඩට ගොස් බලන්නට ද අමතක නොකළාය.

විශේෂ බළකාය සතුව එවකට තිබූ කූගර් වර්ගයේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර සතුරාටවත් අසන්නට නොහැකි ආරක්ෂිත පණිවුඩ හුමවාරු යන්ත්‍ර වූ අතර ඒවා අතර සම්බන්ධතාව ගොඩනැංවීමට ලුතිනන් රාජපක්ෂ මාදුරුඔය සිට වව්නියාවට පිටත්කර තිබිණ.

ත්‍රිකුණාමලය බලා ගිය හෙලිකොප්ටර් යළිත් විශේෂ බළකායේ ඉතිරි භට කණ්ඩායම් රැගෙන යළිත් ගුවනට නැගුණේ ඝන අඳුරේය. එම පිරිසට කපිතාන් නාලක ද සිල්වා, කපිතාන් ස්ටැන්ලි සිරිමාන්න ඇතුළු කණ්ඩායම ද අයත් වූහ. එම හෙලිකොප්ටර් මුලතිව් කැලෑවේ ගස්වල ගැටෙන නොගැටෙන මට්ටමට ගොස් වෙරළ තීරයට ළං වූයේ රෑ 1.00ට පමණය.

මුලතිව් කඳවුරට කිලෝමීටර් තුනක් පමණ දකුණට වන්නට මෙම පිරිස ගොඩබැස්සවීමට සූදානම් වෙද්දී යළිත් කොටින්ගේ ෆයිව් සීරෝ වෙඩි උණ්ඩ හතර වටේට නිකුත් වන්නට වූයේය.

තප්පර ගණනක් ඇතුළත යළි හෙලිකොප්ටර් පහෙන් ආ සෙබළුන් හා නිලධාරීන් තැන් කිහිපයකට ආරක්ෂිතව ගොඩබැස්සවූ අතර එක් හෙලිකොප්ටරයකින් මීටර් දහයක් පමණ උඩ දී කොටසක් පැනගත් අතර කපිතාන් නාලක ද සිල්වා ඇතුළු පහළොවක් හෙලිකොප්ටරයේ තබාගෙන යළිත් හෙලිකොප්ටරය ඉහළට නැංවිණ.

එසැණින් වහාම අපිවත් බස්සන්න අපේ කොල්ලන්ට තනියෙන් මැරෙන්න දෙන්න බැහැ. කරුණාකරලා අපිව බස්සලා යන්නැයි නාලක සිල්වා ගුවන් නියමුවාට කී දෑ ක්‍රියාත්මක නොවෙද්දී ගුවන් නියමුවාට ගිනි අවිය දික්කර තමන්ව මුලතිව් සටන්බිමට බස්සවා ගන්නට තරම් මෙම නිලධාරීහු නිර්භීත චරිත විය.

ඉන් පසුව ආරක්ෂිතව යළිත් මෙම පිරිස් ගොඩබැස්සවූ අතර එතැන් පටන් සියලු දෙනාට කොටින්ගේ මෝටාර් හා වෙඩි වරුසාවලින් ආවරණය වී ඉන්නට සිදුවිණි. කපිතාන් සිරිමාන්න සමග ගොඩබට විශේෂ බළකා සෙබළුන් ද කොටින්ගේ ෆයිව් සීරෝ අවියක් ද අත්පත් කරගෙන තිබුණි.

කර්නල් ලෆීර් ඇතුළු කණ්ඩායම රැඳී සිටි තැනට කිලෝමීටර් හතරක් පමණ ඈතට වන්නට විශේෂ බළකා ඉතිරි කණ්ඩායම් ගොඩ බැසගෙන ආරක්ෂිත තැන් කරා ඇදී ආහ.

ඒ අතරේ තම කුගර් යන්ත්‍රයෙන් කතා කර තමන් මුලතිව්වලට ගොඩ බැසගත් බව කපිතාන් උපුල් අබේරත්න හා කපිතාන් නාලක සිල්වා අණදෙන නිලධාරි අමතා දැන්වීය.

මෙම කණ්ඩායම් සමග මුලතිව් බලසේනාධිපති කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමද මුලතිව් බලා පැමිණ තිබිණි. ලුතිනන් කර්නල් සේනාධීර ගුණරත්න ද එම පිරිස අතර විය.

කොටි ත්‍රස්තයන් නොසිතූ මොහොතක ගස්වල ගෑවෙන නොගෑවෙන මට්ටමින් හෙලිකොප්ටර් පැමිණ භට පිරිස් ගොඩ බැස්සවීමත් සමග යළිත් කඩි ගුලක් මෙන් කොටි ප්‍රහාරකයන් ඇවිස්සිණි.

හරි තැනක් සොයාගත නොහැකි වුවත් දිගට හරහට මෝටර් හා වෙඩි උණ්ඩ සතුරන් දෙසින් නිකුත්වන්නට වූයේ මල් වැසි මෙන්ය. ආරක්ෂිත තැන්වලට යමින් පරණ ගොඩනැගිලි නටබුන් සහිත තැන්වලට ආවරණය වෙමින් එම ප්‍රහාරවලින් බේරෙන්නට සෙබළුන් අපමණ උත්සාහයක් ගත්හ. මුහුදු කොටින්ගේ ප්‍රහාරක බෝට්ටු යොදවා මුලතිව් වෙරළටද දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ.

විශේෂ බළකා භට කණ්ඩායම් සතුරාට නොදැනෙන්නට විස්මය තබා ගනිමින් ඉදිරියට ගොස් අණදෙන නිලධාරියා ඇතුළු කණ්ඩායම සමග එක්වන්නට සමත් වූහ. ඒ වන විට ජූලි 19දා අලුයම 4.00ට පමණය.

කොටි ත්‍රස්තයන් කොතරම් ප්‍රහාර එල්ල කළද විශේෂ බළකා සෙබළුන්ට එක් උණ්ඩයක්වත් පිට නොකර නිශ්ශබ්දව සිටින්නැයි උපදෙස් දී තිබිණි. ඒ පසුදින (19) එළිවනතුරුම හමුදා විශේෂ කණ්ඩායම් සිටින්නේ කොතැනදැයි විස්මය තබා ගැනීමටය.

මේ අතරේ කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු මුලතිව් කඳවුර සමග පණිවුඩ හුවමාරු සබඳතා ගොඩනගාගන්නට දැඩි උත්සාහයක් ගත්තේය. කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු සමග ඔහුගේ බළසේනාවට අයත් විසිදෙනකු පමණ රැඳී සිටියහ. යුද හමුදා කඳවුරුවල ඇති පී.අර්.ජී. 77 පණිවුඩ හුවමාරු යන්ත්‍ර හරහා මොවුන් පණිවුඩ හුවමාරු කර ගන්නට උත්සාහ කළහ. මෙම පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් කතා කරන දේ එල්.ටී.ටී.ඊ.යට සවන් දීමට හැකි පණිවුඩ යන්ත්‍ර තිබුණොත් එම පණිවුඩ හුවමාරු යන්ත්‍රවලින් කතා කිරීම අනාරක්ෂිත වූයේය.

විශේෂ බළකාය සතු කුගර් යන්ත්‍ර අනෙක් ඒකකවලට අසන්නට නොහැකි ආරක්ෂිත ඒවා වුවද මුලතිව් කඳවුරේ එවැනි යන්ත්‍රයක් නොතිබුණෙන් එම යන්ත්‍රවලින් සබඳතා පවත්වා ගැනීම අසීරු විය. ජූලි 19දා අලුයම හිරු නැග එත්ම උදෑසන 6.00 පමණ සියලු දෙනාම එකිනෙකා රැඳී සිටින තැන්වලින් ආරක්ෂිතව ඉදිරියට යාමට සූදානම් කෙරුණේය.

“ජයන්ත අපි දැන් මුලතිව්වලට යමු” යැයි ලුතිනන් කර්නල් ෆස්ලී ලෆීර් මේජර් ජයන්ත රත්නායකට දැන්වීය. මෙම විශේෂ බළකා භට කණ්ඩායම් ඒ වන විට මුලතිව් කඳවුරට කිලෝමීටර් තුනක් ආසන්නයේ රැඳී සිටියහ. ඒ වනවිටත් කොටි ත්‍රස්තයන් මුලතිව් කඳවුර වට කරගෙන පහර දෙමින් සිටියහ. ඉදිරි මෙහෙයුමට පෙර කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු හට තමන්ට ඉදිරියට යාමට ඇති අභියෝගය ගැන කතා කරන්නට කර්නල් ලෆීර් අමතක නොකළේය.

“සර් අපිට කමියුනිකේෂන් ප්‍රශ්න තියෙනවා. අපේ සෙට් තාම වැඩ කරන්නේ නැහැ. අපිට ආටිලරි ස‍පෝට් එක ගන්න ප්‍රශ්න තියෙනවා” යැයි ලුතිනන් කර්නල් ලෆීර් පෙන්වා දුන්නේය. තම කණ්ඩායම ඉදිරියට ගමන් කරද්දී හෝ කාලතුවක්කු සහාය ලැබේයැයි විශ්වාසයක් මත කර්නල් ලෆීර් මෙහෙයුමට සූදානම් විය. මේ අතරේ මුලතිව් කඳවුරේ දැවැන්ත කොටි ප්‍රහාරයකට මැදිව සිටි මේජර් අලීබා පණිවුඩ හුවමාරු යන්ත්‍රය හරහා කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු සමග ඒ මොහොතේ සම්බන්ධ වූයේය.

“අලී උඹ අල්ලගෙන හිටපන්. අපි එස්.එෆ්. එකත් එක්ක අලම්පීල්වල ඉන්නවා. උදේ නවය, දහය වෙනකොට අපි කෑම්ප් එකට එන්නම්.” කියා කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු මේජර් අලීබාට දැන්වීය. මෙම පණිවුඩ හුවමාරුවෙන් රැඳී සිටින ප්‍රදේශය දැනුම් දීමත් එම පණිවුඩ හුවාමරු වන තැන සොයා ගැනීමටත් හැකි වීමත් සතුරාට වාසිදායක වූවා විය හැකිය.

කෙසේ වුවද භූමියට අනුව හැඩගැසීමට ඇති හැකියාව උපයෝගී කරගෙන විශේෂ බළකා භට කණ්ඩායම් තම අණදෙන නිලධාරියා සටන් බිමේ සිටම දුන් නිර්භීත නායකත්වය නිසා ඇති වූ චිත්ත ධෛර්යයෙන් සහෝදර සෙබළුන් බේරාගැනීමට ඉදිරියට ඇදෙන්නට වූහ.

Read Full Post »

මුලතිව් ප්‍රහාරයට ජූලි 19 දාට විසි වසරයි

mullaitivu-war-1

යාපනය රිවිරැස මෙහෙයුමට දායක වී සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් අණදුන් පළමුවැනි විශේෂ බළකායේ භට කණ්ඩායම් තවත් රහසිගත මෙහෙයුමක් සඳහා මාදුරුඔය සිය කඳවුරට පැමිණ සිටියහ.

ගුවනින් ගොස් තොප්පිගල පිහිටි කොටින්ගේ නැගෙනහිර බලමූලස්ථානය අත්පත් කර ගැනීම විශේෂ බළකායට පැවරී තිබූ ඉලක්කය විය. ලුතිනන් කර්නල් රාජ් විජේසිරි අණදුන් දෙවන විශේෂ බළකාය වැලිකන්ද පුනානි දෙසින් හතරවන ගජබා රෙජිමේන්තුව සමග කැලෑ මාර්ග ඔස්සේ තොප්පිගල බලා යන අතරේ පළමුවන විශේෂ බළකාය ගුවනින් කඳවුරට කඩා වැදීමට සැලසුම් කර තිබිණි.

මෙහෙයුමේ සැලසුමට අනුව දෙවැනි විශේෂ බළකාය 1996 ජූලි 17දා තොප්පිගල බලා ගමන් කරන අතර ජූලි 18දා අලුයම පළමු වන විශේෂ බළකා භට කණ්ඩායම් මෙහෙයුමට එක්වීමට නියමිත විය.

කර්නල් ෆස්ලි ලෆීර් මෙහෙයුමට පෙර තම සෙබළුන් දිරිමත් කළේ ඔවුන්ට අපේ රජවරු රට එක්සේසත් කරන්නට කළ මෙහෙවර ඇතුළුව ඉතිහාසයද මතක් කර දෙමිනි. ඔහුගේ සෑම වචනයක්ම විශේෂ බළකායේ සුවිශේෂ පුහුණුව ලද සෙබළුන්ට තව තවත් චිත්ත ධෛර්යය වඩවන්නටද විය. දුටුගැමුණු රජු හා එළාර සටන් කියමින් සෙබළුන්ට ජාත්‍යාලය ඇති කරන්නට ඔහු සමතකු විය.

“කොල්ලනේ උඹලා ගමේ රස්තියාදු ගහන, බෝක්කු උඩ බිඩි බොන එවුන් දැකලා තියෙනවානේ. එල්.ටී.ටී.ඊ.යේ ඉන්නෙත් එහෙම එවුන්. නමුත් උඹලා හොඳින් ට්‍රේනින් වෙලා ආයුධ එක්ක යන එස්.එෆ්. කොල්ලෝ. සතුරාගේ ශක්තිය දන්නේ නැති අය තමයි බයෙන් ඉන්නේ. අපි දුර්වල වුණොත් තමයි සතුරගෙන් ගුටි කන්නේ. ඒ සතුරා දක්ෂ නිසා ‍නෙවෙයි. ඒ නිසා අපි සතුරා කරන්න යන දේ හිතලා අපි උන්ට වඩා ට්‍රැක්ටිස් පාවිච්චි කරන්න ඕනෑ” මේ කර්නල් ලෆීර් තම විරු පුතුන්ගේ හදවතට දැනෙන්නට කියන කතාය.

mullaitivu-war-2ප්‍රහාරය එල්ල වන මොහොතේ මුලතිව් බලසේනාවේ ඉතිරිව සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨම නිලධාරියා වූ මේජර් ජානක කස්තුරිආරච්චි

විශේෂ බළකාය කළ මෙහෙයුම් සියයට අනූනවයක්ම සාර්ථක වූයේත් මෙවැනි නිර්භීත නායකත්වයත් නිසාය. ලුතිනන් කර්නල් ජයිව් ප්‍රනාන්දුගෙන් පළමුවන විශේෂ බළකාය භාරගත් ෆස්ලි එස්.එෆ්. නම දැනුණද සතුරා බිය වන තරමට තම සගයන්ගේ ප්‍රහාරක හැකියාව ඔප් නංවා තිබුණේය.

මුස්ලිම් ජාතිකයකු වුවද ඔහු සංහිඳියාව ඔප්නංවමින් සැබෑ දේශප්‍රේමියකු ලෙස රුදුරු ත්‍රස්තවාදය නිමා කරන්නට සැලසුම් කළ අයකු විය.

රිවිරැස මෙහෙයුමෙන් යාපනය අල්ලා ගත් පසුව තෙන්නමරච්චි-වඩමාරච්චි මුදාගැනීමේ මෙහෙයුමේ භාරදූර වගකීම පැවරෙන්නේද ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් අණදුන් පළමුවැනි විශේෂ බළකා රෙජිමේන්තුවටය.

මෙම මෙහෙයුමේදී අභියෝගාත්මක මෙහෙයුමක් සැලසුම් කරන කර්නල් ලෆීර් තම භට පිරිස් සමග පුතුර් කලපුවෙන් බැස කලපුව තරණය කර කිලෝමීටර් දහතුනක් පමණ දුරක් කිසිදු හානියකින් තොරව සරසා‍ලේ දක්වා පැමිණෙන්නේ කොටි විස්මයට පත් කරමිනි.

යම් හෙයකින් කලපුවේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූවා නම් වතුරේදීම විශාල පිරිසකට හානියක් වුවද සිදුවන්නට ඉඩ තිබිණි. එතැනදී කිසි දෙයක් නොවූ නිසා අවදානමක් ගෙන කළ ඒ විස්මිත මෙහෙයුම කරළියට ආවේය. මේ වන විටත් කොටි ත්‍රස්තයන් සියලුම ප්‍රධානම මාර්ගවල පාලම් පුපුරුවා හැරීම නිසා මාර්ගවලින් ගමන් කිරීම අසීරු විය. මේ සියලු බාධක ජයගෙන පුතුර් කලපුව හරහා ඉදිරියට ගොස් සරසාලෙන්, චාවාකච්ච්ෙරි, කිලාලි, කොඩිකාමම් දක්වා ත්‍රස්තයන් පීරමින් බලය පෙන්වන්නට විශේෂ බළකා විරුවෝ සමත් වූහ.

ඉවෙන් මෙන් කොටි ඉලක්ක සොයා ගන්නට හැකියාවක් අති කර්නල් ලෆීර් තම කණ්ඩායම් අතරින් චාලි බළගණයේ කණ්ඩායම් භාර නිලධාරියා වූ කපිතාන් ස්ටැන්ලි සිරිමාන්නට සිතියමේ කොටසක් පරීක්ෂා කරන්නට නියෝග කළේය.

ඒ අනුව මීටර් පනහේ, පනහේ වගේ කොටුවක් තමයි අපිට පරීක්ෂා කරන්න තිබුණේ. එළවළු කොටුවක් වගේ අතුරළා දාලා තිබුණ තැනක් ඉදිරියට යද්දී අපේ කුඩා කණ්ඩායමකට ගේ‍රනේඩ් (අත්බෝම්බ) එකක් දමලා ගැහුවා. එසැණින් මම මගේ කණ්ඩායම දාගෙන වට කරගෙන ගහගෙන ඉස්සරහට ගියා. එතැනදී ෆයර් ෂයිට් එකෙන් පස්සේ අපිට එල්.ටී.ටී.ඊ. හැත්තෑහයකගේ බොඩීස් හම්බ වුණා. එදා කර්නල් ලෆීර් දුන්න නායකත්වය නිසා අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න හැකි වුණා යැයි කපිතාන් ස්ටැන්ලි සිරිමාන්න වසර විස්සකට පසු සිය මතකය අවදි කළේය.

එදා එම මෙහෙයුමේදී කොටින්ගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සටන්කාමියකු ජීවග්‍රහයෙන් අල්ලා ගෙන විශේෂ බළකායේ ඔත්තුකරුවකු ලෙස පුහුණු කරන්නට කර්නල් ලෆීර් කටයුතු කළේය.

හමුදා පාලන ප්‍රදේශයේ සිවිල් වැසියන් අතරේ සැඟවී සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වෙන් කර හඳුනා ගැනීම සඳහා කර්නල් ලෆීර් හට මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ කොටි සාමාජිකයා මහත් සේ උපකාරි විය. එම කොටි සාමාජිකයා භාර දී තිබුණේ කපිතාන් චන්දිමාල් පීරිස්ටය.

මේ වන විට රිවිරැස මෙහෙයුමෙන් කොටි සාමාජිකයා මිය ගිය බව සිතා පවු‍ලේ අය ගම පුරා ‍පෝස්ටර් පවා අලවා තිබෙනු හමුදා නිලධාරීන්ටද දැකගත හැකි විය. දිනක් කර්නල් ලෆීර් තමන්ගේ වාහනයට කොටි සාමාජිකයාත් දමාගෙන වලිකාමම් බටහිර ප්‍රදේශයට ගෙන ගොස් කොටි සාමාජිකයාගේ පවු‍ලේ කෙනෙකු මග යනවා නම් පෙන්වන්නැයි කියා පවු‍ලේ කෙනෙකු සොයා ගත්තේය.

එම ඥාතියා සවස් යාමයේ කඳවුරට ගෙනැවිත් කොටි සාමාජිකයාටත් හොරෙන් ඔහුගේ මව ගැන තොරතුරු සොයාගෙන මවට කඳවුරට එන්නැයි දැනුම් දුන්නේය. ඒ අනුව කොටි සාමාජිකයාගේ මව ඥාතියකු සමග කඳවුරට ආ මොහොතේ දෙමළ භාෂාව හොඳින් දන්නා නිලධාරියකු වූ කර්නල් ලෆීර් ඔවුන්ව පිළිගෙන පුතාට වූ දෙය විමසුවේ මොකුත් නොදන්නා අයුරෙනි. එල්.ටී.ටී.ඊ.ය නිසා තමාට පුතා නැති වූ බව කියමින් එකී මව දෙස් දෙවොල් තියමින් බැණවදින්නට වූවාය.

ඉන්පසුව දෙමළ අම්මා තවත් හඬවනු නොහැකි නිසා ඇය මිය ගියායැයි සිතන පුතාව ඇය ඉදිරියට ගෙන්වන්නේ මව පුදුම කරවන්නටය. දරු සෙනෙහස වාවාගත නොහැකි වූ ඒ අම්මා බිම වැල්‍ලේ වැලි කන්නට වූයේ තමාට පුතු ජීවත් වනු දැක වාවාගත නොහැකි වූ නිසාවෙන්ය.

තම දරුවා බදාගෙන හඬන්නට වූ ඒ අම්මාට පුතා රැගෙන යන්නැයි කර්නල් ලෆීර් කීවේද දරු උණුසුමෙන් පිරී ගිය අම්මා සතුටු කරන්නටය. නමුත් ඒ අම්මා එය ප්‍රතික්ෂේප කළේ දරුවා ගෙදර ගෙන ගියොත් එල්.ටී.ටී.ඊ.ය යළි රැගෙන යනවාට වඩා හමුදාව භාරයේ සිටීම ආරක්ෂිත යැයි ඇයට හැඟුණ නිසාය. සටන් බිමේ සතුරාටත් මානුෂීය ගුණාංග පෙන්වූ කර්නල් ලෆීර්ගේ මනුස්සකම නිසාම හමුදාවට ස්වේච්ඡාවෙන්ම උදව් කරන්නට එකී කොටි සාමාජිකයා කැප වුණේය.

යාපනයෙන් නැගෙනහිර මෙහෙයුම් සඳහා පිටත් වෙද්දී බුද්ධි අංශය වෙත එම කොටි සගයා භාරදී එන්නට ඔවුහු කටයුතු කළහ.

යාපනයේ සිට පැමිණි පසුව මීළඟ නැගෙනහිර මෙහෙයුම් සඳහා තම බළ මුළු සූදානම් කළ නස්ලි දක්ෂ සටන්කාමියකු රණකාමියකු වුවද ඒ දැඩි සිත් ඇත්තා සිය බිරිඳට සෙනෙහෙබර සැමියකු වූවා සේම විටෙක පෙම්වතකු ද විය. ඒ තම ආදරණීය බිරිඳ අනෝමා ලෆීර්ට යුද බිමේ කොතරම් කාර්යබහුල වුවද සෑම රාත්‍රියක දිගු පෙම් හසුනක් ලියන්නට අමතක නොකළ සෙනෙහෙබර සැමියකු වූ නිසාය.

ෆස්ලි හා අනෝමා ආදරය ජාති, ආගම් කුලභේද පසෙකලා සැබෑ ආදරවන්තයින්ගේ එක්වීමක් විය. උසස් අධ්‍යාපනය ලබා සිටියද වෛද්‍යවරයකු වූ සිය පියා ගිය මග නොගොස් වෛද්‍යවරයකුගේ සිහිනය අතහැර ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට එඩිතර වීර පුතකු ලෙස ඔහු හමුදාවට එක්වූයේ රටට ඇති ආදරය නිසාය. නොනැවතී තම ජාතිය, ආගම්වල බැඳීම්වලටත් වඩා තම මව් රෙජිමේන්තුවේම කීර්තිමත් නිලධාරියකු වූ කර්නල් ප්‍රසන්න වික්‍රමසූරියගේ සොහොයුරිය වූ අනෝමා තම ජීවිතය කර ගන්නට ගත් තීරණයද සෘජු තීරණයක් විය.

මුස්ලිම් ජාතිකයකු වුවද හේතුඵලවාදය හා පුනරුත්පත්තිය දැඩිව විශ්වාස කළ ලුතිනන් කර්නල් ලෆීර් තම බිරිඳ අනෝමාට ලියූ සෑම ලිපියක් අවසානයේම සංසාරේ අපි එකටම ඉපදේවා යැයි ප්‍රාර්ථනා කරමින් ලිපිය අවසන් කළේ එය ආත්ම බැඳීමක් බව විශ්වාස කරමිනි.

නිවාඩු යන සෙබළෙකු අත හෝ තැපෑලෙන් ලිපි එවන්නටද දුරකථනයක් ලද මොහොතක ගෙදරට ඇමතුමක් දෙන්නටද ඔහු අමතක නොකළේ දින සති ගණන් කැලෑවේ සටන් නිමවී පැමිණි වහාම අනෙක් නිලධාරීන් වතුර සොයා යද්දී ෆස්ලී මුලින්ම කළේ දුරකථනය වෙත දුවගොස් බිරිඳට ඇමතුමක් දීමය.

ජූලි 18 දා තොප්පිගල මෙහෙයුමට තම භට පිරිස් සූදානම් කළ ලුතිනන් කර්නල් ලෆීර් ජූලි 16දා කෙටි නිවාඩුවකට නිවසට යාමට සූදානම් වන්නේ එදිනට තම විවාහ සංවත්සරය යෙදුණු නිසාය.

ජූලි 16දා දහවල් කෑමට නිවසට එන බවට බිරිඳ අනෝමාට දුන් ‍පොරොන්දුව ඉටු කරලන්නට කොළඹ බලා පිටත් වුවද ඔහුගේ වාහනයේ තුන් වතාවක් ටයර්වල හුළං බසින්නේ කිසිදා නොවූ අයුරෙනි.

දිවා ආහාරයට පැමිණීමට නොහැකි වුවත් සිය ආදරණීය බිරිඳ බැලීමට නිවසට ඔහු එන විට ෆස්ලිට හොඳටම උණ ගැනී තිබුණේය. එදා විවාහ සංවත්සරය වෙනුවෙන් රාත්‍රී ආහාරය ගෙන පසුදිනම යළි බිරිඳගෙන් සමුගෙන යන්නේ තොප්පිගල මෙහෙයුමෙන් පසුව මාසික නිවාඩුවට ගෙදර එන විශ්වාසයෙනි. නිවාඩුව ජූලි 19දාට යෙදුණද තොප්පිගල මෙහෙයුම සඳහා 18දාට පිටත් වන්නට තිබුණෙන් නිවාඩුවට එන දිනය ස්ථිර නොවීය.

තොප්පිගල මෙහෙයුම සඳහා 17දා පෙර පුහුණුවීම් කළ යුතු බැවින් ඒ සඳහා සිය බිරිඳගෙන් සමුගෙන පිටව යාමට ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර්ට සිදුවිය. මාදුරුඔය බලා පැමිණි ඔහු තම දරු පැටව් මෙන් වූ සෙබළ කැල අමතා පසුදින අලුයම තොප්පිගල බලා යාමට සූදානම් වන්නැයි කියා ඔවුන් දිරිගන්වා කඳවුරට යැවීය.

තොප්පිගල හමුදා මෙහෙයුම යන අතරේ එල්.ටී.ටී.ඊ. නායකත්වය මුලතිව් කඳවුර අල්ලන්නට සැලසුම් ක්‍රියාත්මක කරන්නේද මෙදින (ජූලි 17) මධ්‍යම රාත්‍රියේදීය.

ජූලි 17 වන බදාදා රාත්‍රියේ සුපුරුදු පරිදි කඳවුරේ රාජකාරි සඳහා සෙබළුන් ස්ථාන ගත කෙරුණු අතර අඳුරු රාත්‍රිය ගෙවී පසුදිනට එළිවන්නට විය.

මධ්‍යම රාත්‍රී 12.15 සිට අලුයම 1.00 දක්වා මුළු කඳවුරම උපක්‍රමිකව සීරුවෙන් තැබුණු අතර එය ලිහිල් කළ වහාම භට පිරිස් තමන්ට නියමිත රාජකාරි සඳහා වෙන් කෙරිණි. ඒ හරියටම ජූලි 18දා අලුයම 1.30ට පමණය.

අඳුර මැදින් මුලිතිව් වෙරළ රත් පැහැ ගන්වමින් දරුණු වෙඩි වරුසාවක් සමග මුහුදු කොටි බළකාය කඳවුර වෙත කඩා පැන්නේය. මරාගෙන මැරෙන කළු කොටි මුලතිව් මුහුදු වෙරළ හරහා පැමිණ කඳවුරට කඩා වැදී හතර වටින්ම මුලතිව් කඳවුර වටකර පහර දෙන්නට වූයේ නිමේෂයකිනි. පන්දහසක පමණ කොටි බළමුළුවක් කඳවුර වටකරගෙන පහර දුන්හ.

නොසිතූ මොහොතක එල්ල වූ දරුණු ප්‍රහාරය හමුවේ සෙබළුන් වික්ෂිප්ත වූහ. ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරමින් ආරක්ෂක වළලු බිඳගෙන කඳවුර තුළට ඇතුළුවීම නවතා ගැනීම අසීරු විය.

හුදකලා කඳවුරක් වූ මෙය ඕනෑම මොහොතක ප්‍රහාරයට ලක්වීමේ අවදානමක් තිබුණ ද කඳවුරේ ඉහළ නිලධාරීන් මෙවැනි ප්‍රහාරයක් සඳහා සෙබළුන් සූදානම් කර නොතිබූ නිසා එහි ආරක්ෂක වළලු සරුංගලයක නූලක් කැඩී ගිය අයුරෙන් විසිර ගියේය.

කඳවුරේ අණදෙන්නට ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නොමැති වූයෙන් සෙබළුන්ට අණදීම හා පාලනයද දුෂ්කර විය. කඳවුරට තිබූ ලොකුම වෙඩි බලය දුන් කාලතුවක්කු අවි දෙක ප්‍රහාර එල්ල නොකරම එය භාරව සිටි ලුතිනන් ධර්මේන්ද්‍රන් සමගම කොටින්ගේ භාරයට ගෙන තිබුණි. සෙබළුන්ට හෝ ආරක්ෂක ස්ථාන කරා යාමටද කොටි ත්‍රස්තයන් ඉඩ නොතැබූයෙන් තම දිවි නොතකා එක දිගට සටන් කරන්නට සෙබළු උත්සුක වූහ. දෙපැත්තේම සාමාජිකයන් වෙඩි වරුෂා මැද බුරුතු පිටින් මැරී වැටෙන්නට වූහ.

කඳවුරේ සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ මේජර් අලිබා පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් කුරුණෑගල බෝයගනේ වූ තම රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සබඳතා තබා ගනිමින් ආධාර ඉල්ලා සිටියේය.

එදින දහවල් 2.00 වන විටත් බළසේනා මූලස්ථානය ආක්‍රමණය කළ කොටි ත්‍රස්තයෝ එහි වූ හෙලිකොප්ටර ධාවන පථයද අත්පත් කර ගත්හ. සිංහ රෙජිමේන්තු භටයින් හෙලිකොප්ටර් ධාවන පථය යළිත් දරුණු සටනක් කර අත්පත් කර ගන්නා විට වේලාව සවස 4.00ට පමණ විය. හෙලිකොප්ටර් ධාවන පථය අල්ලාගත් භට පිරිස් ගුවනේ සහායක භට පිරිස් එවන්නැයි කොළඹින් ඉල්ලා සිටියහ.

මුලතිව් කඳවුරේ සෙබළුන් 1500ක් සමග බළසේනාවක් කොටින්ට මැදිවී වික්ෂිප්ත තත්ත්වයට පත්ව තිබූ අතර පණිවුඩ හුවමාරු හරහා සෙබළුන්ගේ අ¼ෙදා්නා පමණක් ඇසෙන්නට විය.

රිවිරැස මෙහෙයුම මගින් යාපනය අර්ධද්වීපය මුදාගත් පසුව වන්නියට පසුබැස ගත් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ට එය දරාගත නොහැකි එකක් වූයේය. යාපනය අහිමි වූ පසුව එල්.ටී.ටී.ඊ.යට වූ පාඩුව පිරිමසා ගැනීමට එල්.ටී.ටී.ඊ. නායකයා සැලසුම් සකස් කළේය. ඒ වාඩුව මුලතිව් කඳවුරෙන් ගන්නට සැලසුම් කරන්නේ ඒ අනුවය. මුලතිව් කඳවුරට අලුතෙන් ගෙන ආ මිලිමීටර් 122 කාලතුවක්කු අවි දෙක ගැන ඒ වන විටත් එල්.ටී.ටී.ඊ.යට කඳවුරේ සිටි ද්‍රවිඩ නිලධාරියකුගෙන්ම ඔත්තුව ලැබි තිබිණි. ඒ අනුව ප්‍රභාකරන් සැලසුම් කළේ කාලතුවක්කු අවි දෙක හා එහි වූ මිලිමීටර් 120 මෝටාර් අවි පැහැර ගැනීමටය.

1994 සිට බළසේනා මූලස්ථානයක් වූ මුලතිව් කඳවුරේ යුද හමුදාවට අමතරව නාවික හමුදා ඛණ්ඩයක් හා සහකාර ‍පොලිස් අධිකාරිවරයකු ඇතුළු ‍පොලිස් කණ්ඩායමක්ද සිටියහ. එක්දහස් පන්සියයක් පමණ රඳවා සිටි මෙම කඳවුර හුදෙකලා කඳවුරක් වූ අතර එයට සැපයුම් තිබුණේ මුහුදෙන් හා ගුවනින් පමණි.

1996 ජූලි මාසය වන විට එල්.ටී.ටි.ඊ.ය කඳවුරට පහරදීමට රහසිගතව සැලසුම් කළ අතර ඒ අවට එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්ද වැඩි විය. ජූලි 17 බදාදා වන විට එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය සැලසුම් කරන විට එහි බළසේනාධිපති වූ කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු (විශ්‍රාමික මේජර් ජෙනරාල්) සිටියේ නිවාඩු පිටය. ඔහුගේ දෙවැනියා වූ බළසේනා මේජර්ද නිවාඩු පිට සිටියේය. බළසේනා මූලස්ථානය භාරව සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කපිතාන්වරයකු වූ ජානක කස්තුරිආරච්චිය. කඳවුරේ උතුරු කොටස ආරක්ෂා කිරීම පැවරුණේ ලුතිනන් කර්නල් සේනාධීර ගුණරත්න අණ දුන් නවවන සිංහ රෙජිමේන්තුවටය. ඔහුද නිවාඩු ලබා සිටියෙන් එම වගකීම භාර වූයේ දෙවන අණදෙන නිලධාරියා වූ මේජර් හිරාන් දාබරේරා වෙතටය.

කඳවුරේ දකුණු කොටස ආරක්ෂා කිරීම පැවරුණේ හයවන විජයබා රෙජිමේන්තු වැඩබලන අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ මේජර් අලිබාටය. ඒ අනුව මුළු කඳවුරු සංකීර්ණයටම ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිටියේ මේජර්වරුන් දෙදෙනකු හා කපිතාන්වරයකු පමණකි.

ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානීන් රැස්වී ගුවනින් හා මුහුදින් විශේෂ බළකාය ඇතුළු පාබළ රෙජිමේන්තු මුලතිව් වෙත යැවීමට තීරණය කළහ. මේ වන විට හමුදාපති ධුරය දැරුවේ ලුතිනන් ජෙනරාල් රොහාන් දලුවත්තය.

පාබළ රෙජිමේන්තු මුහුදින් හා ගුවනින් පිටත් කරනතුරු ගුවනින් කොටින්ට ප්‍රහාර එල්ල කිරීම පැවරුණේ බළගණ නායක කපිල වනිගසූරිය ඇතුළු එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් බළගණය වෙතය.

මුලතිව් කඳවුරට ප්‍රහාරයක් එල්ල වෙනවා වහාම කඳවුරට වාර්තා කරන්නැයි ජූලි 18 දා පාන්දර 3.00ට පමණ ඔහුට දැනුම් දුන්නේය. ඒ වන විට මින්නේරිය කඳවුරේ සිටි බළගණ නායක කපිල වනිගසූරිය (මේ වන විට ගුවන් කොමදෝරුවරයෙකි) ත්‍රිකුණාමල චයින බේ කඳවුර බලා ආවේ සටන් පෙරමුණට යාමටය. ඒ වන විටත් චයින බේ කඳවුරට තවත් ප්‍රහාරක යානා කිහිපයක් ගෙන්වාගෙන තිබුණේය.

මුලතිව් කඳවුරේ තත්ත්වය දරුණු වූයෙන් වහාම ප්‍රහාරක යානා මුලතිව් බලා පියාසර කළේය. කොටින්ට නොදැනෙන්නට ගණ කැලෑවේ ගස්වල ගෑවෙන නොගෑවෙන මට්ටමින් හා මුහුදු වෙරළ ඔස්සේ පැමිණ සතුරු ඉලක්ක සොයා පහර දෙන්නට වූයෙන් මුලිතිව් කඳවුරේ සෙබළුන්ට එය අස්වැසිල්ලක් විය. මේ වනවිටත් මුහුදු කොටින්ගේ ග්‍රහණයේ තිබූ මුලතිව් මුහුදු තීරයේ කොටි යාත්‍රා, ඉලක්ක කර පුපුරුවා හැරීමටද ගුවන් හමුදා නියමුවන් සමත් වූහ. තොප්පිගල සඳහා පිටත්ව යාමට සූදානමින් පළමුවැනි විශේෂ බළකායේ සියලු දෙනා නින්දට ගිය ද මුලතිව් කඳවුර රෑ පහන්වන තුරු දරුණු කොටි ප්‍රහාරයකට ලක්වෙමින් තිබිණි. මාදුරුඔය කඳවුරේ නිලධාරී නිවස්නයේ දුරකථනය ජූලි 18 දා අලුයම 3.30ට පමණ එක දිගට නාද වන්නට විය. දුරකථනය දිගින් දිගටම නාද වන අතරේ පළමුවැනි විශේෂ බළකායේ දෙවැනි අණදෙන නිලධාරී තනතුරේ වැඩබැලූ මේජර් ජයන්ත රත්නායක (දැනට බ්‍රිගේඩියර්) වහාම දිවවිත් රිසිවරය අතට ගත්තේය.

දුරකථනයේ අනෙක් පසින් කතා කළේ යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි කර්නල් ලලිත් දවුලගලය. හමුදා මූලස්ථානයෙන් මෙම ඇමතුම දුන්නේ අණදෙන නිලධාරීනට වහාම මුලතිව් යෑමට සූදානම් වන ලෙසට දන්වන්නටය.

මරණය පෙනි පෙනී මුලතිව් බේරාගන්නට ගිය සෙන්පතියා කර්නල් ෆස්ලි ලෆීර්

අස්ලාම් ෆස්ලි ලෆීර් 1958 දෙසැම්බර් 26 දා වෛද්‍ය ඒ.එච්.එම්. ලෆීර් මහතාට හා ලෆීර් මහත්මියට දාව මහනුවර දී උපන්නේය. කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලෙන් සිප්සතර හැදෑරූ ඔහු පාස‍ලේ දී ගුරු දෙගුරුන්ගේ මෙන්ම සහෝදර ශිෂ්‍යයින්ගේ සිත් දිනාගත් දීප්තිමත් ශිෂ්‍යයෙක් ද විය.

අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩා කටයුතුවලදීත් මූලිකත්වය ගත් ඔහු පාස‍ලේ දීප්තිමත් සිසුවකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.

දිනූ දේශයේ ස්වාධීනත්වය රැකීමේ පරම අභිලාෂයෙන් 1980 අගෝස්තු 11 දා කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්වන්නේ වෛද්‍යවරයකු වූ සිය පියාගේ අඩිපාරේ යාමට වඩා තම තාරුණ්‍යය රට දැය වෙනුවෙන් කැපකරමිනි.

යුද හමුදා විද්‍යා පීඨයේ දක්ෂ විනයගරුක කැඩෙට් නිලධාරියකු ලෙස පුහුණුව ලද ඔහු 1982 පෙබරවාරි 27 දා පුහුණුව නිමාකර දෙවැනි ලුතිනන්වරයකු වශයෙන් අධිකාරි ලබා රජරට රයිෆල් රෙජිමේන්තුවට එක්විය.

ඉන් අනතුරුව පළමුවැනි ගජබා රෙජිමේන්තුව නගා සිටුවීමේ දී එහි ආරම්භක නිලධාරියකු ලෙස ද කටයුතු කළේය. ඉන් පසුව තුන්වැනි ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලද මොහුගේ සුවිශේෂී දක්ෂතාව නිසාම 1985 මාර්තු 26 දා සිට පාකිස්තාන් උපදේශකයන්ගේ මෙහෙයවීම යටතේ ඇරඹි ක්ෂණික විහිදුම් බළකායේ පළමු පාඨමාලාවට එක්වී උසස් ලෙස එය හැදෑරීය.

කොටි ත්‍රස්තවාදීන්ගේ ගරිල්ලා සටන්වලට ප්‍රතික්‍රියා දක්වන්නට ඇරඹි සුවිශේෂී පුහුණුව ලත් භට කණ්ඩායමක් ලෙස ක්ෂණික විහිදුම් බළකාය අරඹද්දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිලධාරීන් අතරට මෙකී තරුණ නිලධාරියා ද ඇතුළත්ව තිබිණි.

ගරිල්ලා ත්‍රස්තවාදීන්ට දරුණු හිසරදයක් වෙමින් හිස එසවූ ක්ෂණික විහිදුම් බළකායේ කුඩා කණ්ඩායම් මෙහෙයුම් නිලධාරියකු ලෙස පත්වී විශිෂ්ට මෙහෙවරක් කරන්නට අස්ලාම් ෆස්ලි ලෆීර් නම් වූ තරුණ නිලධාරියා සමත් වූයේය.

යුද පෙරමුණේ සිටි නිලධාරියකු ලෙසින් 1985 අගෝස්තු 27 දා කපිතාන් නිලයට උසස්වීම් ලද ඔහු 1989 අගෝස්තු 27 දා මේජර් නිලයට ද උසස්වීම් ලැබිය. 1989 අගෝස්තු 27 දා මේජර් නිලයට උසස්වීම් ලද මොහු පාකිස්තානයේ කනිටු නිලධාරි පාඨමාලාව ද හදාරා තිබිණි. අනතුරුව ඉන්දියාවේ දී මූලික පැරෂුට් පාඨමාලාව හැදෑරුවේය. කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව ඉන්දියාවේදීත්, බළඇණි ආරක්ෂක නිලධාරී පාඨමාලාව මෙරටදීත් හදාරන්නේය. මෙම කාල සීමාවල දී ක්ෂණික විහිදුම් බළකා ‘බි’ බලඝනයේ නිලධාරී අණදෙන ලෙසින් ද, විශේෂ බළකා පුහුණු පාස‍ලේ ප්‍රධාන උපදේශක ලෙස ද කටයුතු කරන්නේය.

Read Full Post »

1956 වර්ෂයේ දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීමත් සමගම ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සාමාජියන් බෙහෙවින් කුපිත වූහ.ඔවුන් ගේ උසිගැන්වීම් මත එවකට වාහන වලට හඳුන්වාදී තිබූ ශ්‍රී අකුරට තාර ගෑම ඇරඹුණි.මෙයට හේතු වූයේ 1945 සිට ජී.ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය මගින් දියත් කළ ජාතිවාදී දේශපාලනයයි. ඔවුහු සමතුලිත නියෝජනයක් ඉල්වමින් සෝල්බරි කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළහ. පණහට පණහක් සේ සිංහල හා දෙමළ ජනතාවට නියෝජනයක් අවශ්‍ය වන බව ඉන් පැවසෙයි. සොල්බරි කොමිසම මෙය පිළි නොගත් අතර ද්‍රවිඩ කොන්ග්‍රසයෙන් කැඩී ගිය පිරිසක් විසින් 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි නොහොත් දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවා ගත්හ. මෙම පක්ෂය ස්ථාපනය කිරීමේදී අනුමත කෙරුණු මූලික යෝජනාවේ මෙසේ සඳහන් වෙයි.

DSC05626 (640x480)

ද්‍රවිඩයන්ට නීතියෙන්ම නිදහස හා ආත්ම ගෞරවය සහතික කිරීමේ හා සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳා ලීමේ එකම ක්‍රියාමාර්ගය වන්නේ රටේ ද්‍රවිඩ ජාතිය සඳහා ස්වයං පාලනය හා ස්වයං නිර්ණය කිරීම සහතික කරනු වස් ඔවුන්ට ඔවුන්ගේම ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ඉඩකඩ සලසා දීමයි.’

ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ලෙස වන මෙම සංකල්පය එතැන් පටන් දිනෙන් දින වර්ධනය විය.1956 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම ඔවුන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් බඳු විය. චෙල්වනායගම් ගේ කණ්ඩායම තමන්ගේ අභිලාෂය පතා ඇති කළ කෝලාහලය මහා ව්‍යසනයක ආරම්භයක් විය. මෙහිදී සිංහල ව්‍යාපාරිකයන් ගේ වෙළෙඳ ස්ථාන කඩා පුළුස්සා විනාශ කිරීම සිදු වූ අතර ජන ඝාතනද සිදු විණි. මේ තත්ත්වය රජයට පාලනය කර ගැනීම ඉතා අසීරු විය.ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ ද තත්ත්වය එයින් වෙනස් නොවීය. සෙන්ගල්වාඩිය නොහොත් සෙන්කලාඩිවල කඩයක් දමා ගෙන සිටි මනිමෙල් සිල්වා නොහාත් උපාසක මහතා මේ අරගලයේදී ඝාතනය වූ සිංහලයෙකි. හැඩිදැඩි පුද්ගලයෙකු වූ ඔහු ප්‍රදේශයේ සියළු යුක්තිගරුක පුද්ගලයන්හට නිර්භීතව නයාකත්වය සැපයූ වෙකු විය. මේ තත්ත්වය තුළ කාලයක් තිස්සේ වෙළහෙළදාමේ යෙදී සිටි සිංහල ව්‍යපාරිකයන් තම ජීවිත ආරක්ෂාව පතා ගම් රටවල් බලා පැමිණියහ.

ගාල්ලේ දොඩන්දූවේ උදේරිස් සිල්වා පුලියන්දූවට පැමිණියේ 1895 වර්ෂයේ දීය. ඔහු එහි සිල්ලර කඩයක් ආරම්භ කරනලද්දේ 1895 ජූනි මස පළමුවනදාය. රෙදි පිළි සීනි පුවක් උම්බලකඩ ජාඩි තුනපහ කඩදාසි ඇතුළු බොහෝ ද්‍රව්‍යයන් වෙල හෙළඳාම් කරමින් ගම සමගද සම්බන්ධකම් පැවැත්වීය. ගාල්ලේ දොඩන්දූව එකල ප්‍රසිද්ධ නාවික වරායකි. එහි සිට ඉන්දියාව බලා යාත්‍රා කල යාත්‍රා ද්‍රෝණි නම් නෞකා මගින් ඉන්දියාවේ සිට ජාඩි කැලිකට් රට උළු මාලදිවයිනේ සිට කරවල මෙන්ම බොන්දි අළුවා ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය රාශියක් ආනයනය කළහ.එසේම නැගෙනහිර පළාතෙන් දැව ලබා ගෙන දකුණට නැව් මගින් ප්‍රවාහනය කරන ලද අතර ඒ දැව භාවිතා කොට ගොඩනැගිලි තැනූ ඔවුහු නැව් තැනීම සඳහාද ජාඩි පීප්ප නිෂ්පාදනය ද කළහ.ලන්දේසීන් ගේ කාලයේදී දිවයින වටා නිදහස් වෙළෙඳාම පැවති අතර මුස්ලිම් වෙළෙඳුන්ට දමා තිබූ තහංචි හේතුවෙන් සිංහලයන් හට තම පැරණි නාවික බලය යළි ගොඩනගා ගත හැකි විය.1702 වර්ෂයේ දාතම සහිතව ලිපියක් දැනට දොඩන්දූ නාවිකයන්ගේ වත්මන් පරපුරේ සාමාජිකයෙකු වූ ගාමිණි පටුවතවිතාන මහතා ළඟ තිබේ.සේරුවාවිල බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වූ දඹගස්ආරේ මේධංකර මහා යතිවරයාණන්වහන්සේද 1922 වර්ෂයේ දී ත්‍රිකුණාමල වරාය දක්වා ගමන් කලේ දොඩන්දූ නැව් මගිනි. ඒ යන අතර මග මඩකලපුවේ නැවතී එහි මංගලාරාමයද ස්ථාපිත කළ බව කියති. පානම පත්තුව අක්කරායි පත්තුව කරවාකු පත්තුව සමන්තුරේ පත්තුව මානමුනේ පත්තුව බින්තැන්න පත්තුව එරුවිල් පත්තුව එරාවුර් පත්තුව සහ වෑගම් පත්තුව යනුවෙන් පත්තු නවයකට බෙදා තිබුණු පැරණි මඩකලපු දිස්ත්‍රික්කය තුළ සිංහල වෙළෙද ප්‍රජාවට නායකත්ව ගැනීමට හැකි වූයේ ප්‍රබල නාවික බලයකට හිමිකම් කියමින් දකුණු පළාත සමග සෘජු සම්බන්ධතා පවත්වමින් එසේම ඉතා ශක්තිමත් බැඳිමකින් කටයුතු කළ බැවිනි.

දොඩන්දූවේ සිට හම්බන්තොට වරායට ගමන්කරන දොඩන්දූවේ නැව් එහිදී ලුණු පටවා ගෙන නැගෙනහිර වෙරළට සේන්දු වෙති. එහිදී අක්කරපත්තුව කල්මුනේ කාරතිවු හරහා ත්‍රිතුණාමලයට වෙළෙඳ බඩු සපයන ඔවුහු අනතුරුව ලංකාවේ උතුරේ පේදුරුතුඩුව දක්වාම යාත්‍රා කොට අලෙවි කටයුතු කළ බව පැරණියන් පවසති. නැවතත් දකුණු දිග මුහුදු තීරය දිගේ මන්නාරම දක්වා ගොස් එහි මල්වාඩියේ පදිංචිව වෙලෙ හෙළදාමෙන් දියුණු ව සිටියහ.දොඩන්දූවේ මේ වෙළඳ පරපුරු වල මහා බල කුණු කීපයක් එකල සිටියහ. ඒ අතරින් පළමු කී උදේරිස් සිල්වා ඔහුගේ පුත්‍රයා වන එලියස් අප්පු සහ මුණුපුරා වූ අමරදාසද විය. අමරදාස මහතා අවසන් වරට කඩයක් වත්වා ගෙන ගොස් තිබුණේ කාරතිවු වලයි. 1956 වර්ෂයේ දී ඇති වූ කලකෝලාහලයේ දී මේ කඩය පුලුස්සා දමන ලදී .එසේම සිංහලයන් පිරිස ලොරියක පටවා ගෙන ඝාතනය කිරීමට ගෙන යද්දී එයින් පැනගත් තිදෙනා අතර අමරදාසද වෙයි. එහිදී පොලිසියට කරන ලද පැමිණිල්ලෙන් ඵලක් නොවුණු අතර මඩකලපුවේ පොලිස් ස්ථානාධිපති ඔහුට ලිපියකින් දන්වා එවා ඇත්තේ මෙම අපරාධයට සැකකරුවෙකු නොමැති බවයි. මේ අවනඩුව ගැන එකල අරාක්ෂක අගමැති වරයාටද දැනුම් දෙන ලද්දේ නමුත් ප්‍රතිඵලයක් අත් නොවුණි. පසුව කෝලාහලය සන්සුන්වූ පසු නැවත ආපසු ගොස් කලවංචිකුඩිහි ව්‍යාපාර ආරම්භ කර පවත්වා ගෙන ගොස් ඇත. අවසාන වශයෙන් ඔවුන්ට තම ව්‍යාපාරික ස්ථාන අතහැර යන්නට සිදු වූවේ 83 වර්ෂයේ ඇති වූ කලබල වලින් පසුවයි.

eraur 1

ඩබ්.චාර්ලිස් සිල්වා ගාල්ලේ තල්පේ පදිංචි කරුවෙකි. ඔහු ද නාවික යාත්‍රා මගින් මඩකලපුවට සේන්දු වූවෙකි. ඒ නමසිය තිහේ දශකයේ දීය. එරාඌර් නොහොත් එරාවුර් හන්දියේ සින්න මුදලාලිගෙන් කඩයක් බදු ගත් චාර්ලිස් ද පෙර අය පරිද්දෙන්ම වෙළෙදාමෙන් දියුණු විය. මඩකලපුවට දුම්රිය මාර්ගය වැටෙන්නට පළමුව නාවික යාත්‍රා මගින් වෙළෙඳ බඩු ප්‍රවාහනය කර ගත්තද පසුව ගාල්ලේ වෙලින්ටන් බස් සමාගමේ ප්‍රවාහන රථ මගින් ඒ පහසුව සැලසීය. මේ නිසා වෙළ හෙළදාම සීඝ්‍රයෙන් දියුණු විය.     ඒ අවදියේදී සෙන්කල් අඩියේ ලුණු කඩේ ඊනා අහමදු ලෙබ්බේ කොට්ටමුනේ කානා සින්නතම්බි තැඹිලිවිල කුමාරපෙරුමාල් සින්නතම්බි වැනි මහම්මත් වෙළෙඳුන් ද ව්‍යාපාර වල නියැලී සිටියද ඔවුන් ඉතා සුහදව සිංහල වානිජයන් සමග කටයුතු කරන ලද්දේය. එසේම හේරා ඔරුවේ(එරාඌර්) පොක්කර උරුම කණ්ඩ වැනි දෙමල ව්‍යපාරිකයන්ද මේ සුහදත්වය ආරක්ෂා කෙට ගත්තේ සංස්කෘතික වශයෙන් සමාන කම් දැක්වූ බැවිනි. මේ තත්ත්වය 1956 වර්ෂයෙන් පසුව වෙනස් වූයේ යටකී ලෙස එස්.ජේ.වී.චෙල්වනායගම් විසින් ගෙන ගිය ජාතිවාදී ඇවිස්සීම් වලින් දෙමළ ජනතාව කුපිත වූ බැවිනි. මේ නිසා සිංහල දෙමළ ප්‍රජාව අතර සෙමින් විරසකයක් ගොඩ නැගුණි. මෙහි සඳහන් කළ චාර්ලිස් සිල්වා මහතා ගේ සහෝදරයා ගේ පුත්‍රයා වූ අල්විස් වල්ගම එරාවුර් හන්දියට පැමිණුනේ 1948 වසරේදීය. ඔහු සිය බාප්පා කර ගෙන ගිය වෙළෙඳ ව්‍යාපාරය දියුණු කරමින් කෝපාවෙල සහ එරාවුර් වල කඩ දෙකක්ම පවත්වාගෙන ගියේය. ඒකාලයේ සිටි හෝටලය නමින් ජනප්‍රිය සිංහල භෝජන ශාලාවක්ද තිබූ බව පැවසෙයි. ඒ ආකාරයට සිංහල කඩ දහයකට අධික සංඛ්‍යවක් නවසිය පණහ දශකය වන විට එරාවුර් හන්දියේ ශක්තිමත්ව තිබුණි. 1956 දී මනිමෙල් සිල්වාට වෙඩි තබා ඝාතනය කළ පසු සුපුරුදු පරිදි නැවතත් මේ වෙළෙන්දෝ සිය ව්‍යපාර ආරම්භ කළද අසූව දශකය වන විට චෙල්වනායගම් ගේ දෙවන පරපුරෙන් බිහිවූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වර්ධනය විය. නැගෙනහිර පළාත තුළ කරුණා අම්මාන් ගේ ප්‍රධානත්වයෙන් මේ කොටි බල මුළු ගැන්විණ.

1985 වසරේ දී කොටි ත්‍රස්වාදීන් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස කළ මනුෂ්‍යඝාතනය මුළු ලංකාවම සසල කරවන්නක් විය. එයට සමගාමීව එරාවුර් සහ මඩකලපු ප්‍රදේශ වලද ත්‍රස්ත ක්‍රියා වර්ධනය විය. චාර්ලිස් සිල්වා ගේ බෑනා වූ අල්විස් වල්ගම මහතාගේ කෝපාවෙල කඩය එහිදී ගිනිබත් කෙරුණු අතර එහි තිබූ ඔප්පු තිරප්පු සහ වෙනත් වටිනා ලියකියවිල රැසක් අතුරුදහන් වූ බව පැවසෙයි.මේ අවදියේ දී අල්විස් වල්ගම මහතා එරාවුර් සිංහල වෙළෙඳ සංගමයේ ප්‍රධානියා විය. වෙළෙඳ පළ කඩ අතරින් පණස් දෙදෙනෙකු සිංහලයන් විය. නමුත් 1987 දී මේ නැගෙනහිර සිංහලයන්ගේ කලදසාව නරක අතට හැරුණි. කරුණා අම්මාන් ගේ මූලිකත්වයෙන් මෙහි සැඟවී සිටි ත්‍රස්තයන් වරින් වර ප්‍රහාර එල්ලකළහ. හිටිහැටියේ දිනක් සිංහලයන් සියළු දෙන එරාවුර් පොලිස් ස්ථානයට කැඳවන ලදහ. ඊට හේතුව පොලසියට පහරදීමේ තැතක් අනාවරණය වීම නිසාය. සමහරු සිය කඩ සාප්පු වසා නොදමාම පොලීසියට ගිය බව පැවසෙයි. කොසේ වෙතත් 1987 ඔක්තෝබර් මස 6 වන දින වන විට සිංහලයන් 1200 පමණ පිරිසක් පොලිසියට රොක් වී සිටියහ.නමුත් කොටි ත්‍රස්තයන් කලේ සියළු වෙලෙඳ ව්‍යාපාර ගිනිබත් කිරීමයි. අනතුරුව එරාවුර් සිංහල විදුහලේ රාත්‍රිය ගතකළ මේ වෙළෙන්දන්ට අනාථයන් ලෙසට ගම් රටවලට පැමිණීමට සිදු විය.මේ වන විට නව වෙළෙඳ පලේ කඩ හැත්තෑ දෙකෙන් පණස් දෙකක් තුළම සිංහලයන් ගේ වෙළෙඳ ව්‍යාපාර විය. එම නව වෙළෙඳ පල තනා වෙලෙඳ මහතුන් තොරා ගන්නා විට එය නිසි පරිදි වූයේ දැයි පාර්ලිමේනතුවේ දී ප්‍රශ්ණ කරනු ලැබිණි. එවකට විපක්ෂයේ සිටි පාරලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් ජයකොඩි මහතා එම ප්‍රශ්ණය නගන ලද්දේ මෙසේය.

  •  එරාවුර් සුළු නගර සභාවට අයත්ව තිබී දැනට කඩ දමා ඇති ගොඩ නැගිල්ලේ වෙළෙඳ ව්‍යාපාර කරන අයගේ නම් සහ ලිපිනයන් එතුමා ඉදිරිපත් කරනවාද
  • එම අයගෙන් කොපමණ සංඛ්‍යාවකට අලුතින් .තනන ලද වෙළෙඳ සැලේ කඩ කාමර ලබා දී තිබේද
  •  කඩ කාමර ලබා නොදී ඇති අයගේ නම් සහ ලිපිනයන් එතුමා සඳහන් කරනවාද
  • එම අයට කඩ කාමර ලබා දීමට එතුමා කටයුතු කරනවාද
  •  නොඑසේනම් ඒ මන්ද‍

මේ ප්‍රශ්ණය යොමු කරන ලද්දේ අගමැති පළාත්පාලන නිවාස ඉදිකිරීම් ඇමති සහ මහජන පරිපාලන අමාත්‍ය වර යන තුන්පළගෙනි. එදා අද වගේ නොව පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් විමසූ කල්හි නිවරදි පිලිතුරු ලැබුණි. පළාත් පාලන ඇමති වින්සන්ට් පෙරේරා මහාතා මේ ප්‍රශ්ණයන්ට දුන් පිළිතුරු අතර සිංහල වෙළෙඳ මහතුන් ගේ නම් පණස් දෙකක් සහ මුස්ලිම් වෙලෙඳ මහතුන් ගේ නම් දහනවයක් සහ එක් දෙමල ව්‍යාපාරකයෙකු ගේ නමක් සටහන්ව තිබුණි . මෙම වාර්තාව 1987 මැයි අට වන දින හැන්සාඩ් වාර්තාවේ පළව තිබේ.

කෙසේ වෙතත් 1987 ඔක්තෝබර මාසයෙන් පසුව මේ සිංහලයන්ට උන්හිටි තැන් නැති විය. ඊට එක් හේතුවක් වූවේ 1987 ජූලි මාසයේ අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමයි. එහිදී දෙමළ ජනතාවගේ පාරම්පරික නිජබිම් ලෙසින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පිළිගනු ලැබ අතර කිසිවෙකුත් නැවත සිංහලයන්ට පදිංචි වීමට ඉඩ ප්‍රස්ථා ඇති නොකළහ. නමුත් 2005 දී කොටි පරාජය කිරීමෙන් පසුව නැවත ආපිට ගිය සිංහලයන් මේ ස්ථානයන් නැවත අත්පත් කරගෙන පදිංචි වීමට උත්සාහ කළහ . එසේම පුනරුත්ථාපන අධිකාරියෙන් වන්දි ලබා ගෙන සිය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් ද විය. එහෙත් එවක වන විට එහි බලවත් ව සිටි මුස්ලිම් භක්තික ප්‍රාදේශීය සභාපතිවරයා ගෙන් ඊට ඉඩ නොලැබුණි. අල්විස් වල්ගම මහතා සහ අනෙක් පිරිස එහි ගොස් නව වෙළෙඳ පළ කඩ කාමර අස්පස් කරමින් සිටින විට ඔවුන් එරෙහි තහනමක් පැනවූ සභාපති වරයා ඔවුන්ට විරුද්ධව නඩුද පැවරුවේය. ඒ ප්‍රාදේශීය සභාවේ දේපළ වලට බලහත්කාරයෙන් ඇතුළු වී අලාභ හානි කරන ලද බව දක්වමිනි. දැන් මේ නඩුව කාලයක් තිස්සේ මඩකලපු උසාවියේ දී දෙමල භාෂාවෙන් විභාග වන අතර රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය හෝ ඊට මැදිහත් වී සමථයකට පත් කර නොමැත. 1881 වර්ෂයේ දී මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 5012 කි. එය 1891 වන විට 6403 දක්වා වර්ධනය ව තිබුණි. 1946 ජන සංගණනයේ දී හෙළිදරව් වූයේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය එකොලොස් දහස ඉක්මවා තිබූ බවයි.ඒ දෙමල ජනගහනය ලක්ෂයක් ඉක්මවා යන අවස්ථාවකය. එහෙත් ඒ දෙමල ජනගහනයෙන් අඩක් පමණ වැදි ජනතාව විය.ජාතිවාදී කලබල නිසා මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 1981 වන විට 2289 කට පහත වැටී තිබුණි.

කලක් මහා සමුදුරු බලයක්ද ව්‍යාපාරික බලයක්ද හිමිව සිටි නිර්භීත අධිෂ්ඨානශීලී මිනිසුන් පිරිසගේ ඉරණම අද මෙලෙස තීන්දු වී තිබේ. තම මුතුන් මිත්තන් විසින් වසර හාරසියයක පමණ තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන පැමිණි නිදහස අද ඔවුනට අහිමිව ඇත. කොටි ත්‍රස්තවාදය පරදාවා ජාතිය බේරා ගැනීම පිණිස දිවි කැප කළ අභීත රණවිරුවන් ගේ අභිප්‍රායට වඩා චෙල්වනායගම් පරපුරේ ඊලාම් අභලාසයද නව මුහුණුවරකින් කළ එළිදකින ඉස්ලාම් මූලධර්මවාදී අභිලාෂයද නැගෙනහිර පළාතේ ජයග්‍රහණය කර තිබේ. එයටහොඳම නිදර්ශනය පෙන්වන්නේ අල්විස් වල්ගම මහතා ඉගෙනුම ලැබූ බණ්ඩාරමුල්ල විදුහල අද මුස්ලිම් සිසුන්ගේ අරාබි විශ්වවිද්‍යාලයක් බවට පත් වීමයි. මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම් සහා හසන් අලි යන මහත්වරුන් අද නැගෙනහිරට වෙනමම මුස්ලිම් පරිපාලන කොටසක් ඉල්වන්නේ මෙම ලිපියේ සඳහන් ජනවාර්ගික පවිත්‍රකරණය සිදු කර අවසන් වූ පසුවයි. එහෙත් ඔවුන් සඟවන එක් කාරණයක් නම් 1990 වසර වන විට සිංහලයන් මෙන්ම ඔවුන්ද කොටි ත්‍රස්තයන්ගෙන් බැටකා අනාථව සිටි බවයි.

Read Full Post »

* කොටි තහනම ඉවත් කිරීමට අල්ලස්‌ ගත්තාද?

* යුරෝපා සංගමයේ නීති මණ්‌ඩලයට අල්ලස්‌ චෝදනා එල්ල වෙයි

* වන්නියේදී යුද අපරාධ චෝදනා සාක්‍ෂි සටහන් කරන හිස්‌ පෝරම සමඟ අසුවූ ක්‍රිෂ්ණරාජා බේරාගැනීමට ද්‍රවිඩ සන්ධානය උත්සාහ ගනී

* 2002 සැප්තැම්බර් 4 දා මැදියම් රෑ කොටි තහනම ඉවත් කළ පාර්ශව කිඹුල් කඳුළු හෙලීම

* ඉන්දීය හමුදාවට එරෙහිව හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේ කොටින්ට අවි සැපයූ බව ලුතිනන් වැදිගේ හෙලිකිරීම

යුරෝපා අධිකරණය විසින් කොටි තහනම ඉවත් කිරීමට දායකවූ රහස්‌ තොරතුරු මේ වනවිට හෙලිවී ඇත. නෙදර්ලන්ත කොටි ක්‍රියාකාරීහු පිරිසක්‌ යුරෝපා සංගමයට එරෙහිව පැවැරූ නඩුවට නීතිවේදීහු නිසි සාක්‍ෂි ඉදිරිපත් නොකර කොටි ත්‍රස්‌තයන් ගැන අන්තර්ජාලයේ පලවූ තොරතුරු පමණක්‌ ඉදිරිපත් කළේ ඇයි? මේ එහි පසුබිමයි. එම තොරතුරු විශේෂයෙන් හෙලිකිරීමට අපට හැකිවී ඇත.

2011 මැයි මස අවසානයේ යුරෝපා පාර්ලිමේන්තුවට සම්බන්ධ ග්‍රීන් පක්‍ෂයේ හෙයිනි නසිපාලාගේ මෙහෙයවීමෙන් කොටි සමුළුවක්‌ යුරෝපා පාර්ලිමේන්තුව තුල පවත්වනු ලැබීය. මේ කොටි සමුළුවට තමිල් නාඩුවේ කොටි හිතවාදියකුවූ වයිකෝ – හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වරාජා කජෙන්ද්‍රන් සමස්‌ත ලංකා නිදහස්‌ වෙළෙඳ සේවක සංගමයේ ලේකම් මහපටබැදිගේ ශ්‍රීනාත් පෙරේරා නීතිවේදියකු යෑයි හඳුන්වන එස්‌. රත්නවේල් ද්‍රවිඩ ජාතික පෙරමුණේ එස්‌. ධර්මරාජාන් ප්‍රංශ ඊලම් කමිටුවේ ටී. තිරුකෝනි සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ නියෝජිත වී. මහේසන් ඇතුළු ඊලම් ක්‍රියාකාරීහු සම්බන්ධ වූහ.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 12 ක්‌ මෙහිදී යෝජනාවක්‌ සම්මත කරමින් ශ්‍රී ලංකා රජය අත්අඩංගුවේ සිටින කොටින්ගේ නාමලේඛනය ප්‍රකාශයට පත්කල යුතු බව කියා සිටියේය.

මේ සමුළුවේදී ප්‍රකාශයට පත්වූයේ ස්‌වයං පාලනය මත ශ්‍රී ලංකාව බෙදාවෙන් කළ යුතු බවත් උතුරු නැගෙනහිර සියළුම හමුදා කඳවුරු වසා දැමිය යුතු බවයි. කොටි හිතවාදියකුවූ වයිකෝ මේ සමුළුව අමතමින් සියළුම කොටි මුදාහරිය යුතු බවත් ජනාධිපති ඇතුළු යුද අපරාධ වලට සම්බන්ධ සියළු පාර්ශවයන්ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ විනිශ්චය මණ්‌ඩලයක්‌ පත්කළ යුතු බවත් කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ඉදිරිපත්වූ යුද අපරාධ චෝදනා ගැන විමර්ශන කිරීමේ පරීක්‍ෂණ මණ්‌ඩලයට සහය දැක්‌වූයේද යුරෝපා සංගමයයි. මේ වසරේ පෙබරවාරි 11 වැනිදා බුසල්ස්‌ නුවර රැස්‌වූ යුරෝපා සංගමයේ විදේශ කටයුතු කමිටුව ශ්‍රී ලංකාවට එරෙහිව ස්‌වාධීන විමර්ශනයක්‌ පැවැත්විය යුතු බවට තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙම පසුබිම මැද පසුගිය මැයි 25 දා යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ග්‍රීස්‌ පක්‍ෂයෙන් බාබරා ලොහ්බියර් නැමැත්තිය වසර පහක කාලයක්‌ සඳහා තේරී පත්වූවාය. ඇය මෙරට හිටපු කැරලිකරුවකුවූ රන්ජිත් හෙන්නායක ආරච්චි හෙවත් බඩල්ගම බර්ටිගේ බිරියයි.

යුරෝපා පාර්ලිමේන්තුවේ මානව හිමිකම් අනුකමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නේද බාබරායි.

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකල බවට චෝදනා නගමින් ෙ-. ඩී. එස්‌. නැමැති සංවිධානයේ රෝහිත භාෂාණ අබේවර්ධන නැමැති කොටි හිතවාදියා ක්‍රියාත්මක වූයේ බාබරා සහ රංජිත් හෙන්නායකගේ බර්ලිනයේ ක්‍රෙම්මනර් වීදියේ පිහිටි නිවසේ සිට යෑයි හෙලිවිය.

චැනල් පෝ රූපවාහිනියේ කැලම් මැක්‌රේට ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකල බව දන්වමින් වීඩියෝ පට යවනු ලැබුවේ මෙකී ෙ-. ඩි. එස්‌. සංවිධානයයි.

මේ බව 2011 ජුලි 10 දා අපි විශේෂයෙන් හෙලි කළෙමු. චැනල් පෝ සහ බර්ලිනයේ ක්‍රෙම්මනර් වීදියේ කුමන්ත්‍රණය මැයෙන් අපි බාබරා සහ රංජිත් කල්ලියේ ක්‍රියාදාමයන් අනාවරණය කිරීමට හැකිවිය.

මේ තත්ත්වය මැද යුරෝපා අධිකරණය හමුවේ කොටි තහනමට එරෙහිව නීතිවේදීන් ක්‍රියාකර නැතැයි සනාථ වේ.

එසේම යුරෝපයේ තානාපති කාර්යාලවලට පත්කර යෑවූ පාර්ශව මුනිවත රැකි බව පැහැදිලිය.

ද්‍රවිඩ මාධ්‍යවල සේවය කල බව දක්‌වන ආර්. සිවරාසා නැමැත්තා මේ වසරේ ජුලි මස ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පත්කර යවනු ලැබීය.

කොටි සංවිධානය පරාජය කිරීම සඳහා ඔහු දැක්‌වූ සහයක්‌ නැත. ඔහු යුරෝපා අධිකරණය හමුවේ විභාගයට ගැනුනු මේ කොටි නඩුව ගැන රජයට දැනුම් දී නැතැයි තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එසේම නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ කොටි නඩුව ගැන පුරා අධ්‍යයනයක්‌ කර නැත.

නෙදර්ලන්ත කොටි ක්‍රියාකාරීහු යුරෝපා සංගමයට එරෙහිව මෙම නඩුව පැවරීමට පෙර යුරෝපා කොටි ජාලයට අදාලව ගිගාබයිට්‌ 6000 ක තොරතුරු සොයා ගැනීමට අපරාධ විමර්ශන නිලධාරීන්ට හැකිවිය. වික්‌ටර්කොනික්‌ නැමැති මෙහෙයුම යටතේ යුරෝපා කොටි ජාලයේ තොරතුරු ඒකරාශිකල නෙදර්ලන්ත පොලිසියට කොටින්ට එරෙහි සාක්‍ෂිකරුවන් 70 ක්‌ද සොයාගෙන තිබිණි.

ගිගාබයිට්‌ 6000 ක පරිගණක තොරතුරු විමර්ශනයට ලක්‌කල පොලිස්‌ විමර්ශකයන් යුරෝපා කොටි ජාලයේ නායක රාමචන්ද්‍රන් සහ ඇමරිකාවේ සිටින ටී. ප්‍රතිපන් එක්‌ව අවි ආයුධ මිලයට ගත්බව තහවුරු කර ගත්හ.

කොටින්ට අවිආයුධ සැපයීමේ ජාලයේ 13 ක්‌ ශ්‍රී ලංකාවේ සිටින බවත් ඔවුන් ශ්‍රී ලංකා රජයේ අත්අඩංගුවේ පසුවන බවත් වැඩිදුරටත් හෙලිවිය.

යුරෝපා කොටි ජාලයේ පරිගණක තොරතුරුවලින් අනාවරණය වූ තවත් කොටි ක්‍රියාකාරියකු වූයේ නෝර්වේහි කොටි නායක තෙදියවන්ය. මේ නිසා නෙදර්ලන්ත පොලිස්‌ කණ්‌ඩායම කොටි ක්‍රියාකාරින්ගේ නීතිවේදීන් සමඟ නෝර්වේ වෙත ගොස්‌ නෙදියවන්ගෙන්ද ප්‍රශ්න කර තිබේ.

නෙදර්ලන්ත පොලිසිය සොයාගත් වැදගත් කරුණු අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිදුකල ප්‍රහාරවලට අදාල තොරතුරුවිය.

මෙයට අමතරව ලිපිගොනු 120 කට අදාල කොටි ත්‍රස්‌ත ක්‍රියා තොරතුරු නෙදර්ලන්ත පොලිසියේ අපරාධ විමර්ශන බලධාරීන් සතුව තිබුණි. එසේම නෙදර්ලන්තයේ ද්‍රවිඩ පාසල් 21 ක්‌ කොටි සන්නද්ධ අරගලය හෙවත් ත්‍රස්‌තවාදයට සහය දක්‌වන බවද සොයාගෙන තිබූ බව හෙලිවිය.

මේ පසුබිම මැද නෙදර්ලන්ත පොලිසියේ විමර්ශන කණ්‌ඩායමේ ප්‍රධානි හර්ට්‌ වැන් ඩ්‍රන් එරට සිටින ද්‍රවිඩයන් වෙත ලිපියක්‌ යවමින් කොටින්ට අරමුදල් සපයන නාමාවලියේ ඔබලාගේ නම් තිබී සොයාගත් බව සිටියේය.

යුරෝපා කොටි ජලායට අරමුදල් සැපයූ ද්‍රවිඩයන්ට ඔහු අනතුරු ඇඟවීමක්‌ද කළේය. ඒ සමඟම නෙදර්ලන්තයේ සිට ක්‍රියාත්මකවූ කොටි වෙබ් අඩවි අන්තර්ජාලයෙන් අතුරුදන්විය. කොටින්ට එරෙහිව කට උත්තර දුන් ද්‍රවිඩයන් පොලිසිය වෙත ගොස්‌ තමන් දුන් කටඋත්තර ඉවත්කරගත් බවද වාර්තා විය.

නෙදර්ලන්තයේදී අසුවූ යුරෝපා කොටි නායකයා වූ රාමචන්ද්‍රන්ගේ පරිගණක උපාංගයේ යුරෝමිලියන 136 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 20200 ක අතිවිශාල මුදල් සම්බාරයක්‌ තිබූ බව හෙලිවිය.

ඔහුගේ පරිගණක උපාංගයේ රහස්‌ සංකේතය බිඳදැමූ නෙදර්ලන්ත පියොද් ආයතනය එකී අතිවිශාල මුදල් සම්බාරය ගැන තොරතුරු සොයාගනු ලැබීය. එහි තවදුරටත් සටහන් වී තිබුණේ එක්‌ ද්‍රවිඩයකුගෙන් මසකට යුරෝ 2000 බැගින් කප්පම් ගැනීමට ක්‍රියාකර ඇති බවයි.

මෙලෙස කප්පම් ගැනීම බාරව සිටියේ ආර්. ශ්‍රීරම්නම් නැමැත්තායි. නෙදර්ලන්ත කොටි ජලායට කප්පම් දුන් අයට ලබාදුන් විශේෂ අංකද එම පරිගණක උපාංගයේ සඳහන් වී තිබුණි. මෙම අංක රැගෙන ශ්‍රී ලංකාවට සහ ද්‍රවිඩයන්ට වන්නියට ඇතුළුවීමට ඉඩලැබෙන බවද එහි දන්වා තිබුණි.

නෙදර්ලන්ත අයිවද් නමින් හඳුන්වන බුද්ධි සේවාවේ සහය මත 2009 සිට නෙදර්ලන්ත කොටි ගැන සිදුකල විමර්ශනයේදී අසුවූ ගිගාබයිට්‌ 6000 ක තොරතුරු හා රහස්‌ ලිපිගොනු 170 ක සඳහන් කරුනු යුරෝපා අධිකරණය වෙත යොමු නොවුයේ මන්ද යන්න බරපතල ප්‍රශ්නයකි.

එහෙත් යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීමෙන් පසු යුරෝපා සංගමය උතුරු නැගෙනහිර මහ ඇමැතිවරුන්ට යුරෝපයට පැමිණ සාකච්ඡා කිරීම සඳහා ඇරයුම් කිරීමට තීරණය කර ඇතිබව ආරංචි මාර්ග හෙලිකළේය.

කොටි තහනම ඉවත් කිරීම තුලින් දියත්වූ යුරෝපා කුමන්ත්‍රණයේ ඉන් සනාථ ගොඩන්නේද?

මේ අතර ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා හිටපු ජනාධිපතිනියටත් නොපෙන්වා ප්‍රභාකරන් සමඟ ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කල විපක්‍ෂය යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීම ගැන කිඹුල් කඳුළු හෙලමින් අපි බලයට පැමිණියහොත් තහනම යලි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පවසා ඇත.

එහෙත් 2002 සැප්තැම්බර් 4 දා මැදියම් රැයේ කොටි තහනම ඉවත් කළේද විපක්‍ෂයයි. ත්‍රස්‌ත මර්දන පණත අත්හිටුවනු ලැබුවේද විපක්‍ෂයයි. කොටින්ට කටුනායක සිට කිලිනොච්චිය දක්‌වා අබිරහස්‌ පෙට්‌ටි 25 ක්‌ ගෙනයැමට ඉඩදුන්නේද එකී වසන්වීමයි.

තමිල් සෙල්වන් ඇතුළු කොටි කණ්‌ඩායම බර්ලින් සිට ගෙන ආ අබිරහස්‌ පෙට්‌ටි විසිපහ ගුවන් හමුදා ප්‍රවාහන හෙලිකොප්ටරයකින් කිලිනොච්චියට ගෙනයැමේ සිද්ධිය මාධ්‍යවල වාර්තා වීම නිසා එවකට සිය දේශපාලකයෙන් දැඩිලෙස තිබුණේය.

වහාම මගේ ගෙදරට ඇවිත් මාව හමුවෙනවා යෑයි ඔහු එදා හමුදා ප්‍රකාශකව සිටි බ්‍රිගේඩියර් සනත් කරුණාරත්නට නියෝග කළේය. දේශපාලකයාගේ නිවසට ගිය බ්‍රිගේඩියර්වරයාට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැත. අබිරහස්‌ පෙට්‌ටි යාපනයට ගෙනයැමේ පුවත බොරුවක්‌ කියලා දැක්‌වෙන මේ නිවේදනයට අත්සන් කරනවා යෑයි දේශපාලකයා ගුගුලේය.

එය මට කරන්න බැහැ යෑයි බ්‍රිගේඩියර්වරයා තරයේ කියා සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ පුවත සඳහන් පත්‍රය දේශපාලකයා විසින් බ්‍රිගේඩියර්වරයා සිටි මේසයට දමා ගැනීමයි.

මේ තත්ත්වය මත යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කලේ එවකට සිටි විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් කරුණු සනාථ කරමින් කළ ඉල්ලීම නිසාය. යුරෝපා අධිකරණය විසින් කොටි තහනම ඉවත් කිරීමට ගැන හඬනගා විපක්‍ෂයේ අතීතය මුළුමනින්ම අමතකර තිබේ.

ප්‍රභාකරන්ගේ උපන්දිනයට ඊශ්‍රායල් නිෂ්පාදිත ඩෙසර්ට්‌ ඊගල් පිස්‌තෝලයක්‌ පරිත්‍යාග කෙරුනේද විපක්‍ෂය ආණ්‌ඩු බලයේ සිටියදීයි.

එසේම ප්‍රභාකරන්ට අවි ආයුධ සැපයුනේ විපක්‍ෂය ආණ්‌ඩු කරන සමයේ බව අමතක නොවේ.

වසර 24 කට පෙර සිදුවූ මේ ක්‍රියාදාමය යුද හමුදාවේ ලුතිනන් වැදිගේ නිසා අනාවරණය විය. එදා ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේ කොටින්ට ආයුධ සැපයුනේ ඉන්දීය සාම හමුදාවන්ට එරෙහිව මිස නියෝජ්‍ය කොටි නායක මහත්තයා හෙවත් මහෙන්ද්‍රරාජාට නොවේ.

අවිආයුධ පටවා ගත් හමුදා ට්‍රක්‌ රියක්‌ නෙදුන්කර්නි කැලෑවට ගියේ ලුතිනන් වැදිගේ සමගය. ඔහු ට්‍රක්‌ රියේ ආයුධ පෙට්‌ටියක තිබූ ආයුධයක්‌ රැගෙන සඟවා ඉතිරි ආයුධ කොටින්ට බාරදී ආපසු එන අවස්‌ථාවේ පැනගත්තේය.

ආයුධ බාරදී එන ලුතිනන්වරයා මරාදැමීමට හමුදාවේ පිරිසක්‌ මග සිටින බව ඔහුට අවබෝධවී තිබුණි. මෙරටින් පැනගත් ලුතිනන්වරයා යලි මතුවූයේ ඉන්දියාවෙනි. දිවි ගලවා ගැනීම සඳහා ඔහු ප්ලාස්‌ටික්‌ ශල්‍යකර්මයක්‌ද කර ගත්තේය.

1989 සහ 1990 අතර කොටින්ට අවිආයුධ සැපයීම සිදුවූ අතර ඉන්දීය රෝ ඔත්තු සේවාවට සම්බන්ධ යෑයි කියමින් මහත්තයා අත්අඩංගුවට ගැනුනේ 1992 වසරේයි.

මේ අතර ශ්‍රී ලංකාවේ වන්නියට පයනොතැබූ ඔස්‌ටේ්‍රලියානුවකුට ට්‍රෙවර් ග්‍රැන්ටි නැමැත්තා ශ්‍රී ලංකා රජය සමූල ඝාතන සිදුකල බව කියමින් ශ්‍රී ලංකා සීක්‍රටිස්‌ නමින් ග්‍රන්ථයක්‌ එළිදක්‌වා ඇත.

මේ ග්‍රන්ථයට තොරතුරු සපයා අත්තේ පසුගියදා සංචාරකයන් වේගයෙන් යාපනයට ගොස්‌ සිටියදී අසුවූ ඕස්‌ටේ්‍රලියානු ග්‍රීන් පක්‍ෂයේ උත්තර මන්ත්‍රිනි ලී රිකාකොන් නැමැත්තියයි.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළබවට සාක්‍ෂි ඉදිරිපත් කරන්නැයි දැක්‌වෙන එක්‌සත් ජාතීන්ගේ හිස්‌ පෝර්මවලට අත්සන් ගත් ක්‍රිෂ්ණරාජා සින්නතම්බි නැමැති හිටපු කොටි හිතවාදියා ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට අසුවිය.

මොහු කොටින්ගේ මක්‌කල් පඩයි සිවිල් සංවිධානයේ ක්‍රියාකාරියෙකි. වව්නියාවේ සන්මාස්‌ටර් නැමැති ද්‍රවිඩ සන්ධාන නියෝජිතයා විසින් මොහුට එම පෝර්ම බෙදීමට යොදවා තිබූ බව විමර්ශනවලදී හෙලිවිය.

ක්‍රිෂ්ණරාජා අත්අඩංගුවට ගැනීමනිසා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද ද්‍රවිඩ ජනතා පෙරමුණේ කජෙන්ද්‍රන් හා බස්‌නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රි කුමර ගුරුබරන්ද කලබලයට පත්වී තිබේ.

අත්අඩංගුවට ගත් ක්‍රිෂ්ණරාජා මුදාහරින ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා ඇත. ත්‍රස්‌ත මර්දන බලධාරීන් ක්‍රිෂ්ණරාජා පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී හෙලිවූයේ ඔහු ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට සාවද්‍ය ප්‍රකාශ කිරීමට අමතරව වන්නියේ ද්‍රවිඩ වැසියන්ගෙන් හිස්‌ පෝර්ම රැසකට අත්සන් ගෙන තිබූ බවයි. ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාවේ අත්සන් හයක්‌ සහිත හිස්‌පෝර්ම තිබී සොයාගෙන තිබේ. ඉන් සනාථවන්නේ ද්‍රවිඩ සන්ධානය සහ ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය සාක්‍ෂි ජිනීවා වෙත යවන බවයි.

මේ පසුබිම මැද යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීම ගැන බරපතල ඝාතනයන් මතුවන තොරතුරු පසුගිය බදාදා අනාවරණය විය. ඒ යුරෝපා සංගමයේ නීති මණ්‌ඩලයේ නිලධාරීන් කොසවෝ අපරාධ වසන් කිරීමට අල්ලස්‌ ගැනීමේ සිද්ධියකි.

Read Full Post »

Older Posts »

Advertisements